නවතම පුවත්

ස්ථිර නිවාස නැති දහස් ගණනක් පුරවැසියන්ට ජාති බේදයෙන් හෝ පක්ෂ බේදයෙන් තොරව උපන් බිමෙහි සැබෑ අයිතිය ලබා දීම රජයේ යුතුකම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

“ ඔබට ගෙයක් - රටට හෙටක් “ නිවාස ව්‍යාපෘතිය එම ජාතික යුතුකම ඉටුකිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළක් බව ප්‍රකාශ කළ අගමැතිවරයා, රටේ පොල් අතු සෙවිලි කළ සෑම ගෙයක් ම උළු ගෙයක් බවට පත් කිරීමට කටයුතු කරන බව ද පැවසීය.

“ඔබට ගෙයක් - රටට හෙටක්“ ජාතික නිවාස සංවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල, ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වරාවැව දීය.

එහිදී රාජපක්ෂ මහතා අවධාරණය කළේ ත්‍රස්තවාදය නිසා වසර තිහක් අනාථ කූඩාරම්වල හිටපු ලක්ෂ ගණනක් දෙමළ, මුස්ලිම් ජනතාව නැවත පදිංචි කරවීමේ ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ රජයට මේ ව්‍යාපෘතිය අමාරු දෙයක් නොවන බවයි.

රට පුරා ග්‍රාම සේවා වසම් 14000 ක නිවාස 14000 ක් ඉදිකිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන “ඔබට ගෙයක් - රටට හෙටක්“ වැඩසටහන පෙරේදා (01) වරාවැව දී ආරම්භ විය.

මේ වැඩසටහන යටතේ ඉදිවන පළමු නිවස ලෙස වරාවැව ග්‍රාමයේ කේ.කේ. අජිත් නිශ්ශංක මහතාගේ නිවසේ වැඩ ආරම්භ කිරීම අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් මෙහිදී සිදු කෙරිණි.

එක් නිවසක් ඉදකිරීමට වැය කිරීමට අපේක්ෂිත රුපියල් ලක්ෂ 06 ක මුදලෙන් නිවාසයේ මූලික වැඩකටයුතු නිමකිරීම සඳහා රුපියල් ලක්ෂයක අත්තිකාරම් මුදලක් නිවාස ප්‍රතිලාභීන් වෙත ලබාදීම ද මෙහිදී අගමැතිවරයා අතින් සිදු කෙරිණි.

මාවතගම ඩොනාව වත්තේ අක්කර 22ක භූමියක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත ලබාදීමේ ඔප්පුව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ප්‍රදානය කිරීම ද මෙහිදි සිදු විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

ඔබට ගෙයක් - රටට හෙටක් වැඩසටහනට ආරම්භ කිරීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. මේ මොහොතේ මේ මුළු රටේම සෑම මැතිවරණ කොට්ඨාසයකම මේ වැඩ කටයුත්ත ආරම්භ වෙනවා. ඇත්ත වශයෙන්ම මේක මුල් ගල් තැබීමක් නොවෙයි ආරම්භ කිරීමක් ලෙස කියන්න කැමැතියි. මේ රටේ සෑම පොල් අතු සෙවිලි කළ ගෙයක්ම උළු වහලක් තියෙන ගෙයක් බවට පත් විය යුතුයි. සියලුම පොල් අතු ගෙවල් උළු ගෙවල් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය ඉන්දික ඇමතිතුමාට භාර දෙනවා. අවුරුදු 5 ක් බලාගෙන ඉන්න බැහැ. අපේ බලාපොරොත්තුව 14000 කට අධික ග‍්‍රාම සේවා වසම්වල ගෙවල් හදන්නයි. එතකොට අඩුම ගානේ ගෙවල් 14000 කට අධික සංඛ්‍යාවක් ඉතා කෙටි කාලයකින් මේ රටේ හැදෙනවා.

අපගේ මේ උත්සාහය නිසි නිවාස නැති දහස් ගණනක් පුරවැසියන්ට උපන් බිමෙහි සැබෑ අයිතිය ලබා දීමටයි. ‍මේ ව්‍යාපෘතියට සිංහල, දෙමළ, මුස්ලිම් කියලා භේදයක් නෑ. පොහොට්ටු, යූඑන්පී, ශ්‍රී ලංකා කියලා භේදයක් නෑ. කවුරු වුණත් පොල් අතු පැලක ඉන්නවා නම් ඔවුන් ව අපි උළු සෙවිලි කළ වහලක් යටට ගෙන ආ යුතුයි.

ත්‍රස්තවාදය නිසා වසර තිහක් අනාථ කූඩාරම්වල හිටපු ලක්ෂ ගණනක් දෙමළ, මුස්ලිම් ජනතාව ගෙවල්වලට යැව්වේ අපියි. ඒක තමයි ශ්‍රී ලංකා ඉතිහාසයේ කළ දැවැන්තම නිවාස ව්‍යාපෘතිය වන්නේ. නැවත පදිංචි කිරීම වැනි දෙයක් කළ අපිට මේ ව්‍යාපෘතිය ඒ තරම් අමාරු දෙයක් නොවේ. මතක තියාගන්න නිවසක් නැති කෙනෙක් උපන් බිමෙහි බෝඩිංකාරයෙක් වගේ. අපි ඒ යුගය ඉදිරි අවුරුදු 4 තුළ නිමා කරන්න ඕනේ.

අපි මේ වැඩසටහන කරන්නේ ප‍්‍රතිපත්තියක් ඇතිවයි. ඉදිරි දැක්මක් ඇතිවයි. මේක අපේ දේශපාලනයට ඕනේ නිසා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් නෙවෙයි. මේ ව්‍යාපෘතිය රටේ ජනතාවට ඕනෑ නිසා කි‍්‍රයාත්මක කරන ව්‍යෘපෘතියක් බව කියන්න ඕනේ. ඒ නිසා අද තියන මුල්ගල් එකක්වත් පැළ වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම මේ මුල්ගල් තියන බව රට පුරා දැන්වීම ගහලා ප‍්‍රචාරය කරන්නෙත් නැහැ.

ඉතිහාසයේ අපි දැකලා තියෙන්නේ නිවාස හදනවට වඩා දැන්වීම්වලට වියදම් කිරීමයි. නිවාසයක් හදනවාට වැඩිය වියදම් කරලා ඔවුන්ගේ පුතිරූප නංවා ගන්න තමයි කටයුතු කරලා තියෙන්නේ. හම්බන්තොට නිවසක් හදන විට යාපනයෙත් පොස්ටර් වැදෙනවා. යාපනයේ ගෙයක් හදන විට හම්බන්තොටත් පොස්ටර් වැදෙනවා. නිවාස සඳහා එතරම් මුදලක් වියදම් කරලා තිබුණේ නැහැ.

ඒ මුදල් ටික නිවාස හදන්න දුන්නා නම් මේ රටේ නිවාස ප්‍රශ්නය මේ වන විට විසඳිලා. මතක තියාගන්න නිවාස හදනවාට වඩා නිවාස හදන බව රටට කියන්න වියදම් කළ ආණ්ඩු පහුගිය කාලයේ තිබුණා. පහුගිය ආණ්ඩුවේ නිවාස ව්‍යෘපෘතිවල ප‍්‍රචාරණ වියදම රුපියල් මිලියන 1500යි. ඒ මිලියන 1500න් නිවාස දහස් ගාණක් මේ රටේ හදන්න තිබුණා.

මේ රටේ ජනතාවට ආණ්ඩුවේ නිවාස ව්‍යාපෘති ගැන හොඳ අත්දැකීම් තිබෙනවා. මටත් හොඳ අත්දැකීමක් තිබෙනවා. 1980 දශකයේ මම ෂැඩෝ මිනිස්ටර් හැටියට විපක්ෂයේ ඉඳගෙන නිවාස ව්‍යාපෘති ගැන බොහෝ වාරවල පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා. මට මතකයි ඒ දවස්වල ජයවර්ධනපුර අවට වගුරුබිම් ගොඩකර ගෙවල් හදනකොට මං පාර්ලිමේන්තුවේ දී කිව්වා, මේ විධියට ගෙවල් හැදුවොත් කවදා හරි පාර්ලිමේන්තුවත් යටවෙයි කියලා. අද ඒ කීම ඇත්ත වෙලා තියෙනවා.

ඒ නිසා අපි ගෙවල් හදන්නේ මේ රට ගැන හිතලා. අපි ඔබට ගෙයක් රටට හෙටක් ව්‍යපෘතිය කි‍්‍රයාත්මක කරන්නේ ජනතා හිතවාදී ව්‍යාපෘතියක් විදියටයි.

අපි මේ හදන නිවාස විසිරි නිවාස ලෙසයි නිර්මාණය වෙන්නේ. නිවාස දහයක් පහළොවක් හදලා නම ගහගන්න විදියේ නිවාස ව්‍යාපෘති අපි කි‍්‍රයාත්මක කරන්නේ නැහැ. මේ ගෙවල් ආණ්ඩුවෙන් දීපු ගෙවල් කියලා පෙන්වන්න අපිට ඕනකමක් නෑ. අපිට ඕන තමුන්නාන්සේලාගේ උත්සහයත් ඇතුව මේ මගේ නිවස පවුලේ අය වෙනුවෙන් නිවසක් හදන්න ඕන කියන අදහස ඇතුව මේ සඳහා සම්බන්ධවීමයි.

වුහාන් නගරයේ කොටු වී සිටි ශී‍්‍ර ලාංකික සිසුන් දිවයිනට ගෙන්වා ගැනීමට පූර්ණ සහාය පළ කළ චීන රජයට ස්තූතිය පුද කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

එමෙන් ම අවදානමක් ගනිමින් මෙම සිසුන් පිරිස දිවයිනට රැගෙන ඒමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයටත් ජනාධිපතිවරයා ස්තූතිය පළ කැර ඇත. මෙලෙස රැගෙන ආ ශ්‍රී ලාංකික සිසුන් සඳහා පැය 72 ක් තුළ දියතලාවේ දී නේවාසික පහසුකම් සැපයූ යුද හමුදාවට මෙන්ම එම කටයුතු සම්බන්ධීකරණය කළ ඇමැතිවරුන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්ටත් සිය ප්‍රණාමය පුද කරන බව ද ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සඳහන් කැර ඇත.

ජපාන දුත පිරිසක් උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය දා හමුවිය.

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ දී මෙම හමුව පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් චුලානන්ද පෙරේරා හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව යන මහත්වරුන් ද සහභාගී වුහ.

(ඡායාරූප - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති Hartwig Schafer මහතා සහ එහි ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා Idah Z.Pswarayi-Riddihough මහත්මිය හමුවක් ඊයේ (31) පැවැත්විණි.

එම අවස්ථාවේ දී ලෝක බැංකු ආධාර යටතේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති 18ට අමතරව පුනර්ජනනීය බලශක්තිය, කසළ බැහැර කිරීම, දියබස්නා කළමනාකරණය, අපනයන භෝග වගාව, මාර්ග තදබදය ලිහිල් කිරීම සහ පදික සහ මහාමාර්ග ආරක්ෂාව යන නව ආයෝජන සහයෝගීතා ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව සාකච්ඡා කර එකඟතාවයකට එළඹෙන ලදී.

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සුව කිරීමට සමත් බටහිර හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කැඳවා තොරතුරු ලබා ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය, විදේශ සබඳතා සංචාරක සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සහ නිලධාරින් සමග (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙසේ උපදෙස් දෙනු ලැබීය. කොරෝනා වෛරසය ශරීරගත වූ පළමු රෝගියා මේ වන විට ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වෙයි. වෛරසය පැතිරයාම වළක්වා ගැනීමට වෛද්‍යවරුන්ට හැකිවී තිබේ. පූර්ණ කැපවීමෙන් ඊට සහාය වූ සියලු ක්ෂේත්‍රවල පිරිස් වෙත ජනාධිපතිතුමාගේ ප්‍රසාදය පළ කෙරිණ. ජනතාව ආරක්ෂා කර ගැනීමට එම ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලෙස ද එතුමා උපදෙස් දුන්නේය.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීමටත්, චීනයේ සිටි සිසුන් මෙරටට රැගෙන ඒමටත් විශේෂඥ කමිටුව ගත් ක්‍රියාමාර්ග ජනාධිපතිතුමාගේ විමසුමට ලක් විය. වුහාන් නගරයේ සිට සිය රට පැමිණෙන සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් උපරිමයෙන් ලබාදී ඔවුන් රැකබලා ගන්නැයි උපදෙස් දුන් ජනාධිපතිතුමා සංචාරක කර්මාන්තය ආරක්ෂා කරමින් වත්මන් තත්ත්වයට මුහුණදීමට ගත යුතු පියවර ගැන අවධානය යොමු කළේය.

රෝග පරීක්ෂණය සඳහා සහ රෝහල්වල පහසුකම් හැකි උපරිමයෙන් පුළුල් කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, අරුන්දික ප්‍රනාන්දු යන ඇමතිවරු සහ පවිත්‍රා වන්නිආරච්චි ඇමතිණිය ප්‍රමුඛ නිලධාරිහු සහභාගී වූහ

72 වන නිදහස් සමරු උළෙල ‘සුරක්ෂිත දේශයක් - සෞභාග්‍යමත් රටක්‘ යන තේමාව යටතේ අතිඋත්කර්ෂවත් අන්දමින් නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙන බවත් මෙහි සංවිධාන කටයුතු වෙනුවෙන් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කර ඇති බවත් නිදහස් සමරු උළෙල පිළිබඳ දැනුවත් කිරීමට අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසුවේය.  

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා නිදහස් උළෙලේ සංවිධානාත්මක කටයුතු ගැන කළ පැහැදිලි කිරීම මෙසේය.

එළඹෙන පෙබරවාරි 2 වැනිදා 3 වැනිදා සවස් වනතෙක් නිදහස් මන්දිරයේදී පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වෙන අතර ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් හා විශේෂ ආරාධිත අමුත්තන් මීට සහභාගීවීමට නියමිතය. පෙබරවාරි 3 වැනිදා හීල් දානය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් පෙ.ව. 7. 00 ට කොළඹ, අතුරුදස්සන බෞද්ධ මධ්‍යස්ථානයේදී පිළිගැන්වීමට නියමිතව තිබේ.

නිදහස් සැමරුමට සමගාමීව පෙබරවාරි 4 වැනිදා ආගමික වතාවත් සිදුකෙරෙන්නේ මෙලෙසිනි.

බෞද්ධ ආගමික වතාවත් බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාගේ සම්බන්ධීකරණයෙන් පෙ.ව. 6. 30ට කොල්ලුපිටිය, ධර්මකීත්‍යාරාම විභාරස්ථානයේදී ද හින්දු ආගමික වතාවත් කොළඹ 06, හින්දු ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් මයුරාපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේදී පෙ.ව. 6.30ට පැවැත්වීමට නියමිතය. කතෝලික ආගමික වතාවත් ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් පෙ.ව. 6.15ට බම්බලපිටිය, ශාන්ත මරියා දේවස්ථානයේදී පැවැත්වෙනු ඇත.

ක්‍රිස්තියානි ආගමික වතාවත් පෙ.ව. 6.15ට බගතලේ පාර, බැප්ටිස්ට් දේවස්ථානයේදී ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් සිදුකිරීමට නියමිතය. ඉස්ලාම් ආගමික වතාවත් මුස්ලිම් ආගමික දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 6.25ට කොල්ලුපිටිය ජුම්මා මස්ජිදයේද පැවැත්වීමට නියමිතය.

ආරාධිතයින් 2500 ක පමණ ද මහජනතාව 1000 ක පමණ පිරිසක් මීට දායකවනු ඇති බවත් ඔවුන්ට අදාළ පහසුකම් සපයාදීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසුවේය.

ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලියට ශ්‍රී ලංකා යුද හමුදාවෙන් 4325 දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් 868 දෙනෙකු, ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් 815 දෙනෙකු, ශ්‍රී ලංකා පොලීසියෙන් 1382 දෙනෙකු, සිවිල් ආරක්ෂක බලකායෙන් 515 දෙනෙකු සහභාගී වේ. ජාතික ශිෂ්‍යභට බලකායෙන් 355 දෙනෙකු සහභාගී වීමට නියමිතය. පාසල් සිසුන්ගේ දායකත්වයෙන් ජාතික ගීය ගායනා කෙරෙනු ඇත.

සංස්කෘතික පෙරහැරට ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික තරුණ සේවා සභාව, පළාත් සභා හා සංස්කෘතික මධ්‍යස්ථාන නියෝජනය කරමින් නර්තන හා වාදන ශිල්පීන් රැසක් ද සහභාගීවීමට නියමිතය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එහි සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ඇත.

හෙට (31) ‍ පෙබරවාරි 1, 2, 3 යන දිනවලදී ද නිදහස් උළෙලේ පෙරහුරු පැවැත්වීමට නියමිතය. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක ගුණ සමරුව සුපුරුදු පරිදි නිදහස් දින චතුරස්‍රයේදී පෙබරවාරි 4 වැනිදා උදෑසන 8.08 ට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු  ඇත.

පෙබරවාරි 1 – 7 වැනිදා දක්වා සතියක කාලසීමාවක් නිදහස් සමරුවට සමගාමී වැඩසටහන් පැවැත්වෙනු ඇත. රජයේ ගොඩනැගිලි වල ජාතික කොඩිය එසවීම හා පෙබරවාරි 3 හා 4 දිනවල විදුලි ආලෝක අලංකරණය සම්බන්ධයෙන් සියලු රජයේ ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට විශේෂ චක්‍රලේඛයක් ද නිකුත් කර තිබේ.

නිදහස් සැමරුමට ග්‍රාම නිළධාරීන්ද සම්බන්ධ කරගෙන සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණ වන පරිදි නිදහස් දිනයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක්ද දියත් වනු ඇත. ජාතික කොඩිය ප්‍රදර්ශනය කරමින් නිදහස් සැමරුමට පෙළගැසෙන ලෙස ලක්වාසී සියලු ජනතාවට ආරාධනා කර සිටින බව ද අමාත්‍යවරයා පැවසුවේය.

ජනමාධ්‍යවේදීන් සඳහා ලබාදෙන ‘මාධ්‍ය අරුණ’ ණය යෝජනා ක්‍රමය සඳහා බැංකු මගින් මුදල් මුදාහරින ක්‍රමවේදය සරළ කිරීම ගැන මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව ජනමාධ්‍යවේදීන්ට ලබාදිය හැකි බවත් තමන් බැංකු සමග ද සාකච්ඡා කර එම ණය යෝජනා ක්‍රමය සරළ කරන බවත් උසස් අධ්‍යාපන තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවේදී පැවසුවේය.

‘මාධ්‍ය අරුණ’ ණය යෝජනා ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීහු මෙහිදී සිය කෘතඥතාව පළකළහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පත්වීමෙන් පසුව ද මූල්‍ය බලය තිබෙන පාර්ලිමේන්තුව මුදල් වැය කරන්නේ අතුරු සම්මත ගිණුමෙන් බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. අතුරු සම්මත ගිණුමෙන් වෙන්කර තිබෙන මුදල හැර අතිරේක මුදලක් වියදම් කිරීමේ නීත්‍යනුකූල අයිතියක් භාණ්ඩාගාරයට නැති බව එතුමා මෙහිදී පැවසුවේය. අතුරු සම්මත ගිණුමෙන් ණය ලබාගැනීමේ උපරිම සීමාවක් නියම කර තිබෙන පසුබිමක අද වනවිට ණය ලබාගැනීමට හැකි වාතාවරණයක් නොතිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය..

කිසිදු භේදයකින් තොරව රැකියා විරහිත සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදීමට ජනාධිපතිතුමා විශේෂ වැඩපිළිවෙලක් දියත් කළ බවත් ඉන්පසු බිහිවන උපාධිධාරීන්ට රැකියා ඉලක්ක කරගත් පාඨමාලා දියුණු කිරීමේ සූදානමක් පවතින බව ද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කර සිටියේය.

නාරාහේන්පිට මුද්දර සුරක්ෂිතාගාරයේ නිරීක්ෂණය කිරීමට ඊයේ (29) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහභාගී විය.

මෙයට තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර හා තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරුන්ද සහභාගි විය.

වත්මන් ආණ්ඩුව ලබා­දුන් වැට් බදු සහ­නය පාරිභෝ­ගික භාණ්ඩ 5555 කට මේ වන විට හිමිව ඇත.

මෙරට පිහිටා ඇති ආය­තන 50 ක් ඔවුන් ලබා­දෙන සහන පිළි­බ­ඳව පාරි­භෝ­ගික අධි­කා­රි­යට දන්වා ඇති බවත් යම්හෙ­යකින් කවු­රුන් හෝ එම සහන ලබා­දී­මට කට­යුතු නොක­රන්නේ නම් ඒ පිළි­බ­ඳව සොයා බලා නීති­මය ක්‍රියා­මාර්ග ගැනී­මට කට­යුතු කර­න්නැයි තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේ­ව්ර්ධන මහතා අදාළ බල­ධා­රී­න්ගෙන් ඉල්ලා සිටි­යේය.

සාගර විශ්ව­වි­ද්‍යාල නවී­ක­ර­ණය කැර සංව­ර්ධ­නය කිරීම සඳහා කොරි­යානු ජාත්‍යා­න්තර සහ­යෝ­ගිතා ආය­ත­නය ආධාර ලබා­දී­මට එක­ඟවී තිබේ.

සාගර විශ්ව­වි­ද්‍යාල නවී­ක­ර­ණය කැර සංව­ර්ධ­නය කිරීම සඳහා කොයිකා ආය­ත­න­යෙන් ආධාර ලබා දීම පිළි­බඳ සාක­ච්ඡා­වක් පසු­ගිය (27) උසස් අධ්‍යා­පන තාක්ෂණ, නවෝ­ත්පා­දන හා තොර­තුරු සහ ජන­මාධ්‍ය අැමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මැති­තු­මාගේ ප්‍රධා­න­ත්ව­යෙන් එම අමා­ත්‍යාං­ශ­යේදී පැවැ­ත්විණි.

එහිදී මෙම එක­ඟ­තා­වය ඇති වී තිබේ. කොයිකා හෙවත් කොරි­යානු ජාත්‍යා­න්තර සහ­යෝ­ගිතා ආය­ත­නය මගින් මෙරට සංව­ර්ධන ව්‍යාපෘති වෙනු­වෙන් මීට පෙරද ආධාර ලබා දී තිබේ. මේ අව­ස්ථා­වට පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා, උසස් අධ්‍යා­පන තාක්ෂණ හා නවෝ­ත්පා­දන අමා­ත්‍යාං­ශයේ ලේකම් ඩී.එම්.ඒ.ආර්.බී.දිසා­නා­යක මහතා, KOICA ආය­ත­නයේ නියෝ­ජි­ත­යින් සහ සාගර විශ්ව­වි­ද්‍යා­ලයේ නියෝ­ජි­ත­යින් පිරි­සක් සහ­භාගී වූහ.

මෙරට ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා ඇතුඵ දුත පිරිසක් ඊයේ (28) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුහ.
 
කොළඹ නගරයේ රථවාහන තදබදයට පිළියම් වශයෙන් පිටකොටුවේ ඉදිකිරීමට යෝජිත බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරිණි. අදාල ව්‍යාපෘතියේ වැදගත්කම පැහැදිලි කළ මහින්ද රාජපක්ෂ මහතා මගීන්ගේ පහසුව උදෙසා අවට අවකාශය උපරිම ලෙස භාවිත කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. 
 
ප්‍රංශ රජයේ අරමුදල් සැපයෙන මෙම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය සක්‍යතා අධ්‍යයනය ලබන මාසයේ අවසන් කිරීමට නියමිතය. 
 
කොටුව පිටකොටුව ප්‍රදේශය සදහා ඒකාබද්ධ ප්‍රවාහන හා නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් වන මෙහි අරමුණ වන්නේ ආයෝජකයන් කෙරෙහි නගරයේ ආකර්ෂණය වැඩි කර කොළඹ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්කරමින් තරගකාරි වෙළෙඳපොලක් ඇති කිරීමයි.

‍කොරෝනා වෛරසය පැතිරවීම වැළැක්වීම සඳහා රජය විසින් රට තුළට පැමිණෙන සියලු විදේශිකයින් පරීක්ෂාව‍ට ලක් කිරීමට කටයුතු ගෙන ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය.

කොරෝනා වයිරසය පැතිරවීම වැළැක්වීමට හා ඒ සම්බන්ධ පියවර ගැනීම සඳහා ජනාධිපතිතුමන් විසින් අමාත්‍යංශය සහ සෞඛ්‍ය සේවා දෙපාර්තුමේන්තු නිලධාරීන් 15 දෙනෙකුගෙන් යුතු විශේෂඥ කණ්ඩායමක් පත්කර ඇති බව අමාත්‍යතුමිය තවදුරටත් පෙන්වා දුන්නාය.  

චීනයේ වුහාන් ප්‍රාන්ත්යෙන් ලංකාවට පැමිණෙන සියලුම සිසුන් දියතලාව හමුදා කඳවුරේ ඇති වෙන් වෙන්වූ කාමර වෙත පළමුවෙන්ම යොමු කර නිරෝධායන කටයුතු සඳහා රඳවා තැබීම සිදුකරන බව ද අමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.

රට තුළට ඇතුල් වන චීන ජාතිකයන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් ගුවන් තොටු‍පලට ඇතුල්වී‍ම සඳහා වෙනම ස්ථානයක් වෙන් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේය. තවද මෙරටට පැමිණෙන සියලුම චීන ජාතිකයන් නවාතැන් ගන්නා ස්ථානය සඳහන් කරමින් විශේෂ ප්‍රකාශන සටහනක් ලබා ගන්නා බවත් ඒ අනුව ඔවුන්ගේ නවාතැනට වෙත මහජන සෞඛ්‍ය නිලධාරීන් ගොස් නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අංගොඩ අයි ඩී එච් රෝහලට අමතරව ‍සැකකටයුතු රෝගීන් පරීක්ෂා කිරීමට දිවයිනේ ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් පළාත් සහ ශික්ෂණ රෝහල් කිහිපයක් යොදවා ඇති බවද වෛද්‍යවරයා ‍ සඳහන් කළේය.    

කොරෝනා වෛරසය හා ඒ සම්බන්ධව මහජනතාවට ගැටළුවක් හෝ දැනුවත් කිරීමක් ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දැනුම් දීම සඳහා 0710107107 හෝ 011307 1073  දුරකතන අංක ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

එමෙන්ම, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ ආරක්ෂිත උපකරණ ලබා දී තිබෙන බවත් මෙම වෛරසය මැඩපැවැත්වීම සඳහා ‍වෛද්‍ය පරීක්ෂණ ආයතනය පරීක්ෂණ කරමින් සිටින බවත් ඔහු අවධාරණය කළේය. 

මෙම මාධ්‍ය හමුව සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කොරෝනා වෛරසය වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයන් ද එක් විය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter