නවතම පුවත්

නවෝත්පාදකයන්ට තව තවත් ඉදිරියට යෑමට අවශ්‍ය සහයෝගය ලබාදීමට ආණ්ඩුවේ අවධානය යොමු කරන බවත් INNOTECH – 2020 තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය සංවිධානය කළ අදාළ අංශවලට සිය ස්තූතිය පුද කරන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.

ශ්‍රී ලාංකේය විද්‍යාර්ථීන් නිර්මාණය කරන ලද නව තාක්ෂණික හා අධ්‍යාපනික නිපැයුම් එළි දක්වන INNOTECH – 2020 තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු හා ජනමධ්‍ය අැමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඊයේ (11) පෙරවරුවේ හෝමාගම පිටිපන අධිතාක්ෂණ හා තාක්ෂණ නගර කලාපයේදී විවෘත කෙරිණි.

ප්‍රදර්ශනය විවෘත කිරීමත් සමඟ විවිධ පාසල් නියෝජනය කරමින් පාසල් දරුවන් පේලී ගැසි සිය ගුරුවරුන් සමඟ එක්ව ප්‍රදර්ශන කුටි නරඹන අයුරු දක්නට ලැබුණු අතර විවිධ උසස් අධ්‍යාපන ආයතනවල සිසුවියන් එක්ව ප්‍රදර්ශන භූමීයට පැමිණෙන අයුරු දක්නට ලැබිණ. විවිධ ආයතනවල වෘත්තිකයන්ද රථවාහන අරගෙන පැමිණෙමින් තිබේ. මෙම ප්‍රදර්ශනය අධ්‍යාපනික කලාපය නවෝත්පාදන සහ පර්යේෂණ හා සංවර්ධන යන කලාප තුනකට බෙදා තිබේ.

මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටින සිසුදරු දැරියන් පවසා සිටියේ මෙය නැරඹීමෙන් තමන්ට විශාල දැනුමක් වගේම අත්දැකීම් ලබාගැනීමට හැකි වු බවයි. තමන්ට ප්‍රදර්ශන කුටිවල සිටි උපදේශකයන් ඉතා හොඳින් අවශ්‍ය දේවල් පිළිබඳ විස්තර කියා දුන්නා. එමෙන්ම පැමිණ සිටි ගුරුවරුන් හා වෙනත් වෘත්තිකයන් කියා සිටියේ සෑම දෙමාපියෙක්ම සිය දරුවන්ට මෙම ප්‍රදර්ශනය පෙන්වීමට කටයුතු කළ යුතු බවයි. තාක්ෂණ විෂය පාසල් විෂයට ඇතුළත් කොට දරුවන්ව එම විෂය ධාරාවන්ට නැඹුරු කරවීම සඳහා මෙවැනි ප්‍රදර්ශනයක තිබෙන වටිනාකම තවත් අය පෙන්වා දුන්හ.

ප්‍රදර්ශනය 14 වැනි දා දක්වා පුරා දින 4 ක් මුළුල්ලේ පෙ.ව.9.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය උසස් අධ්‍යපන, තාක්ෂණ නවෝත්පාදන හා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය , අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඒකාබද්ධව සංවිධානය කැර තිබේ.

ශ්‍රී ලංකාවේ පාසල්, පර්යේෂණ ආයතන හා විශ්වවිද්‍යල විද්‍යාර්ථීන් සිදු කරනු ලබන පර්යේෂණ පිළිබඳව හා නව සොයා ගැනීම් පිළිබඳව ජාතික මෙන්ම ජාත්‍යාන්තර මට්ටමෙන් ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.

ජාතික වගකීමක් සේ සලකා කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටී.

වගකිම් විරහිතව ක්‍රියා කිරීමෙන් රටක් වශයෙන් ප්‍රශ්න රැසකට මුහුණදීමට සිදුවිය හැකි බව එතුමා අවධාරණය කළේය. ලෝකයේ ප්‍රධාන රටවල් රැසක් පාලනය කළ නොහැකි අන්දමින් කොරෝනා වෛරසය ව්‍යාප්තියට මුහුණ දී සිටී. මේ තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කිරීමට අරඹා ඇති නිරෝධායන ක්‍රියාවලියට සියලුදෙනාගේ සහාය අත්‍යාවශ්‍යව ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.

චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් කොරෝනා වෛරසය පැතිරයාම ආරම්භයේ සිට රටටත්, ජනතාවටත් පීඩාවක් නොවන ආකාරයෙන් පාලනය කිරීමට රජයට හැකි වූ බව ජනාධිපතිතුමා පැවසීය.

සෞඛ්‍ය ඇතුළු සියලු ක්ෂේත්‍ර විධිමත්ව සහ සැලසුම්සහගතව ක්‍රියා කිරීමෙන් ව්‍යාප්තිය වැළැක්වීමට හැකි විය. තවදුරටත් එම තත්ත්වය පවත්වාගෙන යාමට රජය ගෙන යන නිරෝධායන වැඩපිළිවෙළට සහ සෙසු ක්‍රියාමාර්ගයන්ට සියලු පාර්ශ්වයන්ගේ පූර්ණ සහය අවශ්‍ය බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ඉදිරියටත් ගතයුතු තීන්දු තීරණ සම්බන්ධයෙන් ක්ෂේත්‍ර රැසක විශේෂඥයන් සහ ප්‍රවීනයන් සමග අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය.
කොරෝනා වෛරසය මෙරට දී ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ (10) පස්වරුවේ හඳුනා ගැනිණ. 52 හැවරදි මොහු සංචාරක මගපෙන්වන්නෙකු ලෙස ක්‍රියා කළ අයෙකි. ඉතාලි ජාතික සංචාරක කණ්ඩායම් දෙකකට ඔහු සේවා සපයා තිබේ. රෝගියා මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති අතර, ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇත. ඔහු හබරණ සහ දික්වැල්ල ප්‍රදේශවල සංචාරයේ නිරතව තිබේ. එම ස්ථාන සහ පුද්ගලයන් සම්බන්ධයෙන් සෞඛ්‍යමය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

මඩකලපුවේ මධ්‍යස්ථාන දෙකක 685 දෙනෙක් නිරෝධායනයට ලක් කර සිටිති. ඉතා කෙටි කාලයකදී ඔවුන්ට දිය හැකි උපරිම පහසුකම් සුදානම් කිරීමට යුද හමුදාව සහ සෞඛ්‍ය බලධාරීන් ක්‍රියා කළ බව හමුදා මාණ්ඩලික ප්‍රධානි ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය. හැදල සහ දියතලාව මධ්‍යස්ථාන ද නිරෝධායනය සඳහා සුදනම් කර තිබේ.

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන ශ්‍රී ලාංකිකන් මෙන්ම විදේශිකයන් ද දින 14ක නිරෝධායනයට මේ ස්ථාන වෙත යොමු කෙරේ. ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහ සෙසු පහසුකම් ද හැකි උපරිමයෙන් ලබාදීමට රජය පියවර ගෙන තිබේ. එහෙයින් විදේශගත පැමිණෙන සියලුදෙනා රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ ක්‍රියාවලියට සහය වන්නැයි ජනාධිපතිතුමා ඉල්ලා සිටියේය.

නිරෝධායනයෙන් පසු ඒ පිළිබඳ සහතිකයක් නිකුත් කිරීමට ද සාකච්ඡාවේ දී තීරණය කෙරිණ. විදේශකයන් වෙත ලබාදුන් on arrival වීසා පහසුකම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නිකුත් කිරීම වහාම අත්හිටුවීමට ද ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
වෙනත් රටවල සිට පැමිණෙන අය නිවෙස්වල සිට නිරෝධායනය වෙමින් මීට දායකවන්නැයි ද ජනාධිපතිතුමා ඉල්ලීය. කණ්ඩායම් වශයෙන් වෙනත් රටවල කෙරෙන සංචාරයන් වහාම නැවැත්වීම සම්බන්ධයෙන් ද අවධානය යොමු විය. හිඟයකින් තොරව ඖෂධ වර්ග සූදානම් කර තැබීම සහ පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් විධිමත් කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ, ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් සහ ක්ෂේත්‍ර රැසක විශේෂඥයන් සහ ප්‍රවීණයන් සාකච්ඡාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මූලස්ථානය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) විවෘත විය.

''විද්‍යා කුළුණ'' ලෙස නම් කර ඇති ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගම් මූලස්ථාන ගොඩනැගිල්ල කොළඹ විජේරාම මාවතේ ඉදිකර ඇත.

වෛද්‍ය, ඉංජිනේරු, කෘෂි විද්‍යා, රසායන විද්‍යා, භෞතික විද්‍යා, තොරතුරු තාක්ෂණවේදය, තාක්ෂණ විද්‍යා හා සමාජ විද්‍යා යන ක්ෂේත්‍ර යටතේ ලංකාවේ සිටින සියලූම විද්‍යාඥයින් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සාමාජිකත්වය දරයි.

පාසල් ළමුන් අතර විද්‍යා විෂය ප්‍රචලිත කිරීම, විද්‍යා පරීක්ෂණ සදහා සහාය දැක්වීම, විද්‍යා සැසි පැවැත්වීම ආදි විද්‍යා විෂය සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරකම් රැසක් මෙම සංගමයේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙයි.

මේ අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියේ ය.

ප්‍රමාණවත් තරම් බඩ ඉරිඟු තොග තිබියදී කෘත්‍රීම බඩ ඉරිඟු හිඟයක් නිර්මාණය කිරීමේ උත්සාහය පිළිබඳව වහා පරීක්ෂණයක් කරන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් දෙයි.

බඩ ඉරිඟු වෙළෙඳාමෙන් අසාධාරණ ලාභ උපයන අතරමැදියන් මේ ප්‍රයත්නය පිටුපස සිටින බව හෙළි වී තිබේ. ඔවුන්ගේ අරමුණ නැති හිඟයක් නිර්මාණය කොට ළඟ එන උත්සව සමයේ කුකුළු මස් මිල ඉහළ දැමීම බවට තොරතුරු ලැබී ඇත.

ගොවියාත්, පාරිභෝගිකයාත් රැක ගැනීම සඳහා මේ කූට ප්‍රයත්නය පරාජය කළ යුතු බව ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද (11) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී අවධාරණය කෙරිණ. බඩ ඉරිඟු ගොවි සංගම් නියෝජිතයෝ හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු ඊට එක්ව සිටියහ.

මෙවර අක්කර 70,000ක බඩ ඉරිඟු වගා කර තිබිණ. ඉන් ලැබුණු අස්වැන්න මෙ.ටො ලක්ෂ තුනකි. එය වෙළෙඳපළට පැමිණ නැත. බඩ ඉරිඟු කිලෝවක් සඳහා ගොවීනට ගෙවිය යුතු අවම මිල රුපියල් 50කි. උපරිම අළෙවි මිල කිලෝවකට රුපියල් 55ක් ලෙස නියම කර තිබේ.

බඩ ඉරිඟු වගාව සංවර්ධනය කරමින් ගොවියාත්, පාරිභෝගිකයාත් ආරක්ෂා කිරීමට රජය විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇත. බඩ ඉරිඟු ආනයනය පසුගියදා නතර කරනු ලැබීය. ඉදිරියටත් ආනයනය නොකෙරේ. කෘෂිකර්ම අමාත්‍යාංශය හඳුනාගෙන ඇති සියලු ඉඩම්වල බඩ ඉරිඟු වගා කිරීමට රජය සැලසුම් කර ඇත. වාර්ෂික ඉඩ ඉරිඟු නිෂ්පාදනය මෙ.ටො ලක්ෂ 08 දක්වා නැංවීමට අපේක්ෂා කෙරේ.  මහා පරිමාණ වගාකරුවනට රාජ්‍ය බැංකුවලින් ණය පහසුකම් සැපයේ.

ළඟ එන උත්සව සමයේ දී කුකුළු මස් කිලෝවක උපරිම මිල රුපියල් 430ක මට්ටමේ පවත්වා ගැනීමට ද රජය තීරණය කර ඇත.

සත්ව ආහාර නිෂ්පාදනය ඇතුළු වාර්ෂික බඩ ඉරිඟු අවශ්‍යතාව මෙ.ටො 4,50,000 කි. 2018 වර්ෂයේ දී මෙ.ටො 133,128ක් ආනයනය කරනු ලැබීය. වැය කළ මුදල රුපියල් මිලියන 6,718කි. පසුගිය වර්ෂයේ ඔක්තෝබර් දක්වා මෙ.ටො 87,109 ආනයනය කළ අතර වැය කළ මුදල රුපියල් මිලියන 4,846ක් බව සාකච්ඡාවේ දී හෙළි විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවකු අනතුරට පත්වීම සම්බන්ධව සොයා බැලීමට පරීක්ෂණ දෙකක් සිදුවන බවත් සිසුන් මර්දනය කරනවා නම්,ශිෂ්‍යන්ට නිදහසේ ඉගෙන ගැනීමට ඉඩ ප්‍රස්ථා ලබා නොදෙනවා නම්, ඒ තත්ත්වය නිවැරැදි කිරීම වගකියන රජයක යුතුකම බවත් ඒ යුතුකම ඉටු කරන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට සිදු වූ බරපතල අනතුර සම්බන්ධ සිදුවීම පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේ ය.

ජාතික රෝහල හා කළුබෝවිල රෝහල මේ දරුවාගේ ජීවිතය බේරා ගැනීමට විශාල පවිශ්‍රමයක් දරා තිබෙනවා. ඒ සියලු පාර්ශවයන්ට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මා ස්තූතිවන්ත වෙනවා.

මේ පිළිබඳව පරීක්ෂණ දෙකක් පැවැත්වෙනවා. විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වෙනවා. අනෙක දරුවන්ගේ දෙමව්පියන් විසින් මිරිහාන පොලීසියට කළ පැමිණිල්ලක් අනුව ඒ  පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙනවා. රජයක් ලෙස විශ්වවිද්‍යාල අභ්‍යන්තර කටයුතු පිළිබඳව පවතින රටේ නීතියෙන් බැහැරව රාජ්‍ය වශයෙන් මැදිහත්වීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ  නැති බව ක්‍රියාවෙන් අප පසුගිය කාලයේ ඔප්පු කොට තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයට එවැනි අශ්‍යතාවයක් තිබුණෙත් නෑ,තිබෙන්නෙත් නැ, මේ රටේ ශිෂ්‍යයන් මර්ධනය කරන්න. මේ රටේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම්  නොලබන, සුදුසුකම් ලබන එහෙත් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්නේ නැති,සියලු දරුවන්ට උසස් අධ්‍යාපනය හා උපාධිය ලබාදීම තමයි අපට තිබෙන අත්‍යාවශ්‍යතාවය. ශිෂ්‍යන් පිළිබඳව දයාබර  බැල්මක් හෙලුවත් මේ සමාජය දන්න ප්‍රසිද්ධ රහසක් තිබෙනවා, නවක වදයේ දී ශිෂ්‍යන්ට කායිකව හා මානසිකව වදහිංසා කිරීමේ පිළිවෙතක් තිබෙන බව නොරහසක්. ගෝඨාභය රාජපක්ෂ මතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිළිව බියෙන් හා සැකෙන් තොරව සිංහල,දෙමළ හා බර්ගර් සියලු දරුවන්ට විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපන ලැබීමට ඉඩ ප්‍රස්ථාව  ලබාදීමේ අරමුණින් නවක වදය පිටුදැකීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කර තිබෙනවා.

නවකවදය වැළැක්වීමේ පනතක් තිබෙනවා.නවකවදය වැළැක්වීමට ආධාර කරන ලෙස සියලු ම ආගමික නායකයින්ගෙන්,ශිෂ්‍ය ප්‍රජාවගෙන්,දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින අතර කිසියම්  පාර්ශවයකට නවකවදයෙන් හෝ ශාරිරිකව හෝ මානසික හිංසනයක් වෙනවා නම්, ඒ පිළිබඳව දැනුම් දී, සාක්ෂි විමසලා, අවශ්‍ය අධිකරණ ක්‍රියාවලියකින් දඬුවම් පමුණුවන්න අප ක්‍රියා කරනවා.  ඒ නිසා විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා,නවකවදය නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපන හැරගිය වින්දිතයන්ට,දරුවන්ට නැවතවතාවක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමේ වගකීමක් අපට තිබෙනවා.  ඒ නිසා එම කොමිෂම බණ්ඩාරනායක සම්මන්ත්‍රණශලාවේ ඉතම වගකීමේ යුතු සාක්ෂි විමසීමක් කරනවා. එවැනි මැදිහත්වීමක් මිස රජය වශයෙන් සිසුන් මර්දනය කරන්න අවශ්‍ය නම් නිදහස්  අධ්‍යාපනය පවත්වාගෙන යන්න ඕන නෑ. රජයක්,ගුරුවරු හෝ සිසුන් මර්දනය කරනවා නම්,ශිෂ්‍යන්ට නිදහසේ ඉගෙන ගැනීමට ඉඩ ප්‍රස්ථා ලබා නොදෙනවා නම්, ඒ තත්ත්වය නිවැරැදි කිරීම  සඳහා මැදිහත්වීම ඕනෑම වගකියන රජයක යුතුකමයි.ඒ යුතුකම පමණයි අප ඉටු කරන්නේ යැයි අමාත්‍යවරයා පැවසීය.

අනතුරට පත් සිසුවා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය 2020‘ (INNOTECH )හෝමාගම පිටිපන නගර පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සුබමොහොතින් හෙට (11) පෙරවරු 9 විවෘත කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පිම්මක් ඉදිරියට තබමින් තාක්ෂණ වේදය විෂය තමා එදා මහින්ද රාජපක්ෂ පාලන සමයේ අධ්‍යාපන ඇමැති ලෙස පාසල් විෂයමාලාවට හඳුන්වා දුන් බවද පැවසීය. ඒ අනුව අද තාක්ෂණවේදය හැදෑරීමට දරුවන්ගේ විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බවද කීවේය.

මෙම ප්‍රදර්ශනය 11සිට 14 දක්වා පැවැත්වෙන අතර ඒ සෑම දිනකම පෙරවරු 9ට ප්‍රදර්ශනය විවෘත වී රාත්‍රී 10 තෙක් පැවැත්වේ.

උතුරු නැඟෙනහිරත් සහිත මෙරට පාසල් හාරසීයක පමණ සිසුන්ගේ නවෝත්පාදන එක්දහස් දෙසීයක් පමණ ප්‍රදර්ශනයට එක්වෙයි.

විවිධ ක්ෂේත්‍රවල නිපැයුම්කරුවන්ගේ නවෝත්පාදන ද ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරෙයි. ඒ නිසා මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පන්තිකාමර සියගණනක්, හරිත සරසවියේ මුළු භූමි ප්‍රමාණයම, නැනෝ තාක්ෂණ ආයතනය, කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විවෘත කිරීමට නියමිත තාක්ෂණ පීඨය යන ආයතනවලට අයත් අක්කර තුන්සීයක පමණ භූමි ප්‍රමාණයක් පුරා මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.

සත්ත්ව හිංසනය වැළැක්වීම සහ සත්ත්ව සුබසාධනය සම්බන්ධයෙන් සත්ත්ව සුබසාධන සංගම් සමඟ සකච්ඡාවක් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සත්ත්ව සුබසාධනය සඳහා නව පනතක් සකස් කරන ලෙස, ඒ සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්ට, අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

මෙම සාකච්ඡාවේ දී සත්ත්ව හිංසනය වැළැක්වීම සහ සත්ත්ව සුබසාධනය සඳහා දැනට පවතින නීතිමය තත්ත්වයන් සහ පනත් පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර සත්ත්ව අවිහිංසාව වෙනුවෙන් පවතින නීති රීති සංශෝධනය කරමින් උපදේශන මණ්ඩලයක් පත්කිරීම කෙරෙහිද අවධාණය යොමු කෙරිණි.

සත්ත්ව හිංසනය වැළැක්වීම සඳහා නීති රීති තිබුණ ද එම නීති ක්‍රියාත්මක නොවන බව සත්ත්වවේ දී සංගම් විසින් මෙහිදී පෙන්වා දුන් අතර සත්ත්ව හිංසනය වැලැක්වීම සඳහා මෙන්ම සත්ත්ව සුබසාධනය වෙනුවෙන් විශාල අවධානයක් යොමු කිරීම ද අත්‍යවශය බව මෙම සංගම් සාකච්ඡාවේ දී පෙන්වා දුන්නේය.

පැරණි පාර්ලිමේන්තුව හෙවත් වර්තමාන ජනාධිපති කාර්යාලය මාර්තු 14 සෙනසුරාදා සිට සෑම සති අන්තයකම පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා නැරඹීමේ අවස්ථාව මහජනතාවට හිමි වෙයි. නැරඹීමට එන අයට ඡායාරූප ගැනීමට ද පිළිවන.

අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) නමට ලිපියක් 011-2441685 ෆැක්ස් අංකයට යොමු කිරීමෙන් හෝ අංක 011-2354354 ඇමතීමෙන් වේලාව වෙන්කර ගත හැකිය.

පැරණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක යුගයක් නියෝජනය කරයි. පැරණි ගෘහ නිර්මාණ ශෛලීන් පහෙන් එකක් වන “ අයෝනියානු ශෛලිය” ට අනුව වසර 82 කට පෙර මෙය  නිර්මාණය කර තිබේ. එය බාහිර පෙනුමින් ඇතෑන්ස් හි ඇක්‍රොපොලීස් කඳු මුදුනේ “ඇතීනා” නම් ග්‍රීක දෙවඟන වෙනුවෙන් ඉදිකොට ඇති ප්‍රධාන දෙව්මැදුර වන “ පාතිනන්” ගොඩනැගිල්ලට සමානත්වයක් උසුලයි.

ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි ආණ්ඩුකාරවරයා විසින්1930 ජනවාරි මස 29 වැනි දින ව්‍යවස්ථාදායක සභාව ලෙස  ගොඩනැගිල්ල ස්ථාපනය කර ඇත. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ව්‍යවස්ථාදායකයේ පසුව සිදු වූ නාම සංශෝධන සමඟ මෙය රාජ්‍ය මන්ත්‍රණ සභාව (1931–1947) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (1947-1972) ජාතික රාජ්‍ය සභාව (1972-1978) සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව (1978-1982) යන නම්වලින් හඳුන්වනු ලැබීය.  පාර්ලිමේන්තුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙන යාමෙන් පසුව මේ පෞරාණික ගොඩනැගිල්ල 1983 සැප්තැම්බර් මස 8 වැනි දින ජනාධිපති කාර්යාලය ලෙස නම් කෙරිණ.

රජයේ ඉඩම්වල සිදු කෙරන කළුගල් කැණීම් කර්මාන්තය සහ පෞද්ගලික ඉඩම්වල සිදු කෙරෙන කළුගල් කැණීමේ කර්මාන්තය සඳහා බදු  දීමේ, අය කර ගැනීමේ විධිමත් හා පහසු  ක්‍රමවේදයක් ඇති කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.

අග්‍රාමාත්‍යවරයා මේ තීරණය ගනු ලැබවේ රජයේ ඉඩම්වල කළුගල් කැණීමේ කර්මාන්තයේ යෙදෙන්නන් හා පෞද්ගලික ඉඩම්වල කළු ගල් කැණීමේ කර්මාන්තයේ නිරතවන්නන්ගේ ගැටලු සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී ය.

එහි දී රජයේ සහ පෞද්ගලික ඉඩම්වල සිදු කෙරන කළුගල් කැණීමේ කර්මාන්තය සඳහා බදු දීමේ හා බදු අය කර ගැනීමේ විධිමත් හා පහසු ර්ඛීය ක්‍රමවේදයක් සැකසීම සඳහා ඉඩම් කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ අතර එම කමිටුව සඳහා ඉඩම් කොමසාරිස් කාර්යාලය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නියොජනය කරමින් නියෝජිතයින් එම කමිටුවට ඇතුළත් වේ.

අදාළ කමිටුවේ නිර්දේශ සති දෙකක් ඇතුළත භාරදෙන ලෙස දැනුම් දුන් අග්‍රාමාත්‍යවරයා පැවසූයේ එම කර්මාන්තයේ නියැලෙන්නන් හා ඒ ආශ්‍රිත රැකියාවල නිරතවන්නන් අපහසුතාවයට පත් නොවන ආකාරයට රාජ්‍ය අංශයේ කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

බලපත්‍ර ලබා ගැනීමේ දී හා බදු මුදල් ගෙවීමේදී විශාල රාජ්‍ය ආයතන ප්‍රමාණයකට යායුතු බවත් විධිමත් බදු දීමේ හා බදු අයකර ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බවත් සදහන් කරමින් කර්මාන්තයේ නියැලෙන්නන් විසින් තමන් මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳව මෙහි දී දීර්ඝව කරුණු ඉදිරිපත් කරන ලදී.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යවරයා විසින් ඉහත කමිටුව පත් කිරීමට තීරණය කරන ලදී.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසූයේ පරිසරය සුරැකෙන ආකාරයෙන් කළුගල් කැණීමේ කර්මාන්තයේ නිරත විය යුතු බවත්, අක්‍රමවත් ආකාරයට කළුගල් කැණීමේ කර්මාන්තයේ නිරතවීම ජල පෝෂිත ප්‍රදේශ  විනාශවීම් හා නැයයෑම් තත්ත්ව වැනි පාරිසරික වෙනස්වීම් රැසකට බලපෑම් ඇති වන බවත්ය. රටේ පරිසරය පිළිබද වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා මෙහි දී අවධාරණය කරන ලදී.

එමෙන්ම කළුගල් කර්මාන්තය මත පැනවෙන බදු මුදල් සමාලෝචනයකට ලක්කළ යුතු බවත්, කළුගල් මිල ඉහළ යාම ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සඳහා සෘජුවම බලපාන බවත් මෙහිදී  වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා  සඳහන් කළේය.

මෙම සාකච්ඡාව  සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා,  මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතා ඇතුළු අමාත්‍යාංශ වල  ලේකම්වරු රැසක් හා ජාතික කළුගල් නිෂ්පාදන සංගමය, භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී දෙපාර්තමේනතුව  විගණකාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය  ආයතනවල නිලධාරීන් රැසක් සහභාගී වූහ.

උපාධිධාරීන්  රාජ්‍ය සේවයට බඳවා ගනීමේ වැඩසටහන යටතේ පත්වීම් ලාභී උපාධිධාරීන්ට පුහුණුව ලබාදීම  අත්හිටුවීමට ගත් තීරණය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව අද(05) සලකා බලනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක තොරතුරු සහ ජනමාධ්‍ය උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(05)පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
උපාධිධාරී 45585 දෙනෙකු සඳහා මාර්තු පළමුවෙනි දින වන විට අභ්‍යාස ලාභීන් ලෙස රජයේ පත්වීම් ලබාදී තිබුණු අතර එම පත්වීම් ලිපි මැතිවරණය ප්‍රකාශ කිරීමට පෙර පෙබරවාරි 27,28,29,සහ මාර්තු 01 දිනයන්හිදී ජනාධිපති ලේකම් කාර්යාල විසින් තැපැල් කර ඇති  බවද   ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ,ජනාධිපතිවරණයේදී වූ පොරොන්දුවක් පරිදි මෙම පත්වීම් ලිපි අදාල උපාධිධාරීන් වෙත යොමුකළ බවත් එම පත්වීම් කිසිවිටෙක ඉදිරි මැතිවරණය සඳහා බලනොපාන බවත් අමාත්‍යවරයා වැඩිදුත් පැවසීය.
 
'සේවා වියුක්තික උපාධිධාරීන් සඳහා මේ පත්වීම් ලබා දුන්නේ දේශපාලන පක්ෂ පාට,භේද නොසලකායි. දේශපාලන ව්‍යාපෘතියක් නොවන මේ පත්වීම් ඓතිහාසිකයි.මේ පත්වීම් ජනවාරි මාසයේදී ලබා දෙන්නට සිටියත් එහි මූලික අදියරයන්ගේ ඇතිවූ යම් යම් තාක්ෂණික දෝෂ නිසා තරමක් පමා වුණා.නමුත් ඒ පත්වීම් ලබා දී ඇත්තේ පාර්ගිමේන්තුව විසුරුවා හරින්නට පෙරයි.
 
මේ පත්වීම් ලාභින්ට මාර්තු මස 01දායින් ඇරැඹෙන පුහුණු කාල පරිච්ඡේදය  වෙනුවෙන් රුපියල් 20,000ක ගෙවීමක් සිදු කරනවා.මැතිවරණ කොමිසමේන් සාධාරණ විසඳුමක් මේ ගැන ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරනවා.එහි විද්වතුන් මේ ගැන ගැඹුරින් කල්පනා කර සතුටුදායක විසඳුමක් ලබා දෙනු ඇතැයි අපගේ විශ්වාසයයි.
යම් උපාධිධාරියකු මේ සදහා ඉල්ලුම් කර පත්වීම් නොලැබීම හෝ  ඒ පිළිබඳ යම් ගැටලු පැනනැගී ඇත්නම් අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අභීයාචනයක් භාර දීමහ හැකි බවද  ඇමැතිවරයා අවධාරණය කලේය. 

හිඟයකට ඉඩ නොතබා ලබන යළ කන්නයට අවශ්‍ය පොහොර ගොවීන්ට කඩිනමින් සපයන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට නියෝග කරයි.

ඉදිරි දින කිහිපය තුළ පොහොර තොග දිවයිනට ළඟාවීමට නියමිතව තිබේ. ප්‍රමාදයකින් තොරව පොහොර බෙදා හැරීමට විධි විධාන සලසන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා ගොවීන් කිසිදු විටක අපහසුතාවට පත් නොකරන්නැයි අවධාරණය කළේය.
පොහොර ගෙන්වීම සහ බෙදාහැරීම පිළිබඳ වත්මන් තත්ත්වය සමාලෝචනය කරනු පිණිස අද (03) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

පොහොර ආනයනයේ දී මතුව ඇති ගැටලු දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ. බෙදා හැරීමට පෙර සිදු කෙරෙන ප්‍රමිති පරීක්ෂණ වාර්තා දින 10 ක් ඇතුළත ලබාගන්නැයි එතුමා දැනුම් දුන්නේය.

ගොවීහූ වැඩි අස්වැන්නක් බලාපොරොත්තුවෙන් අධික පොහොර භාවිතයට යොමුව සිටිති. රසායනික පොහොර භාවිතයේ දී මතුවන ගැටලු පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිතුමා ක්‍රමානුකූලව කාබනික පොහොර වෙත ඔවුන් යොමු කළ යුතු බව පැහැදිළි කළේය. ඒ සඳහා ගොවීන් දැනුවත් කිරීමට පියවර ගන්නැයි එතුමා කීය.

කාබනික පොහොර භාවිතයෙන් කෙරෙන නිෂ්පාදන කෙරෙහි ජනතාවගේ මහත් උනන්දුවක් පවතී. වෙළඳ පොළ අවශ්‍යතාව සහ නිරෝගී අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය වැඩිකිරීම නොපමාව කළ යුතු බව ජනාධිපතිතුමා පැවසීය.
ලෝකයේ පිළිගත් උසස් ප්‍රමිතියකින් යුත් පොහොර නිෂ්පාදනය කරන රටවල් හඳුනා ගෙන පොහොර ආනයනය කළ යුතුය. වී ගොවිතැන ප්‍රමුඛ වාර්ෂිකව වගාකරන භෝග සහ ඒවායේ ප්‍රමාණය නිශ්චිතව හඳුනාගෙන ප්‍රමාණවත් පරිදි පොහොර ආනයනයට පියවර ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආටිගල, මහවැලි කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ, මහබැංකු නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න යන මහත්වරු සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ප්‍රමිති කාර්යාංශය සහ ලංකා පොහොර සංස්ථාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ පොහොර ආනයනකරුවන් සාකච්ඡාවට එක්ව සිටියහ.

වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධානතම අභියෝගය කඩිනම් ආර්ථික සංවර්ධනයක් අත් කර ගැනීම බවත් පසුගිය කාලයේ අප මුහුණ දුන් ආරක්ෂාව සම්බන්ධ ගැටලු බොහොමයක් උද්ගත වූයේ වරප්‍රසාද රහිත ජන කොටස් ආර්ථික සූරාකෑමට ලක්වීම නිසා බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. ජාතිය, ආගම, භාෂාව හෝ ජීවත්වන ප්‍රදේශය නොසලකා සමාජයේ සියලු දෙනාට සම ආර්ථික ඉඩ ප්‍රස්තා සැලැසිය හැකිනම් මෙවන් භේද යලි ශ්‍රී ලංකාව තුළ මතු නොවනු ඇතැයි එතුමා විශ්වාසය පළකරයි.

තමා යෝජනා කර ඇති ජනතා කේන්ද්‍රීය ආකෘතිය මේ සාධකය සැලකිල්ලට ගෙන සකස් වූවකැයි තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතයන් සමග අද (04) ජනාධිපති කාර්යාලයේ පැවති සංවාදයකදී ජනාධිපතිතුමා සඳහන් කළේය.

“ආර්ථික ප්‍රගතියේ ප්‍රතිලාභ සමාජයේ සියළු දෙනාට, විශේෂයෙන් දිළිඳු ප්‍රජාව වෙත ළඟා වන බවට අප විසින් සහතික කරගත යුතුයි. ඔවුන් දිළිඳු බවින් මුදාගෙන ආර්ථිකයේ සාධනීය දායකයන් බවට පත් කොට ඔවුන්ගේ ජීවන තත්ත්වය කඩිනම් හා තිරසාර ලෙස වර්ධනය කළ යුතුය” ජනාධිපතිතුමා පැවසීය. නවීන ඩිජිටල් යුගයේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි ඉහළ මට්ටමේ නිපුණතාවන්ගෙන් සන්නද්ධ පිරිසක් නිර්මාණය කළ යුතු බව පෙන්වා දුන් රාජපක්ෂ මැතිතුමා තාක්ෂණය පාදක කරගත් ආර්ථිකයක වඩා ප්‍රශස්ත රැකියා අවස්ථා සඳහා අවශ්‍ය නිපුණතා සංවර්ධනය ජනතාවට පහසු කිරීමේ අභියෝගය තම රජය භාරගෙන තිබෙන බවත් කීය.

“අපේ පාසල්, පුහුණු ආයතන හා විශ්වවිද්‍යාලවලින් බිහිවන ශ්‍රම බලකාය සහ රැකියා වෙළඳපොල ඉල්ලුම අතර ඇත්තේ සැලකිය යුතු නොගැලපීමක්. අද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය මුහුණ දී සිටින පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය එය පෙන්නුම් කරන එක් අවස්ථාවක්. එබැවින් අපේ අධ්‍යාපන පද්ධතියට ආවේණික ගැටලු සඳහා කෙටිකාලීන හා මධ්‍ය කාලීන විසඳුම් සෙවීම හදිසි අවශ්‍යතාවක්”, ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. රාජ්‍ය අංශයේ ගුණාත්මක පරිහානිය ගැන සඳහන් කළ ජනාධිපතිතුමා අනවශ්‍ය සීමා ලිහිල් කර හෝ ඉවත් කර බාධා විරහිත ආර්ථික ක්‍රියාකාරීත්වයට ඉවහල් වන පරිසරයක් නිර්මාණය කිරීම තම රජයේ ප්‍රමුඛතාවක් බවත් මේ අරමුණ කරා ළඟාවීම සඳහා නූතන තාක්ෂණය ආර්ථිකයට බද්ධ කළයුතු බවත් පෙන්වා දුන්නේ ය.

කතිකාවට එක් වූ තොරතුරු සන්නිවේදන තාක්ෂණ නිපුණතා කවුන්සිලයේ සභාපති චින්තක විජේවික්‍රම මහතා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය බෙහෙවින් ගතික අංශයක් බවත් වසර 28 කට පසු මේ ක්ෂේත්‍රය ආමන්ත්‍රණය කළ පළමු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බවත් සඳහන් කළේය. අපගේ මෘදුකාංග සඳහා ලොව පුරා ඉහළ ඉල්ලුමක් පවතින බව පෙන්වා දුන් කවුන්සිලයේ මහ ලේකම් ශාන්ත යාපා මහතා ක්ෂේත්‍රයේ දේශීය ප්‍රවර්ධනයට ප්‍රමුඛතාව දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේය.

Global Sourcing Association විසින් ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සංගමයට පිරිනමන ලද ‟The Delivery Destination of the Year” සම්මානය සංගමයේ සභාපති රනිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිතුමාට පිළිගන්වනු ලැබීය.

තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ නියෝජිතයෝ රැසක් සහ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා ද කතිකාවට එක්ව සිටියහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter