නවතම පුවත්

ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ නිරීක්ෂණ හා නිර්දේශ ලබාදෙන ලෙස බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය අදාල සියලු පාර්ශ්වවලට දැනුම් දෙයි. අදාල නිරීක්ෂණ හා නිර්දේශ ලබන මස 05 වැනි දිනට පෙර . යන විද්‍යුත් ලිපිනයට එවිය යුතුය.

නිර්මල බුද්ධධර්මය සුරක්ෂිත කොට අනාගත පරපුරට දායාද කිරීම සදහා ත්‍රිපිටක සංරක්ෂණ පනතක් සුදුසු බවට ඉදිරිපත්වු ඉල්ලීම මත එය සකස්කර තිබේ. අදාල පනත් කෙටුම්පත ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් එම් බී එස් ඩොට් ජී ඕ වී ඩොට් එල් කේ යන වෙබ් අඩවියේ පළකර තිබේ. මීට අදාල විද්වත් කමිටු සාකච්ඡාවක් ලබන 05, 06 සහ 07 යන දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන බව එම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා සදහන් කරයි.

ලබන 06 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා නිරීක්ෂණ හා නිර්දේශ එම ස්ථානයේ සිටින නිලධාරින්ට ලිඛිතව භාරදීමට අවස්ථාව සලසාදී ඇත.

ශ්‍රීී ලංකාවේ එන්නත්කරණ ඉලක්ක කලින්ම සපුරා තිබීම ප්‍රශංසනීය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මහතා පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරන හෙතෙම පවසන්නේ ශ්‍රීී ලංකාව සැප්තැම්බර් මාසය වනවිට එන්නත්කරණය සඳහා ඉලක්කගත වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබෙන අතර එම ඉලක්කය මේ වනවිට සැලකිය යුතු මට්ටමකින් සපුරාගෙන තිබීම ප්‍රශංසනීය බවයි. රට පුරා මධ්‍යස්ථාන පිහිටුවමින් ඉතා කාර්යක්ෂමව එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. දිවා රාත්‍රී එන්නත්කරණ මධ්‍යස්ථාන විවෘත කිරීමද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ට්විටර් පණිවිඩය තුළින් අගය කර ඇත.

 

කොළඹ, විහාරමහා දේවී එළිමහන් රංග පීඨ භූමියේ ක්‍රියාත්මක, එන්නත්කරණ මධ්‍යස්ථානය ඊයේ (02) රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

යුද හමුදාව මගින් ක්‍රියාත්මක මෙම මධ්‍යස්ථානය පැය 24 පුරා විවෘතව ඇති අතර ඊයේ දිනයේ  ද විශාල පිරිසක් ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබාගැනීමට එම ස්ථානයට පැමිණ සිටියහ. ඔවුන් සමග කතාබහ කළ ජනාධිපතිතුමා තොරතුරු ද විමසා බැලීය.

දින දෙකක් තුළදී 244,251 දෙනෙකු ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබාගෙන ඇති අතර පළමු මාත්‍රාව කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීම ඊයේ (02) ආරම්භ කෙරිණ. එන්නත්කරණ වැඩසටහන සාර්ථක කරගැනීමට කැපවී සිටින සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල සියලු දෙනාට ජනාධිපතිතුමා සිය ස්තූතිය පළ කළේය.

සෞඛ්‍ය ලේකම්, මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (3) පෙරවරුවේ අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. යුද හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පිළිගනු ලැබූ අතර ජනාධිපතිතුමා වෙත විශේෂ හමුදා උත්තමාචාර ද පිළිගැන්විණ.
මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා ගුවන් සංග්‍රාමික බල සේනාවේ ඉදිරි සැලසුම් පැහැදිලි කරනු ලැබීය. එම තොරතුරු ඇතුළත් ග්‍රන්ථය සහ ජනාධිපතිතුමාගේ චාරිකාව සනිටුහන් කරමින් සමරු තිලිණ ප්‍රදානය හමුදාපතිතුමා විසින් සිදු කෙරිණ.


ගුවන් සංග්‍රාමික බල සේනාවේ විද්‍යුත් ග්‍රන්ථය අන්තර්ජාලයට එක් කළ ජනාධිපතිතුමා යුද හමුදා මූලස්ථානයේ “ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරිය” ද විවෘත කරනු ලැබීය.
කෞතුකාගාරය ඇතුළු යුද හමුදා පරිශ්‍රයේ ස්ථාන රැසක් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.


ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික ප්‍රධානීන් සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසු ජනාධිපතිතුමා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.


ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු සහ යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (04) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය.

පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපතිතුමා සභානායක, දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක  ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් පිළිගැනුණු අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ජනාධිපතිතුමා සමග පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසියහ.

සභා ගර්භය තුළ රැඳී සිටිමින් ස්ථාවර නියෝග යටතේ යොමු කෙරෙමින් තිබූ වාචික ප්‍රශ්න වෙත සවන් දුන් ජනාධිපතිතුමා අනතුරුව පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි සිය කාර්යාලයේ දී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සමග සුහද කතා බහක නිරත විය.

ජනමාධ්‍යවේදීන් සඳහා ලබාදෙන රක්ෂණාවරණය පිළිබඳ මූලික වශයෙන් සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවත් නුදුරේදීම එම රක්ෂණාවරණය මාධ්‍යවේදීන්ට ලබාදෙනු ඇති බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (3) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසුවේය. 

නේවාසික ප්‍රතිකාර ආවරණය, බාහිර ප්‍රතිකාර ආවරණය, අසාධ්‍ය රෝග ආවරණය, ශ්‍රවණාධාර හා ඇස්කණ්ණාඩි ආවරණය, පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණය සහ කොවිඩ් 19 ආවරණය වැනි සුවිශේෂී ප්‍රතිලාභ ද මෙමගින් හිමිවනු ඇත. 

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාගැනීමට දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කරගැනීම මාර්ගගත හා කෙටි පණිවුඩ (SMS) මගින් සිදුකළ හැකිබව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

එන්නත් ලබාදීම මේවනවිට ආරම්භකරතිබේ. ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් සියලුම දෙනා දෙවන මාත්‍රාව ලබා ගන්නා තුරු ස්ථාන 20 කට අධික ප්‍රමාණකදී එය ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.ඇස්ට්‍රාසෙනෙකාපළමු මාත්‍රාව ලබාගත් අය සදහා දෙවන මාත්‍රාව විධිමත් ලෙස ලබා දීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම තම අරමුණ බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා පවසයි.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA), කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන (NOCPCO), බස්නාහිර පළාත්සෞඛ්‍ය අමාත්‍යාංශය, විදුලිසන්දේශ නියාමන කොමිෂන් සභාව (TRC) සහ ජංගම දුරකථන සේවා සපයයි.

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුරවැසියන්ට https://vaccine.covid19.gov.lk වේබ් අඩවිය හෝ SMS මගින් ලියාපදිංචි වියහැකියි ය.


කෙටි පණිවුඩ මගින් ලියාපදිංචි වීම සඳහා, පහත දැක්වෙන විධානයන් ටයිප්කර 1906 වෙත යොමුකළ යුතුවේ .
පියවර 1: සක්‍රීය එන්නත් ලබා දෙන දිස්ත්‍රික් කේත ලැයිස්තුවක් ලබා ගැනීම සඳහා districts ලෙස සටහන් කර යවන්න
පියවර 2: ඔබට ලැබෙන දිස්ත්‍රික් ඛෙත අතරින් ඔබගේ දිස්ත්‍රික් ඛේත්ය තෝරා ටයිප් කර නැවත 1906 ට යැවීමෙන් ප්‍රදේශ MOH ඛෙත ලැයිස්තුව ලැබෙනු ඇති. උද ( COL )
පියවර 3: එහි ඔබට අදාළ ප්‍රදේශ කේතය තෝරාගෙන (උදා: COL2) පහත සදහන් ආකාරයට ටයිපකර යැවීමෙන් ලියාපදිංචි එන්නත් ලබාගතහැකි මධ්‍යස්ථාන ඛේතයන් ලබාගත හැකියි.
පියවර 4: ඔබේ පළමු එන්නත සඳහා ලියාපදිංචි වීම සඳහා ඔබ ලබාගැන ඇති ඛේතයන් ඇසුරින් පහත ආකෘතිය සම්පුර්ණකර කෙටි පණිවිඩයක් යවන්න.

සාර්ථකව ලියාපදිංචි වූ පසු, ඔවුන්ට ලියා පදිංචි අංකයක් (කේතයක්) ලැබෙනු ඇත. යමෙකුට නියමිත වේලාවට අදාළ එන්නත් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ එම අංකය යොමු කිරීමෙන් පහසුවෙන් එන්නත ලබාගත හැකිය .
මීට අමතරව, කොවිඩ් -19 එන්නත මාත්‍රාවන් දෙකම ලබාගත් අය සඳහා ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් ලබා ගැනීමට මෙම පද්ධතිය පහසුකම් සපයන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන තාක්ෂණ නිලධාරි හිරණ්‍ය සමරසේකර මහතා පවසයි.
කෝවිඩ් -19 එන්නත මධ්‍යස්ථානවලින් මහජනතාවගෙන් ලබාගත් තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන තොරතුරු පද්ධතියකට යොමු කරනු ලැබේ. ඊට පසු, එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අයට මෙම ක්‍රමය හරහා සහතිකයක් බාගත කළ හැකිය.
එමගින් පුද්ගලයාගේ නම, වයස, ජාතික හැඳුනුම්පත (ජාතික හැඳුනුම්පත) අංකය, එන්නත ලබා දුන් දිනය, එන්නත් වර්ගය සහ කාණ්ඩා අංකය සොයා ගැනීම පහසු කරයි.

QR කේතය හරහා ලෝකයේ ඕනෑම තැනක සිට නිරවද්‍යතාව තහවුරු කර ගත හැකි වීම මෙහි ඇති සුවිශේෂත්වය බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජපාන අග්‍රාමාත්‍යවරයාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීමකට අනුව එරටින් ලැබෙන ඇස්ට්‍රාසෙනෙකා මීළඟ එන්නත් තොගය ලබන සෙනසුරාදා වෙනවිට මෙරටට ලබා දිමට කටයුතු කරන බව ජපාන තානාපති අකිරා සුගියාමා මහතා ප්‍රකාශ කළා.  පසුගියදා රැගෙන ආ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය ජනාධිපතිතුමා වෙත නිල වශයෙන්ම භාර දෙමිනුයි ජපාන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම නිල හමුව පැවැත්වුණේ. පසුගිය මැයි මාසයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් පෞද්ගලිකව කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර දැක්වූ එරට රජය මෙලෙස ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කළා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේත් ජනතාවගේත් විශේෂ ස්තූතිය ජපාන අග්‍රාමාත්‍යවරයාට,  රජයට හා ජපාන තානාපතිවරයාට හිමි වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළා.

දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය තවත් තහවුරු කරමින් එන්නත් මාත්‍රා ලක්ෂ දාහතරකට වැඩි ප්‍රමාණයක් ලබාදීමට ජපාන රජය තීරණය කළ අතර එහි පළමු තොගය ලෙස එන්නත් මාත්‍රා 728,460ක් පසුගියදා මෙරට වෙත ලැබුණු අතර එහි මීළඟ එන්නත් තොගය ලබන සෙනසුරාදා වන විට දිවයිනට ළඟා වන බවයි මෙහිදී ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේ.

පළමු එන්නත් තොගය ලැබී පැය කිහිපයක් ඇතුළත එන්නත්කරණයට යෙදවීම හා ශ්‍රී ලංකාවේ සමස්ත එන්නත්කරණ වැඩපිළිවෙළත්, ඊට ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත් වීම, මෙහෙයවීම සහ ලබාදෙන නායකත්වය ජපාන තානාපතිවරයාගේ හා ලෝක සෞඛ්‍ය සහ යුනිසෙෆ් සංවිධානවල මෙරට නියෝජිතයින්ගේ විශේෂ පැසසුමට ලක් විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත අලකා සිංග් , යුනිසෙෆ් සංවිධානයේ නියෝජිත එමා බිගම් යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජපාන අගමැති යොෂිහිඩේ සුගා මහතාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම පරිදි ජපාන රජයෙන් පරිත්‍යාග කෙරෙන ඇස්ට්‍රාසෙනෙකා මීළඟ එන්නත් තොගය ලබන සෙනසුරාදා (07) දිවයිනට රැගෙන ඒමට නියමිත බව ජපාන තානාපති, අකිරා සුගියාමා මහතා ඊයේ (2) පැවසීය.

පසුගිය සෙනසුරාදා (ජූලි 31) පස්වරුවේ රැගෙන ආ ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදෙමින් ජපාන තානාපතිවරයා මේ බව පැවසීය.

මෙරට ජනතාවගේ ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවේ අවශ්‍යතාව වෙනුවෙන් ජනාධිපතිවරයා ජපාන අගමැතිවරයාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් හා දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සනිටුහන් කරමින් ජපාන අගමැතිවරයා විසින් මේ එන්නත් මාත්‍රා මිලියන 1.456ක තොගය මෙරටට ලබාදීමට තීරණය කළ බව අකිරා සුගියාමා මහතා සඳහන් කළේය.

එහි පළමු තොගය ලෙස එන්නත් මාත්‍රා 728,460ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 455 දරන ගුවන් යානයෙන්, කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණු අතර පෙරේදා (01) සිට බස්නාහිර පළාතේ තෝරාගත් මධ්‍යස්ථාන 20කදී මේ ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව එන්නත් කිරීම ආරම්භ කෙරිණ.

 

එන්නත් තොගය ලැබී පැය කිහිපයක් ඇතුළත එන්නත්කරණයට යෙදවීම හා ශ්‍රී ලංකාවේ සමස්ත එන්නත්කරණ වැඩපිළිවෙළත්, ඊට ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත් වීම, මෙහෙයවීම සහ ලබාදෙන නායකත්වය ජපාන තානාපතිවරයාගේ හා ලෝක සෞඛ්‍ය සහ යුනිසෙෆ් සංවිධානවල මෙරට නියෝජිතයන්ගේ විශේෂ පැසසුමට ලක් විය.

පසුගිය මැයි මාසයේ තමා පෞද්ගලිකවම ජපාන අගමැතිවරයාගෙන් කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර දක්වමින් ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය පරිත්‍යාග කිරීම පිළිබඳ ජනාධිපතිවරයා රජයේත්, ශ්‍රී ලංකා ජනතාවගේත් විශේෂ ස්තූතිය ජපාන අගමැතිවරයාට, ජපාන රජයට සහ ජපාන තානාපතිවරයාට පළ කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත අලකා සින්ග්, යුනිසෙෆ් සංවිධානයේ නියෝජිත එමා බ්‍රිගම්, ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් චිහාරු හෝෂිආයි , දෙවන ලේකම් සෙයියා නිනෝමියා, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

ලංකා බැංකුවේ 82 වැනි සංවත්සරයට සමඟාමීව අභිනවයෙන් පිහිටවූ විශේෂ අපනයන ඒකකය ( Export Circle ) ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේලසුරතින් අද (02) දින අරලියගහ මන්දිරයේ දී විවෘත විය.
 
අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍යතුමා මෙම විශේෂ ඒකකය විවෘත කළ අතර ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ වෙළඳ සේවා ඒකකය තුළ මෙම විශේෂ අපනයන ඒකකය ස්ථාපිත කර තිබේ.
 
ලංකා බැංකුවේ මහා කළමනාකරු ලෙස කටයුතු කරන ඩී.පී.කේ ගුණසේකර මහතා ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨතම බැංකු සේවකයාට හිමි තිලිණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් මෙහි දී ලබාගත්තේය.
 
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්‍ෂ්මන්, ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ, මහා කළමනාකරු ඩී.පී.කේ ගුණසේකර මහත්වරු ඇතුළු ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.
 

කොවිඩ් වසංගත තත්ත්වය යටතේ මහජනතාවට ඇති වන දුෂ්කරතාවට විසඳුමක් ලෙස බාධාවකින් තොරව අඛණ්ඩව උප්පැන්න, විවාහ, මරණ සහතික පිටපත් නිකුත් කිරීමට වැඩිදියුණු කරමින් පැවති මාර්ගගත (Online) ක්‍රමවේදය කඩිනමින් ජනගත කිරීමට රෙජිස්ට්‍රාල් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනූව, මාර්ග ගත ක්‍රමය (Online) ඔස්සේ උපත් විවාහ මරණ ලේඛන පිටපත් ඉල්ලුම් කිරීමේ පළමු අදියර අද (2) සිට ආරම්භ වෙයි. https://online.ebmd.rgd.gov.lk/ වෙබ් අඩවියෙන් මෙම සහතිකපත් ඉල්ලුම් කළ හැකි අතර, අවශ්‍ය තොරතුරු rgd.gov.lk වෙබ් අඩවියෙන් සහ 0112889518 දුරකතන අංකයෙන් ලබාගත හැකිය.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නොහැකිවීමත් ,සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමට සිදුවීමත්,සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාමට නොහැකි ආකාරයෙන් ඇතිවූ සංචරණ සීමාත් හමුවේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයක් වන උප්පැන්න,විවාහ,මරණ සහතික පිටපත් නිකුත්කිරිමේ ක්‍රියාවලියේදී දෙපාර්තමේන්තු නිළධාරීන්ට මෙන්ම මහජනතාවට ඇති වූ දුෂ්කරතාවන්ට විසඳුමක් ලෙස මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරේ

ජංගම දුරකථනය හෝ පරිගණකය භාවිතා කර රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස අදාළ ගෙවීම් (Master card/ Visa card) සිදුකර අවශ්‍ය පිටත් ලබාගැනීමට පහසුකම් සළසා තිබේ.

 

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter