නවතම පුවත්

දෙවැනි පාසල් වාරය ලබන මැයි 11, සඳුදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මීට පෙර දෙවැනි පාසල් වාරය අප්‍රේල් මස 20, සඳුදා ඇරඹීමට නියමිතව තිබිණ.

කොරෝනා වෛරසය පැතිරයාමත් සමග එය පාලනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යමින් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම පිණිස මෙලෙස නැවත පාසල් ආරම්භ කරන දිනය දීර්ඝ කරන ලදී.

පාසල් නොපැවැත්වෙන කාලය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවනට සිය අධ්‍යාපනය කරගෙන යාම සඳහා දුරස්ථ පහසුකම් හැකි උපරිමයෙන් සැලසීමට රජය සැලසුම් කර ඇත.

විශ්වවිද්‍යාල ආරම්භ කරන දිනය වත්මන් තත්ත්වය සමාලෝචනය කොට විශ්වවිද්‍යාල බලධාරීන්ගේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ එකඟත්වය අනුව තීරණය කරන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

කොරෝනා රෝග තත්ත්වය නිවැරදිව නිශ්චය කර ගැනීම සඳහා භාවිත කළ හැකි දැනට රජයේ විශ්වවිද්‍යල සතුව පවතින පී.සී.ආර්. යන්ත්‍ර 51ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දීමට කටයුතු යොදා ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ අදාළ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් සහ මහාචාර්යවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම පියවර ගත් බව ඇමැතිවරයා සඳහන් කළේය. ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (9) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිවසට වී නිවැසියන් සමඟ පමණක් සමරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අනිල් ජාසිංහ මහතා ඊයේ (9) කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථනයේ දී මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව සඳහන් කළේ ය.

 anil1

සහල් හිඟයක් ඇති වීම වැළැක්වීමේ අරමුණින්, නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදුකිරීම සඳහා ප්‍රධාන පෙලේ වී මොල් නොකඩවා විවෘතව තැබීමට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවේදි තීරණය කෙරිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේදි රටේ පවතින හදිසි තත්ත්වය හේතුවෙන් ජන ජීවිතය තුළ පැන නැගී තිබෙන ගැටළු රැසක් පිළිබඳව සාකච්ඡා විය.

මේ වන විට ජනතාවට අවශ්‍ය තරම් වී තොග තිබෙන බැවින් කිසිදු අවස්ථාවක රට තුළ සහල් හිඟයක් පැන නොනගින බවත් ඇති වී තිබෙන හදිසි තත්ත්වය හමුවේ වෙළඳපොළ තුළ හිඟයකින් තොරව සහල් නිෂ්පාදනය පවත්වාගෙන යාම සඳහා අවශ්‍යතාවය අනුව වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කළ යුතු බවත් මෙම සාකච්ඡාවේදි තීරණය කෙරිණි.

එමෙන්ම ධීවර ක්ෂේත්‍රය තුළ පැන නැගී තිබෙන ගැටළු සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අවධානය යොමු වූ අතර ධීවර සංස්ථාව සමඟ සාකච්ඡා කොට වහාම එම ගැටළු විසඳීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම, ඖෂධ බෙදාහැරීම පිළිබඳව මෙන්ම ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් ගම් බිම් බලා යාමට නොහැකිව සිටින ජනතාව සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමටද මෙම සාකච්ඡාවේදි අවධානය යොමු විය.

මෙම සාකච්ඡාව සඳහා අත්‍යාවශ්‍ය සේවා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධණ, පවිත්‍රා වන්නිආරච්චි, මහින්දානන්ද අලුත්ගමගේ, අනුර ප්‍රියදර්ශන යාපා, රෝහිත අබේගුණවර්ධන, දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත, ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර, ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සහ හිටපු අමාත්‍යවරුන් වන ඒ. එල්. එම්. අතාවුල්ලා, සිරිපාල ගම්ලත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ, යුධ හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් එක් වූහ.

රටේ ඇතිව තිබෙන තත්ත්වය හමුවේ දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇතිබවත් ඒ සඳහා වූ යෝජනාව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය වෙත යොමු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා අද (9) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව හෙළි කළේ ය.

මාධ්‍යවේදීන් පමණක් නොව ටෙලි නාට්‍ය ශිල්පීන්,කලාකරුවන්, කාටවත් බරක් නොවී ආදායම් ලැබූ ස්වයං රැකියාවල නිරතවූවන් වෙනුවෙන් සහනදයී කොන්දේසි මත හෝ ණය යෝජනා ක්‍රමයක් ලබාදීම සඳහා අවධානය යොමු කර තිබෙන අතර මේ පිළිබඳව අඳහස කාර්යසාධක බලකාය වෙත යොමු කළ බව අමත්‍යවරයා පැවසීය.

මේ වනවිට ජනමාධ්‍යවේදී රට වෙනුවෙන් ජාතික කාර්යභාරයක් ඉටු කරන බව කී අමාත්‍යවරයා කිසිවෙකුට තොරතුරු නොමැතිව ජීවත් විය නොහැකි බවත් මේ වනවිට ජනමාධ්‍යවේදීන් ද පත්ව තිබෙන දුෂ්කරතාවය පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වූ බවද අමාත්‍යවරයා පැවසීය.

ජනාධිපති ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර මහතා “2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය” මැයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2020-03-31 සහ 2020-04-01 දිනවල එවූ ලිපිවලට 2020-04-06 වැනි දින පිළිතුරු ලිපියක් යවා තිබේ.

ජනාධිපති ලේකම්වරයා විසින් යවන ලද සම්පූර්ණ ලිපිය මෙසේය.

මහින්ද දේශප්‍රිය මහතා
සභාපති
ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම
සරණ මාවත, රාජගිරිය

2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය

2020-03-31 සහ 2020-04-01 දිනැති ඔබේ ලිපි මා වෙත ලැබී තිබේ.

ජනරජයේ ජනාධිපතිතුමාගේ නිල කාර්යයන් අරභයා මැතිවරණ කොමිසම විසින් අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය පිණිස එවනු ලැබූ ලිපි මගේ කාර්යාලයට ලැබීමට පෙර ජනමාධ්‍යයට නිකුත් කර තිබීමත්, එකී ලිපි තවත් අයට පිටපත් කොට තිබීමත් ගැන මම මවිතයට පත්වීමි.

පහත දැක්වෙන තතු ලුහුඬින් සඳහන් කිරීම සුදුසුය :

  • 2020-03-02 දිනැති අංක 2165/8 දරණ ගැසට් ප්‍රකාශනයෙන් 2020-03-02 දින මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුව 2020-05-14 දිනට කැඳවනු ලැබීය.
  • එකී ප්‍රකාශනයෙන් නව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම සඳහා දිනය 2020-04-25 ලෙස නියම කෙරිණ.
  • ඉන් අනතුරුව,

(අ)දේශපාලන පක්ෂ ගණනාවක ලේකම්වරු මැතිවරණයට තරග කිරීමේ සිය
අභිලාෂය පළ කළහ.,

(ආ) පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ගණනාවක් පාර්ලිමේන්තු

මැතිවරණ පනතේ 15වැනි ඡේදය ප්‍රකාර පාර්ලිමේන්තුවට තේරා පත්වීමට
අදහස් කරන අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් නාම යෝජනා පත්‍ර ඉදිරිපත්
කළහ,

(ඇ) එකී අපේක්ෂකයන්ගේ ලිඛිත අනුමැතිය ද දෙන ලදී.,

(ඈ) පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 16 සහ 17 ඡේද ප්‍රකාර නියමිත පරිදි ඇප මුදල්

තැන්පත් කරන ලදී.

 අදාළතත්ත්වයන්යටතේස්වාධීනඅපේක්ෂකයෝගණනාවක්සහපිළිගත්දේශපාලනපක්ෂගණනාවක්

(අ)       පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය .,
(ආ)     මැතිවරණ දිනය නියම කිරීමේ නියෝගය.,
(ඇ)      නාම යෝජනා පත්‍ර භාර ගැනිමේ දිනය සහ
(ඈ)      අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත නාම යෝජනා පත්‍ර භාරදීම

පිළිගෙන යථා පරිදි ක්‍රියා කළහ.

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 ඡේදය ප්‍රකාර 24(1) ඡේදයේ A සිටD දක්වා අනු ඡේදවල ඇතුළත් කරුණු සුවිශේෂ කොට දක්වමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් ලේඛනය මගින් නිවේදනයක් පළ කළයුතුව තිබිණ.

2020-03-20 දිනැති අංක 2167/12 ගැසට් ලේඛනයෙන් 24(1) ඡේදයේ A සහ C අනු ඡේදවල ඇතුළත් කරුණු පමණක්, එනම් සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකම 2020 අප්‍රේල් 25 දින උදේ 7.00 සිට සවස 4.00 දක්වා චන්ද විමසීම සිදුකෙරෙන බව සහ චන්ද විමසීම පැවැත්වෙන මැතිවරණ දිස්ත්‍රික්ක සඳහන් කරමින් නිවේදනයක් ප්‍රසිද්ධ කළ බව දක්නට ඇත.

ඉන් අනතුරුව මැතිවරණ කොමිසම නිකුත් කළ 2020-03-21 දිනැති අංක 2167/19 ගැසට් ලේඛනයෙන් 2020-04-25 දින ඡන්ද විමසීම සිදු කළ නොහැකි බවත්, 2020-04-30 දින සිට දවස් 14කට පසු එළැඹෙන දිනයක් ඡන්ද විමසන දිනය ලෙස නම් කරන බවත්, ප්‍රකාශ කරන ලදී.

2020-04-25 දින ඡන්ද විමසීම කළ නොහැකිනම් 24(03) ඡේදය යටතේ නිකුත් කළ ගැසට් ප්‍රකාශනයේ ඡන්ද විමසීම කළ හැකි වෙනත් දිනයක් විශේෂයෙන් සඳහන් කිරීමට 24(3) ඡේදයේ විධිවිධාන යටතේ කොමිසම බැඳී සිටින බව කණගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුව තිබේ.

එකී ඡන්ද විමසීම සිදු කරන දිනය, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) ඡේදය යටතේ ප්‍රසිද්ධ කරන ලද ගැසට් ලේඛනය නිකුත් කළ දිනට දවස් 14කට පසුව විය යුතු බව ද සඳහන් කළ යුතුය.

අතිගරු ජනාධිපතිතුමාට ලැබී ඇති උපදෙස් අනුව 2020-05-28 දින හෝ ඊට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කිරීම මේ අවස්ථාවේ කළ නොහැකිය. ඡන්ද විමසීමේ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් වන අතර, මැතිවරණ කොමිසමේ කාර්යයන්ට සහ වගකීම්වලට මැදිහත්වීමට අතිගරු ජනාධිපතිතුමා අදහස් නොකරයි.

කල්දැමුණු ඡන්ද විමසීම පිළිබඳ නිවේදනය කිරීමේ කාල සීමාව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) ඡේදයේ විධිවිධාන ප්‍රකාර දවස් 14කට නොඅඩු කාලයක් බව එනම්, කල්තැබූ ඡන්ද විමසීම 15 වන දවසේ වුවද පැවැත්විය හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

ඡන්දය ප්‍රකාශ කිරීමට මේ රටේ ජනතාවට අයිතිය ඇති බවත්, එය ඔවුන්ගේ ස්වෛරි අයිතියක් බවත් මා අවධාරණය කළ යුතු නැත.

ඉහත සඳහන් කරුණු සියල්ල සම්පිණ්ඩනය කළ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු වීමේ ප්‍රශ්නය පැන නොනගින බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන ලෙස මට උපදෙස් ලැබී ඇත.

පී.බී. ජයසුන්දර
ජනාධිපති ලේකම්

 
 

කොරෝනා වෛරසය රට තුළ පැතිර යාම කඩිනමින් මර්දනයට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය අදහස් ලබාගැනීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥ වෛද්‍යවරු අතර හමුවක් අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට රජය සහ ආරක්ෂක අංශ මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත් ක්‍රියාමාර්ග සහ ඉදිරියට අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

මේ වන විට වෛරසය ආසාධිත පුද්ගලයන් ලඟින් ඇසුරු කළ කණ්ඩායම් හා ඉන් අදියර දෙකක් ඉදිරියට සබඳතා පැවැත්වූ පුද්ගලයන් හඳුනාගනිමින් පරීක්ෂණකිරීමේ වැදගත්කම විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දුන්හ.

වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල (Test Kits)ප්‍රමාණවත් තරම් තිබුණද පැවතියත් ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි වන පරිදි ඒවා ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

ලෝකයේ සෙසු රටවල් අභිබවා යමින් වෛරසය පැතිර යාම වැළැක්වීමට ජනාධිපතිතුමා ගෙනගිය නිරෝධායන වැඩපිළිවෙළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ පැසසුමටලක්විය. එම නිරෝධායන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම වෛරසය පැතිර යාම වැළැක්වීමට ඇති වැදගත්ම ප්‍රවේශය බව වෛද්‍යවරු පවසති.

වෛරසය පැතිර ගොස් නැති ප්‍රදේශ ආරක්ෂා කරගැනීමේ වැදගත්කම වෛද්‍යවරු දැඩිව අවධාරණය කළහ. එම ප්‍රදේශවලට වෛරසය පැතිරී ඇති ප්‍රදේශවලින් සංචරණය නවත්වාගත යුතු බව ඔවුනගේ මතය විය.

“පංචායුධ” ක්‍රමවේදයක් ලෙස සෑම අයෙකුම හැකි උපරිමයෙන් නිවසේ රැඳී සිටීම පළමු පියවර ලෙස ඉතා වැදගත් බව වෛද්‍යවරු පවසති. නිවසින් පිටව යාමේදී මුව ආවරණයන් පැළඳීම, මුහුණ ඇල්ලීමෙන් වැළකීම, සෑමවිටම මීටරයකදුරස්ථභාවය පවත්වාගනෙ යාම සහ අත හොඳින් සේදීම පංචායුධ ක්‍රමවේදයට අයත් වේ.

විශේෂඥයන්, විශ්වවිද්‍යාල, තාක්ෂණික ආයතන, පුද්ගල කණ්ඩායම් COVID – 19 ආශ්‍රිතව නව සොයාගැනීම් ගණනාවක් කර ඇත. ඒවායේ සොයාගැනීම් කඩිනමින් විශේෂඥ මට්ටමෙන් පර්යේෂණයට ලක්කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් කෙරිණ.

කොරෝනා වෛරසය ඉක්මණින් ආසාදනය විය හැකි පුද්ගලයන් පිළිබඳවත්, ඔවුන් ඉන් මුදාගැනීමට අනුගමනය කළ යුතු ක්‍රමවේද කවරේද යන්නත් ජනාධිපතිතුමා විමසීය.

දියවැඩියාව, ඇදුම සහ හෘද රෝග ඇති පිරිස් දැඩි අවධානයෙන් සිටිය යුතු අතර, ඔවුන් නියම කර ඇති ඖෂධ නිසි පරිදි ගත යුතු බව වෛද්‍යවරු කියා සිටියහ. එමෙන්ම දුම් පානයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කළහ.සෑම අයෙකුම නිරන්තරයෙන් උගුර ආශ්‍රිත ප්‍රදේශ තෙත්ව තබාගැනීමට දියර පාන ගැනීමේ වැදගත්කම ද පෙන්වා දෙනු ලැබිණ.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ  යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, හිටපු ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, විශේෂඥ වෛද්‍යවරුන් වන වජිර සේනාරත්න, ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය සරත් ජයසිංහ, මහාචාර්ය අර්ජුන ද සිල්වා, වෛද්‍ය එම්.සී. වීරසිංහ, මහාචාර්ය නීලක මලවිගේ, ප්‍රසාද් කටුලන්ද, මහාචාර්ය වජිර දිසානායක, මහාචාර්ය රංජනී ගමගේ, කුමුදුනී රණතුංග, අමිත ප්‍රනාන්දු, ඉන්දික ලැනරෝල් සහ ජූඩ් සමන්ත යන මහත්ම මහත්මීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනමාධ්‍යවේදීන්‍‍‍ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමට පහසුකම් වැඩිදියුණු කිරී‍මේ අරමුණින් රජය ලබා දුන් මාධ්‍ය අරුණ ණය සඳහා වාරික ගෙවීම මාස තුනක් දක්වා අත්හිටුවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශ‍යේ ‍ලේකම් එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ ක‍ළේය.

ජනමාධ්‍ය අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය එක්ව මහජන බැංකුව සහ ප්‍ර‍දේශීය සංවර්ධන බැංකුව හරහා ‍මෙම ණය ‍යෝජනා ක්‍රමය ක්‍රියවට නැංවිණි. ඒ අනුව රුපියල් ලක්ෂ තුනක් පරිගණක උපකරණ ලබා ගැනීමට හා උපාංග මිලදී ගැනීමට ‍පොලී රහිත ණයක් ‍ලෙස ලබා‍දෙන ලදි. ඊට අමතරව ලක්ෂ එකහමාරක මුදලක් කැමරා උපකරණ අලුත්වැඩියා කිරීමට සහ පරිගණක අලුත්වැඩියා කිරීම සඳහා ණය මුදල් පිරිනමා තිබිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය රජයට සිය ස්තූතිය පල කරයි.

ඒ කොරෝනා වසංගතය හමුවේ රට අසීරුතාවයට පත්ව ඇති අවස්ථාවක ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට අනුව ඉන්දිය රජය විසින් මෙරටට අත්‍යාවශ්‍ය බෙහෙත් ටොන් 10 ක ප්‍රමාණයක පරිත්‍යාග කිරීම සම්බන්ධයෙනි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි වෙත ස්තූතිය පල කර ඇත.

රටේ වසංගතයක් පැතිර යන මෙවන් මොහොතක ජනතාවගේ ආරක්ෂාව ගැන සිතා ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් රාජකාරී ඉටු කරන රාජ්‍ය සේවකයන්ට බියෙන් සැකෙන් තොරව රාජකාරී කිරීමේ වතාවරණය රජය විසින් ඇති කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අංශභාග රෝගියකුගේ විශ්‍රාම වැටුප ලබා දීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ දී හම්බන්තොට, කටුවන රුක්මල්පිටිය තැපැල් ස්ථානාධිපතිවරයාට පුද්ගලයන් තිදෙනකු විසින් පෙරේදා (06) පහර දීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවක දී ගුණවර්ධන මහතා ඊයේ (07) මේ බව පැවසුවේය.

පහර දීමෙන් තුවාල ලැබූ තැපැල් ස්ථානාධිපතිවරයා කටුවන රජයේ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවත් මෙම පහර දීමට සම්බන්ධ පුද්ගලයන්ට අනුකම්පා නොකර දණ්ඩ නීති සංග්‍රහයට අනුව නඩු පවරා දඬුවම් ලබා දෙන ලෙස පොලිස් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇමැතිවරයා මෙහිදී පැවසීය. මේ පිළිබඳ තමාත් තැපැල්පතිවරයාත් පොලිසියට පැමිණිලි කර තිබෙන බව කී ඇමැතිවරයා, මේ අයට නීතිය අකුරටම ක්‍රියාත්මක කොට රජයේ සේවකයන්ට බියෙන් හා සැකයෙන් තොරව රාජකාරි කරන්නට අවස්ථාව ලබා දීමට පියවර ගත යුතු බව ද කීවේය.

“මේ විශේෂ මිල කළ නොහැකි, වටිනා සේවයක් කරන ගම් මට්ටමෙන් බිම් මට්ටමෙන් ගෙවල්වලට යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, සමෘද්ධි නිලධාරීවරු, කෘෂි සංවර්ධන හා පර්යේෂණ නිලධාරීවරු, සංවර්ධන නිලධාරීවරු, ග්‍රාමනිලධාරීවරු තමන්ගේ රාජකාරිය ජීවිතය ද පරදුවට තබා ඉටු කරන මොහොතක ඔවුන්ගේ ආරක්ෂාව සඳහා රජය මැදිහත් වෙනවා. අපි පොලිසියට ත් අදාළ බලධාරීන්ටත් පවසා සිටින්නේ අනුකම්පාවක් දක්වන්නේ නැතිව ඇප රහිත ව බන්ධනාගාර ගත කරලා මේ අයට දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පවරා අවශ්‍ය නිසි දඬුවම් දෙන්න කියලා.” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

COVID – 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට අද (08)  රුපියල් මිලියන 97 ක පරිත්‍යාග සිදු කෙරිණ.

 අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා තම අමාත්‍යංශ යටතේ ඇති ආයතන ලබාදුන් රුපියල් මිලියන 29.5 ක්, අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් පරිත්‍යාග කළ රුපියල් මිලියන 2.8 ක් සහ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සිය කැබිනට් අමාත්‍ය ධුරයට අයත් අප්‍රේල් මස වැටුප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වූහ. යුනිලීවර් ශ්‍රී ලංකා ලිමිටඩ් රුපියල් මිලියන 10ක්, කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය රුපියල් මිලියන 5ක් කිරම විමලජෝති හිමි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය රුපියල් මිලියන 2ක්, අත්තනගල්ල රජමහා විහාරය රුපියල් මිලියන 10ක් සහ මලලසේකර පදනම රුපියල් මිලියන 3ක් අද (08) සිදු කෙරුණු පරිත්‍යාගයන්ට ඇතුළත් වේ.

අද පස්වරු වන විට COVID – 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 517 ඉක්මවා ගොස් තිබිණ.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ  අංක 85737373 දරණ  විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට  පිළිවන.

දෙදිනක් තුළ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 66ක මුදලක් පරිත්‍යාග කර තිබේ. ඒ අනුව රුපියල් මිලියන 314ක්ව තිබූ ශේෂය දැන් රුපියල් මිලියන 380 දක්වා ඉහළ ගොස් ඇති අතර ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සිය කැබිනට් අමාත්‍ය ධූරයට හිමි අප්‍රේල් මස වැටුප සහ හිටපු රාජ්‍ය ඇමැති ගාමිණි ලොකුගේ මහතා රුපියල් මිලියන 10 ක් ඊයේ (06) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කර තිබේ. ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් මිලියන 25ක්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය රුපියල් මිලියන 2.5 බැගින් ද, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව රුපියල් මිලියන 02ක්, මැලිබන් බිස්කට් මැනුෆැක්චරීස් ආයතනය රුපියල් මිලියන 10ක්, මාතර බෝධි ආරක්ෂක සභාව රුපියල් මිලියනයක් සහ නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනය රුපියල් මිලියන 05ක් අරමුදලට පරිත්‍යාග කර ඇත.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කරන අතර දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නීත්‍යානුකූල ගිණුම් මඟින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇති බවත් චෙක්පත් හෝ ටෙලි ග්‍රැෆ් සම්ප්‍රේෂණ මඟින් මුදල් තැන්පත් කිරීමට හැකියාව පවතී.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter