නවතම පුවත්

සුරාබදු දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක සිට මුහුණ පා සිටින වෘත්තීය ගැටළුවලට කඩිනම් විසඳුම් දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වෙයි.

සේවා ව්‍යවස්ථාව කඩිනම් කිරීමට, බඳවා ගැනීම් සහ උසස්විම් සම්බන්ධ ගැටළුවලට ආයතන මට්ටමින් විසඳුම් සෙවීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුව සමග (29) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ගැටළු විමර්ශනය කොට පිළියම් හඳුනා ගැනීම සිදු විය.

උපාධිධාරී රැකියා වැඩසටහන යටතේ තෝරාගනු ලබන අභ්‍යාසලාභීන් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා යොමු කිරීම කෙරෙහි ද ජනාධිපතිතුමා අවධානය යොමු කළේ ය.

දීර්ඝ කාලයක සිට එකම තනතුරේ සේවය කරන නිලධාරීන් සඳහා උසස්වීම් පටිපාටියක් හඳුන්වාදීම සහ රාජකාරී ඉටු කිරීමේදී භෞතික සම්පත්වල ඌනතාවට පිළියම් සෙවීම ගැනද සාකච්ඡා කෙරිණ.
පහළ තනතුරු සදහා බඳවා ගැනීමේ දී නිපුණතාවක් නැති අඩු ආදායම්ලාභී පිරිසට අවස්ථාව හිමිවන අයුරින් ප්‍රතිපාදන සැකසීමට පියවර ගන්නැයි ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර් ආටිගල, සුරා බදු කොමසාරිස් ඒ. බෝදරගම යන මහත්වරු ඇතුළු නිලධාරීහූ හා වෘත්තීය සමිති නියෝජිතයෝ සාකච්ඡාවට එක් ව සිටියහ.

රටේ සංවර්ධනයට සහ ජන ජීවිතය නැංවීමට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි උතුර සහ දකුණ කියා වෙනසක් නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද ( 01) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදි දමිළ මාධ්‍යවේදින් හමු වූ අවස්ථාවේදිය.

උතුරු -නැගෙනහිර පළාත්වල 1977 වසරෙන් පසුව, 2005-2010 තම රජය පැවති සමයේදි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ බවද සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා එම පළාත්වල ජන ජීවිතය යහපත් තත්ත්වයට පත් කිරීමට සැලැස්මකින් යුතුව සිය ආණ්ඩුව කටයුතු කළ බවද සඳහන් කළේය. තම රජය සමයේ සිදු කළ සංවර්ධන ව්‍යාපෘති හැරුණුකොට පසුගිය යහපාලන රජය උතුරු-නැගෙනහිර ජනතාව වෙනුවෙන් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නොමැති බවත් උතුරේ ජනතාව වෙනුවෙන් පෙනි සිටිනවා යැයි කියන දෙමළ ජාතික සන්ධානය පවා එම ජනතාවගේ සැබෑ ප්‍රශ්න වෙනුවට දේශපාලන වාසි ලබාගැනිමේ අරමුණින් පමණක් කටයුතු කළ බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

එම ජනතාව මුහුණදෙන ප්‍රධාන ගැටළුවක් වන පානීය ජල ගැටළුව විසඳිම සඳහා තම රජය ප්‍රමුඛතාවය ලබාදෙන බවද සදහන් කළ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විටත් ඒ සඳහා සැලසුම් සකස් කර ඇති බවයි.

එමෙන්ම උතුරේ ජනතාවගේ සැබෑ ගැටළු පිළිබඳව රජය දැනුවත් කිරීම මාධ්‍යවේදින්ගේ වගකීමක් බවද අග්‍රාමාත්‍යවරයා මෙම හමුවේදි පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට අමාත්‍ය ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, උසස් අධ්‍යාපන,තාක්ෂණ සහ නවොත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ද සහභාගී වූහ.

 

ඉඩම් ලියාපදිංචියේ දි සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීමට ඉ-ඉඩම්  (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචිය කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

වංචනික ඉඩම් ලියාපදිංචිය සහ ප්‍රමාදය හේතුවෙන් ජනතාව ගැටළු රැසකට මුහුණ පා සිටිති. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් නිරවුල් කිරීමේ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචි වැඩසටහන  වේගවත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමයට) ලියාපදිංචි කිරීමේ වැඩසටහන පිළිබඳව අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී මේ බව සඳහන් කෙරිණ.

ඉඩම් ලියාපදිංචිය ආශ්‍රිත ආයතන අතර ඒකාබද්ධතාවක අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. වනජීවි, වන සංරක්ෂණ සහ පරිසර අමාත්‍යාංශ ද ඒකාබද්ධව කමිටුවක් පත්කර වැඩසටහන කඩිනම් කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචිය යටතේ ඔප්පුව, පත්ඉරුව, පරිගණකගත කෙරේ. පත්ඉරු ලබාගැනීමේදී පරිගණක මුද්‍රණයක් නිකුත් කිරීමටත්, නීතිඥවරුන්ට,  නොතාරිස්වරුන්ට සහ ඕනෑම පුද්ගලයෙකුට හෝ රාජ්‍ය ආයතනයකට හෝ  online ක්‍රමයට ඉඩම් තොරතුරු ලබා ගැනීමටත් අවස්ථාව සැලසේ. එමගින් ඉඩම් වංචාවන්ට තිත තැබීමට හැකිවන බව නිලධාරීහු පෙන්වා දුන්හ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමග එක්ව අගෝස්තු මාසය වන විට වැඩසටහන ජනගත කිරීමට  අපේක්ෂා කෙරේ. මෙලෙස ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) යටතේ ලියාපදිංචි කෙරෙන ඉඩම් වෙනුවෙන් ඉලෙක්ට්‍රොනික පාස් පොතක් නිකුත් කිරීමට ද සැලසුම් කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි, ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක, රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී. විතාන, ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්.එම්. සී.එම්. හේරත්, ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් ජෙනරාල් පී.එම්.එච්. ප්‍රියදර්ශනී, මැණුම්පති ඒ.එල්.එස්.සී. පෙරේරා, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සභාපති ජයන්ත ද සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

2018 වසරේ සිට පාඩු ලබන ලංකා ලුණු පෞද්ගලික සමාගමට ලාභ පෙන්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වසරක කාලයක් දෙයි.

ලංකා ලුණු පෞද්ගලික සමාගමේ 2016 වසරේ ලාභය රුපියල් කෝටි 70කි. 2017 වසර වන විට ලාභය රුපියල් කෝටි 32 දක්වා අඩු විය. 2018 වසරේ ලක්ෂ 28ක් සහ 2019 වසරේ එක්කෝටි අනූ එක් ලක්ෂයක ලෙස ආයතනය පාඩු ලැබීය.

තෙවසරක් ඇතුළත වූ පාඩුවට හේතු සොයා ලාභ ඉපැයීම වත්මන් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සතු වගකීමක් බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ලංකා ලුණු පෞද්ගලික සමාගමේ වත්මන් තත්වය විමසුමට (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

1998 වසරේදි පෞද්ගලීකරණයට සැලසුම් කර තිබූ ලුණු සංස්ථාව මහින්ද රාජපක්ෂ මැතිතුමා කම්කරු අමාත්‍යවරයා ලෙස මැදිහත්වී සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF ආයතනය) යටතට ගනු ලැබීය. පසුව සමාගමේ ප්‍රාග්ධනයෙන් 90% ක් ETF ආයතනය ද, 10% ක් සේවකයන් ද හිමි කරගත් ලංකා ලුණු පෞද්ගලික සමාගම ඉතා ඉහළ ලාභ ලබන ආයතනයක් බවට පත් විය.

ETF ආයතනය යටතේ ඇති සමාගමක් පාඩු ලැබීම කිසිසේත්ම සිදු නොවිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිතුමා ඉදිරි මාස 06ට සහ වසරකට සැලසුම් වෙන වෙනම සකස් කර ලාභ ඉපැයීමට පියවර ගන්නැයි පැවසීය.

ලුණු ආනයනය මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම නතර කළයුතුය. 2015ට පෙර මෙන් සිය නිෂ්පාදන අපනයනය කරන ආයතනයක් බවට ලංකා ලුණු සමාගම පත්කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. පාඩු ලැබීම ගැන නිදහසට කරුණු දක්වනවා වෙනුවට ලාභ ඉපැයීමට ඇති උපායමාර්ග තමාට අවශ්‍ය බව ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දර, සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජයරත්න, ලංකා ලුණු පෞද්ගලික සමාගමේ සභාපති නිශාන්ත සඳබරණ යන මහත්වරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

කොරෝනා නිවාඩුව අවසන, යළි රට සාමාන්‍යකරණය වෙමින් පවතී. එහෙත් නතරවූ සාහිත්‍ය උත්සව පොත් ජනගත කිරීම් ගී ජනගත කිරීම් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම් ආදියට තවමත් විරාමයකි. ඒ විරාමය අවසන් කෙරුණේ ඉකුත් අඟහරුවාදා පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදීය. ඒ පත්තරේ සිංදුව ජනගත කරමිනි.

ද නිව්ස්පේපර් චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන එච්.ඩී. පේමසිරි සහ රවින්ද්‍ර ගුරුගේ එකතුවෙනි.

පත්තරේ යනු ‘ද නිව්ස්පේපර්ස්’ය. සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර අධ්‍යක්ෂණය කළ ද නිව්ස්පේපර් චිත්‍රපටයෙහි තිබෙන එකම ගීතය ගායනා කළේ ආචාර්ය නන්දා මාලිනියයි. මහාචාර්ය සුනිල් ආරියරත්න පද රචනා කළ මේ ගීතයේ සංගීත නිර්මාණය ගයාත්‍රි කේමදාසගෙනි.

පත්තරේ සිංදුව ඇතුළත් ඩී.වී.ඩී. තැටි මහැදුරු සුනිලුන්ට, නන්දා මාලිනියට, ගයාත්‍රිට සරත්ට කුමාරට පිළිගැන්වූ මොහොතට බන්දුල ගුණවර්ධන මෙන්ම එච්. ඩී. පේමසිරිද එක්වුහ.

දොලේ දියත් නැති විය නුඹ නාවන්නට

තනේ කිරිත් හිඟ විය තොල් පොඟවන්නට

කටු සර බෝග තිබුණේ බඩ පුරවන්නට

සමාවෙන්න පුතුනේ නුඹ වැදුවාට

ඉනික්බිති නන්දා මාලිනියගේ හඬ නැගුණේ ශ්‍රාවකයා කඳුලක තනිකරමිනි.

ඡායාරූපය: නිලාන් මලිගැස්පර්

පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා රාජ්‍ය අනුග්‍රාහකත්වය දීමට කටයුතු සම්පාදනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණ දැනුම පිරිවෙන් විෂය මාලාව තුළ සෙසු විෂයන්ට සමගාමීව හැදෑරීමේ අවස්ථාව සලසා දිය යුතු බවද ජනාධිපතිතුමා කියා සිටී.

සෑම මසකම තෙවන සතියේ පැවැත්වෙන බෞද්ධ උපදේශක සභාව තෙවන වරටත් (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

බෞද්ධ උපදේශක සභාව දුන් උපදෙස් ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව සඳහන් කළ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියෝ සුරක්ෂිත රටක්, නීතිගරුක සහ විනයගරු සමාජයක් උදෙසා සහ පුරාවිද්‍යා ස්ථාන සුරැකීමට කාර්ය සාධක බලකා දෙකක් පත් කිරීම සම්බන්ධව මහා සංඝරත්නයේ ප්‍රසංසාව පළ කළහ.

එම බලකා අර්ථදායී ලෙස අපේක්ෂිත අරමුණු ඉටුකරනු ඇතැයි විශ්වාස කරන බවද උන්වහන්සේ පැවසූහ. රටේ සමස්ත කාර්යභාරය අතට ගෙන ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළට ජන සමාජයෙන් ලැබෙන ප්‍රසාදය බෞද්ධ උපදේශක සභාවට ද ගෞරවයක් බව මහා සංඝරත්නය පැවසූහ.

පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ වත්මන් තත්වය බෞද්ධ උපදේශක සභාව ජනාධිපතිතුමාට සහ අධ්‍යාපන බලධාරීන්ට පෙන්වා දුන්හ.

පිරිවෙන් විෂය නිර්දේශයේ සහ විෂය මාලාවේ සංශෝධනයක් විය යුතු බවද උන්වහන්සේ අවධාරණය කළහ. සිංහල, පාලි, සංස්කෘත, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා මෙන්ම තොරතුරු තාක්ෂණය පිරිවෙන් විෂය නිර්දේශය තුළ සමගාමී විෂයන් ලෙස ඉගැන්වීමේ අවශ්‍යතාව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

දහම් පාසල් අධ්‍යාපනයට, සිසු පරපුර වැඩි වශයෙන් යොමු කළ යුතු බවත්, දහම් පාසල් ගුරුවරුන්ට විධිමත් පුහුණුවක් දිය යුතු බවත් සංඝරත්නය පැවසූහ.

ඉරිදා දිනවල පෙ.ව 6.00 සිට ප.ව 2.00 දක්වාත්, පොහොය දිනයන්හි උපකාරක පංති පැවැත්වීම සම්පූර්ණයෙන්ම නතර කර ආගමික පසුබිම කෙරෙහි දරුවන් යොමු කිරීම යහපත් සමාජයක් උදෙසා කළයුතු මහගු කාර්යයක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

තරුණ දරුවන් මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළු අපචාරවලට නැඹුරුවීමේ ප්‍රවනතාවක් පවතින බව පෙන්වා දුන් මහා සංඝරත්නය ප.ව 5.00 න් පසු උපකාරක පංති පැවැත්වීම නතර කර දෙමාපියන් ඇසුරෙහි දරුවන් රඳවා ගැනීමට අවස්ථාව සැලසිය යුතු බව පැවසූහ.

පිරිවෙන් කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමේ වැදගත්කම ද සාකච්ඡාවට ලක් කෙරිණ. උපාධිධාරී භික්ෂුන් වහන්සේ සහ ධර්මාචාර්ය විභාගය සමත් සිල් මාතාවන් පාසල්වල බුද්ධධර්මය විෂය ඉගැන්වීමට යොදාගතයුතු බව ද මහා සංඝරත්නය පෙන්වා දුන්හ.

පිරිවෙන් සදහා ධර්මාචාර්ය අධ්‍යක්ෂ තනතුරක් ඇති කිරීම, පිරිවෙන් ශිෂ්‍යාධාරය ඉහළ නැංවීම, දහම් පාසල් ඉහළ ශ්‍රේණිවල පෙළ පොත්වල ඇති බෞද්ධ සංස්කෘතිය, පාලි සහ අභිධර්ම ගැඹුරු කොටස් ඉවත් කර සිසුන් දහම් දැනුම ලබාගැනීමට පොළඹවන කොටස් ඇතුළත් කිරීම යන කරුණු දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි, අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි , ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අතිපූජ්‍ය ගංතුනේ අස්සජි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය වරාගොඩ ප්‍රේමරතන, ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ ශ්‍රී ධර්ම රක්ෂිත පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද යන නා හිමිවරු ඇතුළු ත්‍රෛනිකායික මහානායක, අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රධාන බෞද්ධ උපදේශක සභාව නියෝජනය කරන මහා සංඝරත්නය, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ.බී. හරිස්චන්ද්‍ර, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද යන මහත්වරු ඇතුළු නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනතාවට සහ රටට සෙත් පතා පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී විහාර පුද බිමේ අද (30) පෙරවරුවේ පැවති ආගමික වතාවත්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක් විය.

සෝමාවතී පුදබිමට පැමිණි ජනාධිපතිතුමා රාජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

සෝමාවති සෑ රදුන් වෙත සිදු කෙරුණු කප්රුක් පූජාවට ද ජනාධිපතිතුමා සහභාගී විය.

සෝමාවති පුදබිම බොහෝ අවස්ථාවල ගංවතුර තත්වයන්ට ලක් වෙයි. සෝමාවති රජමහා විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ඉල්ලීම පරිදි,එවැනි ආපදා තත්ත්වයකදී සහය විය හැකි ආකාරයෙන් ගුවන් හමුදාව ඉදිකළ“හෙලිකොප්ටර් යානාංගනය” ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කෙරිණ. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ද ඊට එක් විය.

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි ඓතිහාසික කඩඉමක් සනිටුහන් කරමින් මැයි 14 වැනිදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔහු සිය අක්තපත්‍රය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

හමුවෙන් පසුව කළ සාකච්ඡාවේදී සහයෝගීතාවේ නව ක්ෂේත්‍ර විමර්ශනය කරමින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා වන දෙරටේ කැපවීම ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඉන්දියානු නව මහකොමසාරිස්වරයා වෙත නැවත තහවුරු කළහ.

පසුගිය 23 සෙනසුරාදා ඉන්දීය අගමැතිවරයා සමග දුරකථනයෙන් කළ සුහද සාකච්ඡාව සිහිපත් කරමින් වත්මන් දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට දුන් නොමසුරු සහය පිළිබඳව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඉන්දීය රජයට සහ ජනතාවට සිය ස්තූතිය පුද කළේය.

ඉන්දියානු අගමැති මෝදි මහතාගේ සුබපැතුම් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ මහකොමසාරිස්වරයා කොවිඩ් 19 වසංගතයට එරෙහි සාර්ථක සටනට ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ලබා දෙනනිවැරදි නායකත්වය අගය කළේය.

දෙරටේ සුබසිද්ධිය වෙනුවෙන් දැනටමත් එකඟ වී ඇති හවුල් ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා සහ ඉන්දීය මහකොමසාරිස්වරයා අවධාරණය කළහ. ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගත හැකි ක්ෂේත්‍ර වශයෙන් තෘතීයික අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, කෘෂිකර්මය සහ කෘෂි පාදක නිෂ්පාදන සඳහන් කෙරිණ.

තමන් තෝරාගන්නා ක්ෂේත්‍රයන්හි අධ්‍යාපනය ලැබීම සඳහා ශ්‍රී ලාංකික ශිෂ්‍යත්වලාභීන්ට තවත් අවස්ථා සලසා දීමට ඉන්දියාව සූදානම් බව මහකොමසාරිස්වරයා සඳහන් කළේය.

ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාවට අමතරව දෙරටේ ජනතාව අතර සබඳතා වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

කොවිඩ් 19 වසංගතය නිසා උද්ගතව ඇති අභියෝග ජය ගැනීමට කලාපයේ රටවල් අතර අන්‍යොන්‍ය වශයෙන් ඵලදායී සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළයුතු බවට ජනාධිපතිවරයා සහ ඉන්දියානු මහකොමසාරිස්වරයා එකඟ වූහ.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ද සාකච්ඡාවට එක්ව සිටියේය.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග “ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” ශේෂය රුපියල් මිලියන 1,213 ඉක්මවා තිබේ.

උතුරු මැද පළාත් රාජ්‍ය සේවයේ නියුතු සේවකයින් ප්‍රදානය කළ රුපියල් මිලියන 25ක්  ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විසින් අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබිණ.

කිරිබත්ගොඩ විහාරමහා දේවි ආදි ගුරු සංගමය රුපියල් ලක්ෂයක් ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (පාලන) විශ්‍රාමික මේජර් ජනරාල් කේ.බී. එගොඩවෙලේ මහතාට භාර දුන්නේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (ආරක්ෂක අමාත්‍යාංශය) 2,47,538ක්, TharuniMerineEnterpricesරුපියල් ලක්ෂ 05ක්, HirushiMerineEnterpricesරුපියල් මිලියනයක්, උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක පූජ්‍ය කිරිඳිවැල සෝමරතන හිමි රුපියල් 61,000ක්, දියගම තාක්ෂණ විශ්ව විද්‍යාලයේ නිරෝධායනය වූ එංගලන්තයේ සිට පැමිණි ඩී.ප්‍රියන්ත සමරකෝන් මහතා රුපියල් 25,000ක්, රාජගිරිය ආයුර්වේද රෝහලේ නිරෝධායනය වූ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි පිරිස රුපියල් 8,25,000ක්, ඇමරිකාවේ පදිංචි ස්වර්ණා එස්. සිරිවර්ධන මහත්මිය රුපියල් 1,099, 668ක්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය රුපියල් 500,000 ක්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය 1,013,174ක්, Slim Phamaceuticals (pvt) ltd ආයතනය රුපියල් මිලියනයක් අරමුදලට ප්‍රදානය කර තිබේ.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207#අමතා අරමුදලට දායකවිය හැකිය.දුරකථන අංක 0760700700/ 0112320880/ 011,2354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

 
 

මුහුණ දීමට ඇති දුෂ්කරතාව කුමක් වුවද “පළමුව ජනතාව” යන ප්‍රතිපත්තිය අත්හළ නොහැක්කේ අප වඩා අගයන එකම වත්කම මානව සංවර්ධනය නිසා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

“කොව්ඩ් 19 සහ ඉන් ඔබ්බට යුගයේ සංවර්ධනය සඳහා මූල්‍යකරණය පිළිබද ඉහළ පෙළේ වීඩියෝසම්මන්ත්‍රණයට අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ සිට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය.

රටවල් 49 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 08 ක ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් වීඩියෝ සම්මන්ත්‍රණයපැවැත්විණ. ආරම්භක ප්‍රකාශ කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ (Justin Trudeau), ජැමෙයිකා අගමැති ඇනඩෘ හොලෙස් (Andrew Holness) එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේර්ස්  මහත්වරු සිදු කළහ.

ලොව ප්‍රධාන පෙළේ ආධාර කණ්ඩායම්වල හා නායකයන්ගේ වගකීම තමන් අතර කොන්දේසි පනවා නොගෙන සංවර්ධන හවුල්කරුවන් ලෙස ඉදිරියට යාම බව ජනාධිපතිතුමා පැවසීය.මහා පරිමාණ ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික නියෝජිත ආයතනවල කඩිනම් ක්‍රියාමාර්ග වේගවත් කොට සංවර්ධනය වෙමින් පවතින රටවල හා මධ්‍ය ආදායම් ආර්ථිකයන්හි සංවර්ධනයට දායක විය යුතුය.

අධ්‍යාපනය, සෞඛ්‍යය , කාන්තාවන් හා ළමයින්, නව අපනයන කර්මාන්ත, ආහාර සුරක්ෂිතතාව හා වඩා යහපත් හා ස්ථාවර ලොවක් වෙනුවෙන් පරිසර සුරැකීම ඇතුළු මානව සංවර්ධන අංශ කෙරෙහි අවධානය යොමු කිරීමට රටවල් දිරි  ගැන්විය යුතු වේ. හදිසි ආධාර පහසුකම් තුලින් සංවර්ධනය වෙමින් පවතින හා මධ්‍ය ආදායම් රටවලට සහය වන්නේ කෙසේදැයි මේ කතිකාවත තුළින් එකඟත්වයක් මතු විය යුතු බවද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

ගෝලීය වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය, ආයෝජන හා සේවා නියුක්තිය අඩපණ වී තිබේ. කොවිඩ් වසංගතය තිරසාර වූ ව්‍යාපාර හා ආර්ථිකයන් විනාශ කරමින් අස්ථාවර තත්ත්වයට පත් කර ඇත. සැබෑ ආර්ථිකය තවදුරටත් ආදායම් හා රැකියා උත්පාදනය නොකරන හෙයින් රාජ්‍ය මූල්‍ය හිඟය ක්‍රමානුකූලව පහත හෙළමින් සිටි රටවල් පසුබෑමට ලක්ව තිබේ. පහත වැටෙන ප්‍රවණතාවක පැවති ණය පරිමාව ඊට අනුරූපව ප්‍රත්‍යවර්තනයකට ලක්ව ඇත.

අක්‍රීය වත්කම් ඉහළ ගොස් ද්‍රවශීලතා අර්බුදයකට මුහුණදීමට සිදු වීමෙන් බැංකු ක්ෂේත්‍රයට පහර එල්ල වී තිබේ. සමස්ත ඉතුරුම් – ආයෝජන සමීකරණය බිඳ වැටී ඇති අතර සංවර්ධනය සදහා මූල්‍ය සම්පාදනය මූල්‍යකරණය ගෝලීය ආර්ථිකයට අදාල මාතෘකාවක් වන්නේ මේ හේතුවෙනි. මෙය රජයේ හා ව්‍යාපාරික ආයතනවල  පාලනය ඉක්මවා ගිය අර්බුදයක් වන හෙයින් බහුපාර්ශවීය හා ද්විපාර්ශ්වීය නිල ණය ප්‍රදානය කරන ආයතන වෙතින් කොන්දේසි විරහිත අය වැය සහයෝගය සහ රාජ්‍ය ණය සඳහා ණය කල් දැමීමේ වන්දි ආකාරයෙන් අන්තර්ජාතික සහයෝගය ලැබි යුතු වන්නේ පෞද්ගලික ණය සහ ලාභාංශ වෙළෙඳ පොළෙහි විශ්වාසය ඉන් තහවුරු වන බැවින් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

සංවර්ධනය වෙමින් පවතින රටවලට බහු පාර්ශවීය සහ ද්විපාර්ශවීය රාජ්‍ය ණය ප්‍රදානය කරන්නන්ට බිඳවැටුණු ආර්ථිකය නැවත ගොඩ නැංවීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට එවන් අවකාශයක් නිර්මාණය කිරීමේ විශේෂ වගකීමක් තිබේ. ණය දීමේ සාමාන්‍ය කොන්දේසි මත තරයේ රැඳී නොසිටිය යුතුය. බොහෝ රටවල් සිය ණය බැඳීම් නොකඩවා ඉටු කර ඇති හෙයින් හා රාජ්‍ය ණය ප්‍රදානය කරන්නන් විසින් සැලකිය යුතු සහනයක් මගින් නව අවකාශ සැලසීමට කාලය පැමිණ ඇතැයි ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

 
 

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රීක්කවල හෙට 23, සෙනසුරාදා රාත්‍රී 8.00 සිට බලාත්මක වන ඇඳිරි නීතිය මැයි 26, අඟහරුවාදා උදේ 5.00 ට ලිහිල් කෙරේ. මේ දිස්ත්‍රික්කවලඇඳිරි නීතිය දිනපතා රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වෙයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළ හෙටත් ක්‍රියාත්මක අතර මැයි, 26 අඟහරුවාදා සිට පෙර පරිදි ඉදිරියට ගෙන යනු ලැබේ.

කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඇඳිරි නීතියට අදාළකොන්දේසි නොවෙනස්ව පවතී.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter