නවතම පුවත්

මහා සංඝරත්නයේ උපදෙස් හා යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව  ජනාධිපති බෞද්ධ උපදේශක සභාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ප්‍රසාදය පළ කරයි. ජනාධිපතිතුමා අනුගමනය කරන පිළිවෙත් යහපත් හා සාධාරණ සමාජයක් ගොඩනැගීමට ඉවහල් වනු ඇතැයි උපදේශක සභාවේ සාමාජික නායක භික්ෂුන් වහන්සේ විශ්වාසය පළ කරති.

රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා මහා සංඝරත්නයේ උපදෙස් හා අදහස් ලබා ගැනීම පිණිස බෞද්ධ උපදේශක සභාව ස්ථාපනය කිරීමට මාස 05කට පමණ පෙර ජනාධිපති රාජපක්ෂ මැතිතුමා තීරණය කළේය.

මහා සංඝරත්නය සහ ජනාධිපතිතුමා අතර ප්‍රථම හමුව අප්‍රේල් 24 දා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. එහිදී කොවිඩ් වසංගත මර්දන ක්‍රියාදාමය සහ රජයේ ඉදිරි ගමන් මග පිළිබඳව ජනාධිපතිතුමා නායක ස්වාමින් වහන්සේ දැනුවත් කළේය. සෑම මසකම   03 වැනි සතියේ සිකුරාදා බෞද්ධ උපදේශක සභාව හමුවීමට අපේක්ෂා කරන බව දැනුම් දුන් එතුමා ඊට සහභාගී වන්නැයි ත්‍රෛනිකායික මහා සංඝරත්නයට ඇරයුම් කළේය.

උපදේශක සභාවේ සාමාජික ත්‍රෛනිකායික භික්ෂුන් වහන්සේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි  ඇතුළත්  විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වන උපදෙස් සහ යෝජනා සභා වාර 05කදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ.

අද (18) සවස 06 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ බෞද්ධ උපදේශක සභාව විසින් මෙතෙක් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කරනු ලැබීය.

පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ඓතිහාසික ස්ථාන සුරැකීම, අඩු පාඩු ඉවත් කොට පිරිවෙන් අධ්‍යාපනයේ   උන්නතිය සැලසීම, විහාරස්ථාන ඉඩම් නිරවුල්කර පූජා ඔප්පු දීම, දහම් පාසල් අධ්‍යාපනය, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය, පූර්ව ළමා විය සංවර්ධනය, ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීම, මත්ද්‍රව්‍ය උවදුර මර්දනය, පරිසර සංරක්ෂණය, ශාසන කතිකාවතකට පසුබිම සැකසීම, බෞද්ධ විශ්ව විද්‍යාල අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීම ඇතුළු තවත් යෝජනා රැසකට රජයේ අවධානය යොමු කරමින් ක්‍රියාත්මකවීම පිළිබඳව මහා සංඝරත්නය ප්‍රසාදය සහ ආශිර්වාදය පළ කළහ.

ඉතිහාසයේ පළමු වතාවට රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙකු යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයට ශක්තිමත් සහ ස්ථාවර අනාගත අඩිතාලමක් සැකසීමට ජනාධිපතිතුමා පියවර ගෙන තිබීම උපදේශක සභාවේ ඇගයීමට ලක් විය.

පුරාවිද්‍යා ඉඩම්වල ස්ථාපිත විහාරස්ථාන  පිළිබඳව දීර්ඝකාලීනව පැවති ගැටළු විසදීම පිණිස පුරාවිද්‍යා පනත සංශෝධන එක්  කිරීමට ගත් තීරණය බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්වී ඇතැයි මහා සංඝරත්නය පෙන්වා දුන්හ.

මසකට වරක් රැස්වෙන උපදේශක සභාවේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා  තමාට මෙන්ම නිලධාරීන්ට ද විවිධ ක්ෂේත්‍ර පිළිබඳව මනා අවබෝධයක් ගැනීමට එය ඉවහල් වූ බව කියා සිටියේය. පවතින අඩු පාඩු විසඳීමට පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා පැවසීය.

බෞද්ධ උපදේශක සභාව නියෝජනය කරන මහා සංඝරත්නය සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා, අමාත්‍යාංශ ලේකම්වරු, ආයතන ප්‍රධානීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

කොවිඩ් – 19 වසංගතය හමුවේ දැඩි ජීවිත අවදානමක් සහිතව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සංකේතාත්මකව නිල යතුරු පැදි බෙදාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

2015 වසරේ සිට කිසිදු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට යතුරු පැදි ලැබී නොතිබිණ. සේවා කාලය තුළ යතුරු පැදි නොලැබුණු, දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ 26ක  සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 749 දෙනෙක් හා ප්‍රමුඛතා පදනමින් තෝරාගත් තවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 56 දෙනෙකුට යතුරු පැදි බෙදා දෙනු ලැබීය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බඳවා ගැනීමේදී වසර 02ක පූර්ණ කාලීන පාඨමාලාවකට යොමු කෙරේ. පුහුණු කාලය දීර්ඝ කර උපාධියක් ගැනීමේ අවස්ථාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමග සාකච්ඡා කොට උදාකර දෙන බව ජනාධිපතිතුමා පැවසීය.

සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි සහ අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, කොවිඩ් හදිසි ප්‍රතිකාර සඳහා සෞඛ්‍ය පද්ධතිය පෙර සූදානම් කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර යන මහත්වරු මේ අවස්ථාවට එක්වූහ.

ශී‍්‍ර ලාංකික ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහල නැංවීම අරමුණු කරගනිමින් වාර්ෂිකව ක‍්‍රියාවට නංවනු ලබන ‘‘ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව 2020 සඳහා තෝරාගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ අද (18) සිට 20 වන ඉරිදා දක්වා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වේ.

මෙම ශිෂ්‍යත්ව යෝජනා ක‍්‍රමය මගින් මාධ්‍යවේදීන්ට දෙවරක් ප‍්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර, පළමු අවස්ථාවේ සුදුසුකම් ලබා, පාඨමාලාව සම්පූර්ණකර වසර 05 ක් ඉක්ම ගිය පසුව දෙවන අවස්ථාව සඳහා අයදුම් කළ හැකිය.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මගින් උපාධි හා පශ්චාද් උපාධි වෙනුවෙන් උපරිමය රුපියල් ලක්ෂ දෙකක මුදලක් (200,000) හා දිගුකාලීන, කෙටිකාලීන සහතික පත්‍ර පාඨමාලා සඳහා උපරිම රුපියල් ලක්ෂයක (100,000) මුදලක් ගෙවනු ලැබේ.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විසින් පත්කරනු ලබන තේරීම් කමිටුවක් විසින් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට භාජනය කර ප්‍රතිලාභීන් තෝරාගනු ලැබේ.

ඉදිරියේ දී තැපෑල තුළට ඩිජිටල් තාක්ෂණය ගෙන එමින් ඒ තුලින් නව සේවාවන් රැසක් හදුන්වා තැපැල ගොඩ නැංවීමට කටයුතු කරන බව තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා පවසයි. 
 
ඇමතිවරයා මේ බව කියා සිටියේ මධ්‍යම තැපැල් හුවමාරුවේ නිරීක්ෂණකට සහභාගී වෙමිනි.
 
“තැපැල් සේවාව යනු ලංකාව පුරාම විහිදුන සේවා ජාලයකින් යුක්ත සේවාවන් සපයන රාජ්‍ය ආයතනයකි.වර්තමාන ලෝකයට ගැලපෙන අයුරින් මෙම සේවාවද වැඩි දියුණු කලයුතු වෙනවා.පසුගියදා රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිතුමා හමූ විටද මා තැපැල් සේවාවේ අඩුපාඩු පිලිබදවත් ජනාධිපතිතුමාව දැනුවත් කලා“ යනුවෙන් අමාත්‍යවරයා එහිදී පැවසීය. 
 
මෙම නිරීක්ෂණය සදහා අමාත්‍යාංශ ලේකම් ඒ. සේනානායක මහතා, තැපැල්පති රංජිත් ආරියරන මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

  • ප්‍රධාන මාර්ග දෙපස පදික වේදිකාවේ වාහන නතර කිරීම සපුරා තහනම් …
  • කුඩා පාලම්, වැල් පාලම් හා ඒදඬු වෙනුවට නව පාලම් …
  • මාර්ග දෙපස පැළ මිලියන 02ක් රෝපණයට පියවර …

ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් ලක්ෂයේ ඉදිකිරීම් 2024දී අවසන් කර ප්‍රධාන මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට පවරයි.

සුවපහසුවෙන්, ඉක්මනින් හා ආරක්ෂාකාරීව තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම සෑම පුරවැසියකුම සතු අයිතියකි. ප්‍රවාහන පද්ධතියේ පසුගාමීත්වය සහ බිඳුණු අන්තර් සම්බන්ධතාව පිටුදැක කාර්යක්ෂම සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් මාර්ග පද්ධතියක් ජනතාවට දීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සහතික කර ඇත.

රට පුරා ග්‍රාමීය සහ අතුරු මාර්ග කි.මි ලක්ෂයේ ඉදිකිරීම් පරිසරය රැකෙන පරිදි සිදු විය යුතු යයි ද ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

කුඩා පාලම්, වැල් පාලම් සහ ඒදඬු වෙනුවට නව පාලම් ඉදි කළ යුතු බව ජනාධිපතිතුමා පැවසීය. ගත වූ මාස කිහිපය තුළ මාර්ග කි.මි 8,000ක වැඩ අරඹා තිබේ. ඉන් මාර්ග කි.මි 400ක ඉදිකිරීම් සම්පූර්ණයෙන් නිම කර ඇත.

මාර්ග ඉදිකිරිමේ දී යොදා ගන්නා පස්, ගල්, වැලි අවශ්‍ය ප්‍රමාණය සපයා දීමේ වගකීම සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට  පැවරෙන බව ජනාධිපතිතුමා පැවසීය.  සම්පත් සම්පාදනයට අනුමැතිය දිය යුතු පරිසර, වනජීවි, වන සංරක්ෂණ සහ පුරාවිද්‍යා ඇතුළු සියලු ආයතන දිස්ත්‍රික් මට්ටමින් රැස්ව පූර්ව අනුමැතිය දිය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ප්‍රධාන මහා මාර්ග දෙපස විවිධ වර්ගවල පැළ මිලියන 02ක් රෝපණය කිරීමට ද අද සාකච්ඡාවේ දී තීරණය කෙරිණ.

ඉදිකිරීම් වැඩට කිසිදු බාධාවක් සහ ප්‍රමාදයක් ඇතිවීමට ඉඩ නොතැබිය යුතුයැයි ද ජනාධිපති රාජපක්ෂ මැතිතුමා කියා සිටියේය. මාර්ග ඉදිකිරීම් අධීක්ෂණය රජය සහ කොන්ත්‍රාත්කරු යන පාර්ශ්ව දෙකෙන්ම විය යුතු අතර, උප කොන්ත්‍රාත්දීමට කිසිවිටෙකත් ඉඩ නොදීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

සියලු ප්‍රධාන මාර්ග දෙපස පදික වේදිකාව මත වාහන නවතා තැබීම සම්පුර්ණයෙන් නතර කරන්නැයි ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ. මහල් නිවාස සංකීර්ණ, වෙළෙඳ මධ්‍යස්ථාන ඇතුළු ගොඩනැගිලි ඉදිකිරීමේ දී රථ වාහන ගාල් කිරීමට ඉඩ පහසුකම් සැලසීම අනිවාර්යෙන් කළයුතු යයි ද එතුමා කියා සිටියේය.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීහූ හා කොන්ත්‍රාත් සමාගම් නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

වසර 2030 වන විට රටේ සමස්ත විදුලිය අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනයට සැලසුම් සකස් කළයුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි.

දේශගුණික විපර්යාසය නිසා ගල් අඟුරු සහ ඛනිජ තෙල් වැනි ෆොසිල ඉන්ධන අතහැර ලොව සියලු රටවල් පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වෙමින් සිටී.

මෙරට විදුලි ඉල්ලුමේ වාර්ෂික වැඩිවීම 6% කි. සංවර්ධන ව්‍යාපෘති ඇරඹීමත් සමග බලශක්ති ඉල්ලුම සීග්‍රයෙන් ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇත.

අනාගත පරපුරට ප්‍රතිඵල භුක්ති විදීමට හැකි තිරසර සංවර්ධනයකට මග පාදනු පිණිස හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කළ යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

ව්‍යාපෘතියකට අනුමැතිය දීමේ බලය ඇති ආයතන ශක්‍යතා වාර්තා සකස් කර   තබාගත යුතු අතර, අනුමැතිය කඩිනමින් ප්‍රදානය කළයුතුයයි ජනාධිපතිතුමා අවධාරණය කළේය. යම් ව්‍යාපෘතියකට අනුමැතිය ඉල්ලූ විට දින 14කදි ඊට පිළිතුරක් නොදුනහොත් එය අනුමත වූවක් ලෙස සැලකීම උචිත බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට රජය ඉහළ ප්‍රමුඛත්වයක් දී තිබේ. ඊට අවශ්‍ය සහය දෙන ලෙස සියලු ආයතන වෙත චක්‍ර ලේඛයක් නිකුත් කරන්නැයි ජනාධිපතිතුමා විසින් ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දෙනු ලැබීය.

ටෙන්ඩර් පරිපාටියෙන් තෝරාගන්නා සියලු ව්‍යාපෘති තෙමසකදී ආරම්භ නොකළහොත් නිකුත් කළ බලපත්‍ර අවලංගු කළයුතුබව ජනාධිපතිතුමා කියා සිටියේය.

ප්‍රතිසංස්කරණයට යෝජිත වාරි ව්‍යාපෘති 5000 ආශ්‍රිතව සූර්ය බලශක්ති පැනල සවිකිරීමට ඇති හැකියාව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා  පෙන්වා දුන්නේය.  සූර්ය බලශක්ති ව්‍යාපෘති අදාළ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන්ට පමණක් දීමත්,  ප්‍රතිලාභයෙන් යම් ප්‍රතිශතයක් ගොවි සමිති වෙත ප්‍රදානය කිරීමත් සුදුසු බව  බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

පාසල්, කර්මාන්තශාලා සහ රජයේ ගොඩනැගිලිවල වහලමත සූර්ය බලශක්ති පැනල සවිකිරීමට ඇති හැකියාවත්, ලැබෙන ලාභයෙන් කොටසක් අදාළ ආයතන වෙත දීමට ඇති හැකියාවත් කෙරෙහි අවධානයට යොමු විය.

මන්නාරම, පුනරින් සහ සියඹලාණ්ඩුව ප්‍රදේශවල සුළං බලාගාර ඉදිකිරීමෙන් ජාතික විදුලි බල පද්ධතියට සැලකිය යුතු පුනර්ජනනීය බලශක්ති ප්‍රතිශතයක්  එකතු කර ගැනීම ඉලක්කයකි.

සුළං හෝ සූර්ය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමට පෞද්ගලික ව්‍යවසායකයින්ට තිබෙන බාධා ඉවත් කර රජය සියලු දිරි ගැන්වීම් කළ යුතු බව ද ජනාධිපතිතුමා අවධාණය කළේය.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්කර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛීය ආයතන ප්‍රධානිහූ සහ බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

ඕනෑම පනතක් සම්මත වීම සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ දින (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේදී මාධ්‍යවේදියෙකු විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට තුනෙන් දෙකක් ලබාගැනීමට ආණ්ඩුවට ඉඩ නොදෙන බවට කර ඇති ප්‍රකාශය සම්බන්ධව විමසීමේදී එයට පිළිතුරු ලබාදෙමිනි.

අමාත්‍යවරයා කියා සිටියේ, ඕනෑම පනතක් සම්මත වීමේදී එම පනත සම්මත වීමට පෙර මෙවැනි කතා දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ අවස්ථා වල අසා ඇති බවත්, අවසන් තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස 225 ම මතවාදයත්, එයින් එයින් ව්‍යවස්ථානුකූලව පවතින තුනෙන් දෙක එනම් 150ට අධික බව ලබාගැනීමට ඇති හැකියාව පාර්ලිමේන්තු ක්‍රියාදාමය වන බවයි.

විපක්ෂයේ භූමිකාව අනූව විපක්ෂ නායකවරයා එසේ කීම සම්බන්ධව කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීමේ ලක්ෂණයක් පමණක් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

තුනෙන් දෙක ආ පසු එවැනි සාකච්ඡා නිරන්තරයෙන් පාර්ලිමේන්තුව තුළ ඇති වී ඇති බව පවසමින් එයට උදාහරණයක් සිහිපත් කළ අමාත්‍යවරයා පැවසුවේ, පළාත් සභා පනත ගෙන එන අවස්ථාවේදී තුනෙන් දෙකක් අවශ්‍ය නොවැනි බවට මතවාදයක් පැමිණි බවත් එහිදී තමන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිස විපක්ෂය නියෝජනය කරමින් තුනෙන් දෙකක් අවශ්‍ය බව දිගින් දිගටම කතානායකගෙන් ඉල්ලා සිටි බවත් පැවසුවේය. 

තුනෙන් දෙකක් නොමැති වෙලාවක වෙනත් ක්‍රමයකින් තුනෙන් දෙකට අවශ්‍ය වගන්ති ඉවත් කර පනත් සම්මත වී ඇති බවත් එය සාමාන්‍ය පාර්ලිමේන්තු ක්‍රියාදාමය බවත් ජනමාධ්‍ය අමාත්‍යවරයා සිහිපත් කළේය.

තිරසර සංවර්ධන අරමුණු පිළිබඳ පංච පුද්ගල කමිටු වාර්තාව එම කමිටු සාමාජිකයින් විසින් 10 දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තුවේදී පිළිගන්වන ලදී.

විදේශ කටයුතු අමාත්‍යවරයාගේ උපදෙස් මත පත් කළ මෙම පංච පුද්ගල කමිටුවේ සභාපති ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් අහමඩ් ජාවිඩ් මහතා කටයුතු කළේය.

එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා, අචාර්ය ලොයිඩ් ප්‍රනාන්දු, මහාචාර්ය සී. එස්. වීරරත්න මහත්වරු සහ චාමින්ද්‍රි සපරමාදු මහත්මිය කටයුතු කළහ.

විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත වසර 2030 ගෝලීය තිරසර සංවර්ධන ඉලක්කවලට අදාළ ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අරමුණු සොයා බැලීම පිළිබඳව මෙම පංච පුද්ගල කමිටුව පත් කර තිබිණි.

අග්‍රාමාත්‍යතුමාට මෙම වාර්තාව පිළිගන්වන අවස්ථාවට කමිටු සාමාජිකයින්ට අමතරව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, මහත්වරු එක්ව සිටියහ.

  • රුපියල් බිලියන 60 වාර්ෂික ඉතිරියක් …
  • හම්බන්තොට ඖෂධ ආයෝජන කලාපයක් ඉදි කෙරේ …
  • දේශීය ආයෝජකයන්ට ඖෂධ නගරයක් …
  • හැම මසකම නව ඖෂධයක් නිෂ්පාදනයට පියවර …

ඉදිරි තෙවසර තුළ, මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් දේශීයව නිෂ්පාදනයට සැලසුම් කෙරේ.

විදේශ වෙළෙඳපොළට සහ  ජනතාවට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු ඖෂධ දැරිය හැකි මිලකට  ලබාදීම ඉලක්කයයි.  ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ හා ප්‍රමිතීන්ට අනුකූලව සියලු නිෂ්පාදන සිදු කෙරේ. මෙරට ඖෂධ අවශ්‍යතාවයනේ 85% දැන් ආනයනය කරනු ලැබේ. ඒ සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් බිලියන 130කි. මෙරට ඖෂධ අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමෙන් වාර්ෂිකව රුපියල් බිලියන 60 ක් රටට ඉතිරි වෙයි. අදාළ ඉලක්ක ජය ගැනීමට අපට හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබද අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

දැනට ආසියානු කලාපය තුළ වැඩියෙන්ම  ඖෂධ ආනයනය කරන රට ශ්‍රී ලංකාවයි. වහාම මේ තත්ත්වය වෙනස් කළයුතු බව අවධාරණය කළ ජනාධිපතිතුමා ඊට දායක වීමට මහා පරිමාණ  දේශීය ආයෝජකයන්  කැමැත්ත පල කර තිබෙන බව කීය.

විදෙස් වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ඖෂධ නිෂ්පාදනය සඳහා අක්කර 400ක ආයෝජන කලාපයක් හම්බන්තොට කර්මාන්ත පුරවරයේ ස්ථාපනය කෙරේ. ඊට එක්වීමට ලෝකයේ ඉහළ පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් දැනටමත් ඉදිරිපත්ව සිටී.අප්‍රිකානු සහ අග්නිදිග ආසියානු කලාපයේ ඖෂධ සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර එම වෙළෙඳපළ අවස්ථා අත්කර ගැනීම ද ඉලක්කයකි.

රාජ්‍ය අංශය දියුණු කරන අතරම පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් ද ශක්තිමත් කිරීමට රජය බැඳී සිටී. ඖෂධ නිෂ්පාදනය සඳහා ආයෝජනයට එක්වන්නැයි ජනාධිපතිතුමා ඖෂධ නිෂ්පාදන ආනයන සමාගම් වෙත  විවෘත ආරාධනයක් කළේය.

දේශීය අයෝජකයන් සඳහා අයෝජන කලාපයක් අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ අක්කර 100ක භූමි භාගයක ඉදි කෙරේ. මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් 25 දෙනෙක් ඇමරිකානු ඩොලර් මිලියන 300කට වැඩි  ආයෝජනයක් කිරීමට සූදානම්ව සිටිති. වත්මන් රජය යටතේ මෙරට ඖෂධ නිෂ්පාදනයේ සුවිශේෂ ප්‍රගතියක් පෙන්නුම් කර තිබේ. මේ වන විට රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධවල හිඟයක් නැති බව  අනාවරණය කෙරිණ. සෑම මසකටම එක් නව ඖෂධයක් රට තුළ නිෂ්පාදනය ආරම්භ කර ඇත. ඉදිරි වසරේදී සති දෙකකට වරක් නව ඖෂධයක් නිෂ්පාදනය ඉලක්කයි.

ඖෂධ නිෂ්පාදන ලියාපදිංචියට වසරකට ආසන්න කාලයක් ගත විය. එම ප්‍රමාදය මගහැරීමට අවශ්‍ය නෛතික සංශෝධන කඩිනමින් හඳුන්වාදීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.  ඖෂධ නියාමන අධිකාරිය තුළ දේශීය ඖෂධ ලියාපදිංචිය ඇතුළු ගැටලු නිරාකරණය සඳහා වෙනම ඒකකයක් ස්ථාපනයට ද තීරණය කෙරිණි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නිෂ්පාදන ජනතාවට පහසු මිලට ලබාගැනීම සඳහා දිවයින පුරා සතොස සහ සමූපකාර සුපිරි වෙළෙඳසැල්වල ඖෂධ අළෙවිසැල් 100ක් ස්ථාපනය කිරීමට ද සාකච්ඡා විය. නිවාස වෙතම ඖෂධ සැපයීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද අවධානය යොමු කරනු ලැබීය.

ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල මෙන්ම රේඛීය ආයතනවල නිලධාරීහූ සහ ඖෂධ සමාගම් නියෝජිතයෝ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

ඉදිරි තෙවසර තුළ, මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් දේශීයව නිෂ්පාදනයට සැලසුම් කෙරේ.

විදේශ වෙළෙඳපොළට සහ  ජනතාවට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු ඖෂධ දැරිය හැකි මිලකට  ලබාදීම ඉලක්කයයි.  ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ හා ප්‍රමිතීන්ට අනුකූලව සියලු නිෂ්පාදන සිදු කෙරේ. මෙරට ඖෂධ අවශ්‍යතාවයනේ 85% දැන් ආනයනය කරනු ලැබේ. ඒ සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් බිලියන 130කි. මෙරට ඖෂධ අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමෙන් වාර්ෂිකව රුපියල් බිලියන 60 ක් රටට ඉතිරි වෙයි. අදාළ ඉලක්ක ජය ගැනීමට අපට හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබද අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

දැනට ආසියානු කලාපය තුළ වැඩියෙන්ම  ඖෂධ ආනයනය කරන රට ශ්‍රී ලංකාවයි. වහාම මේ තත්ත්වය වෙනස් කළයුතු බව අවධාරණය කළ ජනාධිපතිතුමා ඊට දායක වීමට මහා පරිමාණ  දේශීය ආයෝජකයන්  කැමැත්ත පල කර තිබෙන බව කීය.

විදෙස් වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ඖෂධ නිෂ්පාදනය සඳහා අක්කර 400ක ආයෝජන කලාපයක් හම්බන්තොට කර්මාන්ත පුරවරයේ ස්ථාපනය කෙරේ. ඊට එක්වීමට ලෝකයේ ඉහළ පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් දැනටමත් ඉදිරිපත්ව සිටී.අප්‍රිකානු සහ අග්නිදිග ආසියානු කලාපයේ ඖෂධ සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර එම වෙළෙඳපළ අවස්ථා අත්කර ගැනීම ද ඉලක්කයකි.

රාජ්‍ය අංශය දියුණු කරන අතරම පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් ද ශක්තිමත් කිරීමට රජය බැඳී සිටී. ඖෂධ නිෂ්පාදනය සඳහා ආයෝජනයට එක්වන්නැයි ජනාධිපතිතුමා ඖෂධ නිෂ්පාදන ආනයන සමාගම් වෙත  විවෘත ආරාධනයක් කළේය.

දේශීය අයෝජකයන් සඳහා අයෝජන කලාපයක් අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ අක්කර 100ක භූමි භාගයක ඉදි කෙරේ. මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් 25 දෙනෙක් ඇමරිකානු ඩොලර් මිලියන 300කට වැඩි  ආයෝජනයක් කිරීමට සූදානම්ව සිටිති. වත්මන් රජය යටතේ මෙරට ඖෂධ නිෂ්පාදනයේ සුවිශේෂ ප්‍රගතියක් පෙන්නුම් කර තිබේ. මේ වන විට රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධවල හිඟයක් නැති බව  අනාවරණය කෙරිණ. සෑම මසකටම එක් නව ඖෂධයක් රට තුළ නිෂ්පාදනය ආරම්භ කර ඇත. ඉදිරි වසරේදී සති දෙකකට වරක් නව ඖෂධයක් නිෂ්පාදනය ඉලක්කයි.

ඖෂධ නිෂ්පාදන ලියාපදිංචියට වසරකට ආසන්න කාලයක් ගත විය. එම ප්‍රමාදය මගහැරීමට අවශ්‍ය නෛතික සංශෝධන කඩිනමින් හඳුන්වාදීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.  ඖෂධ නියාමන අධිකාරිය තුළ දේශීය ඖෂධ ලියාපදිංචිය ඇතුළු ගැටලු නිරාකරණය සඳහා වෙනම ඒකකයක් ස්ථාපනයට ද තීරණය කෙරිණි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නිෂ්පාදන ජනතාවට පහසු මිලට ලබාගැනීම සඳහා දිවයින පුරා සතොස සහ සමූපකාර සුපිරි වෙළෙඳසැල්වල ඖෂධ අළෙවිසැල් 100ක් ස්ථාපනය කිරීමට ද සාකච්ඡා විය. නිවාස වෙතම ඖෂධ සැපයීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද අවධානය යොමු කරනු ලැබීය.

ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල මෙන්ම රේඛීය ආයතනවල නිලධාරීහූ සහ ඖෂධ සමාගම් නියෝජිතයෝ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

“සරල ආරම්භයකින් කල්ගත වන විට ලොකු වෙනසක් කරන්න පිළිවන්. ඒ නිසා සරලම තැනින් පටන් ගන්න. 2005 දී අපි බලයට එන විට එළියට බහින්න බැහැ, හැමතැනම කුණු ගොඩවල්. එදා මගේ නිල නිවසේ සිට යාර 100ක් ඇතුළත කුණු ගොඩවල් 03ක්. කුණු ඉවත් කිරීම ඉතා පහසු දෙයක්. හැම අමාත්‍යාංශයකටම සරල වැඩවලින් දිගු ගමනක් යන්න  පිළිවන්” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (10) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යවරුන් අමතමින් පැවසීය.

සියලු රාජ්‍ය ඇමතිවරු රැස්වීමට එක්ව සිටියහ. පසුගියදා ආරම්භ කළ රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය හා කාර්යභාරය සමාලෝචනය තව සති 03කින් පමණ අවසන් කළ හැකි වෙතැයි පැවසු ජනාධිපතිතුමා රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළේ වසර කිහිපයක් තුළ හඳුනාගත් ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට හැකිවන අයුරින් යයි සඳහන් කළේය.

“ඔබටම පැහැදිළි ඇති මේ අමාත්‍යාංශවලින් කොපමණ වැඩ ප්‍රමාණයක් කළ හැකිද යන්න” පොදු ප්‍රතිපත්තියක් මත ඇමතිවරයා සමග එකඟත්වයෙන් වැඩ කරන්න වගකීම භාර දී තිබෙනවා. ජනතා අපේක්ෂා ඉටුකිරීම අපේ යුතුකමක්. නිලධාරීනුත් හවුල්කරගෙන ඔබේ වගකීම ඉටුකරන්න” ජනාධිපතිතුමා රාජ්‍ය ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

සැලැස්මක් ඇතිව ඉදිරි වැඩ කළයුතු බව කියා සිටි ජනාධිපති රාජපක්ෂ මැතිතුමා වසරින් වසර කළහැකි ප්‍රමාණය තක්සේරු කොට පස් අවුරුද්දටම සැලසුම් සකස් කරන්නැයි පැවසීය.

“ හරි සර්, සියල්ල හරි කියා නිලධාරීන් කියන්න පිළිවන්,  ඒ සැලසුම් තියෙන්නේ ෆයිල් එකේ. සැලසුම් ෆයිල් එකේ තියලා ඵලක් නැහැ. ඒවා බිමට ගේන්න ඕනෑ. ඒ තමයි රාජ්‍ය ඇමතිවරයාගේ වගකීම” ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

වෙනසක් කරන බවට ජනාධිපතිවරණයේ දී දුන් පොරොන්දුව සිහිපත් කළ ජනාධිපතිතුමා වත්මන් දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවට සපථ කළේය. “ඒ වගකීම මට තිබෙනවා, ඔබටත් තිබෙනවා, ඊට අමතරව ඔබේ දේශපාලන ජීවිතය හැඩ ගස්වා ගැනීමටත් මෙය අවස්ථාවක්” එතුමා කීය.

ජනාධිපතිතුමා රාජ්‍ය ඇමතිවරුන් හමුවේ කළ කතාවේ දී අධ්‍යාපනය, කෘෂිකර්මය, තාක්ෂණික නවෝත්පාදන, නිවාස සම්පාදනය, ජල සැපයුම, නගර සංවර්ධනය, ජීවන වියදම වැනි ක්ෂේත්‍ර ගණනාවක් ගැන අදහස් දැක්වීය. නිදසුනක් ලෙස පුරන් කුඹුරු අස්වැද්දීම ගැන සඳහන් කළ එතුමා කෘෂි සංවර්ධනය සඳහා රාජ්‍ය අමාත්‍යාංශ 03ක් ස්ථාපනය කළ බව කීය.

“සමහර කුඹුරු  පුරන් වෙලා.  ඒවායේ වී  වගා කරන්න බැ. ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අපි අනුමැතිය දුන්නා පුරන් කුඹුරුවල වෙනත් භෝග වගා කරන්න. ඒ ආකාරයට පොල් වගා කරන්නත් පිළිවන්” ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මසකට වරක්වත් රාජ්‍ය ඇමතිවරු හමුවී අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බව කී ජනාධිපතිතුමා ඉදිරියට යන විට උද්ගතවන ප්‍රශ්න විසඳා ගැනීමට ඉන් අවස්ථාව ලැබෙනු ඇතැයි සඳහන් කළේය.

පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5,000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි. ඒ සමග දිවයින පුරා ඇති පුරන් කුඹුරු අක්කර 120,000ක් ආශ්‍රිතව “ජාතික ආහාර නිෂ්පාදන දායකත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. වැව් පිළිසකර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට සිවිල් ආරක්ෂක බලකාය සහාය කර ගැනේ.

ග්‍රාමීය කුඹුරු, ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී යෝජිත වැඩසටහන් පුළුල්ව විමර්ශණය කෙරිණ.

“මින් පෙරත් වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. එය විද්වතුන්ගේ සහ ජනතාවගේ බලවත් දෝෂ දර්ශනයට ලක් වුණා. ඊට හේතුව වැව් හාරා ගැඹුරු කළත් ජලය රඳවා ගැනීමේ පුරාණ තාක්ෂණ සහ විද්‍යාත්මක ක්‍රම භාවිත නොකිරීම. එවැනි අඩු පාඩු මග හරිමින් පොදු නිර්ණායකයක් යටතේ ඒ ඒ ප්‍රදේශවලට සහ වැව් වලට ආවේණික ක්‍රමයකට ප්‍රතිසංස්කරණ වැඩ  කළ යුතුයි”. ජනාධිපතිතුමා පැහැදිලි කළේය.

වැව් ගොඩවීමෙන් ඒවායේ ධාරිතාව අඩු වී තිබේ. ඉවුරු කැඩී ගිය වැව් විශාල සංඛ්‍යාවක් ඇත. මහ කන්නය ඉලක්ක කොට ගෙන ඒවා  කඩිනමින් පිළිසකර කිරීමේ අවශ්‍යතාව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

කුඹුරු වගාව සඳහා පමණක් නොව පානීය ජල සම්පාදනය හා සෙසු වාරි අවශ්‍යතා සපුරාලීමට ද වැව් ජලය භාවිත කිරීමේ හැකියාව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබීය.

වාරි මාර්ග පද්ධතියෙන් නඩත්තුවන කෘෂි ඉඩම් පරිහරණ රටාවක් පිළිබඳව ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව සමීක්ෂණයක් කර ඇත.  ඉන් අනාවරණය වූ තොරතුරු පදනම් කර ගනිමින්  මනා ජල කළමනාකරණයක් ඇතිව  මැද කන්න සහ අතුරු කන්නවලදී හඳුනාගත්  කෘෂි බෝග 17 ක් වගා කිරීමට සැලසුම් කර තිබේ.

වැව් ප්‍රතිසංස්කරණය, වැව් ආශ්‍රිත  කර්මාන්ත ආරක්ෂාවන අයුරින් කළයුතුය. අනුබද්ධ ආයතන සහ ගොවි සංවිධාන සමග එකඟතාවයෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. වැව් ප්‍රතිසංස්කරණයට සමගාමීව ඇල වේලි ඇතුළු වාරි පද්ධතිය ද ප්‍රතිසංස්කරණයට  ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

වගා ජල සම්පාදනය සහ පානීය ජල සම්පාදනය අරමුණු කොට සැලසුම් කළ “උතුරු මැද මහ ඇල” සහ “වයඹ ඇල” ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමේ අවශ්‍යතාව අද රැස්වීමේ දී සාකච්ඡාවට ලක් විය.  ඒ යටතේ උතුරු මැද හා වයඹ පළාත්වල ග්‍රාමීය වැව් 1500ක් ආශ්‍රිතව හෙක්ටයාර් 80,000ක් දෙකන්නයේම වගා කිරීමට අපේක්ෂිතය.

දිවයිනේ වාර්මාර්ග පද්ධති සහ ගංගා ආශ්‍රිත සියලු වන රක්ෂිත මාස 06ක් ඇතුළත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සාකච්ඡාවට ලක් වූ තවත් මාතෘකාවකි.

රක්ෂිත තුළ ඇති කුඩා වැව් 500ක් වන සතුන්ගේ ප්‍රයෝජනය පිණිස කඩිනමින් ප්‍රතිසංස්කරණයට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. ඒ සඳහා වාරිමාර්ග, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව වසරක වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

වාරිමාර්ග ක්ෂේත්‍රයේ දිගු කලක සිට පවතින ඉංජිනේරු සහ කාර්මික නිලධාරී ශ්‍රේණිවල පුරප්පාඩු නොපමාව පිරවීමේ අවශ්‍යතාව ද අවධානයට ලක් විය.

නව කෘෂි තාක්ෂණය හඳුන්වාදෙමින් තරුණ ව්‍යවසායකයන් 500ක් කාබනික කෘෂිකර්මයට යොමු කිරීම පිණිස සැලසුම් කළ  “තරුණ ගොවි සෞභාග්‍යා, කාබනික ගොවිපල වැඩසටහන” ද මෙහිදී විමර්ශනය කෙරිණ. මාදුරු ඔය දකුණු ඉවුරේ අක්කර 5000ක් ආවරණය වන පරිදි ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ.  ඊට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනයට එකඟත්වය පළ විය.

අමාත්‍ය චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල මෙන්ම රේඛීය ආයතනවල නිලධාරීහූ සහ ගොවි සංගම් නියෝජිතයෝ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter