විභාගය සමත් ජීවිතය අසමත් තරුණ තරුණියන්ට විශ්වවිද්‍යාල උපාධියක් ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකසා දීම වර්තමාන ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ, 04වැනි දින ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ද සමඟ නුවරඑළිය සඳතැන්නේ පිහිටි ශ්‍රී ලංකා වන විද්‍යායතනයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමිනි.
මේ වර්ෂයේ උසස් පෙළ සමත් අයට මේ වර්ෂය තුළ ම ප්‍රවේශය අනිවාර්යයෙන් ම ලබා දෙනවා. වර්ෂයක් තුළ උසස් පෙළ විභාගය ලියන දරුවන්ට ඒ වර්ෂය තුළ ම සරසවි වරම් ලබාදීමට අපි කැපවෙලා ඉන්නවා. ඒවගේ ම ඇතැම් විශ්වවිද්‍යාලවල සමහර පාඨමාලාවලට ඉසෙඩ් ලකුණුවලට අමතර ව පවත්වන වෙනත් ප්‍රායෝගික සහ ලිඛිත පරීක්ෂණ අපි ඉවත් කරලා තියෙන්නේ. ලෝකයේ අනෙක් රටවල්වල තමන් අධ්‍යාපනය ලබන අංශයෙන් පරිබාහිර ව වෙනත් අංශයකින් උපාධියක් ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා. නමුත් අවාසනාවකට තවමත් අපේ රටේ එහෙම නැහැ. ඒ විතරක් නොවෙයි ඇති හැකි අයගේ දරුවන් කෙසේ හෝ අවුරුදු 20වන විට තමන්ගේ උපාධිය සම්පූර්ණ කර ගන්නවා. නමුත් ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත්වෙලා උපාධිය සම්පූර්ණ කරනකොට අවුරුදු 25ක් විතර වෙනවා. ඒ නිසා සැකසිය යුතු තැන් වහාම සකසන්නට අපි කටයුතු කරනවා.
විභාගය සමත් ජීවිතය අසමත් තරුණ තරුණියන්ට විශ්වවිද්‍යාල උපාධියක් ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකසා දීම වර්තමාන ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අපේක්ෂා කරනවා. එතුමාගේ ඒ අභිලාෂය ඉටු කිරීම සඳහා අවශ්‍ය විශ්වවිද්‍යාල, වරලත් විශ්වවිද්‍යාල මෙන් ම විශ්වවිද්‍යාල විද්‍යායතන ඉදිකිරීමේ කාර්යය අපි ආරම්භ කරලා තිබෙනවා.
තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
විශ්වවිද්‍යාල විද්‍යායතන‘වරලත් විශ්වවිද්‍යාලයක්’ බවට පත්කිරීම සඳහා අවශ්‍ය සම්පත් තිබෙනවා. එහිදී කිසි ම අවස්ථාවක මෙම ආයතන උසස් අධ්‍යාපන අමාත්‍යංශයට පවරා ගැනීමක් සිදු කෙරෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය මේ කටයුත්ත සඳහා අවශ්‍ය පහසුකම් සපයනවා. ඊට අවශ්‍ය උපදෙස්, මඟ පෙන්වීම සහ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබනවා. අදාළ නියාමන කාර්යයන් සහ සම්බන්ධීකරණයන් ද සිදු කිරීමට අපේක්ෂා කරනවා. පාඨමාලා සඳහා අනුමැතිය ලබාදීම, දේශීය විදේශීය අරමුදල් සපයා දීම, සේවකයන්, කථිකාචාර්යවරුන්, මහාචාර්යවරු ඉන්න විදේශ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉගෙන ගන්න වරලත් විශ්වවිද්‍යාලයක් බවට මෙය පත් කරන්නට සහයෝගය ලබා දෙනවා.
කෙටි කාලීනව තිබෙන භෞතික මෙන් ම මානව හා බුද්ධිමය සම්පත උපයෝගී කරගෙන මෙම වසරේ උසස් පෙළ සමත් 181000ක පමණ සිසුන් අතරිනි සිසුන් කීදෙනෙකුට අධ්‍යයන අවස්ථා ලබා දිය හැකි ද කියලා සොයා බලනවා. විශ්වවිද්‍යාල වරම් නොලබන දරු දැරියන්ට ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසනවා.
චීනයේ වගේ රටවල විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සංවර්ධනය වුණු නගර තිබෙනවා. ඒ නගර ඒ ඒ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට එක් කරන නගර. එවැනි විශ්වවිද්‍යාලයක් මෙහි බිහි කරන්නට පුළුවන්. විශේෂයෙන් ම ජෛව විද්‍යා තාක්ෂණය හැදෑරූ සිසුන්ට ඒ අවස්ථාව ලබා දෙන්නට පුළුවන් වේවි. පරිසර අධ්‍යයනය, වනවගා ආදී ගැලපෙන පාඨමාලා හදලා සුදුසුකම් සහිත ආචාර්යවරු ලබා දීමෙන් මේ කටයුත්ත මේ ආයතනය ආශ්‍රිත ව සිදු කරන්නට පුලුවන්.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක, වන සංරක්ෂක ජෙනරාල් ඩබ්.ඒ.සී වේරගොඩ, ශ්‍රී ලංකා වන විද්‍යායතනයේ අධ්‍යක්ෂිකා එස්.එච්.බන්දුමාලා මහත්මිය ඇතුළු පිරිසක් ද එක් වූහ.