නවතම පුවත්

කොරෝනා හෙවත් COVID 19 වෛරසය රට තුළ ව්‍යාප්තවීම නතර කොට ජන ජිවිතය සුරක්ෂිත කරනු පිණිස හඳුන්වාදී ඇති ක්‍රියාමාර්ග සහ පිළිවෙත් සමග මුළුමනින් අනුගත වන්නැයි රජය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටී.


මේ බරපතල සෞඛ්‍ය ගැටළුව ජය ගැනීමට ඇති ප්‍රධාන මග වෛරසයට ගොදුරුවීම වළක්වා ගැනීම හෙවත් නිවාරණයයි. කාර්යාල, කඩ සාප්පු, බස්රිය, දුම්රියපොළ වැනි පොදු ස්ථානවල ගැවසෙන විට සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම එනම් එකිනෙකාට මීටරයක් තරම් දුරින් සිටීම ඒ සඳහා ඇති වඩාත් ඵලදායී ක්‍රමයක් ලෙස හඳුනාගෙන තිබේ. එසේම වෛද්‍ය විශේෂඥයන් විසින් නිර්දේශිත සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුය.


වෛරසය ව්‍යාප්තවීම වළක්වනු පිණිස රජය ඉකුත් දින කිහිපය තුළ නිශ්චිත පියවර රැසක් හඳුන්වා දුන්නේය. පසුගිය සිකුරාදා සවස 6.00 සිට හෙට, 23 සඳුදා උදේ 6.00 දක්වා රට පුරා ඇඳිරි නීතිය පැනවීම ඉන් ප්‍රධාන තැනක් ගනී. කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලත්, මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරේ දිස්ත්‍රික්ක 05 තුළත් දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24, අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර ඇත. සෙසු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය හෙට උදේ 6.00ට ඉවත් කොට එදිනම දහවල් 2.00ට යළි පනවනු ලැබේ.


හෙට උදේ ඇඳිරි නීතිය ඉවත් කෙරෙන දිස්ත්‍රික්කවල ජනයා විශාල පිරිසක් එදිනෙදා අවශ්‍යතා මිලට ගැනීම සඳහා වෙළෙඳ සැල් වෙත එනු ඇතැයි අපේක්ෂා කෙරේ. භාණ්ඩ මිලදී ගැනීම අවශ්‍ය වුවද වෛරසයට ගොදුරුවීම වළක්වා ගැනීම පිණිස සෞඛ්‍ය බලධාරින් දී ඇති උපදෙස් අකුරටම පිළිපදින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. වෙළෙඳ සැල්වලට පිවිසීමේදීත් වෙළෙඳ සැල් ඇතුළතදීත් එකිනෙකා අතර මීටරයක දුර පවත්වාගත යුතුය. කැස්ස හෝ කිවිසුම් ඇති වූ විට උපදෙස් පරිදි මුව ආවරණය කර ගන්නා ලෙස ඔවුනට අවවාද කෙරේ. බස්රියෙන්, දුම්රියෙන් සහ ත්‍රිරෝද රියෙන් ගමන් කිරීමේදීත් දුරස්ථභාවය ආරක්ෂා කළ යුතුය.

ඉන්ධන සහ ගෑස් මිලදී ගැනීමට පැමිණිවිට ද මේ පිළිවෙත අනුගමනය කරන ලෙස සිහිපත් කරනු ලැබේ. භාණ්ඩ මිලට ගැනීමට එන විට එක් පවුලකින් එක් අයෙකු පමණක් පැමිණීමෙන් ඒකරාශිවන පිරිස අඩු කර ගැනීමට පිළිවෙන. එය සමාජ දුස්ථභාවය පවත්වා ගැනීමට උපකාරී වෙයි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ ප්‍රමාණවත් තරම් ගබඩා කර ඇත. ඒවා හිඟයකින් තොරව රට පුරා බෙදා හැරීමට විධිවිධාන සලසා තිබේ. එබැවින් අනවශ්‍ය කලබලයකින් භාණ්ඩ රැස් කර තබා ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි රජය පෙන්වා දෙයි. ඇඳිරි නීතිය සමය තුළ පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ පමණක් මිලදී ගැනීම සෙනග අතර ගැවසෙන කාලය අඩුකර ගැනීමට උපකාරීවනු ඇත. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ නිවෙස්වල රැඳී සිටිමින් ගෘහ කාර්යයන්හි නිරත වන්නැයි කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ජනතාවට සිහිපත් කරයි.

කොරෝනා වෛරසය ජාතීන්, දේශපාලන සහ ආර්ථික ක්‍රම, සංස්කෘතීන් සහ ධනවත් හෝ දිළිඳු බව පිළිබද විභේදනයක් නැතිව දේශ සීමා හරහා පැතිර යමින් පවතී. දැනට රටවල් 180ක් පමණ එක් එක් ප්‍රමාණයෙන් ඊට ගොදුරු වී ඇත. වෛරසය මර්දන ක්‍රියාමාර්ග සහ පිළිවෙත් කල්තබා හඳුනාගෙන දැඩිව අනුගමනය කළ රටවල් ගැටළුව පාලනය කිරීමට සමත් වී සිටී. කොරෝනා වෛරසය ප්‍රථමයෙන් හටගත් චීනය ඊට නිදසුනකි. නිසි පිළිවෙත් අනුගමනය නොකිරීම නිසා ධනවත් රාජ්‍යයක් වන ඉතාලියට එය පාලනය කර ගැනීම තවමත් අපහසු වී ඇත.

කොරෝනා වෛරසය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය කළ දැනුම්දීම සමග එහි ව්‍යාප්තිය පාලනය කිරීමට ඉවහල්වන පියවර රැසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් හඳුන්වාදෙනු ලැබීය. ජනවාරි 26 දා කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ස්ථාපනය කෙරිණ. එවැනි කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ ප්‍රථම රට ශ්‍රී ලංකාවයි.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමා බලකායේ සාමාජිකයන් සහ වෛරස මර්දනයට සම්බන්ධ ආයතන ප්‍රධානීන් සමග නිතිපතා සහ දවස පුරා සාකච්ඡා කරමින් අවශ්‍ය තීරණ ගනී. පිට රට සිට එන සියලුදෙනා නිරෝධායනයට පාත්‍ර කෙරෙති. නිරෝධායන මාධ්‍යස්ථාන 17ක් දැනට ස්ථාපනය කර ඇත. ඒවා අවශ්‍ය පහසුකම්වලින් සමන්විතයි. වෛරසය රටට ඇතුළුවීම වළක්වනු සඳහා ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වසා දමා ඇත. මේ සියලු පියවර ක්‍රියාත්මක කළ ද අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ.

දේශපාලන අරමුණු සහිත පිරිස් සහ සාමජ විරෝධී කණ්ඩායම් වත්මන් සෞඛ්‍ය ගැටලුව උපයෝගි කර ගනිමින් සමාජ මාධ්‍ය සහ කට කතා මාර්ගයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචලිත කිරීමෙහි නිරතව සිටිති. ඔවුන්ගෙන් ඇතමෙකු දැනටමත් හඳුනාගෙන තිබේ. එවැනි පිරිස්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව රජය ප්‍රකාශ කරයි.

අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ඇඳිරි නීතිය බාධාවක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 ඒ අනුව සෞඛ්‍ය, ආරක්ෂක අංශ වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා අවශ්‍ය විශේෂ බලපත්‍ර අදාළ පොලිස් ස්ථාන වලින් ලබා ගත හැකි බවත් සාමාන්‍ය ජනතාව නිවෙස්වලින් බැහැරව නොයා නිරෝධායන ක්‍රියාවලියට ස්වයංක්‍රීයව දායක වන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

තවද අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම සඳහා අද පස්වරු 2.00 වන තෙක් පිටකොටුව තොග වෙළඳසැල් විවෘතව පවතින අතර පස්වරු 2.00න් පසුව පිටකොටුව සහ ඒ අවට ප්‍රදේශය විෂබීජහරණය සඳහා ආරක්ෂක අංශ විශේෂ වැඩපිළවෙලක් ක්‍රියාත්මක කරන බව පැවසු අමාත්‍යවරයා නැවත් සඳුදා(23) උදෑසන 6.00 සිට එම වෙළඳසැල් විවෘත කරන බවද සඳහන් කළේය.

තවද මුළු ලෝකයම දැවැන්ත ආර්ථික අර්බුදයකට ලක් ව ඇති මේ මොහොතේ රජය මාස 03ක් යන තුරු අත්‍යාවශ්‍ය භාණ්ඩ හැර අනෙකුත් භාණ්ඩ ආනයනය සීමා කළ බවත් රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බවත් බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම මාධ්‍ය හමුවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ද එක්ව සිටියේය.

අපි මේ ක්‍රියාමාර්ගය අරගෙන තියෙන්නේ ඔබගේත්, දරුවන්ගේත් ජීවිත ආරක්ෂාව වෙනුවෙන්.අපි ජාතියක් වශයෙන් මේ විපත්ති අවස්ථාවේ එකට සිටිමු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.

අග්‍රාමාත්‍යවරයා ඊයේ (20) මේ බව සඳහන් කළේ, කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධව රජයක් ලෙස ගෙන ඇති පියවර පිළිබඳ පැහැදිළි කරමින් මෙසේ කීය.

අති පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි./

සෙසු ආගමික පූජක උතුමනි/

මිත්‍රවරුනි/

ආදරණීය

දුවා දරුවනි/

මුළු ලෝකයම කොරෝනා වසංගතයට මුහුණ දී සිටින මොහොතක්. මේ තත්ත්වය පාලනය කර ගැනීමට ගත හැකි සියළු පියවර ගෙන තිබෙන බව ඔබ දන්නවා ඇති. මේ වසංගතය පැතිරෙන්න
පටන් ගත්ත මොහොතේ සිට අපි ඒ පිළිබඳ ඉතාම දැඩි අවධානයකින් කටයුතු කළා. රෝගය ආරම්භ වුණ චීනයේ වූහාන් ප්‍රදේශයේ සිටි ලාංකිකයන් ලෝකයේ සෙසු රටවලටත් කලින්
බේරාගෙන ලංකාවට ගෙන ඒමට පුළුවන් වුණේ අපේ ඒ දැඩි අවධානය නිසායි.

ඔබගේ ජීවිතය ගැන තියපු අවධානය මොහොතකටවත් අපි අඩු කළේ නෑ ලංකාවේ වේවා, වෙනත් රටක සිටින ලාංකිකයකු වේවා ඔහුගේ ජීවිතය රකින්න අපි කටයුතු කරනවා. දඹදිව
වන්දනාවේ ගිය පිරිස යළි ලංකාවට ගෙන එන්න අපි සියලු දේ සුදානම් කරලා තියෙන්නෙ ඒ වගකීම නිසායි.

ඒ නිසා රෝගියකු ගැන හෝ රෝගියකු ඇසුරු කළ කෙනෙක් ගැන වාර්තා වුණ වහාම නිරෝධායනය කරන්න අපි පියවර ගත්තා. දහස් ගණන් පිරිස් දින ගණනාවක් එකතැනක රඳවාගෙන කෑම
බීම, ඖෂධ දී නිරෝධායනය කරන්න පුළුවන් වුණේ ඒ අවධානය නිසායි. රටක් හැටියට ඒක ඉතාම දුෂ්කර කාර්යයක් බව අමුතුවෙන් කිව යුතු නෑ.

මොනතරම් බරපතළ වසංගතයක් වුණත්, මොන තරම් දුෂ්කර කාර්යයක් වුණත් රජය කටයුතු කරන්නේ ජනතාවගේ දුෂ්කරතා අවම වෙන ආකාරයට බව මම ඔබට කියන්න ඕනෑ. අපි
දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් විශ්ව විද්යාලනිවාඩු දුන්නා. ක්‍රමානුකූලව ගුවන් ගමන් සීමා කරලා, පැමිණීමේ පර්-යන්තය වසා දමා තිබෙනවා. මේවා අපි කළේ රටේ තියෙන
තත්ත්වයත්, ලෝක තත්ත්වයත් සලකා බලා ක්‍රමානුකූලවයි. අපි ඉදිරියට කටයුතු කරන්නෙත් එහෙමයි.

මා ඔබ අමතන මේ මොහොතේ රටටම ඇඳිරිනීතිය පනවල තියෙනවා. ලෝකයේ දරුණුම ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන වකවානුවේ වත් අපිට එකවර රටටම බලපාන ආකාරයට
ඇඳිරිනීතිය පනවන්න වුවමනා වුණේ නෑ. නමුත් කිහිපදෙනකුගේ වගකීමෙන් තොර ක්‍රීයා කලාපය නිසා අද අපිට මේ පියවර ගන්නම සිදුවෙලා තියෙනවා.

මේ මොහොතේ අපි මේ ක්‍රියාමාර්ගය අරගෙන තියෙන්නේ ඔබගේත්, දරුවන්ගේත් ජීවිත ආරක්ෂාව වෙනුවෙන්. යම් දුෂ්කරතාවක් ඇති වෙනවා නම් අපි ඒ පිළිබඳ කනගාටු වෙනවා.

ඒ වාගේම ඔබගේ දෛනික ජීවිතයට වුවමනා සියල්ල සම්පාදනය කරන්න අපට පුළුවන්. ඖෂධ ආහාර-පාන ඉන්ධන මාස ගණනකට අවශ්‍ය ප්‍රමාණ අපි සම්පාදනය කරගෙන තියෙනවා. ඒ
ගැන සැක හිතන්න, අනවශ්‍ය කලබලයක් ඇති කර ගන්න වුවමනා නෑ. මා මීට කලින් ප්‍රකාශ කල පරිදි අප රජය කිසිවක් ජනතාවට හංගන්නේ නෑ. රෝගීන් ගැන, රෝගයේ ස්වරූපය ගැන
තොරතුරු ඉතා ඉක්මනින් ජනතාව වෙත ලබා දෙන්නේ අප සියලු දෙනාගේ ආරක්ෂාව සඳහායි.

ලෝකයම ඉතාම දුෂ්කර තත්ත්වයකට මුහුණ දී තිබෙන මේ මොහොතේ ඉතාම කල්පනාකාරීව දුරදිග බලා කටයුතු කරන්න කියා මා ඉල්ලා සිටිනවා. වෛද්‍යවරු දෙන උපදෙස්, රජය දෙන
උපදෙස් නිසි ආකාරයට ඔබ අනුගමනය කළොත් අපිට ඉතාම ඉක්මනින් මේ වසංගතයෙන් ගැලවෙන්න පුළුවන් බව මට විශ්වාසයි. අපි ජාතියක් වශයෙන් මේ විපත්ති අවස්ථාවේ එකට සිටිමු.

අප මීට වඩා අභියෝග ජයගත් ජාතියක්. ඔබට අපට එකට එක් වී මේ විපතින් ගැලවීමට ශක්තිය තිබෙන බව මට විශ්වාසයි.

ඔබ සැමට තෙරුවන් සරණයි!

සංචාරක හා අනෙකුත් වීසා බලපත්‍ර කාණ්ඩ මත දැනට ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකයන්ට අපහසුවකින් තොරව බැහැරව යාම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතී.

මෙය සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකාව හරහා ක්‍රියාත්මක වන නිත්‍ය ගුවන් ගමන් සහ යොදවා ගත හැකි විශේෂ ගුවන් ගමන් යන ආකාර දෙකම භාවිත කරමිනි.

මෙම ගමන් සඳහා පහසුකම් සැලසීමේ ක්‍රමවේදයන් පිළිබඳව අද දින විදේශ සබඳතා ලේකම් රවිනාථ ආර්යසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී සාකච්ඡා කෙරිණි. මෙම රැස්වීමට බටහිර කලාපයේ රටවල් නියෝජනය කරන තානාපතිවරු මෙන්ම, ආරක්ෂක අමාත්‍යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ගුවන්තොටුපල හා ගුවන් සේවා, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, සිවිල් ගුවන් සේවා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම යන ආයතනවල නියෝජිතවරු ද සහභාගී වූහ.

දැනට පනවා ඇති ඇඳිරි නීතිය සැලකිල්ලට ගනිමින්, මෙම මගීන්ට මෙන්ම ඔවුන් ප්‍රවාහනය කිරීම සඳහා ගමන් ගන්නා වාහනය සහ එහි රියදුරු සඳහා ඇඳිරි නීති බලපත්‍ර වෙනුවට තම ගුවන් ටිකට් පත භාවිත කළ හැකි බව වැඩබලන පොලිස්පතිවරයා සහතික කොට ඇත. මෙම ගමන් බිමන් සඳහා සහාය වන ලෙස පිළිගත් කුලී රථ ජාල සහ හෝටල් හිමියන්ගෙන් ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයා පැවසීය.

ඇතැම් අවස්ථාවල දී සංචාරක නවාතැන්පලවල හිමිකරුවන්ගෙන් මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ඇතැම් පිරිස් වෙතින් ද සංචාරකයින් අත්විඳින ඍණාත්මක ප්‍රතිචාර හේතුවෙන්, වර්තමානයේ දී මෙරට තුළ සිටින ඔවුන්ගේ ජාතිකයින් දිගින් දිගටම මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව එහි පැමිණ සිටි රාජ්‍යතාන්ත්‍රිකයින් විසින් මෙම රැස්වීමේ දී අවධානය යොමු කරන ලදී. මෙම දුෂ්කර අවස්ථාවේ දී විදේශීය ජාතිකයින්ට ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ආගන්තුක සත්කාරය ලබා දීම සහතික කිරීම සඳහා පොදු පියවර ගන්නා බව ශ්‍රී ලාංකික නියෝජිතායතන අවධාරණය කළේය. එවැනි සිදුවීම් පිළිබඳව කඩිනමින් වාර්තා කොට, ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීම සහතික කිරීම සඳහා විශේෂ දුරකථන මාර්ග ද පිහිටුවා තිබේ.

නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලබන විදේශීය ජාතිකයින් සඳහා විශේෂ සන්නිවේදන පහසුකම් ද සපයා ඇත.

මෙම සතිය මුල දී ශ්‍රී ලංකාව විසින් කරන ලද ඉල්ලීමෙන් අනතුරුව, වීසා බලපත්‍ර කල් ඉකුත් වී හෝ කෙටි කලෙකින් කල් ඉකුත් වීමට නියමිතව විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ගේ වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට තමන් විසින් පියවර ගන්නා ලද බව රටවල් කිහිපයක රජයන්හි නියෝජිතයෝ දැනුම් දුන්හ. එම ඉල්ලීම තම රටවල අගනගරවල දී ඉහළම අවධානයට ලක්වෙමින් පවතින බවට අනෙක් රටවල් විසින් විදේශ සබඳතා අමාත්‍යාංශයට සහතික කරන ලදී. මීට ඉහත දී ශ්‍රී ලංකාව, මෙහි සංචාරය කරන සියලුම විදේශිකයන් සඳහා වීසා බලපත්‍ර එක් මසකින් දීර්ඝ කළේය.

විදේශ සබඳතා අමාත්‍යාංශය

කොළඹ

2020 මාර්තු 20 වැනි දින

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කෙරේ.

එදිනම, එනම් 24 අඟහරුවාදා දහවල් 2.00 ට ඒ දිස්ත්‍රික්කවල නැවත ඇඳිරි නීතිය පනවනු ලැබේ.

සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මාර්තු 23, සඳුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර, නැවත එදිනම දහවල් 2.00 සිට ක්‍රියාත්මක වෙයි. මේ දිස්ත්‍රික්කවලට පනවනු ලබන ඇඳිරි නීතිය 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා බලපැවැත්වෙයි.

සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත පැනවීම ගැන පසුව දැනුම් දෙනු ලැබේ.

ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම දිවයින පුරා සියලු මත්පැන් අළෙවි සැල් වසා තැබිය යුතු බව රජය දැනුම් දෙයි.

ගොවිතැන් කටයුතු සිදු කෙරෙන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන ලෙස රජය පොලීසියට උපදෙස් දී ඇත.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සෙසු භාණ්ඩ තොග ප්‍රමාණවත් තරම් ගබඩා කර ඇති බැවින් අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස් කිරීමට කලබල නොවන ලෙස රජය ජනතාවට දැනුම් දෙයි. එළවළු ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයට ද ඉඩ සලසා තිබේ.

එසේම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බාධාවකින් තොරව අවශ්‍ය ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට විධිවිධාන සලසා ඇත.

කොරෝනා වෛරසය ව්‍යප්තවීම වළක්වා ගැනීමේ අරමුණෙන් අද (20) සිට ලබන සිකුරාදා (27) දක්වා වූ කාලය නිවසේ සිට රාජකාරි කටයුතු කරන කාලසීමාවක් ලෙස රජය ප්‍රකාශයට පත්කර තිබේ.

මේ තීරණය රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකටම අදාළව ක්‍රියාත්මක බව රජය දැනුම් දෙයි.

එය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවීම වළක්වා ගැනීම සඳහා ක්‍රියා කිරීම සියලු රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල මෙන්ම මහජනතාවගේ වගකීමක් බව රජය දන්වා සිටී.

මේ කාල සීමාව රජයේ නිවාඩු දින සේ නොසැලකෙන බවත් 2020- 03- 21 සහ 22 දින පමණක් සාමාන්‍ය රජයේ නිවාඩු ලෙස සලකන බවත් රජය පවසයි.

මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑම රජයේ වගකීමයි. එහෙත් ජනතාව එක් රැස්වීම වැළැක්වීම සඳහා ගනු ලබන පියවරක් වශයෙන් රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන ගෘහස්ත ක්‍රමවේදයක් අනුගමනය කරමින් මාර්තු 20 – 27 දක්වා සිය කාර්යාලයීය රාජකාරී ඉටු කිරීම අපේක්ෂා කෙරේ. ඉදිරියේ දී තෝරාගත් යම් රාජ්‍ය සේවා දුරස්ථ ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරීමට මේ අත්දැකීම් පාදක කර ගැනේ.

දුරස්ථ ක්‍රම ක්‍රියාත්මක කිරීමේ දී අදාළ ආයතන ප්‍රධානීන් තම කාර්ය මණ්ඩලය කාර්යාලය වෙත කැඳවා ගැනීම හැකිතාක් දුරට සීමා කළ යුතුයි. ඒ සඳහා විද්යුත් තැපෑල (e-mail) කෙටි පණිවිඩ ( SMS) දුරකථන ආදි තාක්ෂණික ක්‍රම සහ ලිපි ගොනු ගෙන්වා ගැනීම වැනි විකල්ප ක්‍රියාමාර්ග භාවිත කළ හැකියි. මහජනතාව කාර්යාල වෙත රැස්වීම වැළැක්වීමටත්, මහජන සේවා නිසි පරිදි අඛණ්ඩව පවත්වාගෙන යමින් ගැටලු විසඳීමටත් තාක්ෂණ ක්‍රම භාවිත කළ යුතුයි. මේ සඳහා පෞද්ගලික දුරකථන භාවිත කිරීමේ දී අමතර වැය බරක් ඇත්නම් ඒ සඳහා රජය අවශ්‍ය සහන සපයනු ඇත.

මෙවැනි අවස්ථාවලදී රජයේ සියලු නිලධාරීන් අඛණ්ඩව මහජන සේවා පවත්වා ගැනීමට නිසි ක්‍රමෝපාය අනුගමනය කරනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස මේ තීරණය ගෙන තිබේ.
 
ජනතාව ගැවසෙන ස්ථානවලදී මීටරයකින් පමණ පුද්ගල දුරස්ථතාවය පවත්වා ගැනීමට ලබා දී ඇති උපදෙස් අනිවාර්යෙන් පිළිපදින ලෙස ද රජය ඉල්ලා සිටී.
 
බස්රිය සහ දුම්රිය සේවා ක්‍රියාත්මක අවස්ථාවලදී මේ පිළිවෙත අනුගමනය කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ. සමාජ දුරස්ථතාවය පවත්වාගනු සඳහා බස්රියෙන් සහ දුම්රියෙන් මගීන් ගෙන යා හැක්කේ එහි ගමන් කළ හැකි බවට නිශ්චය කර ඇති සංඛ්‍යාවෙන් හරි අඩක් පමණි.
 
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා වෙනත් භාණ්ඩ සතොස හා සමූපකාර  ඇතුළු වෙළෙඳසැල් වෙත ප්‍රමාණවත් පරිදි රජය නිකුත් කර තිබේ.
 
ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් ඒවා බෙදාහැරීමට ද එම වෙළෙඳසැල් වෙත උපදෙස් ලබා දී ඇත.
 
ලබන සඳුදා (23) පෙ.ව 6.00 ට ඇඳිරි නීතිය අවසන් වීමෙන් පසු නැවත එය ක්‍රියාත්මක වන වේලාව 22  ඉරිදා ජනතාවට නිවේදනය කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සදහන්.

මෙරට තුළ කොරෝනා පැතිරීම වැළක්වීම සඳහා මුඛ ආවරණ,ඖෂධ,අත් සේදුම් කාරක වැනි දේ නිපදවීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන්නන් සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට පියවර - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

රට තුළ කොරෝනා හෙවත් COVID – 19 වෛරසය පැතිරීම හේතුකොට ගෙන ඖෂධ,මුඛ ආවරණ,සේදුම් කාරක වැනි දේ විවිධ කණ්ඩායම්,පුද්ගලයින් ඒවා ස්වේච්ඡාවෙන් නිපදවීම සඳහා ඉදිරිපත් වී ඇති බවත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත එවැනි ඉදිරිපත්වන්නන් සඳහා කුමන නිෂ්පාදනය කවරෙක් කළ ද ඒ සියල්ල බදු වලින් නිදහස් කිරීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර සිටියේය.

මේ වන විට රට තුළ පවතින තත්ත්වය සමාජ වගකීමක් කරගෙන පොදු සමාජ ශුභ සිද්ධිය වෙනුවෙන් විවිධ පුද්ගලයින්,නිෂ්පාදන ආයතන විසින් අවශ්‍ය මුඛ ආවරණ/ඖෂධ/අත් සේදුම් කාරක ද්‍රව්‍ය වැනි දෑ නිෂ්පාදනය කර බෙදා හැරීමට කටයුතු කරමින් සිටින බවත්, එම පුද්ගලයින් සඳහා එකී ස්වේච්ඡා කටයුතු කරගෙන යාම සඳහා කිසියම් මුල්‍යමය වශයෙන් සහයක් අවශ්‍ය නම් හෝ ගැටළුවක් පවතීනම් ඒ සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආටිගල මහතා ඇමතිය හැකි බවත් මෙහි දී බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී.

ඒ අනුව, කොරෝනා වෛරස තත්ත්වය මැඩපැවැත්වීමට එම පුද්ගලයින් ගනු ලබන එවැනි නිෂ්පාදනයන්,ක්‍රමවේදයන් මෙන්ම උපක්‍රම ආදිය සඳහා ඔවුන් දිරිගැන්වීම රජයේ අරමුණ වන බවත් එකී ක්‍රියාවන් රජය විසින් ඉහළින් අගය කරනු ලබන බවත්, හැකි සෑම ඊට රජයේ අනුග්‍රහය ලබා දීමට කටයුතු කරන බවත් මෙහි දී සඳහන් කර සිටියේය.

අද පස්වරු 06.00 සිට සඳුදා පෙරවරු 06.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය....

අද (මාර්තු 20) පස්වරු 06.00 සිට සඳුදා (23) වන දා පෙරුවරු 06.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන ලෙස ඇඳිරි නීතිය පනවා ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළුව සියලු රජයේ සේවකයන් සඳහා එළැඹෙන සඳුදා (23) දින වැටුප් ගෙවන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාට උපදෙස් ලබා දුන්නේය.

මාර්තු 20 , හෙට සිට 27 දක්වා කාලය රාජ්‍ය, පෞද්ගලික දෙඅංශය සඳහාම නිවසේ සිටවැඩකරන සතියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත.

රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමත්‍යාංශය විසින් රාජ්‍ය,අර්ධ රාජ්‍ය,පෞද්ගලික අංශයේ ආයතන මෙන් ම මහජනතාවගේ දැන ගැනීම පිණිස කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter