නවතම පුවත්

අභිනව රජයේ නව අග්‍රාමාත්‍ය ධූරයෙන් පිදුම් ලැබූ මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී  අද (11) සිය ධූරයේ රාජකාරි මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ ආරම්භ කළේ ය. මේ අවස්ථාවට මැති ඇමැතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.
 
එසේම නව අමාත්‍යවරුන් හෙට(12) දිනයේ දී මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ මගුල් මඩුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරයි. ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත්ය.

අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් සඳහන් ගැසට් නිවේදනය අද (10) සවස ප්‍රකාශයට පත් කරනු ලැබීය.

අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්ය භාරය සැලකිල්ලට ගෙන තිබේ. එක් එක් අමාත්‍යාංශයට අයත් පුළුල් කාර්ය භාරය අනුව සුවිශේෂ ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශ සකස් කර ඇත.

අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ.

එකී ව්‍යුහය මගින් ග්‍රාමීය හා කෘෂිකාර්මික සංවර්ධනයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද පැතිකඩ ගණනාවක් ආවරණය කර ඇත.

සෑම අමාත්‍යාංශයකම විෂය පථය, සුවිශේෂ ප්‍රමුඛතා, අදාළ ආයතන සහ නීති රාමුව අනු මාතෘකා යටතේ පැහැදිලි කර තිබේ.

අමාත්‍යාංශ භාර අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු අගෝස්තු 12 බදාදා පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේ දී ජනාධිපතිතුමා හමුවේ දිවුරුම් දෙති.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුව සිටි ගාමිණි සේදර සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ලෙස නැවතත් පත් කෙරේ.

ඔහු සිය පත්වීම් ලිපිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙතින් භාර ගත්තේය.

මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරය හෙබ වූ අවධියේ  අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් සේවය කළ ගාමිණි සෙනරත් මහතා 2019 නොවැම්බර් 21 වැනි දින  මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට පත් විය.

කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධිය හදාරා ඇති ගාමිණී සේදර සෙනරත් මහතා 1984 වර්ෂයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳව පශ්චාත් උපාධිය හිමිකරගත් ඔහු විදේශ අධ්‍යයන පාඨමාලා රැසක්  හදාරා තිබේ.

කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම නිසා ලබා දුන් දීර්ඝ නිවාඩුවට පසුව අද (10) සිට සියලු ශ්‍රේණි සඳහා පාසල් වල අධ්‍යයන කටයුතු ආරම්භ වේ.

5,10,11, 12 හා 13 ශ්‍රේණිවලට පමණක් සතියේ දින පහ තුළ පාසල් විවෘතව පවතින අතර අනෙක් ශ්‍රේණි සදහා අදියර වශයෙන් අධ්‍යයන කටයුතු සිදු කෙරේ.

සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් සාමාන්‍ය පරිදි දින 05 තුළම පැවැත්වීමට නියමිත අතර ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි පාසල් සඳහා එක් එක් ශ්‍රේණිවලට අධ්‍යයන කටයුතු සිදුකිරීමට නියමිත දින නම් කර තිබේ.

ළමුන් 200ට වැඩි ප්‍රාථමික පාසල් සඳහා පළමු ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය සඳුදා දිනයේත්, 2 වන ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය අඟහරුවාදා දිනයේත්, 3 වන ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය බදාදා දිනයේත් පැවැත්වෙනු ඇත. මීට අමතරව බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල 4 සහ 5 වන ශ්‍රේණි සදහා පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි .

මේ අතර සිසුන් සංඛ්‍යාව 200ට වැඩි ද්විතියක පාසල් සඳහා සදුදා දිනයේ 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත්, අගහරුවාදා දින 7 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත්, බදාදා දින 8 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත් පාසල් පැවැත්වෙනු ඇත. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල 9 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පමණක් පාසල් පැවැත් වේ.

6,7,8 සහ 9 ශ්‍රේණි සදහා පාසල් කාලය පෙරවරු 07.30 සිට දහවල් 01.30 දක්වා වන අතර 10 සිට 13 වන ශ්‍රේණිය දක්වා පාසල් කාලය පෙරවරු 07.30 සිට පස්වරු 03.30 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි .

 

මහමැතිවරණයෙන් වාර්තා ගත මනාප ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනතාව විසින් තෝරා පත් කර ගත් අභිනව නව රජයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් අද (9) කැළණිය රජමහා විහාරස්ථානයේ දී මහත් අභිමානයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දුන්නේ ය.

නවවැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත්කර ගැනීමට මෙමස 5 වැනි දා පැවැති ඡන්ද විමසීමෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ  ආණ්ඩු බලය හිමිකර ගැනුමට සමත් විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ නායකයා වශයෙන් කටයුතු කරන මහින්ද රාජපක්ෂ මහතා 1970 වර්ෂයේ දී පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසි අතර ඔහු අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන්නේ  සිවුවැනි වතාවටය.

වසර 50ක දේශපාලන ඉතිහාසයකට උරුමකම් කියන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, කැබිනට් ඇමැතිවරයකු ලෙස, විපක්ෂ නායකවරයකු කටයුතු කළ අතර මීට පෙර  තෙවරක් අගමැතිවරයකු ලෙසත් දෙවරක් ජනාධිපතිවරයකු ලෙසත් කටයුතු කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ 2004 වසරේ අප්‍රේල් මස 06 වැනිදාය. අනතුරුව 2018 වසරේ ඔක්තෝබර් 26 වැනි දාත්, 2019 නොවැම්බර් මස 21 වැනි දාත්  රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ. ජනාධිපති ධුරයේ දෙවරක් සහ අග්‍රාමාත්‍ය ධුරයේ සිවුවරක් කටයුතු කළ පළමුවැන්නා බවට මහින්ද රාජපක්ෂ මහතා මේ සමඟින් පත්වෙයි.

තිස්වසරක කුරිරු යුද්ධය නිමා කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ලබා දුන් දේශපාලන නායකත්වා මෙරට ගමන් මඟ නව හැරවුමකට ලක් කළේ ය. රට සංවර්ධනයේ ගමන් මඟට යොමු කළ එවකට ''මහින්ද චින්තන '' රාජ්‍ය ප්‍රතිපත්තිය කර ගත් රජය ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග, ජාත්‍යන්තර ගුවන් තොටුපල, ජාත්‍යන්තර වරාය ආදී දැවැන්ත  සංවර්ධන යෝජනා පමණක් නොව ග්‍රාමීය සංවර්ධනය ද ශක්තිමත් අඬිතාලමක් ජාතියට දායාද කළේ ය.

දිවුරුම් දීමේ අවස්ථාවට තෛනිකායික මහානායක ස්වාමින්වහන්සේලා ප්‍රධාන අතිපූජ්‍ය මහා සංඝරත්නය, අනෙකුත් ආගමික නායකයින්, මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරු  ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

කොවිඩ් -19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහ මැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ලෙස ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් මත තැබූ විශ්වාසය ගැන ස්තූතිවන්ත වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
 
ජනාධිපතිතුමා මේ බව සඳහන්කර සිටියේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්ය.

හෙළයේ විචිත්‍රවත් මහා කලා මංගල්‍යය ලෙසින් දෙස් විදෙස් ජනතාව අතර ප්‍රචලිත මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පෞරාණික චාරිත්‍ර ගරුකරමින් සාර්ථකව පවත්වා අවසන් කළ බව දැක්වෙන පෙරහර සංදේශය දියවඩන නිලමේ තුමන් විසින් ඊයේ(04) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාරදීමෙන් පසු මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්විය.

පසුගිය ජූලි මස 21 දින සතර මහ දේවාලයන්හි කප් සිටුවීමෙන් ආරම්භ වූ මහනුවර ඇසළ පෙරහර අවසන් වූයේ ඊයේ (04) දවල් පෙරහර පැවැත් වීමෙන් අනතුරුවය.

සෞඛ්‍ය නිර්දේශ අනුව මහජන සහභාගිත්වයකින් තොරව පෙරහර පැවැත් වුවද උඩරට පාරම්පරික නර්තන හා වාදන ශිල්පීන්ගේ සහභාගිත්වය ඇතිව විචිත්‍රවත් ලෙස පෙරහර සංවිධාන කිරීමට දියවඩන නිලමේතුමන්, සතර මහ දේවාළ බස්නායක නිලමේවරු හා පෙරහර භාරය පියවර ගෙන තිබිණි.

 
 

දවල් පෙරහර ගෙවැදීමෙන් පසු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සතර මහ දේවාල බස්නායක නිලමේවරුන් හා පිටිසර දේවාල බස්නායක නිලමේවරු සමඟ පෙරහරින් ජනපති මැදුර වෙත පැමිණ ජනපතිවරයාට පෙරහර සංදේශය බාරදෙනු ලැබීය.

මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධවූ ඇත් පැටවකුට ජනපතිවරයා මෙහිදී පලතුරු සංග්‍රහයක්ද කළේය. පෙරහර සාමාප්ති උත්සවයට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, මහනුවර පුරපති කේසර සේනානායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අගෝස්තු 05 බදාදා මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20 වැනිදා කැඳවනු ලැබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මේ තීරණය ගෙන තිබේ. ඒ බව සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රී ප්‍රකාශයට පත් කෙරිණ.

අගෝස්තු 05 බදාදා මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20 වැනිදා කැඳවනු ලැබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මේ තීරණය ගෙන තිබේ. ඒ බව සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රී ප්‍රකාශයට පත් කෙරිණ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (03) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව විශේෂ දානමය පුණ්‍යකර්මයකට සහභාගි විය.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මල්වතු අස්ගිරි අනුනාහිමිවරුන් ඇතුළු විංශත් වර්ගික කාරක සංඝ සභාව නියෝජනය කරන මහා සංඝරත්නය මේ අවස්ථාවට එක්ව සිටියහ.

දළදා සමිඳුන් වැඩ සිටින කුටියේ තැන්පත් කර තිබූ කැටයමක් විවෘත කිරීමටද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ආරාධනයෙන් අගමැතිවරයා එක් විය.

 

ශිෂ්‍යාවක කළ ඉල්ලීම ඉටු කරමින් මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයට ජංගම පුස්තකාලයක් පරිත්‍යාග කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

පුස්තකාලය නිමවා ඇත්තේ තට්ටු දෙකේ පැරණි බස් රථයක් අලුත්වැඩියා කොට යෝග්‍ය පරදි සකස් කිරීමෙනි.

විද්‍යාලය ආරම්භ කොට වසර පහක් ගත වී ඇතත් මේ දක්වා පුස්තකාලයක් නොතිබිණි. සිසුන් 430ක්  පමණ ඉගෙනුම ලබන විද්‍යාලයට පුස්තකාලයක් ලබා ගැනීම සඳහා වසර කීපයක් තිස්සේ ඉල්ලීම් කරනු ලැබීය.

පසුගිය ජූලි පස් වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මැදිරිගිරියේ කළ සංචාරයේ දී විද්‍යාලයේ 3 වසරේ ඉගෙනුම  ලබන විනුරි දහම්සා දියණිය පාසලට පුස්තකාලයක් ලබා දෙන්නැයි  ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියාය.

ජනාධිපතිතුමාගේ නියමය අනුව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතාගේ මැදිහත්වීමෙන් මහරගම ඩිපෝව යකඩ සඳහා වෙන්දේසි කිරීමට තිබූ තට්ටු දෙකේ බස් රථයක්   කාර්ය මණ්ඩලය විසින් ජංගම පුස්තකාලයකට ගැලපෙන අයුරින් අලුත්වැඩියා කරනු ලැබීය.

පුස්තකාලයට අවශ්‍ය පොත් සපයා ගැනීමට දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා සහ මහරගම ඩිපෝවේ කාර්ය මණ්ඩලය අනුග්‍රහය දක්වා ඇත .

පුස්තකාලය පරිත්‍යාග කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, විදුහල්පති චමින්ද  ප්‍රියශාන්ත යන මහත්වරු සහ  විනුරි දහම්සා  දියණිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නවෝත්පාදන හා තාක්ෂණ විෂයේ දියුණුවට අවශ්‍ය අධ්‍යයන අවස්ථා මෙන්ම එම නිපැයුම්වලට වෙළෙඳපොළ සකස් කිරීමට රජය කටයුතු කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතිය හා රජයට අයත් සියලු උසස් අධ්‍යාපන ආයතන හරහා නවෝත්පාදන හා තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුවට අවශ්‍ය සියලු පියවර ගන්නා අතරම එම නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ සකස් කිරීමටත් රජය කටයුතු කරන බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ජාතික විශ්ව විද්‍යාල සඳහා තාක්ෂණ පීඨ ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විටත් ක්‍රියාත්මක වන අතර, දැනටමත් තාක්ෂණ පීඨ ස්ථාපනය කර ඇති විශ්ව විද්‍යාලවල විද්‍යාර්ථින්ට අදාළ ක්ෂේත්‍රයේ කටයුතු කිරීම සඳහා සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන බව ඇමැතිරයා කියා සිටියේය.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන් ප්‍රමුඛ තරුණ ප්‍රජාව ඉතාමත් නිර්මාණශීලී පිරිසක් බව පැවසූ ඇමැතිවරයා ඔවුන්ගේ දක්ෂතාවන්ට සරිලන පරිසරයක් හා අවස්ථාවක් සකස් කර දෙන්නේ නම් බොහෝ අංශ ඔස්සේ දේශීය නව නිමැවුම් හා පර්යේෂණයන් හඳුන්වා දීමට ඔවුන් කටයුතු කරනු නිසැක බව පෙන්වා දුන්නේය.

 
 

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මාලබේ පිහිටි කාර්මික තාක්ෂණ ආයතනය (ITI) රටේ වත්මන් අවශ්‍යතාවට ගැළපෙන පරිදි කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය මර්දනය කිරීමට අවශ්‍ය නව නිපැයුම් බිහි කිරීමට කටයුතු කර ඇති අතර, ඔවුන්ගේ එම නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය මේ වන විට කටයුතු කර ඇති බව කියා සිටියේය.

ඒ අනුව, ඇල්කොහොල් මත පදනම් වූ ශාකසාර විෂබීජහරණ නිපැයුම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා නිෂ්පාදන ක්‍රමවේදය කාර්මික තාක්ෂණ ආයතනය මගින් ආයුර්වේද සංස්ථාව වෙත ලබාදී ඒ මගින් අදාළ නිෂ්පාදන කටයුතු සිදුකිරීමට දෙපාර්ශ්වික ගිවිසුමකට එළඹ තිබෙන බවත් මෙකී නිපැයුම් අලෙවිය සඳහා සමුපකාර තොග වෙළෙඳසැල් මගින් අවස්ථාව සලසා දෙන බවද කීය.

ලාංකීය විද්‍යාර්ථින්ගේ පර්යේෂණ මගින් එළි දකින මෙවැනි දේශීය නිෂ්පාදන වැඩිදියුණු කොට වෙළෙඳපොළට හඳුන්වා දීම සඳහා මේ අයුරින් ඉදිරියටත් පහසුකම් සලසන බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter