නවතම පුවත්

වර්තමානයේ තිබෙන සුළුතර ආණ්ඩුව මඟින් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක්, අණ පනතක් සම්මත කළ නොහැකි බවත් ඉදිරි මහමැතිවරණයෙන් පසු බහුතර ආණ්ඩු පක්ෂයක් නිර්මාණය කර ජනතාවාදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කෙළේ පසුගියදා (29) මල්වතු මහාවිහාරයීය මංගල උපෝෂථාගාරයේ උපාධ්‍යාය පදවිය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය අති මැටරඹ හේමරතන නායක ස්වාමින්වහන්සේ වෙත පිරිනැමීමේ පුණ්‍යෝත්සවය අමතමිනි.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කෙළේය.

පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මඟින් රටේ දේශපාලනයේ යථාර්ථය ජනතාව හොඳින් තේරුම් ගෙන තිබෙනවා සුළු පිරිසක් වර්තමාන පාලන තන්ත්‍රයේ යථාර්ථය තවම නිසිලෙස තේරුම් ගෙන නෑ.

ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් හා කැබිනට් මණ්ඩලයක් පිහිටෙව්වද පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් තිබෙන නිසා සංවර්ධන ව්‍යාපෘතී ක්‍රියාත්මක කිරීමට යෝජිත අණ පනත් සම්මත කර ජනතාවට සේවයක් කිරීමට නොහැකිව තිබෙනවා. 2019 නොවැම්බර් 18 වැනිදා ලබාගත් අති විශිෂ්ඨ ජයග්‍රහණය යථාර්ථයක් බවට පත්කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගෙන කටයුතු කරන්න අපට සිදු වෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ උපාධ්‍යාය පදවිය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ මැටරඹ හේමරතන නායක හාමුදුරුවෝ විහාරාධිපති ධුරය දරන ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයේ සංවර්ධන සභාවේ සභාපති ලෙස කටයුතු කිරීම නිසා මට විශේෂ අවසරයක් ලැබුණා උන්වහන්සේ ළඟින් ඇසුරු කරන්න.

ඒ නිසා මමත්, මැටරඹ හේමරතන නායක හාමුදුරුවොත් අතර කිට්ටු සම්බන්ධයක් ඒ දවස්වල ඉඳලම පවතිනවා.යුගයක් තිබුණා නායක හාමුදුරුවන්ගේ අපවත් වීමත් එක්ක සිතුල්පව්වට ඇති වුණු කොටි ත්‍රස්තවාදී උවදුර වේලාවෙදී හිස් භූමියක් බවට පත්වෙන්න යන වේලාවේදී මේ නායක හාමුදුරුවෝ ඇවිල්ලා නැවත පූජා භූමිය පින්වතුන් බැතිමතුන් රැස්කරන්නට පටන් ගත්තා. ඒ සඳහා නායක හාමුදුරුවෝ කළ කැපවීම අති විශාලයි. යාල කැලෑව මැද පන්සල තුළ ඉඳගෙන සිතුල්පව්ව දියුණු කරන්න සිතුල්පව්වට දායකයන් බැතිමතුන් ගෙන එන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරමින් එහි හාමුදුරුවරුන්ට ආවම ඉන්න පහසුකම් සලසමින් බැතිමතුන්ට ඉන්න අවස්ථාව සලසමින් උන්වහන්සේ කරපු සේවය අපි අගය කළ යුතුයි.

අද අපි මේ රැස්වෙලා ඉන්න ඓතිහාසික යටගල රජමහා විහාරය, ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරය, ඓතිහාසික මඟුල් මහා විහාරය ඇතුළුව විහාර අටක විහාරාධිපති හැටියට මැටරඹ හේමරතන නායක හාමුදුරුවෝ කටයුතු කරනවා. ඒ විහාරස්ථාන අටම ජනතාවගේ වැඳුම් පිදුම් කරන උසස් ස්ථාන බවට පත් කරන්නට උන්වහන්සේ සමත් වෙලා තිබෙනවා.

උන්වහන්සේ 1941 සැප්තැම්බර් මස 17 වැනි දින උණවටුනේ මැටරඹ ග්‍රාමයෙහි උපත ලබලා 1955 දී වයස අවුරුදු 14ක් වෙන කොට මේ ඓතිහාසික යටගල රජමහ විහාරාස්ථානයේ දී පැවිදි දිවියට ඇතුල් වුණා. උන්වහන්සේ උපසම්පදාව ලැබුවේ 1965 දී.

අද රටේ අන්‍යාගමීකරණය දරුණු ලෙස සිදුවෙනවා. ඒ පිළිබඳව අපේ අවධානය යොමු කරලා තියෙනවා. දැනුවත්ව හෝ නොදැනුවත්ව සමහර බෞද්ධයන් ඒ රැල්ලට අහුවෙලා තිබෙනවා. මේ පිළිබඳව මහා සංඝරත්නයත් ජනතාවත් අවබෝධයකින් සිටිය යුතුයි. අගම වෙනස් කිරීම වගේ ගමේ සිදුවෙන දේ පිළිබඳව ඇස් ඇරගෙන සිටිය යුතුයි.

මල්වතු මහාවිහාරයීය මංගල උපෝෂථාගාරයේ උපාධ්‍යාය පදවිය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ මැටරඹ හේමරතන නායක හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුෂ පතමින්, උන්වහන්සේගේ ඉදිරි ශාසනික සේවය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතනවා.

මෙම අවස්ථාව සඳහා මල්වතු අනුනායක නියංගොඩ විජිතසිරි අනු නා හිමියන්, කෝට්ටේ පාර්ශ්වයේ මහා නායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන්, ත්‍රිකුණාමලයේ ආනන්ද නා හිමියන් ,කොළඹ නව කෝරළයේ සංඝනායක ත්‍රිපිටක වාගීශ්වර දිවියන් ගහ යසස්සි නාහිමියන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, චන්දිම වීරක්කොඩි, රමේෂ් පතිරණ යන අැමැතිවරුන් ද සහභාගි වූහ.

මෙරට අධ්‍යාපනයේ නව වෙනසක් ඇති කරමින් හඳුන්වා දුන් තාක්ෂණ විෂය ධාරාව ඉදිරියේ දී රට සංවර්ධනන මාවතට යොමු කිරීමේ මූලික කාර්යය ඉටු කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මෙරට පළමු තාක්ෂණ පීඨය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘති කිරීමයට නියමි තබවද හෙතෙම කීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ (2) හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින්ය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේද කීය.

රුපියල් කෝටි ගණනක විදයමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨය සහ කොළඹ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨය හෝමාගම ඉදි වෙනවා. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයට සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ සඳහා ඇතුළත්වන සිසුන් සියලු දෙනා හෝමාගමට පැමිණිය යුතු යි. ඒ තුළ ප්‍රදේශයේ සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් ලැබෙයි. ශ්‍රී ජයවර්ධනපුර තාක්ෂණික පීඨය ලංකාවේ පළමු තාක්ෂණික පීඨය බවට පත්වීම ඓතිහාසික වශයෙන් සංධිස්ථානයක්. ඒ වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් ද නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව සූදානමින් සිටිනවා.

එමෙන් ම එළඹෙන මාර්තු 11 සිට 14වැනි දින දක්වා අඛණ්ඩ ව දින 04ක පුරා හෝමාග ම දී පැවැත්වෙන තාක්ෂණ හා නවෝත්පාදන අධ්‍යාපන ප්‍රදර්ශනය නැරඹීම සඳහා තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා වශයෙන් මම ඔබට ආරාධනා කරනවා. ඒ ප්‍රදර්ශනය අක්කර 200ක පමණ භූමි භාගයක ක්‍රියාත්මකදින වෙන නිසා සම්පූර්ණ ප්‍රදර්ශනය එක් දිනකින් නරඹා නිම කරන්නට බැරි වෙයි. ඊට ඔබේ දරුවන් රැගෙන එන්න. කොළඹ, ජයවර්ධනපුර ඇතුළු විශ්වවිද්‍යාල 11ක තාක්ෂණ පීඨයන්හි නව නිර්මාණ, තෝරාත් පාසල් 100ක පමණ තාක්ෂණික සහ නවෝත්පාදන, එමෙන් ම යුධ හමුදාව, ආතර්.සී.ක්ලාක් මධ්‍යස්ථානය, කාර්මික තාක්ෂණ විශ්වවිද්‍යාලය, නැනෝ තාක්ෂණික විශ්වවිද්‍යාලය, හරිත සරසවිය, කිරුම් මිණුම් දෙපාර්තමේන්තුව, සාගර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන 24ක දායකත්වය මේ සඳහා ලැබෙනවා. මේ තාක්ෂණ විෂය ධාරාව ඇති කිරීමෙන් පසු කෙටි කලක් තුළ අප ලබා තිබෙන ජයග්‍රහණ පිළිබඳ ඔබට දැක ගන්නට පුළුවන්.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත (02) ජනාධිපති කාර්යාලයේ දී භාර දෙනු ලැබීය.

පළමු අතුරු වාර්තාව දෙසැම්බර් 20වනදා ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2019 සැප්තැම්බර් 22 වනදා කමිටුව පත් කරනු ලැබීය.

කමිටුවේ අවසන් වාර්තාව ඉදිරි පරීක්ෂණවලින් අනතුරුව සම්පාදනය කෙරේ. කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා, සෙසු සාමාජිකයන් වන අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරුන් වන නිහාල් සුනිල් රාජපක්ෂ සහ ඒ.එල්. බන්දුල කුමාර අතපත්තු, අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩබ්.එම්.එම්.ආර්. අධිකාරි, කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.පී.බී. හේරත් යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක රටේ සම්පත් විකිණීමට හෝ පිටස්තරයින්ට ලබා දීමට සූදානම් නැතැයි වාරියපොළ,සුමංගල පිරිවෙනේ පැවති වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ ගුණසමරු වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, "අද අපි අනුස්මරණය කරන්නේ අපේ රටේ හිටපු වාරියපොල සුමංගල හිමියන්. උන්වහන්සේ තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව මුලින්ම සටන ආරම්භ කළේ. උඩරට ගිවිසුම අත්සන් කරපු වෙලාවේ මහනුවර මගුල් මඩුවෙදී බ්‍රිතාන්‍ය පාලකයෝ ජාතික කොඩිය බිම දැමූ අවස්ථාවේ දී නැවතත් ධජය ඉහලට එසෙව්වේ වාරියපොල සුමංගල හාමුදුරුවෝ. උන්වහන්සේ අපේ වීරවරයෙක් ලෙස මුළු ජාතියම සලකනවා.

ඒ පාවාදුන් ඓතිහාසික දිනය අදට වසර 205 වෙනවා. 18 කැරැල්ල වෙලාවෙදි උන්වහන්සේ දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කිරීමට දළදා මාලිගාවෙන් අරගෙන නිදහස් අරගලයේ නායකයා වූ කැප්පෙටිපොළට භාරදෙන්න යනවා. මාතලේ මුරපොළේදී අත්අඩංගුවට පත්වන උන්වහන්සේ රාජද්‍රෝහි වීමේ වරදට සිරගත කෙරෙනවා.

නිදහස් විමුක්ති සටනේ ආරම්භකයා වශයෙන් සැලකෙන්නේ වාරියපොල සුමංගල හිමියන්. ඉංග්‍රීසි හමුදාව උන්වහන්සේ යුද අධිකරණයට ඉදිරිපත් කරලා යාපනය සිර ගත කළ බව සඳහන් වෙනවා. එදා උන්වහන්සේ ආරම්භ කර විජාතිකයන්ගේ සටන තමයි අදත් අපේ හදවත් තුළ, ජාතියේ හදවත් තුළ රැඳී තිබෙන්නේ.

පසුගිය කාලයේ යුගයක් තිබුණා මේ රටේ සම්පත් ක්‍රමානුකූලව විදේශිකයන්ට විකිණීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. අපි හම්බන්තොට හදපු වරාය වෙනත් රටකට වික්කා. පසුව එම්. සී. සී ගිවිසුම අත්සන් කරන්න සූදානම් වෙලා හිටියා. තිරිකුනාමලයේ සිට කොළඹ දක්වා රේඛාවක් ඇන්දම ඒ දෙපැත්තේ අක්කර දෙකහමාරක් ආර්ථික පටියක් විදේශිකයන්ට ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. අපේ රජයට එය නවත්වන්න හැකියාව ලැබුණා. මේ විදිහට අපිට රට ගැන ජාතිය ගැන හැඟීමක් ජනිත කළේ වාරියපොල සුමංගල හිමියන්ගේ ක්‍රියාකලාපයයි. ඒක සමහරුන් අතර තවමත් නැහැ.

සමහර අය එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට ගැතිකම් කළා වගේ අදත්ඔවුන් හදන්නේ අධිරාජ්‍යවාදීන්ට රටේ සම්පත් විකුණ ලබා දෙන්න. මේ රටේ ඔබ ජනාධිපතිවරයා වශයෙන් පත් කරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කිසිම වෙලාවක රටේ සම්පත් පිට විකුනන්න හෝ පිටස්තරයන්ට ලබා දෙන්න සූදානම් නැති බව අපි පැහැදිලිව කියන්න ඕනි. අපේ රට තුළ ජාතියක් වශයෙන් නැගී සිටීමට මේ රටේ සම්පත් ආරක්ෂා කරගෙන තිබෙන සම්පත් දියුණු කරගෙන අනාගත පරපුර වෙත බාරදෙන එක තමයි අපේ අරමුණ.

හම්බන්තොට වරාය, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ගය කුරුණෑගල අධිවේගී මාර්ගය ආරම්භ කළා. නුවරට යන්න අධිවේගී මාර්ගයක් ආරම්භ කළා. නමුත් පසුගිය කාලේ ඒ මාර්ගයෙන් බාගයක් හැදිලා බාගයක් හැදිලා නැහැ. සමහර ව්‍යාපෘති වල වෙනස්කම් සිදු කරන්න ගිහිල්ලා ඒවායේ ගණන් වැඩි වෙලා. ඒ ව්‍යාපෘති අද නතර වෙලා තියෙනවා. ඒ ව්‍යාපෘති නැවත ගොඩනැගීම අත්‍යවශ්‍යයි කියලා අපි හිතනවා.

අද රෑට පාර්ලිමේන්තුව විසුරවන්න ඉඩ තිබෙනවා. අප්‍රේල් මාසේ වෙනකොට මැතිවරණය තියාවි. අද තිබෙන්නේ සුළුතර ආණ්ඩුවක්. පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ පිරිස වැඩියි. අපිට අඩුයි. අපි ගේන්න හදපු අතුරු සම්මත ගිණුම ගේන්න ඉඩ දුන්නේ නැහැ. ඒ අතුරු සම්මත ගිණුම අයින්කරගෙන අපි පරාජයෙන් බේරුනා. ඒක ගෙනාව නම් ඒ සල්ලි ටික දුන්නනං ඒකෙන් ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන් කම ලැබෙනවා. පසුගිය කාලේ කරපු වැඩ වලට සල්ලි ගෙවන්න හැකියාව තිබුනා. දැන් පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණයකට යන්න ජනාධිපතිවරයාට අවස්ථාව තිබෙනවා. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගනියි කියලා මම විශ්වාස කරනවා'' යන්නයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා (01) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

දළදා මාළිගාව වෙත පැමිණි ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ ද සුවදුක් විමසීය. අස්ගිරි මහා නායක හිමියන් සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

ජනාධිපතිතුමා අස්ගිරිය ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ දී රංගිරි දඹුළු මහා විහාරාධිපති මහනුවර අස්ගිරි මහා විහාරයෙහි ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල නායක හිමියන් බැහැ දැකීය.

එම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නායක හිමියන් ද වැඩම කර සිටියහ. මේ අවස්ථාවන්ට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා ද එක්ව සිටියේය.

උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ඔවුන් වෙත පත් වීම් ලිපි නිකුත් කිරීම ආරම්භ වූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව හෙළි කළේ ය.

රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යටතේ පත්වීම් ලිපි නිකුත් කිරීම ජනාධිපති ලේකම්කාර්යාලය විසින් ආරම්භ කර තිබෙනවා. ලිපිවල පිටපත් දිස්ත්‍රික්කවල සිටින දිසාපතිවරයාට යොමු කරනවා. සියලු උපාධිධාරීන්ට මාර්තු 01 සිට 2021 මාර්තු 01 දක්වා පුහුණුවක් ලබාදෙනවා. ඒ කාලය තුළ රුපියල් 20000ක දීමනාවක් ලබාදෙනවා. ඉන් අනතුරුව රාජ්‍ය සේවය ඵලදායී හා කාර්යාක්ෂමව ලබාදීම සඳහා සේවා ස්ථාන ලබාදෙනවා. එම ස්ථානයේ පස් වසරක් සේවය කළ යුතු වෙනවා.  පනස් දහසකට පමණ පත්වීම් ලිපි ඒ අනුව නිකුත් කිරීම ආරම්භ වූ බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ධීවර කර්මාන්තය රැක ගනිමින් පාරිභෝගිකයාට ද සාධාරණ මිලකට මාළු ලබා ගැනීමට අවස්ථාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

බහුදින ධීවර යාත්‍රා හිමියන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳව  අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී එතුමා මේ උපදෙස් දුන්නේය.

අපනයන වෙළෙඳ පොළ පිළිබඳ ප්‍රතිපත්තිමය පදනමක සිට  නව සැලසුම් සකස් කිරීමේදී අපනයනකරුවාත්, ධීවර යාත්‍රා හිමියාත් ඇතුළත් කමිටුවක් මගින් ක්‍රියා කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේය. නීති විරෝධි ක්‍රමවලින් මසුන් ඇල්ලීම නතර කිරීමට වහා පියවර ගැනීමට ද උපදෙස් දෙනු ලැබීය.

අපනයන සමාගම් මිලදී  ගන්නේ ඔවුන්ගේ නැව් මඟින් සපයා ගන්නා මත්ස්‍ය අස්වැන්න පමණක් බව ධිවර සමිති නියෝජිතයෝ කියා සිටියහ. තමන් අපනයනය සඳහා පමණක් කර්මාන්තයේ නිරතව සිටින බැවින් තම අස්වැන්නට නිසි වෙළඳ පොළක් නොමැතිවීම බලවත් ගැටළුවකැයි ඕව්හු  පෙන්වා දුන්හ.

කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් මගින් මේ ගැටලුව විසඳීමට බලධාරීන්ට කියා සිටි ජනාධිපතිතුමා අපනයනකරුවන්ගේ මෙන්ම යාත්‍රා හිමියන්ගේ ද සහභාගිත්වය ඇතිව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දුන්නේය. බහුදින ධීවර යාත්‍රා හිමියන් මුහුණදී ඇති ගැටලුවට තාවකාලික විසඳුමක් ලෙස පෞද්ගලික අංශයේ ද සහාය ඇතිව ඔවුන්ගේ අස්වැන්න මිලදී ගැනීමට මැදිහත්වන්නැයි ජනාධිපතිතුමා ධීවර සංස්ථාවේ සභාපතිවරයාට පැවසීය.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, සනත් නිශාන්ත පෙරේරා, කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරු,  ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාශයේ ලේකම් ආර්.එම්.අයි. රත්නායක සහ  යන මහත්වරු ඇතුළු පිරිසක් සාකච්ඡාවට සහභාගී වූහ.

ඒ ඒ දිස්ත්‍රික්කවල ජන ගැටලුවලට කඩිනම් විසදුම් දීමේ අරමුණින් සංවිධාන කෙරෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාලාවේ පළමුවැන්න ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම හෝමාදොළ රාජගිරි ලෙන් විහාරස්ථානයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ පැවැත්විණ.

සංඛ්‍යා ලේඛන අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ දුප්පත්ම ග්‍රාමයක් වන උඩුගම, හෝමාදොළ, කොතලාවලපුර ග්‍රාමය ජනාධිපතිතුමා විසින් තොරා ගනු ලැබීය. මෙලෙස පැවැත්වෙන දිස්ත්‍රික් කමිටු රැස්වීම් සඳහා වැය වන මුදල් සීමා කර ඉන් ලැබෙන ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබාදීම ජනාධිපතිතුමාගේ අරමුණයි.

සාකච්ඡාව ආරම්භයේ දී දිස්ත්‍රික්කයේ නගර, ග්‍රාමීය ආර්ථික සංවර්ධන සහ ආපදා කළමනාකරණ සැලසුම් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ. දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන දේශපාලන, සමාජ, ආර්ථික ගැටළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සාකච්ඡාවට ලක් විය. දුගී බව තුරන් කිරීම, සැමට නිරෝගීමත් දිවියක් මෙන්ම මනා අධ්‍යාපන පසුබිමක් සැකසීම, කෘෂි හා ධීවර ක්ෂේත්‍රයන්හි කඩිනම් සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානය යොමු විය.

ජනාධිපතිතුමා රැස්වීමට සහභාගීවීමට යන මග දෙපස රැස්ව සිටී ජනතාව හමුවී ඔවුන්ගේ ප්‍රශ්න මොනවාදැයි විමසීය.  කටුපොල් වගාවෙන් පරිසරයට වන හානිය පිළිබදව ඕව්හු පැමිණි කළහ. සාකච්ඡාවේ පළමු ගැටලුව ලෙස මේ පිළිබඳ අවධානය යොමු විය. ප්‍රදේශයේ පැණ නැගී ඇති ජල හිඟයට කටුපොල් වගාව බෙහෙවින් බලපා ඇත. ඒ පිළිබඳ විධිමත් පාරිසරික අධ්‍යයනයක් වහාම සිදුකරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. මෙමගින් ඉහළ ආදායමක් ලැබේ. එහෙත් පරිසරයට හානියක් සිදුවන්නේ නම් ලාභයෙන් ඵලක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වහාම කටුපොල් වගාව නතර කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පොල්තෙල් පරිභෝජනයට ජනතාව දිරි ගැන්විය යුතුය. එහි ප්‍රතිඵලයක් ලෙස පොල් වගාව ද සංවර්ධනය වනු ඇත. රබර් ආශ්‍රිත කර්මාන්ත ශාලා රැසක් ආරම්භ කර තිබේ. එහෙත් එම නිෂ්පාදනවලට අවශ්‍ය රබර් ප්‍රමාණවත් අයුරින් නොලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රබර් වගාව කෘෂිකර්මාන්තයක් ලෙස නගා සිටුවීමට පියවර ගන්නා ලෙස ද දැනුම් දුන්නේය. එය දිරි ගැන්වීම පිණිස රබර් ආනයනය  වහාම නතර කිරීම පිළිබඳව ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල්වල පවතින ඉංග්‍රීසි ගුරු හිගය පිළිබඳව ප්‍රදේශයේ දේශපාලනඥයෝ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළහ.  කඩිනමින් එම පුරප්පාඩු පිරවීමටත්, ගණිත විද්‍යා විෂයන් ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු මෙන්ම ක්‍රමවේදයන්  විධිමත් කිරීමටත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.  මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර බිහි කිරීමේ අරමුණ ක්‍රියාවට නංවමින් නව තාක්ෂණය මගින් කාලීනව ඉංග්‍රීසි, ගණිත විද්‍යා විෂයන් ඉගැන්වීමට  පසුබිම  සකසන්නැයි එතුමා පැවසීය.

නෙළුව, නාගොඩ, උඩුගම ඇතුළු ප්‍රදේශ රැසක පැන නැගී ඇති පානීය ජල ගැටළුව පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. දිස්ත්‍රික්කයේ පවතින අඩු පාඩු සහ ගැටලු ප්‍රමුඛතා පදනමෙන්  විසඳීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

දියත් කර ඇති ප්‍රජා සහ සෙසු ජල ව්‍යාපෘති නිම කිරීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදී පානීය ජල ගැටලුවට විසඳුම් ලබාදෙන්නැයි ද ජනාධිපතිතුමා දැනුම් දුන්නේය. කොන්ත්‍රාත්කරුවන් නිසි අයුරින් වැඩ නිමකර නොමැතිනම් ඔවුන් වහාම ඉවත් කරන්නැයි කීය.

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටළුව ද සාකච්ඡාවට ලක් වූ ප්‍රමුඛ කරුණකි. ප්‍රාදේශිය මට්ටමින් ජනතාව දැනුවත් කර නිශ්කාෂන ව්‍යාපෘතිවලට සහාය වන ලෙස ජනාධිපතිතුමා පළාත් පාලන ආයතනවලට දැනුම් දුන්නේය.

ග්‍රාමීය වෛද්‍ය මධ්‍යස්ථාන යතාවත් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය. වෛද්‍යවරු, හෙදියන් ප්‍රමාණවත් අයුරින් ඒවාට යොමුකර ජනතාවට අවශ්‍ය පහසුකම් සලසන්නැයි සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා එමගින් කොළඹ සහ ප්‍රධාන නගර ආශ්‍රිත රෝහල්වල තදබදය විශාල වශයෙන් අඩු කරගත හැකි බව ද පෙන්වා දුන්නේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග හා පාලම් ඉදිකිරීම, ගංවතුර පාලනය, නාගරික සංවර්ධනයේ දී බලපා ඇති ගැටලුවලට විසදුම් ලබාදීම කෙරෙහි ද අවධානය යොමු විය.

මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී ස්ථානයක් ගාල්ල දිස්ත්‍රික්කයට හිමි වේ. හික්කඩුව, වෙරළ තීරයේ සංචාරකයන්ගේ ආරක්ෂාව සහ ප්‍රදේශයේ වැදගත්කම පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස  ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. උණවටුන ආශ්‍රිතව සංචාරක පොලීසියක් වහාම ඉදිකිරීමට ද තීරණය කෙරිණ. ධීවර කර්මාන්තය නගා සිටුවීමට දිස්ත්‍රික්කයේ ඇති ධීවර වරාය ආශ්‍රිත ගැටලු හඳුනාගෙන ඒ ඒ අමාත්‍යාංශ වෙත වගකීම් පැවරීමට ද පියවර ගනු ලැබිණ.

හඳුනාගත් ජන ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නැයි ඒ ඒ අමාත්‍යාංශ නිලධාරින්ට ජනාධිපතිතුමා දැනුම් දුන්නේය.

අද දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී මතු කෙරුණු ඇතැම් ගැටළුවලට ඒ මොහොතේම විසඳුම් ලැබිණ. උඩුගම රෝහලට ජල බවුසරයක් සැපයීම, විදුහල්පතිවරු නැති පාසල්වලට විදුහල්පතිවරු පත් කිරීම, සුළු පරිමාණ ජල සම්පාදන ව්‍යාපෘති සඳහා හිඟ මුදල් සම්පාදනය ඒ අතර විය.

ගාල්ල දිස්ත්‍රික් නායක අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ මූලිකත්වයෙන්  පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහූ එක්ව සිටියහ.

දීප ව්‍යාප්තව පැවැත්වෙන් දිස්ත්‍රික් කමිටු රැස්වීම් මාලාවට සමගාමීව පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් පැල සිටුවීමේ වැඩසටහනක් ද ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නංවා තිබේ. ගාල්ල දිස්‍ත්‍රික්කයේ පැල 300ක් සිටුවීමේ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිතුමා විහාරස්ථාන භූමියේ පැළයක් රෝපණය කළේය.

රැස්වීමට පැමිණි ජනාධිපතිතුමා විහාරාධිපති ස්වාමින් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

වත්මන් ආණ්ඩුවට දින 100ක් සපිරෙන අද දිනයේදී ජනතාව බලාපොරොත්තු වූ ප්‍රතිපත්තිමය තීරණ රැසක් ගැනීමට ජනාධිපතිතුමාට හැකිවී ඇති බවත් එම ප්‍රතිපත්තිමය තීරණ ඉදිරියට ගෙනයාමට ජනතාව ඉදිරි මැතිවරණයේදී රජයට ශක්තියක් ලබාදෙනු ඇතැයි යන්න තම විශ්වාසය වන බව තොරතුරු සහ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා අද (25) අමාත්‍යංශ ශ්‍රවණගාරයේදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේය.

ආණ්ඩුවට දින සීය සපුරන මේ මොහොතේදී ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී මෙරට සම අනුග්‍රාහකත්වය සැපයූ 30/1 සහ 40/1 යෝජනාවලින් ඉවත්වීමට ආණ්ඩුව තීරණය කළ බවත් මෙම යෝජනාවලියට  ලංකාව එකඟතාවය පළකරන ලද්දේ එවකට සිටි රාජ්‍ය නායකයා මෙන්ම කැබිනට් මණ්ඩලයේද අනුමැතියෙන් තොරව බව ද අමාත්‍යවරයා පැවසුවේය.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරමින් එහි සේවාවන් පුළුල් කිරීමේ විශේෂ වැඩපිළිවෙල පසුගිය පෙබරවාරි 20 වැනිදායින් ආරම්භ වූ බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුන්නේය.

ආනයනික ලොකු ළූණු සඳහා රුපියල් 190 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් අද අති විශේෂ ගැසට් නිවේදනයක් පනවා ඇති බවත් මේ සමග වැඩි මිලට ළූණු අලෙවි කරන කූඨ වෙළඳුන් සම්බන්ධයෙන් දැඩි පියවර ගනු ඇති බවත් එතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.

වී ගොවීන්ගේ අස්වැන්නට සාධාරණ මිලක් ලබාදෙමින් ඉදිරියේදී කමතට ගොස් වී මිලදීගැනීමේ වැඩපිළිවෙලක් දියත් කර ඇති බවද එතුමා පැවසුවේය. 2020.01.29 වැනි දින සිට 2020.02.23 වැනි දින දක්වා අතර කාලයේදී වී මෙට්‍රික් ටොන් 8474 ක් මිලදීගෙන ඇති බවත් ඒ සඳහා රජය මිලියන 423.7 ක මුදලක් වැයකර ඇති බවද අමාත්‍යවරයා පැවසුවේය.

ආරක්ෂක, වෙළෙඳ, පුද්ගල සබඳතා, අන්තවාදයට එරෙහිව සටන් කිරීම හා ආගමික සහජිවනය ප්‍රවර්ධනය යන ක්ෂේත්‍ර ඇතුළු වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක දී ශ්‍රී ලංකාවට අවශ්‍ය උපරිම සහාය දීමට පාකිස්ථානය සූදානමින් සිටී.

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් කත්තක් මහතා  Muhammad Saad Khattak  (24) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව සහතික කෙරිණි.
දෙරට අතර දැනටමත් යහපත් ආරක්ෂක සහයෝගීතාවක් පවතින හෙයින් ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර වෙළෙදාම ප්‍රවර්ධනය කෙරෙහි තම අවධානය යොමුව තිබෙන බව මහ කොමසාරිස්වරයා පැවසීය.

දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව හමුවීමට අවස්ථාව සලසා දෙන සම්මන්ත්‍රණයක් එළැඹෙන අප්‍රේල් මාසයේ දී සංවිධාන කිරීමෙහි පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය මේ දිනවල නිරත සිටී.
වෛද්‍ය, ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල උසස් අධ්‍යාපන අවස්ථා සඳහා ශ්‍රී ලාංකික සිසුන් දාහකට පාකිස්ථානය පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානය කරයි. සුදුසුකම් සහිත ශිෂ්‍යයන්ට අයැදුම් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය මේ වැඩසටහනට පුළුල් ප්‍රචාරයක් ලබා දෙයි. අයදුම්කරුවන් සම්මුඛ සාකච්ඡාවන්ට ලක් කිරීම සදහා පකිස්ථාන බලධාරීන් ඉතා ඉක්මණින් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. මේ ශිෂ්‍යත්ව වැඩසටහනට අමතරව උසස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකීය සිසුන්ට ශිෂ්‍යත්ව ලබාදීමද පාකිස්ථානය උනන්දුවක් දක්වන බව මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කාලයේ සිට පාකිස්ථානය මේ ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාවට නැංවූ බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සිහිපත් කළේය. ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ දරුවන්ට විශේෂයෙන් රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ දරුවන්ට ඉන් ප්‍රතිලාභ අත්විය.
ආගමන කටයුතුවල වඩා යහපත් සබඳතාවක අවශ්‍යතාව පිළිබදව ද ජනාධිපතිතුමා සහ මහකොමසාරිස්වරයා සාකච්ඡා කළහ. ප්‍රශ්නකාරී පසුබිමක් සහිත පුද්ගලයන්ගේ ගමනාගමනය පාලනය කිරීමේ දෙරටේ ව්‍යායාමයන්ට මෙය උපකාරී වනු ඇත.
පෞරාණික අධ්‍යාපනික ඉගෙනුම් මධ්‍යස්ථානයක් වන තක්ෂිලාව ප්‍රවර්ධනය කිරීමේ දී පකිස්ථානය ඉටුකරන විශිෂ්ට කාර්ය භාරය ප්‍රශංසාවට ලක් කළ ජනාධිපතිතුමා ඒ සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය දෙන බව ද පැවසීය. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, පකිස්ථාන නියෝජ්‍ය මහ කොමසාරිස් Tanvir Ahmad දෙවන ලේකම් (දේශපාලන) Ayesha Abu Bakr Fahad, යන මහත්ම මහත්මීහු සාකච්ඡාවට සහභාගී වූහ.

 

අතුරු සම්මත ගිණුමේ සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සම්මත නොවුණ ද මාර්තු 01 දා සිට දිසාපතිවරුන්/දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් නිකුත් කිරීමට නියමිත නියමිත උපාධිධාරීන් 53,000 ක් බඳවා ගැනීම සඳහා වූ අභ්‍යාසලාභී පත්වීම් සඳහා එය බධාවක් නොවන බවත්, මාර්තු 01 දා සිට බඳවා ගන්නා අභ්‍යාසලාභීන් සඳහා පුහුණු වීම් කාල සිමාව තුළ දී මසකට රුපියල් 20,000 ක පමණ ගෙවීමට ද කටයුතු කරන බවත් තොරතුරු සහ ජනමාධ්‍ය, උසස් අධ්‍යාපන, තාක්ෂණ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී.

ඒ මහතා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී අද (24) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දීය.

ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට හා සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවට සංශෝධනයක් ඉදිරිපත් කළ බවත්, එහි අරමුණ වූයේ ඔවුන් යටතේ සිටින සේවකයින්ට සිංහල/දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට මුදල් ලබා දීමට බවත් එහි දී අමාත්‍යවරයා කියා සිටියේය.

අතුරු සම්මත ගිණුමට කරන ලද සංශෝධන සම්මත කිරීමට ඉඩ නොදීමෙන් සිය පාර්ෂිකයන්ගෙන්ම එල්ල වන චෝදනා  මගහැරීමට රජය පසුගිය මාස තුනේදි රුපියල් බිලියන 600ක් විනාශ කර ඇති බවට විපක්ෂ නායකවරයා කරන චෝදනාව හැකි නම් ඔප්පු කරන ලෙස  අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විපක්ෂ නායකවරයාට අභියෝග කර සිටි.

අමාත්‍ය මණ්ඩලය අඩු කිරීම, අමාත්‍ය කාර්ය මණ්ඩලය අඩු කිරීම, ජනාධිපති හා අගමැති ආරක්ෂක නිලධාරීන් අඩු කිරීම, උත්සව සංදර්ශන නැවැත්වීම සහ අනවශ්‍ය ප්‍රචාරණ වියදම් කපා හැරීම, විදේස් සංචාර සීමා කිරීම, රාජ්‍ය නිලධාරින්ගේ බඳවා ගැනීම, උසස් කිරීම් නතර කිරීම යනාදී සිදු කර තිබියදී බිලියන ගණන් මුදල් වියදම් කළ බවට කුමන ආකාරයෙන් චෝදනා එල්ල කරන්නේද යන්න ගැටලු සහගත බව අමාත්‍යරවයා ප්‍රශ්න කර සිටියේය.

එසේම පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනා දෙකෙන් සංවර්ධන යොජනාවට එකඟ වූ බවත් ණය යෝජනාව පමණක් විරුද්ධ වූ බවට විපක්ෂ නායකවරයා ඉදිරිපත් කරන චෝදනාව අතිශය සාවද්‍යයි.  

එදින පාර්ලිමේන්තුවට යෝජනා දෙකක ඉදිරිපත් නොකළ අතර එදින අතුරු සම්මත ගිණුමට යෝජනා දෙකක් ඉදිරිපත් කළ බවත් මෙම අතුරු සම්මත ගිණුමෙන් යෝජනා කරනු ලැබුවේ 2019 වර්ෂය සඳහා මුදල් යෝජනා අනුමත කර ගැනීම බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

නව රජය බලයට පත්වීමෙන් පසු 2020 වර්ෂය සඳහා කරනු ලබන වියදම් සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමේ වගකීම මුදල් අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍යවරයා සම්පූර්ණයෙන් බාර ගෙන ඇත.
ඒ අනුව එම ගෙවීම් සඳහා ණය සීමාව වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට කටයුතු කළේ 2019 වර්ෂයේදී ලබා දෙන ලද කොන්ත්‍රාත් සහ සැපයුම්කරුවන් පත්ව සිටින දැඩි අපහසුතාවයන් සඳහා සහන සැලසීමට බව ද ඒ මහතා පැවසීය.  

මෙම මුදල් නොලැබීමෙන් සැපයුම්කරුවන් ණයවරය විවෘත කිරීමෙන් පසු එම ණයවර ගෙවීමෙන් පසු නැවත ණයවර විවෘත කිරීමක් සිදු වන බැවින් මෙම තත්ත්වය තුළ ණයවර විවෘත කළ සැපයුම්කරුවන්ට එම ණයවර ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. මෙම වසරේ අප්‍රේල් 30 වැනිදා දක්වා අතුරු සම්මත ගිණුමෙන් රජයේ වියදම් සඳහා මුදල් වෙන් කර තිබෙන අතර මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ විට රජයේ කටයුතු කරගෙන යාම වෙනුවෙන් මාස 3ක් සඳහා ජනාධිපතිවරයාට මුදල් වෙන් කර ගැනීමට හැකි වන බැවින් අතුරු සම්මත ගිණුමේ කාලය අවසන් වුවද මැතිවරණ කාලය තුළ ජනාධිපතිවරයාට

පැවරෙන බලතල අනුව නව අයවැයක් ඉදිරිපත් වන තෙක් රාජ්‍ය මූල්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහා බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 144 වැනි වගන්තිය  තුළින් හිමි වන බව ද ඒ මහතා සඳහන් කළේය. 

ප්‍රායෝගික යථාර්ථය දකින ලෙසත් වැරදීමකින් වුවද එය නිවැරදි කර ගැනීමට කතානායකතුමා සමඟ කතා කර පාර්ලිමේන්තුමේ අතුරු සම්මත ගිණුමේ යෝජනා සම්මත කරදීමට කටයුතු කිරීමට කාලය තිබෙන බවත් එසේ සිදු කළ විගස කොන්ත්‍රාත්කරුවන් සඳහා ප්‍රමාදයකින් තොරව ගෙවීම් සිදු කිරීමට හැකි බවත් අමාත්‍යරවයා පැවසීය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෙට දිනයේ තමා කතානායකවරයා හමුවීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අධික එළවළු මිල පාලනය කොට ගොවියා රැකෙන සහ පාරිභෝගිකයාට සහන සලසන වැඩපිළිවෙළක් වහාම සකසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

අධික එළවළු මිල ජීවන වියදම ඉහළ යාමට දැඩිව බලපා තිබේ. එය පාලනය කිරීමට කඩිනම් මැදිහත්වීමක් කළ යුතුව ඇතැයි ජනාධිපතිතුමා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට සහ වෙළෙඳ අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී කියා සිටියේය.

එළවළු වගා කරන ප්‍රදේශවල සිට දඹුල්ලට එළවලු ගෙන එනු ලැබේ. ඉන් පසු දඹුල්ලේ සිට නැවත මුල් ප්‍රදේශවලටම එළවළු බෙදා හැරේ. ප්‍රවාහනයේ දී සිදුවන නාස්තිය නිසා අස්වැන්න විශාල ප්‍රමාණයක් අපතේ යයි. මෙය කිසිසේත්ම නිවැරදි ක්‍රියාදාමයක් නොවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. වතු සමාගම්වලට අයත් රජයේ ඉඩම්වල පොල් වගාවට සීමා නොවී එළවළු වගාවට ඇති හැකියාව සොයා බැලීමට ද අවධානය යොමු විය.

ආර්ථික මධ්‍යස්ථාන ඇති කළේ පාරිභෝගික ජනතාවට සහ සුළු වෙළෙඳුන්ට සහන සැලසීමට වුවද ඒවා මහා පරිමාණ වෙළෙඳුන් යටතට පත්වීමෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වය ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ද අවධානයට යොමු විය. යුද හමුදාවේ ද සහය ඇතිව එම කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වෙයි. ප්‍රදේශ කිහිපයක වී ගබඩා අළුත්වැඩියා කර තිබේ. සෙසු වී ගබඩා ද කඩිනමින් පිළිසකර කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

මොරගහකන්ද - කළුගග ව්‍යාපෘතියේ පදිංචිකරුවන්ගේ ගැටලු පිළිබදව ද සාකච්ඡා කෙරිණි. ඒවාට දිය හැකි කඩිනම් විසඳුම් සහ කොන්ත්‍රාත් සමාගම් වෙත කළයුතු ගෙවීම් නිසි අයුරින් නොකිරීම නිසා මතුව ඇති ගැටලු ද සාකච්ඡා කරනු ලැබීය.

උමා ඔය වැනි ව්‍යාපෘති ආරක්ෂා කිරීමට ඒ ආශ්‍රිතව රක්ෂිත ඇති කිරීම කෙරෙහි ද අවධානය යොමු විය. මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ. රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter