නවතම පුවත්

මහා සංඝරත්නය අවධාරණය කරති

රටක් එකතැන පල්විය යුතු නැති අතර, වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතු බව මහා සංඝරත්නය අවධාරණය කරති.

බෞද්ධ උපදේශක සභාව අද (23) පස්වරුවේ 10 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් වීමෙන් පසුව උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ව්‍යාපෘතිය ගැන දීර්ඝව කරුණු දක්වමින් ආර්ථිකයට සහ රටට ලැබෙන ප්‍රතිලාභ පැහැදිළි කර දුන්නේය.

භූමි ප්‍රමාණය පුළුල් කර නව ආයෝජන අවස්ථා සඳහා දොරටු විවරවීම රටක් ලෙස අත්කරගන්නා ජයග්‍රහණයකි. වැරදි මත පතුරවමින් සියල්ලට එරෙහි වනවා වෙනුවට ජාතියක් ලෙස නැගී සිටීමට එක් විය යුතුය. ව්‍යාපෘතිය පිළිබඳව ජනතාවට නිවැරදි අවබෝධයක් දී ඊට සහය ගත යුතු බව  උන්වහන්සේ අවධාරණය කළහ.

කොවිඩ් 19 නව ප්‍රභේදයේ, සෞඛ්‍ය අංශ උපදෙස් පිළිබඳව ජනාධිපතිතුමා විසින් මහා සංඝරත්නය දැනුවත් කෙරිණ.

බුද්ධ චරිතය, ත්‍රිපිටකය, බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකථන දෙමින් දුර්මත පතුරවන අය ගැන සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව සිය යෝජනා උපදේශක සභාවට දැනුම් දුන්හ.

ඉදිරි සභා වාරයේ දී ඒ පිළිබඳ මහා සංඝරත්නයේ අදහස් කමිටුව වෙත ඉදිරිපත් කිරීමට ද යෝජනා කෙරිණ.

බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් බෞද්ධ උපදේශක සභා රැස්වීමට එක්ව සිටියහ.

ගොවීන්ට කාබනික පොහොර දෙනවා

රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළදී සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

පොහොර සහනාධාරය වෙනුවට ගොවීන්ට කාබනික පොහොර දීමට සැලසුම් කරන බව පැවසූ ජනාධිපතිවරයා එමඟින් වාර්ෂිකව පොහොර ආනයනය කිරීමට වැය කෙරෙන ඩොලර් මිලියන 400ක මුදල ජනජීවිතය නඟා සිටුවීමට යොදා ගත හැකි බවත් පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේ රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (22) හමු වූ අවස්ථාවේදීය.

රසායනික පොහොර භාවිතයෙන් ඉහළ අස්වැන්නක් ගත හැකිය. වැව්, ඇළවේලි සහ භූගත ජලය දූෂණයෙන් ජීවිතවලට වන හානිය එම ලාභයෙන් පියවිය නොහැකිය. රසායනික පොහොරවල බලපෑම වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකට හේතු වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ. ප්‍රතිකාර සඳහා වැය වන මුදල සහ ජිවිතවලට වන බලපෑම ඉහළය. නීරෝගි සහ ඵලදායී පුරවැසියකු බිහි කිරීමට නම් රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඒ වෙනුවෙන් මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කරන බව ජනාධිපති රාජපක්ෂ මහතා පැවසීය.

මෙරට කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමට සියලු පාර්ශ්ව මැදිහත් විය යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

එතනෝල් ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කිරීමෙන් අඛණ්ඩව පාඩු ලැබූ ලංකා සීනි සමාගම අත් කර ගත් ලාභය මිලියන 1100කි. වසර 20කට ආසන්න කාලයක් අනියම් හා කොන්ත්‍රාත් පදනම මත සේවය කළ 2,500කට ආසන්න පිරිසක් ස්ථීර කිරීමට, උසස්වීම් සහ ප්‍රසාද දීමනා දීමට එමඟින් හැකි වූ බව ලංකා සීනි සමාගමේ සභාපතිවරයා පැවසීය.

පාඩු ලැබූ ආයතන රැසක් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළින් පසු ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට හැකි වූ බව සභාපතිවරු පෙන්වා දුන්හ.

‘සෞභාග්‍යයේ දැක්ම‘ තුළින් ආයතන ළඟා විය යුතු ඉලක්ක පැහැදිලිව දක්වා තිබේ. කැබිනට්, රාජ්‍ය අමාත්‍යාංශවලට අදාළ ආයතන සහ අත් කර ගත යුතු ප්‍රගතිය පැහැදිලිව සඳහන් කර ඇත. සාමූහික වගකීමක් ඇතිව වැඩ කර ජනතාව බලාපොරොත්තු වූ ප්‍රතිපත්තිමය වෙනස ළඟා කර ගැනීමට කැප වන ලෙස ජනාධිපතිවරයා සභාපතිවරුන්ට පැවසීය.

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ

මහජන සේවා සපයන රාජ්‍ය අයතනවලින් ජනතාව අපේක්ෂා කරන කාර්යය ඉටුකර ගැනීමට නොහැකිය යන චෝදනාවට තිත තැබිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කරයි. කොවිඩ් වසංගතය හමුවේ වුවද සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වු බොහෝ දේ ඉටුකර ඇත. ඇතැම් රාජ්‍ය ආයතනවල පවතින අකාර්‍යක්‍ෂ්මතාව, දුෂණය හා කල්ගතවීම තම කණස්සල්ලට හේතුව වශයෙන් ජනතාව පෙන්වා දෙති. කාර්යක්‍ෂ්ම රාජ්‍ය සේවාවක් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ඍජු මැදිහත්වීමෙන් හා තාක්‍ෂණය භාවිතයෙන් ගැටඵවට විසදුම් දියහැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. රාජ්‍ය අමාත්‍යවරුන් සමග මාසිකව පැවැත්වෙන සමාලෝචන රැස්වීමට ඊයේ එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සදහන් කළේය.

ඇතැම් ආයතන ප්‍රධානීන්ගේ කාර්යභාරය නිසිලෙස ඉටු නොවීම පිළීබඳව ද වාර්තා වී තිබේ. අපේක්ෂීත ඉලක්ක වෙත ලගාවී නැති ආයතන පිළීබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා රාජ්‍ය අමාත්‍යවරුන්ට උපදෙස් දුන්නේය. රජයේ ප්‍රතිත්තිය රැකියා නිෂ්පාදනයයි. එබැවින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගම තුළ ගොඩනගා රැකියා අවස්ථා උදාකිරීමේ හැකියාවද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ අතර රටක් වටිනා පොතක් පොත් දසදහසක් ලිවීමේ ජාතික වැඩසටහනේ පළමු අදියරේ සහතිකපත් ප්‍රදානෝත්සවයටද ජනාධිපතිතුමා ඊයේ පස්වරුවේ සහභාගී විය. උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා තැබු කාලය තුළ දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණි. හිටපු අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ අදහසකට අනුව මෙය ක්‍රියාවට නැංවිණ. තෝරාගත් නිර්මාණ සියයක් මුද්‍රණය කර රාජ්‍ය සම්මාන පිරිනැමීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා එහිදී සදහන් කළේය. දිවයිනේ සියලු පළාත් නියෝජනය වන පරිදි තෝරා ගැණුනු සිසුන් 30 දෙනෙකුට සංකේතාත්මකව සහතික පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණ.

ශ්‍රී ලංකාව ආයෝජනය සඳහා ගමනාන්තයක් කර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බොආඕ සංසදයේ සාමාජික රටවලින් ඉල්ලයි.

රටේ ආර්ථිකය ශක්තිමත් කරන අපනයන අරමුණු කරගත් ආයෝජන අවස්ථා පුළුල් කිරීම රජයේ අරමුණයි. ඒ ආශ්‍රිත ආයෝජන අවස්ථාවන්ට සිය රටවල ආයෝජකයන් ධෛර්යමත් කරන ලෙස  ජනාධිපතිතුමා රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලා සිටී.

චීනයේ හයිනෑන්හි, බොආඕ නගරයේ පැවැත්වෙන බෝආඕ (BOAO) සමුළුව අද (20) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

“වෙනස් වන ලෝකයක් : ගෝලීය පාලනය සහ සේද මාවත ප්‍රවේශය දියුණු කිරීමට අත්වැල් බැඳගමු” යන්න මෙවර සමුළුවේ තේමාවයි. අප්‍රේල් 18 වැනිදා ඇරඹී සිව් දින සමුළුවේ තෙවන දිනය අදයි.

රටවල් 29ක් සමාජිකත්වය දරණ බෝආඕ සංසදයේ මූලස්ථානය චීනයයි. ආසියාවේ සහ ලෝකයේ සාමය, සමෘද්ධිය සහ තිරසාර සංවර්ධනයට දායකවීමට සංසදය කැපවී සිටී.

නවසිලන්තය, මොංගෝලියාව, බෘනායි, සිංගප්පූරුව, වියට්නාමය, බංග්ලාදේශය, කාම්බෝජියාව ඇතුළු රටවල් 15 ක රාජ්‍ය නායකයෝ අද (20) වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතූහ.

සහන රැසක් සහිත බදු ව්‍යුහයක් සහ වෙනත් දිරි ගැන්වීම් ඇතුළුව විදේශ ඝෘජු ආයෝජන සදහා ආකර්ශනීය ප්‍රතිපත්තියක් රට තුල සකස් කෙරෙමින් පවතී. අදාළ ඉලක්ක සපුරා ගැනීමට ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ දායකත්වය රජය අපේක්ෂා කරයි.

එමගින් ඉදිරි වසර කිහිපයේදී මෙරට ආර්ථිකය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම රජයේ අරමුණ බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

මහජන චීන සමූහාණ්ඩුව “බොආඕ” සංසදය මගින් සිදු කරන කාර්ය භාරය  ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා ශත වර්ෂ ගණනාවක ප්‍රෞඩ ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති අන්‍යෝන්‍ය ගෞරවය සහ විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් ක්‍රමෝපායික හවුල්කාරීත්වය සිහිපත් කළේය.

ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ අසල්වැසි රටවල් සහ  සියලු මිත්‍ර රටවල් සමග සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යයි. එය සාමානාත්මතාව හා නොබැඳි කොන්දේසි මත පදනම්ව සැකසී ඇත. මේ මූලධර්ම සිය සංවර්ධන ප්‍රතිපත්ති රාමුව වන “සෞභාග්‍යයේ දැක්ම” තුළ අන්තර්ගත බව ජනාධිපතිතුමා කියා සිටී.

ජාතික ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර හවුල් ප්‍රතිපත්ති, සම්මතයන් සහ නීති අතර, සාධාරණ සමබරතාවක් පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය වේ. සමානාත්මතාව පවත්වාගෙන යාමේදී ස්වධීන රාජ්‍යයන්හි ස්වෛරීභාවය කිසිසේත් අඩපණ නොකළ යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය අගමැති නිල නිවසේ දී අද (17) පෙරවරුවේ ඉටු කළේය.

පූර්වභාග 7.16ට දකුණු දිශාව බලා හිසට නුගපත් ද පයට කරඳ පත් ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නුග පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍රයයි.

පළමුව බුද්ධ මන්දිරයට ගොස් මල් පහන් පූජා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අනතුරුව හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රයට එක් විය.

ඓතිහාසික මාදන්වල රජමහා විහාරාධිපති විශ්වීය බෞද්ධ හික්ෂු සම්මේලනයේ භාණ්ඩාගාරික රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වැල්ලගිරිය සුමංගල නාහිමියෝ අග්‍රාමාත්‍යතුමාගේ හිසෙහි නැකතට තෙල් ගල්වා ආශිර්වාද එක් කළහ.

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කිරිඔරුවේ ධීරානන්ද නාහිමියෝ ද මෙහි වැඩම කළහ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා සහ පවුලේ සමාජිකයෝ පිරිසක් එක්වූහ.

ජනතාව මත පැටවෙන පීඩා ආණ්ඩුව මත තබා ගනිමින්, රජය සියලු ජනතාවගේ අනාගතය සෞභාග්‍යවත් කිරීමේ වෑයමක නිරතව සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

අලුත් වන සිතුම් පැතුම් සමඟ අප හමුවේ ඇති අභියෝගයන් ද සැලකිල්ලට ගනිමින් සෞභාග්‍යයමත් දේශයක් උදෙසා නව මාවතක ගමන් කිරීමට කාලය එළැඹ ඇති බව අගමැතිවරයා එම පණිවුඩයෙන් පෙන්වා දෙයි.

එම පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

සමස්ත ශ්‍රී ලාංකේයන්ගේ නැවුම් බලාපොරොත්තු ඉටුවන සිංහල හින්දු අලුත් අවුරුද්දක උදාව නිමිත්තෙන් සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි. අපේ රටේ ජනතාව අනාදිමත් කාලයක සිට හෙළ චාරිත්‍ර වාරිත්‍රවලට මුල් තැන දෙමින් හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය සමඟ එක් වෙති.

ගොවිතැන මූලික හරය කරගනිමින් මිනිසුන් අතර බැඳී පවතින සංස්කෘතිකමය වටිනාකමකින් යුතු සමාජ පිළිවෙත් අලුත් අවුරුද්ද සමඟ යළි සිහිපත් වේ.රජය දුන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් විනය ගරුක ජනතාවක් ලෙස ඔබ කළ කැපකිරීම නිසා, අලුත් අවුරුද්ද මේ තරමින් හෝ නිදහසේ සැමරීමට අවස්ථාව උදා වී තිබේ.

එබැවින් සෞඛ්‍ය පිළිවෙත් සිහි තබාගනිමින් සංස්කෘතිමය වටිනාකම් රැක ගැනීම අප සියලු දෙනාගේ වගකීමකි.

ඒ සඳහා එකිනෙකා අතර බැඳීම් ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ලොව ඉදිරියේ නව ජවයකින් නැගී සිටීමට මෙවර අලුත් අවුරුදු උදාවේ දී අපි සියලු දෙනා අදිටන් කරගමු.

ඔබ සැමට සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ! යැයි මම ප්‍රාර්ථනා කරමි.

පසුගිය වසරේ අවුරුදු උදාව සමයේ රටේ පැවැති අයහපත් සෞඛ්‍ය පසුබිම ඊට බාධා කළ ද, පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලට ද අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමට පසුබිම මේ වසරේ අප සියලු දෙනා එක්ව සකසා ගෙන තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් කියා සිටී.

නැවුම් බලාපොරොත්තු සහ ඒවා සඵල කර ගැනීමේ අධිෂ්ඨානය සමග සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව පිළිගැනීම අපේ සංස්කෘතියෙහි අගනා සම්ප්‍රදායක් බව ජනාධිපතිවරයා නිකුත් කළ පණිවිඩයේ සඳහන් වේ.

ජනාධිපතිවරයා නිකුත් කළ පණිවිඩයේ වැඩදුරටත් මෙසේ සඳහන් වේ.

අලුත් අවුරුදු උදාව දෙස මහත් උද්යෝගයෙන් බලා සිටින කුඩා දූ දරුවන්ගේ සේම සියලු රටවැසියන්ගේ ද අපේක්ෂා සැබෑවීමකි.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද අපේ සංස්කෘතික මහා මංගල්‍යයයි. රටවැසියන් එකම නැකතකට අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමෙන් ලැබුවා වූ වසරේ සෞභාග්‍යය උදාවනු ඇතැයි අප සිත් සතන්හි බලවත් විශ්වාසයක් පැලපදියම්ව තිබේ.

කුඩා දරු දැරියන් උද්දාමයට පත් කරන අලුත් අවුරුදු ඇඳුම්, ආහාර පාන සහ කෙළි සෙල්ලම් දෙස බලා සිටින වැඩිහිටියන් භුක්තිවිඳින්නේ අප්‍රමාණ සතුටකි. එසේම පරිසරයේ ඇතිවන සොඳුරු වෙනස්කම් අපට කායික මානසික සැනසීම ගෙන දෙයි.

සංකීර්ණ සිතුවිලි සමග ජීවන අරගලයක නිරත වැඩිහිටියන් ඔවුනොවුන් අතර නොහොඳ නෝක්කාඩු සමනය කර ගැනීම ද අවුරුදු සමයේ විශිෂ්ට ලක්ෂණයකි.

සමස්ත ජනතාව කිසිදු භේදයකින්, වෙනසකින් තොරව සෞම්‍ය හා දැහැමි සිතිවිලි ඇතිව සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර සමග එක්වනු දැකීම මගේ අපේක්ෂාවයි. අලුත් අවුරුදු සමයේ දූ දරුවන්ගෙන් ඈත්ව රාජකාරියෙහි නිරත හා විදෙස්ගත සැම, කරන කැප කිරීම ද මම ගෞරවයෙන් සිහිපත් කරමි.

උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමට සෞභාග්‍යය, මනා සෞඛ්‍යය සහ සතුට සපිරි සුබ අවුරුද්දක් වේවා!

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සදහා ආකර්ෂණීය ගුවන් තොටුපළ වශයෙන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ ගුවන් තොටුපළ ආශ්‍රිතව අපනයන සැකසුම් කළාපයක්, ගුවන් යානා නඩත්තු අලුත්වැඩියා සහ පිරිවැඩියා අංගනයක් (MRO) සහ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතනාගේ මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවේ දි වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරවයා මේ බව සදහන් කළේය. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම සහ එහි ඉදිරි කටයුතු පිළිබදව එමගින් විමසා තිබිණි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී පෙන්වා දුන්නේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදි කිරීම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 247.7 ක මුදලක් වැය කළ බවයි. චීන එක්සින් බැංකුව සහනදායි ණය පදනම යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 190 ක් ඒ සදහා ලබා දුන් බවත්, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම ඉතිරි මුදල් යෙදවූ බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය. මත්තල ගුවන් තොටුපළ 2013 මාර්තු 18 වන දින සිට මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බව පැවසු ඇමතිවරයා 2020 නොවැම්බර් මස දක්වා රැපියල් 445,319,656 / =ක ආදායමක් උපයා තිබිණි.

විවෘත කළ දින සිට 2020 නොවැම්බර් මස දක්වා ක්‍රියාත්මක වූ ගුවන් ගමන් වාර ගණන 10,206 කි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ගුවන් සමාගම් 23 ක් මෙහි ගුවන් මෙහෙයුම් කටයුතු සිදු කර ඇති අතර එම කාලය තුළ දී (2020 නොවැම්බර් මස දක්වා) මගීන් 58,651 ක් පැමිණ තිබේ. ඉන් පිටව ගොස් ඇති මගීන් සංඛ්‍යාව 73,513 කි.

මත්තල ගුවන් තොටුපළ තව දුරටත් සංවර්ධනය කිරීම සදහා තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ කටයුතු නැවත ආරම්භ කිරීමටත්, ගුවන් බඩු පර්යන්තයේ පහසුකම් වැඩි දියුණු කිරීමටත් සැලසුම් කර තිබේ. වාණිජ ගුවන් යානා ආකර්ෂණීය කර ගැනීම සදහ අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙන අතර MRO අංගනයක් ඇති කිරීමට ද සැලසුම් කර ඇතැයි ඇමතිවරයා මෙහි දී සදහන් කළේය. හේෂා විතානගේ මන්ත්‍රීවරයා මතු කළ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කළේ පසුගිය යහපාලන ආණ්ඩුව මෙම ගුවන් තොටුපළේ වී ගබඩා කිරීම හේතුවෙන් ඊට අපකීර්තියක් සිදු වූ බවයි. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මත්තල ගුවන් තොටුපළ සක්‍රීය ගුවන් තොටුපළක් බවට පත්කීරීමට සැලසුම් කෙරුණ ද කොවිඩ් වසංගතය පැතිරීම හේතුවෙන් එම ඉලක්ක වලට යාම අසීරු වූ බව වැඩිදුරටත් පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ මත්තල ගුවන් තොටුපළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට විකල්ප ගුවන් තොටුපළක් ලෙස දියුණු කිරීමට සැලසුම් කර ඇති බවයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ(06) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.

චිරාගත පිළිවෙත් අනුව අඬබෙරකරු සමග පැමිණි නැකැත්කරු රැගෙන ආ නැකැත් සීට්ටුව ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ලිප ගිනි දැල්වීම, ආහාර අනුභවය, හිසතෙල් ගෑම සහ නව වසරේ රැකියා සඳහා පිටත්ව යාම ආදී සුබ මුහුර්තයන් නැකත් සීට්ටුවට ඇතුළත්ය.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශීල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ති ජයසිංහ, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ යන මහත්ම මහත්මිහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන් වූ සැමට සාධාරණය ඉටුවන තෙක් වූ කිතුනු ජනතා ඉවස ීම විශිෂ්ට බව පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (03) ප්‍රකාශ කළේය.

කිතුනු ජනතාව බලාපොරොත්තු වන පරිදි ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවේ වරදකරුවන් වන තුරු එම පරීක්ෂණ ක්‍රියාවලිය කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක වන බවත් අග්‍රමාත්‍යවරයා පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් මෙසේද කීවේය:

මෙයට වසර දෙකකට පෙර 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු මංගල්‍යය දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් කුඩා දරුවන් ඇතුළු කිතුනු බැතිමතුන් දෙසිය පනහකට අධික පිරිසකගේ ජීවිත අහිමි වූ බව අපි දනිමු.

 

මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එදා මෙන්ම අදත් අප තරයේ හෙළා දකින අතර ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ කිතුණු ජනතාවගේ පවුල්වල සමාජිකයන්ට මෙන්ම සමස්ත කිතුනු ජනතාවට අපගේ සංවේගය පළ කරන්නෙමු.

එමෙන්ම පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමේ පරීක්ෂණ රජයක් ලෙස මේ දක්වා අඛණ්ව ඉටු කර තිබෙන බව ඔබට සිහිපත් කරමි. කිතුණු ජනතාව බලාපොරොත්තුවන පරිදි ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවේ වරදකරුවන් වන තුරු එම පරීක්ෂණ ක්‍රියාවලිය කිසිඳු බලපෑමකින් තොරව ක්‍රියාත්මක වේ.

පාස්කු දින ඉටි පහනේ අලෝකය සහෝදර ජනතාවට සහනාලෝකය අත්විඳින්නට ඉඩ සලස්වනවා මෙන්ම පාස්කු අර්ථයෙන් ගත්විට සියලු දෙනා එතෙර වීම කිතුණු ජනතාවගේ ද අපේක්ෂාවයි. එම උදාර අරමුණ අනුව යමින් පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන් වූ සැමට සාධාරණය ඉටුවන තෙක් වූ කිතුණු ජනතා ඉවසීම විශිෂ්ට බව සිහිපත් කරමි.

සමාජය තුළ මුහුණ දීමට සිදුවන විවිධ අභියෝග හමුවේ මානව දයාවෙන්, සහජීවනයෙන් හා අන්‍යෝන්‍ය ප්‍රේමයෙන් යුතුව දිවි ගෙවීමට කිතුනු ජනතාවට හැකි වේවා යන්න අප සැමගේ ප්‍රාර්ථනාවයි. ශ්‍රී ලාංකේය කිතුනු බැතිමතුන් සැමට සුබ පාස්කු මංගල්‍යයක් වේවා! යි ප්‍රාර්ථනා කරමි.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter