නවතම පුවත්

කොවිඩ් රෝගයට සමාන රෝග ලක්ෂණ ඇත්නම් හෝ කොවිඩ් ආසාදිතයෙක් ළඟින්ම ඇසුරු කර ඇත්නම් හෝ මාස 03ක් ඇතුළත විදෙස් සංචාරයන්හි නිරතවී ඇත්නම් රුධිර පාරවිලයන මාධ්‍යස්ථාන වෙත පැමිණිමෙන් වළකින ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

රුධිරය හෝ රුධිර සංඝටක මගින් කොවිඩ් රෝගය සම්ප්‍රේෂණය වන බවට මෙතෙක් වෛද්‍ය විද්‍යාත්මකවතහවුරු නොවුණ ද කොවිඩ් රෝගියෙකුගෙන් රෝහල් කාර්ය මණ්ඩලයට වෛරසය සම්ප්‍රේෂණයවීමේ හැකියාව පවතින බැවින් එය වළක්වා ගැනීම සඳහා මේ ඉල්ලීම කරන බව වෛද්‍යවරයා පැවසීය.

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා මේ බව කියා සිටියේ කොවිඩ් 19 වසංගත හමුවේ රුධිර පාරවිලයන මාධ්‍යස්ථානයේ කාර්යභාරය පැහැදිලි කිරීම පිණිස පැවති මාධ්‍ය සාකච්ඡාවට අද (13) එක්වෙමිණි.

රුධිරය ලබාගැනීමේදී බෝවන රෝග 05ක් පිළිබඳව පරීක්ෂණයක් කරනු ලැබේ. පරීක්ෂයේ ප්‍රතිපලයට කොව්ඩ් එන්නත මගින් බලපෑමක් සිදුවීමට ඉඩ ඇති බැවින් කොව්ඩ් 19 වළක්වා ගැනීම සඳහා කවර හෝ එන්නතක් (පළමු හෝ දෙවන මාත්‍රාව) ලබාගෙන සතියක් ඉක්මනොවූ පුද්ගලයන්ගෙන් රුධිරය ලබා නොගන්නා බව ද ලක්ෂමන් එදිරිසිංහ මහතා පැවසුවේය.

එළඹෙන සඳුදා (16) සිට විෂන් එ‍ෆ්. එම්. නමින් අධ්‍යාපනික ගුවන් විදුලි නාලිකාවක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 102.1 සහ 102.3 යන ගුවන් විදුලි තරංග මලා ඔස්සේ විකාශනය කරන බව ජනමාධ්‍ය ඇමැති කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ පැවති සාකච්ඡාවකදී පැවසීය.

සෑම දිනකම පෙරවරු 04.00 සිට රාත්‍රි 12.00 දක්වා පැය විස්සක් පුරා මේ අධ්‍යාපන නාලිකාව විකාශය වන බවත් 65%ක් විෂය මූලික ඉගැන්වීම් සඳහාද 35%ක් විෂය මූලික නොවන ඉගැන්වීම් කරන බවත් එහිදී පැවසූ ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරි සතිය තුළ අධ්‍යාපනික නාලිකා හයක් පියෝ ටී. වී. ඔස්සේද ආරම්භ කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.

එසේම තවත් අධ්‍යාපන නාලිකා 20ක් ඉදිරියේදී ආරම්භ කිරීම‍ට නියමිත අතර, එහි මුල් පියවර ලෙස නාලිකා 6ක් ආරම්භ කරන බවත් ටෙලිකොම් ආවරණ නැති ප්‍රදේශ කෙරෙහි සැටලයිට් තාක්ෂණය යොදා ගැනීමට විශේෂ අවදානය යොමුව ඇති බවත් එහිදී ඇමැතිවරයා පැවසීය. එම අවස්ථාවට අධ්‍යාපන ඇමැති ජී. එල්. පීරිස්, රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, පියල් නිශාන්ත සහ සීතා අරඹේපොළ මහත්ම මහත්මීහු සහභාගි වූහ.

 

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන්, දන්ත වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් සියළුම වෘත්තිකයින්හට වෘත්තීය පුහුණුව ලබාදෙනු ලබන්නේ හෙද විදුහල් හා පුහුණු ආයතන සහ පළාත් මට්ටමින් පවත්වාගෙන යන පුහුණු ආයතන මගිනි.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එම ආයතනවලින් ලබාදෙන පුහුණුවීම් තාවකාලිකව නවතා දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු විය.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය කරන ලද ඉල්ලීමකට අනුව ආචාර්යවරුන්ට සහ අභ්‍යාසලාභීන්ට පුහුණුවීම් මාර්ගගත ක්‍රමවේදයට ඔස්සේ නැවත ආරම්භ කිරීමට අවශ්‍ය තාක්‍ෂණික යෙදවුම් හා උපකරණ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුරෝපා සංගමය විසින් ඊයේ (12) දින සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරන ලදි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත එම උපකරණ නිල වශයෙන් පරිත්‍යාග කිරිම යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති E. Mr Chaib මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය Alaka Singh යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය. මෙම මුළු ව්‍යාපෘතිය සඳහා වැය කෙරුණූ මුදල රුපියල් මිලියන 61 කි.

ශ්‍රී ලංකාවේ පළමු නේවාසික නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා පසුගියදා අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු විය. ශ්‍රී ලංකාවේ පළමු නේවාසික නවසීලන්ත මහ කොමසාරිස් ධූරයට පත් වීමට ලැබීම පිළිබඳව සිය සතුට ප්‍රකාශ කළ ඇපල්ටන් මහතා, දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධන සිය අභිලාෂය බව ද සැලකර සිටියේය.


ලොව විශාලතම කිරි නිෂ්පාදකයෙකු වන නවසීලන්තය, ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ දියුණුව උදෙසා තාක්‍ෂණය සහ දැනුම හුවමාරු කර ගැනීමට කැමැත්තෙන් පසුවන බව මහ කොමසාරිස් ඇපල්ටන් මහතා මෙහි දී පැවසීය.


තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟ සිදු කළ සාකච්ඡාවක් පිළිබඳ සිහිපත් කළ මහ කොමසාරිස්වරයා, ක්‍රීඩාව ඔස්සේ දෙරට අතර සුහඳත්වය තහවුරු කළ හැකි බවට ද සිය විශ්වාසය පළ කළේය.


මිත්‍රශීලි රටක් ලෙස නවසීලන්ත රජය සමඟ ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය කැපවන බව පෙන්වා දුන් එතුමා ශ්‍රී ලංකාවේ පළමු නේවාසික නවසීලන්ත මහ කොමසාරිස් එඩ්වඩ් ඇපල්ටන් මහතාට සිය ධූරයේ කටයුතු සාර්ථක ලෙස ඉටු කිරීමට හැකි වේවා යැයි සුබ පැතුවේය. 


අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ ට්‍රැවලර්, හිටපු නවසීලන්ත කොන්සියුලර් සේනක ද සිල්වා මහත්වරු ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා උපත්, මරණ හා විවාහ සහතික නිකුත් කිරීම මාර්ගගත ක්‍රමයට ආරම්භ කළ බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම ‘ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ජනතා කේන්ද්‍රීය ඩිජිටල් ආණ්ඩු ක්‍රමය යථාර්තයක් බවට පත් කරමින් සියලු පුරවැසියන් සඳහා උප්පැන්න, මරණ සහ විවාහ සහතික ලබාගැනීම සඳහා වඩා වේගවත්, කාර්යක්‍ෂම සහ පහසු ක්‍රමවේදයක් නිර්මාණය කර ඇති බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.

උප්පැන්න, මරණ හා විවාහ සහතික ලබාදීම සඳහා වන මාර්ගගත සේවාව පිළිබඳව සියලු ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීම වෙනුවෙන් පසුගියදා (10) දින ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට ඒක්වෙමින් ලෙක්ම්වරයා මේ බව සඳහන් කළේය.

තවද, ශ්‍රී ලංකාවාසී ජනතාවට මාර්ගගත ක්‍රමය හරහා ඉතා ඉක්මනින් ඔවුන්ගේ ඔප්පු පිටපත් සහ පත්තිරු වල පිටපත් ලබාගැනීමට හැකි වන අතර, මෙම නව මාර්ගගත ක්‍රමය හදුන්වා දුන් බව ද ලේකම්වරයා පැවසීය.

පසුගිය අගෝස්තු මස 02 වන දින සිට ක්‍රියාත්මක වන මෙම මාර්ගගත ක්‍රමය සඳහා පළමු දින දෙක තුළ අයදුම්පත් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබේ.

මෙම අවස්ථාවට ඒක් වූ රෙජිස්ට්‍රාර් ජෙනරාල් මද්දුම බණ්ඩාර වීරසේකර මහතා පැවසුවේ ඔප්පු සහ පත්ඉරු පිටපත්ද මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබා දීමේ වැඩපිළිවෙලක් නොබෝ දිනකින් ක්‍රියාවට නංවන බවයි. 1960 වර්ෂයෙන් පසු ලියාපදිංචි කරන ලද උප්පැන්න, විවාහ හා මරණ සහතික මෙම දෙපාර්තමේන්තුව විසින් සකසන ලද මධ්‍යගත පද්ධතියක් මගින් සරල ක්‍රමවේදයක් ඔස්සේ ලබා ගැනීමට හැකියාව පවතියි. 1960 වර්ෂයේ සිට 2018 දක්වා ලියාපදිංචි කරන ලද උප්පැන්න, මරණ හා විවාහ සහතික මිලියන 36 ක් පරිලෝකනය කර රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යගත පද්ධතිය තුළ ඇති බැවින් ශ්‍රී ලාංකිකයින්ට මෙම සේවාව ලබාගැනීම සඳහා පහසුකම් සළසා ඇත.

මෙම පහසුකම මඟින් ජනතාවට උප්පැන්න, මරණ සහ විවාහ සහතික, සීඝ්‍රගාමී තැපෑල මගින් හෝ ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගැනීමේ හැකියව ලැබෙන බව මෙහිදී අවධාරණය කරන ලදි.

ඔන්ලයින් ක්‍රමවේදයක් හරහා මේ සඳහා මුදල් ගෙවිය යුතු අතර ඒක් පිටපත්ක් ලබා ගැනීම සඳහා අයකරන ගාස්තුව කොළඹ නගරසීමාව තුළ රුපියල් 210 ක් සහ කොළඹින් පිට රුපියල් 215කි. ඒ් අනුව https://online.ebmd.rgd.gov.lk යන වෙබ් යෙදුම භාවිතා කර ලබාදී ඇති උපදෙස් අනුව ක්‍රියා කිරීමෙන් මෙම සේවාව ලබාගත හැකිය.

මේ පිළිබඳ වැඩි විස්තර www.rgd.gov.lk වෙබ් අඩවියෙන් හෝ 011 288 9518 යන දුරකථන අංකය ඔස්සේ ලබාගත හැකි බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් රුසියාවේ නිෂ්පාදිත " ස්පුට්නික් V" එන්නත් මාත්‍රා තොගයක් අද (11) අලුයම දිවයිනට රැගෙන විත් තිබේ.

ඒ අනුව එන්නත් මාත්‍රා 15,000ක ප්‍රමාණයක් ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන පැමිණ ඇත. 

අනතුරුව එන්නත් තොගය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මඟින් මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන යාමට පියවර ගැණුනි.

සැප්තැම්බර් වන විට කොවිඩ් එන්නත් මිලියන 32ක් ලැබෙනවා

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 32ක් සැප්තැම්බර් වන විට මෙරටට ලැබෙන අතර වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට එන්නත් මාත්‍රා දෙකම එමඟින් සැපයීමට හැකි වන්නේ යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේය.

කොවිඩ් ව්‍යසනයට තිබෙන හොඳම විසඳුම වනුයේ කොවිඩ් මර්දන එන්නත්කරණය බව ලෝකයේ විද්වතුන්ගේ මතය යැයි ද, ඒ අනුව මෙරට සිදු කරන එන්නත්කරණ වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාවට නංවන්නේ යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

පසුගිය දිනයන්හි පැවැති උද්ඝෝෂණ, පෙළපාළි නිසා කොවිඩ් පොකුරු නිර්මාණය කිරීමේ අවදානමක් ඇති කළ බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

රටේ පවතින සෞඛ්‍ය තත්වය අනුව තම දෙපාර්තමේන්තුව මගින් සේවාවන් ලබාදෙන ආකාරය පිළිබද කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සහතික පත්‍ර අයදුම් කිරීම මාර්ගගත ක්‍රමයට සහ විද්‍යුත් තැපැල් ක්‍රමයට පමණක් සිදු කිරීමට පහසුකම් සළසා ඇති බවයි එහි දැක්වෙන්නේ.

සහතික පත්‍ර අවශ්‍යතාව අනුව විදේශ කටයුතු අමාත්‍යංශය වෙත හෝ අධිවේගී තැපෑල මගින් අයදුම්කරුගේ ලිපිනය වෙත යොමුකරන බවද එම නිවේදනයේ සදහන්.

https://www.itnnews.lk/wp-

 

පුර්ණ එන්නත් ලබාගත් පුද්ගලයන්ට කොවිඩ් රෝගයෙන් එල්ලවන බලපෑම ඉතා අවම බව ඇමෙරිකානු වාර්තාවක් පෙන්වා දෙයි. එහිදී සියයට 99 ක්ම මියයාම හෝ බරපතෙළ තත්ත්වයට පත්වී රෝහල් ගතවීම අවමවී ඇතැයි සදහන් වෙයි.

අගෝස්තු 02 වැනිදා වනවිට ඇමෙරිකාවේ පුර්ණ එන්නත්කරණයවු සංඛ්‍යාව කෝටි 17 කට ආසන්නය. එන්නත්කරණයෙන් ඇතිවු ආරක්ෂාව ඉතා ඉහළ බව ඇමෙරිකානු රෝග පාලන හා මර්දන මධ්‍යස්ථානය නිවේදනයක් මගින් තහවුරු කළේය. මේ දිනවල එරට වැඩි බලපෑමක් එල්ලකර ඇත්තේ ඩෙල්ටා ව්‍යාප්තියයි.

ඒ අතරම මේ දක්වා මෙරට ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිඩ් එන්නත් මාත්‍රා එක්කෝටි 45 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලබාදී ඇත. ඊයේ පන්ලක්ෂයකට ආසන්න පිරිසකට එන්නත් ලබා දුන්නේය.

රබර් ආශ්‍රීත නිෂ්පාදන ප්‍රවර්ධනය සදහා විධිමත් වැඩපිළිවෙලක් ඇරඹෙයි. සාමාන්‍යයෙන් මෝටර් රථයක රබර් අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගනිමින් නිෂ්පාදිත අමතර කොටස් 400 ක් පමණ නිරීක්‍ෂණය වෙයි. දේශීය රබර් භාවිත කරමින් එම අමතර කොටස් රට තුළම නිෂ්පාදනය කිරීමට වැවිලි කටයුතු අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත.

කෝවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම වේගවත් වන අතර ඕනෑම පවුලක අයෙකු මෙයට ගොදුරුවීමේ වැඩි අවදානමක් මේ වන විට පවතින බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. එබැවින් වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා හැකි ඉක්මණින් එන්නත් ලබාගත යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඩෙල්ටා ප්‍රභේදයට ගොදුරු වන්නන්ගෙන් 1.5%ක් පමණ මිය යන බව සෞඛ්‍ය අංශ පවසනවා. වැඩි ප්‍රතිශතයක් දැඩි සත්කාර ඒකකවලට ඇතුළු කිරීමටද සිදුවනවා. මෙම අවාසනාවන්ත තත්ත්වයට ගොදුරු නොවීමට නම් සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපැදිය යුතුයි. ඒ අනුව කිසිවිටෙකත් සෙනඟ ගැවසෙන මංගල, අවමංගල හෝ වෙනත් උත්සවවලට යාමෙන් සම්පූර්ණයෙන්ම වැළකිය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

නිවසෙන් පිටතට යන විට අනිවාර්යයෙන්ම මුඛ ආවරණ පැළදිය යුතුයි. කාමර, ශාලා, විදුලි සෝපාන, වාහන වැනි ආවරණය කරන ලද ස්ථාන තුළ සෙනඟ සමඟ නොගැවසිය යුතු බවද අවධාරණය කෙරෙනවා. අත් සේදීම සහ හැකිතාක් දුරින් අන් අය සමඟ ගනුදෙනු කිරීම රෝගය වැළැක්වීමට හේතු වනවා. මෙහිදී මීටර් දෙකකට වඩා දුරින් සිටීම වඩාත් සුදුසු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. නිධන්ගත රෝග ඇත්නම් අත්‍යවශ්‍ය රාජකාරියකට මිස නිවසෙන් පිටතට නොයන ලෙසත් ඉතාමත් වගකීමෙන් කටයුතු කර තමනුත් තම පවුලේ සාමාජිකයනුත් කෝවිඩ් ඩෙල්ටාවෙන් ආරක්ෂා කර ගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ තවදුරටත් ඉල්ලා සිටින්නේ.

මේ අතර කෝවිඩ් මාරයාගෙන් ජීවිත බේරා ගැනීමට ඇත්තේ එන්නත ලබාගැනීම හා සෞඛ්‍ය මාර්ගෝපදේශ අවංකවම සහ නිවැරදිවම පිළිපැදීම පමණක් බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. ඒ සඳහා නොපමාව කුමන වර්ගයක හෝ එන්නතක් ලබාගත යුතුයි.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter