නවතම පුවත්

නවවන මංගල පාර්ලිමේන්තු සැසිවාරය හෙට (20) පෙ.ව. 09.30ට ආරම්භ වීමට නියමිත වන අතර ඒ සදහා මේ වන විට සියලු කටයුතු සූදානම්ව ඇතැයි පාර්ලිමේන්තු කාර්යය මණ්ඩල ප්‍රධානී, නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා අද (19) දින රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් පැවසුවේය. හෙට උදේ 09.30 ට ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නමවෙනි පාර්ලිමේන්තුව කැදවීම සිදුවන අතර කතානායක, නියෝජ්‍ය කතානායක, අන්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,සභානායක,කාරක සභා ආදී තනතුරු රැසක් එහිදී තෝරා පත්කර ගැනීමට නියමිතය. කතා නායක ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ගේ නිල දිවුරුම සහ ප්‍රතිඥාව සිදුකර ඉන්පසු ඔවුන් විසින් පාර්ලිමේන්තු ලේඛණයේ අත්සන් තැබීමද සිදුවනු ඇත. ඉන්පසු පාර්ලිමේන්තුවේ කටයුතු මදකට අත්හිටුවා පස්වරු 03 ට යළි පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි. එහිදී පළමු මංගල රැස්වීම උත්සවාකාරයෙන් පැවැත්වීම සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවද නීල් ඉද්දවල මහතා පැවසුවේය. එමෙන්ම හෙට පැවැත්වීමට නියමිත පළමු මංගල රැස්වීමෙහි පෙරහුරුවක් අද දින පැවැත්වෙන බවත් නියෝජ්‍ය මහලේකම්වරයා පැවසුවේය. වෙනදා පැවැත්වෙන ආචාර වෙඩිමුර, හමුදා උත්තමාචාර ආදිය මෙවර නොපැවැත්වන නමුත් අභිමානය නොඅඩුව විදහා පාමින් මෙවර සංස්කෘතියට මුල්තැනක් දෙමින් නැටුම් කණ්ඩායම් සහ බෙරකරුවන්ගෙන් හැඩවන අතර පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව අසළ ජයමංගල ගාථා ගයමින් පිළිගැනීමේ කටයුතු සිදුකිරීමට නියමිතය. ජනාධිපතිතුමන් විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (20)දින කියවීම සිදුකරන අතර ඒ සම්බන්ධව හෙට දින විවාදයක්ද පැවැත්වෙනු ඇත. පාර්ලිමේන්තු සභාගර්භය තුළ උදය වරුවේ වම්පස විපක්ෂයද, දකුණු පස ආණ්ඩු පක්ෂයද වශයෙන් අසුන් ගැනීමට නියමිත වන අතර සවස් භාගයේ ජ්‍යෙෂ්ඨත්වය අනූව ආසන පිළිගැන්වෙනු ඇත. එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බල පක්ෂය වෙනුවෙන් හිස්ව ඇති ආසන දෙක තවදුරටත් හිස්ව පවතින බවත් මේ දක්වා එම ආසන වෙනුවෙන් කිසිම තීරණයක් ගෙන නැති බවත් ඉතිරි ආසන 223ම සූදානම් බවත් නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා කියා සිටියේය. රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරීපත්වී දැනට බන්ධනාගාරගතව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාගේ ආසන පැනවීම පිළිපදව කළ විමසීමේදී නියෝජ්‍ය මහලේකම්වරයා කියා සිටියේ ඔහුගේ නම ගැසට් කර ඇති බවත්, අධිකරණ තීන්දුව මත ඒ මහතා හට ආසන පැනවීම සම්බන්ධව තීරණය කිරීමට නියමිත බවයි. කෝවිඩ් මාර්ගෝපදේශ අනූව සභාගර්භය තුළ සියලුදෙනා හැසිරීම අනිවාර්ය වන අතර, මුඛ ආවරණ පැළදීම, මීටරයේ දුර පවත්වා ගැනීම සිදුකළ යුතු අතර සියලුදෙනා සෞඛ්‍ය උපදේශ අනූව සෞඛ්‍යාරක්ෂිත ලෙස කටයුතු කිරීමට වගබලාගත යුතු අතර කණ්ඩායම් සාකච්ඡා කිසි ලෙසකින් හෝ නොපැවැත්විය යුතු බවද නීල් මහතා වැඩිදුරටත් අවදාරණය කළේය. මේ වන විට නව රජයේ 9 වෙනි මංගල පාර්ලිමේන්තුව සදහා කටයුතු සූදානම්ව ඇති බවද ඒ මහතා පැවසුවේය.

පළමු පියවර ලෙස මගීන්ට හොඳ මානසිකත්වයකින් බස් රථයේ හෝ දුම්රියේ ගමන් කිරීමට පසුබිම සකසමින් ප්‍රවාහන සේවාව නගාසිටුවීම අරඹන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලධාරීන්ට කියා සිටී.

“ඉතා කුඩා ආරම්භයකින් ලොකු වෙනසක් කරන්න පිළිවන්. බස් රථය සෝදා පිරිසිදු කර මගීන්ට අසුන්ගෙන යාමට සැලසීම හෙටම පටන් ගන්න”  ජනාධිපතිතුමා උපදෙස් දෙයි.

පෝස්ටර් ඇලවීම නතර කිරීමට ගත් කුඩා තීරණයෙන් රටේ සියලු නගර පවිත්‍රව තබා ගැනීමට හැකි වූ බව පෙන්වා දෙන ජනාධිපතිතුමා සෑම ක්ෂේත්‍රයකම සංවර්ධනය ඉතා කුඩා තැනකින් ඇරඹිය හැකි බව පවසයි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (18) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

මෝටර් රථයෙන් පැමිණ එය නතර කොට තබා බස් රථයෙන් සේවා ස්ථානයට ගමන් කිරීමේ ක්‍රමය (Park & drive) කඩිනමින් ක්‍රියාත්මක කර මාර්ග තදබදය විසඳීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. ගමනා ගමන මණ්ඩලය බස් ධාවනය සේවාවක් ලෙස පවත්වාගෙන ගියද පාඩු නොලබන ආයතනයක් විය යුතුයැයි එතුමා කීය. ග්‍රාමීය ප්‍රදේශවල බස් රථ ධාවනය පිළිබඳව  රජයේ සහ පෞද්ගලික දෙඅංශයම අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.

“දුම්රිය සහ බස් රථ ඒකාබද්ධ සේවා සහ බස් රථ ඒකාබද්ධ ධාවන කාලසටහන නොපමාව පටන් ගන්න. ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා මූලිකව විසඳුම් දිය යුතු ක්ෂේත්‍ර හඳුනාගැනීම අවශ්‍යයි. ඉදිරි පස් වසර තුළ ප්‍රවාහන සේවාව නගාසිටුවීමට දිගු සහ කෙටිකාලීන සැලසුම් සකස් කළ යුතුයි. නියම කරගත් ඉලක්ක වෙත ළගා වෙනවාද යන්න විමර්ශනය කිරීම ඉතා වැදගත්” ජනාධිපතිතුමා පැවසීය.

ජනතාවට වඩා හොඳ සේවාවක් සැලසිය හැකි පරිදි දුම්රිය මැදිරි අළුත්වැඩියා කිරීමට ද තීරණය කෙරිණ. කොළඹ කොටුව සහ තවත් දුම්රිය ස්ථාන 04ක් ආදර්ශයක් ලෙස කඩිනමින් නවීකරණය කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කීය.

දුම්රිය සංඛ්‍යාව වැඩි කිරීමෙන් වැඩි පිරිසකට කැලණිය වැලි දුම්රියෙන් ගමන් කිරීමට හැකි වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ගමනාගමන මණ්ඩලයට අයත් පුහුණු සහ නඩත්තු ආයතනවල සේවය පෞද්ගලික අංශයට ද විවෘත කිරීමෙන්  ලාභ ඉපැයීමට ඇති හැකියාව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් පෙන්වා දෙනු ලැබීය.

කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවාවක් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයටම පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය කඩිනමින් හඳුන්වාදීමට තීරණය කෙරිණ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දූෂණ සහ අක්‍රමිකතාවන්ගෙන් තොර ආයතනයක් බවට පත් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

හොඳ තත්ත්වයේ ඇති සාමාන්‍ය බස් රථ අධිවේගී මාර්ගයේ ධාවනයට එක් කිරීමෙන් අඩු මුදලකට මගීන් විශාල පිරිසකට ගමන් පහසුකම් සැලසීමේ හැකියාව ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, ප්‍රවාහන ලේකම් එන්.බී. මොන්ටි රණතුංග යන මහත්වරු සහ ප්‍රවාහන අමාත්‍යාංශය සහ රාජ්‍ය අමාත්‍යාංශ යටතේ ඇති ආයතන ප්‍රධානීහූ, පෞද්ගලික බස් සංගම් නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන, ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩනැගීම අරමුණු කොට ගෙන මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය සමාලෝචනය ආරම්භ කරමින් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදනය විෂය කොට රාජ්‍ය අමාත්‍යාංශයක් නිර්මාණය කිරීමට හේතු  ජනාධිපතිතුමා විසින් පැහැදිළි කරනු ලැබීය.

කොවිඩ් 19ත් සමග දැඩි අර්බුදයකට  මුහුණ පා ඇති සෙසු රටවල් යථා තත්ත්වයට පත් වන තෙක් දේශීය ආර්ථිකය දියුණු නොකර ඉදිරියට යා නොහැකි බව ජනාධිපතිතුමා පැවසීය.

ඇඟළුම් කර්මාන්තය රටේ සමස්ත අපනයනයෙන් 43%ක් නියෝජනය කරයි. අපනයන ආදායමට වාර්ෂිකව ඉන් එක්කරන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 05ක් පමණ වේ. රැකියා සැපයීමේ දී සහ ප්‍රාදේශීය සංවර්ධනයේ දී  ඇඟළුම් කර්මාන්තය පුරෝගාමී මෙහෙවරක් ඉටු කරයි. එය ශක්තිමත් කරමින් බතික් සහ අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදනය දියුණු කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බව ජනාධිපතිතුමා කීය.

බතික් සහ අත්යන්ත්‍ර කර්මාන්තය නඟාසිටුවිමට සියලු අංශ ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කරන ලෙසද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. එය සාර්ථක කර ගැනීමෙන් ඉදිරි පස් වසර තුළ ඇගළුම් නිෂ්පාදකයන්ට ඉහළ ස්ථාවරත්වයක් අත්කරගත හැකි බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.

“සළු සළ” වැනි ආයතන මගින් බතික් සහ අත්යන්ත්‍ර රෙදි පිළි නිෂ්පාදකයාට වෙළෙඳ පොළක් සකසා දිය හැකි බවද එතුමා පෙන්වා දුන්නේය.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, භණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු හා බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් කර්මාන්තය ආශ්‍රිත ආයතන ප්‍රධානීහු සහ ව්‍යවසායකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 35 ක අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන ජගත් පී. විජේවීර මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ‍අද (17) දින ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ලේකම්වරයා අවධාරණය කළේ රජයේ හොරණෑවක් නොවී සමාජ සංවර්ධනය සහ ජනතා සුබසිද්ධිය උදෙසා සියලු මාධ්‍ය ආයතන ක්‍රියාකළ යුතු බවයි.  මාධ්‍ය තුළ යම් පිරිහීමක් දක්නට ලැබුණද ඒවා නිවැරදි කර සියලු මාධ්‍ය ආයතන ලාභ උපයන, ආර්ථික, අධ්‍යාපනික ක්ෂේත්‍ර ප්‍රවර්ධනයට සහ සමාජ  සංස්කෘතික යහපැවැත්ම සඳහා දායකත්වය සපයන තත්වයට පත්කළ යුතු බව ද ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.

කැළණිය විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය හදාරා ඇති විජේවීර මහතා, ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙක් ද වේ.

සිය වෘත්තීය ජීවිතය තුළ රාජ්‍ය අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු රැසක විවිධ ධූරයන් හොබවා ඇති ජගත් පී. විජේවීර මහතා නිතීය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙසද, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මෙන්ම වෙනත් රාජ්‍ය ආයතන රැසකම සේවය කර අත්දැකීම් බහුල නිලධාරියෙකි. ජගත් පී. විජේවීර මහතා අවසන්වරට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී. සත්කුමාර මහතා, අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) එච්. හේවගේ මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යංශයට අනුබද්ධ ආයතනවල ආයතන ප්‍රධානීන් රැසක්  ද සහභාගි විය.

සැප්තැම්බර් 02 වැනිදා සිට ක්‍රියාත්මක එක්ලක්ෂ පනස්දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක්වෙයි. සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන් හදාරා ඇති විෂය මාලාව අනුව අදාළ ක්ෂේත්‍රයේ රැකියා සඳහා යෙදවීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. අඩු ආදායම්ලාභී රැකියා ලක්ෂයට සුදුස්සන් තෝරා ගැනීමේදී සෑම ග්‍රාම සේවා වසමකම දරිද්‍රතාවයෙන් ඉහළම පිරිස තෝරා ගැනීමට පියවර ගත යුතුයැයි ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය. රැකියා එක්ලක්ෂ පනස්දහසේ වැඩසටහනේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ අද (17) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදි ජනාධිපතිතුමා මේ බව පැවසීය. රාජ්‍ය සේවයේ ඇති දුර්වලතා සහ අඩු පාඩු මග හැරෙන ලෙස රැකියාගත පුහුණුවක් ලබාදීමේ (on the Job Training) අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. පෞද්ගලික අංශයේ පුහුණුව සඳහා ද අනුයුක්ත කෙරේ. නායකත්වය, ඉලක්ක සපුරා ගැනීම, විශ්වාසී හැඟීම යන කරුණුවල ප්‍රමුඛතාව වසරක පුහුණු කාලයට එක්කර ගත යුතුයැයි ද ජනාධිපතිතුමා කීය. නව රාජ්‍ය අමාත්‍යාංශවල ඉලක්ක සුපරා ගැනීමටද උපාධිධාරී රැකියාලාභින් යොමු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. මහ මැතිවරණය වෙනුවෙන් දිස්ත්‍රීක්ක රැසක කල චාරිකාවේදී බොහෝ පිරිස් පාසැල්වල ඇති ගුරු හිඟය පිළිබදව ජනාධිපතිතුමා දැනුවත් කළහ. නව පත්වීම්ලාභීන් ඒ සදහා පත්කිරීමට ද තීරණය කෙරිණ. රැකියා ලක්ෂය සදහා තෝරා ගැනෙන අඩු ආදායම්ලාභීන් වෘත්තීන් 24ක ඇති පුරප්පාඩු සඳහා යොමු කෙරේ. ඔවුනට පුහුණුව ලබාදීම ආධුනිකත්ව මණ්ඩලය සිදු කරයි. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, රාජ්‍ය සේවා, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් නන්ද මල්ලවආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ

තැපැල් සේවා හා ජනමාධ්යවේදී වෘත්තීය සංවර්ධන රාජ්ය අමාත්යා සදාසිවම් වියාලේන්ද්රන් මහතා අද(14) එම ධූරයේ වැඩභාරගත් අවස්ථාව
 

මහ මැතිවරණය නිසා නතර කෙරුණු, එක්ලක්ෂ පනස් දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි.

රැකියා පනස් දහසක් රැකියා විරහිත උපාධිධාරීන් සඳහා වෙන් කෙරේ. ඉතිරි රැකියා ලක්ෂයට සුදුස්සන් තෝරා ගනුයේ සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලිනි.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ගිය වසරේ නොවැම්බර් මස ධූරයට පත්වී සති කිහිපයක් ඇතුළත උපාධිධාරීන් 50,000ක් සහ අඩු ආදායම්ලාභීන් 100,000ක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සැලසුම් කෙරිණ.

උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවා සුදුස්සන් තෝරා ගැනීම පෙබරවාරි මස මුල් සතියේ ආරම්භ කරනු ලැබීය.  අඩු ආදායම්ලාභී ලක්ෂයක් දෙනා සේවා නියුක්ත කිරීම පිණිස බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායක් ස්ථාපනය කෙරිණ. ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම වැඩසටහනේ පරමාර්ථය විය.

2020 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රැකියා එක්ලක්ෂ පනස්දහසේ වැඩසටහන අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නියම කළේය. එබැවින් වැඩසටහන අත්හිටුවන ලදී. අගෝස්තු 05 මහ මැතිවරණය අවසන් වූ විගස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 08 වැනි පරිච්ඡේදයේ විධිවිධාන ප්‍රකාර විධායකය ස්ථාපනය කිරීමට ජනාධිපතිතුමා විසින් පියවර ගන්නා ලදී.

ජනරජයේ අභිනව අග්‍රාමාත්‍යවරයා අගෝස්තු 09 වැනිදා ධූරයේ දිවුරුම් දුන්නේය. පසුදා අග්‍රාමාත්‍ය ලේකම්වරයා පත් කෙරිණ. මැතිවරණයෙන් සතියකට පසු එනම් අගෝස්තු 12 වැනිදා කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දුන්හ. අමාත්‍යාංශ ලේකම්වරු ඊයේ (13) පත් කරනු ලැබූහ. නව පාර්ලිමේන්තු සභා වාරය ලබන බ්‍රහස්පතින්දා (20) උත්සවශ්‍රීයෙන් ඇරඹේ.

පාලන තන්ත්‍රය විධිමත් පරිදි ස්ථපානය කිරීමෙන් පසු රැකියා එක්ලක්ෂ පනස්දහසේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණය කළේය. රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය ලබන ඉරිදා (16) ජනාධිපති කාර්යාලයීය වෙබ් අඩවියේ පල කරනු ලැබේ. තෝරා ගනු ලැබූවවන්ට ලිපි යැවීම සඳුදා (17) ඇරඹේ. පත්වීම්ලාභීන් සැප්තැම්බර් 01 දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතුය. සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගේ නම් ලේඛනයේ ඇතුළත්ව නැත්නම් ජනාධිපති කාර්යාලයෙන් විමසීමට පිළිවන.

තෝරාගත් අඩු ආදායම්ලාභී ලක්ෂය රැකියා නියුක්ත කිරීම ඒ සඳහාම ස්ථාපිත කාර්ය සාධක බලකාය විසින් සැප්තැම්බර් 01දා සිට ක්‍රියාත්මක කරනු ලැබේ.

ජනමාධ්‍ය අමාත්‍ය පදවිය වරප්‍රසාදයකට වඩා වගකීමක් ලෙස සලකන බවත්, මීට පෙරද ජනමාධ්‍යෙව්දීන් සමග සුහදශීලීව සහ වගකීම් සහගත ලෙස එම කාර්යය ඉටුකළ ආකාරයෙන්ම ඉදිරියේදී ද කටයුතු කරන බවත් නව ජනමාධ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පෙරවරුවේ අමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කරමින් පැවැසීය.

රාජ්‍ය මාධ්‍ය සමබර සහ වගකිවයුතු මාධ්‍යයක් බවට පත්කිරීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා රාජ්‍ය මාධ්‍යය ද පෞද්ගලික මාධ්‍ය සමග තරඟකාරීව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් ව්‍යාලේන්ද්‍රන් මහතා පවසා සිටියේ තැපැල් සේවා මෙන්ම ජනමාධ්‍යවේදීන්ගේ අවශ්‍යතා ඉටුකිරීමට ඉදිරියේදී තමන් බලාපොරොත්තු වන බවත්, සියලු මාධ්‍යවේදීන්ට තිබෙන ඉඩම් සහ නිවාස ගැටළුව විසඳීමට අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර  ඉදිරියේදී කටයුතු කරන බවත් ය.

මෙම මාධ්‍ය හමුවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී. සත්කුමාර මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල ප්‍රධානීන් රැසක් සහභාගි විය.

නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා පත් කෙරුණු ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.

නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

  • ඩබ්.එම්.ඩි.ජේ. ප්‍රනාන්දු මහතා – අමාත්‍ය මණ්ඩල ලේකම්
  • ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා – මහාමාර්ග අමාත්‍යාංශය
  • එස්.ආර්. ආටිගල මහතා – මුදල් අමාත්‍යාංශය
  • ජේ.ජේ. රත්නසිරි මහතා – රාජ්‍ය සේවා, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය
  • ජගත් පී.විජේවීර මහතා – ජනමාධ්‍ය අමාත්‍යාංශය
  • රවින්ද්‍ර හේවාවිතාරණ මහතා – වැවිලි අමාත්‍යාංශය
  • අනුර දිසානායක මහතා – වාරිමාර්ග අමාත්‍යාංශය
  • ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතා – කර්මාන්ත අමාත්‍යාංශය
  • වසන්තා පෙරේරා මහත්මිය – විදුලිබල අමාත්‍යාංශය
  • එස්. හෙට්ටිආරච්චි මහතා – සංචාරක අමාත්‍යාංශය
  • ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා – ඉඩම් අමාත්‍යාංශය
  • එන්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා – කම්කරු අමාත්‍යාංශය
  • ආර්.එම්.අයි. රත්නායක මහත්මිය – ධීවර අමාත්‍යාංශය
  • මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා – ආරක්ෂක අමාත්‍යාංශය
  • එම්.කේ.බී. හරිස්චන්ද්‍ර මහතා – වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
  • එන්.බී. මොන්ටි රණතුංග මහතා – ප්‍රවාහන අමාත්‍යාංශය
  • ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා – ජලසම්පාදන අමාත්‍යාංශය
  • ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය – වෙළෙඳ අමාත්‍යාංශය
  • මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා – සෞඛ්‍ය අමාත්‍යාංශය
  • මේජර් ජනරාල් (විශ්‍රාමික) ඒ.කේ. සුමේධ පෙරේරා මහතා – කෘෂිකර්ම අමාත්‍යාංශය
  • අනුරාධ විජේකෝන් මහතා – තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය
  • කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය – බලශක්ති අමාත්‍යාංශය
  • අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ මහතා – විදේශ අමාත්‍යාංශය
  • වෛද්‍ය අනිල් ජාසිංහ මහතා –  පරිසර අමාත්‍යාංශය
  • මහාචාර්ය කපිල පෙරේරා මහතා – අධ්‍යාපන අමාත්‍යාංශය
  • සිරිනිමල් පෙරේරා මහතා – නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය
 
 

නව රජයේ තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය ඇමතිවරයා ලෙස සතාසිවම් වියලේන්ද්‍ර මහතා පත් වෙයි.

අද(12) දින ඵෙතිහාසික මහනුවර මඟුල් මඩුවේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියලේන්ද්‍රන් මහතා දිවුරුම් දෙන ලදී.

2015 වර්ෂයේ තමිල් අරසු කච්චි පක්ෂයෙන් මඩකළපුව දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුවට තේරී පත් වු සතාසිවම් විලේන්ද්‍රන් මහතා මෙවර ද මඩකළපු දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ කොට ඡන්ද 22,210 ක් ලබා ගෙන පාර්ලිමේන්තුවට තේරි පත් විය.

පසුගිය දින 52 රජයේ දි අගමැති වු මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වමින් නැගෙනහිර පළාතේ සංවර්ධන නියෝජ්‍ය ඇමතිධුරය ද හෙබ වූවේය..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙති.

දිවුරුම්දීම අද (12) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේදී සිදු විය.

අනාගතයේදී අපේක්ෂා කරන සෞභාග්‍යවත් දේශය ගොඩනැගීම සඳහා කැපවන කාර්යශූර අමාත්‍ය මණ්ඩලයක අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් පෙන්වා දී තිබිණ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව සහ යතාර්ථවාදීව  අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය සැලසුම් කර තිබේ. අමාත්‍යාංශය ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ.

අභිනව කැබිනට් මණ්ඩලයට අග්‍රාමාත්‍යතුමා ඇතුළුව 25 දෙනෙක් අයත් වෙති. රාජ්‍ය අමාත්‍යවරුන් ගණන  39කි.  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ලෙස 23 දෙනෙක් පත් කරනු ලැබ සිටිති.

මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර නව අමාත්‍ය මණ්ඩලයට හා තේරිපත් වූ මන්ත්‍රිවරුන්ට ආශිර්වාද පළ කළහ.

දිස්ත්‍රික් කමිටු සභාපතිවරු වෙත පත්වීම් ප්‍රදානය ජනාධිපතිතුමා අතින් ප්‍රථමයෙන් සිදු කෙරිණ.

  • ප්‍රදීප් උදුගොඩ මහතා – කොළඹ දිස්ත්‍රික්කය
  • සහන් ප්‍රදීප් විතාන මහතා – ගම්පහ දිස්ත්‍රික්කය
  • සංජීව එදිරිමාන්න මහතා – කළුතර දිස්ත්‍රික්කය
  • වසන්ත යාපා බණ්ඩාර මහතා – මහනුවර දිස්ත්‍රික්කය
  • එන්. නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා – මාතලේ දිස්ත්‍රික්කය
  • එස්.බී. දිසානායක මහතා – නුවරඑළිය දිස්ත්‍රික්කය
  • සම්පත් අතුකෝරළ මහතා – ගාල්ල දිස්ත්‍රික්කය
  • නිපුණ රණවක මහතා – මාතර දිස්ත්‍රික්කය
  • උපුල් ගලප්පත්ති මහතා – හම්බන්තොට දිස්ත්‍රික්කය
  • අංගජන් රාමනාදන් මහතා – යාපනය දිස්ත්‍රික්කය

 

  • ඩග්ලස් දේවානන්ද මහතා –           කිලිනොච්චිය දිස්ත්‍රික්කය
  • කේ. දිලීප මහතා – වව්නියාව දිස්ත්‍රික්කය
  • කේ. කාදර් මස්තාන් මහතා – මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කය
  • ඩී. වීරසිංහ මහතා – අම්පාර දිස්ත්‍රික්කය
  • කපිල අතුකෝරල මහතා – ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
  • ගුණපාල රත්නසේකර මහතා – කුරුණෑගල දිස්ත්‍රික්කය
  • අශෝක ප්‍රියන්ත මහතා – පුත්තලම දිස්ත්‍රික්කය
  • එච්. නන්දනසේන මහතා – අනුරාධපුර දිස්ත්‍රික්කය
  • අමරකීර්ති අතුකෝරළ මහතා – පොළොන්නරුව දිස්ත්‍රික්කය
  • සුදර්ශන දෙනිපිටිය මහතා – බදුල්ල දිස්ත්‍රික්කය
  • කුමාරසිරි රත්නායක මහතා – මොණරාගල දිස්ත්‍රික්කය
  • අකිල එල්ලාවල මහතා – රත්නපුරය දිස්ත්‍රික්කය
  • රාජිකා වික්‍රමසිංහ මහත්මිය – කෑගල්ල දිස්ත්‍රික්කය

නව රාජ්‍ය අමාත්‍යවරු

  • චමල් රාජපක්ෂ මහතා – අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ
  • පියංකර ජයරත්න මහතා – විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙදපොළ විවිධාංගීකරණ
  • දුමින්ද දිසානායක මහතා – සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන
  • දයාසිරි ජයසේකර මහතා -බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන
  • ලසන්ත අලගියවන්න මහතා – සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ
  • සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මිය -බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන
  • අරුන්දික ප්‍රනාන්දු මහතා -පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත
    කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ
  • නිමල් ලන්සා මහතා -ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම්
  • ජයන්ත සමරවීර මහතා -ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම්
    බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන
  • රොෂාන් රණසිංහ මහතා -ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා
    දේපළ සංවර්ධන
  • කනක හේරත් මහතා -සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා
    තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන
  • විදුර වික්‍රමනායක මහතා – ජාතික උරුම, ප්‍රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු
  • ජානක වක්කුඹුර මහතා -උක්, බඩඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා
    වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන
  • විජිත බේරුගොඩ මහතා – දහම්පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල
  • ෂෙහාන් සේමසිංහ මහතා – සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන
    හා ඌණ උපයෝජන , රාජ්‍ය සම්පත් සංවර්ධන
  • මොහාන් ද සිල්වා – පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමි නාශක
    භාවිත නියාමන
  • ලොහාන් රත්වත්තේ මහතා – මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත
  • දිලුම් අමුණුගම මහතා – වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර්
    රථ කර්මාන්ත
  • විමලවීර දිසානායක මහතා – වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත
    වැඩපිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත්
    සංවර්ධන
  • තාරක බාලසූරිය මහතා – කලාපීය සහයෝගිතා කටයුතු
  • ඉන්දික අනුරුද්ධ මහතා – ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත
    ප්‍රවර්ධන
  • කංචන විජේසේකර මහතා – විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය
    සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන
  • සනත් නිශාන්ත මහතා – ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන
  • සිරිපාල ගම්ලත් මහතා – මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම්
    සංවර්ධන
  • සරත් වීරසේකර මහතා – පලාත් සභා හා පළාත් පාලන කටයුතු
  • අනුරාධ ජයරත්න මහතා -ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන
  • සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා -තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන
  • තේනුක විදානගමගේ මහතා – ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන
  • සිසිර ජයකොඩි මහතා – දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා
    ප්‍රජා සෞඛ්‍ය
  • පියල් නිශාන්ත ද සිල්වා මහතා – කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන,
    පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා
  • ප්‍රසන්න රණවිර මහතා – වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන
  • ඩී.වී. චානක මහතා – ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන
  • ඩී.බී. හේරත් මහතා – පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත
    කර්මාන්ත
  • ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා – වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූණු හා
    අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික
    කෘෂිකර්ම
  • නාලක ගොඩහේවා මහතා – නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරවීම හා
    ප්‍රජා පවිත්‍රතා කටයුතු
  • ජීවන් තොණ්ඩමන් මහතා – වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්
  • අජිත් නිවාඩ් කබ්රාල් මහතා – මුදල් හා ප්‍රාග්ධන වෙළෙදපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ
  • සීතා අරඹේපොළ මහත්මිය – නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්
  • චන්න ජයසුමන මහතා – ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන

කැබිනට් අමාත්‍යවරු

  • අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා – ආරක්ෂක
  • මහින්ද රාජපක්ෂ මැතිතු මා – මුදල්
  • මහින්ද රාජපක්ෂ මැතිතුමා – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
  • මහින්ද රාජපක්ෂ මැතිතු මා – නාගරික සංවර්ධනය හා නිවාස
  • නිමල් සිරිපාල ද සිල්වා මහතා – කම්කරු
  • ජී.එල්. පීරිස් මහතා – අධ්‍යාපන
  • පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය – සෞඛ්‍ය
  • දිනේෂ් ගුණවර්ධන මහතා – විදේශ
  • ඩග්ලස් දේවානන්ද මහතා – ධීවර
  • ගාමිණි ලොකුගේ මහතා – ප්‍රවාහන
  • බන්දුල ගුණවර්ධන මහතා – වෙළෙඳ
  • ආර්.එම්.සී.බී. රත්නායක මහතා -වනජීවි හා වන සංරක්ෂණ
  • ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා – රාජ්‍ය සේවා, පළාත් සභා හා පලාත් පාලන
  • කෙහෙළිය රඹුක්වැල්ල මහතා – ජනමාධ්‍ය
  • චමල් රාජපක්ෂ මහතා – වාරිමාර්ග
  • ඩලස් අලහප්පෙරුම මහතා – විදුලිබල
  • ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා – මහාමාර්ග
  • විමල් වීරවංශ මහතා – කර්මාන්ත
  • මහින්ද අමරවීර මහතා – පරිසර
  • එස්.එම්. චන්ද්‍ර සේන මහතා – ඉඩම්
  • මහින්දානන්ද අළුත්ගමගේ මහතා –  කෘෂිකර්ම
  • වාසුදේව නානායක්කාර මහතා – ජලසම්පාදන
  • උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා – බලශක්ති
  • රමේෂ් පතිරණ මහතා – වැවිලි
  • ප්‍රසන්න රණතුංග මහතා – සංචාරක
  • රෝහිත අබේගුණවර්ධන මහතා – වරාය හා නාවික
  • නාමල් රාජපක්ෂ මහතා – තරුණ හා ක්‍රීඩා
  • අලී සබ්‍රි මහතා – අධිකරණ

දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ප්‍රමුඛ නව අමාත්‍ය මණ්ඩලය දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්හ.

දළදා මාළිගා පරිශ්‍රයේ පත්තිරුප්පුව ඉදිරිපිට සමූහ ඡායාරූපයට පෙනී සිටීමෙන් පසුව උත්සවයේ කටයුතු සමාප්ත විය.

නව රජයේ ගරු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා අමාත්‍ය ධූරයේ වැඩ බාරගැනීම හෙට (බ්‍රහස්පතින්දා) පෙරවරු 8.30 ට කොළඹ 05, පොල්හේන්ගොඩ පිහිටි ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී සිදුකෙරේ.

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මීට පෙර ද ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වරයෙක් ලෙසත් කටයුතු කර ඇති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් වේ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter