නවතම පුවත්

සංචරණ සීමා බලපැවැත්වෙන කාලය තුල තැපැල් සේවයට අදාල සියලුම කාර්යයන් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන දේශිය හා විදේශිය ලිපි, මුද්‍රිත ද්‍රව්‍ය හා පාර්සල් භාරගැනීම, බෙදා හැරිම හා තොරතුරු වාර්තා කිරිම ආදී සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කර ඇත.

එම ගැසට් නිවේදනයට අනුව ලියාපදිංචි ලිපි වටිනාකම ගෙවා භාරදීමේ සේවාව, දේශිය හා විදේශිය අධිවේගී තැපැල් සේවාව, ඖෂධ බෙදාහැරිමේ විශේෂ සේවාව හා මුදල් හුවමාරුව ඇතුලු තැපැල් සේවාවට අයත් සියලු කාර්යයන් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම්කර තිබේ, ජනාධිපතිතුමාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දර මහතා එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත.

 

නීරෝගී පරපුරක් වෙනුවෙන් කාබනික වගාවට යොමු වීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇති අතර ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම වැදගත් බව අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගියදා කාබනික පොහොර සහ කාබනික වගාව පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවති විද්වත් හමුවක දී අවධාරණය කළේය.
ගොවි ජනතාව තුළ මේ සම්බන්ධයෙන් වැරදි මතවාදයක් රෝපණය කර ඇති බැවින් ඔවුන් දැනුම්වත් කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ද ඔහු පෙන්වා දුන්නේය. පාසල් සහ පන්සල් කේන්ද්‍රකර ගනිමින් කාබනික වගාවට දරුවන් හා ජනතාව හුරුකරවීම සඳහා වැඩපිළිවෙළක් දියත් කිරීමට අදාළ අමාත්‍යංශ සමඟ සාකච්ඡා කොට තීරණයකට එළඹෙන ලෙස ද මෙහි දී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කාබනික වගාව රට තුළ ව්‍යාප්ත කිරීම සඳහා විද්වතුන්ගේ සහය ලබා දීම අගය කරන බවත් ජනාධිපතිතුමා කාබනික වගාව සංවර්ධනය කිරීම පිළිබඳ පැහැදිලි ස්ථාවරයක සිටින බවත් ඔහු විශේෂයෙන් සඳහන් කළේය.
ක්‍රමවත් වැඩපිළිවෙළක් තුළින් රටට නීරෝගී ජනතාවක් බිහිකර ගැනීම සඳහා සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව ද පෙන්වා දුන්නේය.
වසර 60කට වැඩි කාලයක් මෙරට රසායනික වගාවට හුරුවීමෙන් ජනතාවගේ සෞඛ්‍ය පිරීහීමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙහි දී පැවසීය.
රසායනික පොහොර භාවිතය හේතුවෙන් ගොවියන් අන්ත දුප්පතුන් බවට පත්ව ඇති බවත් මෙරට වකුගඩු රෝගීන් සහ පිළිකා රෝගීන් දිනෙන් දින වර්ධනය වන බවත් කී වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා, රසායනික භාවිතය සහ විෂ ආහාර භාවිතය හේතුවෙන් දිනකට පිළිකා රෝගීන් 50ක් පමණ මිය යන බව පෙන්වා දුන්නේය. ළමයින් වෙනුවෙන් දියවැඩියා සායන පවත්වන තත්ත්වයට පත්වීම, දරුවන්ගේ මන්ද පෝෂණය සහ අංගවිකල දරුවන් බිහිවීම ඉහළ යාම දක්වා මෙම තත්ත්වය වර්ධනය වී ඇතැයි වෛද්‍ය පාදෙණිය කියා සිටියේය.
වී සහ තේ වගාව සඳහා අවශ්‍ය පොහොර මේ වන විටත් රට තුළ තිබෙන බවත් වෙළඳුන් සහ අපනයනකරුවන් පොහොර වෙළඳපොළට නිකුත් නොකර බොරු පොහොර හිඟයක් නිර්මාණය කරමින් සිටින බවත් පැමිණ සිටි නිලධාරීහු පෙන්වා දුන්හ. එසේ ම මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර කිසිදු හිඟයකින් තොරව ලබා දීය හැකි බවත් ගොවීන් 20%ක් පමණ මේ වන විටත් කාබනික ගොවිතැනට යොමුව ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.
රසායනික පොහොර භාවිතයට වඩා කාබනික පොහොර භාවිතයෙන් ගුණාත්මක ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි අතර කාබනික එළවළු සහ පලතුරු සඳහා ඉහළ ඉල්ලුමක් මෙන්ම ඉහළ මිලක් ද නිර්මාණය වී ඇති බව සාකච්ඡාවකට එක්වූ නිලධාරීහු වැඩි දුරටත් කියා සිටියහ. විදෙස් වෙළඳපොළෙහි ඇති ඉහළ ඉල්ලුම හේතුවෙන් කියුබාව, ස්විට්සර්ලන්තය වැනි රටවල් මේ වන විටත් කාබනික වගාවට යොමුව ඇති බව මෙම හමුවේ දී හෙළිවිය.
බොහෝ දිස්ත්‍රික්වලට මේ වන විටත් 95%ක් පමණ පොහොර ලබා දී ඇති අතර කාබනික නිෂ්පාදන වැඩි මිලකට මිල දී ගැනීමට රජය වැඩපිළිවෙළක් සකස් කර ඇති බව කී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාඩු සිදු වුවහොත් ඒ සඳහා රජය ගොවීන්ට ආධාර ලබා දෙන බව ද සඳහන් කළේය.
විදේශීය තානාපති කාර්යාල 12ක් පමණ මේ වන විට කාබනික වගාවට අවශ්‍ය සහය ලබා දීමට එකඟතාව පළ කර ඇති අතර සැප්තැම්බර් මාසය වන විට කාබනික වගාවට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර අවසන් කරන බව අමාත්‍යවරයා පැවසී ය.
අමාත්‍යවරු වන මහින්දානන්ද අලුත්ගමගේ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ, දේශගුණ විපර්යාසයන්ට තිරසර විසඳුම් සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බලකායේ ලේකම් ජේ.ඒ. රංජිත්, කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ.එම්. උදිත කේ. ජයසිංහ, කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදන සැපයුම් රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එම්.එන්. රණසිංහ, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, තිරසර සංවර්ධන සභාවේ සභාපති ක්‍රිස් ධර්මකීර්ති, කෘෂිකර්ම අමාත්‍යතුමාගේ කාබනික පොහොර උපදේශක මහාචාර්ය ප්‍රියන්ත යාපා යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරී පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සහභාගී වූහ.

අතරමග නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කරමින් ජල ගැලීම් නිසා ජනතාව මුහුණ දෙන ගැටලු අවම කිරීමට පළාත් පාලන ආයතන, මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සාමූහික තීන්දුවකට එළැඹෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (18) අරලියගහ මන්දිරයේ දී උපදෙස් දුන්නේය. 
ඒ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පහත්බිම් ජල ගැලීම්වලට ලක්වීමෙන් ඇති වන ගැටලු සඳහා විසඳුම් ලබාදීමේ සාකච්ඡාවකට එක්වෙමිනි.
එක් එක් ආයතන වෙත බෙදා දී ඇති කාර්ය නිසි පරිදි ඉටු නොවීම හේතුවෙන් ජනතාව මෙන් ම රජය ද අපහසුතාවට පත් වන බව පෙන්වා දුන් එතුමා, මේ වන විට ආරම්භ කර තිබෙන ව්‍යාපෘති අතරමග නවතා දැමීමකින් තොරව අවසන් කිරීම සඳහා සියලු ආයතන එක්ව කටයුතු කළ යුතු බව අවධාරණය කළේය.
ජනතාවට එලෙස කඩිනම් විසඳුම් ලබා දිය යුතු ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නිසි ක්‍රමවේදයට යටත්ව ලබා දෙන බව ද අගමැතිවරයා පැවසුවේය. 
පෙතියාගොඩ, අඹතලේ, ඔලියමුල්ල ජල පොම්පාගාර ආශ්‍රිතව කළ යුතු සංවර්ධන ව්‍යාපෘති, වැසි ජලය බැස යන ඇළ මාර්ග පවිත්‍ර කිරීම සහ සංවර්ධනය කිරීම, නව පොම්පාගාර මගින් ජලය බැහැර කිරීම මෙන් ම ජනතාව පහත් බිම්වල ජල ගැලීම්වලට ගොදුරු නොවන ආකාරයට පදිංචි කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ ව මෙහි දී අවධානය යොමු විය.
සාමුහිකව ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට වගකීමක් තිබෙන බව පෙන්වා දුන් මම අදාළ ව්‍යාපෘති කඩිනමින් අවසන් අදියර දක්වා ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය. විවිධ රාජ්‍ය ආයතන වෙත අලුතින් අනියුක්ත කර ඇති බහු කාර්ය සංවර්ධන කාර්ය සාධන බලකායේ රැකියාලාභීන් රටේ සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද උපදෙස් ලබාදුන්නේය.
එසේ ම කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ මගී බෝට්ටු ප්‍රවාහන සේවය නිසි නියාමන ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රමවත් කළ යුතු බව ද අගමැතිවරයා මෙහිදී පැවසුවේය. 
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල්, කෝට්ටේ නගරාධිපති අයි.වී.එම්. ප්‍රේමලාල්, කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිනි ඩබ්ලිව්.ඩී. ශාන්ති කුමුදුනී යන මහත්ම මහත්මීහු සහ වාරිමාර්ග අමාත්‍යංශය, මහාමාර්ග අමාත්‍යංශය, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම් සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය, කොළඹ මහ නගර සභාව, කෝට්ටේ, කඩුවෙල නගර සභා නියෝජනය කරමින් නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

ලබන 21 වනදා අලුයම 04 සිට සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කෙරේ. එහෙත් පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලිහිල් නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජුනි මස 23 රාත්‍රී 10 සිට 25 වනදා උදෑසන 04 දක්වා පමණක් පෙර පරිදිම සංචරණ සීමා නැවත ක්‍රියාත්මක කෙරේ.
ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කෙරේ. රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුය. සියලුම වෙළෙඳ සහ ආර්ථික මෙහෙයුම් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කෙරිණ.
කොවිඩ් නොවන මරණ පී.සී.ආර් පරීක්ෂණයට ලක්කිරීමෙන්, අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනාගෙන් චෝදනා එල්ල වී තිබේ. එමගින් මියගිය අයගේ පවුල්වල අය මුහුණ දෙන ආර්ථික සහ දැඩි අපහසුතා සැලකිල්ලට ගෙන කොවිඩි නොවන හේතූන් මත මියයන අයගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට අනුමැතිය දීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
ජුනි මස 14වන දින සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද, ජුනි 11 වන දින මරණ 101ක් වාර්තා වූ බවට ලැබුණු දත්ත පදනම් කරගනිමින් ජුනි 21 වනදා තෙක් සංචරණ සීමා දීර්ඝ කිරීමට පියවර ගැනිණ. පසුව මෙම මරණ සිදුව ඇති ආකාරය පිළිබඳව සෞඛ්‍ය සහ බුද්ධි අංශ මගින් නැවත පුළුල් විමර්ෂණයක් කර ලබාගත් දත්ත පිළිබඳව ජනාධිපතිතුමා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය. එහිදී ඇතැම් මරණ පෙබරවාරි 06 සිට ජුනි 11 දක්වා මාස 04ක කාලසීමාව තුළ සිදුව, මරණ සහතික ද නිකුත් කළ තිබූ බවට ද අනාවරණය විය. ඇතැම් මරණ පිළිබඳව තොරතුරු දෙවතාවක් සඳහන් වි ඇති බව සොයා ගැනිණ. ජුනි 11 වන දින සිදුව ඇති මරණ සංඛ්‍යාව 101ක් නොව 15ක් පමණක් බව සිදුකළ පුළුල් විමර්ෂණයෙන් පසු අනාවරණය කරගත් බව ජනාධිපතිතුමා පැවසීය. දත්ත සැපයිමේදී නිවැරදි වීම සහ කාලීන වීම, නිවැරදි තීරණ ගැනීමට අත්‍යාවශ්‍ය බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
මේ වන විට එන්නත් මිලියන 04කට අධික ප්‍රමාණයක් ගෙන්වා තිබේ. ජුලි මස අවම වශයෙන් තවත් එන්නත් මිලියන 04ක් ලැබීමට නියමිත බවත්, ඒ අනුව ඉදිරි කාලය තුළ ඉහළ ප්‍රතිශතයකට එන්නත් දීමේ හැකියාව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.
අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්ම මහත්මීහු, ත්‍රිවිධ හමුදාපතිවරු සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

රාජ්‍ය පොසොන් උත්සවය මෙවර මිහින්තලා පුදබිමේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ පිළිබඳ සිය අවධානය යොමුකර තිබේ. 

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් නිසි ගෞරවයකින් යුක්තව සංවිධාන කරන ලෙස බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ආමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. ඒ රාජ්‍ය පොසොන් උත්සවය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමටයි කටයුතු සංවිධාන කර තිබේ. 

 

 

පෙර පාසල, තරඟකාරී අධ්‍යාපනය ලබා දෙන තවත් එක් පාසලක් බවට පත් නොකර දරුවන්ට සොබාදහම විඳීමට, ළමා ලෝකයේ ජීවත් වීමට ඉඩ ලබා දෙන තෝතැන්නක් බවට පත්කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා, පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500ක මාසික දීමනාවක් ලබා දීමේ සමාරම්භය සනිටුහන් කරමින් පැවැති ගුරු අභිමානී ජාතික උත්සවයට අද (17) අරලියගහ මන්දිරයේ දී එක්වෙමින් පැවසුවේය. 


අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත යන මහත්වරු මෙහි දී මුල් ළමා විය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එතුමා වෙත පිළිගැන්වීම සිදුකළහ. 
සෞභාග්‍යයේ දැක්ම අනුව දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයක ම ස්ථාපිත කරන සෞභාග්‍යයේ පෙර පාසල සඳහා රුපියල් ලක්ෂ 25 බැගින් සහ පෙර පාසල් 1500ක යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 6ක බැගින් ප්‍රදානය කිරීම ද මෙම අවස්ථාවේ දී සංකේතාත්මකව සිදු විය.
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය යටතේ මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ. මුල් ළමා විය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට උර දුන් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ද මෙම උත්සව අවස්ථාවට වැඩම කොට වදාළහ.
"ගුරු අභිමානී" ජාතික උත්සවයට එක්වෙමින් එතුමා සිදුකළ සම්පූර්ණ කතාව මෙසේ ය.


"අපේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මූලික අඩිතාලම දමන පෙර පාසල් ගුරුවරු ඇගයීමට ලක්වන මෙවන් අවස්ථාවට එක්වන්නේ ඉතාම සතුටින්. අපි දන්නවා දරුවෙක් මෙලොව එළිය දුටුවායින් පස්සේ දෙමාපියන් හැරුණු කොට ඒ දරුවාගේ ජීවිතයට පළමු අඩිතාලම දැමෙන්නෙ පෙර පාසලින්. මේ පෙර පාසල් අධ්‍යාපනය අපේ රටට ගෙන ආවේ වෛද්‍ය මාරියා මොන්ටිසෝරි මැතිනිය.
දෙමාපියො තවමත් පෙර පාසලට දරුවෙක් යවන්නෙ මොන්ටිසෝරි යවනවා කියලයි. එදා මේ පිළිබඳව තිබුණු අවධානය අඩු වුණත් දශක පහක වගේ කාලයක් තුළ ඒ ගැන අවධානය වැඩිවෙලා තිබෙනවා.පෙර පාසලට අද පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථානය කියලත් කියනවා. එහෙම කියන්නත් හේතුවක් තියෙනවා. ඒ තමයි මව්තුරුලේ හිටපු දරුවා විධිමත් පාසල් අධ්‍යාපනයක් වෙත යොමු කිරීමට හැඩගස්වන්නේ පෙර පාසල තුළයි. ඒ නිසා දරුවෙක් මෙලොව එළිය දුටුවම ඒ දරුවට ලෝකය දකින්න මුල්ම අඩිතාලම දැමෙන්නෙ පෙර පාසලින් බව අමුතුවෙන් ප්‍රකාශ කළ යුතු නැහැ.
පෙර පාසල් වේවා, දිවා සුරැකුම් මධ්‍යස්ථාන වේවා, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වේවා, මේ නම්වලින් කියැවෙන ආයතන අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉතා වැදගත් කලාපයන් ලෙස අපි හඳුනාගත්තා. ඒ විතරක් නෙමෙයි, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් පෙර පාසල් පවත්වා ගෙන යෑමේ යාන්ත්‍රණය රට හදන සෞභාග්‍යයේ දැක්මට අපි ඇතුළත් කළා.
අපි බලයට පැමිණි විගස පෙර පාසල් සඳහා රාජ්‍ය අමාත්‍ය ධූරයක් පවා ඇති කළෙත් ඒ වෙනුවෙන්. පියල් නිශාන්ත රාජ්‍ය ඇමතිතුමා, ඒ කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක කරනවා කියල අපි දන්නවා. මුල් ළමාවිය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් පවා මේ වන විට කෙටුම්පත් කරලා අවසන් කියලා පියල් නිශාන්ත රාජ්‍ය ඇමතිතුමා මා සමඟ කිව්වා. දේශපාලනයට එන්න ඉස්සරවෙලා එතුමාත් ජනප්‍රිය ගුරුවරයෙක්. ඒ නිසා මේ ගැන හොඳ වැටහීමකුත් එතුමට තියෙනවා.
ඒ වගේ ම පෙර පාසල් ගුරුවරුන්ට විධිමත් ගුරු පුහුණුවක් ලබාදීම ඉතා වැදගත්. ඔවුන්ට විශ්වවිද්‍යාල මට්ටමෙන් උපාධිය දක්වා සිය දැනුම වර්ධනය කර ගැනීමේ අවස්ථාවක් අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගේ මග පෙන්වීමෙන් ලබාදෙනු ඇතැයි මම විශ්වාස කරනවා.
දරුවොත් සමග හිනාවෙලා , සිංදු කියල සතුටින් ඉන්නවා වගේ දැක්කට පෙර පාසල්වල ගුරුවරුන්ගේ ජීවිතය දිහා බැලුවම ඒ අය ගතකරන්නේ ඉතා කටුක දුක්ඛිත ජීවිතයක්. ඒ අයගෙන් බොහෝ දෙනෙක් ආර්ථික අතින් පොහොසත් අය නෙ‍මෙයි. එහෙම වෙලත් කිසිදු දීමනාවක් නොමැතිව ස්ච්ඡාවෙන් සේවය කරන පිරිසකුත් ඒ අතර ඉන්නවා. අතලොස්සක් හැරුණම පෙර පාසල් ගුරුවරුන්ට ස්ථිර වැටුපක් ලැබෙන්නේ නැහැ කියලත් අපි දන්නවා.
මුළු රට ම කොවිඩ් වසංගතයට මුහුණ දීලා තියෙන මේ අවස්ථාවේ පෙර පාසල් වසා දමා තිබෙනවා. බොහෝ පෙර පාසල් ගුරුවරුන් නඩත්තු වෙන්නෙ දරුවන්ගේ දෙමව්පියන්ගෙන් ලැබෙන සුළු මුදලකින්. මේ කාලේ ඒ මුදල ලැබෙන්නෙත් නැහැ. මේ හැමදේම ගැන බලලා තමයි අපි මේ පෙර පාසල් ගුරුවරයා ස්ථීර වැටුපක් ලැබෙන වෘත්තීය මට්ටමකට ගෙන එන්න උත්සාහ කරන්නෙ.
පෙර පාසල් ගුරුවරයා කියන්නේ මේසයකට පුටුවකට සීමා වෙච්ච අයෙක් නෙමෙයි. දරුවන් සමග දුවන්න පනින්න ඕනේ. සෙල්ලම් කරන්න ඕනේ. අද ඒ මේ වගේ හිටියට යම් දවසක ඒ අයටත් දුවන්න පනින්න බැරිවෙන අවස්ථාවක් එනවා. එතකොට තමයි ඔවුන් සැබෑ ලෙස ම අසරණ වෙන්නේ. ඒ අයට විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ. වෙනත් දීමනාත් නැහැ.
එදා 2014 අයවැය ගෙන එන වෙලාවේ මුදල් ඇමතිවරයා වගේම, ජනාධිපතිවරයා විධියට පෙර පාසල් ගුරුවරුන්ට මාසිකව රුපියල් 2500 ක දීමනාවක් ලබා දෙන්න මම යෝජනා කළා. එදා අපි බලාපොරොත්තු වුණේ ඒ මුදල ක්‍රමයෙන් වැඩි කරල පෙර පාසල් ගුරුවරුන්ට පිළිගැනීමක් ඇතිකරලා, ඔවුන්ව සමාජයේ හොඳ තැනකට ගෙන එන්න.
අපි ඡන්දෙන් පැරදුණා ම ඒ දේවල්වලට මොකද වුණේ කියලා, මටත් වඩා හොඳට ඔබ දන්නවා. අපි හිතුවා 2015 බලයට පත්වෙච්ච යහපාලන ආණ්ඩුව පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් අපි තැබූ ඒ ආරම්භය ඉදිරියට ගෙන යාවි කියල. ඒත් ඒ අය පෙර පාසල් ගුරුවරයා කොතරම් අවතක්සේරු කළා ද කියනව නම් අපි යෝජනා කළ මාසික රුපියල් 2500 දීමනාව රුපියල් 250ට බැස්සුවා. ඒ අපිත් එක්ක තරහට ද දන්නේ නැහැ. රුපියල් 250න් මොනවද කරන්න පුළුවන්. ඒක හරියට විහිළුවක්. ඒ මුදල ගන්න ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට යන්න එන්නම ඊට වැඩිය මුදලක් වැය වෙනවා. අද අපි පෙර පාසල් ගුරුවරුන්ට දෙන්නේ ඒ ගාන 10 ගුණයකින් වැඩි කරලා.
අපි මේ දෙන්නේ වැටුපක් නෙමෙයි. දීමනාවක්. ජීවත් වෙන්න මේ මුදල ප්‍රමාණවත් නැහැ කියල අපි දන්නවා. මේක විධිමත් පුහුණුවකින් පස්සේ පෙර පාසල් ගුරුවරයා ස්ථිර මාසික වැටුපක පිහිටුවීම සඳහා ගත්ත ආරම්භයක් පමණක් බව ඔබ මතක තබා ගන්න.
පෙර පාසල් ගුරුවරුන් 25000කට වැඩි පිරිසක් මෙම දීමනාව ලබා ගැනීමට මේ වන විටත් සුදුසුකම් ලබා සිටින බව පියල් නිශාන්ත රාජ්‍ය ඇමතිතුමා සඳහන් කළා. හැබැයි මේ දීමනාව ලබන්න තවත් පෙර පාසල් ගුරුවරු ඉන්නවලු. සුදුසුකම් බලල ඒ අයටත් මේ දීමනාව ලබාදෙන්න අවශ්‍ය පියවර ගනීවි කියල මම විශ්වාස කරනවා.
අපේ ඉලක්කය රුපියල් ලක්ෂ 25 ක් වටින ආදර්ශමත් ප්‍රමිතිගත පෙර පාසලක් රටේ සෑම ග්‍රාමසේවා කොට්ඨාශයට ලබාදීම.
ඒ විතරක් නෙමෙයි, පෙර පාසල් ගැන අපි වෙනමම සොයා බලනවා. අවම පහසුකම් සහිත පෙර පාසල් හඳුනා ගෙන ඒවා සංවර්ධනය කරන්න පියවර ගන්නවා. කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගෙන රූපවාහිනිය මඟින් ඒ දරුවන්ට වැඩසටහන් ප්‍රචාරය කිරීමේ වැඩපිළිවෙළක් දැනට සකස් කර තිබෙනවා. අපට අවශ්‍ය මෙම වසංගත තත්ත්වය පාලනය වූ වහා ම නැවත දරුවන්ව මේ ගුරුවරුන් ගාවට යොමු කිරීමයි.
පසුගියදා අපි අධ්‍යාපන ඇමතිතුමා, ලේකම්තුමා සමඟ යළි පාසල් විවෘත කිරීමේ හැකියාව පිළිබඳව සොයා බැලුවා. සෞඛ්‍ය අමාත්‍යංශය ඒ සම්බන්ධ නිර්දේශයන් ලබා දුන් වහා ම පියවරෙන් පියවර පාසල් විවෘත කිරීමට රජය අවධානය යොමු කරලා තියෙනවා. නැවත පෙර පාසල් පටන්ගත්තම ඔබ ගාවට ඒ මල් වගේ දරුවන් ආයෙත් පැමිණෙනවා. දරුවන් වෙනුවෙන් වෙහෙසෙන ඔබෙන් මම පුංචි ඉල්ලීමක් කරන්න කැමතියි.
පෙර පාසල කියන්නේ තරඟකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත්කරන්න එපා. දරුවන්ට මේ පරිසරය විඳින්න ඉඩ දෙන්න. එයාලගේ ලෝකේ ජීවත්වෙන්න ඉඩ දෙන්න. ඔවුන්ට ඇහුම්කම් දෙන්න. ඇතැම් විට මේ දරුවන් අතරෙ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ඉන්න පුළුවන්. ඔවුන්වත් රැක බලා ගන්න. ඒ දරුවන්ට ගුණ යහපත්කම දයාව කරුණාව ගැන කියලා දෙන තෝතැනන්නක් බවට පෙර පාසල පත්කරගන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා.
ඔබ සැමට තෙරුවන් සරණයි!"
මෙම අවස්ථාවට අමාත්‍යවරු වන මහාචාර්ය ජී.එල්. පීරිස්, ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍යවරු වන පියල් නිශාන්ත, සුසිල් ප්‍රේමජයන්ත, විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම්, කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එස්.ඩී. ජයසේකර, මගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

කෘෂි කර්මාන්තයේ වර්ධනය සදහා නව තාක්ෂණය පිළිබඳ දැනුවත්භාවය සහ භාවිතය වැඩි දියුණු කිරීම ට කෘෂි නිපැයුම් තාක්ෂණික වේදිකාවක් බිහිකිරීමේ ක්‍රියාකාරි වැඩපිළිවෙලක් ආරම්භ කෙරේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂන නියෝජිතායතනය මෙම වැඩපිළිවල ක්‍රියාත්මක කරයි. කෘෂි අංශයේ විද්වතුන් හා ව්‍යාපාරික ආයතන නියෝජිතයන් 130කට වැඩි පිරිසක් එක්වූ මෙම සාකච්ඡාව පසුගියදා අන්තර්ජාලය ඔස්සේ පැවැත්විණි.

කෘෂිකාර්මික අංශයේ පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාව ඇති කිරීම, දේශීය හා විදේශීය විශෙෂඥයින්ගෙන් නව උසස් කෘෂි තාක්‍ෂණ දැනුම ලබාදීම, නව තාක්‍ෂණ පර්යේෂණ හා සංවර්ධනය සඳහා අවශ්‍ය සහය ලබා දීම සහ මෙම අංශයට පිවිසෙන්නන් තාක්‍ෂණය පදනම් කරගත් සමාගම් සමඟ සම්බන්ධ කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

මේ පිළිබද වූ සැසිවාරය අමතමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි අනුර ද අල්විස් මහතා ප්‍රකාශ කළේ, “ඩිජිටල් ආර්ථික උපාය මාර්ගයට අනුකූලව, ශ්‍රී ලංකාව ඩිජිටල් රටවල් අතරට එක්වන ජාතියක් බවට පත් කිරීමේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රධාන කුළුණු පහක් ක්‍රියාකාරිත්වය හඳුනාගෙන ඇතිබවයි. එනම් තාක්‍ෂණ කර්මාන්ත සංවර්ධනය,ආරම්භක පරිසර පද්ධති සංවර්ධනය, පුද්ගල ධාරිතා වර්ධනය, තාක්ෂණ භාවිතය සහ කලාපීය පොකුරු සංවර්ධනය, කෘෂිකර්මාන්තය විෂය පථය යටතේ ප්‍රමුඛතා ලෙස හඳුනාගෙන ඇත.එමෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ පරිවර්තනය කිරීමට සහ නිර්මාණය කිරීමට උපකාරී වන අපගේ සාම්ප්‍රදායික භාවිතයන් ද උපයෝගී කරගතයුතුව තිබේ.

ජර්මනියේ සිට සාකච්ඡාව සමග අදහස් දැක්වීමට එක්වූ එන්පැක්ට් හි කළමණාකාර අධ්‍යක්ෂ ජෑන් ලැචෙන්මයර් මහතා අදහස් දක්වමින් ගෝලීය දෘෂ්ටි කෝණයෙන් කෘෂි නිපැයුම් තාක්ෂණය පිළිබඳවත් කෘෂිකාර්මික අංශයේ පරිසර පද්ධති තුළ කෙතරම් බලපෑමෙන් යුත්, තිරසාර නවෝත්පාදනයක් සිදුවිය හැකිද යන්න පිළිබඳවත් දැනුවත් කරන ලදී . කෘෂිකර්මාන්තය හා ගොවිතැන සඳහා භාවිතා කරන සුහුරු තාක්ෂණය පිළිබඳව විශේෂ උපදෙස් ද මෙහිදී ලබාදෙන ලදී.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ තාක්ෂණ ව්‍යාප්තිය පිළිබද අධ්‍යක්‍ෂ, මහාචාර්ය ප්‍රදීප් අබේගුණවර්ධන මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “ කෘෂිකාර්මික අංශයට තාක්ෂණයෙන් විවිධාකාරයෙන් ප්‍රතිලාභ ලබා ගත හැකි බවයි. ආර්ථික වශයෙන් දියුණු රටවල රොබෝ තාක්ෂණය, කෘතිම බුද්ධිය, සුහුරු ගොවිතැන් ක්‍රමවේද, ජෛව තාක්‍ෂණය, නැනෝ තාක්‍ෂණය වැනි නවීන තාක්‍ෂණය නිවැරදි භාවිතා කරන බවයි. ඔහු තවදුරටත් කියා සිටියේ, “ජාතියක් වශයෙන්, ඕනෑම කර්මාන්තයක දී වඩා ලාභදායී, කාර්යක්ෂම, ආරක්ෂිත සහ පරිසර හිතකාමී වීමට තාක්ෂණයේ ප්‍රතිලාභ අප විසින් භාවිතා කළ යුතුබවයි. මෙම කෘෂි නිපැයුම් තාක්ෂණික වේදිකාව අඛණ්ඩ ඉදිරියට ගෙනයාමට සැලසුම් කර ඇති අතර මෙය ආරම්භක මුල පිරීම් වලින් එකකි. ගොවි සංගම්, රජයේ දෙපාර්තමේන්තු සහ ආයතන, කෘෂි තාක්ෂණ සේවා සපයන්නන්, කෘෂි තාක්ෂණ සමාගම් වැනි පාර්ශ්වකරුවන් මෙම සංවාදයට එක්වෙමින් අදහස් දක්වන ලදී.

ආචාර්ය බෙෂාන් කුලපාල (අධ්‍යක්‍ෂ AIGrow (Pvt)Ltd.) ලක්ෂාන් ද සිල්වා (ප්‍රධාන මූල්‍ය නිලධාරී - SpectrifyAI) මිලර් රාජේන්ද්‍රන්, (ප්‍රධාන විධායක නිලධාරී Senzagro (Pvt)Ltd) බුද්ධි වරුෂවිතාන (ව්‍යාපාර විශ්ලේෂිකා - වෙළඳ හුවමාරු Epic Lanka) චතුරංග බෝපෙත්ත (කළමනාකරු -Heylese Agriculture Holdings Limited) මිෆ්‍රා ස්මයිල් (ප්‍රධානි නැවුම් ආහාර - John Keells Holdings) චන්දික ගුණතිලක (මෙහෙයුම් කළමනාකරු Cargills Agro Development Co) යන මහත්ම මහත්මින් මෙම සංසදයේදී සිය අදහස් ඉදිරිපත් කරන ලදී. මෙම සැසිවාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කෘෂි කර්මාන්තකරුවන්ගේ සංසදයේ සභාපති රිස්වි සහීඩ් මහතා විසින් සමාප්ති දේශනය පැවැත්විණි.

මෙම කෘෂි තාක්ෂණ නවෝත්පාදන,වැඩසටහන යටතේ කෘෂි තාක්ෂණ සංසද, නිෂ්පාදන වෙළඳපල, කෘෂි තාක්ෂණ උපදේශන ජාලය, කෘෂි තාක්ෂණ පර්යේෂණ හා සංවර්ධන අංශය, කෘෂි තාක්ෂණ සමුළුව සහ කෘෂි තාක්ෂණ පාසල ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එමෙන්ම කෘෂි කර්මාන්තය මත යැපෙන ජීවනෝපාය මාර්ගයන්හි ඉහළ ඵලදායිතාව ඉහල නැංවීම, වැඩි ආදායමක් ලබාගැනීම සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා කෘෂි තාක්ෂණ කර්මාන්තයේ පාර්ශ්වකරුවන් අතර අඛණ්ඩ සංවාදයක් සහතික කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සැලසුම් කර ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේ, ‘අපට ස්වාධීන නොබැඳි ජාතියක් ලෙස නැඟෙන්නට ශක්තිය දුන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය සහ අපේ වාමාංශික ව්‍යාපාරය බවත්, එමගින් නොබැඳි ජාතියක් ලෙස ස්වාධීනව ලෝකය ඉදිරියේ නැගී සිටීමට හැකි වූ බවත්ය. 

එම සමුළුව අමතා ඔහු සිදුකළ සම්පූර්ණ කතාව, 


‘‘චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වෙනි සංවත්සරය සමරන මේ මොහොතේ අපේ උණුසුම් සුබ පැතුම් පිරිනමන්න ඕනෑ. එම පක්ෂයේ 100 වෙනි සංවත්සරය සමරන මේ වසර ආසියාවේ අප කාටත් ඉතා වැදගත් බව මගේ විශ්වාසයයි.
මිත්‍රවරුනි,
ආසියාවේ නැගිටීම මේ සියවසේ සිදු වන්නේ චීනයේ පිබිදීම මුල් කර ගෙන බව අප කාගේත් විස්වාසයයි. ඒ ඓතිහාසික ජයග්‍රහණය චීනයට ලබා දුන්නේ මීට වසර සියයකට කලින් 1921 දී දොළොස් දෙනෙක් එක් වෙලා පිහිටු වූ කොමියුනිස්ට් පක්ෂය විසින් බව අපි කවුරුත් දන්නවා. චීන කොමියුනිස්ට් පක්ෂය ආසියාවට ම ලොකු වැදගත්කමක් තිබෙන දේශපාලන පක්ෂයක් බව මම කිව්වේ ඒ නිසයි.
මිත්‍රවරුනි,
චීනය කියන්නෙ ‍රටක් විතරක් නොවෙයි, චීනය කියන්නෙ දැවැන්ත ශිෂ්ටාචාරයක්. චීනය විවිධ ආක්‍රමණවලට ගොදුරු වුණා මිස කවදාවත් චීනය වෙනත් රටවල් ආක්‍රමණය කළේ නෑ. ඒ වගේ ම ලෝකයේ විශාලතම ජනතාවක් ස්වයංපෝෂිත ආර්ථිකය ගැන විශ්වාසය තියලා ජීවත් කරවපු රටක්. ඒ විතරක් නොවෙයි කෘෂිකර්මාන්තය ගැන විශ්වාසය තියලා එය පදනම් කරගෙන ගොඩ නැගුණු රටක් හැටියටයි චීනය සලකන්නේ. ඒ නිසයි මම කියන්නෙ චීනය දැවැන්තම ශිෂ්ටාචාරයක් කියලා.
මිත්‍රවරුනි,
චීන කොමියුනිස්ට් පක්ෂය ඒ ශිෂ්ටාචාරයේ ලකුණ හඳුනා ගෙන කටයුතු කළ නිසා තමයි අද චීනය ලෝක බලවතෙක් විදියට දියුණු කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ. චීනයත් අපිත් අතරෙ තියෙන්නෙ ඓතිහාසික සමානකමක්. චීනය, චීන මහා ප්‍රාකාරය ඉදිකරන කොට අපේ දේවානම්පියතිස්ස මහ රජතුමා අනුරාධපුර මහමෙව්නා උයන පිහිටුවනවා. එදා ඉඳන් එක ම රාජ්‍යයක්, භාෂාවක්, ආගමක් අඛණ්ඩව පවත්වා ගෙන ගියේ, අපිත් චීනයත් බව මම බොහොම ආඩම්බයෙන් කියන්න ඕනෑ.
අපේ ඓතිහාසික සමානකම වගේ ම මිත්‍රකමත් ඉතා ම බලවත්. චීනය බලවත් රටක් හැටියට අපේ ස්වාධීනත්වය රැක ගන්න විශාල වශයෙන් උදව් කරලා තියෙනවා. ආර්ථික වශයෙන් ගොඩ නැගෙන්න අපිට උදව් කරලා තියෙනවා. චීන සහල් රබර් ගිවිසුම ශ්‍රී ලාංකිකයින්ට තවමත් මතකයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ දී ලංකාවේ ස්වාධීනත්වය වෙනුවෙන් චීනය කළ සේවය අපිට කවදාවත් අමතක කරන්න බෑ. චීනයට මම කවදත් කිව්වෙ අපේ ඓතිහාසික මිත්‍රයා කියලා. මම කියනවා ඓතිහාසික කරුණු අනුව සලකා බලලා චීනය අපේ කල්‍යාණ මිත්‍රයා කියලා.
මිත්‍රවරුනි,
අපේ සම්භාව්‍ය ග්‍රන්ථයක තියෙනවා,
"මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවැති
බිතුසිතුවම් රූ මෙන් පිටු නොපාවිති"
කියලා. චීනයත් අපට ඒ වගේ මිතුරෙක්. චීන කොමියුනිස්ට් පක්ෂය අපට මෙතරම් සමීප කළේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයයි.
අතීතයේ චීනයත් ලංකාවත් සම්බන්ධ කළේ බුදුදහම. නිදහසින් පසු අපි අතර සබඳතාව ගොඩ නගන්න මුල් වුණේ කොමියුනිස්ට් පක්ෂයයි. චීන කොමියුනිස්ට් පක්ෂය වගේ ම ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත් ලංකාවේ ශිෂ්ටාචාරය මත පදනම් වුණු බොහෝ දේට ගරු කරනවා. ජාතික ආර්ථිකයක් ස්වාධීන රටක් කෘෂිකර්මාන්තය ඇතුළු දේශීය කර්මාන්ත පද්ධතියක් කෙරෙහි විශ්වාසය තබනවා.
මට මතකයි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙ නිර්මාතෘවරයා වූ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ කෘෂිකර්මාන්තයේ දියුණුව ගැන ලොකු උනන්දුවකින් කටයුතු කළා. එතුමා ඉදිරිපත් කළ, නිල්වලා ගඟ ව්‍යාපෘතිය, වමේ නායකයෙක් කෘෂිකර්මාන්තය ගැන ඉදිරිපත් කළ වැදගත් ම ව්‍යාපෘතිය. මේ වගේ අදහස් දරපු කොමියුනිස්ට් පක්ෂය නිසා අපට චීනයත් සමඟ අතීත සම්බන්ධය තවත් තහවුරු කර ගන්න පුළුවන් වුණා.
චීන කොමියුනිස්ට් පක්ෂය ඇතුළු වාමාංශික පක්ෂ එකට වැඩ කළ සිරිමාවෝ මැතිනියගේ කාලෙ චීනයත් එක්ක අපේ සබඳතා ඉතා විශිෂ්ට වුණා. අපිට නොබැඳි ජාතියක් හැටියට ස්වාධීනව ලෝකෙ නැගී සිටින්න උපකාරී වුණේ චීන කොමියුනිස්ට් පක්ෂයත් අපේ වාමාංශික ව්‍යාපාරයත් බව මම කියන්න ඕනෑ. අපත් කොමියුනිස්ට් පක්ෂය ඇතුළු වමේ පක්ෂ එකට වැඩ කළ ආණ්ඩුවක් යටතේ තමයි අපි බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධය නිමා කළේ. ඒ යුද්ධය තිබුණ කාලෙත් ඉන් පසුවත් චීන රජය අපේ ස්වාධීනත්වය වෙනුවෙන් කළ කැපකිරීම් අපි සදහට ම අගය කරනවා. ඒක චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසයේ ආසියාවේ රටක ස්වාධීනත්වය වෙනුවෙන් කළ විශිෂ්ට උපකාරයක්.
මිත්‍රවරුනි,
මේ මොහොතේ ලංකාවෙ කොමියුනිස්ට් පක්ෂයත් අපිත් අතර තිබෙන බැඳීම ගැන මම මතක් කරන්න ඕනෑ. ලංකාවෙ කොමියුනිස්ට් පක්ෂයට දැන් වසර 78 සම්පූර්ණ වෙනවා.
සහෝදරවරුනි,
කොමියුනිස්ට් පක්ෂයේ පුරෝගාමී නායකයා වුණ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා දකුණෙන් ආව කෙනෙක්. මගේ ලොකු තාත්තා වුණ ඩී.එම්. රාජපක්ෂ මැතිතුමා වගේ ම මගේ පියා වුණ ඩී.ඒ රාජපක්ෂ මැතිතුමත් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා සමඟ ඉතා ළඟින් දේශපාලන සම්බන්ධතා පවත්වපු අය. ඒ වගේ ම මගේ ලොකු තාත්තාට, මගේ තාත්තාට වගේ ම දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලන චරිතයටත් මම ඉතා ම ගරු කරන බව මේ මොහොතේ කියන්න ඕනේ.
ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක නායකයා වුණ වික්‍රමසිංහ මැතිතුමාගේ පොදුජන දේශපාලන සටන් මඟ මගේ ජීවිතයටත් ඉතා ම ආදර්ශයක් හැටියට බලපෑ බව කියන්න ඕනේ. පීටර් කේනමන්, රාජා කොල්ලුරේ සරත් මුත්තෙට්ටුවේගම, අද නායකත්වය දරන වීරසිංහ අපට සමීප එකට දේශපාලන සටන් බිමේ හිටපු අය. ඒ වගේ ම කොමියුනිස්ට් පක්ෂයේ හිටපු නායක ඩිව් ගුණසේකර මැතිතුමා එදා ඉඳන් අද වන තුරු මගේ ඉතා කිට්ටු සමීප මිත්‍රයෙක්. ඒ නිසා කොමියුනිස්ට් පක්ෂය මගේ ඉතා ම සමීප වමේ දේශපාලන පක්ෂයක් හැටියට මම ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරනවා.
මිත්‍රවරුනි,
ලෝකය වෙනස්වෙලා. අපේ රටත් වෙනස්වෙලා. කාර්මික විප්ලවය පසු කරලා, තාක්ෂණ විප්ලවයත් පසු කරලා,
අද සයිබර් යුගයේ තරුණ පරපුරක් ඉන්නේ. එදා තිබුණ දේශපාලන අදහස් නෙමෙයි, අද තියෙන්නේ. නමුත් අපි මතක තියාගන්න ඕනේ අද අපි භුක්ති විඳින සියලු අයිතීන් දිනා දෙන්න, අතීතයේ ප්‍රගතිශීලි දේශපාලන බලවේග කොමියුනිස්ට් පක්ෂය වාගේ වාමාංශික ව්‍යාපාර අසීමිත ලෙස සටන් වැදුණු බව.
ලෝකය කෙතරම් වෙනස් වුණත් එකක් අපි මතක තබාගත යුතුයි, කොමියුනිස්ට් පක්ෂය හැමදා ම පෙනී සිටියේ සමානාත්මතාව වෙනුවෙන්. අදත් සමානාත්මතාව පිළිබඳ අදහස ලෝකයේ වලංගුව පවතිනවා. ඒ වෙනුවෙන් දැවැන්ත කැප කිරීමක් කළ චීන කොමියුනිස්ට් පක්ෂය ලෝකයේ සමානාත්මතාව වෙනුවෙන් අනාගතයේත් කැප වන බව මට විශ්වාසයයි.....‘‘

 

 

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින ජනතාවගෙන් ණය අය කර ගැනීමේ දී ඔවුන් මුහුණපාන ගැටලු අවම කිරීම සඳහා කටයුතු කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (16) අරලියගහ මන්දිරයේ දී මහ බැංකු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ, වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.


කොවිඩ් වසංගතය හමුවේ මෙරට ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගෙන යාම සම්බන්ධව මෙහි දී මහබැංකු නියෝජිතයෝ අගමැතිවරයාට කරුණු පැහැදිලි කළහ.
වසංගත තත්ත්වය හමුවේ ණය පහසුකම් ලබා ගත් ජනතාව මුහුණ දෙන ගැටලු කෙරෙහි මෙහි දී එතුමාගේ විශේෂ අවධානයට යොමු විය.
ණය මුදල් අය කර ගැනීමේ දී ණයකරුවන් මුහුණ දෙන ගැටලු අවම කිරීම සඳහා සුදුසු පියවර අනුගමනය කරන මෙන් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නෙමි.
වාරික ගෙවීමේ දී පොලිය මුලින් ගෙවීමට සිදුවීම තුළින් ණය මුදල ගෙවීමට නොහැකි වන තත්ත්වයට ණයකරුවන් පත්ව ඇති බවත් පොලිය මෙන් ම ණය මුදල ද ගෙවී යන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ණය ලබා දීමේ දී පදිංචි නිවස ඇපයට ගැනීමෙන් ණයකරුවන්ට නිවස ද අහිම වන අවස්ථා කොතෙකුත් වාර්තා වන නිසා, ඒ ගැන මානුෂීයව සලකා බලමින් එම ක්‍රමවේදය වෙනස් කිරීමේ වැදගත්කම ද මම පෙන්වා දුන්නෙමි.
මෙම අවස්ථාවට මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්.එම්.පී. රත්නායක, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂමන්, නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරුන් වන කේ.එම්.එම්. සිරිවර්ධන, එම්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර, සහකාර මහ බැංකු අධිපතිවරුන් වන ජේ.පී.ආර්. කරුණාරත්න, ඒ.ඒ.එම්. තාසීම්, ආර්ථික හා පර්යේෂණ අධ්‍යක්ෂ සී. අමරසේකර, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂ සමන් නානායක්කාර යන මහත්වරු එක්ව සිටියහ.

කොවිඩ් අභියෝග ජය ගැනීමේ මෙහෙයුමට දායකවීම සඳහා මහජන බැංකුවට අනුබද්ධිත පීපල්ස් ලීසිං සහ ෆයිනෑන්ස් සමාගම් සමූහය විසින් පරිත්‍යාග කළ පී.සී.ආර්. යන්ත්‍ර 2ක් ඇතුළු රුපියල් මිලියන 25ක් වටිනා සෞඛ්‍ය උපකරණ තොගයක් අද (16) දින අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ප්‍රදානය කෙරුණි. 


පීපල්ස් ලීසිං සහ ෆයිනෑන්ස් සමාගම් සමූහය 2021 වර්ෂයේ පළමු කාර්තුවේ ලබා ගත් ලාභාංශයෙන් මුදලක් මෙම සද් කාර්යය වෙනුවෙන් වෙන්කර තිබිණි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශය පරිදි අදාළ උපකරණ තොගය රෝහල් සඳහා බෙදා දීම සිදුවිය.


සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, පීපල්ස් ලීසිං සහ ෆයිනෑන්ස් සමාගම් සමූහයේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී ශාමින්ද මර්සිලින් යන මහත්ම මහත්මීහු ද රෝහල් කිහිපයක වෛද්‍යවරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව එහි සභාපතිනි කේෂිලා ජයවර්ධන මහත්මිය විසින් අරලියගහ මන්දිරයේ දී අද (16) අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වුණි. 2019 දෙසැම්බර් 31 වැනිදාට රුපියල් ට්‍රිලියන 1.2ක් ලෙස සටහන් වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය සියයට 17.8ක වර්ධනයක් සමගින් 2020 දෙසැම්බර් 31 දිනට රුපියල් ට්‍රිලියන 1.4 බවට පත්ව තිබේ.
රජය හඳුන්වා දුන් නව ආර්ථික ක්‍රියාවලියට මුල පිරීම හේතුවෙන් 2020 වසර තුළ දී ඉතිහාසයේ මෙතෙක් වාර්තා කරන ලද ඉහළ ම බදු පෙර හා බදු පසු ලාභය ළඟා කර ගැනීමට ද ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමත් වී ඇත.
ඒ අනුව 2019 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 10.5ක බදු පෙර ලාභයට සාපේක්ෂව සියයට 49.5ක වර්ධනයක් සමග රුපියල් බිලියන 15.6ක බදු පෙර ලාභයක් ද පෙර වර්ෂයේ සටහන් වූ රුපියල් බිලියන 6.4ක බදු පසු ලාභයට සාපේක්ෂව සියයට 58.4ක වර්ධනයක් සමඟ රුපියල් බිලියන 10.1ක බදු පසු ලාභයක් ද ජාතික ඉතිරි කිරීමේ බැංකුව වාර්තා කර තිබේ.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සමස්ත ණය පිරිනැමීම්වලින් සියයට 90ක් සියයට 7 සහන පොලී අනුපාතයක් හා අදාළ ණය වාරික ගෙවීම සඳහා සහන කාලයක් ලබා දීම යන ණය සහන මගින් ආවරණය කර තිබිණි. මෙයට අමතරව පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුව ද 2021 පළමු කාර්තුව තුළ ද අඛණ්ඩ හා ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කිරීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමත් වී ඇත.
රජය විසින් යෝජිත ණය සහන 2020 වර්ෂය සඳහා ලබා දීම මේ වන විට අවසන් කර ඇති බවත් නිවාස ණය සහ පෞද්ගලික ණය ලබාදීම් ද සාර්ථකව ඉටු කර ඇති බවත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිනි කේෂිලා ජයවර්ධන මහත්මිය පැවසුවා ය.
රාජ්‍ය සේවයේ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා සියයට 6.75ක සහන පොලී අනුපාතයකට වසර 15ක දී ගෙවා අවසන් වන විශේෂිත ණය යෝජනා ක්‍රමයක් ද ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් හඳුන්වා දී තිබේ.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනි කේෂිලා ජයවර්ධන, සාමාන්‍යාධිකාරී අජිත් පීරිස් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාරව “සූර්ය බලශක්ති” උත්පාදනය වැඩිකර, ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීම වේගවත් කිරීමට පියවර ගැනේ.
රජයේ ගොඩනැඟිලි, ආගමික සිද්ධස්ථාන සහ අඩු ආදායම්ලාභී නිවෙස් දායක කර ගනිමින් සූර්ය බලශක්තිය උත්පාදනය රජයේ ප්‍රමුඛ සැලසුමකි.
අඩු ආදායම්ලාභී ගෘහ ඒකක සඳහා ආර්ථික ප්‍රතිලාභ ළඟා කරදීම සහ රජයේ ආයතනවල විදුලිය වෙනුවෙන් වැය වන වියදම කපා හැරීම එමගින් අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘති මගින් ජාතික විදුලි පද්ධතියට ඇතුළත් වීමට නොහැකි අඩු ආදායම්ලාභීන්ට බැටරි මගින් සූර්ය බලශක්ති ගබඩා පහසුකම් සැලසීමට ද පියවර ගෙන ඇත.


ඉඩම් හිඟය මගහරවා ගනිමින්, ජලය මත පාවෙන සූර්ය පද්ධති ස්ථාපිත කිරීමෙන් විදුලි උත්පාදනය ද වැඩසටහනට ඇතුළත් වේ. එහි පළමු අදියර, පාර්ලිමේන්තුවට අවශ්‍ය විදුලි උත්පාදනය සඳහා ආදර්ශ වැඩපිළිවෙළක් ලෙස දියවන්නා ඔය කේන්ද්‍ර කරගනිමින් ඇරඹීමට සැලසුම් කර ඇත.


මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකු ලෙස ඉන්දීය රජය, ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව මගින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය මාලාවක්
(Line Of Credit) පිරිනැමීමට එකඟතාව පළ කරමින්, දෙපාර්ශ්වය අතර ණය සම්මුති ගිවිසුමකට එළඹ තිබේ.


ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව අතර අත්සන් තබන ලද ණය මාලා ගිවිසුම අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරියේ මුදල් ලේකම් එස්.ආර්. ආටිගල මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර හුවමාරු කරගනු ලැබීය.


විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා, විදුලිබල අමාත්‍යාශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, ඉන්දීය තානාපති කාර්යාලයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහූ ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter