නවතම පුවත්

“සාමය සඳහා වූ ආසියානු බෞද්ධ සම්මේලනයේ” 13 වැනි විධායක කවුන්සිල හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද (14) පෙරවරුවේ කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී පැවැත්විණ.
දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු එකමුතුකම අරමුණු කරගත් රැසියානු සහ මොංගෝලියානු බෞද්ධ නායකයෝ අන්තර්ජාතික බෞද්ධ සංවිධානයක අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස 1970 ජුනි මස 13 වැනි දින මොංගෝලියාවේ උලන් බටාර් නගරයේ මහා විහාරයට රැස් වූ ගිහි පැවිදි බෞද්ධ නායකයෝ “ආසියානු බෞද්ධ සාම සම්මේලනයේ” ප්‍රථම සමුළුව පැවැත්වූහ. දෙවන සමුළුව ශ්‍රී ලංකාවේ පවත්වා තිබේ. මේ වන විට ලෝකයේ සියලු බෞද්ධ රටවල් මෙහි සාමාජිකත්වය ගෙන සිටී.
13 වන විධායක කවුන්සල සභා රැස්වීමේ සත්කාරක දායකත්වය ශ්‍රි ලංකාවට හිමිව තිබේ. කොරෝනා වසංගතය හමුවේ සත්කාරක රට වශයෙන් ක්‍රියා කිරීම මෙරට ලැබූ සුවිශේෂ ගෞරවයක් හා සෙසු රටවල් අතර සමීප සබඳතාවකට හේතු වනු ඇතැයි ආසියානු බෞද්ධ සම්මේලනය පෙන්වා දෙයි.
අද ඇරඹි විධායක කවුන්සිල සභා රැස්වීමට Zoom සන්නිවේදන තාක්ෂණය ඔස්සේ රටවල් 25ක නියෝජිතයෝ එක්ව සිටියහ.
විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්හි නිරතවීමෙන් අනතුරුව සමුළුවට සහභාගී විය.
මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සමුළුවේ අරමුණ පැහැදිළි කළහ.
මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියෝ “කොවිඩ් – 19 හමුවේ බෞද්ධයන්ගේ කාර්යභාරය” යන මැයෙන් මුලසුන දේශනය කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රධාන දේශනය කළේය.
මොන්ගෝලියානු අග්‍රාමාත්‍ය උක්හාන් ජින් කුරේල්සුක් (Ukhnaagiin Khurelsukh) මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතීය.
ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර නා හිමියෝ සමුළුවේ ප්‍රථම භාගයේ අවසාන දේශනය කළහ.
සමුළුවේ සමාරම්භක අවස්ථාවෙන් පසු ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජ්‍ය බොරලන්දේ වජිරඤාණ නායක හිමියන් බැහැදුටු ජනාධිපතිතුමා සුගන්ධ කුටියට ගොස් සර්වඥ ධාතූන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහ දේශීය හා විදේශීය බෞද්ධ නියෝජිතයෝ ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

තෛපොංගල් දින පණිවිඩය

අස්වනු නෙලීමේ මංගල්‍යය යන අරුත ඇති තෛපොංගල් ලොව පුරා වෙසෙන දෙමළ ජනයාගේ මුල් පෙළේ ආගමික සංස්කෘතික උළෙලකි. එය ස්වභාවධර්මය හා බැඳුණු, කෘෂිකර්මය මත පදනම් වූ පාරම්පරික ජීවන රටාව සහ භෝග වගා සරු කිරීමට උපකාරී වූ සූර්යයාට කෘතඥතාව පුද කිරීම සනිටුහන් කරයි. හින්දු ධර්මානුකූලව දිවි ගෙවන දෙමළ ජනයා තෛපොංගල් සමය සිය අපේක්ෂා ඉටුවන නව වසරක උදාව ලෙස ද සලකති. එකී සොම්නස භුක්ති විඳින අපේ සහෝදර දෙමළ ජනතාව සමග මම ද සතුටු සිතින් එක් වෙමි.

ගොවිතැනෙන් ලැබෙන අග්‍රඵලය වූ නැවුම් සහල්, කිරි හා මුසු කොටඉතිර වීමෙන් තමන්ටත්, තම පවුලටත්, රටටත් සහ සමස්ත ලෝකයාටත්
සෞභාග්‍යය උදා වේවා යන්න ඔවුන්ගේ ප්‍රාර්ථනයයි. ජාති ආගම් භේදයකින් තොරව ලක්වැසි සියලූ ජනතාවට සෞභාග්‍යය උදා කිරීම මගේත්, අප රජයේත් ඒකායන පරමාර්ථයයි. අප රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන රට හදන සෞභාග්‍යයේ දැක්මෙහි අඩංගු වන්නේ ඊට මග පාදන ක්‍රියාදාමයයි.

කළගුණ සැළකීම ශ්‍රී ලාංකේය සමාජයට අනන්‍ය වූ ලක්ෂණයකි. නෙලාගත් අස්වැන්නේ පළමු කොටස සූර්යයාට පුද කරන තෛපොංගල් උත්සවය අපේ සමාජය අනාදිමත් කලක සිට අගය කරන සාරධර්ම සංකේතවත් කරයි. මේ නිසාම තෛපොංගල් මංගල්‍යය ජාතික සංස්කෘතියේ කොටසක් බවට පත්ව තිබේ.

මානව සමාජයේ බුහුමනට පාත්‍රව ඇත්තාවූත් යහගුණ සලකුණු කරන්නාවූත් තෛපොංගල් උළෙලට එක්වන ශ්‍රී ලංකාවාසී දෙමළ ජනතාවට මගේ සුභාශිංසන පිරිනමමි.

ගෝඨාභය රාජපක්ෂ

2021 ජනවාරී මස 13 වන දින

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය විකිණීමට හෝ බදු දීමට කිසිම ආකාරයකින් කටයුතු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය වෘත්තීය සමිති නියෝජිතයන් හමුවේ ඊයේ (13) ප්‍රකාශ කළේය.   රට තුළ කෙරෙන ආයෝජන මඟින් රටේ ස්වෛරීභාවයට හෝ ස්වාධීනත්වයට හෝ කිසිඳු හානියක් වීමට තමා ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවල ඉල්ලීමක් අනුව ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (13) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවැසීය.

පසුගිය රජය නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිස ගෙන තිබුණු බවත් විකිණීමෙන් පසු ජපානයෙන් ණයක් ගැනීමටත්, ණය මුදලින් ඉදිකිරීම් සඳහා වන උපකරණ මිලදී ගැනීමටත් ගිවිසුමට ඇතුළත් වූ බවත් පැවැසූ රාජපක්ෂ මහතා, මෙම ගිවිසුම පිළිබඳව වත්මන් රජය ඉන්දියාව සමග කළ සාකච්ඡාවලින් පසු සියයට 51% අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමේ එකඟතාවට පැමිණීමට හැකි වූ බවත් පැවැසීය.

පසුගිය රජය විසින් හම්බන්තොට වරාය 99 වසරකට චීන රජයට සම්පූර්ණයෙන් බදු දී තිබිණ. තමා බලයට පත්වීමෙන් පසු චීනය සමග සාකච්ඡා කර වරායට අයත් මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ වගකීම රජය යටතට ගත් බව රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

නැගෙනහිර පර්යන්ත සංවර්ධනය සැලසුම් කළේ කලාපීය භූ දේශපාලනික සාධක, රටේ ස්වෛරීභාවය, අදායම් සහ රැකියා උත්පාදනය ඇතුළු සියලු සාධක සමාලෝචනය කිරීමෙන් පසුව යැයි ද කීවේය.

 
 

ආයෝජන වැඩසටහන යටතේ නැගෙනහිර පර්යන්තය “තිරසාර සංවර්ධනයකට” ලක් කරන බවත් නැගෙනහිර පර්යන්තය ප්‍රතිඅපනයන මෙහෙයුම්වලින් 66%කට ඉන්දියාව දායක වන බවත් සියයට 9 ක් බංග්ලාදේශයටත්, ඉතිරිය තවත් රටවල් කිහිපයකටත් කෙරෙන ප්‍රතිඅපනයනයන් බවත් හෙතෙම පැවැසීය. ශ්‍රී ලංකා රජයට සියයට 51 අයිතිය සහ ඉතිරි සියයට 49 ඉන්දීයාවේ “අදානි” සමාගමටත්, වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ ගැන කිසි සැකයක් තබා නොගන්නැයි වෘත්තීය සමිති නියෝජිතයෝ හමුවේ කියා සිටියේය. සියලු වෘත්තීය සමිති නියෝජිතයන් එක්ව මේ වැඩසටහන පිළිබඳව සිය යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන්නැයි සමිති ප්‍රධානීන්ට ජනාධිපතිවරයා මෙහිදී දැන්වීය. වරාය බටහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරියට පැවරීමට තමා අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා වරාය සංවර්ධනය සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද වෘත්තීය සමිති නියෝජිතයන්ට පෙන්වා දුන්නේය.

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් පුළුල් කිරීමෙන් රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් උත්පාදනය කෙරෙන බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව පිටුදැකීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මේ අවස්ථාවට එක් වෙමින් කියා සිටියේය. පසුගිය රජය මත්තල ගුවන් තොටුපොළ සහ නොරොච්චෝලේ බලාගාරය විකිණීමට සකසා තිබූ සැලසුම් වත්මන් රජය මුළුමනින්ම නවතා දැමූ බව ද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, වරාය අමාත්‍යාංශයේ ලේකම්, වරාය සභාපති ඇතුළු නිලධාරීහූ සහ වෘත්තීය සමිති 23ක නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින නව මහ කොමසාරිස් තාරික් මොහොමඩ් අරිෆුල් ඉස්ලම් මහතා ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්ත පත්‍රය පිළිගැන්වීය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වාතාවරණය සහ කොවිඩ් 19 පාලනයට රජය ගෙන ඇති පියවර පැහැදිලි කළ ජනාධිපතිවරයා බංග්ලාදේශය ඇතුළු කලාපීය රාජ්‍යයන් සමඟ හඳුනාගත් කේෂ්ත්‍රවල ද්විපාර්ශ්වික සබඳතාව හැකි උපරිමයෙන් වර්ධනය කර ගැනීම සිය අභිලාෂය බව අක්ත පත්‍ර බාරගැනීමෙන් අනතුරුව පැවැති සාකච්ඡාවේදී පැවසීය.

ඉන්දීය සාගරයේ පිහිටි රාජ්‍යයන් ලෙස සාමුද්‍රීය සහයෝගීතා වර්ධනයට විශාල ඉඩ කඩක් ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර තම රට ඊට ඉහළ ප්‍රමුඛත්වයක් දී ඇතැයි නව මහ කොමසාරිස්වරයා කීය.

කෘෂිකර්මය සහ අපනයන බෝග ප්‍රවර්ධනය, සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය සහ වෙළෙඳාම සබඳතා ප්‍රසාරණය කළ හැකි සෙසු ක්ෂේත්‍ර ලෙස ජනාධිපතිවරයා විසින් නම් කරනු ලැබීය. විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යාපන සහයෝගීතාව ප්‍රමුඛ අවශ්‍යතාවක් යැයි හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් දැනටමත් බංග්ලාදේශයේ උසස් අධ්‍යාපනයේ නිරතව සිටින බව සඳහන් කළ නව මහ කොමසාරිස්වරයා අන්‍යොන්‍ය ප්‍රතිලාභ ලැබෙන අයුරින් සිය රටේ අධ්‍යාපන අවස්ථා ශ්‍රී ලංකාව වෙනුවෙන් පුළුල් කිරීමට සූදානම් බව පැවසීය.

 
 

2018න් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු බංග්ලාදේශයේ චාරිකා කර නැතැයි සඳහන් කළ අරිෆුල් ඉස්ලම් මහතා නිල චාරිකාවක් සඳහා සිය රටට එන්නැයි ජනාධිපති රාජපක්ෂ මහතාට කළින් කර තිබූ ආරාධනය යළි සිහිපත් කළේය.

රාජ්‍ය නායක මට්ටමේ සබඳතාවන්හි අවශ්‍යතාවන් අවධාරණය කළ ජනාධිපතිවරයා වත්මන් දුෂ්කර සමය අවසන් වීමෙන් පසු ඒ පිළිබඳව අවධානය යොමු කරන බව කීය.

විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (12) පැවැත්විණි. සමාජ මාධ්‍ය පිළිබඳ මූලික උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරීන් 76 දෙනෙකු මෙහිදී උපාධිය හිමි කරගත් අතර උපාධිධාරීන් පනස් දෙනකුට අගමැතිවරයා අතින් උපාධි පිරිනැමිණි. සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ, අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් හා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (ශාස්ත්‍රීව) එම්.ටී.ආර්. ශාමිනී අත්තනායක ඇතුළු මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වූහ.

බුද්ධශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඉදිකළ පොල්පිතිගම සංස්කෘතික මධ්‍යස්ථානය බුද්ධශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු ඇමැති, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (9) විවෘත කෙරිණි.

රට හදන සෞභාග්‍යයේ දැක්ම සංවර්ධන වැඩපිළිවෙළ යථාර්ථයක් කරමින්, මහජන අරමුදල් යටතේ මෙම සංස්කෘතික මධ්‍යස්ථානය රුපියල් මිලියන 25ක ප්‍රතිපාදන වැයකරමින් ඉදිකර තිබේ.

සංස්කෘතික මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය භාණ්ඩ ලබාදීම ද අගමැතිවරයා අතින් මෙහිදී සිදු විය.

මෙම අවස්ථාවට ඇමැතිවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සී.බී.රත්නායක, රාජ්‍ය ඇමැතිවරුන් වන ඩී.බී.හේරත්, අනුරාධ ජයරත්න, සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගුණපාල රත්නසේකර, සුමිත් උඩුකුඹුර, අසංක නවරත්න, මංජුලා දිසානායක, ශාන්ත බණ්ඩාර, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, බුද්ධශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

  • බාධාවකින් තොරව වගාවට ඉඩ සැලසීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් …
  • නිලධාරීන් ගමට යා යුතුයි …
  • සෑම ගමක්ම තිරසර සංවර්ධනයකට …

බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
විපක්ෂයේ සිට හඳුනාගත් ජනතා ගැටළුවලට විසඳුම් දී ගමට තිරසාර සංවර්ධනයක් උදා කරන බව ජනාධිපතිතුමා කියා සිටී.
සිදුකර ඇති වැරදිවලට දඬුවම්දීම නීතියට පැවරී ඇති කාර්යභාරයකි. ඊට මැදිහත් වී කලින් රජය කළාත් මෙන් දේශපාලන පළිගැනීම් කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපතිතුමා සඳහන් කරයි. ජනතාව අතරට වැරදි මත ගෙන යන්නේ නැතිව සාධාරණව දේශපාලනයේ නිරත වන්නැයි ජනාධිපතිතුමා විපක්ෂයට කියා සිටී.
මහා සංඝරත්නය ඇතුළු ජනතාව ජනාධිපතිවරයා වීමට පෙර සිටි ආරක්ෂක ලේකම්වරයාගේ භූමිකාව අපේක්ෂා කරති. පිත්තල හන්දියේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීහු තමා ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ. එය සිදු කළ ත්‍රස්ත නායකයාට මුහුණපෑමට සිදු වූ ඉරණම ජනතාව දනිති. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ යන චරිත දෙකෙන් ඕනෑම චරිතයකට සූදානම් වුවත් විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට සූදානම් නැති බව ජනාධිපතිතුමා කියා සිටී.
අද (09) උදෑසන අම්පාර, උහන, ලාතුගල ගම්මානයේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවෙමින් රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය. ජනාධිපතිතුමා සහභාගී වූ “ගම සමග පිළිසඳර” පස්වන වැඩසටහන මෙයයි.
2020 සැප්තැම්බර් මස 25 වැනි දින පළමු වැඩසටහන බදුල්ල, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලංවිට ගම්මානයෙන් ආරම්භ විය. වැඩසටහනේ දෙවැන්න මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හිඹිලියාකඩ, තෙවැන්න බලංගොඩ ඉඹුල්පේ, රාවණාකන්ද සහ සිව්වැන්න කැබිතිගොල්ලෑව කණුගහවැව ගම්මානවලදී පැවැත්විණ.
අද පිළිසඳර සඳහා අම්පාර නගරයේ සිට කි.මි 24ක් දුරින් පිහිටි උහන ප්‍රා දේශීය ලේකම් බල ප්‍රදේශයේ ලාතුගල ගම්මානය තෝරාගෙන තිබිණ. ජන හමුව වෑරැන්කැටගොඩ, ලාතුගල ප්‍රාථමික විද්‍යාල භූමියේ දී පවත්වනු ලැබීය. උහන, දමන, ගලපිටගල, ගොනාගොල්ල, පදියතලාව, දෙහිඅත්තකණ්ඩිය, මහියංගනය, බණ්ඩාරදූව, මහකණ්ඩිය, බොක්කබැද්ද ඇතුළු ගම්මාන රැසක ජනතාව සිය දුක්ගැනවිලි ජනාධිපතිතුමාට දැනුම් දීම සඳහා රැස්ව සිටියහ.
ලාතුගල ගම්මානයේ විශාලත්වය වර්ග කි.මි 09කි. ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් දිවි බේරාගෙන පැමිණි පවුල් 15ක පදිංචියත් සමග ජනාවාසය ආරම්භ වී ඇති බව ගම්මු පවසති. පවුල් 231කින් යුත් මෙහි ජන ගහණය 783කි.
වැසි ජලයෙන් සිදු කරන හේන් ගොවිතැන ලාතුගල ඇතුළු අවට ගම්මාන රැසක ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ. ඔවුන් බඩ ඉරිඟු, කවුපි, කුරක්කන්, එළවළු වගාවෙහි නිරත වන අතර, සේනා දළඹු උවදුරින් ගොවීහු දැඩි පීඩාවට පත්ව සිටිති. වන අලි තර්ජනය ද ඔවුන්ට බලපා ඇති ප්‍රධාන ගැටළුවකි.
වන ජිවි සහ වන සංරක්ෂණ මැනුම්වලදී රක්ෂිත ලෙස සළකුණු කිරීම හේතුවෙන් පාරම්පරික හේන් ගොවිතැනින් ඉවත් වීමට සිදුවීම ලාතුගල ජනතාව මුහුණපා සිටින සෙසු මූලික ගැටළු අතර ප්‍රධාන තැනක් ගනී. දිවයිනේ සියලු ගම්වල පාරම්පරිකව වගා කටයුතු සිදු කරන ගොවීන්ට මින් ඉදිරියට වනජීවි හෝ වන සංරක්ෂණ හෝ වෙනත් කිසිඳු ආයතනයක බලපෑමකින් තොරව වගාව කරගෙන යාමට ඉඩ හැරීමේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව ජනාධිපතිතුමා ජනතාවට දැනුම් දුන්නේය. ඊට අනුගතව ජනතාවට සහය වන්නනැයි දිසාපතිවරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ජනාධිපතිතුමා කියා සිටියේය.
ගමේ ජනතාව මුහුණ දෙන ගැටළු එකකි. නිලධාරීන් ප්‍රශ්න දෙස බලන විදිය තවත් ආකාරයකි. කොළඹ සිට මත හදන අයගේ අදහස් ඊටත් පරස්පරය. මේ නිසා නිලධාරීන් සිය කාර්යාලවලට සීමා නොවී ගමට ගොස් සැබෑ ජනතා ගැටළු හඳුනාගෙන විසඳුම් දිමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
අසනීප තත්ත්වයකදී ප්‍රතිකාර ගැනීමට කි.මි 16ක් දුරින් වූ උහන ඩිස්පැන්සරියට හෝ කි.මි 24ක් දුරින් පිහිටි අම්පාර රෝහලට හෝ යාමට ජනතාවට සිදු වෙයි. ඊට විසඳුමක් ලෙස අවට ගම්මාන රැසක ජනතාවට සේවාව සැපයෙන පරිදි බොක්කබැද්ද ග්‍රාමයේ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීමට ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.
ලාතුගල ප්‍රාථමික විද්‍යාලයට නව ගොඩනැගිල්ලක් සහ ක්‍රිඩාපිටියක් ඉදිකර දීමටත්, පවතින ගුරු හිඟයට කඩිනම් විසඳුම් දීමටත් තීරණය කෙරිණ. උහන විද්‍යාලෝක විද්‍යාලය, වළගම්පුර විද්‍යාලය, උහන වෑරැන්කැටගොඩ මහා විද්‍යාලය, ගලහිටියාගොඩෙ, ප්‍රියංගල, රජගල, නුගේතැන්න සහ උහන තිස්ස, අම්පාර ජාතික යන විදුහල්වල ගුරු හිඟයට නොපමාව පිළියම් යොදන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට දැනුම් දුන්නේය.
අම්පාර, ලාතුගල මාර්ගයේ වැඩ කඩිනමින් අවසන් කිරීමට ද උපදෙස් දෙනු ලැබිණ. ලාතුගල – බොක්කබැද්ද – ඇතුල්ඔය දක්වා මාර්ගය, බක්මිටියාව – පන්නල්ගම, මහඔය – කුරුදුවින්න මාර්ගවල වැඩ කඩිනමින් අවසන් කිරීමට ද නියම කෙරිණ. මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ මාර්ග කි.මි 1150ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. මේ මාර්ග සංවර්ධන කටයුතු කොන්ත්‍රාත්කරුවන්ට පැවරීමේ දී වගකීමෙන් ඉටුකළ හැකි පිරිසට පමණක් පවරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
කෘෂිකාර්මික ක්‍රියාකාරකම්වලට ප්‍රධාන බාධාවක්ව පවතින ජල අවශ්‍යතාවට පිළියමක් ලෙස කොටපත්දමන වැව ප්‍රතිසංස්කරණය කඩිනම් කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට පැවසීය. ජනතාවගේ පානීය ජල ගැටළුව කෙරෙහි ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය. ලාතුගල ගම්මානයට අයත් අතුරු මාර්ගවල ජල නළ ඇතිරීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා කඩිනමින් පානීය ජල ගැටළුවට විසඳුම් දෙන්නැයි කියා සිටියේය.
රඹකැන්ඔය ජලාශයෙන් පදියතලාවට ජලය සැපයීමටත්, ටැම්පිටිය, පූනාවලි, මල්ලියතිව් ඇතුළු ගම්මාන රැසකට පානීය ජල පහසුකම් සම්පාදනයටත් තීරණය කෙරිණ. යෝධකණ්ඩිය, කොටපත්දමන, ලාතුගල, හුලංනුගේ, හඳපාදාගම අතුළු වැව් කඩිනමින් පිළිසකර කිරීමට තීරණය විය.
ලාතුගල ග්‍රාමයට පොහොර ගබඩා සංකීර්ණයක් ඉදිකර දෙන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.
ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් ආයතනය පරිත්‍යාග කළ පරිගණක යන්ත්‍ර 03ක් ලාතුගල සහ විද්‍යාලෝක විද්‍යාලවල විදුහල්පතිවරුන්ට හා සිසුන්ට භාරදීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.
රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්.ඩි. වීරසිංහ, තිලක් රාජපක්ෂ, ඒ.එල්.එම්. අතාවුල්ලා, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු සහ ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් ලාතුගල “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

පොල්පිතිගම, ඉරුදෙණියාය ප්‍රදේශයේ ජනතාව දශක කිහිපයක් තිස්සේ විසඳුම් නොලද ඉඩම් ගැටලුව ඇතුලු ජනතා ගැටලු රැසකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්වී අද (09) විසඳුම් ලබා දුන්නේය.
 
ගම සමඟ පිළිසඳර - වැඩ සමඟ යළි ගමට ජාතික වැඩසටහනට අදාළව මකුලපොත, කට්ටම්බේරිය යාය ප්‍රාථමික විද්‍යාලයේ පැවති ජන හමුවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මෙසේ ජනතාවගේ ගැටලු සඳහා ඒ මොහොතේම පිළිතුරු දෙමින් අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම සලසා දීම විශේෂත්වයකි.
 
මෙම ජනතාවගේ ගැටලු සඳහා අද දින ලබා දුන් පිළියම් ඉටුවනවාද යන්න ගැන සොයා බැලීමට දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් යුතු, වන ජීවී, වාරි මාර්ග, වන සංරක්ෂණ හා ඉඩම් යන අංශ නියෝජනය කරමින් පංච පුද්ගල කමිටුවක් පත් කරන ලෙස ද අග්‍රාමාත්‍යතුමා උපදෙස් දුන්නේය.
 
වනජීවී ප්‍රදේශයක් ලෙස නම් කරමින් වර්ෂ 1989 දී මෙම ප්‍රදේශය ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ රජය යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් පවරා ගෙන ඇත.
 
ජනතාවගේ කිසිඳු අනුදැනුමකින් තොරව ඔවුන්ගේ නිවාස හා වගාබිම් ද මෙම ගැසට් පත්‍රයට අදාළ භූමියට ඇතුළත්ව ඇති අතර, ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ජීවත් වූ ජනතාවගේ වගා බිම් හා වගාවන් ද අහිමි වී ගොස් තිබේ. වසර 50 කට අධික කාලයක් පුරා පවතින මෙම ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමා ඒ සඳහා කඩිනම් පියවර ගැනීමට අවශ්‍ය බව පැවසීය.
 
එම ප්‍රදේශවල ජීවත් වූ ජනතාව සඳහා නීත්‍යාණුකූලව එම ඉඩම් ලබාදීමේ මූලික අරමුණින් පැවති මෙම සාකච්ඡාව තුළදී ප්‍රදේශයේ ජනතාවගේ ඇති අනෙකුත් අවශේෂ ගැටලු පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු විය.
 
ඉරුදෙණියාය සංවර්ධන කලාපයේ ඉඩම් ගැටලුව සඳහා විසඳුම් ලබාදීමට 2002 වර්ෂයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකඟ වී ඇති අතර, එහිදී 1989 වර්ෂයේ පවරා ගනු ලැබූ භූමියෙන් අක්කර 1980ක් පමණ නිදහස් කිරීමට එකඟ වී ඇත.
 
ප්‍රදේශයේ පවතින අලි මිනිස් ගැටුමට නිසි පිළියමක් යොදමින් පසුව මෙම ඉඩම් නිදහස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එකඟ වී තිබේ. මේ වන විට එම ඉඩම් වල පදිංචිකරුවන් වගා කටයුතු කරනු ලැබුව ද නීත්‍යානුකූල අයිතියක් තවමත් ඔවුන්ට ලැබී නොමැති බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.
 
මේ පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමා ඒ් පිළිබඳව අවශ්‍ය නිසි පියවර කඩිනමින් ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. එහිදී තවමත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින මෙම ඉඩම් ලබාදීමට 2002 වර්ෂයේම එකඟ වී ඇති බව ප්‍රකාශ කළ වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා,  කඩිනමින් ඉඩම් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පැවැසීය.
 
එම ඉඩම් සඳහා නීත්‍යානුකූල ඔප්පු ලබාදීම මාස 03ක් වැනි කෙටි කාලයක් තුළ සිදු කරන බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසීය.
 
මෙම ප්‍රදේශයේ මතුව ඇති අලි මිනිස් ගැටුම පිළිබඳ අවධානය යොමු කරමින් අලින් මෙන්ම වන සතුන් සඳහා රක්ෂිතය තුළ ජලය තිබේනම් ඔවුන්ගෙන් වගාවන් හා ග්‍රාමීය ජනතාවට වන හානිය අවම කර ගත හැකි බව යෝජනා විය.
 
එහිදී රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ මූලිකත්වය යටතේ ලබන සඳුදා දින සිට රක්ෂිතය තුළ ඇති වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කරන බවට ප්‍රකාශ විය.
 
මෙම ප්‍රදේශයේ මහා මාර්ග හා අතුරු මාර්ගයන් ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම මාර්ග ඉදි කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ගැටලු පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු වූ අතර එහිදී මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ප්‍රදේශයේ සියලුම මාර්ග ප්‍රතිසංස්කරණ මෙන්ම ඉදි කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත්, අන් සියලුම මාර්ග ද කඩිනමින් පිළිසකර කර දෙන බවත් පැවසීය.
 
එමෙන්ම ප්‍රදේශයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මතුව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර, අන්තර්ජාල පහසුකම් යටතේ සිදු කරනු ලබන අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රදේශය තුළ නොමැති බවත්, අවම පහසුකම වූ දුරකථන සම්බන්ධතා පහසුකම් සඳහා අවශ්‍ය පහසුකම් නොමැති බව ප්‍රදේශවාසීන් මෙන්ම, බඹරගල යාය ප්‍රාථමික පාසලේ දැරියක් ප්‍රකාශ කළාය.
 
මේ පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමා ගමට සන්නිවේදනය ව්‍යපෘතිය යටතේ කඩිනමින් මෙම ප්‍රදේශට වැඩි අවධානයක් යොමු කරමින් සන්නිවේදන කුලුනු ඉදි කිරීමට කටයුතු කරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
 
එම කටයුතු කඩිනමින් ආරම්භ කර අවසන් කිරීමට බලධාරීන් එකඟතාව පළ කළේය. මේ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා සන්නිවේදන කුලුනු 99 ක් ඉදි කෙරෙණු ඇත.
 
ප්‍රදේශයේ ඇති පානීය ජල ගැටලු සඳහා අවශ්‍ය විසඳුම් කඩිනමින් ලබාදීමට විෂය භාර අමාත්‍ය සනත් නිශාන්ත මහතා එකඟතාව පළ කළේය.
 
එසේම බඹරගල යායා ප්‍රාථමික විද්‍යාලයේ පවතින ගොඩනැගිලි අබලන්වීම, වැසිකිලි හා පාසලට මාර්ගයක් මෙන්ම ක්‍රීඩා පිටියක අවශ්‍යතාවය පැහැදිලි කළ කුඩා දැරියකගේ ගැටලු පිලිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමා ඒවා කඩිනමින් විසඳා දීමට එකඟතාව පළ කළේය.
 
එහිදී පාසලේ මාර්ගය සකස් කිරීමට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කටයුතු කරන බවත් ක්‍රීඩා පිටිය සම්බන්ධයෙන් ගරු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟින් සාකච්ඡා කර විසඳුම් ලබාදීමටත් එකඟතාව පළ විය. ලොතරැයි මණ්ඩලය මැදිහත්වී පාසලේ වැසිකිලි ප්‍රශ්නය විසඳා දීම සදහා අග්‍රාමාත්‍යතුමා ඉල්ලීමක් කර ඇති බව සදහන් විය.
 
ප්‍රදේශයේ තරුණයින් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බව ප්‍රකාශ වූ අතර ඒ පිළිබඳ සොයා බලා එය මැඩලීමට කටයුතු කරන ලෙස කුරුණෑගල දිශාව භාර ‌ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට අග්‍රාමාත්‍යතුමා උපදෙස් දුන්නේය.
 
එසේම අලි වැට ඉදි කිරීම, එය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාවගෙන් සැදුම්ලත් කුඩා කණ්ඩායම් මඟින් වැඩපිළිවෙළක් ඉදිරියේදී සකස් කිරීමට නියමිතය.
 
මේ වන විට අතරමඟ නැවතී ඇති මී ඔය ව්‍යාපාරයේ ඉතිරි ඉදිකිරීම් කටයුතු, වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමේ ඇළ මාර්ගයන් ඉදි කිරීම යනාදිය ද කඩිනමින් අවසන් කරන ලෙස අග්‍රාමාත්‍යතුමා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
 
එමෙන්ම සාකච්ඡා වූ මෙම සියලු කරුණු කාරණා පිළිබඳ සොයා බැලීම සඳහා දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් යුත්, වන ජීවී, වාරි මාර්ග, වන සංරක්ෂණ හා ඉඩම් යන අංශ නියෝජනය කරමින් පුද්ගලයින් 05 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන ලෙස මෙම හමුව අවසානයේ අග්‍රාමාත්‍යතුමා දැනුම් දුන්නේය.
 
මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සී.බී.රත්නායක, එස්.එම්.හේරත්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී.හේරත්, අනුරාධ ජයරත්න, සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගුණපාල රත්නසේකර, ජයරත්න හේරත්, සමන් ප්‍රිය හේරත්, සුමිත් උඩුකුඹුර, අසංක නවරත්න, මංජුලා දිසානායක, ශාන්ත බණ්ඩාර, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුලු රජයේ උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

කොවිඩ්-19 හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැක ගැනීම උදෙසා රාජ්‍ය මැදිහත්වීමෙන් දෙවසරක කාලයකට සහන ලබා දීමට අදාළ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(08) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
 
සිනමා කර්මාන්තයේ නියැළි වෘත්තිකයන්ගේ සංගම් හා සංවිධාන ආශ්‍රිත ගැටලු සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබිණි. චිත්‍රපට නිෂ්පාද සංසදය, ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය හා සිනමාශාලා හිමියන්ගේ සංගමය මෙම හමුවට එක් විය. 
 
කොවිඩ් -19 අර්බුදය හමුවේ සිනමා කර්මාන්තය ඉතා අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් සහ සිනමාශාලා හිමියන් මෙම හමුවේදී අග්‍රාමාත්‍යතුමාට පැහැදිලි කළේය.

සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ට අවශ්‍ය ණය පහසුකම් දීමට වහා පියවර ගන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.

සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ පාර්ලිමේන්තුවේදී කමිටු කාමර 02 පැවති සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා මෙසේ උපදෙස් දුන්නේය.

මහා පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ ගැටලුවලට පෙර සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ ගැටලු විසඳීමට පියවර ගන්නැයිද අගමැතිවරයා උපදෙස් දුන්නේය.

රටේ පවතින සහතික වී මිලට අනුව පෙබරවාරි 01 සිට මාස 06 කට යාවත්කාලීන වන ස්ථීර පාලන මිලක් ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මේ සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහනදායී වශයෙන් ණය ගෙවා දැමීමට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳ ද අවධානය යොමු කෙරිණි.

මේ අවස්ථාව සඳහා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය ඇමැතිවරුන් වන ලසන්ත අලගියවන්න, ෂෙහාන් සේමසිංහ, ඉන්දික අනුරුද්ධ, අජිත් නිවාඩ් කබ්රාල්, ශෂීන්ද්‍ර රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල, අගමැති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහත්වරුන්, බැංකු, සතොස හා වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීහු හා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයෝ ද එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර

මහජන සුභ සිද්ධිය අරමුණු කර ගනිමින්, පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීමට සාමාජිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත කොමිසමක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි.

හිටපු ජනාධිපති ලේකම් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහත්වරුන් කොමිසමේ සම සභාපතිත්වය හොබවන අතර කොමිසමේ ලේකම් ධූරයට විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා පත්කර තිබේ.

ඊට අමතරව ඉඩම් කළමනාකරණ, රාජ්‍ය ව්‍යවසාය, ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ඩි.ඒ.බී. බොරලැස්ස, විදුලි බල අංශයේ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල්, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සී. වැලිගමගේ, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල් චන්දන කුමාරසිංහ, සමාගම් නීති විශේෂඥ ආචාර්ය හර්ෂ කබ්රාල්, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී තිෂාන් සුබසිංහ, සන්කෙන් කන්ස්ට්‍රක්ෂන්ස් (පුද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රංජිත් ගුණතිලක, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂිකා රේණුකා වීරකෝන්, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස්, පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජෙරාඩ් ඔන්ඩට්ච්චි, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අධ්‍යක්ෂ (විධායක නොවන) අර්ජුන් ප්‍රනාන්දු, සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීමේ අංශය එස්.පී. ලියනාරච්චි, ම්ලෙස්නා තේ කළමනාකරණ අධ්‍යක්ෂ ඇන්සලම් පෙරේරා, කර්මාන්ත මණ්ඩලයේ මහ ලේකම්/ ප්‍රධාන විධායක නිලධාරී නිශ්ශංක විජේරත්න සහ තීම් රිසෝට්ස් ඇන්ඩ් ස්පාස් සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රා වික්‍රමසිංහ මහත්ම මහත්මීහු මේ කොමිසමේ සෙසු සාමාජිකයෝ වෙති.

 
 

ආයෝජන හා ඉදිකිරීම් ක්ෂේත්‍ර ප්‍රමුඛ සියලු ක්ෂේත්‍රවලට අදාළව දැනට නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස්, අවසර පත්‍ර හා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේද සහ අනුමත කිරීමේ පටිපාටි, රාජ්‍ය මූල්‍ය හා බදු ආදායම් සම්බන්ධ සියලු නීති, රෙගුලාසි සහ ඒවා ඇති කිරීමට බලපෑ කරුණු කෙරෙහි ද අවධානය යොමු කරමින් පූර්ණ සමාලෝචනයට ලක් කිරීම ඇතුළු කාර්යය රැසක් මේ කොමිසමට පැවරී තිබෙන අතර විශාල ප්‍රමාණයක් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම හා වරින්වර විවිධ නීති රෙගුලාසි බලාත්මක කිරීම හේතුවෙන් අධි නියාමනයක් ඇති වීම නිසා මූලික අරමුණෙන් බැහැරවීමක් සිදු වී ඇත්දැයි අධ්‍යයනය කිරීම, වඩාත් ඵලදායී නව නියාමන ක්‍රමවේද හඳුනා ගැනීමට ගෝලීය ප්‍රමිතීන්වල උක්ත නීති රෙගුලාසිවල අදාළ බව සහ ශ්‍රී ලංකාව තුළ ඒවායේ යෝග්‍යතාව ඇගයීම ද ඊට අයත් වෙයි.

ඊට අමතරව දැනට පවතින සංකීර්ණ හා අධි නියාමන නීති පද්ධති තුළ ඒවා බලාත්මක කිරීමට රජයටත් ඒ සඳහා අනුගත වීමට ජනතාවටත් දැරිය යුතු වන වියදම සහ උක්ත නීති රෙගුලාසි හේතුවෙන් දූෂණ හා අවිධිමත් භාවිතයන් නිර්මාණය වීමට ඇති හැකියාව තක්සේරු කිරීම, දැනට පවතින චක්‍රලේඛ, උපදෙස්, නීති, රෙගුලාසි සරල කළ හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම හා එසේ සරල කිරීමට හා නවීකරණයට අවශ්‍ය උපදෙස් නිකුත් කිරීම, ජාතික මට්ටමෙන් පළාත් සභා හා පළාත් පාලන ආයතන මට්ටමෙන් විවිධ අනුමත කිරීම්, අවසර දීම් හා බලපත්‍ර නිකුත් කිරීම් ක්‍රියාවලිය හේතුවෙන් ක්‍රියාවලි ද්වීකරණය සිදු වී තිබේදැයි අධ්‍යයනය කොට එවැනි ක්‍රියාවලි සුදුසු පරිදි සංශෝධනය කිරීම ද එම කොමිසම වෙත පැවරේ.

මේ කාර්යයන් ඉටුකිරීමට කොමිසමට දින 90ක කාලයක් දී ඇති අතර සිය කාර්යභාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාව පරිදි අදාළ ආයතන වෙත උපදෙස් දීමේ බලය කොමිසම සතු බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මහින්ද අලුත්ගෙදර

E

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වාදීම අද (08) දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.නව රක්ෂණ ක්‍රමය හඳුන්වා දෙමින් ගරු අග්‍රාමාත්‍යතුමා මහා සංඝරත්නයට රක්ෂණ සහතික පත් පිළිගැන්නුවේය.
 
සංඝයා වහන්සේලාගේ මව, පියා, සහෝදර සහෝදරියන් රජයේ රෝහලක හෝ පෞද්ගලික රෝහලක රෝහල්ගත වීමකදී දිනකට රුපියල් 1000  බැඟින් රු.15000 ක උපරිමයක් සහ රෝහල්ගතව සිදු කරනු ලබන වෛද්‍ය පරීක්ෂණයකදී හෝ ඖෂධ සඳහා රුපියල් 25000 ක උපරිමයක් දක්වා ගෙවීම මෙම රක්ෂණ ක්‍රමයට අයත්ය.
 
රුපියල් 2000 ක මුදලක් පමණක් මේ සඳහා වාර්ෂිකව ගෙවිය යුතු අතර, එය පුණ්‍ය කටයුත්තකදී සැදැහැවතුන්ට පූජා කිරීමේ  හැකියාව ඇත. මෙම රක්ෂණ අවස්ථාව ඉදිරියේදී අන්‍යාගමික පූජකතුමන්ලා වෙනුවෙන් ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද මෙහිදී අවධාරණය විය.
 
එමෙන්ම සසුනට දරුවන් පූජා කළ, නිවසක් නොමැති දෙමාපියන් සඳහා නිවසක් ලබා දීමේ “ මිහිඳු නිවාස” යෝජනා ක්‍රමයට  නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා මේ වන විටත් මුදල් වෙන් කර ඇති බව ප්‍රකාශ කළ කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය දිවියාගහ යසස්සී නාහිමියෝ  බුද්ධශාසනය වෙනුවෙන් ඉටුකරන මෙම සේවාව පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමාට ප්‍රණාමය පුද කළහ.
 
ඉඩමක් හිමි එහෙත් නිවසක් ඉදි කර ගැනීමට නොහැකි සංඝයා වහන්සේලාගේ දෙමාපියන් වෙනුවෙන් එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 06 බැඟින් නිවාස 2000 ඉදි කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මේවනවිටත් මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබේ.
 
මෙම අවස්ථාව සඳහා කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය දිවියාගහ යසස්සී නාහිමි, නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති අති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි, කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, විද්‍යෝදය මහා පරිවේණාධිපති බලංගොඩ සෝභිත නාහිමි, මහාචාර්ය ඉදුරාගානේ ධම්මරතන නාහිමි ඇතුලු මහා සංඝ රත්නය වැඩම කළ වදාළහ.
 
රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, බුද්ධශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරිප්පෙරුම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ජගත් වැල්ලවත්ත ඇතුලු මහත්වරු රැසක්  ද මෙම අවස්ථාව සඳහා එක්ව
සිටියහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter