නවතම පුවත්

ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් සියලු බුද්ධි ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි බුද්ධි අංශ නියාමනය කිරීමේ හා බලගැන්වීමේ පනතක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

මේ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම සඳහා වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන ඇමැති ,අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්ෂිතතාවය හා පාරිභොගික සුබ සාධන ඇමැති ,ආරක්ෂක රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තිරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ,උසස් අධ්‍යාපන ,තාක්ෂණ හා නවොත්පාදන ඇමැති සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙම කරුණු අනාවරණය කෙළේය.

ජාතික ආරක්ෂාවට බලපෑම් සිදු කරන ක්‍රියාකාරකම් පුරෝකථනය කර ඒවා වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හා ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බුද්ධි ආයතන සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

එම ආයතනය විසින් පූරෝකථනය කළ තර්ජන හා අනාවරණය කර ගත් තොරතුරු මත වළක්වා ගත් ත්‍රස්තවාදී හා අනෙකුත් ක්‍රියාකාරකම් සහ ජාතික ගැටළුවලදී ලබා දී ඇති නිර්දේශ ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා මහඟු පිටුවහලක් වී තිබේ.

බුද්ධි අංශ මෙහෙයුම් ආශ්‍රිතව සිදු වන ක්‍රියාකාරකම් නියාමනය කිරීම සඳහා සහ බුද්ධි අංශ බලාත්මක කරමින් ඔවුන්ගේ මෙහෙයුම් කටයුතුවලට සහය වීම සඳහා අවශ්‍ය වන ප්‍රමාණවත් නෛතික ප්‍රතිපාදන දැනට නොමැති වීම හේතුවෙන් ඇතැම් බුද්ධි අංශ කටයුතු සීමාවී ඇති බව රජයට පෙනී ගොස් ඇත.

මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසුවේ පසුගිය කාලයේ සිදු වූ රණවිරු දඩයම නිසා ත්‍රස්තවාදයෙන් රට මුදා ගත් රණවිරුවන්ට දැජි අසාධාරණයක් වී ඇති බැවින් ඒ රණවිරුවන්ට සාධාරණයක් ඉටු කරමින් ,මෙරටේ බුද්ධි අංශවලට නෛතික බලයක් ලබාදීමේ ජාතික කර්තව්‍යයමෙම ගින් ඉටු කෙරෙන බවය.

මෝදර ශ්‍රී වෙන්කටේෂ්වරන් මහා විෂ්ණු දේවාලයේදී හින්දු බැතිමතුන් සමඟ තෛයිපොංගල් උත්සවය සැමරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (15)එක් විය.

ශ්‍රී විෂ්ණු දෙවිදුන් අභියස ප්‍රධාන ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව සෞම්‍ය වාසුදේවන් මාදවන් පූජකතුමා විසින් විශේෂ ආශිර්වාද පූජාවක්ද පැවැත්විය. සශ්‍රීකත්වය ළඟා කරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදීත්වය දැක්වීමක් ලෙස දෙමළ හිංදු බැතිමතුන් තෛයිපොංගල් උත්සවය මහත් හරසරින් යුතුව සමරයි.

අත්අඩංගුවට ගැනීම දඬුවමෙන් කොටසක් නොවන අතර, අත්අඩංගුවට පත්වීම පුද්ගල කීර්ති නාමයට හා සමාජ තත්ත්වයට දැඩි බලපෑමක් එල්ල කරන හෙයින් ඒ සම්බන්ධව කටයුතු කිරීමේ දී ඉතා සුපරික්ෂාකාරීව හා දැඩිව නීතියට අනුකූලව ක්‍රියාකරන ලෙසට පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත උපදෙස් ලබා දී ඇත.

කිසියම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සිදුවිය යුත්තේ අදාළ වගකීම ඉටුකරන නිලධාරීන්ගේ වෘත්තීය තීන්දුව මත බවත්, එම රාජකාරිය ස්වාධීනව හා කිසිදු බිය ගැන්වීමකින් හෝ අනුග්‍රහයකින් තොරව සිදු වන බවට සහතික කර ගන්නා ලෙසටත් ජනාධිපතිතුමා විසින් දැනුම් දී ඇත.

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැනි මහජන නියෝජිතයන් සහ වෛද්‍යවරු වැනි වෘත්තිකයන් සම්බන්ධයෙන් ඉහත කී රාජකාරිය ඉටු කිරීමේ දී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට පත්වන පුද්ගලයාට නිසි ‍‍‍ගෞරවය ලබා දිය යුතුය.
එමෙන්ම මෙම උපදෙස් සියලු ශ්‍රී ලාංකීය පුරවැසියන් සම්බන්ධයෙන් කිසිදු වෙනසකින් තොරව අදාළ වන බවත්, කිසිදු තත්ත්වයක් ‍යටතේ හෝ බාහිර අරමුණු වෙනුවෙන් ක්‍රියාවට නැංවීම නොකළ යුතු බවත්, කිසිදු අනවශ්‍ය බලපෑමකට යටත් නොවන ලෙසටත් දැනුම් දී ඇත.

 දූරදර්ශීව නිසි ලෙස රාජකාරී ඉටු කරන ලෙසට හා අවශ්‍ය අවස්ථාවන් හි දී නීතිපති උපදෙස් පරිදි ක්‍රියා කරන ලෙසට ද ජනාධිපති ලේකම්තුමා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී ඇත.

අඩු ආදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ජනාධිපතිතුමා තීරණය කරයි. වැඩසටහන යටතේ සෑම හිමිකම්ලාභියෙකුටම ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් නිකුත් කරනු ලැබේ.

සමෘද්ධිලාභීන්, සමෘද්ධි හිමිකම් නොලබන පුද්ගලයන්, ස්ථීර රැකියාවක් නොමැති හා වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන්, රැකියා නොමැති පවුල්වල ආබාධිතයන්, වැන්දඹු පවුල්, ස්ථාවර ආදායමක් නොමැති වැඩිහිටියන් සහ බරපතළ රෝගාබාධයන්ගෙන් පෙළෙන්නන් සිටින පවුල් මීට හිමිකම් කියයි. ඔවුන්ගේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීම වැඩසටහනේ අරමුණයි.

සීනි, තේ, හාල්, පිටි, පරිප්පු, කඩල, ළූණු , මිරිස්, කරවල අල සහ කිරිපිටි ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහන මිලකට ලබාදීම අපේක්ෂා කෙරේ. ලංකා සතොස, සමූපකාර වෙළෙඳ ජාලය සහ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවලින් තෝරාගත් බලයලත් වෙළෙඳසැල් මගින් ආහාර පහසුවෙන් මිලදී ගැනීමට මූලික වශයෙන් අවස්ථාව සලසා ඇත. තෝරාගනු ලබන පහසුකම් අඩු ග්‍රාමිය වෙළෙදසැල් සඳහා සහන ක්‍රමයකට ශිතකරණ ඇතුළු උපකරණ ලබාගැනීමට ද පහසුකම් සැලසීමට නියමිතය. අදාළ වෙළෙදසැල්, ජනාකීර්ණ ප්‍රදේශවලද, අඩු ආදායම්ලාභී නිවාස සංකිර්ණ, ග්‍රාමීය පළාත්වල සහ වැවිලි ක්ෂේත්‍රය ආවරණය වන පරිදි පිහිටුවීම කෙරෙහි අවධානය යොමුවී ඇත. බලයලත් වෙළෙඳ සැල් තෝරා ගැනීමේ දී කාන්තා ව්‍යවසායකයන්ට ප්‍රමුඛත්වයක් ලබා දෙයි.

මෙමගින් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සහ නිෂ්පාදකයන් නගා සිටුවීමට ද ජනාධිපතිතුමා අපේක්ෂා කරයි. දේශීය නිෂ්පාදකයන්ට මූලිකත්වය දෙමින් ඔවුන් නිපදවන ඇසුරුම්කළ ආහාර, කුළු බඩු, මස් මාලු, බිත්තර හා අනෙකුත් ගෘහ අවශ්‍යතා අදාළ ව්‍යාපාරිකයන් වෙත අතරමැදියන්ගේ තොරව ඝෘජුවම ලබාදිමට ඒ අනුව ව්‍යාපෘතියෙන් පහසුකම් සැළසේ.

වැඩසටහනට සමගාමීව ග්‍රාමීය වතු සහ නාගරික ප්‍රදේශයන්හි ගෘහ ඒකක එක්ලක්ෂ පනස්දහසක් සඳහා පානීය ජලය ලබාදීමටත්, ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීමටත් අපේක්ෂා කෙරේ. දිළිදු හා අඩු ආදායම්ලාභීන් ලෙස හදුනාගනු ලබන පුද්ගලයන්ට ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව සහ බිම් සවිය සමග සම්බන්ධීකරණය කර කෘෂිකර්ම, ව්‍යාපාර සංවර්ධනය සහ නිවාස ව්‍යාපෘති වෙනුවෙන් තිස් අවුරුදු බදු පදනමෙන් ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීම කෙරෙහි ද ජනාධිපතිතුමා තීරණය කර ඇත.

කිසිදු ආකාරයක නවක වදයක් ලබා නොදෙන පරිදි ඉදිරියේදී නවක වද පනතේ විධි විධාන අකුරට ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක, උසස් අධ්‍යාපන අමාත්‍ ආචාර්ය ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (15) උදෑසන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සඳහන් කළ අමාත්‍යවරයා, සෑම දෙමාපියෙක්ගේ දරුවෙක්ටම භියෙන් හා සැකයෙන් තොරව ලාංකීය නිදහස් අධ්‍යාපනයේ උරුමය ලබා දීම සඳහා රජය උපරිම ලෙස මැදිහත් වෙන බවත් සඳහන් කළේය.

වර්ෂයකයට ශ්‍රී ලාංකික සිසුන් 20,000 වැඩි පිරිසක් උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වන බවත් ඒ වෙනුවෙන් ලාංකීය දෙමාපියන් වර්ෂයකට රුපියල් බිලියන 50කට වැඩි මුදලක් වියදම් කරන බවත් සඳහන් කල අමාත්‍යවරයා රටට ලෝකයට ණය වෙනවාට වඩා මෙරට තුළ අධ්‍යාපනය ලැබීමේ වරම් ඇති කරන බව පැවසීය. ඒ සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කර විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා විදේශ රටවලට සිසුන් යවන ආයතන නියාමනය සඳහා ක්‍රමවේදයක් සකස් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

තවද පසුගිය දා අසර්බයිජානයේදී මිය ගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යවන් තිදෙනාගේ මෘත දේහයන් හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා මෙරටට ගෙන්වා ගැනීම පිණිස රුපියල් මිලියන 1.5ක මුදලක් රජය විසින් දැරීමට විදේශ සබඳතා අමාත්‍යංශය විසින් ඉදිරිපත් කල යෝජනාවටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මෙරට අපොස උසස් පෙළ සඳහා ඉදිරිපත් වන එක්ලක්ෂ අසූඑක්දහසක් පමණ සිසුන්ගෙන් රජයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදැරීම සඳහා අවස්ථාව විවර වන්නේ 30,000කට පමණි. සෑම වසරකම විශ්ව විද්‍යාලවලට ඇතුල් වන මෙම විද්‍යාර්ථයන්ගෙන් 2000 පමණ දෙනා නවක වදය හේතුවෙන් විදේශ ගත වීමට හෝ විශ්ව විද්‍යාල ජීවිතය අතරමං කර ගැනීමට ලක් වන බව පොලිස් කොමිසම දැනුම් දී තිබේ.

මෙම නවක වදය උසුලා ගැනීමට බැරිව ඇතැම් සිසුන් සිය දිවි හානි කරගෙන තිබෙන බවද තවත් සමහරක් සිසුන් සදාකාලික ආබාධිත තත්වයට පත් ව ඇති බවද සඳහන් කල අමාත්‍යවරයා විශ්ව විද්‍යාල අචාර මහාචාර්යවරු, කුලපතිවරු ඇතුලු විද්වත් මණ්ඩලයකගෙන් යුතු කමිටුවක් පත් කර නවක නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැර ගිය සිසුන්ට නැවත එම පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබා දෙන බවත් සඳහන් කළේය.නවක වදය නිසා වින්දිතයන් වූ සියළු සිසුන්ට මෙම කොමිසමට ඉදිරිපත් වී කරුණු ඉදිරිපත් කර නැවත විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා යොමු වීමේ අවස්ථාව සලසා දෙන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එහෙත් මේ වසරේ සිට සියළුම සිසුන්ට මෙරටදීම උසස් අධ්‍යාපන වරම් ලැබීමේ වැඩපිලි‍වෙලක් නව රජය ක්‍රියාත්මක කරන බවද පෙනවා දුන්නේය.

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය (AAT) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලයේ අනුබද්ධ විශ්වවිද්‍යාල විද්‍යායතනයක් ලෙස උසස් කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

උසස් පෙළ සමත් වන සෑම සිසුවකුටම සෞභාග්‍යයේ දැක්ම අනුව උපාධියක් හෝ රැකියාභිමුඛ පාඨමාලාවක් ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කරදීමේ අරමුණෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක බැගින් විශ්වවිද්‍යාල විද්‍යායතන 300 ක් ස්ථාපිත කිරීම රජයේ අරමුණයැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ අවසන් අදියර සමත් සිසුන්ගේ සම්මාන සහතික ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (07) පෙරවරුවේ පැවැති මේ උත්සවයේ දී ගුණවර්ධන මහතා මෙසේ ද ප්‍රකාශ කළේය. අද වනවිට AAT ආයතනය ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෘක්ෂයක් බවට පත් වෙලා තිබෙනවා. ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නොයෙක් හැඩතල වෙනස් වෙමින් පවතින කාලයක් උදා වෙලා තිබෙනවා. අපි විවිධ වෙනස්කම් කරද්දි වෙනස්කම් සඳහා සංවේදී නොවන වෙනස්කම්වලට උපතින්ම එරෙහි වන කොටසක් සිටිනවා. මෙරට අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තාක්ෂණික විෂය ධාරාව හඳුන්වා දෙන විට විවිධ ලෙස බාධා එල්ල වුණා. නමුත් ඒවාට නොසැලී අපි ඒ ක්ෂේත්‍රය අධ්‍යාපනයට විතරක් නොවෙයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා හඳුන්වා දුන්නා. දැන් සාම්ප්‍රදායික කලා, වාණිජ්‍ය, විද්‍යා ගණිත පමණක් නොව තාක්ෂණ විෂය ක්ෂේත්‍රය ද තිබෙනවා. එයින් අද වන විට වඩාත්ම ඉල්ලුමක් තිබෙන අංශය බවට තාක්ෂණ අංශය පත්වෙලා.

මෙතෙක් තිබුණු අධ්‍යාපනයෙන් මෙන්ම උසස් අධ්‍යාපනයෙනුත් පසුව ජීවන වෘත්තියක් හෝ ජීවිතය සාර්ථක කර ගැනීම සම්බන්ධ ස්ථිරසාර විසඳුමක් තිබුණු බවක් පේන්න නැහැ. සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමත් මවුපියන් කොයිතරම් ස්ථිර රැකියාවක් හෝ ස්ථිර ජීවනෝපායක් නොමැතිව අසරණව සිටිනවා ද? එය මේ දරුවන්ටත් වෙන්නට ඉඩ නොදිය යුතුයි. ඒ නිසාම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පය අනුව මානව සම්පත සංවර්ධනය සඳහා උසස් පෙළ සමත්වන සියලුම දරුවන්ට උපාධියක් දක්වා අධ්‍යාපනය ලැබිය හැකි, වෘත්තියභිමුඛ පාඨමාලාවලින් ජීවිතය ජය ගන්නට අවශ්‍ය පසුබිම සකසා දීමේ වගකීම පැවරිලා තිබෙන්නේ මටයි.

ඒ වගකීම ඉටු කරන්න මේ වනවිට අපි කටයුතු කරගෙන යනවා. මහපොළොවේ හඬට කන්දීලා මහපොළොවේ අවශ්‍යතාව අපි ඉටු කළ යුතුයි. රට වෙනුවෙන් සහ මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ඒ දෙය කරන්න කටයුතු කරන්න අපිට ලැබී තිබෙන අවසන් අවස්ථාව මේක. රට සෞභාග්‍ය කරා ගෙනයන ජනාධිපතිගේ සෞභාග්‍යයේ දැක්ම අනුව සෑම උසස් පෙළ සමතකුටම උපාධියක් සහ රැකියාභිමුඛ පාඨමාලාවක් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් රට පුරාම ඇති කරනවා. ඒ අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක බැගින් විශ්වවිද්‍යාල විද්‍යායතන 300ක් රටපුරා ඉදි කරනවා. ඒ අනුව වසර 05ක් තුළ උසස් පෙළ සමත් සෑම දරුවකුටම උපාධි සිහිනය සැබෑ කරගැනීමට අවශ්‍ය පහසුකම් සපයා දෙනවා යනුවෙන් ද පැවසීය.

රටේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය වන ආකාරයට දිවයින පුරා විශ්වවිද්‍යාල විද්‍යායතන 300ක් ආරම්භ කිරීමේ වැඩසටහන මේ වසර අවසන් වීමට ප්‍රථම අරඹන බව උසස් අධ්‍යාපන, නවෝත්පාදන හා තාක්ෂණික ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. අමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (07දා) බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පී ආයතනයේ අවසන් වසර සමතුන්ට සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි.

ඇමැතිවරයා එහිදී සඳහන් කළේ ලොව වෙනත් රටවල විශ්වවිද්‍යාලවලට සුදුසුකම් නොලබන ද්වතීයික අධ්‍යාපනය සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විශ්වවිද්‍යාල විද්‍යායතන පැවැතියද මෙරට දරුවන්ට එවැනි අවස්ථාවක් නොමැති බවයි.

‘‘ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට කලින් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළා. මේ රටේ උසස් පෙළ සමත් වන සියලුම දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපන හෝ ඒ හා සමාන උසස් අධ්‍යාපන අවස්ථාවන් ලබා දෙනවා කියලා. දැන් ඒ වගකීම ඉටු කිරීම උසස් අධ්‍යාපන ඇමැතිවරයා විදිහට මට පැවරිලා තියෙනවා. මම ඒ වගකීම මේ වසර අවසන් වන විට ඉටු කිරීමට කටයුතු කරනවා. උසස් පෙළ සමත් සිසු දරුවන්ට මේ විදියට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමට තමන් විශ්වවිද්‍යාල විද්‍යායතන තුන්සීයක් සෑම ප්‍රාදේශීය ​ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය වෙන ආකාරයට ආරම්භ කරන්න අප බලාපොරොත්තු වෙනවා. ඒ කටයුත්තට සමගාමීව මේ වරලත් ගණකාධිකරණ ශිල්පී ආයතනයක් (AAT) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධිත විද්‍යායතනයක් බවට මේ වර්ෂය අවසන් වීමට ප්‍රථම පත් කිරීමට පියවර ගන්නවා’ යැයි ඇමැතිවරයා පවසයි.

මෙරට මුදල් මත පදනම්ව අධ්‍යාපන ක්‍රමයේ නිර්මාණය වී ඇති විෂමතාව පිළිබඳව ද ඇමැතිවරයා අදහස් පළ කළේය.

‘‘අද ඇති හැකි ඉංග්‍රීසි කතා කරන, ඉංග්‍රීසි පුවත්පත් කියවන කිසිම දෙමාපියෙක් තමන්ගෙ දරුවෙක් මේ රටේ අවුරුදු විසි පහ තිහ වෙනකම් උපාධි ලබා ගන්න ගත වෙන අධ්‍යාපන ක්‍රමය ගැන කරදර වෙන්නෙ නැහැ. ඔවුන් තමන්ගෙ දරුවන්ට කියන්නෙ කොහොම හරි ලන්ඩන් ඒලෙවෙල් හරි ඕලෙවෙල් හරි තලාගන්න කියලා. තලා ගන්න කියන්නේ යාන්තමින් හරි සමත් වෙන්න කියලා. ඒ දරුවො අවුරුදු දාහතර පහළොව වෙනකොට ලන්ඩන් ඕලෙවෙල් සමත්. ඊට පස්සේ එංගලන්තෙ, ඇමෙරිකාවෙ, ඔස්ට්‍රේලියාවෙ විශ්වවිද්‍යාලවල හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනවලට සම්බන්ධ වෙලා අවුරුදු තුනකින් උපාධිය ලබා ගන්නවා. ඒ කියන්නේ අවුරුදු විස්සට කලින් උපාධියක් ලබා ගන්නවා. ඊට පස්සේ ඒ රටෙන්ම රැකියාවක් හොයාගෙන විවාහයක් කරගෙන එහෙම පදිංචි වෙනවා. ආපසු මේ රටට එන්නේ නැහැ.

ඒ දරුවො බහුතරයක් දන්නෙත් නැහැ තමන්ගෙ රටේ බහුතරයක් දරුවන්ට තමන්ට ලැබුණු අවස්ථාව ලැබෙන්නෙ නැහැ කියලා. මේක තමයි තිත්ත ඇත්ත. මේ ඇත්ත දේශපාලකයන් ජනතාවට කියන්නෙත් නැහැ. මොකද ඔවුන්ගෙ දරුවොත් පිටරට යවලාමේ ක්‍රමයට උගන්වලා තියෙන නමුත් අපි මේ තිත්ත ඇත්ත ගැන කතා කරනවා. ඒ ගැන කතා කරලා වශ්වයට සම්පතක් වෙන දුවා දරුවන් පිරිසක් බිහිකරනවා.’’

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඕස්ටේ‍්‍රලියානු අගමැති ස්කොට් මොරිසන් මැතිතුමා සමඟ අද (07) දුරකථනයෙන් කථා කරමින් එරට දැන් හටගෙන ඇති ඉතිහාසයේ දරුණුතම ලැව් ගිනි විපතෙන් සිදුව ඇති විනාශය ගැන සිය සංවේගය පළ කළේය.

වසරේ මේ කාලයේ දී ලැව් ගිනි හට ගැනීම ඕස්ටේ‍්‍රලියාවේ සාමාන්‍ය සංසිද්ධියකි. එහෙත් මෙවර හටගෙන ඇති ලැව් ගිනි පෙර නොවූ විරු තරම් බියකරු සහ විනාශකාරී වී ඇත. ඊට ගොදුරු වූ තිස් දෙනෙකුට වැඩි ඕස්ටේ‍්‍රලියානුවන් දැනටමත් ජීවිතක්ෂයට පත්ව තිබේ. සහන සේවකයෝ ද ඔවුන් අතර වෙති. වන සතුන් අතර මරණ සංඛ්‍යාව පනස් ලක්ෂයක් පමණ වෙතැයි ගණන් බලා තිබුණ ද එය ඊට බෙහෙවින් වැඩිවිය හැකි බව විශ්වාස කෙරේ.

සාමාන්‍යයෙන් උණුසුම් සමයක් වන ජනවාරි පෙබරවාරි මාසවල ලැව් ගිනි තවත් උග්‍රවනු ඇතැයි බියක් පවතී. ඕස්ටේ‍්‍රලියාවේ සියලු ප්‍රාන්තවලට විපත බලපා ඇතත් වැඩිම විනාශය සිදුව ඇත්තේ නිව් සවුත් වේල්සයටයි. වනාන්තර ගිනි ගැනීමෙන් පහළ අවකාශයේ වායුව බෙහෙවින් දූෂණය වී ඇත.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමා නෑ හිතවතුන් අහිමි වූ පවුල් වෙත සිය බලවත් ශෝකය පළ කළේය. 2004 සුනාමිය සහ වරින් වර ඇතිවන ගංවතුර ඇතුළු ස්වභාවික විපත්වලට මුහුණ දුන් රටක් ලෙස ශ්‍රී ලංකාවේ ජනතාවට ඕස්ටේ‍්‍රලියානු ජනයා මේ මොහොතේ විදින වේදනාව මනාව තේරුම් ගැනීමට හැකි බව ජනාධිපතිතුමා කීය. මේ ආපදාපන්න අවස්ථාවේ ඕස්ටේ‍්‍රලියානු ජනයා සඳහා ශ්‍රී ලංකාව තේ තොගයක් පරිත්‍යාග කරන බව ද එතුමා කීය.

ජනමාධ්‍යවේදීන් සඳහා උපකරණ මිලදීගැනීමට ලබාදෙන ණය යෝජනා ක්‍රමය තුළින් ඉදිරියේදී වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබාදීමට සැලසුම් කර ඇති බවත් ඔවුන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් වාර්ෂිකව දියත් කරන ‘ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන (2020) මේ වනවිට ආරම්භ කර ඇති බවත් ගරු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා අද (7) අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

‘ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන 2020’ යටතේ මාධ්‍යවේදීන් ලෙස වසර තුනකට වැඩි කාලයක් සේවය කර ඇති, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති වයස අවුරුදු 18 – 55 අතර පිරිසට උපාධිය ලබාගැනීම සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් ප්‍රදානය කිරීමට නියමිත බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මීට අමතරව කෙටි කාලීන පාඨමාලාවන් සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රදානය කිරීමට නියමිත බවත් පෙබරවාරි මස 7 වැනිදාට පෙර මේ සඳහා වූ අයදුම්පත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශය වෙත යොමුකළ යුතු බවත් එතුමා පැවසීය.

මාධ්‍යවේදීන් සඳහා උපකරණ මිලදීගැනීමට ලබාදුන් ‘මාධ්‍ය අරුණ‘ ණය යෝජනා ක්‍රමය අඩු පොළියකට, විශාල පිරිසකට ණය ලබාදීමට හැකිවන පරිදි අලුත් කර එළඹෙන මාර්තු මස අග වනවිට මාධ්‍යවේදීන් වෙත ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම, තැපැල් දෙපාර්තමේන්තුවේ විධිමත් හා කාර්යක්ෂමව සිදුකිරීමට ආදර්ශ තැපැල් කාර්යාල කීපයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් එළඹෙන අප්‍රේල් මස වනවිට මෙහි පළමු අදියර යටතේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව, මාතර - මාකඳුර තැපැල් කාර්යාලය, කොම්පඤ්ඤ වීදිය, හෝමාගම, කුරුණෑගල තැපැල් කාර්යාල මේ යටතේ වැඩිදියුණු කරන බවත් පැවසීය.

ටෙලිකොම් ආයතනය සමග සන්ධානගත වෙමින් ජනතාවගේ සියලු අන්තර්ජාල පහසුකම් එක් වහලක් මගින් ලබාදීමේ අරමුණින් මේ යටතේ උප තැපැල් කාර්යාල 500ක් පරිගණක ගතකර නවීකරණය කරන බවද එතුමා වැඩිදුරටත් පැවසීය.

නිවසක් හෝ සුළු ව්‍යාපාරයක් හෝ ඉදිකිරීමේ සැලසුම් නිසි පරිදි සකසා ඇත්නම් ඊට අනුමැතිය එක් දිනකදී ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි.

ඉදිකිරීම් සඳහා වූ සැලසුම් අනුමත කිරීමේ දී පවතින දැඩි නීති රිති සහ දීර්ඝකාලයක් ගත කිරීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත් වෙති. එහෙයින් පවතින නීති රීති සරල කර ජනතාව මුහුණ දෙන ගැටලු හැකි උපරිමයෙන් අවම කිරීම රජයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි නිලධාරින් සමග (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී සඳහන් කළේය.

සැලසුම් අනුමැතිය සදහා පළාත් පාලන ආයතන වෙත බලතල ලබාදීම සහ සෙසු ආයතන කඩිනමින් ඊට අදාළ ප්‍රතිපාදන සැකසීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ. දැනට අනුමත නොකළ සැලසුම් අනුමත කිරීම සම්බන්ධව නීතිය පිළිබඳ දැනුමක් ඇති නිලධාරියෙකු පත් කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. අනුකූලතා සහතිකය දිනකදී ලබාදීම අනිවාර්ය කෙරිණ.

ජාතික භෞතික සැලැස්ම යාවත්කාලීන කිරීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු විය. පළමු වතාවට නිවසක් ගන්නා අයෙකුට දීර්ඝ කාලීන ණය සහ සහනපොළි ක්‍රමයකට ණය නිකුත් කිරීම පිළිබද අවධානය යොමු කිරීමේ වැදගත්කම සාකච්ඡාවට ලක් විය.

සැලසුම් අනුමත කිරීමේ දී එකම නීතිය ක්‍රියාත්මක නොකොට භූ විෂමතා සැලකිල්ලට ගෙන නිර්දේශයන් ලබාදීම කෙරෙහි ද අවධානයට ගැනිණ. පළාත් සහ ප්‍රදේශ අනුව පවතින ආයෝජන අවස්ථා හඳුනාගෙන ඒ සඳහා වූ අනුමැතින් රාජ්‍ය ආයතන මගින්ම සිදු කර ආයෝජන මණ්ඩලයට දැනුම්දීමට පියවර ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. එමගින් විදෙස් ආයෝජකයින් දිරි ගැන්වෙන අතර, සිය ව්‍යාපෘති කඩිනමින් ඇරඹීමට ද අවස්ථාව උදා වේ.
රට පුරා ඇති සියලු කුඩා නගර විධිමත් සහ අලංකාර ලෙස සංවර්ධනය කිරීමෙන් සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත හැකි බව ද ජනාධිපතිතුමා කියා සිටියේය. තලවකැලේ, ඇල්ල සහ ගිනිගත්හේන වැනි නගර නිදසුනක් ලෙස ගනිමින් ඒවා නවීකරණය කළ හැකි ආකාරය සාකච්ඡා කෙරිණි.

වේරැස්ස ගඟ ව්‍යාපෘතිය කඩිනමි කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. අපද්‍රව්‍ය කළමනාකරණය කෙරෙහි ද විශේෂ අවධානය යොමු කෙරිණ. කැළි කසළ, කාබනික පොහොර බවට පත් කිරීමට සැලසුම් සකස් කරන ලෙසත් ඒ සඳහා උපරිම ලෙස තාක්ෂණය යොදා ගැනීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිතුමා අදාළ අංශ දැනුවත් කළේය.

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ දායකත්වය ලබා ගනිමින් ගොඩගැසී ඇති වැලි නිධි ඉවත් කිරීමට පියවර ගැනීමෙන් වැලි මිල පහත දැමීමට ඇති හැකියාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. එමඟින් ප්‍රදේශ රැසක් මුහුණ දෙන ගංවතුර තර්ජනයට ද විසඳුම් ලබාදීමට හැකි වේ.

බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරිමට ද තීරණය කෙරිණි. එහිදී බේරේ වැවට අපද්‍රව්‍ය එකතු කෙරෙන බවට හඳුනාගෙන ඇති ස්ථාන වහාම වසා දැමීමට පියවර ගන්නා ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.

ගාමිණි ලොකුගේ, ඉන්දික අනුරුද්ධ යන අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීහු මීට එක් වූහ.

 

යුරෝපා සංගමය නියෝජනය කරන මෙරට තානාපතිවරුන් සමග හමුවක් අද ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. තානාපතිවරු සියලු දෙනා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හනුවිය. ඔවුන් සියලු දෙනා නව රජයට සුභාශිංසන පළකර තිබේ.

ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස ධනාත්මකව බලන ලෙසත්, ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියද ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල්වලට ලොව අනෙකුත් රටවල් හා සමාන වේගයෙන් සංවර්ධනය වීම සඳහා උපකාර කිරීම කලාපීය බලඅධිකාරිත්වයට මුහුණ දීමේ ප්‍රශස්තම පියවර බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.

මෙරටෙහි දේශපාලන විසඳුම් සංවර්ධන ක්‍රියා පිළිවෙත සමග සමගාමීව ඉදිරියට යා යුතු බව ජනාධිපතිවරයා විසින් පැහැදිලි කළ අතර, දූෂණය පිටුදැකීමට, විනිවිදභාවය සහතික කිරීම, දක්ෂතාවට සහ හැකියාවට වටිනාකමක් ලබාදීමට සිදු කරන කැපවීම පිළිබඳව නියෝජිත කණ්ඩායම සිය ප්‍රශංසාව පළ කර ඇත.

අතිගරු ජනාධිපතිතුමාට, විරෝධාර රණවිරුවන්ට රටට සහ ජනතාවට ආශිර්වාද පළ කරමින් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් (04) දා කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති පරිත්‍රාණ ධර්ම දේශනය සඳහා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස, කොල්ලුපිටිය වාලුකාරාමාධිපති මහා විහාර රත්මලාන පාර්ශවයේ සංඝනායක පූජ්‍ය මහරගම නන්ද, කයිකාවල සුනන්දාරාමාධිපති විචිත්‍ර භාණක පූජ්‍ය බෝපිටියේ විජිත, රෝහන සංඝ සභාවේ දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝ නායක පූජ්‍ය නාරන්දෙනියේ ධම්මාවාස, ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි යන ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටියහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ද මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මීට සහභාගී වූහ.
මෙහිදී විශේෂ අනුශාසනාව කරමින් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නායක ස්වාමින් වහන්සේ පෙන්වා දුන්නේ එල්.ටී.ටී.ඊ යුද්ධය පරාජය කිරිමට එක් වූ සුසංයෝගය රට ඉදිරියේ ඇති ආර්ථික යුද්ධය සහ ජාත්‍යන්තර අභියෝග ජය ගැනිමට ද එක්විය යුතු බවයි.
මහා සංඝරත්නය ප්‍රමුඛ රටේ සමස්ත ජනතාව තැබූ එම අපේක්ෂාව මල්ඵල ගැන්වීමට ජනාධිපතිවරයා, අග්‍රමාත්‍යවරයා ඇතුළු පිරිස කැපවනු ඇති බවට ද උන්වහන්සේ විශ්වාසය පළ කළහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter