නවතම පුවත්

රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මෙතෙක් පැවති රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු ලෙස රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් යටතට පත් කිරීමත් සමග නව දිවුරුම් දීම සිදු කෙරිණ.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්‍යාග කළ ජීප් රථ 31ක්, බස් රථ 04ක් සහ වෑන් 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සංකේතාත්මකව භාරදීම අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

වාහන භාරදෙනු ලැබූයේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා මහතා විසිනි. වාහනවල තත්වය විමසා බැලූ ජනාධිපතිතුමා තානාපතිවරයා සමග සුහද කතා බහක නිරත විය.

ශ්‍රී ලංකා පොලීසිය සිදුකරන විමර්ශන පහසු කිරීම සඳහා ජපාන රජය මේ පරිත්‍යාගය කර ඇත. රුපියල් මිලියන 1250ක පූර්ණ ප්‍රදානයක් ලෙස ලැබෙන පරිත්‍යාගයේ පළමු පියවර ලෙස රුපියල් මිලියන 775ක් වටිනාකමින් යුත් වාහන 45ක් අද භාර දෙනු ලැබීය.

දෙවැනි පියවර ලෙස තවත් වාහන සහ අති නවීන සෝදිසි උපකරණ තොගයක් ඉදිරි කාලයේ දී ලැබෙයි. ජීප් රථ 25, මෝටර් බයිසිකල් 150ක්, Search Gates 7ක්, Total Search Machine 01ක් , Handheld Metal Detector  80ක් ඊට අයත්ය.

මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස්, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහූ, ජපාන ක්‍රවුන් නියෝජිත ආයතනයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජී.ඩබ්.යූ. දුමින්ද චන්ද්‍රරත්න මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධව ස්ථාපිත කරන ලද ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය එළිදැක්වීම ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදු කෙරිණ.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන සෞභාග්‍යයේ දැක්ම තුළ අන්තර්ගත රජයේ ප්‍රතිපත්ති මඟින් අත්පත් කරගැනීමට අපේක්ෂිත සංවර්ධන උපාය මාර්ග හා ඒවායේ සැබෑ ප්‍රගතිය නිවැරදිව ජනතාව වෙත ගෙනයාම මෙම ඒකකය පිහිටුවීමෙන් බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමා සඳහන් කළේය.

මෙරට තුළ සිදු වන සංවර්ධන වැඩපිළිවෙළවල් පිළිබඳ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් සකස්කර ගැනීමට අවශ්‍ය වන බවත්, ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය මඟින් කිසිඳු මාධ්‍ය සීමාවන් පැනවීමක් හෝ මර්දනයක් සිදු නොකෙරෙන බවත් ජනමාධ්‍ය අමාත්‍ය රඹුක්වැල්ල මහතා එහිදී ප්‍රකාශ කර සිටියේ ය.

මෙරට තුළ සිදුකෙරෙන යම් යම් සංවර්ධන කාර්යයන් සම්බන්ධයෙන් එල්ල වන විවේචන භාර ගත යුතු බවත් ඒවා නිකරුණේ බැහැර කිරීම නොව එමඟින් ගත හැකි උගත හැකි දේ භාර ගැනීමට සුදානම් විය යුතු බවත් ඒ මහතා මෙහි දී ප්‍රකාශ කරන ලදී එකී සංවර්ධනයන්, ඊට සම්බන්ධ වැඩපිළිවෙළවල් සහ ඒවාට ඇති බාධාවන්, මෙන්ම සංවර්ධන ක්‍රියාවලින් පිළිබඳව ජනතාවගේ අදහස් මෙන්ම ජනතාවගේ අදහස්වලට ගරු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් මෙහි දී අවධාරණය කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ; “සංවර්ධන වැඩපිළිවෙළක් යනුවෙන් හැඳින්වුවොත් ඇතැමුන් එය ආණ්ඩුවකට ගැටගසනවා. එවැනි සංවර්ධන වැඩපිළිවෙළවල් ආණ්ඩුවකට ගැටගැසිය යුතු නැහැ. සංවර්ධනය යනු රටේ පුරවැසියාට සිදු කරන දෙයක්. එම පුරවැසියා කවර අයෙකු වුවත්, එම පුරවැසියාට සංවර්ධන වැඩපිළිවෙලවල් වලින් ලැබෙන ප්‍රතිලාභය පාට පක්ෂ වලට සම්බන්ධ කර විවේචනය කිරීම නතර කළ යුතු බවයි.

එනිසා, සංවර්ධනය කිරීම පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම ඒ සම්බන්ධව ජනතාවගේ අදහස්වලට ගරු කිරීම අපේ වගකීමක්. එකී වගකීම සපුරාලීම සඳහා අපට කරුණු එක්රැස් කිරීම මෙන්ම එකී අදහස් වලට පිළිතුරු සැපයීම මෙන්ම සත්‍යතාවය පිළිබඳව තතු දැනගැනීමට අවශ්‍යයි.” එමෙන්ම, යම් අදහසක්/යෝජනාවක් දේශපාලන මතයකින් සිතා බැහැර කිරීම හා එහි ඇතුළත් වන අන්තර්ගතය හා එහි පවතින සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සොයාබැලීම මෙන්ම, හුදෙක් දේශපාලන හේතුවක් මත ද යන්න තීන්දු කර ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම මෙවැනි මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්හ කිරීමේ අවශ්‍යතාවය බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.

පසුගිය යුධ සමයේ දී ද ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයක් ඇති කොට මෙරට පැවති යුධ වාතාවරණය පිළිබඳව වාර්තා කිරීම මෙරටට අහිතකර වාතාවරණයන් ඇති නොවන ආකාරයෙන් සිදු කිරීමට එවක ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටි අවධියේ දී ද තමන්ට කළ හැකි වූ බවත්, එය දේශපාලන වටපිටාවක් නොව එය රටේ පුරවැසියා ආරක්ෂා කර ගැනීමේ වගකීමක් වූ බවත්, එමඟින් ජාති ආගම පාට පක්ෂ නොව සමස්ත පුරවැසියා ආරක්ෂා කර ගැනීම සිදුකළ බවත් ප්‍රකාශ කළේය. එකී අත්දැකීම් උපයෝගී කොට ගෙන ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයක් ඇති කිරීම මඟින් පුරවැසියා හා රාජ්‍ය පාලනය අතර පවතින සම්බන්ධකම හා තිබෙන අඩුපාඩුකම් නිවැරදි කර ගැනීමට මෙවලමක් වශයෙන් උපයෝගීකොට ගත හැකි බවත් මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සෑම රටක් ම ජාතික සංවර්ධනය කෙරෙහි අවධානය යොමුකර ඇති බව ඓතිහාසිකව පෙනීයන කරුණකි. වර්තමානය වනවිට සංවර්ධනය සමස්ත ලෝකයේම  අවධානයට හසු වූ ප‍්‍රබල සමාජ සාධකයක් බවට පත්වී ඇත.  සංවර්ධනය යනුවෙන් අදහස් කරන්නේ ආර්ථික වර්ධනය පමණක් නොව ඕනෑම රටක්, මානව වර්ගයක් ජාතියක්, භාෂාවක් හෝ ආගමක් දැනුම් ප‍්‍රමාණයක් නැති මට්ටමක සිට ඇති මට්ටමකට පත් කිරීමයි. එමෙන් ම සමස්ත සමාජයේම ඉදිරි ගමන සඳහා අත්‍යවශ්‍ය  විප්ලවීය වෙනස’ සංවර්ධනය යනුවෙන් සඳහන් කළ හැකිය.

මේ අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම් ජගත් පී. විජේවීර මහතා පැවසුවේ, ජාතික සංවර්ධනය හා ආර්ථිකය ගොඩනැගීමේ මහා කර්තව්‍යය අභියෝගය බාරගෙන ඒ සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් කළ යුතු වගකීම හඳුනාගෙන කටයුතු කිරීම රජයේ අපේක්ෂාව බවයි. ජනමාධ්‍ය තුළ අද වැඩිදුරටත් 90% ක් අසන්නට ලැබෙන්නේ ප්‍රචණ්ඩත්වයයි. නමුත් වියයුත්තේ රටේ ප්‍රගමනය වෙනුවෙන් යමක් සටහන් කිරීමයි. මෙයට නීති- රීති අවශ්‍ය වන්නේ නැහැ. ස්වයං නියාමනයක් ඇති කරගෙන ගුණාත්මක තොරතුරු ජනගත කිරීමයි වියයුතු වන්නේ. නිවැරදි මාධ්‍ය අධ්‍යාපනයක් හා පුහුණුවක් ලබාගැනීමයි වැදගත්.

මෙම අවස්ථාවට ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මිලින්ද රාජපක්ෂ මහතා ඇතුළු උසස් නිලධාරීන් රැසක් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් ද සහභාගී වූහ.

අගමැතිගෙන් උපදෙස්

මහා නගර සභා, නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කඩිනම් කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

පළාත් පාලන ආයතනයන්ගේ සංසදයේ නියෝජිත හමුව අරලියගහ මන්දිරයේ දී පැවැති අවස්ථාවේ අගමැතිවරයා මේ බව අවධාරණය කළේය. ඒ අනුව අදාළ සංශෝධනය සඳහා දැනටමත් සූදානම් බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව නොබෝ දිනකින් ඉදිරිපත් කරන බවත් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙහි දී සහතික විය.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, වැටුප් කොමිෂන් සභාව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව සමඟ පවතින ගැටලු සහ කසළ කළමනාකරණය හා විගණනයට අවශ්‍ය පිළියම් පිළිබඳව පළාත් පාලන ආයතන නියෝජිතයන් විසින් මේ හමුවේ දී අගමැතිවරයාට කරුණු ඉදිරිපත් කළේය. කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් පළාත් පාලන ආයතනවල අදායම ශීඝ්‍රයෙන් පහළ වැටී ඇති බවත්, මේ ආයතනවල පවතින සේවක හිඟය අර්බුද රැසකට මුල් වී ඇති බවත් මොරටුව මහනගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන් අතර රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළ ඔස්සේ ඊට අදාළ බඳවා ගැනීම් සිදුකළ හැකි බවත්, බලය ලබා ගැනීමේ දී ඉදිරිපත් කළ ජනතා පොරොන්දු ඉටුකිරීම එම මහජන නියෝජිතයන්ගේ වගකීමක් බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ අනුව මාර්තු 01 වැනිදා සිට කිසියම් සැලසුමක් ක්‍රියාත්මක කිරීමට අදාළ නිල හමුවීම් සඳහා පළාත් පාලන ආයතන නියෝජිතයන් සම්බන්ධ කරගන්නා බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.පී.කේ රණවීර මහතා පැවැසීය. පළාත් පාලන ආයතනවල පවතින තක්සේරු නිලධාරින්ගේ හිඟය පියවීමට පියවර ගන්නැයි අගමැතිවරයා ඒ මොහොතේම අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය. ඒ අනුව අලුතින් බඳවා ගන්නා තක්සේරු නිලධාරින් 263 දෙනාගෙන් මේ හිඟය පියවීමට කටයුතු කරන බව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තක්සේරුකරු පී.පී.ඩී.එස් මුතුකුමාරණ මහත්මිය පැවසුවාය.

  • පෞද්ගලික අංශයරාජ්‍ය විශ්වවිද්‍යාල සහ සෙසු උසස් අධ්‍යාපනන ආයතන එකට වැඩ කරන්න …
  • අධ්‍යයන ක්ෂේත්‍රය කුමක් වුවත් සියලුම සිසුන්ට තොරතුරු තාක්ෂණ හා පරිගණක දැනුම ….
  • ඉහළ සමත්කම් ඇති පිරිස් ආකර්ශනයට විශ්ව විද්‍යාල තරග කළයුතුයි ….
  • අධ්‍යයන සැලසුම් හා කළමනාකරණයට විශ්ව විද්‍යාලවලට නිදහස ….

ගෝලීය හැලහැප්පීම් සහ පරිවර්තනයන් සමග ශ්‍රී ලංකාව වේගයෙන් අනුගත විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

“අපට පසුගාමී විය නොහැක. වේගයෙන් වෙනස් වන සමාජ තත්ත්වයන් මධ්‍යයේ වුවද අනුගත විය හැකි අධ්‍යාපනයක් සිසුන්ට ලබාදිය යුතුයි. එය විශ්වවිද්‍යාල සහ අනිකුත් උසස් අධ්‍යාපන ආයතනවල අවධානයට ලක්විය යුතු සහ දියුණු වියයුතු අංශයක්” යැයි ජනාධිපතිතුමා කියා සිටී.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (16) පස්වරුවේ පැවති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 2020 උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

අද පැවතියේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 31 වැනි උපාධි ප්‍රදානෝත්සවය යි. ආරක්ෂක අධ්‍යයන, කළමනාකරණ, ව්‍යාපාර කළමනාකරණ, නීති, වෛද්‍ය, ඉංජිනේරු, ප්‍රවර්ධන කළමනාකරණ, කාර්මික විද්‍යාව සහ සමාජ විද්‍යාව යන විෂය ක්ෂේත්‍ර ආවරණය කරමින් විද්‍යාර්ථයින් 1379 දෙනෙකු සඳහා උපාධි පිරිනැමිණ.

ආචාර්ය උපාධිධාරීහූ පස්දෙනෙක්, පශ්චාත් උපාධි, පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරීන් 263 දෙනෙක් ද මේ අතර වෙති. ප්‍රථම උපාධිධාරීන් ගණන 1111කි.

දක්ෂතම යුද හමුදා නිලධාරියා ලෙස දෙවන ලුතිතන් ආර්.එම්.ටී.ඊ.පී. රත්නායක, දක්ෂතම නාවික හමුදා නිලධාරියා ලෙස ලුතිතන් වී.එස්. පලිහවඩන, දක්ෂතම ගුවන් හමුදා නිලධාරියා ලෙස පියාසර නිලධාරී ආර්.ජී.එස්.ඩී. ගමගේ, අතිශූර නිලධාරියා ලෙස දෙවන ලුතිතන් ආර්.එම්.ටී.ජී.පී. රත්නායක ජනාධිපතිතුමා අතින් විශේෂ තිළිණ ලැබූහ.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය වර්ෂ 1981 දී ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට පාඨමාලාවන් හැදෑරීමට ස්ථාපිත කෙරිණ. වර්ෂ 2009 දී එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් එය පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත් කරනු ලැබීය. වර්ෂ 2009 දී  සිවිල් සිසුන්ට උපාධි හැදෑරීමට අවස්ථාව හිමි විය. වර්තමානයේ ආචාර්ය උපාධි, පශ්චාත් උපාධි, පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨාමාලා හැදැරීමට ත්‍රිවිධ හමුදා සහ දෙස් විදෙස් සිසුන්ට අවස්ථාව සැලසී ඇත.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය කෙටි කාලයක් තුළ ඉහළ සුදුසුකම් සපුරන පූර්ණ විශ්ව විද්‍යාලයක් බවට පත්වීම පිළිබඳව ජනාධිපතිතුමා සිය ප්‍රශංසාව පළ කළේය. වෛද්‍ය, ඉංජිනේරු, නීති වැනි විෂය ක්ෂේත්‍රවල විශිෂ්ටයන් බිහිකිරීමට සමත්වීම විශ්ව විද්‍යාලයේ ව්‍යාප්තියට හේතු වූ බව ද ජනාධිපතිතුමා සඳහන් කරයි.  වත්මන් ගැටළුවලට විසඳුම් සෙවිමේ දී පෞද්ගලික අංශයට රාජ්‍ය විශ්ව විද්‍යාල සහ සෙසු උසස් අධ්‍යාපන ආයතන සමග එක්ව කටයුතු කිරීමට වැඩි අවස්ථා තිබිය යුතුය. උපාධිධාරීන්ට නව තාක්ෂණය පිළිබඳව යම් දැනුමක් තිබිය යුතුය. අවම වශයෙන් පරිගණක හැසිරවීම සඳහා අවශ්‍ය විෂය දැනුම තිබීම සාර්ථක අනාගතයක් ගොඩනැගීමට ඉවහල් වනු ඇතැයි ද ජනාධිපතිතුමා සඳහන් කරයි. අධ්‍යයන ක්ෂේත්‍රය කුමක් වුවත් සියලු සිසුන්ට තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව හඳුන්වා දෙන ලෙස සියලු විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලා සිටී.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා තෝරා ගැනෙන සිසුන් සියල්ලෝම බුද්ධිමත් ය. ඔවුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන විට තමන් කැමති විෂයක් තෝරාගැනීමේ ඌණතාවයක් පවතින්නේ නම් එය සිසුන්ගේ නොව අධ්‍යාපන පද්ධතියේ පවතින අඩුපාඩුවකි. විශ්වවිද්‍යාල මට්ටමට ළඟා වූ පසු තමන් සතුව ඇති නිපුණතා අත්පත් කර ගැනීමට සියලු සිසුන්ට පහසුකම් හා ඉඩ ප්‍රස්තා සැලසිය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කරයි.

පර්යේෂණ හා සංවර්ධන කෙරෙහි ඉහළ අවධානයක් යොමු කිරීමෙන් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවල ශ්‍රේණිගත කිරීම්වලට හිතකර ලෙස බලපානු ඇත. ඉහළ සමත්කම් ඇති පිරිස් ආකර්ශනය කර ගැනීමටත්, රඳවා ගැනීමටත් විශ්වවිද්‍යාල එකිනෙක සමග තරග කළ යුතුය. එය පිඨ හෝ කාර්ය මණ්ඩලයට සීමා නොකොට ශිෂ්‍යයන්ට ද විවෘත විය යුතු බව ජනාධිපතිතුමා කියා සිටී.

සෑම විශ්වවිද්‍යාලයකම පාලක මණ්ඩලයට, උප කුලපතිට, පීඨ සහ කාර්ය මණ්ඩලවලට ඔවුන්ගේ අධ්‍යයන වැඩසටහන් තීරණය කිරීමට, සැලසුම් කිරීමට හා කළමනාකරණයට අවශ්‍ය නිදහස තිබිය යුතු ය. එමෙන්ම ඔවුන්ට තම ආයතන තුළ ඉගෙනීමට සුදුසු ශෂ්‍යයින් තෝරාගැනීමට ද  නිදහස තිබිය යුතු යැයි ජනාධිපතිතුමා පවසයි.  සියලු දෙනා එක්ව කැප වුවහොත් ලෝකය වේගවත් වෙනස්කම් වලට භාජනය වුවද අපේ විශ්වවිද්‍යාල ගෝලීය වශයෙන් තරගකාරී ආයතන බවට පත්කර ගත හැකි බවත්, ඉන් තරුණ තරුණියන්ගේ අනාගත අභිවෘද්ධිය සලසමින් රටේ ආර්ථිකය ද ශක්තිමත් කළ හැකි බවත්  ජනාධිපතිතුමා කියා සිටි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ශිරන්ති රාජපක්ෂ මැතිණිය, ආරක්ෂක ලේකම්  විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා හා අමාත්‍යාංශ ලේකම්වරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් එස්.කේ. පතිරණ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරල් ජෙරාඩ් ද සිල්වා, උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් යන මහත්වරු ද  තානාපතිවරු, මහකොමසාරිස්වරු සහ කොතලාවල විශ්ව විද්‍යාලයේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල  ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 
 

“කැකුළු තුරු උදානය” ළමා රුක් රෝපණ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ගම්පොළ අටබාගේ විමලධර්ම ජාතික පාසල් භූමියේදී ආරම්භ කෙරිණ.

සෑම වසරකම පළමු වැනි ශ්‍රේණියට පිවිසෙන දරු දැරියන් සංඛ්‍යාව තුන් ලක්ෂ පනස්දහසකට ආසන්නය. ඔවුන් පරිසරයට ආදරය කරන පුරවැසියන් බවට පත්කිරීම සහ “සෞභාග්‍යයේ දැක්ම” හඳුන්වා දුන් තිරසර පරිසර ප්‍රතිපත්තියට අනුව අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් දායාද කිරීම වැඩසටහනේ අරමුණයි.

ජනාධිපතිතුමා සහ මැති ඇමතිවරු දරුවන් සමග එක්ව පැළ රෝපණය කරමින් “කැකුළු තුරු උදානය” වැඩසටහන ආරම්භ කළහ.

පොත පතට යොමුව විභාග මානසිකත්වයක පසුවන සිසුන් වගාවට උනන්දු කරවීමෙන් යහපත් මානසිකත්වයක් ඇති කිරීම මේ සංකල්පයේ අපේක්ෂාවකැයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

කෘෂිකර්ම සහ අධ්‍යාපන අමාත්‍යාංශ එක්ව වැඩසටහන ක්‍රියාවට නංවයි. අද ඇරඹුණු  “කැකුළු තුරු උදානය” වාර්ෂිකව ඉදිරියට යයි. වසර 05ක් ගත වන විට කොස්, දෙල්, පොල්, අඹ ඇතුළු පැල ලක්ෂ 17ක් දරුවන්ගේ අධීක්ෂණයෙන් පරිසරයට එක් කිරීම රජයේ ඉලක්කයයි. නාගරික  දරු දැරියන්ට තම ප්‍රදේශවලට ගැලපෙන කුඩා ප්‍රමාණයේ ශාඛ සහ  ගෙවතු රහිත නිවාසවල පදිංචි දරුවන්ට බඳුන්ගත පැළයක් සපයනු ලැබේ.

පැළ බෙදාදීම කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය මගින් කෙරෙන අතර, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් මගින් වාර්ෂිකව දරුවා සහ පැලය පිළිබඳ වාර්තාවක් සැකසීමට ද සැලසුම් කර ඇත.

සංකේතාත්මකව දරුවන් අතර පැළ බෙදා දීම ජනාධිපතිතුමා විසින් සිදු කරනු ලැබීය.

2021 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සංකේතවත් කරමින් ජනාධිපතිතුමා අටබාගේ විමලධර්ම විද්‍යාලයට ඇතුළත්වන දරුවෙකුගේ නම ලියාපදිංචි කොට පාසල් ලොග් සටහන් පොතෙහි සටහනක් තැබීය.

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කොවිඩ් අරමුදල උදෙසා රැස් කළ රුපියල් ලක්ෂ 63ක මුදලට අදාළ චෙක්පත ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ජනාධිපතිතුමා වෙත භාර දුන්නේය.

රාජපක්ෂ මැතිතුමා, කොවිඩ් අරමුදලට සිය මාසික වැටුප පරිත්‍යාග කළ ගුරුවරුන් තිදෙනෙකුට ප්‍රශංසා සහතික පත් ප්‍රදානය කළේය.

ජනාධිපතිතුමා අටබාගේ විමලධර්ම ජාතික පාසලට පැමිණීම ගැන ගෞරව දක්වමින් විදුහල්පති පූජ්‍ය රූපහ සෝනුත්තර හිමියෝ, ආචාර්ය මණ්ඩලය සහ දරුවන් සමග එක්ව උපහාර තිළිණයක් පිළිගැන්වූහ.

2021 වසර සඳහා විමලධර්ම ජාතික පාසලේ පළමු වැනි ශ්‍රේණියට අතුළත්වන සිසුන් සහ ශිෂ්‍ය නායක නායිකාවන් සමග ජනාධිපතිතුමා ඇතුළු මැති ඇමතිවරු ඡායාරූපයකට පෙනී සිටියහ.

විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අනුෂ්ක ඉමේෂාන් තමා සිතුවමට නැගූ ජනාධිපතිතුමාගේ රුව එතුමා වෙත පිළිගැන්වුයේය.

උත්සවයට සහභාගීවීමට උඩගම මහජන ක්‍රීඩාංගණයට පැමිණි ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග කතා බහක නිරත වෙමින් ප්‍රදේශයේ අඩු පාඩු සහ ඔවුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව විමසා බැලීය.

ජනතාව  කළ ඉල්ලීම ඉටුකරමින් උඩගම කලවැල්ගොල්ල මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමටත්, පානීය ජල ගැටළුව පිළිබඳව අදාළ නිලධාරීන් දැනුවත් කිරීමටත් පියවර ගන්නා බව එතුමා පැවසීය.

උඩගම මහජන ක්‍රීඩාංගණය සහ විමලධර්ම විද්‍යාලය අතර ඇති අටබාගේ රාජානන්ද විද්‍යාලය ඉදිරිපිටට පැමිණ සිටි දරුවන්ගෙන් ද ජනාධිපතිතුමා තොරතුරු විමසීය. දරුවන් කළ ඉල්ලීමට අනුව පාසලේ ක්‍රීඩාපිටියේ සහ අඩක් නිමකර ඇති ගොඩනැගිල්ලේ වැඩ අවසන් කර දෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, අනුරාධ ජයරත්න යන මහත්වරු උත්සව සභාව ඇමතූහ. ලොහාන් රත්වත්තේ, පියල් නිශාන්ත යන රාජ්‍ය අමාත්‍යවරු , උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ගැමියාගෙන් පරිසරයට හානියක් නැහැ.

“ගම ලස්සනයි. එසේම ගමේ ජිවිතයත් ලස්සන විය යුතුයි” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

ග්‍රාමීය පරිසරයට, ගැමියාගෙන් හානියක් නැති බවත්,  ගමේ පරිසරය මෙතෙක් රැක ගත්තේ ගැමියා බවත් එතුමා කියා සිටී. මුතුන් මිත්තන් කල සිට පාරම්පරිකව කරගෙන එන වගා වැඩ පරිසරයට හානියක් සේ තමා නොදකින බව ජනාධිපතිතුමා සඳහන් කරයි.

අද (13) පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික්කයේ, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීමුරේ ප්‍රාථමික විද්‍යාලයේ පැවති  “ගම සමග පිළිසඳර”  10 වැනි වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

ජන හමුවට සහභාගීවීමට කයිකාවල කණිෂ්ඨ විද්‍යාලයට ගිය ජනාධිපතිතුමා විද්‍යාලයේ සිසුන්, ගුරුවරු සහ දෙමාපියන් සමග සුහද කතා බහක නිරත වෙමින් විද්‍යාලයේ  අඩු පාඩු විමසා බැලිය.

SLT මොබිටෙල් ආයතනය කයිකාවල කණිෂ්ඨ විද්‍යාලය සඳහා පරිත්‍යාග කළ සුහුරු පන්ති කාමරය විවෘත කිරීම, මීමුරේ ප්‍රාථමික විද්‍යාලයට ලබා දුන් ලැප්ටොප් පරිගණක යන්ත්‍රය, අධිවේගි අන්තර්ජාල පහසුකම් සහ ඩයලොග් ආයතනයෙන් පිරිනැමූ රූපවාහිනි යන්ත්‍ර හා සබඳතාව විදුහල්පතිවරයාට භාරදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

ලංකා ගමනා ගමන මණ්ඩලය මීමුරේ, උඩුදුම්බර මාර්ගයේ ධාවනය සඳහා අලුතෙන් එක් කළ බස් රථයේ මංගල චාරිකාව ද ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් සිදු විය.

2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රීක්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කලුතර, මොණරාගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානය යොමු කර විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අරමුණයි. විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම “ගම සමග පිළිසඳර” වැඩසටහනේ අපේක්ෂාවයි.

මහනුවර මහියංගන මාර්ගයේ කි.මි 40ක් දුරින් හුන්නස්ගිරියටත්, එතැන් සිට කි.මි 35ක දුරකින් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලටත් මායිම්ව මහනුවර දිස්ත්‍රික්කයේ එක් කෙළවරක මී මුරේ ගම්මානය පිහිටා තිබේ.

ජනප්‍රවාදවල සඳහන් පරිදි මී මුරේ ගම්මානය රාවණා රජුගේ වාසස්ථානයක්ව තිබී ඇත. මහ රාවණා රජු සමයේ සඳහන් මහා පබ්බත නම් ග්‍රාමය වර්තමානයේ මී මුරේ බවත් ඇතැම්හු විශ්වාස කරති.  රාවණා රජු සීතා දේවිය පැහැරගෙන දඬුමොණරයෙන්, ලකේගලට ගොඩබැස ඇති බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.

දීඝවාපි චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය පිණිස අරමුදල් රැස් කිරීමේ “දීඝවාපිය අරුණ” වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ කොළඹ 07,  ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී ඇරඹිණ.

සොළොස්මස්ථානවලින් එකක් වන දීඝවාපිය මෙරට දාගැබ් අතර විශාලත්වයෙන් සිව් වන ස්ථානය ගනී. බුදුන්වහන්සේගේ නිය ධාතුව තැන්පත් කර සද්ධාතිස්ස රජතුමා විසින් චෛත්‍ය ඉදිකර තිබේ.

දීඝවාපිය විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමියන්ගේ ඉල්ලීමකට අනුව චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ සැලසුම් කෙරිණ. ව්‍යාපෘතිය  තෙවසරකදී අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. රාජ්‍ය භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් වැය නොකිරීම විශේෂත්වයකි. දෙස් විදෙස් අනුග්‍රාහකයන්ට ඊට  මූල්‍ය මෙන්ම ශ්‍රම දායකත්වය  දිය හැකිය.

විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත විය. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමාට සෙත් ප්‍රාර්ථනා කළහ.

“යළි දකිමු දීඝවාපිය” වෙබි අඩවිය එළිදැක්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

“දීඝවාපිය අරුණට”  පළමු දායකත්වය  දෙමින් නාඋයන ආරණ්‍ය සේනාසනාධිපති  පූජ්‍ය අඟුල්මඩුවේ අරියනන්ද හිමිපාණන්  වහන්සේ පරිත්‍යාග කළ රු. මිලියන 100 ක මුදල සහිත චෙක්පත දායක සභා සමාජික චන්ද්‍රකීර්ති බණ්ඩාර මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

බෞද්ධයා නාලිකාව රු. මිලියන 5 ක් සහ  ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය, ලංකා බැංකුව, මහරගම පිළිකා රෝහල සහ සෙන්ට්‍රල් බෙයාරින් අධිපති සුදත් තෙන්නකෝන්  මහතා ද සිය පරිත්‍යාග ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූහ.

දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණයට සමගාමීව පුද බිම වෙත පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සලසමින් ශාලා 04ක් සහ කාමර 20කින් යුත් විශ්‍රාම ශාලාවක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නා හිමිපාණන් වහන්සේ, අමරපුර චූලගන්ධි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි, මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක, පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද  හිමි ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය,  අමාත්‍ය  සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු ද ත්‍රිවිධ හමුදාපතිවරුන් ප්‍රමුඛ ආරක්ෂක අංශ ප්‍රධානීහූ සහ රාජ්‍ය නිලධාරීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 
 

සිලෝන් කැච් (පුද්) සමාගමේ නව මත්ස්‍ය  නිෂ්පාදනාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊයේ (11) දංකොටුවේ දී විවෘත විය.
 
මෙම සමාගම අමෙරිකා එක්සත් ජනපදය, ජපානය, කැනඩාව, චීනය, තායිලන්තය සහ තායිවානය යන රටවලට සකස් කළ මුහුදු ආහාර අපනයනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අපනයන කරුවෙකි.
 
සිලෝන් කැච් (පුද්) සමාගමේ වාර්ෂික අපනයන ආදායම අමරිකානු ඩොලර් මිලියන 12 කි. නව නිෂ්පාදනාගාරය විවෘත කිරීමත් සමඟ වාර්ෂිකව ආමෙරිකානු ඩොලර් මිලියන  15ක අදායමක් අපේක්ෂිත ය.
 
කාර්ය මණ්ඩලයේ150 ක් සහ 1500 කට වැඩි ධීවර ප්‍රජාවක් නියෝජනය වන පවුල් සඳහා මෙමඟින් සෙත සැලසෙයි.
 
නව නිෂ්පාදනාගාරය ආරම්භ කිරීමෙන් පසු ඉදිරි වසර 3 තුළ අපනයන ඉලක්කය පවතින සීමාව මෙන් 3 ගුණයකින් ඉහළ දැමීමට නියමිතය.
 
කළමනාකාර අධ්‍යක්ෂ  ඉන්දික එල්ලාවල සහ ශ්‍රීජිත් ජයතුංග මහත්වරුන්ගේ  කළමනාකාරීත්වය යටතේ 2016 ජුනි 15 දා මෙම සමාගමේ කටයුතු ආරම්භ වී තිබේ.
 
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන සනත් නිශාන්ත, ලොහාන් රත්වත්තේ මහත්වරු ඇතුළු සිලෝන් කැච් (පුද්) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය, සේවකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන භූමියේ ස්ථාපිත “State Trust Center” (රජවාස) වෙළෙඳ සංකීර්ණය අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් විවෘත කෙරිණ.

ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ ප්‍රදර්ශනාගාරය පුළුල් කර “රජවාස” වෙළෙඳ සංකීර්ණය ඉදි කර ඇත.

එය රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන 78කින් සමන්විතය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාර රාජ්‍ය ව්‍යවසායකයන්ගේ හා දේශීය නිෂ්පාදකයන්ගේ ගුණාත්මක භාණ්ඩ හා සේවා එක වහලක් යටදී සපයා ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව උදා කිරීම ව්‍යාපෘතියේ අරමුණයි.

දේශීය නිෂ්පාදකයන් දිරි ගැන්වීම සඳහා ඔවුන්ගේ නිෂ්පාදන භාණ්ඩ වෙළෙඳ සැල්වලට සැපයීමේ අවස්ථාව සැලසීම ද නව වැඩපිළිවෙළට අයත්ය.

සමරු ඵලකය නිරාවරණය කරමින් වෙළෙඳ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා වෙළෙඳ සැල් වෙත යමින් නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් සමග අදහස් හුවමාරු කර ගත්තේය.

බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ යන අමාත්‍යවරු, ලසන්ත අලගියවන්න, ජානක වක්කුඹුර, ශෂීන්ද්‍ර රාජපක්ෂ, චන්න ජයසුමන යන රාජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය                                        කලින් හෙබ වූ පදවිය

  • එන්.කේ.ඩී.කේ.අයි. නානායක්කාර මෙනවිය – දිසා විනිසුරු
  • ආර්.එල්. ගොඩවෙල මහතා – දිසා විනිසුරු
  • වී. රාමකමලන් මහතා – දිසා විනිසුරු
  • යු.ආර්.වී.බී. රණතුංග මහතා – දිසා විනිසුරු
  • එස්.එච්.එම්.එන්. ලක්මාලි මෙනවිය – අතිරේක දිසා විනිසුරු
  • ඩී.ජී.එන්.ආර්. ප්‍රේමරත්න මහතා – දිසා විනිසුරු
  • ඩබ්ලිව්.ඩී. විමලසිරි මෙනවිය – අතිරේක දිසා විනිසුරු
  • එම්.එම්.එම්. මිහාල් මහතා – ප්‍රධාන මහෙස්ත්‍රාත්
  • මහී විජේවීර මහතා – දිසා විනිසුරු
  • අයි.පී.ඩී. ලියනගේ මහතා – අතිරේක දිසා විනිසුරු
  • ජේ. ට්‍රොට්ස්කි මහතා – දිසා විනිසුරු
  • එන්.ඒ. සුවන්දුරුගොඩ මහත්මිය – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ
 
 

ක්‍රීඩාව හා තාරුණ්‍යය කේන්ද්‍ර කරගනිමින් කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ඉලක්ක ගත වැඩපිළිවෙළක් සකස් කිරීමට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය පියවර රැසක් ගෙන ඇත.

මෙහි මූලික පියවරක් ලෙස මෙරට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක් ක්‍රීඩාපිටියක් බැගින් ලක්ෂ 15 බැගින් වැයකර අංග සම්පූර්ණ ක්‍රීඩාපිටි තුන්සිය හතළිස් දෙකක් සංවර්ධනය කිරීම මාර්තු මස 2 වනදා ආරම්භ කිරීමට නියමිතය.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් හා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අද (10) පැවති විශේෂ සාකච්ඡාවකදී මේ කරුණු අනාවරණය විය.

මෙරට රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ මෙම සාකච්ඡාව පැවැත්විණි. ජනමාධ්‍ය අමාත්‍යංශයේ “ඇසිදිසි ෙපරමග ෙසෟභාග්‍යෙය් පුනරුදය” යටතේ සංවර්ධන පුවත් ජනගත කිරීමේ ප්‍රචාරක වැඩපිළිවෙළ යටතේ සෑම අමාත්‍යාංශයකම සංවර්ධන සැලසුම් පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැත්වෙන සාකච්ඡා මාලාවේ දෙවන පියවර ලෙස මෙය පැවැත්විණි.

ඉතිහාසයේ බොහෝ අවස්ථාවන්වලදී මහා පරිමාණ ක්‍රීඩාව හා ගොඩනැගිලි සංවර්ධනය කිරීමට මූලිකත්වය දුන් බවත්, එහෙත්, පත් කෙරුනු නව ක්‍රීඩා කවුන්සිලයේ සාකච්ඡාවෙහි ප්‍රතිඵලයක් ලෙස, ග්‍රාමීය ක්‍රීඩා පිටි ප්‍රමිතිගත කිරීමටත්, ක්‍රීඩා පිටියන්හි ප්‍රමුඛතාවයන් හඳුනාගෙන කටයුතු කිරීමටත් අවධානය යොමුව තිබෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ජාතික තලයේ ක්‍රීඩකයන් වෘත්තීමය ක්‍රීඩකයන් බවට පත් කිරීම සඳහා වන ගිවිසුම් ගතකිරීම් මේ වන විට සිදුකර ඇතැයිද, දක්ෂතාවය, ජයග්‍රහණය පදනම් කරගනිමින් ඔලිම්පික් හා ආසියානු තරග ඉලක්ක කර ක්‍රීඩකයන් පනස් එක් දෙනෙකු මේ වනව ගිවිසුම්ගත කර ඇතැයිද හෙතෙම පැවසීය.

ග්‍රාමීය ක්‍රීඩාපිටි ප්‍රමිතිගත කරමින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ඉදිකෙරෙන අංග සම්පූර්ණ ක්‍රීඩා පිටි මුළුමනින්ම තෝරාගනුයේ ග්‍රාමීය ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් යැයි ද අමාත්‍යරාජපක්ෂ මහතා කීය.

මෙයට අමතරව සෑම අධ්‍යාපන කලාපයකටම එක් පාසලක් තෝරා ගනිමින් පාසල් 99ක ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීමට අමාත්‍යංශය සැලසුම් කර ඇත. මේ සඳහා රුපියල් මිලියන 320 ක් වැය කිරීමට අපේක්ෂා කෙරේ.

ක්‍රියාශීලී දර‍ැ‍වෙකු පාසල තුලින් බිහි කිරීම අරමුණු කර ගනිමින් පාසල්හි ක්‍රීඩා උපකරණයන්හි අවශ්‍යතාවයන් සොයා බලමින් එම පහසුකම් ලබාදීමටත්, එක් කලාපයක එක් පාසලක් තෝරා ගනිමින් භාවිතයට ගත හැකි වන සේ විශේෂිත ක්‍රීඩා කට්ටලයන් ලබ‍ාදීමටත් සැලසුම් කර ඇත. මේ සඳහා රුපියල් මිලියන 380 ක් වැය කිරීමට අපේක්ෂා කරයි.

එමෙන්ම ක්‍රීඩා පාසල් සංවර්ධනය කිරීම යටතේ, ඒවායේ මූලික යටිතල පහසුකම්, ක්‍රීඩාංගණ, නේවාසිකාගාර, ජල පහසුකම් ආදිය ක්‍රමවත්ව ලබා දීමටත්, ඒ අනුව මේ වනවිට පාසල් පහක සංවර්ධන කටයුතු ආරම්භ කර ඇති අතර, මේ වසරේ තවත් පාසල් දොළහක් සංවර්ධනය කිරීමටත් අමාත්‍යාංශයේ අරමුණ වේ.

දිවයින පුරා පළාත් පාලන ආයතන සතුව පවතින මහජන ක්‍රීඩාංගණ දෙසීයක් පමණ මෙම වසරේ සංවර්ධනයට ලක් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර එම ව්‍යාපෘතිය සඳහා එක් ක්‍රීඩාංගණයකට රුපියල් මිලියන 5 බැගින් රුපියල් මිලියන දහසක් වැය කිරීමට අපේක්ෂා කෙරේ. තරුණ තරුණියන් සමාජ විරෝධී ක්‍රියා වලින් ඈත් කරමින් විනය ගරුක පිරිසක් බවට පත් කිරීම සදහා ක්‍රීඩාව යොදා ගැනීම අරමුණින් ක්‍රීඩා සමාජ සඳහා රුපියල් මිලියන 350 ක වියදමින් මෙම වසර සඳහා ක්‍රීඩා භාණ්ඩ ලබාදීමට එම අමාත්‍යාංශය සැලසුම් කර ඇත. ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමේ ක්‍රීඩා තරගාවලි මේ වසරේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය ඉලක්ක කරගනිමින් මැරතන් හා පාපැදි තරග රැසක් සංවිධානය කිරීමට සැලසුම් කර ඇත. රටේ ශ්‍රම බලකාය වන තරුණ පරපුර මානසික වශයෙන් හා අධ්‍යාත්මික කිරීමේ අරමුණින් ඒ සඳහා ක්‍රීඩාව යොදාගනිමින් ප්‍රවර්ධනය කිරීමට ‘යොවුන් සුවයට ක්‍රීඩාව’ නමින් පාසල් සිසුන්, බන්ධනාගාරගතව සිටින තරුණ පිරිස් ඉලක්ක කර ගනිමින් මෙය සංවිධානය කිරීමට තරුණ කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

පොලිසිය, ක්‍රීඩා සමාජ, වෙළඳ සංගම් ඒකාබද්ධ පරිපාලන කමිටුවක් සේ සෑම ප්‍රධාන ක්‍රීඩාංගණයකටම පත් කිරීමටත් ග්‍රාමීය ක්‍රීඩාපිටියන්හි වගකීම ක්‍රීඩා සමාජවලට පැවරීමටත් ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

 පාසල් කාලය තුළ දරුවන්ගේ විවේක කාලය වැඩි කිරීමට මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා කර ඇතැයිද, එමඟින් ක්‍රියාශීලී දරු පරපුරක් බිහිකිරීමට හැකිවනු ඇතැයිද ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

එමෙන්ම ප්‍රධාන පාසල් ඉලක්ක කර ගනිමින් කෝටා ක්‍රමයකට ක්‍රීඩා දක්ෂතා ඇති දරුවන් පාසල් සඳහා ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළ සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා කර ඇතැයිද මේ සඳහා පාසල් 150ක් නිර්දේශ කර ඇතැයි ද, හෙතෙම පැවසීය. ජාතික හා ජාත්‍යන්තර තරඟ ඉලක්ක කර දිගුකාලීනව දරුවන් යොමු කිරීම කාලෝචිත බවත්, වත්මන් වසංගත තත්ත්වයන් තුළ ක්‍රියාශීලී දරුවන් බිහිකිරීම කාලීන අවශ්‍යතාවයන් බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් පී. විජේවීර, ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර සමරවික්‍රම යන මහත්වරුන් පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගී විය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter