නවතම පුවත්

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (08) ශ්‍රි ලංකා පදනම් ආයතනයේ සංචාරයක නිරත විය
 
කලාව ,ජනමාධ්‍ය හා සෞන්දර්යය ක්ෂ්ත්‍රෙය් උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා පදනම් ආයතනය නවීන ලෝකයට ගැලපෙන අයුරින් ගොඩනගන බව  ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එහිදී ප්‍රකාශ කළහ
 
මධ්‍යකාලීන ,කෙටිකාලීන හා දිගු කාලීන ලෙස මෙම වැඩපිළිවෙළ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම සමඟ ක්‍රියාවට නන්වන බව ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්විය
 
ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතනයන්හි ප්‍රථම නිරීක්ෂණ චාරිකාව ලෙස අමාත්‍යවරයා පදනම් ආයතනයේ නිරීක්ෂණ සංචාරයට එකතු විය
 
මාධ්‍ය,කලාව සෞන්දර්ය යන විෂය ක්ෂ්ත්‍රයන් සඳහා යම් යම් පාඨමාලා පවත්වමින් විධිමත් අධ්‍යාපන ආයතනයක් බව පදනම් ආයතනය පත් කිරීමට කටයුතු කරන බව ද මෙහිදී ප්‍රකාශ කරන ලදි
 
ජර්මන් පරිත්‍යාගයක් ලෙස මෙරටට හිමි වූ ශ්‍රි ලංකා පදනම් ආයතනයට වසර පනහකට එහා දීර්ඝ ඉතිහාසයක් පවතියි

මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

රජය, ඉදිරි මහ කන්නයේදී මෙරට කෘෂි ඉතිහාසයේ වගා පෙරළියක්  අපේක්ෂා කරයි. අත්හැර දමා තිබූ ඉඩම් ඇතුළුව විශාල භූමි ප්‍රදේශයක දශක ගණනාවකට පසු වී ඇතුළු බෝග රැසක් වගා කිරීමට  ගොවීහු මහත් උනන්දුවෙන් සුදානම්ව සිටිති.

මේ වසරේ ආනයනය කළ පොහොර සඳහා නිසි පරිදි ගෙවීම් කර තිබේ. වතුවලට හා ගොවියාට අවශ්‍ය පොහොර නියමිත ප්‍රමාණයට, කලට වේලාවට  සහ ඉහළ ප්‍රමිතියකින් සපයා දිය යුතු බව  ජනාධිපතිතුමා අවධාරණය කළේය.

පොහාර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

වගා සංග්‍රාමයකට අවශ්‍ය සහය දීමට රජය සැලසුම් කර ඇතැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා කීය.  බාධාවකින් තොරව පොහොර අවශ්‍යතාව සැපයීමට රජයේ සහ පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ට පසුබිම සකසා ඇතැයි ද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ආනයනයට සීමා නොවී දේශීය පොහොර අවශ්‍යතාව රට තුළම නිෂ්පාදනය කළයුතු බව  ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඇතුළු විශ්ව විද්‍යාල කිහිපයක් පර්යේෂණ සිදු කර ඇති බැවින් ප්‍රධාන පොහොර වර්ග කිහිපයක් ඉදිරි තෙවසර තුළ දේශීය වෙළෙඳපොළට සැපයීමට හැකියාව ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා කියා  සිටියේය.

එප්පාවල පෝස්පේට් නිදිය ආශ්‍රිතව Single superphosphate රටට අවශ්‍ය ප්‍රමාණය නිපදවීමේ හැකියාව ඇතැයි පර්යේෂණවලින් නිගමනය කර තිබේ. නැනෝ තාක්ෂණය භාවිතයෙන් නව පොහොර නිෂ්පාදනය පිළිබඳව පර්යේෂණ  කෙරෙමින් පවතී.

පොහොර නිෂ්පාදනය කඩිනමින් අරඹන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. අවශ්‍ය ආයෝජනය කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සැපයේ.

පසුගිය යල කන්නයේ දී හෙක්ටයාර 25,000කට කාබනික පොහොර භාවිත කෙරිණ. ඉන් අපේක්ෂිත අස්වැන්න 30% ඉක්මවා ගිය බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහූ සඳහන් කළහ.  මහ කන්නයේ සමස්ත වගාබිම් ප්‍රමාණයෙන් 25%කට කාබනික පොහොර යොදාගැනීමේ හැකියාව වහාම සොයා බැලීමට ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ. එමගින් රසානික පොහොර භාවිතය මේ වසරේදීම 25%කින් පහත හෙළීමට අපේක්ෂා කෙරේ.

කාබනික පොහොර භාවිතයෙන් ලැබෙන අස්වැන්න සහ සෙසු ප්‍රතිලාභ පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සැකසිමට ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

රසායනික පොහොර මගින් ජලයට හා භූමියට වන හානිය වැළැක්වීමත්, වකුගඩු රෝගයෙන් සහ සෙසු රෝගවලින් ජනතාව මුදා ගැනීමත්, පාරිසරික සමතුලිතතාවය රැක ගැනීමත් “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සහතික වී තිබේ

රසායනික පොහොර සහ කාබනික පොහොර 70% සහ 30% ප්‍රතිශතයට යොදා ගැනීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පැවසීය.

එළවළු ගොවින්ගෙන් ඝෘජුව මිලදී ගෙන එළවළු වර්ග 06කින් යුත් මල්ලක් රුපියල් 350ක මුදලකට කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 10ක අද සාර්ථකව අළෙවි කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඉදිරියේදී ගොවියාත්, පාරිභෝගිකයාත් රැක ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ රේඛීය අමාත්‍යාංශ සමග එක්ව ඝෘජුව පාරිභෝගිකයා වෙත සැපයීම අඛන්ඩව කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීහූ, පොහොර සමාගම් නියෝජිතයෝ සහ වගාකරුවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

මෙතෙක් ක්‍රියාත්මක නොවූ බෞද්ධ ස්වාමීන් වහන්සේලා 15000 ක් ආවරණය වන “බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණ“ වැඩසටහන ලබන ඔක්තෝම්බර් මස 01 වනිදා සිට ආරම්භ කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(07) උපදෙස් ලබා දුන්නේය. 
 
නව රජය පිහිටුවීමෙන් පසුව අරලියගහ මන්දිරියේ පැවති, බුද්ධ ශාසන අරමුදලේ 84 වෙනි පාලක මණ්ඩල රැස්වීමට එක් වෙමින්, අරමුදලේ සභාපතිවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළේය.
 
ඒ අනුවබුදුපුත් සුරක්ෂාසෞඛ්‍ය රක්ෂණාවරණවැඩසටහනට බුද්ධ ශාසන අරමුදලෙන් රුපියල් මිලියන 40 ක මුදලක් ආරම්භයේදී ප්‍රදානය කිරීමට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය. ඊට අමතරව මෙම අරමුදලට රජයෙන් රුපියල් මිලියන 50ක මුදලක් දායක වේ. මෙම අරමුදල වැඩි දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස ද ගරු අගමැතිතුමා උපදෙස් දෙන ලදී.
 
මෙම හමුවේදී අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි පහත දැක්වෙන තීරණවලට එළැඹිණි.
 
1. මෙතෙක් වයස අවුරුදු 100 ට වැඩි ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් පමණක් ලබා දුන් වෛද්‍ය ගාස්තු හා රැක බලා ගැනීම ක්‍රමවේදය අවුරුදු 90 සීමාව දක්වා ගෙන ඒම.
 
2. වසර 03ක කාලයකට සාමනේර හිමිවරුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව 800 සිට 1500 දක්වා ඉහළ දැමීම සහ රුපියල් 750 ක්ව පැවති එම ශිෂ්‍යත්ව මුදල රුපියල් 1000 ක් දක්වා ඉහළ දැමීම.
 
3. අඩු පහසුකම් සහිත විහාරස්ථානවල සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් ලබා දුන් රුපියල් ලක්ෂයේ මුදල  ආචාර්යය දිවියාගහ යසස්සි හිමියන්ගේ විශේෂ ඉල්ලීමකට අනුව රුපියල් එක් ලක්ෂ පනස් දහස දක්වා වැඩි කිරීම.
 
4. දිවයින පුරා පවත්වාගෙන යනු ලබන සාමනේර භික්ෂු ආයතන 20ක් වැඩි දියුණු කිරීම.
 
5. චීන රජයෙන් පිරිනමන, චීන භාෂා පුහුණුව සඳහා කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය වූ වහාම ස්වාමීන් වහන්සේලා 100 නමක් යොමු කිරීම.
 
6. පන්සල් ආශ්‍රිතව පවතින විශ්‍රාම ශාලාවලින් මුදල් අය කිරීම සිදු නොකිරීම හා දායකයින් විසින් ලබා දෙන මුදලක් පමණක් ලබා ගැනීම.
 
7. ස්වාමීන් වහන්සේලා සඳහා භාෂා ඉගෙනීමේ (දමිළ විශේෂිතව) වැඩසටහන් ආරම්භ කිරීම.
 
මෙම අවස්ථාව සඳහා පාලක මණ්ඩල සාමාජික ආචාර්යය දිවියාගහ යසස්සි හිමි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධ ශාසන, ආගමික  හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බුද්ධ ශාසන අරමුදලේ ලේකම් ඩබ්.ටී.එච්.රුචිර විතාන, බුද්ධ ශාසන අරමුදලේ මහා භාරකාරතුමිය නීතීඥ ජී.කරවිට, මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ  සහ 15% වූ රත්‍රන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි.

1971 වසරේ සිට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට දී තිබූ ආදායම් බදු සහනය 2017 වසරේ හඳුන්වාදුන් ආදායම් බදු ප්‍රතිපත්තියෙන් ඉවත් කෙරිණ. මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් උපයන සත්‍ය ආදායම හෙළි නොවන තත්වයක් මේ නිසා උද්ගත විය.

2018 වසරේ දී රත්‍රන් ආනයනය සඳහා  15%ක බද්දක් පනවනු ලැබිණ. ස්වර්ණාභරණ මිල ඉහළ යාමට මේ බදු හේතු වී තිබේ. අදාළ බදු කඩිනමින් ඉවත් කර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ උන්නතියට පියවර ගත යුතු යැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව  අද (07) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

මැණික් සඳහා වන ලෝක වෙළෙඳපොළේ කේන්ද්‍රය බවට පත්වීමට ශ්‍රි ලංකාවට නොහැකිවීම  ආශ්‍රිත ගැටළු නිරාකරණයට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා  ඉදිරිපත් කළ යෝජනා 14ක්  දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්  විය.

මෙරටදී හමු නොවන ලෝකයේ වෙනත් රටවලට ආවේණික මිල අධික මැණික් ආනයනයට පහසුකම් සැලසීමේ සහ මැණික් සංචිත පවත්වා ගෙන යාමේ වැදගත්කම ලොහාන් රත්වත්තේ මහතා  පෙන්වා දුන්නේය.

 
 

මැණික් කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේ දී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා අදාළ සියලු ආයතන එක් තැනක ස්ථාපනය කරන්නැයි ජනාධිපතිතුමා පැවසීය.ස්වර්ණාභරණ නිෂ්පාදකයන් සහ සාම්ප්‍රදායික ස්වර්ණාභරණ ශිල්පීන්ට රත්‍රන් මිලදී ගැනීමට රාජ්‍ය බැංකු මගින් 4%ක සහන පොලියක් යටතේ රුපියල් ලක්ෂ 10ක ණය මුදලක් සපයන ලෙස ජනාධිපතිතුමා රාජ්‍ය බැංකුවලට උපදෙස් දුන්නේය.

වතු සමාගම්වලට අයත් මැණික් ඉල්ලම් සහිත වගා නොකළ ඉඩම් මැණික් කර්මාන්තයට නිදහස් කර ගැනීමට ඇති බාධක ඉවත් කර කැණීම් සඳහා පවරා ගැනීමට  තීරණය කරනු ලැබීය. රත්නපුර, දෙමුවාවත ඉදිකිරීමට සැලසුම් කර ඇති මැණික් අළෙවි සංකීර්ණයේ සහ පුහුණු මධ්‍යස්ථානයේ වැඩ කඩිනම් කරන ලෙස  ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් බහුල ප්‍රදේශවල  අනවසර මැණික් ගැරීම් මහා පරිමාණයෙන් සිදු වෙයි. යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් පරිසරයට හානිවන අයුරින් කෙරෙන මැණික් ගැරීම් වහා නැවැත්වීමටත්,  සාම්ප්‍රදායික මැණික් ගැරීමේ නිරතවූවන්ට ඇති බාධක ඉවත් කරන ලෙසත් රාජපක්ෂ මැතිතුමා විසින් නියම කෙරිණ.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් රසායනාගාරය අන්තර්ජාතික ප්‍රමිතියට දියුණු කිරීම ඇතුළු ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා වන අදහස් රැසක් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, රේඛීය අමාත්‍යාංශවල නිලධාරීහූ සහ මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

බරපතල පසුබැසීමකට ලක්ව ඇති තේ කර්මාන්තය නගා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

පාඩු ලබන වතු නිරීක්ෂණය කර තේ අපනයනය සහ ආදායම නැංවීමට දිගු, මධ්‍ය සහ කෙටි කාලීන සැලසුම් ක්‍රියාත්මක කළයුතු යැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති. කර්මාන්තයේ බිද වැටීමට හේතු වූ සාධක හඳුනාගෙන ලෝක වෙළෙඳපොළෙහි ශ්‍රී ලංකා තේ (Ceylon Tea) සඳහා තිබූ ඉහල ඉල්ලුම නැවත අත්කර ගැනීම ඉලක්කය විය යුතු බව ජනාධිපතිතුමා කියා සිටී.

සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

ප්‍රධාන වතු සමාගම් 20න් 10ක් අක්‍රීයව ඇත. කුඩා තේ වතු ඉහළ නිෂ්පාදනයක් අත්කර ගන්නා විට වතු සමාගම්වල නිෂ්පාදන ධාරිතාව සීග්‍රයෙන් පහත වැටී ඇතැයි අනාවරණය කෙරිණ. පාඩු ලැබීමට සහ අකර්මණ්‍යයට හේතු කෙටි කලකදී  හඳුනාගෙන ස්ථීර විසඳුම් දෙන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. පාඩු ලබන වතු සමාගම් නියාමන ව්‍යාපෘතියක් ලෙස කුඩා තේ වතු හිමියන්ට පවරා සක්‍රීයත්වයට පත් කිරීමට  තීරණය කෙරිණ.

මාර්ග, රෝහල්, පාසල් සහ සනීපාරක්ෂාව ඇතුළු යටිතල පහසුකම් රජයේ මෙහෙයවීමෙන් සම්පාදනය කොට තිබියදී  වතු සමාගම් පාඩු ලැබීම ගැඹුරින් විමර්ශණය  කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය . ඉහළ අස්වැන්නක් සඳහා තේ වතු ප්‍රතිසංස්කරණය කොට නැවත වගාව ක්‍රමවත් කිරීමේ අවශ්‍යතාව  දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

තේ පැල අස්වනු නෙළන තෙක් වගාකරුවන්ට ස්වයං රැකියාවක හෝ වෙනත් ජීවනෝපායක හෝ නිරතවීමට  සහන සැලසීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ මහතා  පෙන්වා දුන්නේය.

තේ පිළිබඳ නව පර්යේෂණවල සොයා ගැනීම් ප්‍රයෝජනයට නොගැනීම කර්මාන්තයේ පසුබැසීමට හේතු වී ඇති බව ප්‍රවීණයන්ගේ අදහස විය.  පර්යේෂණ සඳහා ප්‍රමුඛත්වය දෙමින් නව වෙළෙඳපොළ හඹා යෑමේ අවශ්‍යතාව ඔව්හු පෙන්වා දුන්හ. ලෝක වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති Bio Tea (ජෛව තේ) කර්මාන්තය ව්‍යාප්ත කරමින් ලාභ ඉපැයීමේ හැකියාව කෙරෙහි ද අවධානය යොමු කෙරිණ. වැවිලි කළමනාකරණ සහ නිරීක්ෂණ අංශය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව  ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

කොවිඩ් වසංගතය හමුවේ ඇඳිරි නීතිය පනවා තිබූ කාලයේ දී රජය ගත් තීරණ හේතුවෙන් හාරලක්ෂ විසි එක් දහසකට ආසන්න කුඩා තේ වතු හිමියන් ආරක්ෂා වූ බව පැවසූ කුඩා තේ වතු නියෝජිතයෝ ඒ පිළිබඳව ජනාධිපතිතුමාට ප්‍රශංසාව පළ කළහ.

අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල  ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීහූ, වතු නියෝජිතයෝ සහ තේ වැවිලිකරුවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

2025 වසර අවසානවීමට පෙර පැය 24 පුරාම සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අවධානය යොමුව ඇත.  
 
ග්‍රාමීය හා ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ(03) ඒ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විය.
 
ගංගා, ඇළ දොළ සහ ජල පෝෂක ප්‍රදේශ පිරිසිදු කොට සංරක්ෂණයට විශේෂ අවධානය යොමු කරමින් වැඩසටහන කඩිනම් කිරීම අවශ්‍යයය.
“සැමට ජලය” සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට ඉදිරිපත් කෙරුණු ප්‍රමුඛ ප්‍රතිඥාවකි.
 
ඉදිරි සිව් වසර තුළ පවුල් ලක්ෂ 47කට ජලය සැපයීමට රජය අපේක්ෂා කරයි. දේශීය සහ විදේශීය අරමුදලින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා ජල නළ කි.මි 40,000ක් අලුතින් එළීමට සිදු වේ.මේ දක්වා ජල සම්පාදනයට ගිය පිරිවැයෙන් හරි අඩකින් ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. ජලය ජනනය සහ සංරක්ෂණය ජල මූලාශ්‍ර හඳුනාගැනීම වැඩසටහනෙහි පියවර කිහිපයකි. ජල පෝෂක මූලාශ්‍ර සංරක්ෂණය උදෙසා වන රෝපණයට ද සැලසුම් කර තිබේ.
 
කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් සමස්ත ජල සැපයූමෙන් 45% ක් ජලය කාන්දුවීම හේතුවෙන් අපතේ යමින් තිබිණ. ගත වූ මාස කිහිපය තුළ අලුතින් ජල නළ එළීමෙන් එය 15% දක්වා අඩුකර ගැනීමට හැකිව තිබේ. ජලය ආරක්ෂා කිරිමේ පියවරක් ලෙස ජලය කාන්දුවන ස්ථාන හඳුනාගෙන අලුතින් ජල නළ එළීම දැන් සිදුවන බව නිලධාරීහු සඳහන් කළහ.
 
ප්‍රජා ජල ව්‍යාපෘති යටතේ බෙදාහැරෙන ජලය ඉහළ ප්‍රමිතියකින් පිරිපහදු කර නිවාස වෙත සැපයීමට ද සැලසුම් කර තිබේ.
 
ප්‍රජා ජල ව්‍යාපෘති සේවක ගැටළු විසඳීම කෙරෙහි ද ජනාධිපතිතුමා, නිලධාරීන්ගේ අවධානය යොමු කරන ලදි.
 
ජල නළ එළිමේදී මාර්ගවලට වන හානිය සහ එමගින් ජාතික ධනය විනාශවීම වැළැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධව සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට ද එකඟතාව පළ කෙරිණි. රටේ පානීය ජල අවශ්‍යතාව සපුරලීමට යන සමස්ත වියදමෙන් 30%ක් පමණ එමගින් ඉතිරි කර ගත හැකි බව අනාවරණය විය.
 
වර්ෂා ජලය ගබඩා කිරීම සහ දිවයිනේ වැව් සහ ජලාශවල ධාරිතාව නැංවිම, අලුතින් වැව් සහ ජලාශ පද්ධතියක් ඉදිකිරීම කෙරෙහි ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. ජල ඌණතාවක් ඇති ප්‍රදේශවලට ජලය ගෙනයාමට නව ඇළ මාර්ග සහ නළ මාර්ග සහිත ව්‍යාපෘති හඳුන්වාදීම ද නව සැලසුමට අන්තර්ගත වේ.
 
අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීහු සහ ප්‍රජා ජල ව්‍යාපෘති නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි “රට වෙනුවෙන් වැඩ” සංස්කෘතියක් ඇති කිරීම සඳහා උපාධිධාරීන් 60,000ක් බඳවා ගැනීම සංකේතවත් කරමින් තෝරාගත් පිරිසකට පත්වීම් ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

විනාඩි 25කට සීමා වූ සරල උත්සවය අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

උපාධිලාභීන් 50,000කට රැකියා දීමට ඉල්ලුම්පත් කැඳවුවද ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි 60,000ක් බඳවාගැනීමට  රජය තීරණය කළේය.

අද රාජ්‍ය සේවයට එක් වූ උපාධිධාරීන් සංඛ්‍යාව 50,177කි. ඉන් 38,760ක් කාන්තාවෝ වෙති.  රැකියාලාභී කලා උපාධිධාරීන් සංඛ්‍යාව 31,172කි. උපාධිලාභීන් වර්ගීකරණයේදි අභ්‍යන්තර උපාධිය ලත් 29,156ක් සහ භාහිර උපාධිලාභීන් 20,322ක්  පත්වීම් ලැබ සිටිති. භික්ෂුන් වහන්සේ 1000කට ද පත්වීම් පිරිනැමිණ.

සෙසු උපාධිධාරීන් අතර වාණිජ අංශයේ 1839ක්, කළමනාකරණ 7278ක්, විද්‍යා 4494ක්, දේශීය වෛද්‍ය 143ක් සම සෞඛ්‍ය 161, පරිගණක තාක්ෂණය 989ක්, ඉංජිනේරු සහ නීති 233ක් සහ ගණකාධිකරණ ඩිප්ලෝමාධාරීන් 1906ක් වෙති.

පත්විම්ලාභීහූ නායකත්ව, කුසලතා සහ ආකල්ප වර්ධන පුහුණුවකට යොමු කෙරෙති.

වසරක පුහුණුව අවසානයේ ග්‍රාමීය හා වතු පාසල්, ගොවිජන සේවා මධ්‍යස්ථාන, ප්‍රාදේශීය වාරි මාර්ග කාර්යාල, වනජීවි කාර්යාල, දේශීය ආයුර්වේද රෝහල්, ග්‍රාමීය රෝහල්, ඩිස්පැන්සරි, සුළු අපනයන භෝග කාර්යාල වැනි ග්‍රාමීය අංශයට ඝෘජුව සම්බන්ධ ආයතන වෙත අනුයුක්ත කිරීමට සැලසුම් කර තිබේ.

සංවර්ධන ක්‍රියාදාමයට සක්‍රීයව දායකවන්නැයි ජනාධිපතිතුමා පත්වීම්ලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.

රාජ්‍ය සේවයට වැටුප් උපයාදෙන කෘෂි සහ ධීවර වැනි ක්ෂේත්‍රවල නිරත ජනතාවට බරක් නොවී තමන් ලබන වැටුපට සාධාරණය ඉටුකරන්නැයි එතුමා අවධාරණය කළේය.

තම වෘත්තියේ ඉදිරි ගමන උදෙසා පශ්චාත් උපාධි, පරිගණක පුහුණුව සහ අදාළ ක්ෂේත්‍රවල වෙනත් රැකියා අවස්ථා දියුණු කර ගැනීම පත්වීම්ලාභීන්ගේ වගකීමක් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, චමල් රාජපක්ෂ, ජී.එල්. පීරිස්, බන්දුල ගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, කෙහෙලිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරු හා ආර්ථික පුනර්ජීවන පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍යවරු කිහිප දෙනෙක් ද, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 
 

මෙතෙක් අඩුවක්ව පැවති විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම්වලින් සැඳුම්ලත් ස්ථීර කාර්යාල ගොඩනැගිල්ලක් වහාම ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මඟින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කටයුතු සොයා බැලීමට ගිය අග්‍රාමාත්‍යතුමා එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් මේ බව සඳහන් කළේය. විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට කාර්යාල පහසුකම් සහිත ගොඩනැගිල්ලක් නොමැති බවට අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අග්‍රාමාත්‍යතුමා ඒ මොහොතේදීම නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් ඊට පිළියම් යෙදුවේය.

මෙම හමුවේදී ජෝන් ද සිල්වා සමරු රඟහල සහ කලා භවන ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලූ අග්‍රාමාත්‍යතුමා රුපියල් මිලියන 1600 ක වියදමින් පිළිසකර කෙරෙන ජෝන් ද සිල්වා සමරු
රඟහලේ දෙවැනි අදියරේ පිළිසකර කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හෝ යුධ හමුදාව සම්බන්ධ කර ගන්නැයි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙහිදී සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මඟින් පවත්වන ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය 2020 සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡාවට ලක් විය.
ලබන නොවැම්බර් මාසයේදී හලාවත ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් ජාතික කලා මහෝත්සවය පැවැත්වෙන අතර “දේශනේතෘ සම්මාන“ ප්‍රදානය සහ “දිස්ත්‍රික් කලාකරු සම්මාන“ ප්‍රදානය පිළිබඳවද අමාත්‍යංශ නිලධාරීන් විසින් අග්‍රාමාත්‍යතුමා දැනුම්වත් කරන ලදී. මෙවර එක් දිස්ත්‍රික්කයකට සීමා වන මෙම කලාකරු සම්මාන ප්‍රදානය මීළඟ වතාවේ සිට රට පුරා සෑම දිස්ත්‍රික්කයකම පවත්වන්නැයි අග්‍රාමාත්‍යතුමා එහිදී උපදෙස් දුන්නේය.

දිවයින පුරා පිහිටි අලුතින් ගොඩනගන ලද සංස්කෘතික මධ්‍යස්ථාන 19 ක් ඉදිරි මාස 03 ක කාලය තුළ විවෘත කරන ලෙසත්, ඊට අවශ්‍ය කාර්යය මණ්ඩලය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කොට ලබා ගන්නා ලෙසත් අග්‍රාමාත්‍යතුමා මෙහිදී සඳහන් කළේය.


රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය පසුගිය වසර හතර හමාරක කාලය තුළ කිසිඳු නඩත්තුවකින් තොරව පවත්වාගෙන ගිය බව මෙම අවස්ථාවට එක්ව සිටි රන්මිහිතැන්න ටෙලි ගම්මානයේ සභාපති ප්‍රවීන රංගන ශිල්පී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය මහතා කියා සිටියේය.

ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා, සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.ටී. කොඩිකාර මහතා, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්(ප්‍රවර්ධන) විජිත නන්දකුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

දිළිඳුකම පිටුදකිමින් අඩු අදායම්ලාභීන්ට රැකියා ප්‍රදානය සැප්තැම්බර් 02 ඇරඹේ


රැකියාලාභීන් කිසිදු පාර්ශවයකට මුදලක් හෝ කිසියම් ආකාරයක අල්ලසක්

දීම රැකියා අවස්ථාව ප්‍රතික්ෂේප වීමට හේතුවක්.

දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළ සැප්තැම්බර් 02දා ඇරඹේ.

රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු අදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම වැඩසටහනෙහි අරමුණයි.

 රැකියාලාභීන් තෝරාගෙන ඇත්තේ පහත සඳහන් සුදුසුකම්වලට අනුවය.
 කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අ.පො.ස සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපනික මට්ටමක සිටින නුපුහුණු ශ්‍රමිකයින් වීම.
 අයැදුම්පත් කැඳවනු ලබන අවසන් දිනට වයස අවු.18ට නොඅඩු හා 45ට නොවැඩි වීම.
 සමෘද්ධි සහනාධාර ලැබීමට සුදුසු එහෙත් නොලබන පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු වීම හෝ සමෘද්ධි සහනාධාර ලබන පවුලක එහෙත් රැකියා
විරහිත සාමාජිකයෙකු වීම.
 වයස්ගත, රෝගතුර දෙමාපියන් හෝ ආබාධිත සාමාජිකයන් සිටින පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු වීම.
 අයැදුම් කරන ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙකු වීම.
 පුහුණුව සඳහා තෝරා ගැනීම.
 එක් පවුලකින් ඉහත සුදුසුකම් සපුරා ඇති ඉල්ලුම්කරුවෙකු ගැන පමණක් සලකා බලනු ලැබේ.
 අයැදුම්කරුවන් පදිංචි ගම් ආශ්‍රිත ප්‍රදේශවල පවතින රැකියා අවස්ථා සහ අයැදුම්කරුවන් ඉල්ලා ඇති පුහුණු ක්ෂේත්‍ර සියල්ලම සැලකිල්ලට ගෙන අදාළ වෘත්තීය පුහුණුව තීරණය කෙරේ.
 තමා පදිංචි ප්‍රදේශය තුළ හෝ ආසන්න ප්‍රදේශවල හෝ ඇති පුහුණු මධ්‍යස්ථානවලදී පුහුණුව ලැබේ.
 සාර්ථක පුහුණුවකින් පසු පදිංචි ප්‍රදේශයේ හෝ ආසන්න ප්‍රදේශවල හෝ රැකියාවක නියුක්ත කෙරේ.
 වැටුප් හා දීමනා
 මාස හය (6) ක අඛණ්ඩ පුහුණු කාලය තුළ මසකට රු 22,500.00ක දීමනාවක් හිමි වෙයි. පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු තමා පුහුණුව ලැබූ ක්ෂේත්‍රයට අදාළව, සිය ස්ථීර පදිංචි ප්‍රදේශය තුළ රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන (PL-I) වැටුප් (රු.35,000) හා දීමනා හිමි රජයේ ස්ථීර තනතුරකට පත්වීමට පුහුණුලාභීන්ට අවස්ථාව ඇත. වසර 10ක සතුටුදායක අඛණ්ඩ සේවා කාලයක් සපුරාලීමෙන් පසු රජයේ විශ්‍රාම වැටුප් හිමිකම ලැබේ.

අදාළ ක්ෂේත්‍ර සඳහා රැකියා ප්‍රදානය ඉහත නිර්නායක මත පමණක් සිදු කෙරෙන අතර, රැකියාලාභීන් යම් තැනැත්තෙකුට මුදලක් හෝ කිසියම් ආකාරයක අල්ලසක් දීම රැකියා අවස්ථාව ප්‍රතික්ෂේපවීමට හේතුවකි.

  • එළවළු සහ පොල් සෘජුව පාරිභෝගිකයා අතට..
  • ආර්ථික මධ්‍යස්ථාන නිවැරදි ක්‍රමවේදයකට අනුගත කිරීමට පියවර..

ඉදිරියට තැබූ පියවර පස්සට නොගෙන, ගත් තීරණ ස්ථිර ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක කර ජීවන වියදම පහත හෙළන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

දේශීය කෘෂිකර්මාන්තය සහ ගොවි ජනතාව නඟා සිටුවීමට ගත් තීරණ හේතුවෙන් කහ ඇතුළු පරිභෝජන භාණ්ඩ කිහිපයක මිල ඉහළ ගොස් තිබේ. මිල පාලනයට හෝ පහත හෙළීමට කහ සහ සෙසු භාණ්ඩ ආනයනය කළහොත් කිසිදු දවසක අපේක්ෂිත අරමුණට ළඟා විය නොහැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

කෙටි කාලීන අපහසුතාවට පත් වුවද ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් ගොවි ජනතාව නඟා සිටුවීමට ගත් පියවර ආපස්සට නොගන්නා බව ජනාධිපතිතුමා කියා සිටී.

අද (31) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ මංගල රැස්වීමේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළ යාමෙන් නාගරික මධ්‍යම පාන්තිකයන්ගේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරිණ.

40%ක් පමණ වන ග්‍රාමීය ගොවි ජනතාවට ස්ථීර සහ ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට නම් තම අස්වැන්නට ඉහළ මිලක් සහ ස්ථාවර වෙළඳපොළක් රට තුළ පවතින බවට විශ්වාසය තහවුරු කළ යුතුය. එසේ නොකර ග්‍රාමීය ජනතාව කෘෂිකර්මාන්තය සඳහා දිරිගැන්විය නොහැකි බව සඳහන් කළ ජනාධිපතිතුමා පනවා ඇති ආනයන සීමාවන් ඉවත් කිරීමේ අසීරුතාව පෙන්වා දුන්නේය.

විදේශ විනිමය අනුපාතය පාලනයට සහ ඉහළ ණය බරින් මිදීමටත්, ආනයනය  සීමා කළ යුතු බව ජනාධිපතිතුමා පැවසීය. ඉන්දියාව සහ ඇමරිකාව වැනි රටවල් ද කොවිඩ් වසංගතයත් සමග ආනයනය සීමා පනවා ඇති බව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.

දුප්පත්කම පිටුදැකීමට ක්‍රියාත්මක රැකියා ලක්ෂයෙන් අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ. සමෘද්ධිලාභීන්ගේ පෝෂණයට ඒ අය දායක කරගත යුතුය. ගෙවතු වගාව සහ බිත්තර සඳහා කුකුලන් දීම මගින් ඔවුන්ගේ පෝෂණ සහ ජීවන මට්ටම ඉහළ නැංවිය හැකිය.

භාණ්ඩ මිල ඉහළ යාමේදී නාගරික මධ්‍යම පාන්තිකයන් මුහුණ පාන ගැටළු සඳහා විසදුම් දීමට විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. කොවිඩ් වසංගතයත් සමග ගොවි අස්වැන්න සහන මිලකට සෘජුව පාරිභෝගිකයා වෙතම ලබාදීමට රජය පියවර ගත්තේය. එම ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් අතරමැදියන්ගෙන් සූරා කෑම වළක්වා ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කරගත හැකි බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමත්, නාගරික ජනතාව ඉහළ  ජීවන බරින් නිදහස් කිරීමත් සමගාමීව සිදුවිය යුතු බව  ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ඒ සඳහා සතොස, සමූපකාර, ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ආරක්ෂක අංශවලද  සහාය ඇතිව ගොවි අස්වැන්න සෘජුව පාරිභෝගිකයා වෙතම බෙදාහැරීමට පියවර ගැනීම කෙරෙහි අවධානය යොමුවිය.

රට පුරා ව්‍යාප්ත ආර්ථික මධ්‍යස්ථාන නිවැරදි ක්‍රමවේදයකට අනුගත කර ගොවි අස්වැන්න මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සැකසීම කෙරෙහිද ජීවන වියදම් අනුකාරක සභාව සාකච්ඡා කළේය.

සතියකට වතාවක් වෙළෙඳපොළ තත්ත්වය පිළිබඳව තමාව දැනුවත් කරන ලෙස ජනාධිපතිතුමා විසින් නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිණ.

ජාතික හා දිස්ත්‍රික් වශයෙන් පුද්ගලයෙකුට අවශ්‍ය ආහාර ප්‍රමාණය හඳුනාගැනීම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මගින් ගෙවතු වගා කළමනාකරණය සහ කුකුල් පාලනය ප්‍රචලිත කිරීම කෙරෙහි ඉදිරි පියවර ගත යුතු යැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

කව්පී, උඳු, රට කජු, තල, කුරක්කන් සහ ළූණු වගාවන් සාර්ථක වී ඇති නිසා ඉදිරියේදී ඒවා ආනයනය අවශ්‍ය නොවන බවද නිලධාරීහූ පෙන්වා දුන්හ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ, මහින්දානන්ද අළුත්ගමගේ යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, ශෂින්ද්‍ර රාජපක්ෂ, ලසන්ත අලගියවන්න මහත්වරු සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

 
 

ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීම අද (29) පෙරවරුවේ සිදු කළේය.
 
මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් ,අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහ නාහිමියන් බැහැ දැක මෙහිදී ආශිර්වාද ලබා ගත්තේය.
 
අනතුරුව මල්වතු පාර්ශ්වයේ අනුනාහිමිවරුන් වන ආචාර්ය නියංගොඩ විජිතසිරි,දිඹුල්කුඹුරේ විමල ධම්ම යන නාහිමිවරුන්ද බැහැ දුටුවේය.

වැඩබලන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ලීසා වැන්ස්ටෝල් මහත්මිය  අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සහයෝගීතාවයෙන් කටයුතු කළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා කළාය.


පසුගිය මැතිවරණ විජයග්‍රහණය පිළිබඳව එක්සත් රාජධානියේ සුබ පැතුම් එක් කළ වැඩබලන මහ කොමසාරිස් ලීසා වැන්ස්ටෝල් මහත්මිය, “ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඉතා ශක්තිමත් ජනවරමක් තිබේ” යැයි පවසා නව රජයේ ප්‍රමුඛතා පිළිබඳ විමසා සිටියාය.

පශ්චාත් COVID-19 සමයට ලෝකය සූදානම් වන බැවින් ආර්ථික සංවර්ධනයට වර්තමානයේ රටේ ප්‍රධාන අවධානය යොමු වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය. විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ වෙළඳ සබඳතා වැඩි දියුණු කිරීම, ආයෝජන ප්‍රවර්ධනය කිරීම, කෘෂිකර්මාන්තය සහ දරිද්‍රතාවය තුරන් කිරීමට එහිදී ප්‍රමුඛතාව හිමි වන බව අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේය.

ඉදිරි වසර 5ක කාලය තුළදී සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ආරක්ෂිත පානීය ජලය ලබා ගැනීම සහතික කිරීම සඳහා ලබා දිය හැකි සහයෝගීතාවය සලකා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා මහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටියේය.

COVID-19 තත්ත්වය පාලනය වූ වහාම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් පසු වන බව සඳහන් කළ එක්සත් රාජධානි දූත පිරිස නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා දෙරට අතර අධ්‍යයන හුවමාරු වැඩසටහන් පවත්වාගෙන යාමට හැකි බව සඳහන් කළහ.


වැඩබලන මහ කොමසාරිස් වැන්ස්ටෝල් පැවසුවේ එක්සත් ජනපදයේ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය රනිල් ජයවර්ධන මහතා ද ශ්‍රී ලංකාය හා එක්සත් රාජධානිය අතර වෙළඳාම තවදුරටත් වර්ධනය කිරීමට උනන්දුවක් දක්වන බවත්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපාර ආරම්භ කිරීමට කැමති බවත්ය.

වරාය නගරයේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළ දෙරටේ නියෝජිතයෝ ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා වරාය නගරය උපාය මාර්ගික මර්මස්ථානයක් ලෙස භාවිතා කළ හැකි බව සඳහන් කළහ. හරිත මූල්‍ය, ජෛව විවිධත්වය, ග්‍රාමීය ආර්ථිකය සහ තිරසාර කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදී.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter