නවතම පුවත්

ආරක්ෂක සහයෝගිතාවට ඩොලර් මිලියන 50ක්

ගොවියාට ඉහළ ආදායමක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන ආකාරයෙන් කෘෂි ආර්ථිකය නඟා සිටුවීම කෙරෙහි ශ්‍රී ලංකා සහ පාකිස්තාන නායකයන්ගේ විශේෂ අවධානය යොමු කෙරේ.

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් අතර නිල හමුව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (24) පෙරවරුවේ සිදු වුණු අතර දෙරටේ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික දැනුම හුවමාරුව පිළිබඳ දෙරටේ නායකයෝ අදහස් හුවමාරු කර ගත්හ.

පාකිස්තානයේ කෘෂි ආර්ථිකය බෙහෙවින් ශ්‍රී ලංකාවට සමාන බව ඉම්රාන් ඛාන් මහතා එහිදී සඳහන් කළේය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි පාකිස්තාන අගමැතිවරයා ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් විසින් පිළිගනු ලැබිණි.

ජනාධිපතිවරයා සහ පාකිස්තාන අගමැතිවරයා දීර්ඝ වේලාවක් ද්විපාර්ශ්වික සබඳතා ගැන සාකච්ඡා කළ අතර කතාබහ බෙහෙවින් ඵලදායී විණැයි පාකිස්තානු නායකයා පැවසීය.

පාකිස්තානය මෙරට අපනයන ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවකු බවත් දෙරට අතර වෙළෙඳාම ප්‍රවර්ධනය සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඇති ඉඩකඩ ගැනද ජනාධිපතිවරයාගේ සහ පාකිස්තාන අගමැතිවරයාගේ අවධානය යොමු කළහ.

තාක්ෂණික දැනුම හුවමාරුව ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි රාජ්‍ය නායකයෝ අවධානය යොමු කළහ.

පාකිස්තාන විදේශ කටයුතු ඇමැති මක්දුම් ෂා මෙහෙමුඩ් කුරේෂි, වාණිජ කටයුතු පිළිබඳ අගමැති උපදේශක අබ්දුල් රසාක් ඩාවුඩ්, විදේශ කටයුතු පිළිබඳ අගමැති විශේෂ සහායක බුකාරි සෙයිඩ් ෂුල්ෆිකාර්, විදේශ කටයුතු ලේකම් සොහෙයිල් මෙහමුඩ්, ශ්‍රී ලංකාවේ පාකිස්තාන තානාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික) මොහොමඩ් සාඩ් කටක්, විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන, පරිවාර ඇමැති අලි සබ්‍රි, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද්විපාර්ශ්වික සාකච්ඡාවට එක්ව සිටියහ.

මේ අතර ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තිබෙන ආරක්ෂක සහයෝගීතාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය ආධාරයක් දීමට පාකිස්තාන අගමැතිවරයා තීරණය කර තිබෙන අතර ඊට අමතරව ශ්‍රී ලංකා පාකිස්තාන උසස් අධ්‍යාපන සහයෝගීතා වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන් 100 දෙනකුට ශිෂ්‍යත්ව පිරිනැමීමට එකඟතාව පළ කර තිබේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සිදු කෙරෙන ද්වීපාර්ශ්වික වෙළෙඳාම අමෙරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන අතර ඊට අමතරව දෙරට අතර ක්‍රියාත්මක නිදහස් වෙළෙඳ ගිවිසුම තව දුරටත් පුළුල් කිරීමටද එකඟතාව පළ කර ඇත. දෙරට අතර ඇති ආගමික, සංස්කෘතික හා පුරා විද්‍යාත්මක වැදගත්කම සලකා දෙපාර්ශ්වයම සංචාරක ව්‍යාපාරය තව දුරටත් නැංවීම කෙරෙහිද අවධානය යොමු කෙරිණි.

ස්වකීය ප්‍රථම ශ්‍රී ලංකා නිල සංචාරය සාර්ථක ලෙස අවසන් කළ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස ඊයේ (24) පස්වරුවේ යළි සියරට බලා නික්ම ගියහ.

ශ්‍රී ලංකා - පාකිස්තාන දිගුකාලීන මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් දෙදින නිල සංචාරකයක් සඳහා පාකිස්තාන අගමැතිවරයා ඇතුළුව 40 දෙනකුගෙන් පමණ සමන්විත දූත කණ්ඩායම පෙරේදා (23) කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර එහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා මේ වසරේ සිය රටෙන් බැහැර නිරත වූ මංගල නිල සංචාරයට පාකිස්තානයේ ප්‍රධාන වශයෙන් රෙදිපිළි හා ඇඟලුම්, ඖෂධ, කෘෂි ආහාර වෙළෙඳ භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, මැණික් හා ස්වර්ණාභරණ, වාහන අමතර කොටස්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉදිකිරීම් ද්‍රව්‍ය හා ශල්‍ය උපකරණ යන අංශවල ව්‍යාපාරික නායකයන්ගෙන් සමන්විත ඉහළ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන නියෝජිත කණ්ඩායමක්ද එක්ව සිටියහ.

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ සංකල්පයක් අනුව සියලු පහසුකම්වලින් සපිරි නව සුහුරු පන්ති කාමර සහිත සෞභාග්‍ය පාසල් 13ක් පළමුවන අදියරේදී දකුණු පළාතේ ආරම්භ කෙරිණි.

මාතර ලුම්බිණි සෞභාග්‍යා පාසලේ සුහුරු පන්තියට සිසුන් ඇතුළත් කරගත් අවස්ථාවට ආණ්ඩුකාරවරයා සහ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතා ද එක්වූහ. නවක සිසුන්ව ඔටුණු පළඳවා පිළිගත් අතර, එම සිසු දරුවන්ට තිළිණ ලබාදීමද සිදු කෙරිණි.

විද්‍යාලයේ විදුහල්පතිනි එල්. සී. එන්. යාපා මහත්මිය ඇතුළු ගුරුභවතුන්, නවක දරු දැරියන්ගේ මව්පියන්ද මේ අවස්ථාවට එක්වී සිටියහ.

දකුණු පළාතේ පාසල්වලට පළමු වසරට දරුවන් ඇතුළත් කිරීමේදී ඇතිවන තදබදය අවම කිරීම සඳහා ආණ්ඩුකාරවරයාගේ මඟ පෙන්වීම අනුව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙම සුහුරු පන්ති කාමර සහිත සෞභාග්‍යා පාසල් 13 ආරම්භ කෙරිණි. මෙම පන්ති කාමර අලංකාර අයුරින් සකසා ඇති අතර, පරිගණක ඇතුළු නවීන තාක්ෂණික මෙවලම් ලබාදී ඇත. එම පන්තිවල ඉගැන්වීම සඳහා ගුරුවරුන්ට ද විශේෂ පුහුණුවක් ලබාදී ඇත.

වෙනස් ආකාරයේ නිල ඇඳුමක් ද මෙම දරුවන්ට හඳුන්වාදීමට කටයුතු කර තිබේ. වසර 5ක් ගතවන විට මෙම සියලු පාසල්වල පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත්වනු ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ඇතුළු එරට දූත පිරිස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කටුනායන බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී ඊයේ (23) පස්වරුවේ මහත් හරසරින් පිළිගත්තේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනාවකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස මෙරටට පැමිණි අතර පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දීමට සමත් වූ ඉම්රාන් ඛාන් මහතා එරට 22වැනි අගමැතිවරයා වන්නේය. අග්‍රාමාත්‍යධූරයට පත්වීමෙන් පසු ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන පළමු අවස්ථාව මෙන්ම 2021 වසරේ ඔහුගේ පළමු විදෙස් නිල සංචාරය ද මෙය වේ.

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා වෙනුවෙන් හමුදා වෙඩිමුර 19ක් සහ හමුදා සම්මාන ආචාර පෙළපාලියක් ද පැවැත්වූ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් ඊට එක්වූහ. අනතුරුව පාකිස්තානු අගමැතිවරයා ගුවන්තොටුපළෙහි වූ සුවිශේෂී අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි (Golden Book) සටහනක් තැබුවේය.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හා ආගමික වශයෙන් බැඳුණු ඉතා ගැඹුරු ද්විපාර්ශ්වික සහයෝගීතාව සර්වකාලීන මිත්‍රත්වයකට මඟපාදා ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ දෙදින නිල සංචාරය අතරතුර අරලියගහ මන්දිරයේ දී ඊයේ පස්වරුවේ පැවැති ද්විපාර්ශ්වික නියෝජිත හමුවට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, පාකිස්ථාන අගමැතිවරයා හා දූත පිරිස සුහඳ හා උණුසුම් ලෙස මම පිළිගන්නවා.

පසුගිය වසරේ මහ මැතිවරණයෙන් පසු මම ශ්‍රී ලංකාවේ අගමැතිධූරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි පළමු විදේශ රාජ්‍ය නායකයා ඔබයි. මගේ ආරාධනය පිළිගනිමින් කොවිඩ්-19 අවදානම ඇතුළු විශාල අභියෝග මධ්‍යයේ වුවද, ඉතා මිත්‍රශීලීව ශ්‍රී ලංකාවට පැමිණියා. ඔබගේ සංචාරය සංකේතවත් කරන්නේ ඔබ සහ ඔබේ රජය මගේ රටේ ජනතාව කෙරෙහි දක්වන දැඩි ආදරයයි.

වසර ගණනාවක දේශපාලන ක්‍රියාකාරිත්වය තුළින් පොදු ජනතාව බලය ලබා දී ඔබව ඉහළට ඔසවා තැබූ ආකාරය මම නිරීක්ෂණය කළා. පීඩිතයන් සහ අගහිඟකම් ඇති අය කෙරෙහි ඔබ තුළ ඇති සැබෑ ආදරය එමඟින් පෙන්නුම් කරනවා. බිම් මට්ටමේ සහ අඩු වරප්‍රසාද සහිත ජනතාව සවිබල ගැන්වීම උදෙසා වූ ඔබේ ජනතා කේන්ද්‍රීය පාලනය අපගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා එකිනෙක බැඳී පවතිනවා.

එළැඹෙන මැතිවරණය සාර්ථකත්වය වෙනුවෙන් ඔබටත් ඔබේ ආණ්ඩුවටත් මාගේ සුභාශිංසනය පිරිනමනවා. අපගේ රටවල් දෙක අතර පවතින්නේ ඓතිහාසික සබඳතාවක්. සංස්කෘතික හා ආගමික වශයෙන් බැඳුණු ඉතා ගැඹුරු ද්විපාර්ශ්වික සහයෝගීතාවය සර්වකාලීන මිත්‍රත්වයකට මඟ පාදා තිඅබෙනවා. අපගේ රටවල් දෙක අතර පවතින සබඳතාව මේ වනවිට බොහෝ ක්ෂේත්‍ර දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. නමුත් අපගේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අප විශාල පරිශ්‍රමයක් දැරිය යුතුයි.

රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

මේ රැකියා ලාභීන් ස්ථිර සේවකයන් ලෙස සෞඛ්‍ය සේවයට ඇතුළත් කර ගන්නා බවට පතුරුවා හැර ඇති මතය මුළුමනින් වැරදි බව එතුමා පවසයි.

ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (23) සවස ජනාධිපති කාර්යාලයීය සභා ශාලාවේ පැවති        ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත හමුවේදී මෙබඳු මතයක් සෞඛ්‍ය සේවකයන් අතර ප්‍රචලිත කර ඇති බවට සමිති නියෝජිතයන් කළ සඳහනට ප්‍රතිචාර වශයෙනි.

රැකියා ලක්ෂයේ වැඩසටහන පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලින් තෝරා ගන්නා පිරිස් රැකියා නියුක්ත කොට ඔවුන් දිළිඳුකමින් මුදා ගැනීම අරමුණු කොටගත් එකකි. ඊට බඳවා ගනු ලබන්නේ විධිමත් අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් හෝ නිපුණතා හෝ නැති අය පමණි. තෝරාගත් පිරිස්වලට රෝහල්, පාසල් සහ විවිධ රාජ්‍ය ආයතනවල ශ්‍රමිකයන්, පවිත්‍රතා කම්කරුවන් සහ යන්ත්‍රෝපකරණ හසුරුවන්නන්  ආදී වශයෙන් පුහුණුවක් දෙනු ලැබේ.

පුහුණුවෙන් පසු ඔවුනට ඒ ඒ ආයතනවල ස්ථීර පත්වීම් ප්‍රදානය කෙරේ. එසේ වුවද ඔවුන් සෞඛ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීමක් සිදු නොවන බව ජනාධිපතිතුමා පැහැදිලි කළේය.

 
 

“රාජ්‍ය සේවයේ, අර්ධ රාජ්‍ය සේවයේ, සංස්ථාවල සහ මණ්ඩලවල දිගු කලක් තිස්සේ නොවිසඳී විශාල අවුලක් බවට පත්ව ඇති ගැටළු රැසක් තිබෙනවා. වැටුප් සහ උසස්වීම් විසමතා, බඳවා ගැනීමේ පරිපාටියේ අවුල් ඉන් කිහිපයක්.  සේවකයන් වෙනුවෙන් මේ ගැටළු විසඳීමට රජය කැපවී සිටිනවා.  ජනතාව වත්මන් ආණ්ඩුව බලයට පත් කළේ විශාල බලාපොරොත්තු ඇතිව. අප ජනතාවට දුන් පොරොන්දු එලෙසම ඉටු කිරීමට රජයට උදව් දෙන්න” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෘත්තීය සමිති නියෝජිතයින් හමුවේ කියා සිටී.

හිටපු ජනාධිපති සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා කම්කරුවන් වෙනුවෙන් සටන් කරමින් ඉල්ලීම් ජයගත් නායකයකු බව සඳහන් කළ ජනාධිපතිතුමා තම රජය අනුගමනය කරන්නේ ද එකී පිළිවෙතම බවත්, වෘත්තීය සමිති සමග සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳීමට හැම විටම සූදානම් බවත් ප්‍රකාශ කරයි.

ජනාධිපතිතුමා මේ අදහස් කළේ  අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයීය සභා ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත හමුව අමතමිනි.

සම්මේලනයට අයත් ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය, ප්‍රගතිශීලි රාජ්‍ය සේවක සම්මේලනය, වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමය, පළාත් පාලන ප්‍රගතිශීලි සේවක සංගමය, ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සමිතිය, ශ්‍රී ලංකා පොදුජන වතු සේවක සංගමය සහ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය යන වෘත්තීය සමිතිවල නියෝජිතයෝ හමුවට සහභාගී වූහ.

වත්මන් රජය බලයට පත් කිරීමට පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති කළ දායකත්වය අගය කළ ජනාධිපතිතුමා ජනතා අපේක්ෂා ඉටු කිරීමටනම් රාජ්‍ය සේවය ශක්තිමත්, කාර්යක්ෂම සහ ඵලදායී බවට පත්කළයුතු යයි පෙන්වා දුන්නේය.

වෘත්තීය සමිතිවලට සවන්දීමටත් සමිති සමග සහයෝගයෙන් වැඩ කිරීමටත් රජය හැමවිටම සූදානම් බව කී එතුමා කොවිඩ් අර්බුදය දැන් සමනය වෙමින් තිබෙන බැවින් ඉදිරි කාලයේ දී මාස 03කට වරක් වෘත්තීය සමිති හමුවී සාකච්ඡා කිරීමට අදහස් කරන බව පැවසීය. සෑම ආකාරයකම රාජ්‍ය ආයතන අරමුදල් සඳහා භාණ්ඩාගාරය මත යැපෙන තත්ත්වය නැති කොට කාර්යක්ෂම සහ ලාබදායී ආයතන බවට පත් කිරීමට උදව් වන්නැයි ජනාධිපතිතුමා සමිති නියෝජිතයන්ට අවධාරණය කළේය.

“අප රට භාරගත්තේ මුහුණ දීමට සිදුවන අභියෝගයේ තරම නොදැන නොවේ. රට මත විශාල ණය බරක් පැටවී තිබුණා. ආර්ථිකය පැවතියේ ඉතා දුර්වල තැනක. අභියෝගය ජය ගන්නේ කෙසේදැයි අපට දැක්මක් තිබුණා. කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය නිසා ඉදිරි ගමනට බාධක පැමිණියත් අප කැපී පෙනෙන ජයග්‍රහණ අත්කර ගත්තා. රටේ අපනයන ආදායම් පූර්ව කොවිඩ් අවධියට යළි ඇවිත්. වසංගතය හමුවේ රජය අනුගමනය කළ පිළිවෙත නිසා කෘෂිකර්මාන්තය දියුණු වුණා මිස කඩා වැටුණේ නැහැ.

රට තුළ වගා කළ හැකි සියලු දේ වගා කරන්නට පටන් අරන්. දැන් එවැනි ක්‍රියාමාර්ගවල යහපත් ප්‍රතිඵල දකින්න පුළුවන්” රජයේ ගමන් මග පැහැදිළි කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේය.

එසේ වුවද ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක්ව පැවති සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම පාහේ බිඳ වැටී තිබේ. අප රටට සංචාරකයන් පැමිණෙන රටවල් බොහොමයක් තවමත් වසා ඇති බැවින් සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වීමට තවත් කලක් ගතවිය හැකිය. තවත් බොහෝ ආදායම් මාර්ග ඇහිරී තිබේ. එසේ වුවද රැකියා පෝලිමේ සිටී උපාධිධාරීන් 60,000කට රැකියා දීමට රජයට හැකි විය. දිළිඳුතම පවුල්වලින් තෝරා ගන්නා ලක්ෂයක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ. දැනට 35,000ක් ඒ යටතේ බඳවා ගෙන ඇත. ඊළග අදියරේදී තවත් 35,000 බඳවා ගැනෙති.

ශක්තිමත් කාර්මාන්ත පද්ධතියක් සමග ජනතා කේන්ද්‍රීය දේශීය ආර්ථිකයක් ගොඩනැගීමට දිගුකාලීන පියවර ගෙන ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා ඇතැම් පිරිස් මේ යතාර්ථය විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි මත පතුරුවා හරින බව පැවසීය.

වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා වෘත්තීය සමිති සමග සමගියෙන් වැඩකරන ලෙස රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවත්, එහි යම් අඩුවක් තිබේනම් ඉදිරි කාලයේ නිවැරදි කරන බවත් සඳහන් කළේය.

රාජ්‍ය ආයතන තුළ හා සේවාවන්හි වෘත්තීය සාමය ඇති කිරිමට රජය සමත් වූ බව කී ප්‍රගතිශීලි වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා සෑම සංස්ථාවකටම කම්කරු අධ්‍යක්ෂවරයෙක් “Worker Director” පත් කරන්නැයි ජනාධිපතිතුමාට යෝජනා කළේය.

දින 180ක සේවා කාලය සම්පූර්ණ කළද තවමත් ස්ථීර පත්වීම් ලැබී නැති පිරිස් පළාත් පාලන ආයතනවල සිටින බව වෘත්තීය සමිති නියෝජිතයෙක් සඳහන් කළ විට පළාත් පාලන ආයතනවලට බරක් නොවන අයුරින් එවැනි සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

දිලුම් අමුණුගම, කංචන විජේසේකර, ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරු, සාගර කාරියවසම්, ජගත් කුමාර, ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් හමුවට එක්ව සිටියහ

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් කළ සය පුද්ගල කමිටුවට පුළුල් කාර්යභාරයක් පැවරී තිබේ.

මෙවන් මහා පරිමාණ ජාතික ව්‍යසනයක් නැවත ඇතිවීම වළක්වාගනු සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇති පරිදි පාර්ලිමේන්තුව, අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, ආරක්ෂක හමුදා, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රමුඛ විවිධ ආයතන සහ බලධාරීන් ගතයුතු පියවර ඇතුළු සමස්ත ක්‍රියාදාමය හඳුනා ගැනීම සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම එහි ප්‍රධාන ස්ථානය ගනී. මෙකී නිර්දේශ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට තනි ආයතනයකට නොපිළිවන.

පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂම 2019දී පත් කරන ලද්දේ පසුගිය රජය විසිනි.

පාස්කු ඉරිදා ප්‍රහාරය ජාතික ආරක්ෂාවට හා ස්ථාවරත්වයට, ආර්ථිකයට, ආගමික සහජිවනයට හා සමාජ ජීවිතයට අතිශය අනර්ථකාරී බලපෑමක් කළ සිදුවීමක් බව වත්මන් රජය නිගමනය කර තිබේ. ඊට මුල් වූ පසුබිම රටේ ස්වාධීනත්වයට හා ස්ථාවරත්වයට හානිකර බාහිර මැදිහත්වීම්වලට ද ඉඩ ප්‍රස්ථාව විවෘත කරයි. ශ්‍රී ලංකා රාජ්‍යය ඇතුළත සාමය සහ ආරක්ෂාව මෙන්ම ආර්ථික සමෘද්ධිය සහතික කිරීමට නම් මෙවැනි අන්තවාදී ප්‍රචණ්ඩත්වයක් නැවත ඇතිවීමට තිබෙන සියලු ඉඩ කඩ අවුරාලිය යුතුය. ඒ සඳහා ආගමික අන්තවාදය සහ ඒ හා බැඳුණු ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය, ජන කොටස් අතර වෛරය අවුලුවන ප්‍රකාශ, මෙබඳු කණ්ඩායම්වලට විදේශ අරමුදල් ලැබීම මුළුමනින්ම නතර කිරීම අවශ්‍ය වේ.

මෙකී පළල් පරමාර්ථ සපුරා ගැනීමට ඒ ඒ රාජ්‍ය ආයතන සහ බලධාරීන් කළයුතු දේ සහ එකිනෙක කාර්යයට දිය යුතු ප්‍රමුඛත්වය ජනාධිපති පරීක්ෂණ කොමිෂම හඳුනාගෙන ඇත. නිර්දේශිත ක්‍රියාමාර්ග ගැනීමට පවතින පරිපාලන ව්‍යුහය ප්‍රමාණවත් නොවන්නේ නම් පරිපාලන යාන්ත්‍රණයෙහි අවශ්‍ය වෙනස්කම් කළයුතුව තිබේ. ජනාධිපතිතුමා පත් කළ පාර්ලිමේන්තු කමිටුවට පැවරී ඇති වගකීම පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂම් සභා වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් අධ්‍යයනය කොට නැවත මෙවැනි විපතක් ඇතිවීම වළක්වා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියාත්මක විය යුතු ආකාරය වාර්තා කිරීමය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව චූදිතයනට නඩු පැවරීම සහ විභාග කිරීම සම්මත යුක්තිය පසිඳලීමේ පරිපාටිය ප්‍රකාර සිදුවනු ඇත. ඊට මැදිහත්වීමක් පාර්ලිමේන්තු කමිටුවෙන් අපේක්ෂා නොකෙරේ. පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවට අලුතින් නිර්දේශ එක් කිරීම ද කමිටුවට අයත් නැත. සත්‍යය එසේ වුවද පාර්ලිමේන්තු කමිටුවේ කාර්යභාරය පිළිබඳ වැරදි මතයක් සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සහ කරමින් සිටිති.

සය පුද්ගල කමිටුවේ සාමාජිකයන් තෝරා ගනු ලැබූයේ ඔවුන්ගේ දේශපාලන පරිණතභාවය, පළපුරුද්ද, විවිධ ක්ෂේත්‍රවල ඉහළ දැනුම වැනි සාධක සැලකිල්ලට ගනිමිනි

පැල ලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය අද (22) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රයේදී ආරම්භ විය.

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයාගේ 164 වන ජන්ම දින සැමරුම නිමිතිකොට ගෙන ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ.

කර ලේන්සුව පළඳවා ජනාධිපතිතුමා පිළිගැනීම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතා විසින් සිදු කෙරිණ.

ජනාධිපතිතුමා අතින් රත්හඳුන් පැලයක් රෝපණය කිරීමෙන් පසු ජංගම දුරකථනයෙන් පැලය ලියාපදිංචි කරනු ලැබීය.

රට පුරා විසිරී සිටින 70,000 ට අධික සෑම බාලදක්ෂයෙක්ම පැළ 02 බැගින් තම ගෙවත්තේ සිටුවා රැක බලා ගනී. “තුරු” ජංගම යෙදුම මගින් වැඩසටහන ඇගයීම සිදු කෙරේ.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නිලධාරීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.

කොවිඩ් - 19 එන්නත ජනමාධ්‍යවේදීන් සඳහා ඉතා කඩිනමින් ලබා දෙන්න - ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්

 janaadm

 
 
 
 
 
 

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter