නවතම පුවත්

වයස අවුරුදු 15 ක දැරියක් අන්තර්ජාල වෙබ් අඩවි භාවිත කරමින් ලිංගික අපයෝජනයට ලක්කිරිම සම්බන්ධයෙන් සැකකරුවන් 41 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. දුරකථන වාර්තා අන්තර්ජාල වෙබ් අඩවි බැංකු වාර්තා සී සී ටී වී දර්ශන මෙන්ම වෙනත් තොරතුරු විශ්ලේෂණය කරමින් විවිධ පැතිකඩ ඔස්සේ විමර්ශන කටයුතු පුඑල්කර ඇත. ලිංගික ක්‍රියාවන් සඳහා යොදා ගැනෙන වෙබ් අඩවි කිහිපයක් තහනම් කිරීම සඳහා පොලීසිය අධිකරණයෙන් ඉල්ලිමක් ද කර තිබේ. එම කර්තව්‍යයට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ද එක්ව සිටි. දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන තවදුරටත් පුඑල් කර ඇත. ඇයගේ පියා සහ මව ද පොලිස් අත්අඩංගුවට පත්වුහ. මෙවැනි සිදුවීම් සමාජය තුළින් තුරන් කිරීම සඳහා සියලු පාර්ශව ඒකාබද්ධ ප්‍රවේශයකින් ක්‍රියාකිරිමේ අවශ්‍යතාව වර්තමානයේදි මතුව ඇත. නීතිය ක්‍රියාත්මක කිරිමේ ආයතන ද වගකීමෙන් ක්‍රියාකල යුතුය. ළමා අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා කරගැනිමට අදාල දැනුවත් කිරීමේ වැඩසටහන් දිවයිනම ආවරණය වන පරිදි පැවැත්විමේ යාන්ත්‍රනයක් රට තුළ සාර්ථකව ක්‍රියාත්මක නොවීම ද ගැටළුවකි. එම කාර්යයේදි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පුඑල් වගකීමක් පැවරේ. කායික මානසික ලිංගික හා නොසලකා හැරීම ආදි වශයෙන් සිදුවන ඔනෑම අපයෝජනයක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ක්ෂණික දුරකථන අංක 1929 ඇමතීමෙන් පැමිණිළි කළ හැකිය. එය පැය 24 පුරා සිංහල දෙමළ සහ ඉංග්‍රිසි යන භාෂාවන්ගෙන් ක්‍රියාත්මක වෙයි.

කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියර පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE)

ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ පළමු අදියර පසුගිය වසරේ සැප්තැම්බර් මස ආරම්භ වූ අතර ආයෝජකයන්ගේ කොටස් ගනුදෙනු ක්ෂණිකව තහවුරු කිරීම, සාංගමික ක්‍රියාකාරකම් පිළිබඳ ආයෝජකයා දැනුවත් කිරීම හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමිකර දීම එහි අරමුණ විය.

ඩිජිටල්කරණය හඳුන්වා දීමත් සමග කොටස් වෙළෙඳපොළ තොරතුරු භාගත කිරීම වේගවත්වීම නිසා නව ආයෝජකයන් 65000ක් ඉක්මවමින්, නව මධ්‍යම තැන්පතු ක්‍රම (CDS) ගිණුම් 17,000ක් විවෘත කෙරුණු බව කොටස් වෙළෙඳපොළ පාලන අධිකාරිය පෙන්වා දුන්නේය.

ඩිජිටල්කරණයත් සමග ආයෝජකයන්ට ලෝකයේ ඕනෑම තැනක සිට සිංහල,දෙමළ හෝ ඉංග්‍රීසී භාෂාවන්ගෙන් ගනුදෙනු කළ හැකිවීම, මාසික ප්‍රකාශන ලබාගැනීම, තොරතුරු හුවමාරුව හා වෙනස් කිරීම මෙන්ම දේශීය සමාගම්වලට ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව හිමි වේ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දුමිත් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

ශ්‍රී ලංකාව විසින් මිල දී ගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් දිවයිනට ලැබී ඇති බව වාර්තා වෙයි.

මෙම එන්නත් මාත්‍රා තොගය අද (12) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ට රැගෙනවිත් ඇත

 

මීට පෙර ද අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් මෙරටට ලැබී තිබුණි.

මේ දක්වා මෙරටට සයිනොෆාම්, ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික් v හා ෆයිසර් යන කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 8,571,000ක් ලැබී තිබේ.

අධ්‍යාපනය වෙනුවෙන් වෙන්වූ රූපවාහිනී නාලිකා විස්සක් ආරම්භ කිරීමට සැළැසුම් කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මේ යටතේ එක ශ්‍රේණියේ සිට දහතුන් වැනි ශ්‍රේණිය දක්වා නාලිකා දහතුනක්ද,පිරිවෙන් අධ්‍යාපනය සඳහා වෙන්වූ නාලිකා දෙකක්ද ආරම්භ කෙරේ. අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේ කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සමෘද්ධි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයකදීය. කුණ්ඩසාල මැතිවරණ කොට්ඨාසයේ පාසල් දරුවන් එකසිය අසූ පස් දෙනෙකු සඳහා සමෘද්ධි ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම අමාත්‍යවරයා අතින් මෙහිදී සිදුවිය.

මෙහිදී "සමෘද්ධි සෞභාග්‍යයා" වැඩසටහනට සමගාමීව උසස්පෙළ දරුවන් සඳහා එක් දරුවකුට මසකට 1500 බැගින් වසර දෙකක කාලයක් සඳහා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මූල්‍යාධාර ලබාදීම සිදුවේ. මේ යටතේ එම දරුවන් සඳහා මාස 10 ක මූල්‍යධාර වශයෙන් රුපියල් 15,000 බැගින් එකවර ලබා දීම සිදුකෙරිණ .

ඒ අනුව එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන් එකසිය අසූ පස් දෙනෙකු සඳහා රුපියල් විසි හත් ලක්ෂ 75,000 ක මුදලක් බැංකු ගත කොට ලබා දීම සිදුවේ. එය සංකේතවත් කරමින් ළමුන් හැට දෙනෙකු සඳහා මූල්‍යාධාර සැපයම සිදුකෙරිණ. පවතින ගෝලීය වසංගතය තවත් වසරක දෙකක පමණ කාලයක් පැවතිය හැකි බවද ඒ තුළ ළමුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොවිය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. රටක දරුවන්ගේ අධ්‍යාපනය බිඳවැටීමට නොදී රැක ගැනීම රජයක වගකීම බවද හෙතෙම කීය.

අධ්‍යාපනය යනු රටෙහි කොදුනාරටිය බවත් කුමන අභියෝග හමුවේ වුවද එහි වගකීම රජයේ භාර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය. ඉදිරියේදී අධ්‍යාපන නාලිකා සියල්ල නිවසෙහි ආලින්දයට ගෙනඑන බවත් ඒ තුළ රටෙහි සමස්ත සිසු පරපුරට එක හා සමාන අධ්‍යාපන අවකාශ ලබා දෙන බවත් රඹුක්වැල්ල මහතා කීය.

දුරකථන භාවිතයෙන් දරුවනට සිදුවන සමාජ ප්‍රශ්න මින් මගහරවා ගත හැකි යැයිද මෙහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා රටෙහි ජනප්‍රිය ගුරුවරයෙකුගේ ඉගැන්වීම ලැබෙන සිහිනය එක හා සමානව කොළඹ හතේ දරුවාගේ සිට ඈත එපිට දරුවා දක්වා ලබාදෙන බවද අමාත්‍යවරයා මෙහිදී කීය.
කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ සභාපති රංජන අක්මීමන,එහි උප සභාපති ජානක තුෂාර , කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් සමන්තී ඩී. නාගහතැන්න,එහි සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) සංජීවිකා හේරත් යන මහත්ම මහත්මීහුද මේ සඳහා එක්ව සිටියහ

 

මාධ්‍ය නිදහස වැරදි ලෙස අර්ථකතනය කරමින් රටේ නීතිමය රාමුවට පිටින් ගොස් මාධ්‍ය මුදලාලිලාට අවශ්‍යය ලෙස තක්කඩි වැඩ කිරීමට ඉඩදිය නොහැකි බවත් එවැන්නක් සඳහා කවුරුන් හෝ උත්සහ කරන්නේ නම් පවතින නීතිමය රාමුව තුළ අවශ්‍යය පියවර ගැනීමට කිසිසේත් පසුබට නොවන බවත් ජනමාධ්‍ය අමාත්‍ය,කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
මාධ්‍ය නිදහස හා නීතීය පටලවා නොගත යුතු බවද කිසිවෙකුත් වල්බූරු නිදහසක් බලාපොරොත්තු නොවිය යුතු බවද ඒ මහතා කීය.
මහනුවරදී පෙරේදා (10) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී රඹුක්වැල්ල මහතා මෙසේද පැවසීය. ‘‘කිසිම මාධ්‍ය ආයතනයක විකාශන බලපත්‍රය අත්හිටුවීමේ තීරණයක රජය නැහැ.ඒක සම්පූර්ණ වැරදි කතාවක්.පාර්ලිමේන්තුවේදී විපක්ෂනායකවරයා මේ සම්බන්ධව කතා කරන එක පිළිබඳව දැනුම්දීමක් කර තිබුණේ නැහැ.එතුමා කළේ මාර්කටිං වැඩක්.ජනමාධ්‍ය ඇමැතිවරයාගෙන් ප්‍රශ්නයක් අහන්න තිබෙනවා කියලා දැනුම් දෙන්න තිබුණා.පාර්ලිමේන්තුවේ හැම වෙලාවෙම හැම ඇමැතිවරයෙක්ම මන්ත්‍රීවරයෙක්ම ඉන්නේ නැහැ.වෙනත් හදිසි වැඩ තිබෙනවා.ඒවා අතරතුර පාර්ලිමේන්තු කටයුතු වලට සම්බන්ධ වෙනවා.එහෙම නැති වෙලාවක ප්‍රශ්නයක් අහපු එක පාළු අම්බලමක වළං බිඳිනවා වගේ වැඩක්.සම්පූර්ණ බොරුවක් කළේ.රහසිගතව නීතීඥවරුන් ගෙනල්ලා සාකච්ඡා කළා කිව්වා.මම නීතීඥවරු ගෙනාවේ රහසිගතව නෙවෙයි එළිපිටයි. යම් නාළිකාවක් රාමුවෙන් පිට කටයතු කරනවා නම් අපි කැළෑ නීතිය ක්‍රියාත්මක කරලා ඒක නවත්වන්න සූදානම් නැහැ.පාතාලයේ මැර පිරිසක් ගෙනල්ලා සාකච්ඡා කළා නම් ඔය කියන බෝම්බ,ක්ලෝමෝ ගැහිලි ගැන කියන්න තිබුණා.ලංකාවේ ඉන්න ප්‍රබලතම නීතීඥවරු කිහිප දෙනෙක් මම ගෙන්නුවා.නීතිමය රාමුවෙන් පිට කටයුතු කරන යම් යම් නාළිකා සම්බන්ධව යම් පියවරක් ගන්න අවශ්‍යය නීතිමය උපදෙස් දෙන්න කියලා මම ඒ අයට කිව්වා.ඒක තමයි කරන්න පුළුවන් සාධාරණම හා නීතිගරුකම වැඩපිළිවෙළ.ඒ සම්බන්ධව ක්‍රියාත්මක වීමට සිද්ධ වෙනවා නම් අපි ඒක කරනවා.මාධ්‍ය නිදහස හා නීතිය පටලවා නොගත යුතුයි.වල්බූරු නිදහසක් බලාපොරොත්තු වෙන්න එපා.එවැනි නිදහසක් ලෝකයේ කොහේවක් දීලා නැහැ.නීති රාමුව තුළ සියල්ල සිදුවිය යුතුයි.ඒ නිසා තමයි මම නීතීඥවරු ගෙනල්ලා සාකච්ඡා කළේ.මම කියන්නේ එක නාළිකාවක් සම්බන්ධව නොවෙයි. මේ ක්‍රමවේදය සම්බන්ධයෙන් පියවර ගැනීමට පවතින නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිළි විස්තරයක් අපට දීලා තිබෙනවා.යම් නාළිකාවක් නීතිමය රාමුවෙන් බැහර වෙනවා නම් නීතිය ආරක්ෂා කිරීමේ වගකීම අපට තිබෙනවා.මාධ්‍ය නිදහස රටේ මූලික රාමුවට යටත් විය යුතුයි.රටේ මූලික නීතිය ව්‍යවසථාවයි.ඒක පාවිච්චි කරමින් මුදලාලිට ඕන විදිහට තක්කඩි වැඩ කරනවා නම් නම් ඒ වෙනුවෙන් නීතිමය රාමුව තුළ ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු පැකිලීමක් නැහැ.නීතියේ රාමුව තුළ යම් වරදක් වෙලා තියෙනවා නම් ඒ ගැන සොයා බැලීමේ වගකීම මාධ්‍ය ඇමැතිවරයා ලෙස මට තිබෙනවා‘‘ 

 

 

පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීමේ “දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන අද (10) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් හලාවත වැවිලි සමාගමට අයත් දංකොටුව බුජ්ජම්පොළ, වැලිකැටිය වතු යායේ දී ආරම්භ කෙරිණ.
වැඩසටහන මගින් ගෙඩි මිලියන 2800ක් පමණ වන වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි මිලියන 3600ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. එම ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින් දිවයින පුරා පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීමේ “දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන වැවිලි අමාත්‍යාංශය, පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය සහ පොල් වගා කිරීමේ මණ්ඩලය එක්ව සංවිධාන කරයි.
කාලයක් පුරා ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළින් තබා ගැනීමට තේ, පොල්,රබර් යන අපනයන භෝග සමත් විය. අනාගතයේ දීත් එම අවකාශය දිනා ගනිමින් පොල් වගාව හා ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් ප්‍රවර්ධනයට “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් විශේෂ අවධානයක් යොමු කෙරිණ.
පොල් පැළ මිලියනයක් සමෘද්ධිලාභීන්ටත්, මිලියන දෙකක් සහනාධාර යටතේ සහ මිලියනයක් කැමති ඕනෑම අයෙකුට මිලදී ගෙන වගා කළ හැකි අයුරින්, ඉදිරි වසර තුළ පැළ ලක්ෂ 40ක් සිටුවීමේ ඉලක්කය සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ.
එහි සමාරම්භය සනිටුහන් කරමින් වැලිකැටිය වතුයායේ පොල් පැළයක් රෝපණය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ. මැති ඇමතිවරු ද ජනාධිපතිතුමා සමග පොල් පැළ රෝපණයට එක්වූහ. ජාතික වැඩසටහනට සමගාමීව මුළු දිවයිනම ආවරණය වන පරිදි පොල් පැළ සිටුවීම හා පැළ බෙදාදීම සියලු අමාත්‍යාංශ මගින් සිදු කෙරිණ.
කාබනික පොහොර යොදාගනිමින් පුරන් කුඹුරු ආශ්‍රිත “ඇලි වැටි” ක්‍රමයට පොල් වගා කෙරුණු බිමක් ජනාධිපතිතුමා නිරීක්ෂණයට ලක් කළේය.
පොල් වගාවට යොදාගත හැකි කාබනික පොහොර නිෂ්පාදන ක්‍රම, යන්ත්‍රෝපකරණ, පවතින පොල් ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීමේ අරමුණින් කෙරෙන පාංශූ පුනරුත්ථාපන කටයුතු, ජලය යොදන ආකාරය, අතුරු භෝග වගාව, ආදර්ශ බීජ පොල් තවාන, පොල් වගාව ආශ්‍රිත රෝග හා පළිබෝධ සායනය සහ කප්රුක සමිති සාමාජිකයන්ගේ ප්‍රදර්ශන කුටි ජනාධිපතිතුමා විසින් නිරීක්ෂණය කරනු ලැබිණ.
අනතුරුව ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය වෙත පැමිණි ජනාධිපතිතුමා පොල් නිෂ්පාදන සහ පොල් කිරි නිෂ්පාදන දිරිගැන්වීම සඳහා වන උපදේශනාගාරය නැරඹීය. වැඩසටහනට සමගාමීව පොල් පර්යේෂණ ආයතන භූමියේ සංවිධාන කර තිබූ උත්සවයේ දී ප්‍රතිලාභීන් 15 දෙනෙකුට සංකේතාත්මකව සහනාධාර හා කෘෂි උපකරණ බෙදාදීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ. හලාවත වැවිලි සමාගමේ සභාපති ජූඩ් පෙරේරා මහතා සිය සමාගම 2020 වසරේ උපයාගත් ලාභයෙන් මිලියන 10ක මුදලක් මහ භාණ්ඩාගාරයට බැර කිරීමට ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබීය.
අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, සනත් නිශාන්ත, ප්‍රියංකර ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක ප්‍රියන්ත, චින්තක මායාදුන්නේ යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

බොරැල්ලේ පිහිටි බන්ධනාගාර සංකීර්ණය ප්‍රතිස්ථාපිත කිරීමට යෝජිත හොරණ, මිල්ලෑව වතු යායට අයත් භූමිය ඊයේ (09) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.
අබලන්ව ඇති පැරණි ගොඩනැඟිලි, අධික තදබදය, බාහිරව බලපා ඇති වෙනත් සාධක හේතුවෙන් බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන යාමේ අවශ්‍යතාව දීර්ඝ කාලයක සිට පැවතිණ.
බන්ධනාගාර සංකීර්ණය සහ එහි වත්මන් තත්ත්වය වීඩියෝ දර්ශනයකින් ඉදිරිපත් කෙරුණු අතර බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය, ලොහාන් රත්වත්තේ මහතා ඒ පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කළේය.
නව බන්ධනාගාර සංකීර්ණය ඉදිකිරීමට, නාගරික සංවර්ධන අධිකාරිය සතු හොරණ, මිල්ලෑව වත්තෙන් අක්කර 200ක භූමි ප්‍රමාණයක් වෙන් කර ඇත. වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, නව මැගසින් බන්ධනාගාරය, බන්ධනාගාර රෝහල, පුහුණු පාසල, බන්ධනාගාර බුද්ධි අංශය සහ ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව මෙම යෝජිත පරිශ්‍රය තුළ ඉදිකිරීමට නියමිතය. “සිපිරි සුවසෙත් උදාන” මිල්ලෑව රැඳවුම් හා විශෝධන මධ්‍යස්ථානය ලෙසින් නම් කර ඇති ව්‍යාපෘතිය වෙනුවෙන් මහ භාණ්ඩාගාරයෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකිරීම විශේෂත්වයකි.
සිරකරුවන්ගේ සුබසාධානය කෙරෙහි යෝජිත බන්ධනාගාර ව්‍යාපෘතිය තුළ විශේෂ අවධානයක් යොමු කර ඇති බව නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නාලක ගොඩහේවා මහතා පෙන්වා දුන්නේය.
අනතුරුව ජනාධිපතිතුමා බන්ධනාගාර සංකීර්ණය, බන්ධනාගාර රෝහල, පුහුණු පාසල සහ බුද්ධි අංශය ඉදිකිරීමට යෝජිත ස්ථාන නිරීක්ෂණය කළේය.
නිරීක්ෂණ කටයුතු අතරතුර වතු යායේ පදිංචිකරුවන් හමුවු ජනාධිපතිතුමා තොරතුරු විමසා බැලීය. ඉදිකිරීම් හේතුවෙන් ඔවුන්ට අහිමි වන දේපළ වෙනුවෙන් වන්දි සහ නිවාස ලබා දීමට කඩිනම්ව පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අමාත්‍ය අලි සබ්රි, රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජයන්ත සමරවීර, පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල, සංජීව එදිරිමාන්න, අනූප පැස්කුවෙල්, යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

රසායනික පොහොර ගෙන්වීමට කිසිදු ආයතනයකට කිසිදු අවසරයක් ලබා දී නැති බව රජය අවධාරණය කරයි.

ඇතැම් සමාජ මාධ්‍යවල මේ සම්බන්ධයෙන් පළවන පුවත් සම්පූර්ණ අසත්‍ය හා සාවධ්‍ය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.

රසායනික පොහොර ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදුව නැති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරයි.

ජූලි 07 වනදාට යෙදී ඇති 131 වන ජාතික පුරාවිද්‍යා සැමරුම් උළෙල අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ගරු අග්‍රාමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් පසුගිය 07 වන දා අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.
එදින සෝමාවතිය හා රිදී විහාරය පුරාවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථාන ලෙස නම් කළ අතර, ජනාධිපතිතුමා විසින් සෝමාවතිය රජමහ විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ට හා රිදී විහාරයේ විහාරාධිපති තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත නාහිමියන්ට ඊට අදාළ සන්නස් පත්‍රය ප්‍රදානය කරන ලදී.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවිය වන www.archaeology.gov.lk අන්තර්ජාලයට එක් කිරීම ද එහිදී සිදුවිය.
එම අවස්ථාවට ජාතික උරුම, ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, අග්‍රාමත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජන‍රාල් මහාචාර්ය අනුර මනතුංග රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කේ.ඒ.ඩී.ආර්. නිශාන්ති මෙනෙවිය ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් එක් ව සිටියහ.

අපේ රටේ උරුමය විනාශ කරන්න කිසිවෙකුටත් ඉඩ තබන්නෙ නැහැ
අපේ රටේ උරුමය විනාශ කරන්න කිසිවෙකුටත් ඉඩ තබන්නේ නැති බව අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (7) දින 131වැනි ජාතික පුරාවිද්‍යා සැමරුම් උළෙලට එක්වෙමින් පැවසුවේය. 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ජාතික උත්සවයේ දී සෝමාවතිය සහ රිදී විහාරය පුරාවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථාන ලෙස නම් කිරීම විශේෂත්වයකි.
ජනාධිපතිතුමා විසින් සෝමාවතිය රජ මහ විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ට හා රිදී විහාරයේ විහාරාධිපති තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත නාහිමියන්ට ඊට අදාළ සන්නස් පත්‍රය ප්‍රදානය කරන ලදි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවිය www.archaeology.gov.lk අන්තර්ජාලයට එක් කිරීම ද මෙහි දී සිදුවිය.
131වැනි ජාතික පුරාවිද්‍යා සැමරුම් උළෙල අමතා අගමැතිවරයා සිදුකළ සම්පූර්ණ කතාව,
‘‘අපේ හාමුදුරුවනේ,
අපේ ජාතිය ගැන අපි බොහොම ආඩම්බරයි. ඒ අතීත උරුමය ගැන අපි නිතර කතා කරනවා. අපිට ලෝකය හමුවේ ප්‍රෞඪ ජාතියක් ලෙස නැගී සිටීමට හැකි වුණේ ඒ අතීත උරුමය අද දක්වා ආරක්ෂා වන නිසයි කියලයි මම විශ්වාස කරන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමයි අපේ රටේ ඒ අතීත උරුමය මතුකරලා ඒවා සංරක්ෂණය කරලා ආරක්ෂා කරන්නෙ. ඔවුන් ඒ සඳහා විවිධ කැප කිරීම් කරනවා. ඒ වගේ ම ඒ අතීත උරුමය සංරක්ෂණය කරන ගමන් ඒවා ගැන ජනතාව දැනුම්වත් කරනවා.
එදා මේ දෙපාර්තමේන්තුව ආරම්භ වුණේ 1890 වසරේ අද වගේ දවසක දි. ඒ අනුව මේ දෙපාර්තමේන්තුවට අදට වසර 131ක් වෙනවා. මේ දීර්ඝ කාලය තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉටු කළ කාර්යභාරය මෙතැකැයි කියා අවසන් කරන්න බැහැ. නමුත් එය රට වෙනුවෙන් ඉටු කළ විශිෂ්ට කාර්යභාරයක් බව මම මේ මොහොතේ සිහිපත් කරන්න ඕනේ.
මිත්‍රවරුනි,
එදා බෙල් මහත්තයා අපේ අතීත උරුමයන් මතුකර ගන්න අනුරාධපුරයේ මුල්ම කැණිම සිදු කරලා ආරම්භයක් ගත්ත පුරා විද්‍යා කැණීම් අදටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඔබ අනුරාධපුරයට ගියාම, පොළොන්නරුවට ගියාම නැත්නම් වෙනත් ඕනෑම පුරාවිද්‍යා සංරක්ෂිත ස්ථානයකට ගියාම මේ තත්ත්වය පිළිබඳ අත්දැකීමක් අත්විඳින්න පුළුවන්.
ලෝකයේ අන් කිසිඳු ජාතියකට නැති අතීත ප්‍රෞඪත්වයක්, ඒ වගේ ම අභිමානයක් අපට තිබෙන බව මේ තැන්වලට ගියාම නිරායාසයෙන් හිතට දැනෙනවා. ඒ ප්‍රෞඪත්වය විඳපු අයෙක් කවදාවත් මේ රටට දක්වන ආදරය මොහොතකට හරි අඩු කරන්නෙ නැති බව අපි දන්නවා. දඹදෙණිය, යාපහුව වගේ තැනකට ගියත් මේ තත්ත්වයමයි. මේ හැම තැනම අද අපට දකින්න ආරක්ෂාවෙලා තිබෙන්නෙ මේ දෙපාර්තමේන්තුව කලින් කලට කළ සේවාව. ඔවුන් අතීතය පර්යේෂණ කරමින් වර්තමානයේ අපේ ජනතාවට ඒ උරුමය සොයා දෙනවා පමණක් නෙවෙයි, අනාගතයට ඒ උරුමය රැක දෙන්නත් විශාල මෙහෙයක් ඉටු කරනවා.
මිත්‍රවරුනි,
අපි දන්නවා මුළු ලෝකය ම කොවිඩ් වසංගතයට බිලිවෙලා තියෙන වෙලාවක්. ඒ අභියෝගය ජයගන්න ජාතියක් ලෙස අප මේ මොහොතේ වෙහෙසෙමින් සිටිනවා. රට හමුවේ කුමන අභියෝගය පැමිණයත් එවන් අභියෝග ජයගන්නත් අපේ ඒ අතීත මුතුන් මිත්තන් දායාද කළ උරුමය අපට ශක්තියක්.
අද මේ වගේ වසංගත තත්ත්වයක් නොමැති නම් වසරකට ලක්ෂ සංඛ්‍යාත සංචාරකයින් පිරිසක් අපේ රටේ සුන්දරත්වය වගේ ම අපේ අතීත උරුමය නරඹන්න ලංකාවට එනවා අපිට විශ්වාසයි. සීගිරියට සහ දඹුල්ලට ඒ අතර තිබෙන්නෙ සුවිශේෂි වටිනාකමක්. එදා බෙල් මහත්මයා කැළෑවෙන් වැසී තිබුණු සීගිරිය සොයාගෙන එහි පුරාවිද්‍යා වටිනාකම හොයන්න ගත්තා. සෙනරත් පරණවිතාන මහත්මයා සීගිරිය සංරක්ෂණය කරා විතරක් නෙමෙයි සීගිරි ගී කියවීමට දහස්වරක් සීගිරිය තරණයා කළා කියලා අපි අහලා තියෙනවා.
එදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩ පටන් අරන් අවුරුදු 07කින් ඇරඹුණු සීගිරියේ කැණීම් අදටත් නිමවෙලා නැහැ. සීගිරිය අද ලෝක උරුමයක් බවට පමණක් නෙමෙයි ලෝකයේ පුදුම නිර්මාණයක් බවටත් පත්වෙලා තිබෙනවා. ඒ සියල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිසයි.
හාමුදුරුවනේ,
අපි දන්නවා කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පවා පුරා විද්‍යා නිලධාරීන් සිය රාජකාරි ඉටුකරනවා. ඔවුන් කවදාවත් සිය සේවය පැහැර හැරියෙ නැහැ. ඒ අය වැඩ කරන්නෙ රට රකිනවා වගේ වගකීමෙන් කියලා අපේ විදුර වික්‍රමනායක රාජ්‍ය ඇමතිතුමා අපිට කිව්වා. අපේ අමාත්‍යංශයේ ලේකම්තුමත් නිතර ඇවිත් ඒ අයගේ අවශ්‍යතා ගැන මට නිතර මතක් කරනවා. ඒ දේවල් අපි ඉටු කරනවා.
ඒ නිසා වෙහෙස නොබලා අනාගත පරපුර වෙනුවෙන් පුරාවිද්‍යා ස්ථාන රැකගනිමින් අලුත් දැනුම ලෝකය හමුවේ තබන ඒ සියලු දෙනාට අපගේ ප්‍රණාමය පුදකරනවා. අතීත මානවයා සම්බන්ධයෙන් ඉතා මෑතක කළ අනාවරණයක් පවා විදෙස් පුරාවිද්‍යාඥයන් ඇතුළු මුළු ලෝකයේම අවධානය දිනා ගන්නවා අපි දැක්කා.
හාමුදුරුවනේ,
නැගෙනහිර පළාත කියන්නේ පුරාවිද්‍යාත්මක ස්ථාන රාශියක් පිහිටා ඇති භූමියක්. සේරුවාවිල, මුහුදු මහා විහාරය, ගිරිගඩුසෑය, ලංකාපටුන, කෝනේෂ්වරන් වගේ ඓතිහාසික ස්ථාන රැසක් එහි තිබෙනවා. හැබැයි විවිධ හේතූන් නිසා ඒ ස්ථාන කාලයක් පුරාවට තර්ජනයන්ට ලක්වෙමින් තියෙනවා. සමහර කාලවල මේ රට පාලනය කළ අයත් මේවා විනාශ වෙන්න දීලා බලාගෙන හිටියා. ඒ අය ඇහුවා පුරාවිද්‍යා ස්ථානවලින් මොනවා කරන්න ද කියලා අහපු යුගයක් තිබුණා. කවුරු හිටියත් මොකද ඇහුවා. ස්මාරක උඩ කොන්ක්‍රීට් දාලා බැමි බැන්දා කිව්වත් ඇස් පියන් හිටියා. ඒවා ගැන අමුතුවෙන් කියන්න උවමනා නැහැ.
හැබැයි ජනතාවට මේවා කවදාවත් අමතක වෙන්නෙ නැහැ කියලා මම විශ්වාස කරනවා. මේ දේවල් අපේ රටේ උරුම. ඒවා විනාශ කරන්න කාටවත් ඉඩදෙන්න බැහැ. ඉඩ තියන්නෙත් නැහැ.
මිත්‍රවරුනි,
අපේ ජනාධිපතිතුමත්, පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරගන්න දිවා රෑ වෙහෙසෙන නායකයෙක්. එතුමා ඒ ස්ථානවලට ගිහිල්ලා, ඒ තැන් විනාශ වෙන එක වළක්වන්න පියවර ගත්තා. ඒ වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් පවා අද පිහිටුවලා තිබෙනවා.
ඒ අනුව තමයි මුහුදු මහා විහාරය වගේ රැකගත යුතු භූමිය අද මේ තරමින්වත් ආරක්ෂා වෙලා තියෙන්නේ. එම ‌ ඓතිහාසික ස්ථාන ජාතික උරුමයන්. ඒක එක ජාතියකට එක ආගමකට උරුමවෙච්ච දේවල් නෙමෙයි. මේ රටේ උරුමය. ඒ නිසා මේ තැන් ආරක්ෂා කරද්දි ජාති ආගම් ජන වර්ග කියලා බෙදීම් ඇති කර ගත යුතු නැහැ. පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන්න කවුරු හරි පියවර ගන්නවා නම් ඒ අයට එරෙහිව දඬුවම් දිය යුතුයි. ඒ දඬුවම් ප්‍රමාණවත් නැත්නම් ඉදිරියේ දී ඒ පනත් සංශෝධනය කිරීමට අපට හැකියාව තිබෙනවා.
මිත්‍රවරුනි,
යුනෙස්කෝව නම් කරපු ලෝක උරුමයන් 890න් ස්ථාන 7ක්ම අපේ රටේ උරුමයන්. සීගිරිය, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, දඹුල්ල, ගාලු කොටුව යන පුරාවිදයාත්මක ස්ථාන හයක්ම ඊට ඇතුළත්. සිංහරාජය තමයි හත්වැන්න.
මේ උරුමය ආරක්ෂා කරන සියලු දෙනා ආරක්ෂා කරන්නෙ අපේ මාතෘ භූමියේ අභිමානය සහ ප්‍රෞඪත්වය. ඔවුන් යුද්ධයට ගිය රණ විරුවන් මෙන් මේ රට අනාගත පරපුරට අපගේ උරුමය ආරක්ෂා කර දෙන්න වෙහෙසෙනවා.
අද වන විට පුරාවිද්‍යා විෂය දියුණු තාක්ෂණික ක්‍රම මත පදනම් වෙමින් මානව සංවර්ධිත විද්‍යාත්මක විෂයක් බවට පත්වෙලා. ඒ නිසා අතීතයෙන් උරුම වූ දැනුම් සම්භාරය වර්තමාන ප්‍රයෝජනයට ගැනීම අත්‍යවශ්‍යයි. ඒ වගේ ම ගෝලීය පුරවැසියන් ලෙස සමෘද්ධිමත් වීමට අවශ්‍ය දැනුම කුසලතාව මේ විෂය තුළ අන්තර්ගතවෙනවා.
අවසානයේ ශ්‍රී ලංකාවේ උරුමය පිළිබඳ අවබෝධය ඇති අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ වගකීම තිබෙන්නෙ අප සතුවයි. ඒ සඳහා ඔබ සියලු දෙනා එක්ව ඉටු කරන විශිෂ්ට කාර්යය භාරයට රජයක් ලෙස අපගේ සෑම සහයෝගයක් ම ලබා දෙන බව විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරනවා.
ඔබ සැමට සුබ අනාගතයක් වේවා !‘‘
ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහත්වරු මෙහි දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව ප්‍රකාශන ග්‍රන්ථ 14ක් ජනාධිපතිතුමාට සහ මා වෙත පිළිගැන්වූහ. පරම්පරා හතරක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කළ සේවය වෙනුවෙන් සීගිරිය තල්කොටේ අලුත්ගෙදර පරපුර වෙත සම්මාන හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමට ද අගමැතිවරයා එකතු වුවේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභිනව පුරාවිද්‍යා සොයා ගැනීම් ඇගයීමට ලක්කරමින් මැටි පුවරු ද්විත්වයක් බුදුගල පුරාවිද්‍යා බිමෙන් සොයාගත් නිමල් කරුණාතිලක මහතාට සහ මෙතෙක් නොදැන සිටි ආදි කාලීන ලෙන් චිත්‍ර සමූහයක් සෙයාගත් ඕ.ආර්. ජයතිලක මහතා සහ තනුජා දර්ශනී අමරතුංග මහත්මියට සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානය කළේ ය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කේ.ඒ.ඩී.ආර්. නිශාන්ති මෙනවිය ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් එක්ව සිටියහ.

චීන කොමියුනිට්ස් පක්‍ෂයේ 100 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති ඔන්ලයින් සමුළුව අමතා අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිදුකළ කතාව.


''චීන කොමියුනිස්ට් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් සහ මහජන චීනයේ ජනාධිපති ෂී-ජින්-පින් මැතිතුමනි,
සම්භාවනීය අමුත්තනි,
ආයුබෝවන්,
චීන කොමියුනිස්ට් පක්ෂයට වසර සියයක් සම්පූර්ණ වන මේ මොහොතේ මගේත් අපේ රටේ ජනතාවගේත් උණුසුම් සුබ පැතුම් පිරිනමනවා.
ඓතිහාසිකව චීනය අප සමඟ පැවැත්වූ සම්බන්ධතා වෙනුවෙන් පිරිනැමෙන ගෞරවයත් ඒ සුබ පැතුම් තුළ තිබෙන බව මම කියන්න ඕනෑ.
චීනය අපේ ඓතිහාසික මිත්‍රයෙක්. ඒ දීර්ඝ ඉතිහාසයේ චීනය අපත් සමඟ කටයුතු කර තිබෙන ආකාරය අනුව චීනය අපට ඉන්න ඉතා ම අව්‍යාජ මිත්‍රයා බව පිළිගන්න ඕනෑ.
චීන කොමියුනිට්ස් පක්‍ෂයට වසර 100ක් පිරීම නිමිත්තෙන් සහ චීනයත් ශ්‍රී ලංකාවත් අතර දිරීඝ කාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා අගය කිරීම වෙනුවෙන් සමරු කාසියක් නිකුත් කිරීමට අපි කටයුතු කරලා තියෙනවා.
ෂී -ජින්-පින් ජනාධිපතිතුමනි,
චීන කොමියුනිස්ට් පක්ෂය චීනය රතු චීනයක් බවට පත් කරලා දැන් වසර 72 ක් සම්පූර්ණ වෙනවා.
අපි චීන රජයත් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත්තේ 1957 තරම් ඈත කාලයේ දී. එහෙත් චීනය ස්වාධීන චීනයක් බවට පත් කළ චීන කොමියුනිස්ට් පක්ෂයත් සමඟ ඊටත් පෙර අපේ රටේ වාමාංශික ව්‍යාපාර සබඳතා පවත්වලා තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය 1940 දශකයේ ඉඳන්ම චීනයේ කොමියුනිස්ට් පක්ෂය සමඟ සබඳතා පැවැත්වූවා.
චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ සබඳතා පවත්වන්න පුළුවන් වුණේ සමානාත්මතාව, සහෝදරත්වය පිළිබඳ අදහසට ගරු කරන ජනතාවක් ලංකාවේ වෙසෙන නිසා බව මම ඉතා සතුටින් කියන්න ඕනේ.
දැන් චීන කොමියුනිස්ට් පක්ෂය තමයි ලෝකෙ තියෙන දැවැන්ත ම දේශපාලන පක්ෂය. ඒ දේශපාලන පක්ෂයේ විදේශ සබඳතා පිළිබඳ ප්‍රතිපත්තිය මත වසර 70ක් ලෝකයට ඉතා ම වැදගත් පණිවිඩයක් ලබා දී තිබෙන බව මම කියන්න ඕනේ.
ජනාධිපතිතුමනි,
චීනය ගෝලීය වේදිකාවට ඔසවා තැබුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ ප්‍රතිපත්ති ස්ථාවරය බව මම දන්නවා. කෙසේ වෙතත්, චීනය කිසි විටෙකත් තමන්ගේ දේශපාලන අදහස් ලෝකය මත පැටවීමට උත්සාහ කර නැහැ.
ඒ වාගේ ම වෙනත් රටවල කටයුතු තමන්ට නියාමනය කරන්න අවශ්‍යතාවක් තියෙනවාය කියන හැඟීම චීනයට කවදාවත් තිබුණෙ නැහැ. චීනය වෙනත් රටවල්වලට උපකාර කළේ තමන්ගේ සමතැනේ තියාගෙන. මේ කාරණය රටක ස්වාධීනත්වයටත් පරමාධිපත්‍යයටත් ඉතා ම වැදගත්. ඒ රටවල්වලට තමන්ගෙ ස්වාධීනත්වය තියාගෙන කටයුතු කරන්න ඉඩ දීම නිසා ම චීනය සමඟ ගනුදෙනු කරන්න ලෝකයේ රටවල් කිසිසේත් පැකිලුණේ නැහැ. ලංකාවත් එහෙමයි.
ඒ නිසා ම තමයි චීනයට ලෝකයේ බොහෝ දොරටු විවර වුණේ. ඒ පිළිවෙත ජාත්‍යන්තර වශයෙන් චීනයේ ඉදිරි ගමනට ඉතා ම වැදගත් වෙනවා. ඒ ඉදිරි සියවසේ ආසියාවේ නැගිටීමට චීනය මුල් වෙන බව දැන් යථාර්ථයක් වෙලා ඉවරයි.
ලෝකය කඳවුරු දෙකකට බෙදීම තවදුරටත් වැදගත් නැහැ. මේ බෙදීම නිසා ආසියානු අප්‍රිකානු රටවල් මුහුණ දී තිබූ දුෂ්කරතාවලින් මුදා ගන්න විශාල ඓතිහාසික මෙහෙවරක් චීනය කළා. ලෝකය කඳවුරු දෙකකට බෙදීම නිසා අපහසුතාවලට මුහුණ දීපු ලෝකයට උදව් කළේ චීනයයි. එදා චෞ එන්ලායි නොබැඳි ජාතීන් පිළිබඳ අදහස ලෝකයට දුන්නේ ලෝක සහනය වෙනුවෙන්. එදාට වාගේ ම අදටත් ඒ නොබැඳි ප්‍රතිපත්තිය ලෝකයට සහනයක්.
චීනයේ වර්තමාන ප්‍රතිපත්තිය වන්නේ Belt and road Initiative. චීනයේ මෙම එක මාවත එක තීරය අපට ආගන්තුක දෙයක් නොවෙයි. මොකද ඉතිහාසයේ අපි හිටියේ චීනය හා සම්බන්ධ වූ සේද මාවතේ එක් තැනක. පාහියන් භික්ෂුව වගේ ම බොහෝ වෙළෙඳුන් ව්‍යාපාරික ජනතාව චීනයේ සිට යන එනකොට අපේ රටත් සමඟ ගනුදෙනු කළා.
ඒ වගේ ම තමයි අද චීනය මේ සේද මාවතේ ගමන් කරන්නේ ලෝකයට බොහෝ දේවල් උගන්වන්න පුළුවන් රටක් විදිහට. විවෘත ආර්ථිකය ලෝකය පුරා පැතිර ගියේ ලෝකයේ බොහෝ රටවල ආකෘතීන් පවා වෙනස් කරමින්. නමුත් චීනය විවෘත ආර්ථිකය කියන ලෝක යථාර්ථය බාරගත්තෙ චීනයට ම ගැළපෙන විදිහට.
ඒ නිසා විවෘත ආර්ථිකය චීනය භාරගත්තේ රටේ පන්ති භේදය ඇති කරන රට දුර්වල කරන දෙයක් බවට පත් කරගෙන නොවේ. චීනය විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේ චීනයේ හිටපු මිලියන නවසීයක ජනතාවකගේ දුප්පත්කම තුරන් කරලා තිබෙනවා. විවෘත ආර්ථිකය භාර ගත්ත විදිහෙන් චීන කොමියුනිස්ට් පක්ෂය විශාල ආදර්ශයක් ලෝකයට දීලා තියෙනවා. මීට වසර පන්සියයකට කලින් ආසියාවට තිබුණු ආර්ථික ශක්තිය මේ සේද මාවත ඔස්සේ යළිත් චීනය ආසියාවට ලබා දෙන බව මට විශ්වාසයි.
ජනාධිපතිතුමනි,
යටිතල පහසුකම් දියුණු කිරීමෙන් ජනතාවට නව මාවත් පෑදෙන බව ජනතාවගේ ශක්තීන් මතුවන බව චීනය නිරන්තරයෙන් විශ්වාස කළා. ඒ නිසා අපි නිරන්තරයෙන් චීනයට ආරාධනා කර සිටියා අපේ රටේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා. ඒ වගේ ම චීනය Carbon Neutral රටක් බවට 2060 වර්ෂයේ දී පත්කරන බවට සැලසුම් කොට තිබෙනවා. එබැවින් චීනයෙන් කෙරෙන ආයෝජනවලින් ප්‍රයෝජන ගන්නා සේද මාවතේ රටවල්ද ඒ හා සමාන අරමුණක් ඇතිව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. Carbon Neutral රටක් කිරීම පමණක් නෙවෙයි ඉන්දියන් සාගරය දූෂණයෙන් තොර තැනක් බවට පත් කර ගැනීමේ වගකීම අද ඒ දෙපස තිබෙන සියලු රටවල වගකීමක්.
ඒ වගේ ම සිනොෆාර්ම් එන්නත නිපදවලා එය ලෝකයට නොමසුරුව පරිත්‍යාග කිරීම පිළිබඳව චීනයට මාගේ කෘතඥතාව පළ කළ යුතුයි. එය ලෝකයත් සමග බෙදා ගැනීමේ දී කොමියුනිස්ට් පක්ෂය ලෝකයට ආදර්ශයක් ලබා දුන්න බව මම කියන්න ඕන. මේ වසංගතය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයට තිබුණු ආදර්ශ පාඨය තමයි ඇති නැති පරතරයන් තොරව සියලු දෙනා වෙත එන්නත ලබා දිය යුතුයි කියන එක. ඒ විතරක් නෙවෙයි චීනය සොයා ගත්ත එන්නත අපි වාගේ රටවලටත් නිෂ්පාදනය කරන්න අවශ්‍ය අවසර ලබා දීලා තිබෙනවා. මේ වාගේ ලෝක වසංගතයකදී චීන කොමියුනිස්ට් පක්ෂය මුල්වෙලා ගත් තීන්දු මානව යහපත වෙනුවෙන් ගත් තීන්දු ලෙස විශාල ගෞරවයක් ඒ සඳහා හිමිවෙනවා.
ජනාධිපතිතුමනි,
ඔබගේ රටත්, මාගේ දේශයත් බෞද්ධ. ලෝකයේ ඉතා තීරණාත්මක වසංගතයක් හමුවේ බෞද්ධ අපට ලොව වෙනුවෙන් හැමදාම ප්‍රාර්ථනාවක් තිබෙනවා.
සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
දුකින් මිදෙත්වා!
නීරෝගි වෙත්වා!...''

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter