නවතම පුවත්

2020 යල කන්නයේ වී මිල දී ගැනීමේ රජයේ වැඩසටහන යටයේ වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල්  50 ක රජයේ සහතික මිල  ගණන් යටයේ මිලදී ගැනීමේ කටයුතු රජය මේ වනවිට ආරම්භ කර ඇත.

 මෙම වැඩසටහනේ  මුල්  අදියර යටතේ මෙවර යල  කන්නයේ වී අස්වනු මෙට්‍රික් ටොන්  200,000 ක් මිලදී  ගැනීමට  රජය අපේක්ෂා කරන අතර ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන  10,400 ක මූල්‍ය පහසුකම් රාජ්‍ය බැංකු හරහා වී අලෙවි මණ්ඩලය වෙත මහා භාණ්ඩාගාරය විසින් ලබා දීමට දැනටමත් පියවර ගෙන ඇත.

අතිගරු ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, නව  රජය විසින් පසුගිය මහ කන්නයේදී ගොවීන්ට වී අස්වනු සඳහා ඉහළ මිලක් ලබාදෙමින් වී කිලෝ ග්‍රෑම් එකක්  රුපියල් 50ක රජයේ සහතික මිල යටතේ මිලදී ගත් අතර, මෙවර යල කන්නයේ දී ද එම සහතික මිල යටතේම වී මිලදී ගැනීම සඳහා රටපුරා පවතින වී අලෙවි මණ්ඩලයේ වී ගබඩා මේ වනවිට විවෘත කර ඇත.

පෙර වසරවල යල හා මහ කන්නවලදී ගොවීන්ගෙන් වී මිලදී ගනු ලැබුවේ නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 38  ක හා සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 41ක මිල ගණන් යටතේ වන අතර, නව රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 50  ක සහතික මිල යටතේ සමස්ත වී අස්වනු ප්‍රමාණයම අලෙවි කරගැනීමට ගොවීන්ට අවස්ථාව හිමිවෙනු ඇත.

කන්ද උඩරට ඇසළ මහා පෙරහරට සමගාමීව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේතුව විසින් අද(25) සමරු මුද්දර සහ මුල්දින කවරයක් නිකුත්කරනු ලැබුවා. මේ සුවිශේෂී අවස්ථාව ‍සඳහා අස්ගිරි විහාර පාර්ශවයේ අතිපූජ්‍ය අනුනායක හිමිපාණන් වහන්සේ සහ ශ්‍රී දළදා මාලිගාවේ මල්වතු පාර්ෂවයෙන් තේවාව භාරව කටයුතු කරන ගරුතර නාහිමිහිමිපාණන් වහන්සේ වැඩමකළ අතර ගරු දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල තුමා සහ අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ හා තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විය.

ජාතික විශ්වවිද්‍යාල නොමැති දිස්ත්‍රික්ක සඳහා ඉදි කෙරෙන අධිතාක්ෂණික විශ්වවිද්‍යාල දහයෙන් එකක් මාතලේ දිස්ත්‍රික්කයට ලැබී තිබෙන අතර එය ඉතා කඩිනමින් ඉදිකෙරෙන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.  ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(21) මාතලේ දිස්ත්‍රික්කය සඳහා ඉදිකිරීමට නියමිත අධිතාක්ෂණික විශ්වවිද්‍යාලය ඉදිකෙරෙන භූමි භාගය නිරීක්ෂණ කිරීමේ චාරිකාවට එක්වෙමින්ය.

  • වත්මන් ව්‍යාප්තිය පාලනයට විධිමත් සැලසුම් …
  • ආසාදිතයන් සොයන පරීක්ෂණ අඛණ්ඩව …
  • මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පුළුල් කෙරේ …
  • පවතින තත්වය පිළිබඳ සියලු තොරතුරු ජනතාවට …
  • කොවිඩ් මර්දනයට සියලු පාර්ශ්ව දක්වන සහය ජනපති ඇගයුමට …

කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග ලොව බොහෝ රටවලට පෙර එය මර්දනයට වගකිවයුතු රජයක් ලෙස ඉතා සාර්ථකව පියවර ගත් බව ජනාධිපතිතුමා සිහිපත් කළේය. “එහිදී විවිධ අභියෝගවලට මුහුණදීමට සිදු විය. මනා සැලැස්මක් ඇතිව ඒවා එකින් එක ජයගනු ලැබීය. නිරෝධායන කඳවුරු ගැන එදා කිසිදු රටකින් අසන්නට නොලැබිණ. එය හඳුන්වා දුන්නේ අපය. අද බොහෝ දෙනෙකුට මේ බව අමතක වී ඇතැයි” ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් කොවිඩ් 19 ආසාදිතයන් පිරිසක් හමුවීමත් සමග උද්ගතව ඇති තත්වය විමර්ශනය කරනු පිණිස කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී එතුමා මේ අදහස් පළ කළේය.

වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රය, යුද හමුදාව, බුද්ධි අංශ සහ පොලීසිය දායක කර ගනිමින් ජනවාරි 26 දින කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කෙරිණ.

චීනයේ,  වූහාන්හි අසරණව සිටි සිසුන් මුදා ගැනීමේ සිට සියලු රටවල් අභිබවා රජයක් ලෙස වගකීමෙන් ගත් පියවර ජනාධිපතිතුමා සිහිපත් කළේය.

රජය නායකත්වය දෙමින් තීරණ ගැනීම සහ සෑම අංශයක්ම දායක කරගැනීම යන ලක්ෂණ අභියෝග ජය ගැනීමට පාදක වූ බව ජනාධිපතිතුමා පැවසීය. රටවල් 74ක සිට පුද්ගලයන් 16,279 දෙනෙකු මවුබිමට රැගෙන විත් නිරෝධායනය කර නිවෙස් වෙත පිටත් කර හැරිණ. නිරෝධායන මධ්‍යස්ථාන 70ක් පවත්වාගෙන යමින් කළ මෙහෙය ද ජනාධිපතිතුමා මතකයට නැංවීය.

“නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපනයට සැලසුම් කිරීමේ දී ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතා පැමිණියා. ඉතාලිය, දකුණු කොරියාව ඇතුළු රටවලින් පැමිණි පිරිස නිරෝධායනයට යොමු කිරීමේ දී ඔවුන්ගෙන් විරෝධතා ආවා. ඉදිරියටත් කුමන බාධක පැමිණිය ද අභියෝග ජය ගනිමින් ජනතාව රැක ගැනීමේ වගකීම අත්හරින්නේ නෑ”  ජනාධිපතිතුමා අවධාරණය කළේය.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන්  හමු වූ කොවිඩ් ආසාදිතයන්ගේ සමිපතමයන් හඳුනාගෙන නිරෝධායනට යොමු කර තිබේ. ඒ ආශ්‍රිත වළලු 04ක් දක්වා පුළුල් පරාසයක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. උද්ගත වූ තත්වය පාලනය කිරීමට සමත් වූ අයුරින් ඉදිරියේ දී මතුවන අභියෝග ජය ගැනීමට රජය සැලසුම් කර ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කරමින් සමාජය තුළ වසංගතය පැතිරයාම අවම මට්ටමේ තබා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට දැන්වීය.

ආසාදිතයන් හඳුනාගත් රාජාංගනය අතුළු සෙසු ස්ථානවල PCR පරීක්ෂණ වැඩිකරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා වසංගතය පිළිබඳ අලුත්ම තොරතුරු සහ රජය ගෙන යන ක්‍රියාමාර්ග ගැන ජනතාව දැනුවත් කරන ලෙස නිලධාරීන්ට දැන්වීය.

කොවිඩ් වසංගත මර්දනයට සමගාමීව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් පුළුල් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග අද රැස්වීමේදී දීර්ඝ සාකච්ඡාවට ලක් විය.

කොවිඩ් මර්දන ව්‍යාපාරය සාර්ථකව රට පුරා ක්‍රියාත්මක කිරීමට දිවා රෑ නොබලා අඛණ්ඩව දායක වන සියලුදෙනා තමා ඉතා ඉහළින් අගයන බව ද ජනාධිපතිතුමා පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී . ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්ම මහත්මීහූ සහ කොවිඩ් කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සහ විශේෂඥ වෛද්‍යවරු  සාකච්ඡාවට එක්ව සිටියහ.

  • අරමුණ හැම දරුවෙකුටම උසස් අධ්‍යාපනය සහ නුපුහුණු ශ්‍රමය 10% අඩු කිරීම.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2021-2030 දස වසර  ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ප්‍රකාශයට පත් කරයි. ‘ රට හදන සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ජාතික ප්‍රතිපත්ති ලේඛනයට අනුකූලව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ පරිවර්තනීය ප්‍රගතියක් අත්කර ගැනීම එමගින් අපේක්ෂා කෙරේ.

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයේ සිටියදී 2014 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාවකින් ස්ථාපනය කළ “ලෝක යොවුන් නිපුණතා දිනය” අත්කරගත් ප්‍රගතිය මත පදනම්ව නිපුණතා සංවර්ධන දශකය සැලසුම් කොට තිබේ. ගෝලීය ප්‍රවනතාවනට යෝග්‍ය පරිදි ඊළඟ පරපුරේ නිපුණතා ප්‍රවර්ධනය සහ ධරණීය සංවර්ධනය සඳහා වන ගෝලීය න්‍යායපත්‍රය 2030 කේන්ද්‍ර කොට නිපුණතා සංවර්ධන දශකයේ ක්‍රියාකාරී සැලැස්ම සැකසේ.

දිවයිනේ නුපුහුණු ශ්‍රම බලකාය ජනගහණයෙන් 10%  දක්වා අඩු කිරීම සහ රටේ සංවර්ධන න්‍යාය පත්‍රය මෙහෙයවීමට සමත් ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ සහ අනාගත අවශ්‍යතාවලට ගැලපෙන පරපුරක් බිහි කිරීමෙන් ශ්‍රී ලංකාව ආසියාවේ මානව සම්පත් සංවර්ධනයෙහි කේන්ද්‍රය බවට පත් කිරීම පිණිස සාමාන්‍ය අධ්‍යාපනය, තෘතීයික අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය හැඩ ගැස්වීම නිපුණතා සංවර්ධන දශකයෙන් අපේක්ෂා කෙරේ. අධ්‍යාපන අංශයේ ඇතිකරන පරිවර්තනය මගින් විදේශ ආයෝජන සහ විදේශීය ශිෂ්‍යයන් ආකර්ශණය කර ගැනීමෙන් හා විදේශ රැකියාවන්හි නිරත පුහුණු ශ්‍රමිකයන් උපයන විදේශ විනිමය වර්ධනය කිරීමෙන් වැඩිපුර ආදායම් ජනනය තවත් අපේක්ෂාවකි.

‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්ති රාමුව ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රගතිය අරභයා රට වැසියා සතු දැනුම, නිපුණතා සහ හැකියාවන් ඉතා වැදගත් සාධක සේ සලකයි. ‘අපේ තරුණයන්ට සහ දේශීය ව්‍යවසායකයනට නව ඉඩ ප්‍රස්ථා උදා කරන, හැම දෙනාටම අලුත් බලාපොරොත්තු සහ අභිමානය පිළිබඳ හැගීම ඇති කරන, ජනතාවට තමන් තෝරාගන්නා කුමන ක්ෂේත්‍රයක වුවද ලෝක නායකයන් බවට පත්විය හැකි පරිදි ස්වකීය නිපුණතා, සමත්කම් සහ ව්‍යාපාරික විනිශ්චය ප්‍රයෝජනයට ගැනීමට ඉඩ සලසන පරිසරයක් නිර්මාණය කිරීම’ පිණිස නිශ්චිත අධ්‍යාපන සැලැස්මක් සම්පාදනය කොට  ක්‍රියාකිරීමේ අවශ්‍යතාව ඉන් අවධාරණය කර තිබේ.

 

වත්මන් අධ්‍යාපන ක්‍රමය සමාලෝචනය කොට ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව පරිවර්තනීය ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කරනු වස් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා විසින් දැනටමත් ස්ථාපනය කර ඇත. කාර්ය සාධක බලකාය ඉදිරිපත් කළ අධ්‍යාපන අංශයේ දිගුකාලීන ගැටළු විමර්ශණය කළ ජනාධිපතිතුමා රටක වඩාත්ම වටිනා වත්කම අනාගත පරපුර බවත්, සියලු රටවැසියනට ස්වකීය විභවතා පුබුදු කොට ප්‍රීතිමත් පවුල් ජීවිතයක් භුක්ති විඳිමින් නීතිගරුක පුරවැසියෙකු ලෙස සමෘද්ධිමත් හා තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට ඉවහල් වන පරිදි මානව සම්පත් සංවර්ධනය රජයක මූලික වගකීම බවත් අවධාරණය කළේය. ජනාධිපතිතුමාගේ මග පෙන්වීම අනුව සැකසෙන නිපුණතා සංවර්ධන දශකයේ මාර්ග සැලැස්ම ජීවිත කාලය පුරා ඉගෙනීම දිරිමත් කරමින්, අධ්‍යාපනයට පිවිසීමේ බහුවිධ අවස්ථා හඳුන්වාදීමටත්, ශ්‍රී ලංකාව නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ ඉදිරියට යන විට සියලු දෙනාට ඊට එක්වීමේ අවස්ථාව සැලසීමත් ප්‍රමුඛත්වය දෙයි.

හඳුන්වාදී ඇති ප්‍රවේශයන් ශිෂ්‍යයන්, අධ්‍යාපනඥයන්, දෙමාපියන් සහ වෘත්තිකයන් වැනි කණ්ඩායම්වල සේම ජාතික මට්ටමේ ආයතනවල සැබෑ අවශ්‍යතා සපුරාලීමට සමත්දැයි දැනගනු පිණිස පරිවර්තනීය වැඩ සැලැස්ම පිළිබඳව ඉදිරි සති කිහිපය තුළ මහජන සංවාදයක් ඇතිකරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

නිපුණතා සංවර්ධන දශකයට අදාළ පරිවර්තනීය න්‍යාය පත්‍රය අවසන් වරට සකස් කිරීමේ දී මහජන අදහස් ද සැලකිල්ලට ගැනේ. අනාගතයට යෝග්‍ය, තමන් තෝරාගන්නා ක්ෂේත්‍රයේ ලෝක නායකයන් බවට පත්වීමට සමත්, සියලු ශ්‍රී ලාංකිකයන් තුළ අභිමානය ඇතිකරන සහ ජාතියේ සංවර්ධනයට උර දෙන පරපුරක් බිහි කිරීම සඳහා වූ ජනාධිපතිතුමාගේ අභිලාශය සාක්ෂාත් කරනු පිණිස අධ්‍යාපන, කර්මාන්ත හා ශ්‍රමික අංශවල සම්බන්ධීකරණයෙන් සැලැස්ම යතාර්ථයක් බවට පත් කිරීමට අපේක්ෂිතය.

 
 

කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවේ වර්ධනයක් සිදුව ඇති වත්මන් වාතාවරණය හමුවේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතනවල සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සහතික කිරීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

කොවිඩ් 19 වසංගතය සතුටුදායක ලෙස පාලනය කිරීමට හැකිවන තෙක් කණ්ඩායම් ආශ්‍රිතව වෛරසය පැතිරයාමේ ඉහළ අවදානමක් පවතී. කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඊට නිදසුනකි. එබැවින් කණ්ඩායම් ආශ්‍රිතව පහසුවෙන් කළ හැකි පරීක්ෂණ අඛණ්ඩව කළයුතුව ඇතැයි ජනාධිපතිතුමා අවධාරණය කරයි.

කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය සමග අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පෙන්වා දුන්නේය.

රට සාමාන්‍ය තත්ත්වයට පැමිණිය ද අවදානම පහව ගොස් නැති බැවින් ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අත් නොහළ යුතුය. පුනරුත්ථාපන සහ සිර කඳවුරු, විශ්වවිද්‍යාල, පාසල් වැනි ආයතන උණ පරීක්ෂාව වැනි සරල පරීක්ෂණ දෛනිකව කරගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මුව ආවරණ පැළඳීම, අත්සේදීම සහ දුරස්ථභාවය පවත්වාගැනීම හැම විටම කළ යුතුය.උණ, උගුර ආශ්‍රීත ආසාදන  ඇතුළු රෝගී තත්ත්වයක් හටගෙන ඇතිනම් ඒ බව තේරුම් ගෙන සමාජ ඇසුරට  නොයාමෙන්ද වසංගත මර්දනයට දායක විය හැකි බව ජනාධිපතිතුමා පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්ම මහත්මීහූ සහ කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (13) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේදී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුව දුක් විමසීය.

මල්වතු අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි සහ අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමිපාණන් වහන්සේලා බැහැ දුටු ජනාධිපතිතුමා සුහද පිළිසඳරක නිතර විය.

උන්වහන්සේ පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමාට සෙත් ප්‍රාර්ථනා කළහ.

ජනාධිපතිතුමා අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන නා හිමිපාණන් වහන්සේ ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි සහ ලේඛකාධිකාරී අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද නා හිමිවරු ද එම අවස්ථාවට එක් වූහ.

 
 

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1450 ඉක්මවා තිබේ.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රමුඛ සභිකයන් රුපියල් 166,000ක්, එච්. ප්‍රියන්ති ආර්. පීරිස් මහත්මිය රුපියල් 5,000ක්, ‘A’ Group Construction & Consults හි කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු පී. ත්‍යාපරන් මහතා රුපියල් 200,000ක්, එළවළු, පළතුරු හා ධාන්‍ය තොග වෙළෙඳ හිමියන්ගේ සුභසාධක සංගමයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා රුපියල් 200,000ක්, එච්.කේ. සිරිසේන මහතා රුපියල් 50,000ක්, පී.බී. සුමනාවතී මහත්මිය රුපියල් 6,500ක්, ඩබ්. මනෝජ් ලලිත් ප්‍රනාන්දු මහතා, රුපියල් 64,000ක් සහ එම්.ඒ. පීටර් විල්ප්‍රඩ් මහතා රුපියල් 5,000ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ. අදාළ චෙක්පත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනුරාධපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවල කළ චාරිකාවේදී භාරදෙනු ලැබීය.

ඩී.එම්. උදුලා විශ්වනී දියණිය රුපියල් 5,000ක්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව රුපියල් 263,628.56ක්, Weettasinghe Pharmaceutical Distributors (Pvt) Ltd රුපියල් 50,000ක්, උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී සුබසාධක සංගමය රුපියල් 189,625.34ක් සහ රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් රාජා ගුණරත්න මහතා රුපියල් 88,000ක් අරමුදලට පරිත්‍යාග කළහ.

දැන් ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,450,326,673.05 කි.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 0760700700/ 0112320880/ 0112354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ආදිකර්තෘන් වහන්සේ ස්මරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද (08) කොළඹ බණ්ඩාරනායක  අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

පූජ්‍ය වැලිතර, මහකරාවේ ඥානවිමලතිස්ස හිමියන් කළ සුවිශාල කැපකිරීමකින් පසු 1803 වර්ෂයේ දී අමරපුර මහා නිකාය ස්ථාපනය කෙරිණ. අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ, අග්ගමහා  පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය, අතිපූජ්‍ය දවුල්දෙණ ඥාණීස්වර වැනි මහා නා හිමිවරු අමරපුර මහා නිකායට නායකත්වය දුන් අතර, පූජ්‍ය පොල්වත්තේ බුද්ධදත්ත  වාදීභසිංහ, පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද වැනි සම්බුද්ධ ශාසනය උද්දීපනය කළ මහා යථිවරයාණන් වහන්සේ අමරපුර මහා නිකායෙන් බිහි වූහ.

වසර 218ක් පුරා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කළ සියලුම ආදිකර්තෘන් වහන්සේ සිහි කරමින් අමරපුර දිනය සමරනු ලැබීය.

අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය  කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියෝ උත්සවයේ මුලසුන හෙබවූහ.

ආදිකර්තෘන්වහන්සේට පුෂ්පෝපහාර පිළිගැන්වීම ජනාධිපතිතුමා විසින් සිදු කෙරිණ.

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ චරිතාපදනය එළිදක්වනු ලැබූ අතර,  ග්‍රන්ථයේ පළමු පිටපත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ධම්මාවාස මහා නා හිමිපාණන් වෙත පිළිගන්වනු ලැබීය.

අමරපුර නිකායට අයත් සියලු විහාරස්ථානවල තොරතුරු ඒකරාශි කොට ලියැවුණු “අමරපුර විහාරස්ථාන නාමාවලිය” ග්‍රන්ථය ද එළිදැක්විණ.

අමරපුර දිනය සිහි ගන්වමින් අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමියෝ සහ ලේඛකාධිකාරී මහාචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර හිමියෝ ජනාධිපතිතුමා වෙත සිහිවටනයක් පිළිගැන්වූහ.

ත්‍රෛනිකායික මහා නායක, අනුනායක හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ගිහි පැවිදි පිරිසක් සමරු උළෙලට  එක්ව සිටියහ.

 
 

ගම ගොඩනැගීමට නම් ග්‍රාමීය ආර්ථිකය සහ ජනතා අවශ්‍යතා හඳුනාගනිමින් බැංකු සේවා ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

පිට රටවලින් පැමිණ කර්මාන්තශාලා අරඹන තෙක් නොසිට අපනයන කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපතිතුමා කියා සිටී. කර්මාන්ත බිහි වීම පමණක් සංවර්ධනය නොවන බව පෙන්වා දෙන ජනාධිපතිතුමා කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කරගනිමින් ග්‍රාමීය ව්‍යවසායකත්වය වර්ධනය කළ යුතු බව පවසයි.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ අදහස් පළ කෙරිණ.

අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන කෘෂිකර්මාන්තය දියුණු කිරීමෙන් ආර්ථික සංවර්ධනය අත් කරගැනීම රජයේ අරමුණකි. ඒ සඳහා ආර්ථිකය ගොඩනගන ආකාරය පහළ සිට බැලීමේ වැදගත්කම ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

වාණිජ බැංකු ණය සම්පාදනයේදී නිෂ්පාදන ක්ෂේත්‍රයට වඩා වෙ‍ළෙඳ අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. සම්ප්‍රදායට සීමා නොවී ගොවීන් නිෂ්පාදනයට දිරිගන්වමින් ක්‍රියාකිරීම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වගකීමකැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.

කෘෂි භෝග ආනයනයට ඉඩ නොතබා උඳු, කුරක්කන්, මුං ඇතුළු ධාන්‍ය වගා දිරිගැන්වීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරිණ. ඒ ඒ ප්‍රදේශයට ඉලක්ක නියම කරමින් ගොවියා දිරිගැන්වීමට අවශ්‍ය සහාය, බැංකුව ගමට ගෙනයාමෙන් තමා අපේක්ෂා කරන ඉලක්කය බව ද ජනාධිපතිතුමා පැවසීය.

දීර්ඝ කාලීනව ගෙවීමේ පදනම මත මහා පරිමාණ වශයෙන් ණය ගෙන ගෙවීම පැහැර හරින අයට එරෙහිව තදින් ක්‍රියාකළ යුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා රාජ්‍ය බැංකුවලට අයවිය යුතු ණය අයකරගැනීමේ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය, සමාන්‍යාධිකාරී ටී. කූහන් යන මහත්වරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනුරාධපුර වෙහෙරබැන්ද කුටිය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානවල ආගමික වතාවත්හි නිරත වෙයි.

ශිලා ලේඛන සංග්‍රහයට අනුව ක්‍රි.ව 5 වැනි සහ 6 වැනි ශතවර්ෂවල පළමුවැනි භාතිය රජතුමා විසින් වෙහෙරබැන්ද කුටිය රජමහා විහාරය ඉදිකර තිබේ.

අද (04) පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය වැලිසර සිරි ජිනවංස තිස්ස හිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

සිල් සමාදන්ව සිටි උපාසක උපාසිකාවන් සහ ප්‍රදේශවාසීන් සමග ද ජනාධිපතිතුමා සුහද පිළිසඳරක නිරත විය.

ජනාධිපතිතුමා අද පස්වරුවේ අනුරාධපුරය ඓතිහාසික තන්තිරිමලය පුදබිමේ ආගමික වතාවත්වල නිරත විය.

අෂ්ඨඵල බෝධීන් වහන්සේ උදෙසා  ඖෂධ පූජාව ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තියට ආශිර්වාද  කළ විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන හිමියෝ කොවිඩ් 19 පාලනයට රාජපක්ෂ මැතිතුමා කළ විශිෂ්ට මෙහෙවර ගැන ප්‍රසාදය පළ කළහ.

පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන බුද්ධ ප්‍රතිමාවට සමාන තන්තිරිමලේ ඓතිහාසික ශෛලමය සැතපෙන බුද්ධ ප්‍රතිමාව ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

විහාරස්ථානයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතුන්වහන්සේ ජනතා වන්දනා මානයට විවෘත කළ ජනාධිපතිතුමා ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සැදැහැවතුන් සහ ප්‍රදේශවාසීන් සමග ද  ජනාධිපතිතුමා සුහද කතා බහක නිරත විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනුරාධපුර, මිහින්තලයේ ඓතිහාසික මිහිඳු ආරණ්‍ය සේනාසනය වැඳ ආශිර්වාද ලබා ගනී.

ක්‍රි.ව 5 -6 සිය වස්වලට අයත් මිහිදු ආරණ්‍ය සේනාසනය සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ වනවාසී සංඝ සභාවේ මූලස්ථානය වේ.

අද (04) පෙරවරුවේ මිහිදු ආරණ්‍ය සේනාසනය වෙත පැමිණි ජනාධිපතිතුමා සේනාසනාධිපති,  සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ වනවාසී සංඝ සභාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්පාත සුමන හිමියන් බැහැ දැක සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

ජනාධිපතිතුමා විහාර මන්දිරය ද වැඳ පුදාගත්තේය.

ජනාධිපතිතුමාට සහ ඇසළ පොහෝ දිනය නිමිත්තෙන් සිල් සමාදන්ව සිටි උපාසික උපාසිකාවන්ට සෙත් පතා ජය පරිත් සජ්ජායනාවක් ද සිදු කෙරිණි.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter