නවතම පුවත්

කොරෝනා රෝගය මර්දනය කිරීම සඳහා ලෝකයේ කිසිදු රටක් මෙතෙක් ක්‍රියාවට නංවා නොමැති ක්‍රියාමාර්ග රැසක් පසුගිය කාලය තුළ ආණ්ඩුව ගෙන තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කෙළේ කොරෝනා මර්දනය පිළිබඳ කාර්ය සාධක බළකාය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (17) උදෑසන රැස් වූ අවස්ථාවේ දීය. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

රෝග මර්දනයට අනෙක් රටවල් ආදර්ශයට ගන්න යෝජනා කරන කිසිවෙක් ආණ්ඩුව මෙතෙක් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග අගය නොකරන තත්ත්වයක් දක්නට ලැබෙනවා.කොරෝනා කාර්ය සාධක බළකායක් පිහිට වූ මුල්ම රට ශ්‍රී ලංකාවයි. කොරෝනා මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය පටන් ගත්තේ ජනවාරි මාසේ 26 වැනිදා. ලෝකයේ කිසිම රටක් කරන්න පෙරයි අපි එම කාර්ය සාධක බළකාය ආරම්භ කෙළේ. වුහාන්වල හිටිය අපේ දරුවන් 34 දෙනා බේරා ගන්න තමයි අපි මේ බළකාය මුලින් ආරම්භ කෙළේ. කාර්ය සාධක බළකාය හදලා අපි ඒ ළමයි බේරා ගත්තා පමණක් නොවෙයි, කිසිම සිද්ධියක් නොවෙන්න එම කාර්යය කළමනාකරණය කරගන්න අපට හැකියාව ලැබුණා.

අපේ රටෙන් කොරෝනා රෝගය වැළඳුණු කෙනෙක් මුලින්ම වාර්තා වුණේ ජනවාරි මාසේ 27 වැනිදා. සංචාරයට ආ චීන ජාතික කාන්තාවක් තමයි මුලින්ම වාර්තා වුණේ. පෙබරවාරි මාසේ 1 වැනි දා වන විට අපට වුහාන්වල හිරවෙලා හිටපු ළමයි 34 දෙනාම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් යවලා මෙරටට ගෙන්වා ගන්න පුළුවන් වුණා. ඒ ළමයි එන්න පෙර දින හයකින් දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථානයක් හදන්න අපේ හමුදාව සමත් වුණා. එක ළමයකුට එක කාමරයක් බැගින් ඒ මධ්‍යස්ථානය ඉදි කළා.

ඒ ගෙනාපු ළමයි මත්තල ගුවන්තොටුපොළෙන් මෙරටට ගෙන්නලා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට ගෙනිහිල්ලා නිරෝධායන කාර්යය සාර්ථකව කරගන්න අපට හැකියාව ලැබුණා. ඒ කාලය තුළ අපට විවිධ ඉල්ලීම් ආවා. චීනයේ අනෙකුත් ප්‍රදේශවල සිටින ළමයිනුත් බේරා ගන්න කියලා. ඒ වගේ ළමයි 750ක් පමණ චීනය පුරා හිටියා. අපි උපදෙස් දුන්නා ඒ අයට ස්වයං නිරෝධානයකට ලක්වෙන්න කියලා. කිසිම සිද්ධියක් වාර්තා නොවන ආකාරයට අපි ඒ කටයුත්ත කළා.

පෙබරවාරි මාසේ 19 වැනි දා කොරෝනා වැළඳිලා හිටපු චීන ජාතික කාන්තාව සුවය ලබලා ඇයගේ රටට පිටත්ව ගියා. මේ වන තෙක් අපට කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. අපට මුලින්ම ප්‍රශ්නයක් ඇති වුණේ මාර්තු මාසේ 11 වැනි දා . ඒ ඉතාලියේ සංචාරක කණ්ඩායමකට මඟ පෙන්නූ සංචාරක මාර්ගෝපදේශකයකු හට කොරෝනා රෝගය වැළඳීමත් සමඟයි. අද වන විට එම සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මාර්තු 11 වැනි දා එක් රෝගියෙක් ද, 12 වැනි දා රෝගීන් දෙදෙනෙක් ද, 13 වැනි දා රෝගීන් දෙදෙනෙක් ද, 14 වැනි දා රෝගීන් පස් දෙනෙක් ද, 16 වැනි දා රෝගීන් දස දෙනෙක්ද වශයෙන් වාර්තා වෙලා තිබෙනවා.

මේ අය අතරින් 15 දෙනෙක් ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට ඇතුළත් කර හිටපු අයයි.චීනයෙන් පසුව ඉතාලියේ මේ රෝගය විශාල වශයෙන් පැතිර යන බව අපට දැන ගන්න ලැබුණා. අපි තීරණය කළා ඉතාලියේ සිට එන සියලු ශ්‍රී ලාංකිකයන් නිරෝධායනයට ලක් කරන්න. පළමු නිරෝධායන මධ්‍යස්ථානය කන්දකාඩු සහ පුනානිවල ආරම්භ කළා. මාර්තු මාසේ 10 වැනි දා වන විට ඉතාලියේ මෙන්ම දකුණු කොරියාවේ සිට එන අයත් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන්න අපි තීරණය කළා. පසුව ඉරානයත් ඒ ලයිස්තුවට ඇතුළත් කළා.

අපි මේ නිරෝධායන කටයුතු කෙළේ බොහෝ අභියෝග මැද. ඒ අතරතුරේ එක් අයෙක් තමන් නිරෝධායනයට ගෙන ගිය බස් රථයේ රියැදුරුගේ බෙල්ල මිරිකලා පැනලා ගිහින් තිබුණා. අපි කෙසේ හෝ ඒ කටයුත්ත නොකළා නම් මේ වන විට ඇති විය හැකි තත්ත්වය හිතාගන්න පුළුවන්. ඒ අවස්ථාවේ සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ගෙන ගියා නිරෝධායනය ගැන. මේ වන විට නිරෝධායන කඳවුරු 16ක 1882ක් නිරෝධායනයට ලක්වෙලා තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය අපට දැනුම් දුන් තොරතුරු අනුව යුරෝපයේ රටවල මේ වන විට කොරෝනා රෝගය වැඩිවෙමින් පවතින බව දැන ගත්තා. අනතුරුව ඒ රටවල සිට එන අයත් අපි නිරෝධායන ලයිස්තුවට ඇතුළත් කළා. ප්‍රංශය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය වගේ යුරෝපා රටවල් 7ක් ඒකට ඇතුළත් වුණා. පසුව එංගලන්තය, ප්‍රංශය සහ බෙල්ජියමත් ඊට ඇතුළත් කළා. මෙම රෝගය පාලනය සඳහා අපි ප්‍රධාන වශයෙන් තීරණ කිහිපයක්ම ගත්තා.

මුලින්ම පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමට පියවර ගත්තා. දෙවනුව ජනතාවගේ ඒකරාශී වීම වැළක්වීම සඳහා ඊයේ රජයේ නිවාඩු දිනයක් බවට පත් කළා. තෙවනුව ජනමාධ්‍ය හරහා කොරෝනා වළක්වා ගැනීම සම්බන්ධ උපදෙස් මාලාවක් නිකුත් කළා. මාර්තු මස 9 වැනි දා සහ 10 වැනි දා දිනවල ඉතාලියේ සිට ආ පුද්ගලයන් නිරෝධායනයට ලක් කිරීමට තීන්දු කළා.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ බුද්ධි අංශ යොදවලා මාර්තු මස 1 වැනි දා සිට ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට මෙරටට ආ පුද්ගයන් ගැන හොයන්න සෝදිසි මෙහෙයුම් පටන් ගත්තා. අපට අවශ්‍ය වුණා ඒ අය නිවෙස්වලම තියලා නිරෝධායනයට ලක් කරන්න. දහසක පමණ පිරිසක් ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව සහ අනෙකුත් යුරෝපා රටවල සිට මෙරටට පැමිණ තිබෙනවා. ඒ අය ඉන්න නිවෙස්වලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යවලා, දැනුවත් කිරීම් කරලා, නිරෝධායනයට ලක් කෙරෙනවා කියලා දැන්වීමක් ඒ නිවෙස්වල පළ කරලා තිබෙනවා.

කොරෝනා පාලනයට වෙනත් කිසිදු රටක නොකළ විශාල වැඩකොටසක් ,අපි මේ කාලය තුළ අපේ රටේ ක්‍රියාවට නංවලා තිබෙනවා. අපි මේ සියල්ල කෙළේ කිසිදු බාධාවකින් තොරව ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහායි. මේ දිනවල පොළොන්නරුව ප්‍රදේශයේ නව නිරෝධායන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා කටයුතු කරමින් යනවා. මම ඊයේත් කතා කරලා ඒ සම්බන්ධයෙන් හොයලා බැලුවා. එහෙම වුණොත් ඒ ප්‍රදේශවල සිටින රෝගීන් කොළඹ ගේන්නේ නැතුව නිරෝධායනයට ලක් කරන්න පුළුවන්.

මේ සියල්ල අතරේ රටේ තවත් ප්‍රශ්න මතු වෙනවා. කෑගල්ල ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් කතා කරලා මට කිව්වා ,ඒ පැත්තේ වතුර ප්‍රශ්නයක් තියෙනවා කියලා. මම ලේකම්තුමාට කතා කරලා ඒ ගැන කිව්වා. අන්තිමට රාජ්‍ය සේවකයෝ නිවාඩු හින්දා බවුසර් හොයන්න වුණෙත් ලේකම්තුමාටමයි. ඒ අතර අම්පාර ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් කතා කරලා මට කිව්වා මඩ පොහොර හිඟයක් තියෙනවා කියලා. රාජ්‍ය සේවකයන්ට නිවාඩු දෙන කොට මේවා ගැනත් කල්පනා කරන්න ඕනේ. මඩකලපුව ප්‍රදේශයේ මේ දවස්වල ගොයම් කැපෙනවා. වී අලෙවි මණ්ඩලය මේකට මැදිහත් නොවුණොත් ගොවීන්ට මුදල් නැතිව වෙනවා.

නිවාඩු දෙන්න ලේසියි. මිනිසුන් ජීවත් කිරීම තමයි අමාරු. අපි මේ වේලාවේ බුද්ධිමත් වෙලා තීන්දු ගන්න ඕනේ. සමස්ථය දෙස බලලයි තීන්දු ගත යුත්තේ. එසේ නැති වුණොත් වෙන්නේ ජනතාව කලබල වෙන එක විතරයි. කොරෝනා වගේ නොවෙයි, වතුර නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ.

සමහර දවස්වලට මාසෙටම ඉස්සරහට ගිහින් තියෙන්නේ අඟලයි. නමුත් අපි රට ලොක්ඩවුන් කෙළේ නැහැ. ඒ මෙහෙයුම්වලදී දී 5000කට වැඩි පිරිසකගේ ජීවිත නැති වුණා. 10,000ක් පමණ ආබාධිත වුණා. අපි ලොක්ඩවුන් කෙළේ නැහැ. මට තේරෙන්නේ නැහැ 28 දෙනෙකු රෝගී වුණාම රටම ලොක්ඩවුන් කරන්න ඕනේ ඇයි කියලා. මේවාට කලබල වුණොත් කිසිවක් හරියට කර ගන්න වෙන්නේ නැහැ.

සමහරු මට කියනවා සිංගප්පූරුව, චීනය අනුගමනය කරපු ක්‍රමවේදය ගැන . හැබැයි ඒ කවුරුත් අපි කරපු දේ කියන්නේ නැහැ. අපි තමයි කොරෝනාවලට එරෙහිව හොඳම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙළේ. ඉතාලිය මොනවා කළත් වැඩක් නැහැ. දහස් ගණන් මැරෙනවා නම්, අපි ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න ඕනේ. අපේ ආදර්ශය අනෙක් රටවලටත් දෙන්න ඕනේ.

අපට දක්ෂ හමුදාවක් ඉන්නවා. ඕනේ වැඩක් ඒ අයට කියලා කරගන්න පුළුවන්. මගේ අදහස නම් අපි තවමත් මුළු රටම වහලා දාන තත්ත්වයට ඇවිත් නැහැ. අපි බලන්න ඕනේ පිටරටින් එන අය පාලනය කර ගන්නයි. ඒ අනුව සියලුම දෙනා රටට ඇතුළු වීම තහනම් කරනවා. මාර්තු මාසේ 10 වැනි දා දක්වා ඉතාලියේ, දකුණු කොරියාවේ සිට පැමිණි අය නිරෝධායනයට ලක් කරනවා. ඒ වගේම පෙරේදා වන තුරු අනෙක් රටවලින් ආ අයත් ඔවුන්ගේ නිවාසවලම නිරෝධායනයට ලක් කරනවා. ඒක ඉතාම සාර්ථකව කරන්න පුළුවන්.

ඉතාලියේ, දකුණු කොරියාවේ සිට ආපු අය රට වටේ ඇවිද ඇවිද යන්න ගත්තොත් කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ. මුලින්ම මේ අය පාලනය කරන්න ඕනේ. පොලීසිය, බුද්ධි අංශ සහ ත්‍රිවිධ හමුදාව මේ අයගේ නිවාසවලට ගොස් නිරීක්ෂණයට ලක් කරන්න ඕනේ. ඊයේ සවස තිබුණු තත්ත්වය එක්ක රාත්‍රී 11.50ට තමයි මම දින තුනේ නිවාඩුව දෙන්න තීන්දු කෙළේ. මම ම දුරකථන ඇමැතුම් දීලා තමයි මාධ්‍ය ආයතනවලට මේ නිවාඩුව ගැන දැනුම් දුන්නේ.

මේ නිවාඩු දින තුන තුළ ඉක්මණින් පියවර ගන්න ඕනේ. ඊළඟට අපට පුළුවන් නිවාඩුව දිගු කරනවද නැද්ද කියලා තීන්දු කරන්න. දැන් නිවාඩු තුනෙන් පස්සේ එන්නේ සිකුරාදා. ඊට පස්සේ සති අන්තය. සිකුරාදට ඕනේ නම් නිවාඩු දෙන්නත් පුළුවන්. ඊට පස්සේ දින ගණනාවක් තියෙනවා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. රාජ්‍ය සේවාව ක්‍රියාත්මක නොවුනොත් අපට මේ කටයුත්ත කරන්න බැරි වෙනවා. මේ කාලය තුළ ජනතාව දැනුවත් කරන්න ඕනේ නිවාසවලට වෙලා ඉන්න කියලා.

අපි නිවාඩු දෙන්න තීන්දු කළාම මම දැක්කා සමහරු කියනවා නාමයෝජනා දෙන්න ඕනේ නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට නිවාඩු දීලා නැහැ කියලා. නාමයෝජනා දෙන්න ඕනේ තමයි. මම නොවැම්බර් මාසයේ ජනාධිපති වූණා.ඒ වන විට එවකට හිටපු ආණ්ඩුව අය -වැයක් සම්මත කරන්නේ නැතුව අතුරු සම්මත ගිණුමකින් මුදල් වෙන් කර ගෙන තිබුණා. අපටත් තිබුණේ සුළුතර ආණ්ඩුවක්.

පහුගිය ආණ්ඩුව පොහොරවලට මුදල් ගෙවලා තිබුණේ නැති නිසා පොහොර ගෙන්වන්න විදියක් තිබුණේ නැහැ. ඖෂධවලට මුදල් ගෙවලා තිබුණේ නැති නිසා ඖෂධ ගෙන්වන්න බැරි වෙලා තිබුණා. කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවලා තිබුණෙත් නැහැ. මේ ප්‍රශ්න නිසා අපි හිතුවා අමතර වැය ශීර්ෂයක් ඉදිරිපත් කරලා මුදල් ලබා ගන්න. නමුත් විපක්ෂය එය ඉඩ දුන්නේ නැහැ. අපි ඒක දැනගෙන වැය ශීර්ෂය ඉවත් කර ගත්තා.

මට ජනතාව භාර දුන් වගකීම ඉදිරියට ගෙන යෑම සඳහා ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍යයි. කොරෝනා ආවම ඒවට අවශ්‍ය වියදම් හොයාගන්නේ කොහොමද කියන එකත් අපි කල්පනා කරන්න ඕනේ. ඒ නිසා මම පාර්ලිමේන්තුව විසිරෙව්වා. පාර්ලිමේන්තු විසුරුවන විට නාමයෝජනා කැඳවන දිනය, මැතිවරණය පැවැත්වෙන දිනය දැනුම් දෙන්න ඕනේ. පාර්ලිමේන්තුව විසුරුවා හරින විට මට බලය ලැබෙනවා වැය ශීර්ෂයක් මඟින් මුදල් ලබා ගන්න.

නැවත වරක් මැතිවරණය කල්දැම්මොත් මට මේක නැවතත් පාර්ලිමේන්තුව හමුවට ගේන්න වෙනවා. ඒකට නැවත වතාවක් විරුද්ධ පක්ෂයේ සහයෝගයක් ලැබෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා නාමයෝජනා දීම සිදුවිය යුතුයි. ඡන්ද දිනය කල් දැමීමට අවශ්‍ය නම් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ඒ ගැන තීන්දුවක් ගන්න පුළුවන්. මම මේක සම්පූර්ණයෙන් අතහැර දැම්මොත් නැවත වරක් මුදල් ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා.

සමහරු වැරැදි විදියට අර්ථකථනය කරනවා පවුලක් බලයේ ඉන්න ඕනේ නිසා මේවා කරනවා කියලා. ඒ ගැන කණගාටු වෙනවා. දේශපාලන වාසි කතා මේ වගේ දේවල් කියන්න හොඳ නැහැ. කොරෝනා පාලනය කරන්නෙත් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ලබා දෙන්නයි. ජනතාවට ජීවත් වෙන්න අපි යම් යම් ක්‍රියාමාර්ග ගන්න ඕනේ.

අගමැති මහින්ද රාජපක්ෂ, සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි, බස්නාහිර පළාත් ආණ්ඩුකා විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ, ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේෂක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් භද්‍රානී ජයවර්ධන, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

මැතිවරණයක් පවත්වා අලුත් ස්ථාවර රජයක් ස්ථාපිත කොට නව අයවැයක් සම්මත කොට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.

ඒ සඳහා පරිණත දේශපාලනඥයකු වූ, ජනතා ජනාදරයට පත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් ප්‍රබල රජයක් බිහිකිරීමට තමා වටා එක්වන ලෙසත් ජනාධිපතිවරයා ජනතාවට කියයි.

කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සහ වර්තමාන තත්ත්වය ගැන ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් ඊයේ(17) සිදුකරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ ප්‍රකාශ කළේය. මේ අවස්ථාවේ අපේ වගකීම වන්නේ රජය නිසිලෙස පවත්වාගෙන යාමයි. මොනම හේතුවක් නිසාවත් රජය අකර්මණ්‍ය වන්නට ඉඩහරින්නට බැහැ. අප දුරදිග නොබලා කටයුතු කළහොත් සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය හැකියි. නායකයන් ක්‍රියාකළ යුත්තේ ආත්ම විශ්වාසයකින් යුතුවයි. ජනතාව තුළ අනිසි බියක් ඇති නොකළ යුතු යැයි ද හෙතෙම කීවේය. අප මේ අවස්ථාවේ කළ යුත්තේ ලංකාවට වෛයිරසය ඇතුල් වීමට හා එය රට තුළ පැතිරීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. ඒ සඳහා කළ යුතු දේ අප දැනටමත් හඳුනාගෙන ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය බලතල කාර්ය සාධන බලකායට ලබාදී තිබෙනවා. අපි මින් පෙරත් අභියෝගවලට මුහුණ දී ජයගෙන තිබෙනවා. අපි අභියෝගවලට මුහුණ දීමට සූදානම්. ඒ සඳහා අපට අවශ්‍යවන්නේ එකමුතුකමයි. ඒ නිසා මේ අවස්ථාවේ ජනතාවට වගකීමෙන් කටයුතු කරනු ඇතැයි මා විශ්වාස කරනවා.

අපි මින් පෙරත් අභියෝගවලට මුහුණ දී ජයගෙන තිබෙනවා. අපි අභියෝග වලට මුහුණ දීමට සූදානම්. ඒ සඳහා අපට අවශ්‍යවන්නේ එකමුතුකමයි. ඒ නිසා මා ඉල්ලා සිටිනවා ජනතාවට මේ 

අවස්ථාවේ වගකීමෙන් කටයුතු කරන ලෙස යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත ජාතිය අමතමින් ප්‍රකාශ කළේ ය

ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා කරන ලද විශේෂ ප්‍රකාශය

අති පූජනීය මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි
කිතුණ, හින්දු ඉස්ලාම් හා අනෙකුත් පූජකතුමන්ලාගෙන් ද අවසරයි
මව්වරුනි, පියවරුනි, දූ දරුවනි

අද මා ඔබ අමතන්නේ කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය සම්බන්ධයෙන් අප ගෙන ඇති පියවර සහ වර්තමාන තත්වය ගැන ඔබ දැනුවත් කිරීමටයි.

මේ වසරේ ජනවාරී මාසයේදී කොරෝනා වෛරසය පිළිබඳව ලෝක අවධානය යොමුවෙද්දී චීනයේ වූහාන් ප්‍රදේශයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් 34 දෙනෙක් ලංකාවට ගෙන්වා
ගැනීමට මා තීරණය කළා. ඒ වන විට කිසිදු කොරෝනා වෛරස් ආසාදිතයෙකු ලංකාවෙන් වාර්තා වී නොතිබුනත් මෙම වෛරසයෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ආපදා තත්වයට මුහුණ දීම සඳහා
අපි ජනවාරි මස 26 වනදා විශේෂ ජාතික කාර්ය සාධක කමිටුවක් පිහිටුවන්නට කටයුතු කලා

ජනවාරි මස 27 වනදා ලංකාව තුළ ප්‍රථම කොරෝනා වෛරසය ආසාදිතයා ලෙස ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටි චීන ජාතික කාන්තාවක් හඳුනාගනු ලැබුවා. ඇයව වහාම IDH රෝහලට
ඇතුලත් කොට ප්‍රතිකාර කලා. ඇය පෙබරවාරි 19 වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ලංකාවෙන් පිටව ගියා.

විශේෂ ගුවන් යානයකින් ලංකාවට රැගෙන එන ලද ශ්‍රී ලාංකික සිසුන් මත්තල ගුවන් තොටුපලේදී නිරෝධායනයට ලක්කොට දියතලාවේ විශේෂයෙන් සකස් කල නිරෝධායන
මධ්‍යස්ථානයකට ගෙන ගියා. ඔවුන් කඳවුර තුල දින 14ක් නිරෝධායනයට ලක්ව පෙබරවාරි මස 14 දා සුරක්ෂිතව නිවෙස් බලා ගියා. මේ කාලයේ ගුවන් තොටුපොලෙන් ලංකාවට
පැමිණෙනන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ මූලික පරීක්ෂාවන් ගුවන් තොටුපළේදීම සිදු කරන්නටත් ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමටත් කටයුතු සලසා තිබුනා.

වෛරසය ආසාදිත චීන කාන්තාව හඳුනාගැනිමෙන් පසු මාසයක් පමණ කාලයක් තුල අනෙකුත් කිසිදු රෝගියෙක් ගැන වාර්තා වූයේ නැහැ. චීනයෙන් පිට වෙනත් රටවලටද වෛරසයේ
අවදානම පැතිරුන නිසා ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය යන රටවලින් පැමිණෙන ගුවන් මගීන් දින 14ක නිරෝධායනයකට ලක් කිරීමේ තීන්දුවක් ගත්තා. ඒ තීරණය ගත්තේ මාර්තු මස
10 දායි. මේ අනුව කන්දකාඩු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත මගීන් යොමු කිරීම ආරම්භ වුනා. මෙය මුලින්ම ආරම්භ වූ අවස්ථාවේ ඉතාලියේ හා කොරියාවේ සිට පැමිණි යම් මගීන්
දැඩි ලෙස විරෝධය පෑ අතර නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යන අතර පැන යාමට පවා සමහරුන් තැත් කොට තිබුනා.

මාර්තු මස 11 දා අපට කොරෝනා ආසාදිත පළමුවන ශ්‍රී ලාංකිකයා වාර්තා වුනා. ඒ ඉතාලි ජාතික සංචාරකයන්ට මග පෙන්වන සංචාරක උපදේශකවරයෙක්. නිරෝධායන මධ්‍යස්ථාන තුළ හා
ඉන් පිටත අප විසින් කරන ලද පරීක්ෂණ වලින් තව තවත් ආසාදිතයන් හමුවන්නට පටන් ගත් අතර මේ වන විට ආසාදිතයන් 34 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

මාර්තු 13 දා සිට මෙයට ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය හා ඔස්ට්‍රියාවත් එකතු වුනා. මේ වන විට එංගලන්තය, බෙල්ජියම, නෝර්වේ,
කැනඩාව ,කටාර් හා බහරේන් රටවලින් එන අයත් නිරෝධායනයට ලක් වෙනවා. හෙට සිට නැවත දන්වන තුරු සියලුම සංචාරකයන් පැමිණීම නවතා දමනු ලබනවා.

අපි නිරෝධායනය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඉහත සඳහන් රටවලින් ලංකාවට පැමිණි සෑම දෙනෙක්ම මෙන්ම ඔවුන්ගේ ළඟම ඥාතීන් හඳුනාගෙන ඔවුන්ගේ නිවාසවලම ස්වයං
නිරෝධායනයකට ලක් කිරීමට අප තීරණය කොට තිබෙනවා. මේ සඳහා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ග්‍රාම නිලධාරීන් යොදවන අතර ඔවුන්ට සම්පූර්ණ සහය
දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

වෙනත් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයන් වගකීමෙන් යුතුව කටයුතු කරනා ලෙස මා ඉල්ලා සිටිනවා. අපි රජයෙන් විශේෂ නිවාඩු දිනයක් ලබා දුන්නේ වෛරසය පැතිරීම අවම කිරීමටයි. එය නිසි
අයුරින් භාවිතා කිරීමට නම් ගමන් බිමන්, සමූහ වශයෙන් එක්වීම, උත්සව හා සාද වලින් සම්පූර්ණයෙන් වැලකී සිටින ලෙස මා ඉල්ලා සිටිනවා. මේ තත්වය පාලනයට මෙතෙක් අප ගෙන ඇති
ක්‍රියාමාර්ග හා ඔබ විසින් ඔබට ලබා දී ඇති උපදෙස් පිලිපැදීමත් මත මේ ප්‍රශ්ණය සම්පුර්ණයෙන් පාලනය කරන්නට අපට පුලුවන්.

රජයක් වශයෙන් රටේ ජන ජීවිතය පවත්වාගෙන යාම අපේ මූලික වගකීමයි. ජනතාවගේ විවිධ අවශ්‍යතා ඉටුකිරීමට රජය මැදිහත් විය යුතුයි.

රටේ සමහර පලාත්වල මේ වන විට නියඟයක් පවතිනවා. ඒ පලාත්වල ජනතාවට අපි පානීය ජලය ලබා දිය යුතුයි. සමහර පලාත්වල යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට මඩ පොහොර
ලබා දිය යුතුයි. තවත් පලාත්වල අස්වැන්න නෙලන නිසා රජය වී මිලදී ගැනීමට කටයුතු කළ යුතුයි. එලවළු වෙලාවට මිළදී ගත්තේ නැත්නම් එලවළු ගොවියන් අසීරුවට පත් වනවා. ඒ වගේම
එලවළු අඛණ්ඩව වෙළඳ පොලට ගෙන ඒමත් අවශ්‍යයි. ඒ වගේම ජීවන වියදම අපි පාලනය කල යුතුයි

රාජ්‍ය නිලධාරීන් රාජකාරි වල යෙදුනේ නැත්නම් මේ සියල්ල අඩාල වෙනවා. අප තීරණ ගත යුත්තේ සමස්තය දෙස බලායි. නොවැම්බර් 16 වනදා අප ලද ජයග්‍රහණයෙන් පසු අපට
පිහිටුවන්නට හැකි වූයේ සුලුතර රජයක්. මා බලයට පත්වන විට පසුගිය ආණ්ඩුව විසින් අයවැයක් සම්මත කොට තිබුනේ නැහැ. රට පවත්වාගෙන ගියේ අතුරු සම්මත ගිණුමකිනි.
බොහෝ අත්‍යවශ්‍ය ගෙවීම් සඳහා මුදල් අනුමත කොට තිබුනේ නැහැ. පොහොර සඳහා , බෙහෙත් සඳහා, ආහාර සැපයුම් කරුවන් සඳහා, ඉදිකිරීම් කරුවන් සඳහා මුදල් ගෙවා තිබුනේ නැහැ.
අපි මේවා සඳහා අතුරු සම්මත ගිණුමක් සම්මත කරගන්නට උත්සහ කළා. එයට විපක්ෂයේ සහාය ලබුණේ නැහැ. මේ තත්වය යටතේ මා ඔබට පොරොන්දු වූ වගකීම් ඉටුකිරීමට පුලුවන් කමක්
තිබුනේ නැහැ. සුලුතර ආණ්ඩුවකට මේ මුදල් පාර්ලිමේන්තුව තුල අනුමත කරගන්නට බැහැ.

ඒ නිසා තමයි මට ලැබුණු පලමු අවස්ථාවෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර නව රජයක් පිහිටුවා ගැනීමට මැතිවරණයක් කැඳවනු ලැබුවේ. පාර්ලිමේන්තුව විසිරවීමත් සමග
ව්‍යවස්ථාවෙන් ලැබුන බලතල අනුව මා අතුරු සම්මත ගිණුමක් අනුමත කලා. ඒ අනුව අත්‍යාවශ්‍ය වියදම් සඳහා මුදල් ගෙවීම ආරම්භ කළා. වත්මන් ආපදා තත්වයට මුහුණ දීමටත් අපට හැකි
වුනේ ඒ නිසායි.

නමුත් මැතිවරණයක් පවත්වා අලුත් ස්ථාවර රජයක් ස්ථාපිත කොට නව අයවැයක් සම්මත කොට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මා ඔබට පොරොන්දු වූ පරිදි, සහන ලබා දීම
රැකියා ලබාදීම කෘෂිකර්මය නගා සිටවීම ඇතුළු සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කල යුතුයි.
ඒ සඳහා පරිණත දේශපාලනඥයෙක් වූ, ජනතා ජනාදරයට පත්වූ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් ප්‍රබල රජයක් බිහිකිරීමට මා වටා එක්වන ලෙස මා ඉල්ලා සිටිනවා

මේ අවස්ථාවේ අපේ වගකීම වන්නේ රජය නිසිලෙස පවත්වාගෙන යාමයි. මොනම හේතුවක් නිසාවත් රජය අකර්මණ්‍ය වන්නට ඉඩහරින්නට බැහැ. අප දුරදිග නොබලා කටයුතු කළහොත්
සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය හැකියි. නායකයන් ක්‍රියාකල යුත්තේ ආත්ම විශ්වාසයකින් යුතුවයි. ජනතාව තුල අනිසි බියක් ඇති නොකල යුතුයි.

අප මේ අවස්ථාවේ කළ යුත්තේ ලංකාවට වෛරසය ඇතුල් වීමට හා එය රට තුල පැතිරීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. ඒ සඳහා කල යුතු දේ අප දැනටමත් හඳුනාගෙන ක්‍රියාත්මක කරමින්
තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය බලතල කාර්ය සාධන බලකායට ලබාදී තිබෙනවා.

අපි මින් පෙරත් අභියෝගවලට මුහුණ දී ජයගෙන තිබෙනවා. අපි අභියෝග වලට මුහුණ දීමට සූදානම්. ඒ සඳහා අපට අවශ්‍යවන්නේ එකමුතුකමයි. ඒ නිසා මා ඉල්ලා සිටිනවා ජනතාවට මේ
අවස්ථාවේ වගකීමෙන් කටයුතු කරන ලෙස.

මේ අතර ජනතාවගේ එදිනෙදා ජීවිතය පහසු කිරීම සඳහා ඔවුන්ගේ පරිභෝජන තත්වය තහවුරු කිරීමට මා අදහස් කරනවා සහල් සැපයුම දැනටමත් සථාවර කොට තිබෙනවා. රටේ ජන
ජීවිතයට බාධා නොවන පරිදි අවශ්‍ය රාජ්‍ය සේවාවන් බැංකු මූල්‍ය වෙළෙඳ කටයුතු, ප්‍රවාහන කටයුතු අවම පිරිස් යොදා කිරීමට සැලසුම් කොට තිබෙනවා. සෑම වෙළෙඳ සැලකම අද රාත්‍රියේ සිට
පරිප්පු කිලෝවක් රුපියල් 65 ක උපරිම සිල්ලර මිලකට විකිණිමට මා නියෝග කොට තිබෙනවා. එමෙන්ම සැමන් ටින් එකක් රුපියල් 100 කට ලබා දීමටත් කටයුතු කරනවා. තවත් සහන
ඉදිරියේදි ලබා දීමට ක්‍රියා කරනවා.

රටේ ව්‍යාපාර කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6 කට නතර කිරීමට මම නියෝග කරනවා. එලෙසම බැංකු විසින් සපයන කාරක
ප්‍රාග්ධනය 4% ක පොළියකට ලබා දීමට කටයුතු කරනවා. ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පලුදු නොකරන බව මා ඔබට සහතික වෙනවා. ඔබෙත් මගෙත් රට අද සුරක්ෂිතයි.

අද (18) මධ්‍යම රාත්‍රියෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ගුවන් මඟීන් නැවැත්වීමට රජය තීරණය කළ බව කොරෝනා මර්ධන ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද්ධ හමුදාපති ලුතිනන්ජනරාල් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඊයේ(17) කොරෝනා මර්ධන ජාතික මධ්‍යස්ථානයේ පැවැති ප්‍රථම මාධ්‍ය හමුවක දී යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා පැවසුවේ, එසේ වුවද මෙරටින් වෙනත් රටවල්වලට හුවමාරු විමටත් භාණ්ඩ සඳහාත් කිසිදු ගැටළුවක් නොමැති බවය. එසේම මෙරටින් වෙනත් රටවලට පිටව යාමේ දී ගැටලුවක් නොමැති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ ය.

වන්දනාව සඳහා ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 800 පමණ සිටින බවත් ඔවුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අදාළ නිලධාරීන්ට අද(17) උපදෙස් ලබා දී ඇත. 
 
COVID-19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.
 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ වන්දනාවේ ගොස් ඇති පිරිස පිළිබඳ ජනාධිපතිතුමාගේ අවදානයට යොමු කර තිබේ. 
 
ඒ අනුව ඔවුන් එක් තැනකට රැස් කොට යළි දිවයිනට ගෙන්වා ගැනීමට ගුවන් යානයක් යවන්නැයි ජනාධිපතිතුමා නිලධාරීනට නියම කර ඇත.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති රටවලට සහාය වනු පිණිස කලාපීය වැඩසටහනක් සකස් කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයේ (සාක්) රාජ්‍ය නායකයන්ට යෝජනා කරයි.

උද්ගතව ඇති තත්ත්වය ගැන වැඩිදුර සාකච්ඡා කිරීමට සාක් අමාත්‍ය මට්ටමේ හමුවක් සංවිධානය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා කලාපීය නායකයන්ට පෙන්වා දෙයි.

අද (15) පස්වරුවේ දකුණු ආසියානු කලාපීය රාජ්‍ය නායකයන් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවාදයකට සහභාගීවෙමින් ජනාධිපතිතුමා මේ යෝජනා ඉදිරිපත් කළේය.

“Covid -19 හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහි සාක් නායක සටන  – ලෝකයට පූර්වාදර්ශයක්”(SAARC Leaders on Combating COVID- 19, Settling an Example to the World) යන්න තේමා කර ගනිමින් සංවාදය පැවැත්විණ. වීඩියෝ සමුළුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ අදහසකි.

කලාපීය නායකත්වයේ අදහස්, අත්දැකීම් සහ තමන් මුහුණදුන් අභියෝග පිළිබඳව තොරතුරු හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබීමෙන් කොරෝනා වසංගතයෙන් ජය ගැනීමට හැකිවනු ඇතැයි ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

කලාපීය යාන්ත්‍රණයක් නිර්මාණය කොට කඩාවැටීමට ලක්ව ඇති ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ද ගොඩනැගීමට කටයුතු කළයුතුව ඇතැයි ද එතුමා වැඩිදුරටත් කියා සිටියේය. තම රජය විධිමත්ව තත්ත්වය පාලනය කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගෙන ඇති බවත්, මහ මැතිවරණය පෙර සැලසුම් කළ පරිදි අප්‍රෙල් 25 වනදා පැවැත්වෙන බවත් ජනාධිපතිතුමා පැවසීය.

සමාජයීය පාලනයක් මගින් වෛරසය පැතිරයාම නතර කිරීමට ගෙන ඇති ක්‍රියා මාර්ග රාජ්‍ය නායකයන්ට පැහැදිළි කළ ජනාධිපතිතුමා මෙරටට පැමිණෙන සෑම සංචාරයෙකුටම ස්වයං නිරෝධායනයට ලක්වීමට උපදෙස් දී ඇතැයි සඳහන් කළේය.

මේ වන විට මුළු ලෝකයම භයානක අවදානමකට පත්ව ඇතැයි සමුළුව සංවිධාන කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සඳහන් කළේය. කලාපීය වශයෙන් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

කලාපීය වශයෙන් කොරෝනා වසංගතයට මුහුණදීමට අරමුදලක් පිහිටුවීමේ වැදගත්කම පෙන්වා දුන් මෝදි මැතිතුමා එය ආරම්භ කරමින් ඩොලර් මිලියන 10ක පරිත්‍යාගයක් කරන බව පැවසීය.

සාර්ක් සාමාජික රටවලට වෛරසය මර්දනයට අවශ්‍ය සියලු පහසුකම් හා සේවා සැලසීමට ඉන්දියාව සූදානමින් සිටින බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සාක් රටවලට පොදු රාමුවක හිඳිමින් ප්‍රශ්නය ජය ගත හැකි බව ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රොෆ් ඝානි මැතිතුමා සංවාදයට එක් වෙමින් පැවසීය.

භූ ගෝලීය පිහිටීම අනුව තම රටට වාසිදායක තත්ත්වයක් තිබුණද, සංචාරක කර්මාන්තය බිඳ වැටීම නිසා මේ වන විටත් දැඩි ආර්ථික කඩා වැටීමකට තම රට මුහුණ දී ඇතැයි මාලදිවයින ජනාධිපති ඊබ්‍රාහිම් මෙහොමඩ් සොලී මැතිතුමා පැවසීය.

වසංගත තත්ත්වයෙන් මිදීමට තම රටේ පූර්ණ සහාය ලබාදෙන බව සදහන් කළ බංග්ලාදේශ් අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිණිය එක්ව ක්‍රියා කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නාය.

නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඔලි මැතිතුමා තම රට සතු තාක්ෂණික දැනුම මෙන්ම සම්පත් දායකත්වය ද කෙරෝනා වෛරසය මර්දනය පිණිස ලබාදීමට සූදානම් බව සඳහන් කළේය.

අප හමුවේ ඇති සතුරා අපගේ දෑසට නොපෙනන අතර එයට දේශ සීමාවක් නැති හෙයින් එක්ව සතුරා පරාජය කිරීමට ක්‍රියා කළ යුතු බව භූතාන අග්‍රාමාත්‍ය ලොටේයි ෂෙරින්ග් මැතිතුමා කියා සිටියේය.

එක් රටකට මේ වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු කළ නොහැකි බව පාකිස්ථාන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය සෆර් මෙන්සා මහතා සඳහන් කළේය.

කොරෝනා වෛරසය පාලනය කරමින් එය ජය ගැනීමට විටින් විට මෙලෙස අදහස් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සංවාදය අවසානයේ පෙන්වා දුන්නේය.

කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට මහජන ගැවසීම් සහ ඒකරාශීවීම් අඩු කිරීමට තවදුරටත් රජයේ අවධානය යොමු වේ.

හෙට (17) සිට ක්‍රියාත්මක වන පරිදි අධිකරණ හා බන්ධනාගාර කටයුතු සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගෙන තිබේ.

අද (16) රැස් වූ අධිකරණ සේවා කොමිසන් සභාව මාර්තු 17 සිට 20 දක්වා දිනවල සිදුකිරීමට නියමිත අධිකරණ කටයුතු පිළිබඳව චක්‍රලේඛයක් විනිසුරුවරුන් වෙත යොමු කර ඇත. වාණිජ මහාධිකරණ, සිවිල් අභියාචනාධිකරණ සහ දිස්ත්‍රික් අධිකරණවල කැඳවීමට නියමිතව තිබූ නඩු සියල්ල විවෘත අධිකරණයේ කැඳවීමක් සිදු නොකෙරේ. එම නඩු කැඳවීම් අප්‍රේල් මස මුල් සතියේ දී අධිකරණ පරිශ්‍රයට පැමිණ දැන ගැනීමේ හැකියාව මහජනතාවට ඇත. අත්‍යාවශ්‍ය සහ හදිසි ප්‍රමුඛතාවයකින් ගත යුතු නඩු පමණක් ඒ ඒ විනිසුරුවරුන්ගේ අභිමතය පරිදි කැඳවන ලෙස චක්‍රලේඛය මගින් වැඩිදුරටත් උපදෙස් දී ඇත. මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල ද මෙය ක්‍රියාත්මක බව අධිකරණ සේවා කොමිසන් සභාව දැනුම් දෙයි.

බන්ධනාගාර ආශ්‍රිතව මහජන ගැවසීම් ද මේ යටතේ සීමා කෙරේ.

බැංකු ගනුදෙණු, වෙළෙඳ සහ වාණිජ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සියලු පහසුකම් සපයා තිබේ.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ මෙහෙයුම් රාජගිරිය, ශ්‍රී ජයවර්ධනපුර මාවතේ, අංක 1090 දරණ ස්ථානයේ සිට සිදු කෙරේ.

දෛනික ජන ජිවිතය අඩාල නොවන පරිදි සියලු කටයුතු පවත්වාගෙන යාමට රජය හැකි උපරිම උත්සාහයක නිරත වේ. උද්ගතව ඇති තත්ත්වය නිවැරදි ආකාරයෙන් තේරුම්ගෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනයට ජනතා සහාය රජය අපේක්ෂා කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි අංක. 1090, ශ්‍රී ජයවර්ධනපුර, රාජගිරිය ලිපිනයේ ස්ථාපනය කර ඇති කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර ඇත.

මහජන සුභසිද්ධිය සහතික කිරීම සඳහා පොදු සෞඛ්‍ය හා සෙසු සේවාහි මනා සම්බන්ධීකරණයකින් යුත් නිවාරණ හා කළමනාකරණ පියවර ගන්නා බවට සහතික කිරීමේ අරමුණෙන් මධ්‍යස්ථානය ස්ථාපනය කරනු ලැබීය.

මධ්‍යස්ථානය යටතට ගැනෙන සේවා සම්බන්ධීකරණයට සේවා අවශ්‍යතා ප්‍රමුඛතාව මත සියලුම නිලධාරීන් සහභාගී කරගන්නා අතර ඒ සඳහා ඔවුන් සැම විටම සූදානමින් සිටිය යුතු බව රජය දැනුම් දෙයි.

කොරෝනා හෙවත් කොවිඩි 19 වෛරසය රට තුළ ව්‍යාප්තවීම නතර කිරීම පිණිස ශ්‍රී ලංකාවට ගුවන් යානා පැමිණීම සති දෙකකට නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි. තීරණය හෙට (18) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකයි.

සාමාන්‍ය ජන ජීවිතය අඩාල නොවන අයුරින් ආර්ථික සහ වෙළෙඳ කටයුතු මෙන්ම සෙසු අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ද එතුමා දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙයි.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය සමග අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මේ තීරණ ගනු ලැබීය.

ප්‍රශ්නය ජය ගැනීමට අවශ්‍ය සියලු දේ කළයුතු වුවද රට අකර්මන්‍ය වීමට ඉඩ දිය නොහැකියැයි ජනාධිපති රාජපක්ෂ මැතිතුමා කියා සිටියේය. නිවැරදි තීන්දු ගැනීමට තමා සූදානම් බව කී එතුමා ඒවා ක්‍රියාත්මක කිරීමට සියලු පාර්ශ්වයන්ගේ සහාය අවශ්‍ය බව පෙන්වා දුන්නේය.

සාකච්ඡාව ආරම්භ කරමින් කොරෝනා උවදුර ජය ගැනීමට රජය ගත් පියවර එකින් එක පැහැදිළි කළ ජනාධිපතිතුමා කාර්ය සාධක බලකාය ස්ථාපනය කළේ ජනවාරි 26 වැනිදා බව සඳහන් කළේය. ඒ වන විට වෙනත් කිසිදු රටක එවැනි ආයතනයක් ආරම්භ කර තිබුණේ නැත. චීනයේ වූහාන් නගරයේ සහ සෙසු නගරවල සිටී සිසුන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයෝ ආපසු ගෙන්වා ගනු ලැබූහ. සිය රට එන අය නිරෝධායනය සඳහා ස්ථාන රැසක් විවෘත කරන ලදී. සඳුදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේ වෛරසය ව්‍යාප්තිය මර්දනය තවත් පහසු කිරීමේ අරමුණ ඇතිවය. දැන් තවත් දින 03ක් අත්‍යාවශ්‍ය සේවා හැර සෙසු අංශවලට නිවාඩු දී ඇත.

වන්දනාව සඳහා ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 300ක් පමණ දෙනා ස්ථාන කිහිපයක රැඳී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය. ඔවුන් එක් තැනකට රැස් කොට යළි දිවයිනට ගෙන්වා ගැනීමට ගුවන් යානයක් යවන්නැයි ජනාධිපතිතුමා නිලධාරීනට නියම කළේය.

කොරෝනා වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කළ දැනුම්දීමත් සමග වෛරසය රට තුළ ව්‍යාප්තවීම පාලනය කිරීමට ඉවහල් වන සෑම පියවරක්ම ගත් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

විදේශගතව සිට සිය රට පැමිණ නිරෝධායනයට පාත්‍ර නොවී සැඟවී සිටින පුද්ගලයන් ගැන තොරතුරු සොයන ලෙසත් ඔවුන් පිළිබඳව ජනතාව දැනුවත් කරන  ලෙසත් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පොලීසියට උපදෙස් දුන්නේය.

“උද්ගතව ඇති ප්‍රශ්නය පටු දේශපාලන අරමුණු උදෙසා ප්‍රයෝජනයට ගත යුතු නැත. පාර්ලිමේන්තුව නැවත රැස් කිරීමේ අවශ්‍යතාවයක් නොපවතී. මහ මැතිවරණය කල් දැමිය යුතු නම් මැතිවරණ කොමිසමට ඒ සඳහා බලය තිබේ” ජනාධිපතිතුමා සඳහන් කළේය.

සුහද හමු, විවිධ උත්සව සහ මහජන ඒකරාශීවීම් හැකි උපරිම අයුරින් සීමා කිරීමේ වැදගත්කම

වෛරසයේ ව්‍යාප්තිය මුල් කොට ගෙන ජනතාව බියපත් කිරීමේ අරමුණ ඇතිව කට කථා සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන අයට එරෙහිව කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව ද රැස්වීමේ දී අවධාරණය කරනු ලැබීය.

ආර්ථිකය සහ ජන ජීවිතය අඩාල වන අයුරින් නිවාඩු දීම ප්‍රශ්නයට විසඳුමක් නොවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සෞඛ්‍ය සහ අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනවල ප්‍රධානීහූ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

 
 

කොරෝනා වෛරසය ගැන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතනවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඇරඹේ.

එහි පළමුවැන්න අද (12) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. රෝගය හඳුනාගැනීම ඉන් වැළකී සිටීම මෙන්ම ආරක්ෂාකාරීව ක්‍රියාකිරීම පිළිබඳව වෛද්‍ය දේශාන්ත දිසානායක මහතා කාර්ය මණ්ඩලය දැනුවත් කළේය.

මේ පූර්වාදර්ශය අනුව රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සෑම ආයතනයකම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ආයතන කාර්ය මණ්ඩල තමන් ලබා ගන්නා දැනුම සිය පවුල්වල සාමාජිකයන්ට සහ සමාජයට ද බෙදා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. වෛරසය ව්‍යාප්තිය ජාතික උවදුරක් බවට වර්ධනය වීම වළක්වා ගැනීම වැඩසටහනේ අරමුණයි.

ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (පාලන) කේ.බී. එගොඩවෙලේ මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව කුඩා රටක්. කුඩා ආර්ථිකයක්. ජනගහණයත් විශාල නැහැ. එවැනි රටක් ඉහළ සංවර්ධන මට්ටමකට ඔසවා තබන්නේ කෙසේදැයි පර්යේෂණ කරන්න”  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටී.

අද ලෝකයේ ඇත්තේ දැනුම පදනම් කොටගත් ආර්ථිකයක් බැවින් පහසුවෙන් පුහුණු කළ හැකි ශ්‍රම බලකායක් සිටින අප රටේ ආර්ථිකය දියුණු කළ යුත්තේ ඔවුන් කේන්ද්‍ර කොටගෙන බව ද එතුමා පෙන්වා දෙයි.

පර්යේෂණ ක්ෂේත්‍රයේ ආයතන රැසක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමග අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය. එතුමාගේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම පිණිස සංවිධානය කෙරෙන හමුවීම් මාලාවක සිව්වැන්න මෙය විය. හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකර්ම පර්යේෂණ සහ පුහුණු ආයතනය, ජාතික විද්‍යා පදනම, ආතර් සී ක්ලාක් තාක්ෂණ විද්‍යා කේන්ද්‍රය, පසු අස්වනු තාක්ෂණ ආයතනය ඇතුළු පර්යේෂණ ආයතන රැසක ප්‍රධානීහු සාකච්ඡාවට පැමිණ සිටියහ.

“අපේ දේශපාලන සංස්කෘතියේ යම් බිඳ වැටීමක් දකින්නට පිළිවන්. එය නිවැරදි කිරීමේ අරමුණ ඇතිවයි ජනතාව දේශපාලනයෙන් බාහිර පුද්ගලයෙක් ජනාධිපති ධූරයට තෝරා ගත්තේ. මේ තමයි මා ජය ගත යුතු අභියෝගය. ජනතා අපේක්ෂා ඉටුකිරීමේ දී රාජ්‍ය අංශයට පැවරී ඇත්තේ විශාල වගකීමක්. රාජ්‍ය ආයතන කාර්යක්ෂමනම්, ජනතාවට අවශ්‍ය සේවය ඉටු කරන්නේනම් අපට ප්‍රශ්න ඇතිවන්නේ නැහැ” ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පැවසීය.

ආර්ථික සමාජ ක්‍රියාදාමයේ සෑම ක්ෂේත්‍රයකම වර්ධනය පිණිස විධිමත් පර්යේෂණ කිරීම ආර්ථික දියුණුවට ප්‍රබල සාධකයක් බව අවධාරණය කළ ජනාධිපතිතුමා සමාජයේ පහළම ස්ථරයට ඉහළ ජීවන තත්ත්වයක් අත්කරදීම සිය ප්‍රධාන අපේක්ෂාව බව කීය. දිළිඳුතම පවුල්වලින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සැලසුම් කළේ එකී අරමුණ සපුරා ගැනීමට බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

“අපි කෘෂිකාර්මික රටක්. එහෙත් අපේ ගොවියා දුප්පත්. දෙවැනි, තුන්වැනි පරම්පරා ගොවිතැන තෝරාගන්නේ අන් කළ හැකි දෙයක් නැතිනම් පමණයි. නව පරපුර ගොවිතැනට ආකර්ශණය කර ගැනීමට මේ ක්ෂේත්‍රයට තාක්ෂණය හඳුන්වාදිය යුතුයි. ඉන්දියාව එසේ කිරීමෙන් ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා. කෘෂිකර්මයට නව තාක්ෂණය හඳුන්වාදෙමින් අඩු ආදායම්ලාභී ජනතාව දිළිඳුකමින් මුදා ගැනීමට පර්යේෂකයන් ක්‍රමෝපාය හඳුන්වාදිය යුතුයි” ජනාධිපති රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

පර්යේෂණ ආයතනවල කාර්යභාරය සහ වගකීම් පැහැදිළි කළ ජනාධිපතිතුමා අපේ ජනතාවට අවශ්‍ය කුමක් ද යන්න නිවැරදිව හදුනා ගැනීම පර්යේෂකයන්ගේ වගකීමක් බව පැවසීය. කෘෂි ක්ෂේත්‍රයට මෙන්ම ධීවර කර්මාන්තයට ද නව ශිල්ප ක්‍රම හඳුන්වාදීම සඳහා පර්යේෂණ කළයුතුව තිබේ. රසායනික පොහොර භාවිතය ගැන කොතෙක් ප්‍රශ්න තිබුණ ද අපට තවමත් කාබනික පොහොර භාවිතයට යොමු වීමට හැකි වී නැත. ධීවර කර්මාන්තය ගත් විට මත්ස්‍යයන් බහුල ස්ථාන හඳුනාගැනීමට පර්යේෂණ උපයෝගි කරගත හැකිය. පර්යේෂණවල ප්‍රතිඵල අවසානයේ දි නිෂ්පාදනයක් ලෙස සමාජ ගතකළ යුතුයැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මීට එක්ව සිටියහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter