නවතම පුවත්

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගම (ETI ) මූල්‍ය නීති රැසක් කඩ කර ඇතැයි ජනමාධ්‍ය ඇමැති සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි.

මේ නිසා එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමේ සිදු වී ඇතැයි පැවසෙන මූල්‍යමය හා දේපළ ගනුදෙනු පිළිබඳ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනමින් නීතිමය පියවර ගැනීම

 නීතිපතිවරයාට යොමු කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

එසේම, අධිකරණ අැමැතිවරයා මඟින් එම කොමිෂන් සභා වාර්තාව හා ඒ අනුව ගනු ලබන පියවරයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ද කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිවූ බව ඊයේ (13) රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ජනමාධ්‍ය ඇමැති සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

 
අදාළ කරුණු කෙරෙහි අැමැති මණ්ඩලයේ අවධානය යොමු කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා 3ක් ඉදිරිපත් කර ඇත.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමේ සිදු වී ඇති මූල්‍යමය හා දේපොළ ගනුදෙනු පිළිබඳ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඉහත කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනමින් නීතිමය පියවර ගැනීම පිණිස නීතිපතිවරයාට යොමු කිරීම, මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය සඳහා ඇති දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කර මූල්‍ය සමාගම් නියාමනය සඳහා නව ආයතනික ව්‍යුහයක් සකස් කරන ලෙස මුදල් අමාත්‍යාංශයට දැනුම් දීම, අධිකරණ අැමැතිතුමා මඟින් එම කොමිෂන් සභා වාර්තාව හා ඒ අනුව ගනු ලබන පියවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම එම යෝජනා අතර වෙයි.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගම සම්බන්ධයෙන් සිදු වූයේ යැයි කියන වැරදි ක්‍රියා, අක්‍රමිකතා, අයථා ක්‍රියා, විමර්ෂණය කිරීම, පරීක්ෂා කිරීම හා වාර්තා කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිසමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020-01-09 දින පත් කරන ලදී. එම කොමිෂන් සභාව සිය නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුළත් වාර්තාව 2020-10-06 වැනි දින ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කැර ඇත. එකී කොමිෂන් සභාවේ නිරීක්ෂණ සහ නිර්දේශ මඟින් සමාගම් නීතිය, මූල්‍ය සමාගම් පිළිබඳ නීතිය, මුදල් විශුද්ධිකරණ පනත, මූල්‍ය තොරතුරු වාර්තා කිරීමේ පනත, ඉඩම් විදේශිකයන්ට පැවරීමේ නීතිමය රාමුව මෙන්ම, දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන වැරදි රාශියක් සිදු වී ඇති බවට පෙන්වා දී ඇත. එසේම, මූල්‍ය සමාගම් අධීක්ෂණය හා නියාමනය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව ද එකී කොමිෂන් සභා වාර්තාව මඟින් පෙන්වා දී ඇත.

බුද්ධිකා ඉඹුලාන-සිතාරා සේනානි

ටවර් හෝල් නාට්‍ය හා රංගකලා පාසලේ සිසුන්ට ලබා දෙන රුපියල් දෙදහසක්වන මාසික ශිෂ්‍යත්ව අරමුදල රුපියල් තුන්දහස දක්වා වැඩිකිරීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 13 දින උපදෙස් දුන්නේය.

ටවර් හෝල් රඟහල පදනමේ 296 වැනි භාරකාර මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති අවස්ථාවේ මෙම තීරණයට එළැඹිණි.

මෙයට අමතරව ටවර් හෝල් නාට්‍ය හා රංගකලා පාසලේ වාර්ෂිකව විශිෂ්ට දක්ෂතා දක්වන සිසුන්ට ලබා දෙන රුපියල් 5000ක මුදල් ත්‍යාගය රුපියල් 10000ක් දක්වා ඉහළ දැමීමට ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා උපදෙස් දුන්නේය.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කළේය.

ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා එම යෝජනාවට අදාළ පත්‍රිකාව ඉදිරිපත් කරමින් දුරබැහැර පළාත්වල සිට පැමිණෙන නාට්‍ය හා රංගකලා පාසලේ සිසුන් පසුගිය කාලය පුරාවට විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කර ඇති බවත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඒ ශ්‍රේණියේ පාඨමාලා සහතිකය ඊට හිමිව ඇති බවත් අග්‍රාමාත්‍යතුමාට පෙන්වා දුන්නේය.

කලාකරුවන්ට රජයෙන් ලබාදෙන නිවාස පසුකාලීනව විකිණීමෙන් කලාපුරය වැනි ස්ථානවල තිබෙන වැදගත්කම හීන වී යනබව පැවැසූ අග්‍රාමාත්‍යතුමා එසේ රජයෙන් කලාකරුවන්ට ලබාදුන් නිවාස විකුණන්නේ නම් ඒවා නැවත රජයට පවරාගැනීම පිළිබඳව අවධානය යොමු කරන්නැයි පැවසීය.

ඊට අමතරව කලාපුරයේ දැනට සංවර්ධනය නොකළ රජයට අයත් භූමියේ කලාකරුවන් වෙනුවෙන් නිවාස සංකීර්ණයක් ඉදිකළ හැකිබව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා පෙන්වා දුන් අතර ඊට අදාළ සොයා බැලීම් කරන්නැයිද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවැසීය.

අනුරාධපුරය, නුවරඑළිය, මොනරාගල සහ යාපනය ප්‍රදේශවල කලාකරුවන් වෙනුවෙන්ම වෙන්වූ නව නිවාඩු නිකේතන ඉදිකිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා අවශ්‍ය භූමිය වෙන්කරගැනීමේ කටයුතු සොයා බලන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක හා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්වරුන්ට දැනුම් දුන්නේය.

ටවර් හෝල් රඟහල පදනම සහ කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේ අනොන්‍ය අවබෝධතාවය අනුව පාඨමාලා සහ නාට්‍ය උළෙලක් පැවැත්වීමට අග්‍රාමාත්‍යතුමාගේ අනුමැතිය මෙහිදී හිමිවිය.
නාට්‍ය හා රංගකලා පාසලේ දක්ෂතා දක්වන දරුවන්ට විදේශ ශිෂ්‍යත්ව පිරිනැමීම පිළිබඳව අවධානය යොමු කරමින්, ඉන්දියාව, රුසියාව ඇතුළු නාට්‍ය කලාව සම්බන්ධයෙන් විදෙස් ශිෂ්‍යත්ව පිරිනැමිය හැකි විශිෂ්ට පාඨමාලා පවතින රටවල් සම්බන්ධයෙන් සොයා බලා ඔවුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමට ද මෙම රැස්වීමේදී තීරණය විය.

කලාකරුවන්ට ලබාදෙන හදිසි අනතුරු රක්ෂණ මුදල් පිරිනැමීමේදී වේදිකා නාට්‍ය කලාකරුවන්ට පුමුඛත්වය දෙමින් මුල් අදියරේදී එම මුදල් පිරිනැමීම ආරම්භ කිරීමට මෙම හමුවේදී තීන්දු විය.

මෙම අවස්ථාවට අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමිය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.ටී.කොඩිකාර, ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන, පාලන හා සංවර්ධන අධ්‍යක්ෂ නිපුන දිසානායක, වැඩබලන සංස්කෘතික අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ, මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා කුලෝජා පීරිස්, ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, හෂීම් ඕමාර් මහත්ම මහත්මීන් ඇතුළු ටවර් හෝල් පදනමේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

කොවිඩ් වසංගත සමයේ සදාචාරාත්මක මාධ්‍ය වාර්තාකරණයෙහි ඇති වැදගත්කම සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමටත්, කරුණු සංවාදයට ලක්කිරීම තුළින් පොදු එකගතාවයකට පැමිණීම උදෙසා අද දින (12) ජනමාධ්‍ය අමාත්‍යංශයේදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය ආයතන වල ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදී වර්තමාන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මාධ්‍ය වල කාර්යභාරය ඇගයීමට ලක්කළ ජනමාධ්‍ය ඇමතිතුමා කියා සිටියේ ඇතැම් මාධ්‍ය විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව පෞදිගලිකව පුද්ගලයන් අපහසුතාවයට ලක්වන අයුරින් වාර්තා වීමක් සිදුවී ඇති බවත්, මාධ්‍ය විසින් පුද්ගලයාගේ පෞද්ගලිකත්වය සහ කිසියම් රෝගයක් පිළිබදව වාර්තා කිරීමේදී යම්කිසි සීමාවකට යටත්ව වාර්තා කිරීමට වගබලාගත යුතු බවයි.


මෙවැනි කරුණු සම්බන්ධව සහ ඉදිරියේදී මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධව කිසියම් මාර්ගෝපදේශයක් ඉක්මණින් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

මෙම අවස්ථාව සදහා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතාද සහභාගී වූ අතර සිය කරුණු දැක්වීම තුළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ, කොවිඩ් සම්බන්ධව තහවුරු නොකරන ලද කිසිදු පුවතක් ප්‍රධාන ධාරාවේ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය වල පළ නොවූ බවත්, දේහයන් ආදාහනය කිරීම් මුල් අවදියේ මාධ්‍ය වල විකාශය කළද මාර්ගෝපදේශ ලබාදුන් පසු ඒවා නොපෙන්වූ බැවින් ලබාදෙන උපදෙස් සම්බන්ධයෙන් මාධ්‍යයන් අනුගත වන බවයි.


සිදුවීම් දෙකක් සම්බන්ධව යම් යම් මාධ්‍යයන් විසින් කිසියම් අපගමනයක් වී ඇති අතර තමා ඒ සම්බන්ධව ලිපියක් නිකුත් කළ බවද, එලෙස අපගමනයන් වූ අවස්ථා වලදී සමාජයෙන් මාධ්‍යයන්ට විරුදිධව විශාල හඩක් නැගී ආ හැකි බැවින් එළෙස මාධ්‍ය අපගමනයන් සිදුනොවීමට වගබලාගත යුතු බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා වැඩිදුරටත් පැවසුවේය.

මෙහිදී මාධ්‍ය වල ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සදහා කරුණු සංවාදයට ලක්කිරීමට අවස්ථාව හිමිවූ අතර එහිදී ඇතැම් වැදගත් සිදුවීම් ප්‍රථමයෙන් තහවුරු කර ලබාගැනීම සම්බන්ධවද කතිකාවක් ඇතිවිය. ඒ පිළිබදව ජනමාධ්‍ය ඇමතිතුමන් මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ජගත් පී විජේවීර මහතා පැවසුවේ,  ඇදිරිනීතිය පැනවීම ආදී ඇතැම් වැදගත් පුවත් ජනපති මාධ්‍ය ඒකකය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව ඉක්මණින් මාධ්‍යයන් වෙත ලබාදීමට වැඩපිළිවෙලක් සකසන බවත් එමගින් මූලාශ්‍ර කිහිපයක් හඹා ගොස් ප්‍රවෘත්තිය ලබාගැනීමට මාධ්‍යයට වෙහෙස නොවිය යුතු අතර, තහවුරු කරන ලද පුවත ඉක්මණින් ලබාගත හැකි වනු ඇති බවය.

  • ශ්‍රී ලංකාව සමග සබඳතා ජනපති ෂී ගේ ප්‍රමුඛතාවක් ….
  • ජගත් වේදිකාවල ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිනවා …
  • වරාය නගර ව්‍යාපෘතිය නිම කිරීම කඩිනමින් …

චීනයට සමාන සංවර්ධනයක් මව්බිමට උදා කිරීම මගේ ඉලක්කය.
                                                                           ජනපති රාජපක්ෂ කියයි.

  • වෙළෙඳ හිඟය අඩු කිරීමට සහාය වෙන්න …

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව උදව් කරන බවට දැන් දිවයිනට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහතික වෙයි.

චීන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා දැනටමත් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතී. මේ මිත්‍රත්වය පවත්වා ගැනීමත්, වර්ධනය කර ගැනීමත් චීන ජනාධිපති ෂී ජිං පින් මැතිතුමාගේ ප්‍රමුඛතාවකි. චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඇතුළු අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටින බව ද චීන දූත පිරිසේ ප්‍රධානියා කියා සිටී.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ කාර්යාල අධ්‍යක්ෂ යං ජියෙෂි මහතා (Yang Jiechi) ප්‍රමුඛ සත් පුද්ගල දූත පිරිස අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රාජපක්ෂ මැතිතුමා හමු වූහ.

දිගු කලක සිට චීන විදේශ අමාත්‍යාංශයේ විවිධ තනතුරුවල සේවය කළ යං ජියෙෂි මහතා  2001-2005 කාලයේ අමෙරිකා එක්සත් ජනපදයේ චීන තානාපති ධූරයත්, 2007- 2013 කාලයේ විදේශ අමාත්‍ය ධූරයත් හෙබවීය. චීන පාලන තන්ත්‍රය තුළ ඔහු උප අගමැතිවරයෙකු ( Vice Premier) හා සමානය.

පසුගිය මහා මැතිවරණයේ දී අත්කරගත් විශිෂ්ඨ ජයග්‍රහණය පිළිබඳව ෂී ජින් පිං මැතිතුමාගේ සුබ පැතුම් රාජපක්ෂ මැතිතුමා වෙත පුද කළ යං මහතා තමා වසර 35කට පෙර භාෂා පරිවර්තකයෙකු ලෙස චීන දූත පිරිසක් සමග ශ්‍රී ලංකාවට පැමිණි බව සිහිපත් කළේය. රටවල් 04ක් ඇතුළත් සිය ආසියානු චාරිකාවේ ප්‍රථම රට ශ්‍රී ලංකාව බව සඳහන් කළ ඔහු චීන ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් දී ඇතැයි පැවසීය.

චීන – ශ්‍රී ලංකා සබඳතාවල වත්මන් අවධිය ගැන සතුට පළ කරමින් සංවාදය ආරම්භ කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා චීනය බලයේ සිටින ආණ්ඩු ගැන වෙනසක් නැතිව ශ්‍රී ලංකාවට උපකාර කළ දිගුකාලීන මිතුරෙකැයි හැඳින්වීය. ත්‍රස්තවාදය පරාජය කිරීමට චීනයෙන් ඉමහත් සහයෝගයක් ලැබිණ. යුද්ධය අවසන් වීමෙන් පසු ද්විපාර්ශ්වික සබඳතා තවත් ඉහළ මට්ටමකට ළඟා විය.  දිවයිනේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීනයෙන් ලැබුණු දායකත්වය එතුමා විසින් විශේෂයෙන් සිහිපත් කරනු ලැබීය.

“මහ පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට චීනය දායක වුණා. හම්බන්තොට වරාය, වරාය නගර ව්‍යාපෘතිය, දක්ෂිණ අධිවේගී මාර්ගය ඉන් කිහිපයක්. හම්බන්තොට වරායක් ඉදිකිරීම චීනයේ නොව ශ්‍රී ලංකාවේ අදහසක්. එය ඉහළ ආදායම් සහ රැකියා උත්පාදන විභවතාවක් සහිත ව්‍යාපෘතියක් බව අප තේරුම් ගත්තා.  ඊට අරමුදල් සම්පාදනය කිරීමට චීනය ඉදිරිපත් වුණා. බොහෝ භූ දේශපාලන විශ්ලේෂණවල මේ ව්‍යාපෘති අර්ථ කතනය කරන්නේ ශ්‍රී ලංකාව චීනය ඇටවූ ‘ණය උගුලක’ සිරවීමක් ලෙස. එය එසේ නොවන බවත්, මේ මහා පරිමාණ ව්‍යාපෘති ජනතාවගේ ජිවන මට්ටම වර්ධනය කිරිමට ඉවහල් වන බවත්, සනාථ කරන්න මට අවශ්‍යයයි. ඒ සඳහා අපට උදව් කරන්න”, ජනාධිපතිතුමා චීන දූත පිරිසට පැවසීය.

ජනාධිපති ධූරයට පැමිණීමට පෙර 13 වරක් චීනයේ චාරිකා කළ තමාට චීනය අත්කරගෙන ඇති සංවර්ධනය ප්‍රගතිය සියැසින් දැකගැනීමට හැකි විණැයි ජනාධිපතිතුමා කීය. “ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල විශාල සංවර්ධනයක් මා දුටුවා. මගේ ඉලක්කය ඊට සමාන සංවර්ධනයක් අපේ රටේ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ඇති කරන්න;  ග්‍රාමීය ජනතාවගේ ජීවන මට්ටම දියුණු කරන්න. ඉදිරි සිව් වසර ඇතුළත වරාය නගර ව්‍යාපෘතියේ දෘශ්‍යමාන ප්‍රගතියක් දකින්න මම අපේක්ෂා කරනවා”, ජනාධිපතිතුමා අවධාරණය කළේය.

චීනය සමග වෙළෙඳාමේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය විශාල අගයක් ගන්නා බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එය අඩුකරනු පිණිස ශ්‍රී ලංකාවෙන් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය වැඩි කරන්නැයි දූත පිරිසේ නායකයාගෙන් ඉල්ලීමක් කළේය.

“ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය ශක්තිමත්. ඔවුන් විවිධ භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඒ සඳහා චීන වෙළෙඳපොළ විවෘත කරන්න. ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන මෙන් චීන ව්‍යාපාරිකයින් දිරිමත් කරන්න. ශ්‍රී  ලංකාවේ සංචාරය සදහා චීන වැසියන් උනන්දු කරවන්න. ශ්‍රී ලංකාවේ තේ වෙන්දීසියට සහභාගිවීමට චීනයට හැකිනම් එය ආර්ථික ස්ථාවරත්වයට විශාල ශක්තියක්”, ජනාධිපතිතුමා පැවසීය. උසස් පෙළ සමත්වන ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට විවෘතව ඇති උසස් අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා සීමාසහිත බව පැහැදිළි කළ ජනාධිපතිතුමා ඔවුන් උදෙසා තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීම චීනයට ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ හැකි ක්ෂේත්‍රයක් ලෙස හඳුන්වා දුන්නේය.

ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත සංවර්ධන අරමුණු සපුරා ගැනීමට වචනයෙන් නොව ක්‍රියාවෙන්ම උදව් කිරීමට චීනය සුදානම් යැයි යං ජියෙෂි මහතා පැවසීය.

ශ්‍රි ලංකාව සමග බහුපාර්ශ්වික සහයෝගිතා වර්ධනයට සුදුසු ක්ෂේත්‍ර ගණනාවක් චීනය හඳුනාගෙන ඇත. දැනටමත් ආරම්භ කර ඇති මහා පරිමාණ ව්‍යාපෘති නිම කිරීමට අමරතව කෘෂිකර්මය, අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය, ජල සම්පාදනය, සෞඛ්‍යය, වෛද්‍ය සැපයුම්, නූතන තාක්ෂණය, ඩිජිටල් ආර්ථිකය, නිල් ආර්ථිකය ( Blue Economy) සහ ශ්‍රමික පුහුණුව ඉන් කිහිපයකි. චීන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා යළි පටන් ගැනීමටත්, හම්බන්තොට කර්මාන්තපුර යෝජනා ක්‍රමය ඉක්මණින් නිම කිරීමටත් සැලසුම් කර ඇතැයි ද චීන දූත පිරිසේ ප්‍රධානියා පැවසීය.

කොවිඩ් 19 උවදුර සාර්ථක ලෙස පාලනය කළ පසු ජනාධිපති රාජපක්ෂ මැතිතුමා නිල චාරිකාවක් සඳහා චීනයට එනු ඇතැයි ඉමහත් බලාපොරොත්තුවෙන් සිටින බවද යං ජියේෂි මහතා සඳහන් කළේය.

චීන අන්තර්ජාතික සහයෝගීතා සංවර්ධන අධ්‍යක්ෂ වෑං ෂියාඕ තාවෝ, චීන විදේශ අමාත්‍යාංශයේ සහාය අමාත්‍ය ඩෙං ලි, කොළඹ චීන තානාපති කාර්යාලයේ ප්‍රධානී හූ වෙයි, චීන විදේශ අමාත්‍යාංශයේ ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චෙං සොං, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, චීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කරනු ලැබ සිටින ආචාර්ය පාලිත කොහොන යන මහත්වරු  සාකච්ඡාවට එක්ව සිටියහ.

කොවිඩ් 19 මර්දනය සඳහා සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් හා නිර්දේශ අනුව මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණිමේදීත් කාර්යාලය තුළ අවම නිලධාරීන් පිරිසක් සේවා සැපයීමේදීත් සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙන තැපෑල සහ දුරකථන ඔස්සේ කෙරෙන මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට සූදානම් කර තිබේ.

ඒ අනුව ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය, ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදලට පහත අංක ඔස්සේ සම්බන්ධ වීමට පිළිවන.

ජනාධිපති මහජන සම්බන්ධතා අංශය –    0114354550/ 0112354550
Fax 011 2348855

ඔම්බුඩ්ස්මන් කාර්යාලය                    –    0112338073

ජනාධිපති අරමුදල                             –    0112354354
(දිගුව  4800/ 4814 / 4815 / 4818)
Fax 011 2331243

සාගර විශ්වවිද්‍යාලයේ ධීවර, සමුද්‍රීය හා නාවික ඉංජිනේරු ක්ෂේත්‍රවල වෘත්තීය හා අධ්‍යාපන අවස්ථා පුළුල් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට ඊයේ (08) උපදෙස් දුන්නේය.

සාගර විශ්වවිද්‍යාලයේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයට අදාළව අරලියගහ මන්දිරයේ පැවැති හමුවකදී රාජපක්ෂ මහතා මෙම උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය හම්බන්තොට දිස්ත්‍රික්කයේ කලමැටියාන ප්‍රදේශයේ ස්ථාපිත කොට, සංවර්ධනය කිරීමට උපදෙස් දුන් අගමැතිවරයා, එහි තාක්ෂණික පීඨය දැනට පවත්වාගෙන යන මට්ටක්කුලිය ප්‍රදේශයේ එම භූමිය කේන්ද්‍ර කර ගනිමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නැයි අවධාරණය කළේය.

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කළ අතර ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය ලෙස පැවැති එය 2014 අංක 31 දරන පනත මඟින් නිල වශයෙන් විශ්වවිද්‍යාලයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

ඊට සමඟාමීව කලමැටියාන ප්‍රදේශයේ භූමියක් ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය ඉදි කිරීම වෙනුවෙන් තමන් ධීවර ඇමතිවරයාව සිටි සමයේ ලබා දුන්නද, පසුගිය ආණ්ඩුවල ධීවර අමාත්‍යවරුන් විසින් සාගර විශ්වවිද්‍යාලය ඔවුන්ගේ බල ප්‍රදේශවලට ගෙන යාමට උත්සහ කිරීමෙන් එහි සංවර්ධනය මුළුමනින්ම ඇණ හිටි බව අගමැතිවරයා මෙහිදී පැවැසීය. උපාධි පාඨමාලා සහ වෘත්තීය පුහුණු පාඨමාලා පවත්වාගෙන යාමට විද්‍යාගාර, දේශන ශාලා, වැඩහල්, ක්‍රීඩාගාර, මෙන්ම මානව සම්පත්වල අවශ්‍යතාව ඇති බව සාගර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නලින් රත්නායක මහතා මෙහිදී අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.

සීමිත ඉඩ පහසුකම් යටතේ පවත්වාගෙන යන වෘත්තීය හා උපාධි පාඨමාලා පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා එම දුෂ්කරතා අවම කිරීම සඳහා වහාම පියවර ගන්නැයි අදාළ අමාත්‍යවරුන් ඇතුළු බලධාරීන්ට උපදෙස් දුන්නේය.

රජයේ නව දැක්ම යටතේ ධීවර, සමුද්‍රීය කටයුතු, නාවික ඉංජිනේරු හා නාවික විද්‍යා ක්ෂේත්‍රයේ නිපුණ ශ්‍රමිකයන් සහ වෘත්තිකයන් දේශීය සහ විදේශීය වෙළෙඳපොළට සැපයීම ඉලක්ක කර ගත යුතු යැයි අගමැති රාජපක්ෂ මහතා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේය. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජී.එල්.පීරිස්, රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (නීති) ගනේෂ් ධර්මවර්ධන, නිපුනතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද මහත්ම මහත්මීහූ ඇතුළු සාගර විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිති සාමාජිකයෝ පිරිසක් එක්ව සිටියහ.

ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිත සහතිකයක් ඇති පුහුණු ශ්‍රමිකයන්  විදේශ රැකියා ක්ෂේත්‍රයට යොමු කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් සහ විධිමත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.

එමගින් රටට මෙන්ම ශ්‍රමිකයින්ට ද ඉහළ ප්‍රතිලාභ අත්කරගත හැකි අතර රැකියා සුරක්ෂිතතාව තහවුරුවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

පුහුණු ශ්‍රමිකයින් සඳහා ලෝක රැකියා වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතී. කොරියාව, ජපානය වැනි රටවල රැකියා වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිතුමා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ වෘත්තීය පුහුණු අධිකාරිය ඒකාබද්ධව සැලසුම් සකස් කරන්නැයි උපදෙස් දුන්නේය. පෝලන්තය, රුමේනියාව වැනි නැගෙනහිර යුරෝපීය රටවල රැකියා වෙළෙඳ පොළ දැන් ශ්‍රී ලංකාවට විවෘතව පවතී. ඊට සරිලන ශ්‍රම බලකායක් නිර්මාණය කළයුතු යයි ජනාධිපතිතුමා පැවසීය.

උපාධිධාරීන් සඳහා ඇති විදේශ රැකියා  අවස්ථා හඳුනාගැනිමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. මේ දක්වා ඒ පිළිබඳ නිසි අවධානය යොමු වී නැත. කලා උපාධිධාරීන්ට වුවද මේ අවස්ථා හිමිකරගත හැකි බව ජනාධිපතිතුමා පැවසීය.

රැකියා සඳහා විගමනය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයෙහි ප්‍රධාන සංරචකයක් වන අතර ශ්‍රී ලංකාවේ සමස්ත විගමනික ප්‍රජාව මිලියන 1.2කි. වාර්ෂිකව ලක්ෂ 02 ක් පමණ විදේශ රැකියා සඳහා යන අතර කොවිඩ් වසංගතය නිසා මේ වසරේ  එම පිරිස 40,000කට සීමාවී ඇති බවද මෙහිදී අනාවරණය කෙරිණ. කොවිඩ් 19 වසංගතයට සාර්ථකව මුහුණ දෙමින් පිටරට ගුවන් තොටුපල හා ගුවන් අවකාශය විවෘත කළ වහාම  පුහුණු ශ්‍රමිකයන් වැඩි සංඛ්‍යාවක් පිටරටවල සේවයට යොමු කිරිම සඳහා මෙම කාලය තුළදී ඔවුන්ට භාෂා දැනුම ලබාදීම හා පුහුණු කිරීම පුළුල් කර විදේශ ශ්‍රම වෙළෙඳපොළ සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින්ගේ සංචිතයක් ස්ථාපනය  උදෙසා දැනටමත් පුහුණු මධ්‍යස්ථානයක 17 ක පංති ආරම්භ කර ඇතැයි  සඳහන් කෙරිණ.

රැකියා ගිවිසුම් අවසන් වුවද කොවිඩ් 19 නිසා සියරට පැමිණිය නොහැකිව සිටින ශ්‍රමිකයන්ගේ රැකියා ගිවිසුම් දීර්ඝ කිරීම සඳහා අදාළ ආයතන සහ අංශ සමග සාකච්ඡා කරන ලෙස ද ජනාධිපතිතුමා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් දුන්නේය.

විදේශ ශ්‍රමිකයින් උපයන විනිමය රටට ගෙන්වා ගැනීමට රාජ්‍ය බැංකු, ශ්‍රමිකයාගේ පැත්තේ සිට කටයුතු කළ යුතුය. වඩා ආකර්ශණිය සහ නිර්මාණශිලී වැඩසටහන් හඳුන්වාදීම මගින් එය ප්‍රවර්ධනය කළ හැකි බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසීල් රාජපක්ෂ මහතා කීය. විදේශගත ශ්‍රමිකයින් සියරට එවන විදේශ විනිමය ඔවුන්ගේ නිවසටම ගෙන ගොස් භාරදීමේ යාන්ත්‍රණයක් රාජ්‍ය බැංකු මගින් ක්‍රියාත්මක කළ හැකි බව පැවසූ බැසිල් රාජපක්ෂ මහතා එමගින් ඔන්ඩියල් වැනි අවිධිමත් ලෙස සිදුවන මුදල් සංසරණය වළක්වා ගත හැකි බව පෙන්වා දුන්නේය.

ශ්‍රමිකයින් විදෙස්ගත කරන රැකියා නියෝජිතායතන වඩාත් වගකීමෙන් කටයුතු කළයුතුය. ශ්‍රමිකයන්ට විදේශන්හි දී සිදුවන හිරිහැරවලදි මේ ආයතනවල මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බවට චෝදනා ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. ශ්‍රමිකයින් විදේශගත කිරීමේ ප්‍රමුඛ අපේක්ෂාව  විදේශ විනිමය ඉපැයීම නොව ඔවුන්ට යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීම බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛීය ආයතන ප්‍රධානීහූ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

හෙට (06) රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති බවට  සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතින සාවද්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජනතාව දැනුවත් කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යොමුකරන විශේෂ නිවේදන විද්‍යුත් හා සහ මුද්‍රිත මාධ්‍ය මගින් පමණක් පළ කරන බව දන්වා සිටී.

පණිවුඩය

රටේ අනාගත වත්කම අපේ දරු පරපුරයි. ඔවුන් දැනුමෙන් පෝෂණය කොට කුසලතා වර්ධනය සඳහා අවස්ථාව සලසා දීම සමස්ත සමාජයේම වගකීම වන්නේය. දරුවන්ගේ කායික මානසික පෝෂණය මෙන්ම යහපැවැත්ම තහවුරු කිරීම ප‍්‍රමුඛ කාලීන අවශ්‍යතාවකි.
රටක් ජාතික හෝ ජාත්‍යන්තර සංවර්ධන නිර්නායක කොපමණ දුරට ළඟා කර ගත්ත ද සමාජය මානව දායව බඳු යහ ගුණ පිරි මනුෂ්‍යයන්ගෙන් තොර නම් එය පතිරූප දේශයකැයි මම විශ්වාස නොකරමි. එවන් රටක් ගොඩනැගීමට අපි සියලු දෙනා ගුණ නැණ මෙන්ම ශිල්පීය වශයෙන් ද භාෂාමය ඥානයෙන් ද දරු පරපුර සන්නද්ධ කළ යුතුය.
භෞතික සහ මානසික ද්‍රරිද්‍රතාව දුරු කළ පුරවැසියන් වාසය කරන රටක් ගොඩනැගීම මගේ ඒකායන අපේක්ෂාවයි. එබඳු රටක දරුවන් සතුටින්, සැනසීමෙන්, සුවයෙන් වාසය කරනු නියතය. ඒ නියතය අත්දකින අත්විඳින පරපුරක් ගොඩනැගීමට ඔබේ දරුවාගේ ළමා කාලය ඔබ කල්පනාකාරීව මෙහෙයවනු ඇතැයි මම සිතමි. මෙවර ලෝක ළමා දින තේමාව වන ”අපේ රට – අපේ දෑතින්” යන්න යථාර්ථයක් කර ගත හැක්කේ එවිටය.

ගෝඨාභය රාජපක්ෂ
2020 සැප්තැම්බර් මස 30 වන දින

ස්වභාවික සම්පත් රැක ගැනීමට සහ තිරසාර කළමනාකරණයට ශ්‍රි ලංකා රජය කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ හමුවක් අමතමින් කියා සිටී.

යුනෙස්කෝව ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරය හා සිංහරාජ වැසි වනාන්තරය ස්වභාවික උරුමයන් ලෙස නම් කර ඇත. තවත් ස්ථාන 06ක් තෙත් භූමි පිළිබඳ “රම්සාර් ප්‍රඥප්තියෙන්” පිළිගෙන තිබේ. අද්විතීය සහ සාරවත් ජෛව විවිධත්වයකට දායක වන  මේ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරිමේ භාරකරු ලෙස වගකීමෙන් ක්‍රියා කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසිවාරයට සමගාමීව, නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කොන්ද්‍ර කොටගෙන සංවිධාන කළ ජෛව විවිධත්වය පිළිබඳ රාජ්‍ය නායක සමුළුව වීඩියෝ තාක්ෂණය භාවිතයෙන්  ශ්‍රී ලංකා වේලාවෙන් අද (30) රාත්‍රී 7.30 ට අමතමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

“තිරසාර සංවර්ධනය සඳහා ජෛව විවිධත්වය පිළිබඳ  ඉක්මන් ක්‍රියාමාර්ග” සමුළුවේ තේමාවයි. මහා මණ්ඩල සැසිවාරයේ සභාපති වොල්කන් බොස්කීර් මහතා  ප්‍රථම දේශනය  කළේය.

ජෛව විවිධත්වය පරිහානියට යාමෙන් මානව වර්ගයා මුහුණ දෙන විපත් සහ තිරසාර සංවර්ධනය අත්කර ගැනිමට ජෛව විවිධත්වය පිළිබඳ කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව සමුළුව අවධාරණය කරයි. 2021 දී පැවැත්වෙන ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 15 වන සමුළුවේදී සම්මත කර ගැනීමට නියමිත, 2020 පශ්චාත් ගෝලීය ජෛව විවිධත්ව රාමුව වැඩිදියුණු කර ගැනීම සඳහා  අදහස් හුවමාරු කර ගැනීමට ලෝක නායකයන්ට අවස්ථාව සලසා  තිබේ.

2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයේ හරය විය යුත්තේ ජෛව විවිධත්වය පිළිබඳ සංකල්පය බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. මෑත දශක කිහිපය තුළ ගෝලීය ජෛව විවිධත්වයේ ඇති වූ සීග්‍ර පරිහානිය මධ්‍යයේ වුවද ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතියේ විස්තීර්ණ ජීව ගුණය රැක ගැනීමට ශ්‍රී ලංකාව දැඩිව කැපවන බවද ජනාධිපතිතුමා පැවසීය. සොබා දහම සහ මිනිසුන් අතර සබඳතාවය සහ සමකාලීන ගෝලීය පාරිසරික පාලනය අතර පරිවර්තනීය වෙනසක් සිදු කිරීමේ තීරණාත්මක අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය ‘නිල් ප්‍රඥප්තිය’ 2018 දී පිළි ගත්තේය. ඒ අනුව කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලීය ‘නිල් ප්‍රඥප්තියේ’ ක්‍රියාකාරී කණ්ඩායමට නායකත්වය සැපයේ. තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනය පසුගිය වසරේදි සම්මත විය. ලෝක නායකයන් වශයෙන් මානව වර්ගයාගේ තිරසාර පැවැත්ම තහවුරු කරමින් වඩා ප්‍රශස්ත අයුරින් නයිට්‍රජන් කළමනාකරණය කළයුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

“පාලකයා කිසිවිටෙකත් දේශයේ හිමිකරු නොව හුදෙක් තම රටවැසියන් සහ සියලුම ජීවීන් වෙනුවෙන් එහි භාරකරු පමණක්ය” යන සංකල්පය මත ශ්‍රී ලංකාවේ පුරාණ පාලන ක්‍රමය ගොඩනැගී තිබිණ.  සංවර්ධන න්‍යාය පත්‍රය තුළ තම රජය අනුගමනය කරනුයේ එම මූලධර්මය බව ජනාධිපතිතුමා පැවසීය. පෘථිවියෙහි සහ එහි සම්පත්වල හුදු භාරකරුවන් වශයෙන් හැකි උපරිමයෙන් තම ආරක්ෂාව යටතේ ඇති දෑ රැක ගනිමින් අනාගත පරපුරට භාරදීමට අධිෂ්ඨාන කරගතයුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

අන්තර්ජාතික තැපැල් සේවා දෙස අවධානය යොමු කර, සැපයිය හැකි පුළුල් සේවා අවස්ථා හඳුනාගතහොත් ශ්‍රී ලංකා තැපෑලට ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙකු විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා තැපෑල සතු විශාල සම්පත් සම්භාරය නිසි ලෙස කළමනාකරණයෙන් ඉලක්කය වෙත පහසුවෙන් ළගාවිය හැකියැයි ද ජනාධිපතිතුමා කියා සිටී.

තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

වාර්ෂිකව තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 08කට අධික ආදායමක් උපයයි.  වියදම රුපියල් බිලියන 14කි. වැටුප් සහ අතිකාල දීමනා ඇතුළු සෙසු පිරිවැය නිසා රුපියල් බිලියන 06ක පාඩුවක් වාර්ෂිකව සිදුවන බව අනාවරණය විය. නව සේවා හඳුන්වාදෙමින් ඉහළ තාක්ෂණික ක්‍රම උපයෝගි කර ගැනීමෙන් තැපෑල ලාබ ලබන තත්වයට පත් කිරීමට ඇති ඉඩ කඩ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

දිවයිනේ දිස්ත්‍රික්ක රැසක පිහිටි පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිලි සංචාරක අමාත්‍යාංශයේ ද සහය ඇතිව සංචාරක ආකර්ශණය දිනාගත හැකි ස්ථාන බවට පත් කිරීමට පිළිවන. කොළඹ කොටුවේ පිහිටි පැරණි මධ්‍යම තැපැල් ගොඩනැගිල්ල පෞරාණික බව රැක ගනිමින් නවීකරණයට තීරණය කෙරිණ.

කොවිඩ් වසංගතය නිසා රට වසා දමා තිබූ සමයේ රෝහල් සහ ඔසු සල් වෙතින් ඖෂධ වර්ග නිවෙස් වෙතම බෙදා හැරීමට තැපැල් දෙපාර්තමේන්තුව කළ සේවය ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක් විය.

Speed  Post සේවය තවදුරටත් වේගවත් කිරීමෙන් සේවාලාභීන් විශාල පිරිසකගේ අවධානය දිනාගත හැකි බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

මැණික් අපනයනයේ දී භාණ්ඩ බෙදාහරින පෞද්ගලික ආයතනවල සේවය වැඩි මිලකට ලබා ගැනීමට ව්‍යාපාරිකයෝ පෙළඹී සිටිති.  ශ්‍රී ලංකා තැපෑල සතුව ගෙන් ගෙට ගොස් බෙදා හැරිමේ ක්‍රමයක්  (Door to Door Delivery System)  වූයේ නම් ඉහළ ආදායමක් උපයා ගැනීමට ඇති හැකියාව   බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ජනමාධ්‍යවේදින්ගේ වෘත්තීය නිපුණතා වර්ධනයට අභ්‍යාස ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර තිබේ. විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන අනිසි බලපෑම සහ අගතීන් පිළිබඳව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බව අනාවරණය විය. සියලු කරුණු සැලකිල්ලට ගෙන පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ දැඩි අවශ්‍යතාව ද සාකච්ඡා කෙරිණ.

හඬ කවන ලද විදේශ ටෙලි නාට්‍ය විකාශනයේ දී අය කෙරෙන බදු නාළිකාවල ඉල්ලීම මත කොවිඩ් කාලසීමාවේදී ඉවත් කෙරිණ. එය නැවත සක්‍රිය කිරීමට ද තීරණය විය.

 

රූපවාහිනී නාළිකා ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ශ්‍රේණිගත කිරීම කැළනිය විශ්ව විද්‍යාලයේ සහභාගීත්වයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අපක්ෂපාතීව සිදු කිරීමට සැලසුම් කර තිබේ. ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර කඩිනමින් එය ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය ගැන එකඟතාව පළ විය.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය එස්. විලයේන්ද්‍රන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතනවල ප්‍රධානීහූ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter