නවතම පුවත්

  • බස්නාහිර පළාතේ ක්‍රියාත්මක ඇඳිරි නීතිය 09, සඳුදා පෙ.ව 5.00 දක්වා …
  • ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන ලෙසට පොලීසියට උපදෙස් …
  • නිවෙස් තුළ නිරෝධායනය අධීක්ෂණයට …
  • නිරෝධායනය වන්නන්ට දින 10කට පසු PCR පරික්ෂණ …
  • නිවෙස්වල නිරෝධායනය වන්නන්ට රුපියල් 10,000ක බඩු මල්ලක් ….
  • ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම
    පැරණි ක්‍රමයටම ….
  • දිස්ත්‍රික්ක අතර සංචරණය තදින් සීමා කෙරේ ….

ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණ රැසක් ගනී.

පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යාම වෙනුවට තම නිවෙස් තුළම නිරෝධායනයට රජය ගත් පියවර සාර්ථික ප්‍රතිඵල ගෙන දෙමින් තිබේ.  මේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පොලීසීය සහ යුද හමුදාව යන අංශවල අධීක්ෂණයට නිරන්තරයෙන් ලක් විය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

නිවෙස්වල නිරෝධායනය වන පුද්ගලයන්ගේ PCR පරීක්ෂණ 10 වන දිනයේ දී කළ යුතුය. ප්‍රතිඵල අනුව ආසාදනයට ලක් නොවූවන් දින 14කට පසු සාමාන්‍ය ජන ජීවිතයට යොමු කරන්නැයි ජනාධිපතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට නියම කරයි.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් සමග අද (01) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

කොවිඩ් 19 පිළිබඳව අත්දැකීමක් නොතිබූ කලින් අවස්ථාවේ ඉතා හොඳින් ජනතාව ආරක්ෂා කර ගැනීමට රජයට හැකි විය. එහිදී ගත් උපක්‍රම සහ ක්‍රමවේද ඉවහල් කර ගනිමින් වත්මන් තත්ත්වය පාලනයට පියවර ගත යුතු බව ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අඛණ්ඩව සහ නිරන්තරයෙන් අහඹු පරීක්ෂණ  කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේය. එමෙන්ම ඒවායේ ප්‍රතිඵල කෙටි වේලාවකදී දීමට හැකි උපරිම උත්සාහය ගත යුතු බවද එතුමා අවධාරණය කළේය. පෞද්ගලික රෝහලකින් හෝ රජය මගින් හෝ කවර ආකාරයකින්  PCR පරීක්ෂණය කෙරුණද අදාළ පුද්ගලයා ප්‍රතිඵල එන තෙක් නිරෝධායනයට යොමු කිරීම අනිවාර්ය බවත් පෞද්ගලික රෝහල්වල  සිදු කරන PCR පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අධීක්ෂණයට ලක්විය යුතු බවත් ජනාධිපතිතුමා පැවසීය.

කොවිඩ් ආසාදිතයන් හමුවූ පසු ආශ්‍රිතයන් සහ ප්‍රදේශ හුදකලා කරනුයේ පැතිර යාම වැළැක්වීමට ගන්නා කඩිනමි පියවරක් ලෙසිනි. ඉන් ඔබ්බට ගොස් ඇඳිරි නීතිය පැනවීමෙන් රෝග ව්‍යාප්තිය මර්දනය අපේක්ෂා කෙරේ. එබැවින් ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල එය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා පොලීසියට උපදෙස් දුන්නේය.

භාණ්ඩ බෙදා හැරීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර සංචරනය අත්හිටුවිමට ද තීරණය කෙරිණ.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ මීට පෙර සිදු කළ ආකාරයටම අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින  බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ග්‍රාම නිලධාරීන්ට සහ පළාත් පාලන නියෝජිතයන්ට වගකීම් පවරමින් වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, මාසික වැඩිහිටි දීමනාව  පෙර පරිදිම නිවසටම ගොස් භාර දෙන බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

නිවෙස්වල නිරෝධායනය වන්නන්ට රුපියල් 10,000ක බඩු මල්ලක් දීමට ද පියවර ගෙන තිබේ.

රෝග ව්‍යාප්තිය නතර කිරීමෙන් පසුවද ආසාදිතයන් හමුවුවහොත් ඊට හේතු වෙනම විමර්ශණය කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක ඇඳිරි නීතිය අඛණ්ඩව නොවැම්බර් 09 වැනි සඳුදා පෙ.ව 5.00 තෙක් දීර්ඝ කිරීමට ද තීරණය කෙරිණ. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසම, කුරුණෑගල නගර සභා සීමාවට සහ කුලියාපිටිය පොලිස් වසමට ද ලබන 09 දා තෙක් ඇඳිරි නීතිය පනවනු ලැබිණ.

මේ කාලසීමාව තුළ සාමාන්‍ය පරිදි ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන ලෙසට ද ජනාධිපතිතුමා විසින් පොලීසියට උපදෙස් දෙනු ලැබිණ.

ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, වෛද්‍ය සීතා අරඹේපොල, මහාචාර්ය චන්න ජයසුමන, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහූ සහ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

 
 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මඟපෙන්වීම යටයේ බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාතයාංශයේ මාර්ගෝපදේශ ප්‍රකාරව හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් කොරෝනා වෛරසයේ බලපෑමෙන් ශ්රී ලංකාවේ වෙසෙන ජනතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිවයින පුරා හින්දු කෝවිල්වල විශේෂ පූජාවක් පවත්වන ලෙස ඉල්ලීමක් කර ඇත.
 
විශේෂයෙන් කෝවිල්වල සෞඛ්ය ආරක්ෂාව අනුගමනය කරමින් විශේෂ පූජාවක් සහ හෝමය පවත්වන ලෙස ඉල්ලා ඇත.
 
දිවයිනපුරා සෑම දිස්ත්රික්කයකම පැවැත්වීමට නියමිත මෙම විශේෂ පූජාව දිනපතා පෙ.ව 6.30 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දෙමළ සේවයේ ‘කෝවිල් දර්ශම්’ වැඩසටහනේ විකාශනය කිරීමට සංවිධානය කර ඇත.
 - අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

මෙරට ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාව දේශීයව නිෂ්පාදනයට තම අමාත්‍යාංශය සූදානම් බවට බතික්, අත්යන්ත්‍ර සහ දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහතික වෙයි.

ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය සඳහා වාර්ෂිකව විශාල විදේශ විනිමයක් වැය කෙරේ. ලබන වසරේ සිට අවශ්‍ය කොඩි ප්‍රමාණය ඉහළ ප්‍රමිතියකින් මෙරටදීම නිෂ්පාදනයට බතික් සහ අත්යන්ත්‍ර ක්ෂේත්‍රයේ නිරත නිෂ්පාදකයන් සූදානම් බව දයාසිරි ජයසේකර මහතා කියා සිටී.

බතික් නිර්මාණයක් ලෙස කළ ජාතික ධජ ඊයේ (30) පස්වරුවේ ජනපති නිවසේ දී ජනාධිපතිතුමා වෙත පිළිගන්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 
 

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කරනු පිණිස “නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය” යළි ක්‍රියාත්මක කරන්නැයි බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතනවලට නියම කෙරේ.
 
2020 අප්‍රේල් සිට මැයි දක්වා මාසවල ක්‍රියාත්මක කළ “නිවසේ සිට වැඩ කිරීමේ කාලය” තුළ ලැබූ අත්දැකීම් උපයෝගී කරගෙන අත්‍යවශ්‍ය සහ වෙනත් සේවා සම්පාදනයට විකල්ප සැලසුම් සකස් කරන මෙන් ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
 
ඊට අදාළ චක්‍රලේඛය ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ඊයේ (29) සියලු අමාත්‍යංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් සහ සාමාන්‍යාධිකාරීවරුන් වෙත යොමු කරනු ලැබීය. 
 
වෛරස ව්‍යාප්තිය නිසා සංචරණය සීමාකර ඇති කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට එය විශේෂයෙන් අදාළ වේ. 
 
මේ දිස්ත්‍රික්ක සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් අවදානම් කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශ හැර සෙසු දිස්ත්‍රික්කවල පිහිටා ඇති රාජ්‍ය ආයතන දැඩි සෞඛ්‍ය නීති රීති යටතේ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතුය.
 
කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා තම විෂය පථය යටතට ගැනෙන සියලු පහසුකම් සැලසීමට ආයතන ප්‍රධානීන් පෞද්ගලිකවම බැඳී සිටින බව ලේකම්වරයා සඳහන් කරයි.
 
එක් එක් ආයතනයට දුරස්ථව ඉටු කළ හැකි කාර්යයන් සහ නිවසේ සිට සේවය කළයුතු සේවකයන් තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානියාට පැවරේ.
 
එසේ නිශ්චය කිරීමෙන් පසු අදාළ ලිපි ගොනු සහ උපකරණ නිසි අවසරයක් ඇතිව සේවකයන්ගේ නිවෙස් වෙත ලබාදිය යුතුය. 
 
නිවසේ සිට වැඩ කරන කාලය, උදේ 8.30 - සවස 4.15 දක්වා වේ. 
 
ඇඳිරිනීතිය පනවා නැති අවස්ථාවක අවශ්‍යතාව අනුව එය වෙනස් කිරීමට ආයතන ප්‍රධානියාට පිළිවන.
 
“නිවසේ සිට වැඩ” සැලැස්මට අයත් නොවන සේවකයන් අතිරේක මානව සම්පත් අවශ්‍ය ආයතන වෙත අනුයුක්ත කළ හැකිය.
 
“නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය” කාර්යක්ෂමව සහ සාර්ථකව ඉටු කිරීම සඳහා විකල්ප සන්නිවේදන මාධ්‍ය භාවිත කරන්නැයි චක්‍රලේඛය ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙයි. 
 
කෙටි පණිවිඩ සේවය, විද්‍යුත් තැපෑල, දුරකථන, පරිශීලක හිතකාමී (User Friendly)යෙදවුම් වන Whatsapp, Skype ඒ සඳහා භාවිත කිරීමට පිළිවන.
 
නිවසේ සිට වැඩ කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සැපයීම, ගණන්දීමේ නිලධාරීන්ගේ වගකීමකි.
 
මහජනතාවට සිය ඉල්ලීම් ප්‍රමාදයකින් තොරව ඉදිරිපත් කිරීමට හැකිවනු පිණිස සාමාන්‍ය ජනතාවට ඝෘජුවම සේවා සපයන සියලු ආයතන මාර්ගගත වේදිකාවක් (Online platform)නිර්මාණය කළ යුතු බව ද ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ. 
 
ස්වයං නිරෝධායනයේ නිරත සේවකයන්ගෙන් නිවසේ සිට වැඩ කරන්නැයි ඉල්ලා සිටීමට ආයතන ප්‍රධානියාට බලය තිබේ. 
 
එසේ වුවද සුළු වශයෙන් හෝ කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන සේවකයෙකුට කිසිදු කාර්යයක් පැවරීම නොකළ යුතුය.
 
අද නිකුත් කළ චක්‍රලේඛයෙන් ප්‍රාදේශීය පරිපාලනය, අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය, සුබසාධන සේවා සම්පාදනය, ව්‍යවස්ථාපිත ආයතන සහ පොදු ව්‍යවසාය සහ සාමාන්‍ය පරිපාලනය යන ක්ෂේත්‍රවලට විශේෂිත මාර්ගෝපදේශ නියම කර ඇත. 

සෑම මිනිසකුටම සමාන අයිතියක් ලැබිය යුතු බව ලොවට දේශනා කළ නබි නායකතුමන්ගේ ඉගැන්වීම් අනුව යමින් යහපත් සමාජයක් නිර්මාණය කිරීමට ඇවැසි ගුණධර්ම සමාජගත කරමින් ඒකීය ශ්‍රී ලංකාවක් කරා යන ගමනට අත්වැලක් වන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

මිලාද් උන් නබි දිනය නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරන අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කරයි.

'ශුද්ධ වූ මුහම්මද් නබිතුමාගේ උපන් දින සංවත්සරය සමරන සියලු ශ්‍රී ලාංකික ඉස්ලාම් ජනතාවට මාගේ සුබාශිංසන එක් කරන්නේ ඉමහත් සතුටින්. මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවනීය මානව ප්‍රේමයක් ගොඩනැඟීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා. ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමත්න් අද දින මහත් උත්සවාකාරයෙන් නබි නායකතුමාගේ උපන්දිනය ආගමානුකූලව සමරනවා.

අන් අය අතර විශ්වාස ගොඩනඟා ගත් එතුමන් අල් අමීන් හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන් ද ප්‍රචලිත වුණා. මුහම්මද් නබිතුමන් සුවිශේෂී කරුණු මත අන් අය අතර ප්‍රචලිත වූණා. ඉස්ලාම් දහම ලොව පුරා ව්‍යාප්ත කරමින් ඔහුට හතළිස් වැනි වියේදී අල්ලා දෙවියන්ගේ පණිවුඩකරු වීමේ වරම ලැබුණා. අනතුරුව අරාබිකරයේ ප්‍රජාව නිවැරැදි මඟට යොමු කිරීමට කටයුතු කළ එතුමන් වසර 23ක් පුරා දෙවිදුන්ගෙන් ලැබුණු මෙහෙවර ඉටු කළා.

 
 

ස්වකීය ජීවිතය පුරා එතුමා සුරැකි ගුණාංග, මිනිසත් බව වෙනුවෙන් කළ කැපකිරීම් අපිරිමිතයි. අනෝන්‍ය අවබෝධය, සහෝදරත්වය, එකිනෙකාට උපකාර කිරීම සහ සාධාරණත්වය මුහම්මද් නබිතුමාගේ මූලික ඉගැන්වීම්වල හරයයි. එසේම මෙලොව පහළ වූ ශාස්තෘවරුන් අතර නබි නායක තුමන්ගේ දර්ශනය වූයේ මානව සමාජය ගුණ නැණ බලෙන් සහ අහිංසාවාදයෙන් පුරවාලීමයි.

ලෝකයේ ඉස්ලාමීය රටවල් අන්තර්ජාතික සංවිධාන තුළ කවදත් ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිතව සහයෝගය දක්වා තිබෙනවා. අපට ලබා දුන් ඒ අන්තර්ජාතික සහයෝගයට කෘතඥතාව ප්‍රකාශ කිරීමටත්, එම රටවල සියලුම ඉස්ලාමීය බැතිමතුන් වෙත නබි නායකතුමන්ගේ උපන් දිනය යෙදෙන අද දිනයේ සුබ පැතුම් එක් කිරීමටත් කැමතියි.

එසේම, කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ලොවක් ලෙස දැඩි අර්බුදකාරී යුගයකට අප මුහුණදී සිටිනවා. ඒ නිසාවෙන් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, ඉස්ලාමීය මඟපෙන්වීම්වලට අනුව මේ උතුම් දිනය සමරන ලෙස ඉල්ලා සිටිනවා. සෑම මිනිසකුටම සමාන අයිතියක් ලැබිය යුතු බව ලොවට දේශනා කළ නබි නායක තුමන්ගේ ඉගැන්වීම් අනුව යමින් යහපත් සමාජයක් නිර්මාණය කිරීමට අවැසි ගුණධර්මයන් සමාජ ගත කරමින් ඒකීය ශ්‍රී ලංකාවක් කරා යන ගමනට අත්වැලක් වන ලෙසත්, සියලු ලෝකවාසී ජනතාව මේ වසංගතයෙන් ආරක්ෂා කර දෙන ලෙස ප්‍රාර්ථනා කරන ලෙසත් සියලු ඉස්ලාම් ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.

ආගමික වතාවත්වල යෙදෙමින්, දුප්පතුන්ට පිහිට වෙමින්, නබි නායකතුමන්ගේ ඉගැන්වීම් මෙනෙහි කරමින් මිලාඩ් උන් නබි දිනය සමරන සියලුම ශ්‍රී ලාංකික ඉස්ලාම් ජනතාවට මෙන්ම ලෝකවාසී ඉස්ලාමීය ජනතාවට ප්‍රීතිමත් මිලාද්-උන්- නබි දිනයක් ප්‍රාර්ථනා කරනවා.

ශ්‍රී ලාංකේය මුස්ලිම් බැතිමත්හු ලොව පුරා විසිරී සිටින මුස්ලිම් ප්‍රජාව සමග සහෝදරත්වයෙන් යුතුව, මුහම්මද් නබිතුමාගේ උපත සලකුණු කෙරෙන මිලාදුන් නබි දිනය අද සතුටින් සමරති.
මුහම්මද්තුමා මිනිසත් බව වෙනුවෙන් කළ කැපකිරීම් පරමාදර්ශය කොට ජීවත් වීම යහපත් සහ සංවර්ධිත සමාජයකට අත්තිවාරම නිර්මාණය කරන බව මගේ පිළිගැනීමය. අප අන්‍යයන් කෙරෙහි පැවතිය යුත්තේ මුහම්මද්තුමා දේශනා කළ ගුණාංග ගුරු කොට ගනිමින් උනුන් අතර වෛරය හා සැකය තුරන් කෙරෙන අයුරිනි.
පෙර නොවූ විරූ ගැටළු රැසක් මතු කරමින් ලොව පුරා පැතිර යන කොවිඩ් – 19 වසංගතය හමුවේ මුළු මහත් මිනිස් සංහතියම අභියෝගයකට මුහුණ දී සිටී. මෙවන් කාලවකවානුවක ආගමික විශ්වාසයන්ට මුල්තැන දෙමින් ජීවත්වීම මානසික සහනය උදා කරයි. එසේම අන්‍යෝන්‍ය සුබසිද්ධිය, ජන කොටස් අතර සංහිඳියාව සහ පොදු යහපත සාක්ෂාත් කර ගනු පිණිස නබි නායකතුමාගේ චරිතයෙන් උකහා ගත් යහ ධර්මයන් අප විසින් සමාජ ගත කළ යුතුව තිබේ.
නබි නායකතුමාගේ ඡන්ම දිනය සැමරෙන මෙසමයේ එතුමන් පෙන්වා දුන් වටිනාකම් සමග අනුගත වෙමින් සෑම ආකාරයකම අන්තවාදය පරාජය කොට යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ අධිෂ්ඨානයෙන් ඉස්ලාමීය බැතිමතුන් අත්වැල් බැඳ ගනු ඇතැයි මම විශ්වාස කරමි.
ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවට මෙන්ම ලෝකවාසී මුස්ලිම් ජනතාවට ප්‍රීතිමත් මිලාදුන් නබි දිනයක් ප්‍රාර්ථනා කරමි.
ගෝඨාභය රාජපක්ෂ
2020 ඔක්තෝබර් මස 29 දින

 
 

කොරෝනා පළමු රැල්ල පැමිණි මොහොතේ එය පරාජය කිරීමට මෙරට සියලු මාධ්‍ය ඒකාබද්ධව ක්‍රියාකළා සේ මෙවරද ඒ වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙන ලෙස සියලු මාධ්‍ය ආයතනවලින් ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉල්ලීමක් කරයි.
 
විශේෂයෙන් ජනතාවට වඩාත් සමීප මෙරට සියලු රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍යයන්ට‍ මේ වෙනුවෙන් විශාල කාර්යභාරයක් පැවරී ඇතැයිද එ් වෙනුවෙන් එවක සියලු මාධ්‍ය ඒකාබද්ධව කටයුතු කිරීම ප්‍රශංසනීය බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
 
මෙරට විද්‍යුත් මාධ්‍ය ආයතනයන්හි හිමිකරුවන්, ප්‍රධානීන් නියෝජනය කරන විද්යුත් විකාශකයින්ගේ සංගමය සමඟ අද (29) ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී හෙතෙම මෙම ඉල්ලීම කළේය.
 
කොවිඩ් 19 ව්‍යසනය හමුවේ රජය මඟින් විද්‍යුත් මාධ්‍ය ආයතන සඳහා පසුගිය වර ලබාදුන් යම් සහන පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ එම සංගමය මේ මොහාතේද එ් වෙනුවෙන් යම් සහනදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව මේ පිළිබඳව අවශ්‍ය කටයුතු සොයා බලා ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පැවසීය.
 
මේ මොහොතේ රටේත් ජනතාවගේත් සෞඛ්‍යාරක්ෂාව සඳහා මාධ්‍ය මඟින් ලබා දෙන නිසි පණිවුඩය අතිශය වැදගත් බවත් ඒ සඳහා පෙර මෙන්ම ඒකාබද්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේනම් එය ජාතික කාර්යභාරයක් වනු ඇති බවත් රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය.
 
ඇතැම් සැටලයිට් හා රූපවාහිනී නාලිකා හේතුවෙන් මෙරට ජාතික මාධ්‍ය ආයතනයන්ට ඇතිවන ගැටළු සම්බන්ධයෙන් එම සංගමය මෙහිදී අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කළේය. මෙවැනි ඇතැම් නීති විරෝධී නාලිකා හේතුවෙන් කලක සිට අතිවිශාල මුදලක් විදේශයන්ට ඇදීයන බවද ඔවුහු පෙන්වා දුන්හ.
 
මේ සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) රුවන් සත්කුමාර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව යන මහත්වරුන් හා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

මෙරටට පැමිණ සිටින අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය
මෙම හමුව ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය
දෙරට අතර ආර්ථික සහයෝගීතාව පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු වූ බව පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊයේ (27) සවස මෙරටට පැමිණි අතර ඔහු මෙරටට පැමිණියේ ඉන්දීය සංචාරයකින් අනතුරුවය.

වසර ගණනාවක් වසා දමා අකර්මණ්‍යය, අබලි යකඩ වලට විකුණා දැමීමට නියමිතව තිබූ වාලච්චේන කඩදා‍සි කම්හල නැවත ආරම්භ කිරීමෙන් පසු එහි නිෂ්පාදිත පළමු කඩදාසි තොගය රජයේ මුද්‍රණාලය වෙත පළමු ඇණවුම ලෙසින් බාරදීම ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අද (27) සිදුවිය.

තත්ත්වයෙන් උසස් ටොන් 20ක පමණ වන පළමු ඇණවුම ජාතික කඩදාසි සංස්ථාව මඟින් මෙහිදී රජයේ මුද්‍රණාලය වෙත භාර දුනි.

 ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික කඩදාසි සංස්ථාවේ සභාපති විමල් රූපසිංහ හා එහි අධ්‍යක්ෂ ජාතික භාෂා දෙපාර්තමේන්තුවේ සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන් විසින් රජයේ මුද්‍රණායාලාධිපති ගංගානී ලියනගේ මහත්මිය වෙත බාරදීම සිදුකෙරිණි.

මෙසේ වසා දැමුණූ දේශීය කර්මාන්ත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්වීමත් සමඟ යළි ආරම්භ කිරීම සිදු කෙරුණු අතර ඒ අනුව වාලච්චේන කඩදාසි කම්හලද දශක දෙකකට පමණ පසු යළි ආරම්භ කෙරුණි.

මෙහිදී  අදහස් දක්වමින්  අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා .......

“මේ රටේ විනාශ වෙමින් පැවති කර්මාන්ත මෙන්ම පසුගිය රජය සමයේ උවමනාවෙන්ම විනාශ කර දැමුණු කර්මාන්ත යළි පණ ගන්වා දේශීය නිෂ්පාදන ලෙසින් රටට ඵලදායී ලෙස යොදා ගැනීම වාලච්චේන කඩදාසි යළි නිශ්පාදනය තුළින් පෙන්නුම් කෙරෙන බවත්, රජයේ මුද්‍රණාලය ඉතාම තරඟකාරී ලෙසට මෙම දේශීය කඩදාසි ඉදිරියට ලබා ගන්නා බවත්” කීය.

“ඉතාම සූක්ෂම අයුරින් මෙම ආයතන පසුගිය වකවානුව තුළ ඈවර කිරීමට දමා තිබූ බවද එමනිසා වටිනා සම්පත් රාශියක් රටට අහිමි වී ගිය බවද පෙන්වා දුන්නා....

මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා “ඉදිරියටත් දේශීය නිෂ්පාදන ලෙසින් මේ රටේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා  අවශ්‍ය කඩදාසි සියල්ල ජාතික කඩදාසි සංස්ථාව මඟින් රටට උපයා දෙනු ලබන බව” පැවසීය.

විශේෂයෙන් අබලි යකඩ වලට විකුණා දැමීමට නියමිතව තිබූ වාලච්චේන කඩදාසි කම්හල නැවත පණගැන්වීම සමස්ත ජාතියම ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සමාජයේ පහළම ආදායම් කාණ්ඩයට අයත් පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටනේ ප්‍රථම අදියර යටතේ අභ්‍යාසලාභීන් 34,818 කට පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ (19) ඇරඹිණි.

එම පත්වීම් ලාභීන්ට ඔවුන්ගේ නිපුණතාව සහ අභිමතය අනුව හඳුනාගත් ක්ෂේත්‍ර 25ක් යටතේ මාස 06ක විධිමත් පුහුණුවක් ඔවුන්ට ලැබෙන අතර පුහුණු කාලය තුළ අභ්‍යාසලාභියකුට රුපියල් 22,500ක මාසික දීමනාවක් ගෙවනු ලැබේ.

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය පුහුණු වැඩසටහන භාරව සිටින අතර පුහුණුව සාර්ථකව නිම කරන අභ්‍යාසලාභීනට NVQ III ශ්‍රේණියේ සහතික පත්‍රයක් ප්‍රදානය කෙරේ. රැකියා ලක්ෂයේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් “දිළිඳුබවින් තොර ශ්‍රී ලංකාවක්” බිහි කිරීමේ සංකල්පය අනුව සැලසුම් කරනු ලැබූවකි. එය බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.

අඩු ආදායම්ලාභීන්ගේ ආදායම නැංවීම, සමාජ සංරක්ෂණය තහවුරු කොට දිළිඳුකම පිටුදැකීම ආදායම් විෂමතා හැකිතරම් සමනය කොට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම ඉන් අපේක්ෂා කෙරේ.

හය මාසික පුහුණුවෙන් පසු අභ්‍යාසලාභීන් PL-01 ශ්‍රේණියේ ස්ථීර පත්වීම් ප්‍රදානය කොට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ රජයට අනුබද්ධ ආයතනවල පුරප්පාඩු තනතුරුවල කාර්යයන් ඉටු කිරීම සඳහා යොමු කරනු ලැබේ. බඳවාගනු ලබන පිරිස් රජයේ ගොවිපොළවල සහ අතහැර දමා ඇති වගා කළ හැකි ඉඩම්වල නවීන කෘෂි තාක්ෂණය උපයෝගි කර ගනිමින් එළවළු සහ පළතුරු නිෂ්පාදන කටයුතුවලට මෙන්ම වන ජීවි හා වන සංරක්ෂණ, වාරිමාර්ග ගොවිජන සේවා, කෘෂි සේවා මධ්‍යස්ථාන, ග්‍රාමීය රෝහල්, පාසල් සම්බන්ධ කටයුතු සඳහා ද යොදවනු ඇත.

දෘශ්‍යාබාධිත තැනැත්තන්ට සුදු සැරයටිය සුවිශේෂී මෙවලමකි. එය පාදක කරගනිමින් සෑම වසරකම ඔක්තෝම්බර් 15 වන දිනට සමරනු ලබන ජාත්‍යන්තර සුදු සැරයටි ආරක්ෂණ දිනයේදී සමස්ත දෘශ්‍යාබාධිත ජනතාව ඉතා සහෘද සිතින් සිහිපත් කරමි.

සුදු සැරයටිය පාදක කර ගනිමින් ඔක්තෝම්බර් 6 වන දින අමෙරිකාවේ කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු ඒකාබද්ධ යෝජනාවක් අනුව එකල අමෙරිකාවේ ජනාධිපති වූ ලින්ඩන් ජොන්සන් විසිනි සෑම වසරකම ඔක්තෝම්බර් 15 වන දින සුදු සැරයටි ආරක්ෂණ දිනය ලෙස නම් කරනු ලැබීය.

දෑස් නොපෙනෙන ප්‍රජාව කෙරෙහි දෑස් පෙනෙන සමාජයේ ඇස් ඇරවීම තුළින් දෘශ්‍යාබාධිත තැනැත්තන් මුහුණ දෙන සමාජ, ආර්ථික, සංස්කෘතික, පාරිසරික ගැටළු සහ බාධක ඉවත් කරලීම මෙම දිනයෙහි මූලික අරමුණයි.

අන්තර්ජාතික සුදු සැරයටි ආරක්ෂණ දිනය යනු ජයග්‍රහණ සැමරීමේ දිනයකි. එසේම අන්ධ හෝ අඩු පෙනුමක් ඇති පිරිස් හට සුදු සැරයටිය යනු අන්ධභාවය සහ ස්වාධීනත්වයේ මෙවලමකි. දෑස් නොපෙනන ප්‍රජාව කෙරෙහි අවශ්‍ය අනුකම්පාවක් නොව මේ සමාජයේ අනෙකුත් පුද්ගලයන්ට මෙන් ම සමානව ජීවත් වීමේ අයිතියකි. ඒ බව පෙන්වාදීමේ අරමුණේ ප‍්‍රතිඵලයක් ලෙස ලෝකවාසී අන්ධ ජනතාව වෙනුවෙන් සුදු සැරයටි ආරක්ෂණ දිනය බිහි විය.

සුදු සැරයටියේ පසුබිම් කතාව බිහිවන්නේ වර්ෂ 1930 සිටය. 1931 දී ප්‍රංශයේ ගුයිලි ඩි හර්බෙමොන්ට් විසින් සුදු පැහැති යෂ්ටියක් භාවිතා කරගෙන ප්‍රංශයේ අන්ධ පුද්ගලයන් වෙනුවෙන් සමාජ සත්කාර ව්‍යාපාරයක් ලෙස දෘශ්‍යාබාධිත පුද්ගලයින් පන්දහසකට සුදු සැරයටි ප්‍රදානය කළේය. පසුව අමෙරිකාව හා අන් රටවල් කෙරෙහිද දෘශ්‍යාබාධිත පුද්ගලයින් සඳහා සුදු සැරයටි ලබාදීමේ වැඩසටහන් ආරම්භ වුණි.

සුදු සැරයටිය භාවිතා කරන දෘෂ්‍යාබාධිත පුද්ගලයෙකුට පරායක්තා හැඟීම අවම වෙමින්, සුරක්ෂිතතාව, ස්වාභිමානය සහ ස්වාධීනත්වය පිළිබඳව හැගීම් තහවුරු වෙයි. අපගේ සහෝදරයින් වන මෙම පුද්ගල කොට්ඨාසයේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඔවුන්ගේ දුෂ්කරතා මඟහැරීමට අප කටයුතු කළ යුතුය. එසේම ඔවුන් වෙනුවෙන් රටක් ලෙස අප අපගේ වගකීම ඉටු කළ යුතුය. ශ්‍රී ලංකාවේ සියලු දෘශ්‍යාබාධිත තැනැත්න් සමඟ අද දිනයේ ජාත්‍යන්තර සුදු සැරයටි ආරක්ෂණ දිනය සැමරීමට මම ද එක් වෙමි

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය

 

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter