නවතම පුවත්

රට ගොඩනඟන සෞභාග්‍යයේ දැක්ම' රජයේ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව ආලෝකය පිරි සංවර්ධන මාවතක ගමන ආරම්භ කර තිබෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

දීපවාලී දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අගමැතිවරයා මෙසේ සඳහන් කරයි.

අඳුර දුරලමින් ආලෝකය උදා කරන හින්දු ජනයාගේ උතුම් ආගමික උත්සවයක් වන දීපවාලී උත්සවය නිමිත්තෙන් මාගේ ශුභාශිංසන එක් කරන්නේ ඉමහත් සතුටිනි.

අඳුරු මාර්ගයක ඇති පහන් කණුව එම මාර්ගයට මඟ පෙන්වයි. එලෙසින්ම මිනිස් ජීවිතයේ මාවතට කරුණාවේ පහන සහය වේ නම් එය මිනිස් ජීවිත සමෘද්ධිමත් කරයි.

දීපවාලී උත්සවය ලෙසින් හඳුන්වන්නේ කරුණාවේ පහන හෙවත් අාධ්‍යාත්මික ප්‍රඥාවේ ආලෝකය ලබා ගන්නා දිනයයි. ජාතික සමගියට මෙය විශිෂ්ට දිනයකි. සෑම ආගමකම පහන් දැල්වීමෙන් සංකේතවත් කරන්නේ මෝහය සහ නොදැනුවත්කම නමැති අඳුර දුරු කර ප්‍රඥාව නමැති ආලෝකය විහිදුවාලීමයි.

දීපවාලී උත්සවයත්, අපේක්ෂාවන්ගෙන් පිරි පහනෙහි ආලෝකයත් ප්‍රජාවන් අතර සමගිය හා සහජීවනය ඇති කිරීමට අවස්ථාව සලසා දෙනවා ඇත. අපගේ ජනතාව අතර බෙදීමක් ඇති කරන සෑම වෙනස්කමක්ම ඉවත් කරන මොහොතක් ලෙස දීපවාලී දිනය සමරමු.

අද අප දේශය “රට ගොඩනඟන සෞභාග්‍යයේ දැක්ම” යන රජයේ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව ආලෝකය පිරි සංවර්ධන මාවතක ගමන ආරම්භ කර ඇත.

ජනතාවට සියලු සමෘද්ධිය ලබා දෙන වඩා හොඳ අනාගතයක ආරම්භයක් ලෙස උදා වූ මෙම දීපවාලී උත්සවය ශ්‍රී ලාංකික හින්දු ජනතාවට සුබ දීපවාලී දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

ලොව පුරා හින්දු බැතිමත්හු දීපාවලි දින පහන් දල්වමින් අවිද්‍යාවේ අන්ධකාරය පරදා ප්‍රඥාවේ ආලෝකය අපේක්ෂාවෙන් පුද පූජාවන්හි නිරත වෙති.

සියලු දනන් සිත් සතන් ආලෝකමත් වේවා යන ප්‍රාර්ථනය ගැබ් කර ගත් දීපාවලි දිනය එකිනෙකා වෙත හෘදයාංගම ශුභාශීංසන පිරිනමමින් සෙනෙහස හා දයාව බෙදා හදා ගන්නා සංස්කෘතික උළෙලක් ලෙස ද වැදගත්කමක් උසුලයි. ඒ අරුතෙන් ගත් කල සහෝදරත්වයේ අපේක්ෂා පෙරදැරිව වාර්ගික හා ආගමික සංහිඳියාවත්, අන්‍යෝන්‍ය අවබෝධයත් වර්ධනය කරනු වස් මෙවන් සංස්කෘතික අංග මනා පිටිවහලක් වන බව මගේ හැඟීමයි.

සමස්ත ලෝකයම කොරෝනා වසංගතය නිසා උද්ගත දැවැන්ත අර්බුද රැසකට මුහුණ දී සිටින මේ මොහොතේ ආගමික වතාවත්හි නිරත වීම මිනිස් හදවත්වලට සැනසිල්ලකි. දීපාවලි සමයේ ඒ සැනසීම වෙනුවෙන් අපේ රටේත් ලෝකයේත් සියලු හින්දු බැතිමතුන් ඒකාත්මිකව දෙවියන් වෙනුවෙන් කැපවනු ඇතැයි මම විශ්වාස කරමි. එය අප අරමුණු කරගත් යහපත් සමාජයක්, සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් ගොඩ නැගීමට ආශිර්වාදයක් වනු ඇතැයි මම සිතමි.

මේ ආලෝකයේ මංගල්‍යය සමරන සැමට ඉන් අපේක්ෂිත සතුට මානසික සහනය සැලසේවා යි ප්‍රාර්ථනා කරමි.

 

 

                                                                    ගෝඨාභය රාජපක්ෂ

2020 නොවැම්බර් මස 14 වන දින

2025 වසර වන විට ආදායම් වියදම් පරතරය සියයට හතර දක්වා අඩු කිරීම මෙන්ම සමස්ත ණය ප්‍රමාණය සියයට හැත්තෑපහ දක්වා අඩු කිරීම රජයේ ඉලක්කය බව මුදල් ඇමැති, අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12) ප්‍රකාශ කළේය. අපනයනය මෙන්ම මෙරට නිපදවිය හැකි ආනයනයන් අවම කිරීමත් නිෂ්පාදන ආර්ථිකය කෙරෙහි ප්‍රමුඛතාව දෙමින් රාජ්‍ය මූල්‍ය වගකීම ඉටු කිරීමට රජය කැප වී කටයුතු කරන බවද අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

 සෘණ ආර්ථිකය ධනාත්මක සියයට 6ක ඉහළ වර්ධන වේගයකට නංවා ගැනීම පමණක් නොව එයට සමගාමීව දුප්පත්කම තුරන් කිරීම සඳහා සිදු කළ හැකි සියලු ප්‍රතිසංස්කරණ වත්මන් රජය සිදු කරන බව ද අගමැතිවරයා පැවැසීය.

එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞභාග්‍යෙය් ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් නවින ආර්ථිකයක් රට තුළ ඇති කිරීම සඳහා ඉදිරිපත් කරන යෝජනා 2021 අය-වැය මඟින් ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ 2020 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ වත්මන් රජයේ අය-වැය ප්‍රතිපත්තියේ අන්තර්ගතය වන්නේ පසුගිය වසර පහ තුළ සිදු වූ විනාශකාරී සමාජ හා ආර්ථික ගමන් මඟ වෙනස් කිරීම බවයි.

රටේ ආර්ථික ස්වාධීනත්වය ඇති කිරීම සඳහා පසුගිය රජය අනුගමණය කළ විනාශකාරි ආර්ථික ගමන් මගෙන් ඉවත්වීම අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතු බව ද අගමැතිවරයා පැවැසීය.

අභියෝග රැසක් මධ්‍ය යේ වුව ද 2020 වර්ෂය තුළ වත්මන් රජය ඉටුකළ කාර්යභාරය ඉතා විශාල වන අතර ඉන් ප්‍රධාන ව්‍යාපෘතියක් වන්නේ රැකියා විරහිතව සිටි උපාධිධාරීන් 60,000කට අධික පිරිසකගේ රැකියා ප්‍රශ්නය විසඳීම බව අගමැතිවරයා පැවැසීය.

එමෙන්ම දිළිඳුම පවුල් ලක්ෂයක් ඉලක්ක කර ගනිමින් රැකියාදීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක අතර ඒ යටතේ 40,000කට ආසන්න පිරිසකට රැකියා ලබාදී අවසන් අතර මෙම වසර නිමවීමට පෙර රැකියා ලක්ෂයේ ඉලක්කය සපුරාලීම අරමුණ බව ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් කොවිඩ් ආසාදනයෙන් බේරා ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. සෙසු රටවලින් මෙන්ම මෙරටින් ද වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් සියයට 93කට හේතුව බෝ නොවන රෝග වැලඳුණු අයට වෛරසය ආසාදනය වීම බව වෛද්‍යවරු පෙන්වා දී ඇති බවද ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසීය.

හෘද, දියවැඩියා, වකුගඩු සහ පිළිකා ආශ්‍රිත රෝගීහු ඉතා වේගයෙන් කොවිඩ් ආසාදනයට ලක් වෙති. බොහෝ දෙනකු රෝග ලක්ෂණ නොපෙන්වා මරණයට පත්ව ඇත. පසුව කළ PCR පරීක්ෂණවලදී ඔවුන් කොවිඩ් අසාදිතයන් බවට තහවුරු වී තිබේ. මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කොට බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් ආරක්ෂා කර ගැනීමට සහ කොවිඩ් ආසාදනයෙන් වැළකී සිටීමට අදාළ උපදෙස්දීම හා දැනුවත් කිරීම් වහාම සිදු කරන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් කාර්ය සාධක බළකාය ඊයේ (11) රැස් වූ අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

කොවිඩ් ව්‍යාප්තිය සහ පාලනය පිළිබඳ වත්මන් තත්ත්වය මෙන්ම අනාගතයේ දී මතුවිය හැකි වෛරස ආශ්‍රිත රෝග පාලනය සහ ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කරනු පිණිස ගත යුතු ක්‍රියාමාර්ග සහ අධ්‍යනය කළයුතු ක්ෂේත්‍ර ගැන ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

ප්‍රධාන රෝහල් වෙත පැමිණීමට ජනතාවට ඇති දුෂ්කරතා හඳුනාගෙන කලක් රට පුරා සාර්ථකව ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය බෙහෙත් ශාලා (ඩිස්පෙන්සරි) කඩිනමින් පූර්ණ සක්‍රියත්වයට පත් කළයුතු යැයි ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ඒවාට අවශ්‍ය වෛද්‍ය, හෙද, වින්නඹු සහ සෙසු කාර්ය මණ්ඩලය කඩිනමින් අනුයුක්ත කළ යුතු බව ද ජනාධිපතිවරයා පැවැසීය.

 
 

හුදෙකලා කර ඇති ප්‍රදේශ වෙත භාණ්ඩ බෙදා හැරීමට සම්බන්ධ වන පාර්ශ්ව නිවැරැදි ක්‍රමවේද අනුගමනය කරන්නේ ද යන්න අඛණ්ඩව නිරීක්ෂණය කළ යුතුය. එම ප්‍රදේශවලින් ඉවතට පැමිණීමට හෝ ඊට ඇතුළුවීමට හෝ කිසිවකුට ඉඩ නොතබන්නැයි ජනාධිපතිවරයා කියා සිටියේය.

බන්ධනාගාරය ආශ්‍රිත තත්ත්වය සහ ව්‍යාප්තිය වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග විමසුමට ලක් විය. කොවිඩ් ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇති බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට කරන සංචරණය වළක්වාලීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි, ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී දොලවත්ත, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලීත් වීරතුංග යන මහත්වරු සහ කොවිඩ් කාර්ය සාධක බළකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

සොළොස්මස්ථාන වලට අයත් නැගෙනහිර පළාතේ පිහිටි වැදගත්කමින් හා විශාලත්වයෙන් ප්‍රමුඛස්ථානය ගන්නා දීඝවාපී පුද බිමෙහි ඇති චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක අවස්ථාවට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අද (11)  එක්විය.
 
ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරතවූ අග්‍රාමාත්‍යතුමා අනතුරුව පිරිත් සඡ්ජායනා මධ්‍යයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භය වෙනුවෙන් මුල්ගල තැබීය.
 
මෙම ඓතිහාසික අවස්ථාවේදී දීඝවාපී රාජමහා විහාරාධිපති, අම්පාර මඩකළපුවදෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක සංඝ කීර්ති ශ්‍රී බුද්ධරක්ඛිත සාම ශ්‍රී සද්ධර්ම වාගීෂ්වර, සද්ධර්ම කීර්ති ශ්‍රී, මුළු දිවයිනටම සාම විනිසුරු, ශාස්ත්‍රපති පූජ්‍ය මහඔය සෝභිත නාහිමියෝ අනුශාසනවක් පැවත්වූහ.
 
යුධමය වතාවරණය හමුවේ ජන ශූණ්‍ය වෙමින්, සංවර්ධනය අඩාල වූ උතුරු හා නැගෙනහිර සීඝ්‍ර සංවර්ධනය යථාවත් කිරීමට ගරු අග්‍රාමාත්‍ය, පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් කටයුතු කළ බව උන්වහන්සේ පැවසූහ.
 
දීඝවාපී පුදබිම ගැසට් කිරීම මඟින් එය සංරක්ෂණය කිරීමට අග්‍රාමාත්‍යතුමා කටයුතු කළ බව සිහිපත් කළ සෝභිත නාහිමියෝ යුධ ගිනි නිවා රට එක්සේසත් කළ ගරු අග්‍රාමාත්‍යතුමාගේ එළඹෙන උපන් දිනයට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කළහ.

කඩිනමින් ැඩ ඇරඹීමට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට ජනපති ඇරයුම් …

  •  නිවාස 15,000ක් මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් ….
  • වසර 04ක් අවසන්වීමට පෙර නිවාස ඒකක 36,884ක් …

දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ආවරණය වන පරිදි අඩු, මධ්‍ය සහ ඉහළ මධ්‍යම ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති රැසක වැඩ එකවර අරඹන ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැනුම් දෙයි.

නව තාක්ෂණය සහ ක්‍රමවේද උපයෝගී කර ගනිමින් නිර්මාණශීලි ලෙස සහ පරිසරය සුරැකෙන අයුරින් ඉදිකිරීම් කඩිනම් කළ යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත ආයතන 10ක නිලධාරීන් සමග අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ දැනුම් දීම කළේය.

ඉදිරි තෙවසර තුළ මධ්‍යම පාන්තිකයන් උදෙසා ඉදිකිරීමට අපේක්ෂිත නිවාස සංඛ්‍යාව 15,000කි. අඩු සහ ඉහළ මධ්‍යම ආදායම්ලාභීන්ගේ ද ඉල්ලුම සැපයෙන පරිදි සිව් වසරකදී  නිවාස ඒකක 36,884ක් ඉදිකිරීමට රජය අපේක්ෂා කරයි.

පෑලියගොඩ, කොළොන්නාව, බ්ලුමැන්ඩල්,  කොට්ටාව – මාකුඹුර, කොට්ටාව -පළතුරුවත්ත, බොරලැස්ගමුව, මාළඹේ, මහනුවර – ගැටඹේ සහ අනුරාධපුර නගර කේන්ද්‍ර කර ගනිමින් පළමු අදියරේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත දේශීය කර්මාන්තකරුවන්ට ඊට එක්වීමට අවස්ථාව සැලසේ. විධායක, ව්‍යවසායක සහ සියලු ක්ෂේත්‍රවල නිරත  විශාල තරුණ පිරිසකගේ නිවාස ඉල්ලුම සපුරාලීම ඉන් අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය. ඒ සඳහා වසර 30කින් ගෙවා නිම කළ හැකි පරිදි සහන පොලී අනුපාතයකට ණය සැපයීමට වාණිජ බැංකු දායක කර ගැනේ.

ඉදිකිරීම් ඇරඹීමත් සමග ඊට අවශ්‍ය භාණ්ඩ සම්පාදනය මගින් රැකියා අවස්ථා රැසක් උත්පාදනය වනු ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දෙමින් නොනැවති සියලු ක්‍රියාකාරකම් උපරිමයෙන් කරගෙන යාමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

සියලු වැඩබිම් සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් ක්‍රියාත්මක විය යුතුය. මේ ව්‍යාපෘති රටේ ආර්ථිකයට ද ශක්තියත් වනු ඇතැයි ජනාධිපතිතුමා අපේක්ෂාව පළ කළේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරු, නාගරික හා නිවාස සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහූ සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සමාගම් කිහිපයක නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ දායකත්වය 2020.10.31 දිනට රුපියල් 1,668,379,121.74 ක් විය. එම මුදලින් අද (2020.11.10) දක්වා 402,190,701ක මුදලක් පහත වගුවේ පරිදි වෙන් කර සහ වැය කර ඇත.

කළමනාකරණ කමිටුව අනුමත කළ ක්‍රියාකාරකම්

ක්‍රියාකාරකම වෙන්කළ මුදල (රු.) සැබෑ පිරිවැය (රු.) ක්‍රියාත්මක කළ ආයතනය
PCR පරීක්ෂණ 100,000,000.00 42,605,812.00 සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
උපදේශන වැඩසටහන් 100,000,000.00 24,364,800.00 සෞඛ්‍ය අමාත්‍යාංශය
නිරෝධායන පහසුකම් 86,528,701.00 38,031,065.00 සෞඛ්‍ය අමාත්‍යාංශය හා ආරක්ෂක අමාත්‍යාංශය
මඩකලපුව ශික්ෂණ රෝහලේ පරීක්ෂණාගාර පහසුකම් 112,140,000.00 සහතික කිරීම බලාපොරොත්තුවෙන් සිටී සෞඛ්‍ය අමාත්‍යාංශය
Rapid Test Kit වැඩිදියුණු කිරීම 3,522,000.00 සහතික කිරීම බලාපොරොත්තුවෙන් සිටී ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය

2020.03.18 දින පැවති කැබිනට් රැස්වීමේ තීරණයක් අනුව 2020.03.23  දින අරමුදල පිහිටවනු ලැබීය. “සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල” කළමනාකරණය පරිපාලන, මූල්‍ය සහ බැංකු ක්ෂ්ත්‍රයේ ඉහළම නිපුණතාවක් සහිත වෘත්තිකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් සිදු කරන අතර අමාත්‍යාංශ ලේකම්වරු, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විගණන විශේෂඥයෝ සහ බැංකු ප්‍රධානීහූ කළමනාකරණ මණ්ඩලයට පත් කරනු ලැබ සිටිති.

කළමනාකරණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා කටයුතු කරයි.

කොවිඩ් මර්දනය සඳහා යම් ආයතනයකට මුදල් අවශ්‍ය වූ විට කමිටුවේ අනුමැතිය ඇතිව එම මුදල අදාළ ආයතනය විසින් රජයේ ප්‍රසම්පාදන නියමයන්ට අනුකූලව වියදම් කරන අතර අරමුදල කරනුයේ මුදල ප්‍රතිපූරණය කිරීමකි. කිසිදු අවස්ථාවක කමිටුව සෘජු මිලදී ගැනීමක් හෝ සෘජු මුදල් වැයකිරීමක් නොකරයි. අරමුදලේ ගණුදෙනු ජනාධිපති කාර්යාලයේ ගිණුම් අංශය විසින් සිදුකරන අතර ඒවා රජයේ විගණකාධිපතිවරයාගේ පූර්ණ විගණනයකට යටත් ය.

රෝගය පාලනය කරමින් රට සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යනවා

මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්දනය කළ හැකි නමුත් අවශ්‍ය වන්නේ ජනතා සහාය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

කොවිඩ් වසංගතය “සෞඛ්‍ය” ගැටලුවක් වන නමුත් ඉන් ජනතාව රැකගෙන රට ඉදිරියට ගෙන යාම සෞඛ්‍ය සේවාව සහ රජය සතු වගකීමක් බව පෙන්වාදෙන ඒ මහතා ලොව ඉහළම දැනුමකින් සමන්විත මෙරට වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එය කළහැකි බව තම දැඩි විශ්වාසය බවද සඳහන් කරයි.

ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බළකාය ඊයේ (09) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

වසංගත ව්‍යාප්තිය හමුවේ අපට ගතහැකි විකල්ප 03ක් තිබෙන බව පෙන්වාදුන් ජනාධිපතිවරයා ඇඳිරි නීතිය පනවා රටම ලොක් ඩවුන් කිරීම, කිසිවක් නොකර සිටීම සහ රෝගය පාලනය කරන අතර රට සාමන්‍ය පරිදි පවත්වාගෙන යාම ආදිය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කළයුතු බවද අප තෝරාගත යුත්තේ මෙහි තෙවැනි විකල්පය බවද පෙන්වා දුන්නේය.

චීනය හා ශ්‍රී ලංකාව අතර පාලන අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මහජන චීන සමූහාණ්ඩුවේ සභාපති ෂී ජින්පින් (Xi Jinping) මහත්වරුන් අතර විශේෂ හමුවක් පැවැත්විණි.

සූම් වීඩියෝ සැසියක් ලෙස පැවති මේ හමුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති රාජපක්ෂ මහතා සමඟ කථානායක මහින්ද යාපා අබේවර්ධන,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී එල් පීරිස්, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ, ශ්‍රීලපොපෙ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහත්වරු සහ පළාත් පාලන මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියහ. මහජන චීන සමූහාණ්ඩුව නියෝජනය කරමින් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටුවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ඇමැති සොන්ග් ටා ඕ (Song Tao), චීන කොමියුනිස්ට් පක්ෂයේ හයිනාන් පළාත් කමිටුවේ ලේකම් ලියූ සිගුවි (Liu Cigui), චීන කොමියුනිස්ට් පක්ෂ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමති ගුවෝ යෙසොව් (Guo Yezhou)ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රධාන නියෝජිතයින් සහ චීන විධායක නායකත්ව පාසලේ ෂැන් හයිවල නායකයින් රැසක් ද සහභාගී වූහ.

මෙම හමුව පක්ෂ සහ රාජ්‍ය පාලනය පිළිබඳ අත්දැකීම් ගැඹුරින් හුවමාරු කරගැනීම සඳහා පාලක පක්ෂ දෙක අතර ආයතනික හුවමාරු ප්‍රවර්ධනය යන තේමාවෙන් පවත්වන ලද අතර ඉදිරි වර්ෂවල දී දෙරට අතර ආයතනික හුවමාරු වැඩසටහන් ක්‍රියාවට නැංවීම, පක්ෂය ගොඩනැංවීම, සාමාජිකයන් දැනුවත් කිරීම, විශේෂයෙන් තරුණ නායකයින් පුහුණු කිරීම, පක්ෂ විනය, රජය සහ පක්ෂය අතර සහයෝගිතාව, අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සබඳතා පවත්වා ගැනීම වැනි කරුණු ගැන මෙහි දී ගැඹුරින් අවධානය යොමු විය.
කොවිඩ් 19 තත්ත්වය මත ශ්‍රී ලංකා නියෝජිතයන් චීන සංචාරයකට සහභාගී වී හෝ මාර්ගගත සම්මන්ත්‍රණ ලෙසින් හෝ මේ සම්බන්ධ ඉදිරි සැසි ක්‍රියාවට නැංවීමට ද අපේක්ෂා කෙරෙන අතර දෙරට අතර දීර්ඝකාලීනව ගොඩනැඟී ඇති සබඳතා ශක්තිමත් කරගනිමින් ද්විපාර්ශ්වික වැදගත්කමින් යුත් කරුණු හුවමාරු කරගැනීමට මෙම සාකච්ඡා බෙහෙවින් වැදගත් විය.
නොවැම්බර් මස 04 වැනි දින පැවති පළමු සැසියේ දී ප්‍රමුඛ ඉලක්කය වූයේ, පාලක පක්ෂය විසින් ජාතික සංවර්ධනය සඳහා දේශපාලන මඟපෙන්වීම් කරන්නේ කෙසේ ද යන්න සාකච්ඡා කිරීමයි.
ඔක්තෝබර් 29 වැනි දින පැවති චින කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික සම්මේලනයේ දී එහි මධ්‍යම කමිටුව ඉදිරි වසර වසර පහ තුළ චීනයේ ඉදිරි සංවර්ධන ගමන්මඟ සැලසුම්කරන ආකාරය සම්බන්ධව පස්අවුරුදු සැලැස්ම ඉදිරිපත් කරන ලද අතර, එහි චීන ශ්‍රී ලංකා සහයෝගිතාවට වැදගත් වන කරුණු සහ අවස්ථා රැසක් ඇතුළත් කර ඇත.
සංවර්ධනය සහ සෞභාග්‍යය කරා ශ්‍රී ලංකාව යන ගමනේ දී චීන කොමියුනිස්ට් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ සඳහා එකට වැඩ කළහැකි ආකාරය සහ අත්දැකීම් හුවමාරු කරගත හැකි ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පක්ෂය ගොඩනැංවීම වැනි කරුණු පිළිබඳව ද මෙම හමුවේ දී සාකච්ඡාවට ලක්විය.
ඊට අමතරව චීන ශ්‍රී ලංකා දේශපාලන පක්ෂ හුවමාරු සහ සහයෝගිතා මධ්‍යස්ථානය නමින් චීනයේ හයිනාන් පළාතේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ද පියවර ගන්නා බව මෙහි දී අනාවරණය විය. වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ද චීන රජය කටයුතු කරන බව සඳහන් විය.

රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී පැවැත්විණ. දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වුණු ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ. කපු වගා කර, නූල් කටිමින්, එම නූලෙන් වියූ කපු රෙදි භාවිත කරමින් කඨින චීවරය මසා, පඬු පොවා සාංඝික කිරීම පෙර රජ දවස චාරිත්‍රයකි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුකූලතාව ඇතිව සංවිධාන කළ කඨින චීවර පූජා මහෝත්සවයට පැමිණි ජනාධිපතිතුමා සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. බුද්ධ පූජා පෙරහැරට සහ පූජාව පිළිගැන්වීමේ ආගමික වතාවතට සහභාගී වූ ජනාධිපතිතුමා කඨින චීවරය පඬු පෙවීමේ මහා මංගල්‍යයට එක් විය. දහවල් දානමය පුණ්‍ය කර්මයෙන් අනතුරුව පඬු පෙවූ කඨින චීවරය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පෙරහරින් වැඩම කරවනු ලැබීය. ජනාධිපතිතුමා එය සඟ සතු කොට පූජා කළේය. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමියෝ පුණ්‍යෝත්සවයේ ප්‍රධාන අනුශාසනාව කළහ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, සිරිපාල ගම්ලත්, රොෂාන් රණසිංහ යන රාජ්‍ය අමාත්‍යවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

සෞභාග්‍යා කොවිඩ් -19 පුනරුද ණය යෝජනා ක්‍රමයෙන්’ ණය ගත් අයට ණය මුදල් ආපසු ගෙවීමට හිමි වී තිබූ මාස හයක සහන කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බංකුව ඊයේ (06) තීරණය කොට තිබේ. මේ වසරේ මාර්තු මස ඇරඹි කොවිඩ් -19 පළමු රැල්ලෙන් අසීරුතාවට ලක් වූ ව්‍යාපාර යළි බලගැන්වීමට සියයට 04ක් තරම් අඩු පොලී අනුපාතයක් යටතේ කාරක ප්‍රාග්ධනය ලබාදීමේ ණය යෝජනා ක්‍රමය රට පුරා සාර්ථකව ක්‍රියාත්මක කළ අතර, ඉන් රුපියල් කෝටි 17900ක මුදලක් ණය දීමට මහ බැංකුව අනුමත කොට තිබුණි. ඒ අනුව දැනටමත් තම කෘෂිකර්මාන්ත, කර්මාන්ත සහ සේවා වැඩි දියුණු කර ගැනීමට ණය ගත් අයට එම ණය ආපසු ගෙවීමට මාස 9 සහන කාලයක් හිමි වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. එස්. කේ. ධර්මවර්ධන මහතා ප්‍රකාශ කෙළේය.

මෙරට ක්‍රියාත්මක රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බලපත්‍රලාභී වාණිජ බැංකු හා විශේෂිත බැංකු 29ක් මඟින් මේ ණය මුදල් සපයා දීම සිදු කරන බව ද ධර්මවර්ධන මහතා කීය.

කොවිඩ්- 19 පළමු රැල්ල හමුවේ විවිධ ව්‍යාපාරවල නියුක්තව සිටියදී පීඩාවට පත්ව තම සේවකයින්ගේ පඩි නඩි, සේවක අර්ථසාධක අරමුදල්, ජල, විදුලි, දුරකථන බිල්පත්, ගොඩනැඟිලි කුලී, අමුද්‍රව්‍ය සපයා ගැනීම් සඳහා වන ගෙවීම් ඇතුළු අනෙකුත් මුදල් අවශ්‍යතා සපුරාලීමට මේ ණය යෝජනා ක්‍රම හරහා ණය ලබා දී ති‍බේ. ඒ අනුව නැවත වතාවක් සෑම අංශයකම විශාල පිබිදීමක් සිදු වනු ඇතැයි ද ඒ හරහා ආර්ථිකයේ වර්ධනයක් ළඟා කර ගැනීමට ඉඩ ලැබෙනු ඇතැයි ද මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විශ්වාසය පළ කෙළේය.

 
 

කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාත්මක ස්වයං නිරෝධායන ක්‍රියාවලිය ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුවද දැඩිව නිරීක්ෂණය කරන ලෙස කොවිඩ් මර්දන කාර්ය සාධක බළකායේ දෛනික හමුවට ජනාධිපති කාර්යාලයේදී ඊයේ (05) එක් වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කොවිඩ් ආසාදිතයන් ආශ්‍රිත බව හඳුනා ගත් සියලු පවුල් සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කරන ලද අතර රට පුරා නිවාස 31,457ක 84,000කට ආසන්න පිරිසක් එසේ නිරෝධායනය වෙමින් සිටිති. බස්නාහිර පළාතේ නිවාස 13,911ක 40,676 දෙනෙක් නිරෝධායනය වෙති.  නිරෝධායනය වෙමින් සිටින පිරිස ඇඳිරි නීතිය ඉවත් කළ පසුවද විධිමත්ව අධීක්ෂණය කළ යුතු බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය. ආසාදිතයන් සමාජයෙන් හමු වුවහොත් ඔහුගේ හෝ ඇයගේ ආශ්‍රිතයන් සහ ඔවුන් අයත් ප්‍රදේශ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු අතර අවශ්‍ය වුවහොත් හුදෙකලා ප්‍රදේශ ලෙස පවත්වාගෙන යන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

 
 

වතු සහ මහල් නිවාස කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාමට පමණක් සීමා කිරීමට තීරණය කෙරිණ.සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සහ පී. සී. ආර් පරීක්ෂණ අඛණ්ඩව කරමින් මනා සුපරීක්ෂණයක් සහිතව වෙළෙඳ කටයුතු සිදු විය යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එළවළු පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොග රැගෙන දිස්ත්‍රික්ක අතර ගමන් කරන ලොරි රථ සඳහා ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවේ. කටුනායක ආයෝජන කලාපයේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට සියලු පියවර ගෙන තිබේ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter