නවතම පුවත්

අගමැති මහින්ද රාජපක්ෂ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහත්වරු අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ ද්විපාර්ශ්වික සමුළුවක් පෙරේදා (26) පැවැත්විණි. අගමැතිවරයා සමඟ විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන හා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටි අයුරු.

ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක් වෙයි.

මහා සහ සුළු පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහාම ආරම්භ කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

අද (28) පෙරවරුවේ දංකොටුව, කර්මාන්තපුරයේ Dankotuwa Textile Mill (pvt) ltd, කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial  (pvt) ltd සහ වත්තල Creative Textile Mill (pvt) ltd ආයතන නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා මේ බව පැවසීය.

පාසල් නිල ඇඳුම් සදහා ක්‍රියාත්මක කළ කූපන් ක්‍රමයත් සමග විශාල ප්‍රාග්ධනයක් වැය කොට පටන් ගත් ආයතන කිහිපයක් වසා දැමීමට සිදු වූ බව කර්මාන්තකරුවෝ පවසති.  විශාල පිරිසකට රැකියා අහිමි විය.

දංකොටුව කර්මාන්තයේ පුරයේ පිහිටුවා ඇති Creative Textile Mill (pvt) ltd ආයතනය ප්‍රථමයෙන් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ. රුපියල් මිලියන 2000ක ආයෝජනයකින් ස්ථාපිත කර්මාන්ත ආයතනය 2015 වසරේ සිට වසා තැබිණි. කිසිදු ආදායමක් නොලැබුණද වසරකට රුපියල් මිලියන 08ක බැංකු පොළියක් ගෙවීමට හිමිකරුට සිදුව තිබේ.

Creative Textile ආයතනය ඉන්දියාව, පාකිස්ථානය සහ චීනය යන රටවලින් නූල් ආනයනය කොට රෙදි නිෂ්පාදනය කිරීමෙන් 500 දෙනෙකුට රැකියා සපයා ඇත. එහි නිෂ්පාදන ධාරිතාව දිනකට රෙදි මීටර් ලක්ෂය දක්වා වැඩිකිරීමට අපේක්ෂා කෙරේ.  වාර්ෂික පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව මීටර් මිලියන 11කි.

රෙදි නිෂ්පාදනය කඩිනමින් යළි ඇරඹීමට ආයතන කළමනාකාරිත්වය දිරි ගැන්වූ ජනාධිපතිතුමා  ස්වයං රැකියාවක් ලෙස රෙදි නිෂ්පාදනයේ නිරත පිරිසට ද පාසල් රෙදි සැපයුමට අවස්ථාව සැලසීම ගැන සොයා බලන්නැයි පැවසීය.

දේශීය රෙදි නිෂ්පාදනය වැඩි කිරීමෙන් ආනයන පිරිවැය 68%කින් ඉතිරිකර ගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. දේශීය රෙදි මිලට ගැනීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්ෂිකව රුපියල් මිලියන 80කට අධික මුදලක් ඉතිරිකරගත හැකි බව ද අනාවරණය විය.

ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සහ ජනතාව දංකොටුව, කර්මාන්තපුරය ආශ්‍රිතව ඉදිරිපත් කළ ගැටළු පිළිබඳව ද ජනාධිපතිතුමා අවධානය යොමු කළේය.

2015ට පෙර පාසල් නිල රෙදි අවශ්‍යතාවෙන් 40%ක දායකත්වයක් දුන් කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial  (pvt) ltd ආයතනය දැන් ඇඳ ඇතිරිලි සහ තුවා නිෂ්පාදනයේ නිරතව සිටි. ආයතනයේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා  දේශීය වෙළෙඳපොළහි රෙදි අවශ්‍යතාව සපුරාලීමට ධාරිතාව වැඩි කරන්නැයි ආයතන කළමනකාරිත්වය දිරි ගැන්වීය. තම ආයතනයට ද පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 30%ක් සම්පාදනය කළ හැකි බව කළමනාකාරිත්වය සඳහන්

Dankotuwa Textile Mill (pvt) ltd ආයතනයේම ශාඛාවක් වන වත්තල ක්ලිප්ටෙක්ස් Creative Textile Mill (pvt) ltd ආයතන ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. ත්‍රිවිධ හමුදාවේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි එහි නිෂ්පාදනය කෙරේ. 1500ක පමණ පිරිසක් සේවය කරති. ආරක්ෂක අංශවලට අවශ්‍ය පරිදි රෙදි වර්ණ ගැන්වීම ආයතනයේ මූලික කාර්යයකි. ආනයනික රෙදි පරීක්ෂා නොකරන අතර, දේශීය රෙදි නිෂ්පාදන පරීක්ෂණවලට යොමු කිරීමේ දී විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව කළමනාකරිත්වය ජනාධිපතිතුමාට කීය.

රෙදි සෝදන කුඩු වර්ග නිසි නියාමනයකට ලක් නොවන බව පෙන්වා දුන් ඕව්හු එමගින් රෙදිවල වර්ණයට විශාල හානියක් වන බව පැවසූහ. රජය දේශීය කර්මාන්තකරුවන්ට දෙන සහය ප්‍රයෝජනයට ගෙන දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොළ දිනා ගැනීමට උත්සුක වන්නැයි ජනාධිපතිතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ ආයතනය නිෂ්පාදනය කරන ජාතික සහ බෞද්ධ කොඩි නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ඉල්ලුමට අවශ්‍ය පරිදි රට තුළ නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගන්නැයි හිමිකරුවනට දැනුම් දුන්නේය.

අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ජනාධිපතිතුමා සමග නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියේය.

අනාගත ලොවට වැඩදායී, ආර්ථිකයට සහ සංවර්ධනයට දායක විය හැකි පුරවැසියෙකු බිහි කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

විශ්වවිද්‍යාලය හුදෙක් උපාධි ප්‍රදානය කරන ආයතනයක් නොවිය යුතුය. රටට, ආර්ථිකයට මෙන්ම උපාධි ලාභියාටද ඉන් ප්‍රතිලාභ අත් විය යුතු බව  ජනාධිපතිතුමා පෙන්වා දෙයි.  ප්‍රායෝගික අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය දෙමින් නව විෂය නිර්දේශ කඩිනමින් හඳුන්වා දෙන්නැයි එතුමා අධ්‍යාපන බලධාරීන්ට කියා සිටී.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (24) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

රටට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වසර ගණනාවකින් සිදු නොවීම වත්මන් රැකියා වෙළෙඳපොළ ගැටළුවලට හේතු වී ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේය. රට තුළ සහ අන්තර්ජාතිකව විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් පුරප්පාඩුව පවතී. එහෙත් ඊට අවශ්‍ය ශ්‍රම බලකාය අධ්‍යාපන ක්‍රමය විසින් බිහිකර නැත.

“රටේ අනාගත පරපුර ඵලදායී පුරවැසියන් බවට පත් කිරීමටනම් ඔවුන් නව දැනුමෙන්, කුසලතාවෙන් සහ නිපුණතාවෙන් පෝෂණය කිරීම අවශ්‍යයෙන්ම කළ යුත්තක්. තරුණ තරුණියන්ට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අතරමං වීමට ඉඩ නොතබා පෙර පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරන තෙක් පැහැදිළි මාර්ග සැලැස්මක් සකස් කළ යුතුය. එමගින් තාක්ෂණික අධ්‍යාපන අවස්ථා වැඩි කිරීමටත්, අධ්‍යාපන ක්‍රියාවලිය තුළ තාක්ෂණ  භාවිතය පුළුල් කිරීමටත් පිළිවන්.අධ්‍යාපනයට අදාළ සියලු ආයතන එක අමාත්‍යාංශයක් යටතට ගත්තේ මේ අරමුණ සපුරා ගැනීමට”, ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජාති, ආගම් බේදයකින් තොරව සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන අවස්ථාවක් දීම  අනිවාර්යය වන අතර, රටට ඔබින ඵලදායී පුරවැසියෙකු බිහි කිරීම  රජයේ වගකීමකැයි ජනාධිපතිතුමා පැවසීය.

අධ්‍යාපනය මඟ හැරුණු දරුවාට, වයස් සීමාවකින් තොරව නැවත  අපේක්ෂිත අධ්‍යාපන ඉලක්ක වෙත ළග වීමට නව ප්‍රතිසංස්කරණයෙන් පසුබිම සකස් විය යුතුය. විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතු යැයි ජනාධිපතිතුමා යෝජනා කළේය.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන සියලු සිසුන්ට උපාධිය දක්වා යාමට අවශ්‍ය වැඩපිළිවෙළක් සේම උපාධිධාරියා රැකියාවක් ඉල්ලා පාරට නොබසින, රැකියා වෙළෙඳපොළ උපාධිධාරියා සොයා එන අධ්‍යාපන ක්‍රමයක කඩිනම් අවශ්‍යතාව දීර්ඝ සාකච්ඡාවට ලක් කෙරිණ.

ඉදිරි වසරේ දී විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා සංඛ්‍යාව 31,000 සිට 41,000 දක්වා වැඩි කර තිබේ.  විවෘත විශ්ව විද්‍යාලයට වැඩිපුර ඇතුළත් කර ගන්නා සංඛ්‍යාව දස දහසකි. තොරතුරු තාක්ෂණ උපාධිය හැදෑරීම පිණිස දස දහසක් බඳවා ගැනීමට සැලසුම් කර ඇත. විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමේ දී සංවර්ධිත රටවල් අනුගමනය කරන විශ්ව විද්‍යාලයටම ආවේණික ක්‍රමයක් සැකසීම කෙරෙහි ද සාකච්ඡාවේදී අවධානය යොමු විය.

දැනටමත් කෙටුම්පත් කර ඇති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කඩිනමින්  සංවාදයට යොමු කර ක්‍රියාවට නැංවීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

අමාත්‍ය ජී.එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු,  කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛිය ආයතනවල ප්‍රධානීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් රටක භෞතික දියුණුවට සමගාමීව අනාගතයට දායාද කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

ශ්‍රී ලංකාව ගුණ දහමින් පොහොසත් රටක් බවට පත්ව ඇත්තේ බුදු දහම ප්‍රමුඛස්ථානයේ තබා ගනිමින් සෙසු ආගම් උගන්වන ආගමික සහජීවනය නිසා බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

දහම් පාසල් සහ පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය ඔස්සේ සාරධර්ම හා ගුණධර්ම පිරි ගමන් මගකට ශක්තිමත් අඩිතාලමක් දැමිය හැකි බව ජනාධිපතිතුමා කියා සිටී.

දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

චිරාත් කාලයක් සාමකාමීව සහ සහජීවනයෙන් ජීවත් වූ ශ්‍රී ලාංකේය සමාජය තුළ අන්තවාදයෙන් තොර සැබෑ දහම් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා සෑම ආගමකම ලියාපදිංචි දහම්පාසල්වල අඩු පාඩු සම්පූර්ණ කිරීමටත්, නියාමනයටත් රාජ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම සිදු විය යුතුයැයි ජනාධිපතිතුමා අවධාරණය කළේය.

දහම් පාසල් ගුරුවරුන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් ඔවුන් දිරි ගැන්වීමට කළ හැකි දේ සොයා බලා ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය.

විශ්ව විද්‍යාලවලට සහ රැකියාවලට බඳවා ගැනීමේ දී ධර්මාචාර්ය සහතිකයට වටිනාකමක් දීමේ හැකියාව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ. පිරිවෙන් සහ දහම්පාසල් පෙළ පොත් නැවත සංස්කරණයේ  අවශ්‍යතාව සහ පිරිවෙන් ගුරුවරුන් ලෙස සිටි පිරිස් මෙවර උපාධිධාරී රැකියා පත්වීම් ලබා ඇත්නම් ඔවුන් සේවය කළ පිරිවෙන්වලටම පත් කිරීම කෙරෙහි අවධානය යොමු විය.

භික්ෂුන් වහන්සේගේ ඉංග්‍රීසි, පරිගණක සහ තාක්ෂණික දැනුම වර්ධනය කිරීමට, පිරිවෙන් ගුරුවරුන්ගේ පත්වීම්, වැටුප් සහ දීමනා ගැටළු නිරාකරණයට සැලසුම් සහ යෝජනා  ඉදිරිපත් කරන්නැයි  ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පිරිවෙන්වලට සංවර්ධන නිලධාරියෙකු සහ සුළු සේවකයින් රැකියා ලක්ෂයේ සහ උපාධිධාරී රැකියා වැඩසටහන යටතේ යොමු කිරීමටත් අවධානය යොමු විය.

පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කරමින් මහා සංඝරත්නය සහ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු සහ නිලධාරිහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

අපනයන සංවර්ධන සභාව වසර 28කට පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙයි.

1979 අපනයන සංවර්ධන පනතින් “අපනයන සංවර්ධන සභාව” ස්ථාපනය කෙරිණ. අපනයන කරුවන් ශක්තිමත් කර ක්ෂේත්‍රයේ ගැටළු විසඳීම ඉන් අපේක්ෂා කරනු ලැබීය. ප්‍රතිපත්ති සම්පාදනය, අනුමැතිය සහ නිර්දේශ දීම අපනයන සංවර්ධන සභාවට අයත් කාර්යන්ය.

රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ අපනයන ක්ෂේත්‍ර සංවර්ධනය කොට, ගෝලීය වෙළෙඳපොළ ජය ගනිමින් ජනතා කේන්ද්‍රීය ආර්ථයක් ගොඩනැගීම වේගවත් කිරීම සභාවේ විෂය පථයට අයත් බව  ජනාධිපතිතුමා සඳහන් කරයි.

අපනයන සංවර්ධන සභාව යළි සක්‍රීය කරමින් පළමු හමුව අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

පනත ප්‍රකාර සභාපති ධූරය ජනාධිපතිතුමාට හිමි වේ. ක්ෂේත්‍රයේ ගැටළු විසඳමින් ගත යුතු ඉදිරි පියවර සමාලෝචනයට අපනයන සංවර්ධන සභාව මසකට වරක් රැස්විය යුතු බව යෝජනා කෙරිණ.

අපනයනකරුවන්ට නව වෙළෙදපොළ අවස්ථා උදාකර දීම සඳහා අපනයන සංවර්ධන සභාවට පැවරී ඇති වගකීම අවධාරණය කළ ජනාධිපතිතුමා ඒ ඒ රටවල අවශ්‍යතා අනුව අපනයන ක්ෂේත්‍රයේ විවිධාංගීකරණයක අවශ්‍යතාව පැහැදිළි කළේය.

අත්සන් කර  ඇති ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් බොහොමයක් රටට හිතකර නැත.  රටට වාසිදායක සහ වැඩි ප්‍රතිලාභ අත්කරගත හැකි අන්දමින්  මේ ගිවිසුම් කඩිනමින් සමාලෝචනය කිරීමේ අවශ්‍යතාව  ජනාධිපතිතුමා අවධාරණය කළේය.

අපනයන ක්ෂේත්‍රයේ ගැටළු විසඳීම සහ එහි ප්‍රගමනය උදෙසා ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය කඩිනමින් සංශෝධනයට සහ නව්‍යකරණයට ලක් කිරීමේ අවශ්‍යතාව ද එතුමා විසින් පෙන්වා දෙනු ලැබීය.

ගොවීන්ගේ  ප්‍රාථමික නිෂ්පාදන අපනයන වෙළෙඳ පොළට ගැළපෙන පරිදි ප්‍රවර්ධනය කිරීම පිණිස අපනයන නිෂ්පාදන ගම්මාන ස්ථාපනය ද සාකච්ඡාවට ලක් විය.

ප්‍රතිඅපනයනය නිසා පසුගිය යුගයේ  අපනයන ක්ෂේත්‍රයට සිදු වූ හානිය බරපතළය. ගොවියාගේ නිෂ්පාදකයාගේ සහ මෙරටට ආවේණික ඉහළ ගුණාත්මක අගයෙන් ඉහළ බෝගවල සුරක්ෂිතතාව තහවුරු වන අයුරින් ප්‍රති අපනයන සකස් විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

අගය එකතු කළ නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය ඉහළම ප්‍රමිතියකින් සහ මනා අධීක්ෂණයෙන් විය යුතුය.

ලෝක වෙළෙඳ පොළේ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනයටත්, ආයෝජකයන් ආකර්ශණය කර ගැනීමටත් උද්යෝගයෙන් ක්‍රියාකරන්නැයි තමා පෞද්ගලිකවම  තානාපතිවරුන්ට උපදෙස් දී ඇතැයි ජනාධිපතිතුමා කීය.

ඉදිරියේ දී  සපුරාගත යුතු ඉලක්ක  සියලුදෙනාට නියම කරන බව කී එතුමා තානාපති කාර්යාලවල සිටින වෙළෙඳ ප්‍රවර්ධන නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

ගුවන් තොටුපොළ පහසුකම් පුළුල් කර ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් උදෙසා ආකර්ශණීය පසුබිමක්  සැකසීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පෙන්වා දෙනු ලැබීය.

අපනයනකරුවන් අධෛර්යමත් කරන අනවශ්‍ය නීති රීති ඉවත් කළයුතු යැයි   ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා, විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, ප්‍රසන්න රණවීර, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු සහ  ආයතන රැසක ප්‍රධානිහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • පළමු හමුව හල්දුම්මුල්ලේ : ගැටළු කියන්නැයි ජනතාවට ඇරයුම් …

ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටළු ඝෘජුවම හඳුනාගෙන නොපමාව විසඳුම් දීම පිණිස ගමින් ගම චාරිකා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සැලසුම් කර තිබේ.

ජනතාව පීඩාවට පත්කරන ප්‍රශ්න සියැසින් දැක ඔවුන්ගේ දුක් ගැනවිලි  තමාම ශ්‍රවණය කොට නිවැරදි අවබෝධයක් ලබා ගනිමින් සහන සැලසීම එතුමාගේ අපේක්ෂාවයි.

ප්‍රථම චාරිකාව සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තෝරාගෙන ඇත. ජන හමුව හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න විද්‍යාලයේ දී ලබන සිකුරාදා (25) උදේ 10.00 ට ඇරඹේ.

ගම්බද ජනතාව බොහෝ කල් නොවිසඳී ඇති ආර්ථික හා සාමාජයීය ගැටළු නිසා දුෂ්කරතා පිරි ජීවිතයක් ගත කරන බව ජනාධිපතිතුමා ජනාධිපතිවරණ සහ මහමැතිවරණ සමයේ රට පුරාම පාහේ කළ චාරිකාවලදී පසක් විය. ජීවනෝපාය ගැටළු, ඉඩම් හා නිවාස හිඟය, ඉඩම්වලට නිරවුල් ඔප්පු නොතිබීම, සෞඛ්‍ය සහ ප්‍රවාහන සේවා ප්‍රමාණවත් නොවීම, දරුවන්ගේ අධ්‍යාපන ගැටළු සහ පාසල් අඩු පාඩු, වගා සහ පානීය ජල හිඟය,  වන අලි ගම්වැදීම, කෘෂි නිෂ්පාදන අළෙවි කර ගැනීමේ අපහසුව එසේ හඳුනාගත් ප්‍රශ්න අතර ප්‍රධාන තැනක් ගනී.

ගම්බද ජනතාවට ඇති දුෂ්කරතා අවබෝධ කොටගෙන ඒවා කඩිනමින් විසඳීමට සහය විය යුතු රාජ්‍ය ආයතනවල උදාසීනතාව සහ අකාර්යක්ෂමතාව තවත් මුල් පෙළේ ගැටළුවකි.

ජනාධිපතිතුමාගේ ග්‍රාම නිරීක්ෂණ චාරිකා සංවිධාන කෙරෙන්නේ ජනතාවට ප්‍රමුඛත්වය දෙමිනි. වැය කරන මුදල හැකි අවම මට්ටමේ තබා ගැනේ. නිලධාරී කණ්ඩායම් කොළඹින් ගෙන යන්නේ නැත. ජන ගැටළු විසඳීමේ දී ප්‍රදේශයේ නිලධාරිහූ පමණක් සහභාගි කර ගැනෙති. ජන හමුවලට පැමිණ තමන්ට ඇති ප්‍රශ්න දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

ඉදිරිපත් වන ගැටළුවලට හැකි සෑම විටම එසැණ විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාවයි. විසඳීමට කල්ගත වන ගැටළු පමණක් පසුව නිරාකරණය පිණිස සටහන් කොට ගනු ලැබේ.

සිකුරාදා නිරීක්ෂණ චාරිකාව සඳහා තෝරාගෙන ඇති හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 02කි. ඒවායේ පවුල් 222ක් පදිංචිව සිටිති. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී, ගම්මිරිස් සහ කුරුඳු වගාව හා හේන් ගොවිතැනයි. ජන හමුව පැවැත්වෙන කුමාරතැන්න විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව 17කි.

 
 

නවෝත්පාදන අංශයෙන් ලොව ඉහළින්ම සිටින රටක් බිහි කිරීමට  පරිසරය නිර්මාණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

දේශීය සහ ලෝක වෙළෙඳපොළේ ඇති ඉල්ලුමට සරිලන පරිදි අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් “සුහුරු තාක්ෂණවේදීන් ” ( Smart Technocrats) නිර්මාණය කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව  එතුමා පෙන්වා දෙයි.

සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හෝ සමත්, අසමත් සියලු දෙනාටම තාක්ෂණවේදය සහ වෘත්තීය අධ්‍යාපනය දීමේ වැඩපිළිවෙළ කෙටි කාලයකදී ආරඹීමේ ඇති අවශ්‍යතාව රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

ආර්ථිකයට ගැළපෙන අයුරින් තරුණ පරපුර අධ්‍යාපනයට යොමු කිරීමේ වැදගත්කම පැහැදිළි කළ ජනාධිපතිතුමා කලා විෂයන්, හැදෑරූ සිසුන්ට තොරතුරු තාක්ෂණය, හෙද සහ කළමනාකරණය ඇතුළු ක්ෂේත්‍ර රැසකින් හැකියාවන් වර්ධනය කර ගත හැකි යැයි සඳහන් කළේය.

පර්යේෂණ දිරි ගැන්වීමට රජයක් ලෙස සෑම සහයක්ම දෙන බව ජනාධිපතිතුමා පැවසීය. නවෝත්පාදන ක්‍රියාවලියට සහයවීමට උපදෙස් හා සේවාවන් සැපයීම එකම ආයතනයක් යටතට ගෙන එන බව රාජ්‍ය ඇමතිණි වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සඳහන් කළාය. ග්‍රහලෝකාගාරය වත්මනට ගැළපෙන අයුරින් නවීකරණයටත්, නැණෝ තාක්ෂන ආයතනය (SLINTEC)  සහ බයෝ තාක්ෂණ උද්‍යානය (Bio Tec Park) එකම පරිශ්‍රයක ස්ථාපනයටත් පියවර ගැනීමේ අවශ්‍යතාව සීතා අරඹේපොළ මහත්මිය විසින් සාකච්ඡාවට ලක් කෙරණි.

ජාතික මුලික අධ්‍යයන ආයතනය (NIFS) සහ නැනෝ තාක්ෂන ආයතනය ඒකාබද්ධව පර්යේෂණ සහ නව නිපැයුම් සදහා යොමුවීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

විශ්ව විද්‍යාල, වෘත්තීය අධ්‍යාපන ආයතන සහ කාර්මික විද්‍යාලවල පාඨමාලා සහ විෂය නිර්දේශ නූතයට ගැළපෙන පරිදි හඳුන්වාදීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණ.

උසස් අධ්‍යාපන පනත සංශෝධනයෙන් ආයතනික සහ විෂය නිර්දේශ සම්බන්ධයෙන් පවතින ගැටළු රැසකට විසඳුම් දිය හැකි යැයි විශේෂඥයෝ පෙන්වා දුන්හ.

තාක්ෂණ විෂයන්ට අදාළ ආචාර්යවරු සහ උපදේශකවරු බඳවා ගැනීමේ දී පහළ මට්ටමක පවතින වැටුප් පරිමාවන් දැඩි සේ බලපා ඇතැයි ආයතන ප්‍රධානීහු කියා සිටිති.

සාගර ආර්ථිකයේ ඵල අත්කර ගැනීමට ධීවර ප්‍රජාව අතරට ගොස් තාක්ෂණික දැනුම සහ පුහුණුව දීමට සාගර විශ්ව විද්‍යාලය කටයුතු කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල ප්‍රධානීහු සහ විද්වත්හු සාකච්ඡාවට එක්ව සිටියහ.

  • පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපනය විශේෂයි …
  • සෑම පාසලකටම නිලධාරීන්ගේ සමාන පෞද්ගලික අවධානය ….
  • සියලු පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කඩිනමින් …
  • මුදල් අය නොකරන පෙර පාසල් ගුරුවරුන්ට දීමනාවක් …
  • ආබාධ සහිත දරුවන් උදෙසා වෙනම වැඩපිළිවෙළක් …
  • කාන්තාවන් පිළිබඳ ජාතික කමිටුව පාර්ලිමේන්තුවට …

 

අනාගත පරපුර අධ්‍යාපනය තුළ අතරමං නොවනු පිණිස පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා සමස්ත ක්‍රියාදාමය ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

පූර්ව ළමා විය සංවර්ධනය සහ ප්‍රාථමික අධ්‍යාපනය දරුවාගේ ජීවිතයේ වැදගත්ම අවධිය ලෙස සලකා විශේෂ අවධානය යොමු කළ යුතුයැයි එතුමා අවධාරණය කරයි.

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (21) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳව මෙතෙක් නිසි අවධානයක් හෝ නියාමනයක් හෝ  නොතිබිණ. එබැවින් ළමා අධ්‍යාපනය පිළිබඳ විශේෂඥයන්ගේ සහය ගෙන විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි ජනාධිපතිතුමා කීය.

“නිදහස් මනසකින් අධ්‍යාපනය ලැබීමේ පසුබිම දරුවාට සකස් කර දීම සහ දරුවා නිරන්තරයෙන් ඇගයීම දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ වගකීමක්. මුදල් අය නොකරන පෙර පාසල්වල ගුරුවරුන්ට දීමනාවක් ගෙවීමට අවධානය යොමු කර තිබෙනවා. ඔවුන් අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් නියාමනය සහ පුහුණුව තවත් ඉලක්කයක්.  පෙර පාසල් දරුවන්ට පූර්ව කුසලතා සංවර්ධනයට දේශීයව නිෂ්පාදිත උපාංග කට්ටලයක් ලබාදීමටත් අප සැලසුම් කළා. දිවයිනේ සියලු පාසල් සතු සම්පත් හඳුනාගෙන නිසි ලෙස කළමනාකරණය  නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ ප්‍රධානතම වගකීමක්”  ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජාතික සහ පළාත් පාසල්වල වගකීම්භාර නිලධාරීන් කාර්යාලවලට සීමා නොවී පාසල් වෙත ගොස් ගැටළු හඳුනාගෙන විසඳුම් දිය යුතුය.  ගුරුවරුන් අධ්‍යාපන කාර්යාල වෙත එනවා වෙනුවට නිලධාරීන් පාසලට ගොස් ගුරු ගැටළුවලට විසඳුම් දීමේ ක්‍රමයක අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

සිය වෘත්තියට අදාළ විවිධ අවශ්‍යතා සඳහා කලාප කාර්යාල වෙත යන ගුරුවරුන්ට විඳීමට සිදුවන ගැහැට පිළිබඳව කණගාටුව පළ කළ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන් ගුරුවරුන්ගේ ගැටළු විසඳීමට සහය විය යුතු බව පැවසීය.

සියලු පාසල්වල පානීය ජල සහ සනීපාරක්ෂක අවශ්‍යතා කෙටි කාලයකදී සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

 ආබාධ සහිත දරුවන් සමාජගත කිරීමට ඉවහල් වනු අයුරින් ඔවුන්ගේ හැකියාවන් සංවර්ධනය පිණිස විශේෂ අධ්‍යාපන ඒකක දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී තිබේ. එවැනි දරුවන් සිටින පවුල් පත්ව සිටින මානසික සහ ආර්ථික කඩාවැටීමෙන් ඔවුන් මුදා ගැනීමට මූල්‍යමය දායකත්වය දිය යුතු බව  බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

පීඩාවට සහ හිංසනයට පත්වන කාන්තාවන්ගේ යහපත පිණිස  කාන්තාව පිළිබඳ ජාතික කමිටුවක අවශ්‍යතාව සලකා පාර්ලිමේන්තු පනතකින් අවශ්‍ය නීති සම්මත කර ගැනීම අද රැස්වීමේදී සාකච්ඡාවට ලක් කෙරිණ.

අපයෝජනයට ගොදුරුවන දරුවන් සම්බන්ධ නඩු විභාග කඩිනම් කිරීමටත්, දරුවාට කැලලක් නොවන ආකාරයෙන් සාක්ෂි විමසීමට සංවෘත අධිකරණ පහසුකම් ස්ථාපනය පිළිබඳවත් අවධානය යාමු විය.

පංති කාමරයෙන් පිටව යන දරුවා තම පුටුව සහ මේසය නිසි අයුරින් තබා යාමට පුරුදු කිරීමේ සිට  රටට, සමාජයට ආදරය කරන ආකල්පමය වෙනසක් සහිත පුරවැසියෙකු බවට පත් කෙරෙන අධ්‍යාපනයක් සකසන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

“රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම  අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු” යැයි එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

ලෝකය පොදු හා අසමාන තර්ජනයකට මුහුණ පා සිටි. “අපට අවශ්‍ය එක්සත් ජාතීන්” (United Nation We Need) යන පාඨය රාජ්‍යයන්ගේ ස්වෛරි සමානාත්මතාවට සහ භෞමික අඛණ්ඩතාවට දක්වන ගෞරවය නිසි අවධානයට ලක් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

සුළු පිරිසකගේ අවශ්‍යතාවට කිසිදු රටක් ප්‍රාණ ඇපයට නොගැනීමෙන්, සාමාජික රටවල් සහ එක්සත් ජාතීන් අතර හවුල්කාරිත්වය මෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසර පැවැත්ම උපරිමයෙන් සාක්ෂාත් කරගත හැකි බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

2019 වසරේ ජුනි මාසයේ දී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතර වූ එකඟතාව අනුව එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව ඉහළ පෙළේ එක් දින සමුළුව අද (21)  ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී‍ 7.45ට නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍රකර ගනිමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආරම්භ කෙරිණ.  ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී‍ 9.45ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමුළුව ඇමතීය.

මහා මණ්ඩල සැසිවාරයේ සභාපති වොල්කන් බොස්කීර් (Volkan Bozkır) සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ  ගුතේරස් 75 වන සමුළුවේ පළමු සහ දෙවන ප්‍රකාශ කළහ. රාජ්‍ය නායකයෝ 180 දෙනෙක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතූහ.

කොවිඩ් -19 වසංගතය රටවල ආර්ථිකයන්, සෞඛ්‍ය පද්ධති අඩපණ කරමින් ලෝකය පීඩාවට පත් කර ඇත. දැනුවත් මැදිහත්වීමක් මගින් කොවිඩ් 19 අභියෝගයට සාර්ථකව මුහුණදීමට හැකි වූ බව ජනාධිපතිතුමා පැවසීය. ශ්‍රී ලංකාව පළමු රෝගියා හඳුනාගැනීමටත් පෙර කොවිඩ් නිවාරණ ජාතික ක්‍රියාකාරී කමිටුව පත් කළ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සහ ජාතික හා ප්‍රාදේශීය මට්ටමේ සිවිල් අධිකාරිය එම සංයුතියට ඇතුළත් විය. ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 රෝගින්ගේ සුවවීමේ අනුපාතය 90% ඉක්මවන අතර, එය ගෝලීය සුවවීමේ අනුපාතයට ඉහළ අගයකි. “සොයා ගැනීම හා නිරෝධායනය” එම සාර්ථකත්වයට පිටිවහලක් වූ ප්‍රබලතම ශක්තිය බව ජනාධිපතිතුමා සඳහන් කළේය. ගත වූ මාසයකට වැඩි කාලයක් ඇතුළත කිසිදු කොවිඩ් ආසාධිතයෙකු රට තුළින් වාර්තා වී නැතැයි ජනාධිපතිතුමා කීය.

“ධරණීය සංවර්ධන න්‍යාය පත්‍රය 2030” සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැප වී සිටී. කෘෂිකර්මික පදනමක් සහිත නිෂ්පාදන ආර්ථිකයක් තුළින් දරිද්‍රතාව පිටුදැකීම තම රජයේ ප්‍රධාන අභිමතාර්ථය බව ජනාධිපතිතුමා පැවසීය. ආනයන මත අර්ධ සීමා පැනවීම හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම වසර මුලදී දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනයට රජය ගත් ක්‍රියාමාර්ග කිහිපයකි. එමගින් අපේක්ෂිත ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකි වූ බව ජනාධිපතිතුමා කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශක්තිමත් කිරීමට ගනු ලබන ප්‍රයත්නයන් එහි සාමාජිකයෙකු වන අපගේ   අනාගතය සහතික කිරීම පිණිස ඉවහල් වනු ඇතැයි ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.

 
 

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය අද අපේ රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට මාගම් රුහුණුපුර අන්තර්ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී ඊයේ (20) පැවැති කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණයට එක් වෙමින් ප්‍රකාශ කළේය.

කොවිඩ් 19 කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක යෝජනාවලිය සහතික ලත් කළමනාකාර ගණකාධිකාරී ආයතනයේ සභාපති සහ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන කමිටුවේ සම්බන්ධීකාරක මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල මහතා අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීය.

වාර්මාර්ග ඇමැති චමල් රාජපක්ෂ, කර්මාන්ත ඇමැති විමල් විරවංශ, පරිසර ඇමැති මහින්ද අමරවීර, මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල්, ගුවන්සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (19) පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති  නිරීක්ෂණ චාරිකවක නිරත විය.

ජනාධිපතිතුමා චාරිකාව අරඹමින් මදුරන්කුලිය, වාලච්චේන වතුයායේ ක්‍රියාකාරකම් විමසා බැලීය. අක්කර 900ක  භූමි ප්‍රදේශයක පොල් එළවළු ඇතුළු භෝග වර්ග කිහිපයක් වගාකර තිබේ. අක්කර 10ක භූමිභාගයක සාර්ථකව කරගෙන යන ආදර්ශ මිදි වගාව ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

ඉතාලි රජයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ලැබුණු පරිත්‍යාගයකින් ඉදිකළ කෘෂි තාක්ෂණ ආයතනය ද රාජපක්ෂ මැතිතුමා  විසින් විවෘත කෙරිණ. සිසුන් 50 දෙනෙකුට නේවාසික ප්‍රායෝගික පුහුණුව දිය හැකි පරිදි ආයතනය සැලසුම් කර ඇත. ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී දරු දැරියන් පුහුණු කිරීමට මෙහි වැඩි අවස්ථාව  සලසන බව කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ.

කොළඹ අගරදගුරු මන්දිරයේ අධික්ෂණය යටතේ ආයතනය පාලනය වෙයි. පුහුණු මධ්‍යස්ථානයේ පියතුමන් සමග ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත විය.

මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරු දැරියන් සමග පිළිසඳර කතාවෙන් මද වේලාවක් ගත කළේය. විද්‍යාලයේ ක්‍රීඩාංගණය ඉදි කර දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම  යුද හමුදාපතිවරයාට දැනුම් දුන් ජනාධිපතිතුමා කඩිනමින් එය ඉදිකර දෙන්නැයි පැවසීය.    මාර්ගයේ අනෙක් පස පිහිටි ප්‍රාථමික විද්‍යාලය සම්බන්ධ කරමින් ගුවන් පාලමක් තනා දෙන ලෙස ජනාධිපතිතුමා විසින් මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දෙනු ලැබීය. මාර්ග දුෂ්කරතා සහ තවත් ජනතා ගැටළු කිහිපයකට සවන් දුන්  ජනාධිපතිතුමා ඒවාට එසැණ විසඳුම් දුන්නේය.

මදුරන්කුලිය වාලච්චේන සිට දළුව ප්‍රදේශයට ගමන්ගත් ජනාධිපතිතුමා මග දෙපස රැස්ව සිටි ජනතාව සමග සුහද කතාබහක නිරත විය.

බීට්, දුම්කොළ, අමුමිරිස් සහ ලූණු වගාබිම් නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා වගාවන් සඳහා ගොවි ජනතාව දිරිමත් කළේය.

දළුව, නිර්මලපුර සුළං විදුලි බලාගාරය ද  ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න මහතා චාරිකාවට එක්ව සිටියහ.

දීර්ඝ කාලයක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ශණයට ලක්ව ඇති Ceylon Tea නාමයට හානි වීමට ඉඩ නොදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තේ කර්මාන්තශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටී.

සීනි, ග්ලුකෝස් වර්ග සහ සෝඩියම් බයිකාබනේට්, පෙරස් සල්ෆේට් වැනි ද්‍රව්‍ය මිශ්‍රණයෙන් කෙරෙන තේ නිෂ්පාදන ගැන මෑතක සිට මාධ්‍ය මගින් වාර්තා වේ. එවැනි තේ ලෝක වෙළෙඳ පොළේ දී ප්‍රතික්ෂේප වීමෙන් තේ කර්මාන්තය දැවැන්ත පසුබැසීමකට ගොදුරු වී තිබේ.

රටේ කීර්තිනාමයට මෙන්ම ලෝක වෙළෙඳ පොළේ Ceylon Tea සඳහා ඇති ඉල්ලුමට හානියක වීමට මින් ඉදිරියට කිසිසේත් ඉඩදිය නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ගම්මිරිස් වෙළෙඳ පොළට සිදුවූ හානියට තේ කර්මාන්තයත් ගොදුරුවීමට  ඉඩ නොතබන බව ජනාධිපතිතුමා තරයේ කියා සිටි.

ගුණාත්මක තේ නිෂ්පාදනය පිළිබඳව සුළු හා මධ්‍ය පරිමාණ තේ කම්හල් හිමියන් සහ අපනයනකරුවන් සමග අද (18) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

ලෝක වෙළෙඳ පොළේ තේ සඳහා  ඉල්ලුම 65% සිට 45% දක්වා පහළ වැටීමට තේ නිෂ්පාදනයේ ගුණාත්මක පරිහානිය බලපා තිබේ. මෙරට තේ කර්මාන්ත ශාලා සංඛ්‍යාව 705කි. කර්මාන්ත ශාලා 45කින් අයථා ක්‍රියාකාරකම් වාර්තා වී ඇති අතර පරීක්ෂණවලින් පසු 18ක නිෂ්පාදන නතර කළ බව තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා පැවසීය.

කසළ තේ සහ අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතයෙන්  තේ නිෂ්පාදනය කරන ආයතන වැටලීම බුද්ධි අංශ තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය මගින් සිදු කෙරේ.

රටට ලැබෙන ආදායමට හෝ තේ කර්මාන්තයට හෝ බාල  තේ නිෂ්පාදනයෙන් බාධාවක් වීමට ඉඩ නොතැබිය යුතුය. ඉහළ ගුණාත්මක බවින් යුතු තේ ලෝක වෙළෙඳපොළට සැපයීමට තේ කර්මාන්තශාලා හිමියන් මෙන්ම  අපනයනකරුවන් වගබලාගත යුතුය. බාල තේ නිෂ්පාදනයට ඉඩ නොදෙන අතර එය නොතකා ක්‍රියා කරන කර්මාන්තශාලා වසා දමන්නැයි  ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

බුද්ධි අංශ සහය ඇතින අඛණ්ඩව පරීක්ෂණ  කර මෙවැනි ආයතන වැටලීම් කරන ලෙස ද  ජනාධිපතිතුමා පොලිස්පතිවරයාට නියෝග කළේය.

රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, වැඩබලන පොලිස්පති, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරිහූ සහ තේ කර්මාන්තශාලා හිමියෝ සහ අපනයනකරුවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter