නවතම පුවත්

නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් ප්‍රදානය කෙරේ.

එකවර ලැබෙන දීමනාවක් ලෙස රුපියල් 5,000/-ක් ගෙවීමෙන් ඔවුන් මුහුණපා සිටින ආර්ථික දුෂ්කරතා සමනය වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අත්‍යාවශ්‍ය සේවා යථා පරිදි පවත්වාගෙන යාමට ස්ථාපිත ජනාධිපති කාර්ය සාධක බලකායට උපදෙස් දී ඇත.

ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කළ සහන සහ ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිළි කරන චක්‍ර ලේඛයක් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් අද නිකුත් කරනු ලැබීය. එය මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරුන්, සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කර තිබේ. නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ප්‍රමුඛතා වැඩසටහන අවසන් වූ බව ප්‍රකාශයට පත් කරන තෙක් මේ සහන සමූහය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.

නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ප්‍රමුඛතා වැඩසටහනේ අත්‍යාවශ්‍ය අංගයක් වන්නේ සමස්ත ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාම බව ජනාධිපති ලේකම්වරයා සිය චක්‍ර ලේඛයෙන් කියා සිටී. වෛරස ව්‍යාප්තිය හමුවේ අවතැන් වූ එදිනෙදා ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ ජන කොටස්වල ජන ජීවිතය ප්‍රධාන ව්‍යුහයට එක් කර ගැනීම අවශ්‍යයෙන්ම කළයුතු බව ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් හඳුනාගෙන තිබේ.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට නිවෙස් වෙත ලබාදීමට සියලු පියවර ගන්නැයි දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් දෙන ලෙස ජනාධිපතිතුමා තමාට නියෝග කළ බව ආචාර්ය ජයසුන්දර මහතා තම චක්‍රලේඛයේ සඳහන් කරයි.

ජනාධිපති ලේකම්වරයා අද නිකුත් කළ චක්‍රලේඛයේ ඇතුළත් සහන සහ ඒවා ලැබීමට සුදුසුකම් ඇති අය මෙසේය,

1- වැඩිහිටි දීමනා ලාභී 416,764 දෙනාට සහ වැඩිහිටියන් ලෙස හඳුනා ගනු ලැබ, පොරොත්තු ලේඛනගතව සිටින 142,345 කට රුපියල් 5000/- ගෙවනු ලැබේ.

2- ආබාධිත දීමනාලාභී 84,071 සහ ආබාධිත ලෙස හඳුනාගනු ලැබ, පොරොත්තු ලේඛනයේ සිටින 35,229ක් දෙනාට ද රුපියල් 5,000/- දීමනාව හිමි වේ.

3- ගොවි රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි 160,675 වන ගොවීහු ද රුපියල් 5,000/- දීමනාව හිමිකර ගනිති.

4- වකුගඩු රෝගී දිමනා ලාභී 25,320ක් සහ පොරොත්තු ලේඛනයේ සිටින 13,850 ක් දෙනාට ද රුපියල් 5,000/- දීමනාව ගෙවනු ලැබේ.

5- ගර්භනී මාතාවන් සහ මන්ද පෝෂිත දරුවන් සඳහා ත්‍රිපෝෂ සහ වෙනත් පෝෂණ ද්‍රව්‍ය නිවෙස් වෙත ඝෘජුවම සපයනු ලැබේ. 

6- සමෘද්ධි හිමිකම්ලාභී 1,798,655ක් දෙනාට සහ පොරොත්තු ලේඛනගත පවුල් 600,339 දෙනාට රුපියල් 5,000/- දීමනාව සමෘද්ධි බැංකුව / සමෘද්ධි අධිකාරිය මගින් ගෙවනු ඇත.

7- 645,179ක් වන විශ්‍රාමික රජයේ සේවකයනට විශ්‍රාම වැටුප ගෙවනු ලැබේ.
8- 1,500,000ක් වන රජයේ සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප ගෙවන අතර වැටුප මත ණය මුදල් අය කිරීම නැවත දන්වන තුරු අත්හිටුවා ඇත.
9- ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ සහ ස්වයං රැකියා සඳහා භාවිත මෝටර් රථ හිමියන් ඇතුළු ස්වයං රැකියාවල නිරත1,500,000ක් දෙනාට කල් බදු වාරික සඳහා සහන සැලසේ

10- උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආර්ථික අපහසුතා නිසා සේවක වැටුප් ගෙවීමට නොහැකි පෞද්ගලික ව්‍යාපාරවලට ද සහන හිමි වෙයි.

ඉහත වර්ගීකරණයට අයත් නොවන නමුත් අවදානමට මුහුණ පා සිටින්නවුන් ලෙස හඳුනා ගන්නා අයට ද සමාන සහන සැලසේ. එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සමාජ සේවා සංවර්ධන, සමෘද්ධී සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පුද්ගලයන් වෙත ඝෘජුවම බෙදාදීමට ක්‍රියා කළ යුතු බව ජනාධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛයේ සඳහන් වෙයි. මේ ක්‍රියාදාමයේ දී ගොවීනට සාධාරණ මිලක් ලැබෙන පරිදි අතරමැදියන්ගෙන් තොරව සතොස, සමූපකාර වෙළඳ සැල් සහ පෞද්ගලික වෙළෙඳ ජාලයන් හවුල්කර ගන්නා ලෙස දැනුම් දී ඇත. එසේම අදාළ නිලධාරීන් ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ක්‍රියාකළ යුතු බව ජනාධිපති ලේකම්වරයා පවසයි.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව රෝහල් විසින් සමස්ත දිවයින පුරා ඒ ඒ රෝගීන්ට ලබා දෙන බෙහෙත් රෝහල් විසින් සකස් කර තැපැල් කාර්යාලට ලබා දීමෙන් පසු අදාළ රෝගීන් වෙත නොමිලේ නිවසටම ලබා දීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය,සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

සෙසු සියළු දිස්ත්‍රික්කවල අද (30) දහවල් 2.00ට යළි පනවනු ලැබූ ඇඳිරි නීතිය අප්‍රේල් 01, බදාදා උදෑසන 6.00 දක්වා බල පැවැත් වේ.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

කළුතර දිස්ත්‍රික්කයේ අටුළුගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. කවරකුට හෝ මේ ගම්මාන දෙකට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපතිකාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය මහජන පැමිණිලි සඳහා පැය 24ම ක්‍රියාත්මකව පවතී.

ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මහජන පැමිණිලි දුරකථන මාර්ගයෙන් ලබා ගැනේ. විවිධ පුද්ගලයින් හා සංවිධාන වෙතින් දිනකට මහජන සම්බන්ධතා අංශයට පැමිණිලි දස දහස ඉක්මවා ලැබෙන අතර, ඉන් බොහොමයකට එම අවස්ථාවේදීම විසඳුම් දීමට කාර්ය මණ්ඩලය යුහුසුළුව කටයුතු කරයි.

මහජන පැමිණිලි අංශයට විසඳිය නොහැකි ගැටළු ඒ ඒ අංශ අනුව ලඝුගත කොට දිනපතා ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබේ. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ප්‍රතිපත්තිමය තීරණවලට එළැඹෙමින් ඒවාට විසඳුම් දීම සිදු කෙරේ.

රජය දෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ ක්‍රියාකාරකම් පිළිබඳව හෝ පැමිණිලි දුරකථන අංක011-4354550 / 0114354655   ඔස්සේ ඉදිරිපත් කළ හැකිය.

එම දුරකථන අංක ඔස්සේ සම්බන්ධවිය නොහැකි වුවහොත් ජනාධිපති කාර්යාලයේ ඝෘජු දුරකථන අංක, 0112354354 අමතා – දිගු අංක 3872/ 3873/ 3874/ 3875 ඔස්සේ සම්බන්ධ විය හැක.

කොරෝනා වෛරසය පැතිරයාම ආශ්‍රිත තොරතුරු දැනුම්දීම් සඳහා දුරකථන අංක0112860003 / 0112860004 විවෘතව තැබේ.

0112354354 අමතා දිගු අංක 3355 ඔස්සේ ද  තොරතුරු ඉදිරිපත් කළ හැක.

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ශක්තිමත් කිරීමට ආයතන සහ පෞද්ගලික පරිත්‍යාගශීලීහු විශාල පිරිසක් දායක වෙමින් සිටිති.

කොරෝනා හෙවත් COVID 19 වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඒ සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල මාර්තු මස 23 වනදා ස්ථාපනය කළේය.

ජනාධිපතිතුමාගේ නියමයෙන් ජනාධිපති අරමුදලින් ඒ සඳහා රුපියල් මිලියන 100ක මුදලක්  ප්‍රදානය කෙරිණ.

ශ්‍රී දළදා මාළිගය භාර අරමුදලෙන් රුපියල් මිලියන 10ක්, මල්වතු සහ අස්ගිරි උභය විහාරයෙන් රුපියල් මිලියන 10ක් පරිත්‍යාග කර තිබේ.

ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය රුපියල් මිලියන 2.5 ක්, ජනාධිපති ලේකම් කාර්යාලය රුපියල් ලක්ෂ 02ක්, ශ්‍රී ලංකා ඉන්ජිනේරු සේවා සංගමය රුපියල් මිලියන 6.5ක්, කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය රුපියල් මිලියන 2.5ක්, ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමය රුපියල් මිලියනයක්, රාජ්‍ය සේවා ඉන්ජිනේරු සංගමය රුපියල් මිලියන 03ක්, ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනය රුපියල් මිලියනයක් සහ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා රුපියල් මිලියන 05ක් ඇතුළුව රුපියල් මිලියන 140ක  පරිත්‍යාග මේ වන විට අරමුදලට ලැබී ඇත.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ  අංක 85737373 දරණ  විශේෂ ගිණුමට  පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශීලින් ද ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරේ. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

“සෞඛ්‍ය සහ සමාජ සංරක්ෂණ අරමුදල” කළමනාකරණය  පරිපාලන, මූල්‍ය සහ බැංකු ක්ෂේත්‍රයේ ඉහළම නිපුණතාවක් සහිත වෘත්තිකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් සිදු කෙරේ. අමාත්‍යංශ ලේකම්වරු, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විගණන විශේෂඥයන් සහ බැංකු ප්‍රධානීහූ කළමනාකරණ මණ්ඩලයට පත් කර තිබේ.

දේශීය, විදේශීය සමාගම්වලට ද අරමුදලට දායක වීමෙන් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණය දිරි ගැන්වීමට හවුල් විය හැකි මානුෂීය මෙහෙවරකින් සමස්ථ ප්‍රජාව දෙස බැලීමට ලැබූණු විශේෂ අවස්ථාවක් බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සඳහන් කරයි.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

සෙසු සියළුම දිස්ත්‍රික්කවල හෙට, මාර්තු 30 සඳුදා උදෑසන 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය දහවල් 2.00ට නැවත පනවනු ලැබේ.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

කළුතර දිස්ත්‍රික්කයේ අටලෝගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. කවරකුට හෝ මේ ගම්මාන දෙකට ඇතුළුවීමට හෝ ඉන් පිටවීම හෝ සම්පූර්ණයෙන් තහනම් වේ.

 
 

කොරෝනා වෛරසය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ජනපති මල්වතු - අස්ගිරි මහා නා හිමිවරු දැනුවත් කරයි

 COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට දළදා මාළිගාවෙන් සහ මල්වතු - අස්ගිරි උභය විහාරයෙන් රුපියල් කෝටි 02 ක පරිත්‍යාගයක් ...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (28) පෙරවරුවේ දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය. මාළිගාවට ගිය ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් කෝටියක මුදලක් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණ.

ජනාධිපතිතුමා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැක කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ පැහැදිළි කළේය.

මහානායක හිමියෝ ද ඊට ආශිර්වාද පළ කරමින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් ලක්ෂ 50ක මුදලක් පරිත්‍යාග කළහ. ජනාධිපතිතුමා මල්වතු අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් ද බැහැ දුටුවේය.

අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤානරතන නා හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේ ප්‍රමුඛ අස්ගිරි විහාරස්ථ මහා සංඝරත්නය ද රජය දියත් කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කළේය.

කොරෝනා මර්දන අරමුදලට අස්ගිරි විහාරයෙන් පිරිනැමුණු රුපියල් ලක්ෂ 50ක පරිත්‍යාගයට සහ මල්වතු, අස්ගිරි විහාරස්ථානවලින් ලැබුණු ආශිර්වාදය වෙනුවෙන් ජනාධිපතිතුමා ස්තූතිය පුද කළේය.

 

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරය 2020 මාර්තු 26 විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී දියත් කරන ලදී.

මෙම වෙබ් සම්බන්ධකතාව, මෙම අමාත්‍යාංශයේ www.mfa.gov.lk වෙබ්  අඩවිය මතම සලසා දී ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk හරහා ද මෙම වෙබ් අඩවියට පිවිසිය හැකිය.

COVID-19 පැතිර යෑමට එරෙහිව සටන් කිරීමට සහ කඩිනම්, වේගවත් හා කාර්යක්ෂම සේවා සැපයුමක් සඳහා ඩිජිටල් තාක්‍ෂණය උපයෝගී කර ගැනීම පිණිස රජයේ සියලුම
පාර්ශ්වකරුවන්ගේ ප්‍රයත්නයන් සම්බන්ධීකරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ ඉල්ලීමට අනුව මෙම මාර්ගගත ද්වාරය පිහිටුවීම සිදු කෙරේ.

COVID19 පැතිර යාම වැනි හදිසි අවස්ථාවන්හි දී ශ්‍රී ලංකා රජයට ඔවුන් වෙත ළඟා වීමට සහ ආධාර සැපයීමට ඉඩ සලසන මෙම වේදිකාවේ, මූලික ක්‍රියාකාරී කොටසෙහි ස්වේච්ඡාවෙන්
ලියාපදිංචි වන ලෙස විදේශයන්හි වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කෙරේ. ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අමාත්‍යාංශයට අවශ්‍ය තත්‍ය කාලීන දත්ත ලබා ගැනීමට මෙම වේදිකාව
ඉඩ සලසයි. මෙම විවෘත ප්‍රවේශ වේදිකාව මඟින් එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ට රජයේ පාර්ශ්වකරුවන් සමඟ අන්තර් ක්‍රියා කිරීමට පහසුකම් සැලසෙන අතර, විදේශ සබඳතා අමාත්‍යාංශයේ එක්
කේන්ද්‍රීය ස්ථානයක් හරහා රජයේ සේවාවන්ට වැඩි ප්‍රවේශයක් ලබා දෙනු ඇත. මෙම ද්වාරය මඟින්, එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් විදේශවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල ජාලය සමඟ ද සම්බන්ධ
කරනු ඇත.

දීර්ඝ කාලීනව, මෙම ද්වාරය පුළුල් කරනු ලබන අතර, එමඟින් නිල තොරතුරු ප්‍රභවයක් ලෙස කටයුතු කිරීම සහ රජය විසින් සපයනු ලබන පුළුල් පරාසයක ඩිජිටල් සේවාවන් ලබා ගැනීම සඳහා එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ට පහසුකම් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ විමසීම්වලට ප්‍රතිචාර දැක්වීමට මෙන්ම, හදිසි අවස්ථාවල දී අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර මාර්ගගත උපකාරක කවුළුවක් ලෙස කටයුතු කිරීම සඳහා ඇපකැපවූ නිලධාරීන් කණ්ඩායමක් දැනටමත් විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් පත් කර තිබේ. තමන් වෙසෙන රට අනුව ලියාපදිංචි වීම තුළින්, ජනතාව ඉවත් කර ගැනීම වැනි තීරණාත්මක ප්‍රතිචාර අවශ්‍ය අවස්ථාවන්හි දී ලැබෙන හදිසි ආධාර ඉල්ලීම් ගණන මත පදනම්ව, ස්ථිරසාර ප්‍රතිපත්තිමය තීරණ යෝජනා කිරීම සඳහා මෙම අමාත්‍යාංශයට ඉඩ සැලසෙනු ඇත.

මෙම පහසුකම් සැලසීම පහසු කිරීම සඳහා, නිතර අසනු ලබන ප්‍රශ්න (FAQs) ලැයිස්තුවක් ද මෙම ද්වාරයට ඇතුළත් වන අතර, එය පොදු විමසුම් සඳහා මාර්ගෝපදේශයක් වනු ඇත. ඕනෑම මාර්ගගත ගවේශකයක් හෝ අතුරු මුහුණතක් භාවිත කරමින් අන්තර්ජාලය හරහා මෙම පරිශීලක හිතකාමී වේදිකාවේ පහසුවෙන් සැරිසැරීමට හැකිවන අතර, විමසීමක් කිරීම හෝ උදවු උපකාර ඉල්ලා සිටීම සඳහා සියලුම ලියාපදිංචි පරිශීලකයින්ට ජංගම දුරකථනයක් මඟින් වුවද ඊට ප්‍රවේශ විය හැකිය.

එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ පෞද්ගලිකත්වය සහතික කිරීම සඳහා, මෙම ද්වාරය හරහා ලබා දෙනු ලබන දත්ත සුරක්ෂිත කර ඇති අතර, පරිශීලකයින්ගේ අවසරයකින් තොරව ඒවා වෙනත් පාර්ශවයන් වෙත ලබා නොදෙනු ඇත.

‘ශ්‍රී ලංකාව අමතන්න’ ද්වාරය හරහා එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා පුළුල් මාර්ගගත සේවා වේදිකාවක් නිර්මාණය කිරීම පිණිස මෙම ද්වාරයෙහි විශේෂාංග අදියර වශයෙන් පුළුල් කිරීම සඳහා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විදේශ සබඳතා අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරනු ඇත.

මෙම ඒකාබද්ධ වේදිකාව මඟින්, එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා දැනට පවත්නා සේවා සැපයීම ඉහළ තලයකට ඔසවා තබනු ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
විදේශයන්හි වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින්ට, මෙම ද්වාරයෙන් ප්‍රතිලාභ ලබා ගන්නා ලෙස ආරාධනා කරනු ලැබේ.

කොරෝනා වෛරසය රට තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස මව්බිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් රජය ඉල්ලා සිටී.

කොරෝනා වෛරසය COVID-19 රට තුළ පැතිර යාම වැළැක්වීමට රජය පියවර රැසක් ගෙන ඇත. රට තුළට වෛරසය පැමිණීම සහ පැතිරයාම වැළැක්වීමේ  පියවරක් ලෙස විදේශවලින් පැමිණීම සම්පූර්ණයෙන් නවතා තිබේ.

සෙසු රටවලද මෙම පියවර අනුගමය කරමින් රට තුළ ගමනාගමන කටයුතු මෙන්ම ගුවන් ගමන් ද අත්හිටුවා ඇත. විදේශගත සිසුන්, ව්‍යාපාරිකයන් සහ රැකියාවල නිරත පිරිස් මෙරටට පැමිණීමට කරන ඉල්ලීම් රට තුළ කොරෝනා වෛරසය මර්දනය කොට තත්ත්වය යහපත් අතට හැරීමෙන් පසු සලකා බලන බව රජය දැනුම් දෙයි.

මේ වන විට තමන් සිටින ස්ථානවලින් ගුවන් තොටුපොළවලට හෝ වෙනත් ස්ථාන වෙත ගමන් කිරීමෙන් ඔවුනට ද මේ රෝගය වැළඳීමේ අවදානමක් පවතී.

එබැවින් තමන් පිළිබඳ තොරතුරු අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ, කොන්සියුලර් ජනරාල් කර්යාලය හෝ සමග හුවමාරු කර ගනිමින් සුරක්ෂිතව සිටින ලෙස මවුබිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ඉල්ලා සිටී

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය හා ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ස්ථාපනය කළ “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට” ලැබෙන පරිත්‍යාග බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර තිබේ.

අරමුදල සදහා විශේෂ ගිණුමක් ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ විවෘත කර ඇත. ගිණුම් අංකය 85737373 වේ. චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවණ. අරමුදලට මුදලින් කරන පරිත්‍යාග ගැන අදාළ ලියකියවිලි සමග ජනාධිපති කාර්යාලයට දැනුම් දෙන ලෙස පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පසුගිය සඳුදා ස්ථාපනය කෙරිණි. එදිනම එතුමාගේ නියමයෙන් ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 100ක් ඊට ප්‍රදානය කරනු ලැබීය.

ජාතිය මුහුණ පා සිටින අභියෝගය හමුවේ මානුෂවාදී හැඟීමෙන් සහ සහෝදරත්වයෙන් එක්ව ක්‍රියාකරන්නැයි ජනාධිපතිතුමා ඉල්ලා සිටී. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ දේශීය සහ විදේශීය සමාගම්, විදේශ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන අරමුදල ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සමාජ සංරක්ෂණ අරමුදලේ අරමුණු මෙසේය,

1- COVID-19 හා සම්බන්ධ ඖෂධ, පරීක්ෂණ උපකරණ සහ ධාරිතා වියදම් ඇතුළු සියලු වියදම් පියවීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවශ්‍ය අරමුදල් වහා සම්පාදනය කිරීම

2- අත්‍යාවශ්‍ය මහජන සේවා සැපයීමේ නිරත සෞඛ්‍ය අංශයේ සේවක සේවිකාවන්ගේ සහ පහසුකම් සලසන්නන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව උදෙසා අවශ්‍ය සියලු වියදම් සපුරාලීම

3- ළමයින්, කාන්තාවන්, අඩු ආදායම්ලාභී පවුල්, වයස්ගත වූවන්, ආබාධ සහිත සහ අවදානමට ලක් වූ කණ්ඩායම් සඳහා මූලික අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය

4- ග්‍රාමීය සහ දුර බැහැර ප්‍රදේශවල බෙහෙත් ශාලා, පරීක්ෂණ සහ ප්‍රතිකාර ස්ථාන, පවුල් සෞඛ්‍ය සේවා ඇතුළු මහජන සෞඛ්‍ය සේවා පද්ධති දියුණු කරමින් බෝ වෙන රෝග අවදානම අඩුකිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරනු පිණිස අවශ්‍ය අරමුදල් සපයා ගැනීම

5- දේශීය වෛද්‍ය ක්‍රමය සහ සනීපාරක්ෂක භාණ්ඩ නිෂ්පාදනය සහ බෙදාහැරීම වැඩිදියුණු කිරීම සහ දේශීය අමුද්‍රව්‍ය, සම්පත්, දැනුම හා නිපුණතා භාවිතයෙන් සෞඛ්‍ය හා සනීපාරක්ෂක නවෝත්පාදන නිෂ්පාදනය අරමුණු කරගත් පර්යේෂණ ප්‍රවර්ධනය

6- ගෝලීය වෙළෙඳ පොළ සඳහා ආරක්ෂිත ඇඳුම් හා සනීපාරක්ෂක නිෂ්පාදන සංවර්ධනය අත්හදා බැලීම සහ ශ්‍රී ලංකාවේ වෛද්‍ය හා විද්‍යාත්මක දැනුම භාවිතයෙන් නවෝත්පාදන සඳහා පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම

7- සාම්ප්‍රදායික එහෙත් සමෘද්ධිමත් දිවි පෙවෙතක් අගයන, කාබනික ආහාර පරිභෝජනයෙන් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනයට ජනමාධ්‍ය සහ අධ්‍යාපනික වැඩසටහන් සම්පාදනය

8- සම්පත් ප්‍රතිපාදනය, විධිමත් ජාතික ප්‍රසම්පාදන ක්‍රම සහ පාලන චර්යා පිළිබඳ ප්‍රශස්තම මූලධර්ම මත පදනම්ව ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර සපයන ප්‍රධාන හවුල්කරුවන් සමග එක්ව අරමුදල් රැස් කිරීම

පරිපාලන, මූල්‍ය සහ බැංකු ක්ෂේත්‍රයේ ඉහළම නිපුණතාවක් සහිත වෘත්තිකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල කළමනාකරණය කෙරේ.

ජනාධිපතිතුමා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී සමස්ත ජන ජිවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා වූ මෙහෙයුම්  බලය දැන් ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරේ.

ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා බලකායේ සභාපති ධූරයටත්,  අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතා ලේකම් ධූරයටත් පත් කර ඇත.

පළාත් ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ රැසක ලේකම්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, දෙපාර්තමේන්තු, සංස්ථා සහ අධිකාරි රැසක සභාපතිවරු, දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු  40 දෙනෙක් එහි සාමාජිකයෝ වෙති.

ජනාධිපතිතුමා විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් කාර්ය සාධක බලකායට පැවරෙන බලතල සහ කාර්යයන් ප්‍රකාශයට පත් කර තිබේ.

කොරෝනා වෛරසය පැතිරයාමේ වැඩි අවදානමක් සහිත කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම, යාපනය, මන්නාරම, කිලිනොච්චිය, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට ප්‍රමුඛත්වය දෙමින් සෙසු දිස්ත්‍රික්ක කෙරෙහි ද කාර්ය සාධක බලකාය අවධානය යොමු කළ යුතුය.

වී, ධාන්‍ය, එළවළු, මාලු, කිරි හා බිත්තර නිෂ්පාදන සහ තේ, කුරුඳු, ගම්මිරිස් වැනි වැවිලි නිෂ්පාදන සඳහා ගොවීන්ට පහසුකම් සැලසීම සෙසු කාර්යයන් අතර ප්‍රධාන තැනක් ගනී. අත්‍යාවශ්‍ය වියළි ආහාර හා ඖෂධ ආනයනය මෙන්ම තේ, සනීපාරක්ෂක ඇඳුම් වැනි අපනයන පහසුකරනු පිණිස ශ්‍රී ලංකා වරාය, රේගුව, ආයතනික බැංකු සහ සෙසු රාජ්‍ය නියමන ආයතන සමග සම්බන්ධිකරණය හා තීරණ ක්‍රියාත්මක කිරීම තවත් කාර්යයකි.

ග්‍රාමීය වශයෙන් හා නිෂ්පාදකයින් විසින් සපයනු ලබන ආහාර ඝෘජුවම පාරිභෝගිකයින්ට ලබාදීම, මෙහෙයුම් වාර්තා ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීම කාර්ය සාධක බලකාය සතුය.

සේවා සැපයීම පිණිස සහය ඉල්ලා සිටිය හැකි සියලුම රජයේ නිලධරයන් හා එබඳු සෙසු පිරිස් තත්කාර්ය සම්බන්ධයෙන් උපදෙස්වලට අනුකූලව ක්‍රියා කළයුතුය. සියලු සහය සහ තොරතුරු ලබාදිය යුතු බවද රජයේ නිලධාරීන්ට සහ සෙසු තැනැත්තන්ට චක්‍ර ලේඛ මගින් ජනාධිපතිතුමානියම කර තිබේ. නිලධාරියෙකු විසින්  පවරන ලද රාජකාරී හා වගකීම් ඉටුකිරීම ප්‍රමාද කරන හෝ පැහැර හරින හෝ සියලු අවස්ථා ජනාධිපතිතුමා වෙත වාර්තා කරන ලෙස ද කාර්ය සාධක බලකායට නියම කර ඇත.

කාර්ය සාධක බලකායට පවරා ඇති තවත් කාර්යයන් කිහිපයක් මෙසේය,

  • ගොවිතැන්වැඩසඳහා අවශ්‍ය බීජ, පැළෑටි, පොහොර සහ උපකරණ සම්පාදනය පිණිස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වැනි ආයතන මෙහෙයවීම සහ අවශ්‍ය පහසුකම් සැපයීම,

– බීජ ගොවිපළ, කාබනික පොහොර භාවිතය සහ ගෙවතු වගා නිෂ්පාදන දිරි ගැන්වීම, ලංකා බැංකු, මහජන බැංකු, ප්රාකදේශීය සංවර්ධන බැංකු සහ සමෘද්ධි බැංකු ශාඛා මගින් ගොවීනට ණය මුදල් සම්පාදනය

– අදාළ කාර්යන් ඉටුකිරීමේ දී කාන්තාවන්, අඩු ආදායම්ලාභී පවුල් සහ අවදානමට ලක් වූ පුද්ගලයක් කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම

ගොවීයාසහදේශීයආර්ථිකයශක්තිමත්වනඅයුරින් සහල්, එළවළු සහ නිෂ්පාදන සියලු දිස්ත්රිකක්කයන්හි ජනතාව වෙතම බෙදාහැරීම ධෛරවත් කළයුතුය. සමූපකාර, සතොස, ආර්ථික මධ්ය්ස්ථාන, කාගිල්ස්, කීල්ස්, ආපිකෝ, ලාෆ් වෙළෙඳ ජාලය සංවිධානය කිරීම, ගොවිපොළ සහ වැවිලි නිෂ්පාදන කටයුතු සඳහා ගොවීන්ට පහසුකම් සැපයිම, ඖෂධ බෙදාහැරීම, වාණිජ බැංකු විවෘතව පවත්වාගෙන යාම ඇතුළු දෛනික ජන ජීවිතය යථාවත්ව පවත්වාගෙන යාමට අවශ්යධ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ බලය කාර්ය සාධක බලකායට හිමි වෙයි.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter