නවතම පුවත්

ගිවිසුම් අත්සන් කළත් ලෝක බැංකු අාධාර තාම එවා නෑ. විදේශ ආධාර වශයෙන් ද්‍රව්‍යමය ආධාර ලැබුණා. අගමැතිගේ වැඩසටහනට හිටපු මන්ත්‍රීන්ගේ ප්‍රසාදය. අගමැති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් හමුවේ කියයි.

කොවිඩ් 19 වෛරස තත්ත්වයට අදාළව මූල්‍යමය වශයෙන් මෙරටට විදේශ ආධාර ලැබී නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අරලියගහ මන්දිරයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (04) පැවැති සාකච්ඡාවට එක්වෙමිනි. කොරෝනා වෛරසය ආසාධිත පළමු රෝගියා වාර්තාවීමේ සිට වෛරසය මැඬ පැවැත්වීමට රජය විසින් ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙන්ම රෝගය පාලනය කිරීම සඳහා ගෙන යන නිරෝධායන වැඩපිළිවෙළ සම්බන්ධයෙනුත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හා බුද්ධි අංශ විසින් මෙහි දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කළහ.

විදේශ ආධාර ලැබීම හා වියදම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් විවිධ චෝදනා එල්ල වන බැවින් ඒ පිළිබඳ නිසි දැනුම්වත් කිරීමක් අවශ්‍ය බව මෙහි දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

විදේශ ආධාර සම්බන්ධයෙන් නිවැරැදිව තොරතුරු පැවසීමේ හැකියාව ඇත්තේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ අවස්ථාව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාට ලබා දුන්නේය. ලෝක බැංකුව වත්මන් ව්‍යසනකාරී තත්ත්වය හමුවේ අමෙරිකන් ඩොලර් මිලියන 127ක ආධාරයක් ලබාදීමට එකඟ වී ඊට අදාළ ගිවිසුම් අත්සන් තබා ඇති නමුත් මෙතෙක් එම මුදල් මෙරටට ලැබී නැතැයි ද අදාළ මුදල් ඉදිරියේ දී ලැබීමට නියමිතව ඇතැයි ද එහි දී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ කෝවිඩ් සම්බන්ධ වියදම් පියවා ගැනීම සඳහා එම මුදල් හිමි වන බවත්, මීට අමතරව විදේශ ආධාර වශයෙන් ද්‍රව්‍යමය ආධාර සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බවත් ඒ මහතා පැවසීය. රැකියා සඳහා කොළඹට පැමිණි එහෙත් කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් නිවෙස්වලට යෑමට නොහැකිව නවාතැන්වලට සීමාවී සිටින උතුරු නැඟෙනහිර ජනතාවට නිවෙස්වලට යෑමට විධිමත් වැඩපිළිවෙළක් සකසා දෙන ලෙස මෙයට එක් වූ උතුරු නැඟෙනහිර නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

පී. සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය වැඩ කිරීමට රජයේ අවධානය යොමු කළ යුතු බව මේ අවස්ථාවට එක් වූ බොහෝ මන්ත්‍රීවරුන්ගේ අදහස වූ අතර, ඒ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික විශ්‍රාම වැටුප පරිත්‍යාග කිරීමට වුව ද හැකි බව පෙන්වා දුන්නේය.

වෛරස තත්ත්වය හේතුවෙන් නිවෙස්වලට සිමා වී සිටින දරුවන්ගේ ප්‍රශ්නවලට අග්‍රාමාත්‍යවරයා විසින් පිළිතුරුදීමේ වැඩසටහනට හිටපු මන්ත්‍රීවරුන්ගේ ප්‍රසාදය හිමි වූ අතර, එවැනි වැඩසටහන් තව තවත් ක්‍රියාත්මක කළ යුතු බව ද එහි දී යෝජනා විය.

මේ අවස්ථාවට එක් වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් යෝජනාවලියක් අගමැතිවරයාට භාරදීම ද සිදුවිණි.

කෝවිඩ් 19 වෛරස තත්ත්වය පාලනය කිරීම සඳහාත් ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීමට අදාළවත් හිටපු මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා රැසක් මෙහිදී ඉදිරිපත් කළ අතර, ඉදිරිපත් වූ යෝජනා සහ අදහස් සාකච්ඡාවට ලක්කර සුදුසු යෝජනා ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් සාකච්ඡාව අවසානයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික නිදහස් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ඉලංකෙයි තමිල් අරසුකච්චි, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, All Ceylon Muslim Congress, දේශවිමුක්ති ජනතා පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ යන පක්ෂවල හිටපු මන්ත්‍රීවරුන් රැසක් සහභාගි වී සිටියහ.

අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, සෞඛ්‍ය අංශ ප්‍රධානීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු කොවිඩ් -19 ජනාධිපති කාර්ය සාධක බළකායේ සාමාජිකයන් ද ඊට එක්ව සිටියහ.

ධනුෂ්ක ගොඩකුඹුර සහ චමීර ඇල්ලදෙණිය

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු සහ අගමැති මාධ්‍ය අංශය

කොවිඩ් 19 මරණ අනුපාතය 0.97%යි
හඳුනා ගත් පොකුරු 31න් 27ක් ම දැනටමත් අක්‍රීයයි

නොබැඳි ජාතීන්ගේ ඔන්ලයින් නායක සමුළුව අමතමින් ජනාධිපති කියයි

ශ්‍රී ලංකාව කොවිඩ් 19 උවදුර පාලනය කිරීමටත් ක්‍රමයෙන් මැඩ පැවැත්වීමටත් සමත්ව සිටින බව නොබැඳි ජාතීන්ගේ ඔන්ලයින් නායක සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (04) ප්‍රකාශ කළේය.

මෙරට දී කරන ලද පී. සී. ආර් පරීක්ෂණවලින් රෝගීන් බවට සනාථ වී ඇත්තේ සියයට 3ක් පමණක් බව පැවසූ ජනාධිපති රාජපක්ෂ මහතා කොවිඩ් 19 වෛරසයේ මරණ අනුපාතය සියයට 0.97ක් වැනි ඉතා අඩු අගයක පවතින බවත් පැවසීය.

කොවිඩ් 19 වෛරසයේ හඳුනා ගත් පොකුරු 31න් 27ක් ම දැනටමත් අක්‍රීය කර ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඉතිරි පොකුරු 4ද දැඩි පාලනයක් යටතේ තබාගෙන පොදු ජනතාව අතරට රෝගය පැතිරීම වැළක්වීමට පියවර ගෙන තිබෙන බවත් අවධාරණය කළේය.

මනාව ස්ථාපිත නිවාරණ යාන්ත්‍රණයක් සහිත, රට පුරා ව්‍යාප්ත විශිෂ්ට නිදහස් සෞඛ්‍ය සේවාවක් හිමි ශ්‍රී ලංකාවට කොවිඩ් 19 මරණීය වෛරසයේ ව්‍යාපත්තිය පාලනය කිරීමේ දී එකී මහජන සෞඛ්‍ය ක්‍රියාදාමයේ දායකත්වය ලැබුණු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇති අත්දැකීම් සහ එය පාලනය කිරීමේ දී අත්කරගත් ජයග්‍රහණ නොබැඳි ජාතීන්ගේ සාමාජික ජාතීන් සමඟ බෙදාගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මෙම වසංගතයේ දීර්ඝකාලීන සමාජ ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණදීමට ගන්නා බහුපාර්ශ්වීය පියවරවලට සම්පූර්ණ සහාය පළ කරන බවත් පැවසූ ජනාධිපති රාජපක්ෂ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

පළමුවෙන් මා නොබැඳි ව්‍යාපාරයේ සභාපති අසර්බයිජානයේ ජනාධිපති ඊලම් අලියෆ් මහතා ලොව අද මුහුණ පා සිටින වත්මන් යුගයේ බලවත්ම අභියෝගයක් පිළිබඳව සාකච්ඡා කිරීමට මේ නායක සමුළුව කැඳවීමටගත් කාලීන තීරණයට මාගේ ප්‍රසාදය පළ කරමි.

කොවිඩ් - 19 වසංගතයට මුහුණ දීම සඳහා ගෝලීය සබඳතාව, එක්සත්කම සහ බහු පාර්ශ්වීය සහයෝගතාව අරමුණු කරගත් මේ සමුළුවට සහභාගී වීමට මට ලැබුණු අවස්ථාව ගැන සතුටු වෙමි.

ශ්‍රී ලංකාව තරයේ විශ්වාස කරන්නේ දරුණු වෛරස වසංගතය පරාජය කිරීම සඳහා එකිනෙකාගේ අත්දැකීම් සහ හැකියාවන් මෙන්ම උගත් පාඩම් ද බෙදාගැනීම උදෙසා සාමූහික ගෝලීය ක්‍රියා මාර්ගයක් සඳහා නොබැඳි සමුළුව වැදගත් වේදිකාවක් බවය.

මෙම වසංගතයෙන් සිය ආදරණීයයන් අහිමි වූ සියලු දෙනා වෙත මම දැඩි සංවේගය පළ කරමි. ඒ අතරම, ශ්‍රී ලංකාවේ සහ ගෝලීය වශයෙනුත් අර්බුදය මැඩලීමට ඉදිරි පෙරමුණේ සේවය කරන සෞඛ්‍ය කේෂ්ත්‍රයේ සහ වෙනත් අත්‍යවශ්‍ය සේවක පිරිස් දක්වන කැපවීම සහ පරිත්‍යාගශීලී ගුණය ගැන මම බලවත් ප්‍රසාදය පළ කරමි.

අප සියලුම රටවලටත් ජනතාවන්ටත් පෙර නොවූ විරූ මට්ටමේ හානි ගෙනදෙමින්, ආර්ථිකයන්ට ප්‍රහාර එල්ල කරමින් මේ වසංගතය අපේ සෞඛ්‍ය සේවාවන්ට සමාජයීය සහ මානසික ආතතීන් ඇතිකරමින් උදා කළ බිහිසුණු තත්ත්වය ගැන ශ්‍රී ලංකාව දැඩි කම්පනයට පත්ව සිටී.

එබැවින් ශ්‍රී ලංකාව මේ නායක සමුළුවේ ප්‍රකාශනයට අනුමැතිය පළ කරයි.

පෙර නොවූ විරූ මේ අභියෝගයට මුහුණ දීම සඳහා ගෝලීය එකමුතුබව සහ සාමූහික ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය ප්‍රමුඛතා වෙති. එබැවින් ශ්‍රී ලංකාව මෙම වසංගතයේ දීර්ඝ කාලීන සමාජ ආර්ථික ප්‍රතිවිපාක වලට මුහුණ දීමට ගන්නා බහුපාර්ශවීය පියවර වලට සම්පූර්ණ සහාය පළ කරයි.

සාමාජික රටවල මානුෂික සහ සෞඛ්‍ය සේවා අවශ්‍යතා පිළිබඳ තොරතුරු පද්ධතියක් සකස් කොටමේ රටවල මූලික අවශ්‍යතා ආධාර දෙන රටවලට සහ ආයතනවලට දැන්වීම සඳහා නොබැඳි කාර්ය සාධක බළකායක් බිහිකිරීමට ගත් කාලෝචිත පියවරට ශ්‍රී ලංකාව සහාය පළ කරයි.

කොවිඩ් – 19 ගෝලීය මානුෂවාදී ප්‍රතිචාර සැලැස්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රතිචාර සහ ප්‍රතිකර්ම අරමුදල පිහිටුවීම අපි අගය කරමු.

වසංගතයට මුහුණ දීමේ ගෝලීය ප්‍රතිචාරය හැඩගැස්වීමෙහි ලා මහඟු කාර්යභාරයක් ඉටුකරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ව්‍යායාමයට ශ්‍රී ලංකාව සහය පළ කරයි.

ශ්‍රී ලංකාව කොවිඩ් -19 උවදුර පාලනය කිරීමටත් ක්‍රමයෙන් මැඩ පැවැත්වීමටත් සමත් වී ඇත. මේ රටේ කරන ලද පී සී ආර් පරීක්ෂණ වලින් රෝගීන් බව සනාථ වී ඇත්තේ සියයට 3ක් පමණි. මේ දක්වා මරණ අනුපාතය 0.97% ක් වැනි ඉතා අඩු අගයක පවතී.

පෙබරවාරි ආරම්භයේදී මගේ රජය විසින් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහාත්,වසංගතයේ ව්‍යාප්තිය නිරීක්ෂණය කරනු සඳහාත්, ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන්ගෙන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ගෙන් සහ පරිපාලන නිලධාරීන්ගෙන් සමන්විත කාර්ය සාධක බළකායක් පත් කරනු ලැබීය.

ප්‍රථම ශ්‍රී ලාංකික කොවිඩ් - 19 රෝගියා වාර්තා වූයේ මාර්තු මස 11 වනදාය. ආරම්භයේ දී හමු වූ රෝගීන් පිටරට සිට පැමිණි අය වූහ. එතැන් සිට මේ දක්වා රෝගීන් 717ක් සොයාගෙන ඇති අතර ඔවුන්ගෙන් 183 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගියහ. 527 දෙනෙක් ආසාදිතයන් ලෙස ප්‍රතිකාර ලබති. මොවුන්ගෙන් ඉතා වැඩි පිරිසට රෝග ලක්ෂණ නොතිබිණ.

 

අපි සුවිශේෂ පියවර කීපයක් ගැනීමට සමත් වූයෙමු. ආරක්ෂක හමුදා විසින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම සහ රෝගීන් හඳුනාගැනීම සඳහා රාජ්‍ය බුද්ධි අංශ යෙදවීම සහ පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආසාදිතයන් ඇසුරු කළ අය හඳුනා ගැනීමට යෙදවීම ඒ අතර වෙයි.

මෙම පියවර දෙක වසංගතය පැතිරීම හොඳින් පාලනය කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට සාර්ථක පියවර ගැනීමට උපකාරී විය.

රෝගියෙකු සොයාගත් වහාම එම රෝගියා සමග සබඳතා පැවැත්වූ පුද්ගලයින් සියලු දෙනා යුහුසුළුව සොයාගෙන රෝගී පොකුරු හඳුනාගැනීමටත් අපට හැකි විය. එක් පොකුරක් හඳුනාගත් වහාම එම සියලුම පුද්ගලයින් විශේෂිත නිරෝධායන මධ්‍යස්ථානවලට හෝ ස්වයං නිරෝධායනයට යොමු කරන ලදී. මුළු ප්‍රදේශයක්ම රෝගයට ගොදුරු වූයේ නම් මුළු ප්‍රදේශය ම වසා දමා නිරෝධායනය කරනු ලැබේ. ඒ අනුව හඳුනාගත් පොකුරු 31 න් 27 ක්ම දැනටමත් අක්‍රිය කර තිබේ. ඉතිරි 4 ද දැඩි පාලනය යටතේ තබාගෙන පොදු ජනතාව අතරට රෝගය පැතිරීම වැළැක්වීමට පියවර ගෙන ඇත.

පී සී ආර් පරීක්ෂණ පුළුල්ව සිදුකළ අතර සෞඛ්‍ය බලධාරීහූ තව තවත් පී සී ආර් පරීක්ෂණ අඛණ්ඩව කරමින් සිටිති.

මානව ස්ථාපිත නිවාරණ යාන්ත්‍රණයක් සහිත රට පුරා ව්‍යාප්ත විශිෂ්ට නිදහස් සෞඛ්‍ය සේවාවක් හිමි ශ්‍රීලංකාවට එකී මහජන සෞඛ්‍ය ක්‍රියාදාමය භාවිත කරමින් මේ මරණීය වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට හැකි වී තිබේ.

සෞඛ්‍ය බලධාරීන්ට සහ කොවිඩ් – 19 පැතිරීම පාලනය කිරීමේනිරත සෙසු සේවාවන්ට සහාය වීම සඳහා මගේ රජය මාර්තු 18 දා සිට මුළු දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය පනවා ජනතාවගේ ගමනාගමනය පාලනය කළේය.

දෛනික කාර්යයන් අඩපණ වූ අතර, අභියෝගය පාලනය කිරීමට ශ්‍රී ලංකාව පියවර රැසක් හඳුන්වා දුන්නේය.

* අඩු ආදායම්ලාභී පවුල්වලට, විශ්‍රාමිකයන් හා ආබාධිත පුද්ගලයන්ට, දෛනික වැටුප් ලාභීන්ට හා ගොවීන්ට මූල්‍ය සහනාධාර දීම.

* මනා සම්බන්ධීකරණයක් ඇතිව ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම කළමනාකරණය

* දැනට පවත්නා කර්මාන්ත සඳහා සහාය වන අතරම නව ආර්ථික උපනති නිර්මාණය සඳහා නව ව්‍යාපාරික මාර්ග නවීකරණය

* ගොවීන්, පාරිභෝගිකයන් සහ සැපයුම්කරුවන් සම්බන්ධීකරණය,අත්‍යවශ්‍ය

භාණ්ඩ හා සේවා සැපයීම සහ දුරස්ථ අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍රය සඳහා

ඩිජිටල් තාක්ෂණය භාවිතයට යොමු කිරීම ඊට අයත් ය.

සියලු රටවලට වෛරසයට ප්‍රතිචාර දැක්වීම සඳහා අත්‍යාවශ්‍ය වෛද්‍ය සම්පත් බාධාවකින් තොරව සපුරා ගැනීමට හා ඒවා සම්පාදනය කරගැනීමේදී දුෂ්කරතාවනට මුහුණ දීමට සිදු නොවන බව සහතික කරගැනීම අතිශය වැදගත් වන්නේය.

වසංගතය හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් පෙර නොවූ විරූ පරිමාණයේ ආර්ථික හා ණය අර්බුදයකට ගොදුරුව ඇති බව කන්සල්ලෙන් සටහන් කරන ශ්‍රී ලංකාව මේ රටවල් සඳහා ණය සහන සහ මූල්‍ය දිරිගැන්වීම් අවශ්‍ය බව කියා සිටී.

අවදානමට මුහුණ පා ඇති රටවලට ණය සහන සහ වඩා පුළුල් මූල්‍ය ප්‍රතිපාදන සපයන ලෙස අන්තර්ජාතික මූල්‍ය ආයතන සහ ආධාර සපයන රටවල් වෙත ගෝලීය ආයාචනයක් කළ යුතු බවත් ශ්‍රී ලංකාව ඊට එක්වන බවත් නැවතත් කියා සිටින්නෙමු.

මධ්‍ය ආදායම්ලාභී රටවල් ද වසංගතය විසින් උත්සන්න කරන ලද තීරණාත්මක සහ විවිධාකාර ආර්ථික හා සමාජ අභියෝගවලට ගොදුරු ව ඇති බව අවධාරණය කළ යුත්තේය. මේ සුවිශේෂී අවස්ථාවේදී එම රටවල අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කම සහ හානිකර ආර්ථික ප්‍රතිවිපාක වළක්වා ගැනීම පිණිස මූල්‍ය ආධාර සම්පාදනයේ වැදගත්කම සටහන් කළ යුතුය.

අර්බුදයට මුහුණ දීම සඳහා වන ගෝලීය ප්‍රතිචාරය ජාතික සහ කලාපීය මට්ටමේ ප්‍රවේශයන් මඟින් වඩාත් ශක්තිමත් වන බව ශ්‍රී ලංකාව විශ්වාස කරයි. ශ්‍රී ලංකාව අභියෝගයට මුහුණ දීම සඳහා ගන්නා උත්සහායේ කොටසක් ලෙස දකුණු ආසියානු කලාපයට සහාය වනු පිණිස ස්ථාපිත සාක් කොවිඩ් - 19 ආපදා අරමුදලට ඇමරිකානු ඩොලර් පනස් ලක්ෂයකින් දයක විය.

කොවිඩ් - 19 වසංගතය සම්බන්ධව ශ්‍රී ලංකාවට ඇති අත්දැකීම් සහ එය පාලනය කිරීමේ දී අත් කර ගත් ජයග්‍රහණ සාමාජික ජාතීන් සමග බෙදාගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

මේ නායක සමුළුව සංවිධාන කිරීම ගැන නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ සභාපතිවරයාට නැවතත් ප්‍රසාදය පළ කරන ශ්‍රී ලංකාව වසංගතය මර්දනය කොට අභියෝගය ජයගැනීමේ නොබැඳි ව්‍යාපාරයේ ව්‍යායාමයට සහයෝගය පුද කර සිටි.

 ධනුෂ්ක ගොඩකුඹුර සහ චමීර ඇල්ලදෙණිය

COVID 19 වසංගතයේ දීර්ඝකාලීන සමාජ, ආර්ථික ප්‍රතිවිපාක ජය ගැනීමට ගන්නා බහුපාර්ශවීය ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (04) නොබැඳි ව්‍යාපාරයේ “NAM” සබඳතා සමූහයේ මාර්ගගත වීඩියේ සම්මන්ත්‍රණය අමතමින් අවධාරණය කළේය. 

COVID 19 වෛරසය සමග සටනේදී සාමූහික ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට නොබැඳි ජාතීන්ගේ මාර්ගගත වීඩියෝ සම්මන්ත්‍රණය (online Summit) සංවිධාන කර තිබිණි. 2019 – 2022 කාලපරිච්ඡේදය සඳහා නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ සභාපතිධූරය හොබවන අසර්බයිජාන් ජනරජයේ ජනාධිපති ඊලම් අලියෙව් (Ilam Aliyev) මහතා සමුළුවේ මුලසුන හෙබවීය. 

ජනාධිපතිවරු 19 දෙනෙක්, ෙඋප ජනාධිපතිවරයෙක්, අගමැතිවරු 06 දෙනෙක්, නියෝජ්‍ය අගමැතිවරයෙක් සහ විදේශ අමාත්‍යවරු 08 දෙනෙක් ඇතුළු රටවල් 40ක නියෝජිතයෝ සමුළුව ඇමතූහ. “COVID 19 ට එරෙහිව එක්සත්ව” (United Against COVID) යන්න සමුළුවේ තේමාව විය

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 74 වන සැසිවාරයේ සභාපති ටිජ්ජානි මහමුද් බණ්ඩේ (Tijjani Muhammad-Bande) ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයිසස් (Tedros Adhanom Ghebreyesus) යන මහත්වරුද අන්තර්ජාල NAM සමුළුවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.9 ට 17 වන දේශකයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමුළුව ඇමතීය.
COVID 19 වසංගතය පරාජය කිරීමට එකිනෙකා සතු අත්දැකීම් සහ හැකියාවන් මෙන්ම උගත් පාඩම් බෙදාගැනීමට සාමූහික ගෝලීය ක්‍රියාමාර්ගයක් සඳහා නොබැඳි සමුළුව වැදගත් වේදිකාවක් බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය. වසංගතය මර්දනයට ඉදිරි පෙරමුණේ සේවය කරන සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ වෙනත් අත්‍යාවශ්‍ය සේවක පිරිස් දක්වන කැපවීම සහ පරිත්‍යාගශීලි ගුණය පිළිබඳව ජනාධිපතිතුමා සිය ප්‍රසාදය පළ කර සිටියේය.

COVID 19 වසංගතය පාලනය කිරීමටත්, ක්‍රමයෙන් තුරන් කිරීමටත් ශ්‍රී ලංකාව සමත්වී ඇත. PCR පරීක්ෂණවලින් රෝගීන් බවට සනාථ වී ඇත්තේ 3% කි. මරණ අනුපාතය 0.97% ක් වේ. ආරක්ෂක හමුදා නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම, රෝගීන් හඳුනාගැනීමට රාජ්‍ය බුද්ධි අංශ යෙදවීම, පොලිසීය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂවරු ආසාධිතයන් ඇසුරු කළ අය හඳුනාගැනීමට යෙදවීම පාලනයට බෙහෙවින් ඉවහල් වූ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

වසංගතය හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් පෙර නොවූ විරූ පරිමාණයේ ආර්ථික හා ණය අර්බුදයකට ගොදුරු වී ඇති බව කනස්සලයෙන් යුතුව සදහන් කරන බව ජනාධිපතිතුමා පැවසීය. අවදානමට මුහුණ පා ඇති රටවලට ණය සහන සහ වඩා පුළුල් මූල්‍ය ප්‍රතිපාදන සපයන ලෙස අන්තර්ජාතික මූල්‍ය ආයතන සහ ආධාර සපයන රටවල් වෙත ගෝලීය ආයාචනයක් කළයුතු බවත් ඊට ශ්‍රී ලංකාව ද එක්වන බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය.

COVID 19 වසංගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇති අත්දැකීම් සහ එය පාලනය කිරීමේදී අත්කරගත් ජයග්‍රහණ සාමාජික ජාතීන් සමග බෙදා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා සමුළුව අමතමින් පැවසීය

කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමය අනුව ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව දෙවන වටයේ ගෙවීම ඇරඹේ.

2020 අප්‍රේල් මස ඉහත දීමනා ලැබූ ස්ථාවර ප්‍රතිලාභී ලේඛනය, ප්‍රමුඛතා ලේඛනය හා ග්‍රාමීය කමිටු විසින් නිර්දේශ කරනු ලැබූ ප්‍රතිලාභී ලේඛනය යන ලේඛනවල ඇතුළත් ප්‍රතිලාභීන්ට දීමනාව ගෙවනු ලැබේ.

දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්ගේ මගපෙන්වීම යටතේ අදාළ ග්‍රාම නිලධාරීන් ප්‍රතිලාභීන්ගේ නිවාස වෙතම ගොස් දීමනාව ගෙවනු ඇත.

දීමනාව ගෙවීම් 2020 මැයි 11 වැනිදා ආරම්භ කර 2020 මැයි 15 වැනි දින අවසන් කිරීමට නියමිතය.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවති සාකච්ඡාවේදී පහත සඳහන් පරිදි ගෙවීම් කිරීමට තීරණය කෙරිණ.

i  වැඩිහිටි දීමනාව                

ii සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව      {  ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින්

iii ආබාධිත දීමනාව                              

iv  වකුගඩු රෝගී දීමනාව       { ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය මගින්

v  ගොවි විශ්‍රාම වැටුප    

vi ධීවර විශ්‍රාම වැටුප            {   ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින්

වැඩිහිටි දීමනාව, සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව සහ වකුගඩු රෝගී ප්‍රතිලාභීන් වෙත දීමනාව ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත සපයනු ලැබේ.

ගොවි විශ්‍රාම වැටුප හා ධීවර විශ්‍රාම වැටුප හිමි ප්‍රතිලාභීන්ට දීමනා ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය විසින් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය වෙත ලබා දෙනු ඇත.

 
 

වැඩිදුර පැහැදිළි කිරීම.

  • ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ කුමන දිස්ත්‍රික්කවල කුමන වේලාවන්හි ද ?
  • කොළඹ, ගම්පහ, කළුතරසහපුත්තලමදිස්ත්‍රික්කවලනැවතදැනුම්දෙනතුරුඇඳිරිනීතියක්‍රියාත්මකවපවතී.
  • සෙසුදිස්ත්‍රික්කවලඅද (04) සිටමැයි 06, බදාදා තෙක් රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා. මේදිස්ත්‍රික්කවලමැයි 06 බදාදා,රාත්‍රී00 ටපනවනුලබනඇඳිරිනීතියමැයි 11 සඳුදාඅලුයම 5.00 දක්වාබලපවත්වයි.
  • ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම පටන් ගන්නේ කවදා ද ?
  • කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම ආරම්භ වන්නේ මැයි 11 සඳුදා සිට,
  • මේ වැඩපිළිවෙළ අද (04) සිට ආරම්භ කිරීමට කලින් සැලසුම් කළද මේ සතියේ නිවාඩු දින 04 ක් යෙදී තිබීම නිසා මැයි 11 ට වෙනස් කෙරිණ.
  • ජනජීවිතයයථාතත්ත්වයටපත්කිරීමේමූලිකකාර්යයන්සිදුවන්නේ
    කෙළෙසද?
  • කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන මැයි 11 සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතුය.
  • ඒ සඳහා දැන් සිටම සැලසුම් සකසන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
  • ආයතන විවෘත කොට පවත්වාගෙන යාමේ දී කොරෝනා වෛරසය පාලනය සඳහා නිර්දේශිත සෞඛ්‍ය මාර්ගෝපදේශ මුළුමනින් පිළිපදින බවට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුය.
  • පෞද්ගලික අංශයේ ආයතන උදේ 10.00 ට විවෘත කළ යුතු බව නියම කර ඇත.
  • දෙඅංශයේම ආයතනවල සේවයට කැඳවන සේවකයන් සංඛ්‍යාව ආදිය තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට පැවරේ.
  • ගමනා ගමන මණ්ඩල බස් රථවල හා දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ රැකියා සඳහා යන අයට සීමා කෙරේ. 
    • ඇඳිරි නීතිය තිබියදී නිවෙස්වලින් බැහැර යාමට අවසර ඇත්තේ කුමන කාර්යයන් සඳහා ද?
    • අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළයුතු අය හැර සෙසු ජනයා රෝග නිවාරණයට සහාය වනු පිණිස නිවෙස්වලම රැඳී සිටින්නැයි ඉල්ලීමක් කෙරේ.
    • නිවසින් බැහැර යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි.
    • ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවසින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ කුමන ප්‍රදේශවලට ද ?කවදා සිට ද ?
    • ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණි.
    • මැයි 11 සඳුදා සිට
    • ඇඳිරි නීතිය ලිහිල් කළ විට එය අදාළ නැත.

    ඇඳිරි නීතිය ලිහිල් කළද ඉහත උපදෙස් පිළිපදිමින් ජනයා අනවශ්‍ය ලෙස ඒකරාශී වීමෙන් වැළකී සිටිනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

    ඇඳිරිනීතියතිබියදී,ආර්ථිකසහජනජීවිතයයථාතත්වයටපත්කිරීම සිදුවනඅතර වෛරස ව්‍යාප්තිය වළක්වා ගනු පිණිස ජනයා ඒකරාශීවීම පාලනය කිරීම මේ විධිවිධාන වල ප්‍රධාන අරමුණකි.

    උක්ත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කලින් නිවේදනවල ඇතුළත් කොන්දේසි නෙවෙනස්ව පවතී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටට සහ ජනතාවට සෙත් පතා ඊයේ (02) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ආගමික වතාවත්හි නිරත විය.

අනුරාධපුර පුද බිමට පැමිණි ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

රුවන්වැලි මහා සෑ රදුන් අබියස අද උදෑසන පැවති කිරි අහාර පූජාවට ද එක් වූ ජනාධිපතිතුමා ආගමික වතාවත්හි ද නිරත වෙමින්  රටටත්, ජනතාවටත් සෙත් පැතිය.  සෑ රදුන් අබියස විශේෂ සෙත් පිරිත් සජ්ජායනාවක් ද සිදු කෙරිණ.

රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේ සමගද සුහද පිළිසඳරක නිරත විය.

මිරිසවැටිය රාජමහා විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිකාරී ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක ස්වාමින් වහන්සේ බැහැ දුටුවේය.

කොරෝනා මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව රාජපක්ෂ මැතිතුමා උන්වහන්සේ දැනුවත් කළේය. එම වැඩපිළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරන බව මිරිසවැටිය විහාරාධිපති හිමියෝ සඳහන් කළහ.

අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම් වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමය අනුව හිමිවන රුපියල් පන්දහසේ දීමනාව මැයි මාසය සඳහාත් ගෙවනු ලැබේ.

මැයි මස දීමනාව ගෙවීම හෙට ඇරඹෙන අතර වෙසක් පුර පොහොයට පෙර ගෙවා නිම කෙරේ. වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා මාර්තු මස සිට පුද්ගලයෙකුට රුපියල් පන්දහස බැඟින් ගෙවීමට ජනාධිපතිතුමා විසින් තීරණය කරනු ලැබීය.

මේ කණ්ඩායම්වලට අයත් මුල් ලේඛනවල නම් සඳහන් අයට සේම පොරොත්තු ලේඛනවල නම් සඳහන් අයටද දීමනාව හිමි වෙයි.

මැයි මාසය සඳහා විශ්‍රාම වැටුප් ගෙවීම හෙට ආරම්භ කොට පොහොය දිනයට පෙර අවසන් කරනු ලැබේ.

කොරෝනා වෛරසය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ සහ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ත්‍රෛනිකායික මහා සංඝරත්නය දැනුවත් කළේය.

කොරෝනා වෛරසය පාලනය, නිරෝධායන ක්‍රියාවලිය, ජනතාවට දුන් සහන සහ ඉදිරියේ දී දේශීය ආර්ථිකය ගොඩනැගීමට ගෙන ඇති තීරණ ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

රට මුහුණ දී ඇති අභියෝග හමුවේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මෙන්ම සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළු සියලු පාර්ශ්වයන් දුන් සහාය අතිමහත් බව ජනාධිපතිතුමා කියා සිටියේය.

තමාට විශිෂ්ට ජනවරමක් දෙමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටු කිරීමේ දී ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපතිතුමා අභිනව පාර්ලිමේන්තුවක් කැඳවීම විනා පැරණි පාර්ලිමේන්තුව කැඳවීමේ බලයක් ව්‍යවස්ථානුකූලව නොමැති බව ද පෙන්වා දුන්නේය.

සෑම මසකම තුන්වැනි සතියේ සිකුරාදා මහා සංඝරත්නය හමුවීමට තමා අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා ත්‍රෛනිකායික මහා සංඝරත්නයට ඇරයුම් කළේය.  ජනාධිපති ධූරයේ දිවුරුම් දෙමින් රුවන්වැලි සෑය අභියසදී මෙන්ම ජනාධිපති ධූරයේ වැඩභාරගනිමින් තමා ප්‍රකාශ කළ පරිදි මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ මගපෙන්වීම ඉතසිතින් අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය.

සමස්ත  මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළට  හිමිවන බව මෙහිදී අදහස් දැක්වූ ත්‍රෛනිකායික නායක හිමිවරු සඳහන් කළහ.

පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවා රට උභතෝකෝටික තත්ත්වයකට පත් නොකළ යුතු බවත්, පරණ පාර්ලිමේන්තුව නොකැඳවීම මහා සංඝරත්නයේ ඒකමතික තීරණය බවත් මහා සංඝරත්නය අවධාරණය කළහ.

පැවති පාර්ලිමේන්තුවරටේ වත්මන් මූල්‍ය අර්බුදයට වගකිවයුතු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ පැවසූහ.

වෛරසය මර්දනයට සහ  රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් ජනාධිපතිතුමා ගෙන යන ක්‍රියාමාර්ග දෙස අවධානය යොමු කිරීමේ දී නව චින්තනයක් රට තුළ ක්‍රියාත්මක බව දිස් වෙයි. එය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට “සෞභාග්‍යයේ චින්තනය” මැයෙන් එකතුවිය යුතු උප නියැදියක් වශයෙන් ගතයුතු බව අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක පූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද හිමියෝ කියා සිටියහ.

කොරෝනා වෛරසය මර්දනයේදී ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළෙන් ලොව සෙසු රටවලට ද පාඩමක් උගත හැකි බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ  පැවසූහ. රටේ තරුණ පරපුර සහ විවිධ කණ්ඩායම් නව නිර්මාණ රැසක් සිදුකර ඇත. එය ඉදිරි අනාගතයට මග පෙන්වන ස්වර්ණමය අවස්ථාවක් බවත්, ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට මහා සංඝරත්නය නිරන්තරයෙන් ශක්තියක් වන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මාතෘ භූමිය ආරක්ෂා කරගැනීමට ඉවහල් වන කරුණු 12ක් ඇතුළත් යෝජනාවලියක් ඉදිරිපත් කළහ.

මෙවර වෙසක් උත්සවය  විද්‍යුත් මාධ්‍ය උපයෝගී කර ගනිමින් නිවසේ සිට සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමේ වැදගත්කම ආචාර්ය පූජ්‍ය දිවියගහ යසස්සි  සහ මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ද  හිමිවරු පෙන්වා දුන්හ. ඒ සඳහා කමිටුවක් පත් කිරීමට ද තීරණය කෙරිණ.

යාචක පිරිසට ද උණු බත් කෑමට අවස්ථාව සලසමින් සියලු ජනතාවගේ කුසගින්න නිවීමට ජනාධිපතිතුමා ගත් ක්‍රියාමාර්ග මහා සංඝරත්නයේ ප්‍රශංසාවට නිතැතින්ම ලක්වන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියෝ පැවසූහ.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් මහානායක හිමිවරු සහ අනුනායක හිමිවරු ඇතුළු ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවට වැඩම කර සිටියහ

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා අළුයම 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00ට යළි පනවනු ලැබේ. ඉන් පසු මැයි 01, සිකුරාදා දක්වා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන ඇඳිරි නීතිය තිබුණ ද මැයි 04වනදා සිට විවෘත කොට පවත්වාගෙන යාමට හැකිවන පරිදි අදාළ නීති රීති ලිහිල් කරනු ලැබේ.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ආදී රාජ්‍ය ආයතන සේම පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා, ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාර, සේවා ස්ථාන, එළවළු, මාලු සහ සිල්ලර වෙළෙඳසැල් පවත්වාගෙන යාමට අවසර ඇත.

පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළ යුතු වේලාව උදේ 10.00 ලෙස නියම කර තිබේ. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන ප්‍රධානීන් මැයි 04 සිට සිය කාර්යාල සහ සේවා ස්ථානවල ක්‍රියාකාරිත්වය කෙසේ විය යුතු ද යන්න ලබන සතිය තුළ සැලසුම් කළයුතුය.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ මුළු සේවක සංඛ්‍යාවෙන් 1/3ක් පමණි. යම් ආයතනයකින් සැලසෙන සේවය කෙතරම් අත්‍යාවශ්‍ය එකක් වුව ද ඒ සඳහා අවශ්‍ය අවම සේවක සංඛ්‍යාව පමණක් කැඳවීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුය.

සියලු රාජ්‍ය ආයතනවල සේවයට වාර්තා නොකරන නිලධාරීන්ට නිවසේ සිට වැඩකරන ලෙස නියම කෙරේ‍. එක් එක් ආයතනයේ සේවයට වාර්තා කළයුත්තේ කුමන සේවකයන් ද, නිවසේ සිට වැඩකළයුත්තේ කුමන සේවකයන් ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට පිළිවන. යම් දවසක, කාර්ය මණ්ඩලයෙන් සේවයට කැඳවන 1/3ක පිරිස වෙනුවට ඊළග දවසේ වෙනත් පිරිසක් තෝරා ගැනීමට ආයතන ප්‍රධානීන්ට නිදහස තිබේ.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනයා අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල රැස්වීම නතර කළයුතුව තිබේ.

ගමනා ගමන මණ්ඩල බස් රථවල හා දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සඳහා යන එන අයට පමණක් සීමා කෙරේ. අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළ යුතු අය හැර සෙසු ජනයා නිවෙස්වල රැඳී සිටිය යුතුය.
කවරකු හෝ නිවසෙන් බැහැර යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි. එවැනි භාණ්ඩ මිලදී ගැනීමට තම ප්‍රදේශයේ පිහිටි පා ගමනින් ගොස් ළගා විය හැකි ආසන්නතම වෙළෙඳ සැල පමණක් තෝරාගත යුතුය.

අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමිනි.
ඒ අනුව සඳුදා දවස්වල බැහැරයාමට ඉඩ ලැබෙන්නේ අංක 1 හෝ 2 ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස ඇති අයට පමණි.

සතියේ ඉතිරි දවස්වල නිවසින් බැහැර යාමට ඉඩ ලැබෙන්නේ මෙසේය.
අඟහරුවාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය
බදාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 5 හෝ 6 ඇති අය
බ්‍රහස්පතින්දා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 7 හෝ 8 ඇති අය
සිකුරාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 9 හෝ 0 ඇති අය

කාර්යාල විවෘත කොට පවත්වාගෙන යාමේදීත්, මගී ප්‍රවාහනයේදීත්, වෙළෙඳ සැල්වලත් කොරෝනා පාලන සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතුය. විෂබීජ හරණය, මුඛ ආවරණ පැළඳීම සහ විටින් විට අත් සේදීම සහ සමාජ දුරස්ථතාව පවත්වා ගැනීම ඊට අයත්ය. කවරකු හෝ ඉහත සඳහන් නියමයන් කඩ කරන්නේදැයි පොලීසිය සහ ආරක්ෂක හමුදා දැඩි සෝදිසියෙන් සිටිනු ඇත.

දිස්ත්‍රික්ක අතර ගමනාගමනය, රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර ඇත. පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පංති, සෙසු අධ්‍යාපන ආයතන සහ සිනමා හල් නැවත දැනුම්දෙන තුරු වසා තැබිය යුතුය.
ඇඳිරි නීතිය ලිහිල් කර ඇති දිස්ත්‍රික්කයක යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනා ගතහොත් එකී ප්‍රදේශවලට සීමාවන පරිදි දවස පුරා ඇඳිරි නීතිය පැනවීමට ඉඩ ඇත. කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත්නම් කවරකුට හෝ ඊට ඇතුළුවීම සහ ඉන් පිටවයාම සම්පූර්ණයෙන් තහනම් වේ.

සියලු ආකාර උත්සව, වන්දනා, විනෝද චාරිකා, සැණකෙළි, පෙරහර, රැස්වීම් ආදිය නැවත දැනුම්දෙන තුරු තහනම් කර ඇත. ජනයා ඒකරාශීවීම වෛරස ව්‍යාප්තිය පාලනයට බාධාවක් බැවින් ආගමික උත්සව ද අත්හිටුවන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට ජන ජීවිතය පවත්වාගෙන යනු පිණිස අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා අඛණ්ඩව සැපයීමට රජය හඳුන්වාදුන් ක්‍රියාමාර්ග වඩාත් ශක්තිමත්ව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට විධිවිධාන සලසා තිබේ.
කොරෝනා උවදුරෙන් ජනතාව මුදාගෙන ඔවුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහ අභිවෘද්ධිය සැලසීමට නම් වසංගතය මුළුමනින්ම පාලනය කළයුතුය. අඩාල වූ ආර්ථික ජීවිතය ඊට සමගාමීව යළි පණ ගැන්වීම අවශ්‍යයෙන්ම කළයුතුව තිබේ. මේ අරමුණු සපුරාගත හැක්කේ වෛරසය පාලනයට ජනතාවගේ සහයෝගය ලැබෙන්නේ නම් පමණි.

වසංගතයේ බියකරුබව තේරුම්ගෙන සෑමවිටම නිවෙස්වල රැඳී සිටීමත්, නිර්දේශිත සෞඛ්‍ය පිළිවෙත් 100% පිළිපැදීමත් ජනතාවට දිය හැකි සහයෝගය බව රජය කියා සිටී.
තමාගේත්, දූ දරුවන්ගේත්, ජාතියේත් ආරක්ෂාව හා අභිවෘද්ධිය පතා සියලු අපහසුතා වගකීමෙන් ඉවසා සිටින්නැයි රජය ජනතාවට අවධාරණය කරයි. සමාජයේ යහපතට බාධාවන අයුරින් හැසිරෙන කවරකුට වුවද පවතින නීති යටතේ උපරිම දඩුවම් පමුණුවනු ලැබේ.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ  COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 848 ඉක්මවයි.

පේරාදෙණිය, ගැටඹේ‍ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල හිමියෝ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දුන්හ.

ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනය රුපියල් මිලියන 10ක්, ජේ.එච්.එම්.ටී. අබේසිංහ මහතා සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය රුපියල් මිලියනය බැගින්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් මිලියන 5.4ක්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම රුපියල් මිලියන 6.2ක් සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය රුපියල් ලක්ෂ 05 ක් අරමුදලට පරිත්‍යාග කළහ.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ  අංක 85737373 දරණ  විශේෂ ගිණුමට  පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට  හැක.

වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය හෙට, අප්‍රේල් 16 බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කර සවස 4.00ට යළි පනවනු ඇත. එම දිස්ත්‍රික්කවලට සවස 4.00 ට යළි පැනවෙන ඇඳිරී නීතිය අප්‍රේල් 20 වන සඳුදා පෙ.ව 6.00 තෙක් බලපැවැත්වේ.

20 වනදා උදේ 6.00න් පසු ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම පිළිබඳව පසුව දැනුම් දෙනු ලැබේ. කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙනි.

එබැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. භාණ්ඩ මිලදී ගැනීම් ඉතාමත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයන්ට පමණක් සීමා කරන ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින ලෙසත් අවධාරණය කෙරේ.

අලුත් අවුරුදු පණිවුඩය

දේශයේ අසිරිමත් මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද රටවැසි සියලූ ජනතාවට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි මෙන්ම නිරෝගීමත් කාලපරිච්ජේදයක් වේවා යි මම ප්‍රාර්ථනා කරමි.

වාර්ෂික සූර්ය සංක්‍රාන්තියත් සමග එළඹෙන අලුත් අවුරුද්ද සංතෘෂ්ටියේත්, සාමූහිකත්වයේත්, අන්‍යොන්‍ය සබඳතා වර්ධනයේත් සමය ලෙස හැඳින්වේ. එසේ වුවද අනපේක්ෂිත ලෙස ලොව පුරා පැතිර ගිය රෝග කාරකයක් අපේ මාතෘ භූමියට ද පිවිසීම නිසා මුතුන් මිත්තන්ගේ සමයෙහි පවා නොඇසූ තරමේ ආපදාවකට අපි දැන් මුහුණ පා සිටිමු.

එහෙයින් සාමූහික උත්සව මෙවර පැවැත්විය නොහැකි වන්නේ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාව සෞඛ්‍ය විශේෂඥයන් විසින් දැඩිව අවධාරණය කර ඇති බැවිනි. රටට සහ ජාතියට එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ස්වේච්ඡාවෙන් ඒකරාශී වන ජනතාවක් ලෙස මේ උත්සව සමයේදී ද සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් රෝග කාරකය
පැතිර යාම වැළැක්වීමට කැපවන මෙන් ඔබගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

සොබාදහමේ සුන්දරත්වයෙන් පැහැපත් වන අලුත් අවුරුදු සමය, මිනිසා පරිසරය සහ ස්වභාවධර්මය වන්දනා කිරීමේ උළෙලකි. දැන් අප එළැඹ සිටින්නේ සොබාදහම සමග බද්ධ වීමේ අවශ්‍යතාව වඩාත් දැනෙන මෙහොතකය.

චිරාත් කාලයක් තිස්සේ අප ඉමහත් ගෞරවයෙන් සහ උනන්දුවෙන් ඉටු කළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, විශේෂයෙන් සුභ මොහොතට නිවැසියන් සියලු දෙනා එක්ව ලිප ගිනි මෙලවීම, කිරි ඉතිරවීම, නැකතට ආහාර අනුභවය සහ සාම්ප්‍රදායික ගණුදෙනු ආදිය පවුලේ අය පමණක් එක්ව සිදු කිරීමට මෙවර කටයුතු කිරීම සුදුසුය.

අලුත් අවුරුදු සතුටෙහි සැබෑ හිමිකරුවන් අපේ කුඩා දූ පුතුන්ය. මෙවර අලුත් අවුරුදු සැණකෙලිවලට සීමා පැනවී ඇති නමුදු දරුවන්ට අවුරුදු සතුට භුක්ති විඳීමට අප අවස්ථාව සැලසිය යුතුය. එබැවින්, ඔබ නිවසේ රැඳී සිටිමින් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කොට දරුවනට අවුරුදු අසිරිය විඳ ගැනීමට ඉඩ දෙන මෙන් මම සෙනෙහසින් ඔබට සිහිපත් කරමි. ජනතාවත්, රටත් මුහුණපා ඇති වසංගත උවදුර ජයගැනීමට තිර අධිෂ්ඨානයෙන් අත්වැල්
බැඳගැනීම අපේ අලුත් අවුරුදු ප්‍රාර්ථනා අතරට එක් කර ගනිමු.

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !

​ ගෝඨාභය රාජපක්ෂ
2020 අප්‍රේල් මස 12 වන දින

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter