නවතම පුවත්

2021 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අයදුම් කිරීමේ කාලසීමාව සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කෙරේ.

2021 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙතෙක් අයදුම් නොකළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා, අයදුම් කිරීමේ කාලසීමාව සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කර ඇති බව, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි

පවතින කෝවිඩ් වසංගත තත්ත්වය මත විදේශීය සංචාරකයින් මෙරටට නොපැමිණීමෙන් 90% කින් පමණ පහළ ගොස් හානි වූ ලක්සල අලෙවි ආදායම නව ව්‍යාපාරික සැලැස්මක් යටතේ පූර්ණය කර ගැනීම හා දේශීය නිෂ්පාදකයන්ට ශක්තිය සැපයීම මෙහි මූලික අරමුණයි.

ඒ අනුව බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයෙහි පූර්ණ සම්බන්ධීකරණය හා දායකත්වය යටතේ ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය "ලක්සල" ආයතනය හා "බූම් ලංකා බතික් ඇන්ඩ් ගිෆ්ට්ස් එල්.එල්.සී ආයතනය ( සිලෝන් ගැලරි) යන වරලත් නියෝජිත ආයතනය සමග ව්‍යාපාරික ගිවිසුම ඊයේ (26) තුම්මුල්ලෙහි පිහිටි "ලක්සල" සභාපති කාර්යාලයේදී අත්සන් තැබීය.

"ලක්සල" සන්නාමය යටතේ මෙරට පාරම්පරික හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ භාණ්ඩ ඇතුළුව බතික්,අත්යන්ත්‍ර,රෙදිපිළි හා ශ්‍රී ලාංකීය තේ, කෝපි, කුළුබඩු, ආයුර්වේද නිෂ්පාදන, කාබනික ආහාර වර්ග හා දේශීය රූපලාවන්‍ය භාණ්ඩ නිෂ්පාදන ඇමරිකා එක්සත් ජනපදයේ "ෆ්ලොරිඩා"හි ආරම්භ කරනු ලබන එම වරලත් අලෙවිසැල මගින් ප්‍රවර්ධනය කිරීමට නියමිතය.

තවද මෙවැනි "ලක්සල" අලෙවි ප්‍රදර්ශනාගාර 50ක් ඇමරිකාවේ අනෙකුත් ප්‍රාන්ත තුලද ස්ථාපිත කිරීමට සියළු කටයුතු සූදානම් කර අවසන්ය.එමෙන්ම "ලක්සල" නව කළමනාකාරීත්ව ව්‍යාපාරික සැලැස්ම යටතේ 2023 වසර අවසන් වීමට ප්‍රථම මෙවැනි වරලත් අලෙවි නියෝජිත ප්‍රදර්ශනාගාර ජපානය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය,කැනඩාව හා මැදපෙරදිග රටවල් තුළද විවෘත කිරීමට කටයුතු සැලසුම් කරමින් සිටියි.

මෙම අවස්ථාව සඳහා බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ජානක ධර්මකීර්ති මහතා,ලක්සල ආයතන සභාපති නීතීඳ ලක්මල් වික්‍රමආරච්චි මහතා,සිලෝන් ගැලරි වරලත් නියෝජිත ආයතන සභාපති සුදර්මා වර්ණකුලසූරිය මෙනෙවිය,එම ආයතනයේ කළමනාකරතුමන් හා ලක්සල ආයතනයෙහි කළමනාකරතුමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයද එක් විය.

“කොවැක්ස්” වැඩසටහන ඔස්සේ ජපන් ආධාර යටතේ මෙරටට සෞඛ්‍ය සේවාව සඳහා උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමක් පසුගියදා සිදු කෙරිණි. මෙම උපකරණ තොගය යුනිසෙෆ් සංවිධානය සහ ජපන් තානාපති කාර්යාලයේ සහයෝගයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට නිල වශයෙන් පරිත්‍යාග කර තිබේ.


එන්නත් ප්‍රවාහන මෙවලම් 750ක්, එන්නත් බහාලුම් ශීත පෙට්ටි 300ක්, ශීතදාම ආරක්ෂක ශීතකරණ 100ක්, සාර්ථක එන්නත් කළමනාකරණ ආවේක්ෂණය සඳහා භාවිතා කිරීමට ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ස් තොගයක් මෙම පරිත්‍යාගයට ඇතුලත් වේ. ජපන් රජය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට පසුගිය වසරේදී පමණක් ඩොලර් මිලියන 16.2 ක පමණ මුදලක් වැය කර තිබෙන අතර ඉදිරියේදීද මෙරට සෞඛ්‍ය සේවාව සඳහා ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දෙන බව ද ශ්‍රී ලංකාවේ ජපන් තානාපති සුගියාමා අකිරා මහතා මෙහිදි ප්‍රකාශ කළේය.


මෙරට සෞඛ්‍ය සේවාව නගාසිටුවීම සඳහා දිගු කලක සිට ජපානය සහයෝගය ලබාදෙන බවද පවතින කොවිඩ් මර්දනයේදී එම සහයෝගය වඩාත් ඉහළ මට්ටමින් වර්තමානයේ ලබා දෙන බවද සුගියාමා අකිරා මහතා පැවසු අතර කොවිඩ් මර්දනයේදී ජපානය ගෙන යන වැඩපිළිවෙළ හා සම්බන්ධ දැනුම හා තොරතුරු මෙන්ම මෙරට කොවිඩ් මර්දන ක්‍රියාවලිය හා සම්බන්ධ දැනුම හා තොරතුරු හුවමාරු කර ගැනීම දෙරටටම ප්‍රායෝගිකව වැදගත් වනු ඇතැයිද ජපන් තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.


මෙහි දී අදහස් දක්වමින්සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ඉල්ලීමක් මත ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව මෙරටට පරිත්‍යාග කිරීම පිළිබඳව ප්‍රසාදය පළ කරන බවත් ඉදිරියටත් එවැනි සහයක් ජපානයෙන් මෙරටට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය.


මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ,අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කෝග් යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් , ජපන් තානාපති කාර්යාල නිලධාරීන් සහ යුනිසෙෆ් සංවිධානයේ මෙරට නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

බොරැල්ල හි පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය සකච්ඡා කිරීමේ රැස්වීමක් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ, පැවැති මෙම සාකච්ඡාව සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා, අතිරේක ලේකම් (පාලන) එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී. සත්කුමාර මහතා ,රජයේ මුද්‍රණාලාධිපති ගංගා කල්පනි ලියනගේ මහත්මිය ඇතුළු නිලධාරිහූ සහභාගී වූහ.

පරිසර අමාත්‍යාංශය 2021- 2030 දක්වා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමණාකරණය සඳහා දස අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්මක් හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බැවින් එම ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පරිසර අමාත්‍යාංශය විසින් ඊයේ (25) දින 2021- 2030 දක්වා දස අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්මක් (National Action Plan on Plastic Waste Management – 2021- 2030) හඳුන්වා දෙනු ලැබීය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙම ජාතික ක්‍රියාකාරි සැලැස්ම පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දෙනු ලැබීය. ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ක්‍රියාකාරි සැලැස්ම සකස් කිරීම සඳහා ජපාන රජය මගින් එක්සත් ජාතින්ගේ පාරිසරික වැඩසටහන, IETC- Technology for Environment, Environment Stratagies සහ පරිසර අමාත්‍යාංශය යන ආයතන විසින් අනුග්‍රහය දක්වන ලදී.

මෑත කාලය තුළ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමේ දී පවතින අවිදිමත් බව සැළකිල්ලට ගනිමින් ඉදිරි දස වසර තුළ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ක්‍රියාත්මක කළ යුතු වැඩ පිළිවෙළ මෙමගින් යෝජනා කර තිබේ. විශේෂයෙන් 3R සංකල්පය අනුගමනය කරමින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම (Reduce) , නැවත භාවිතා කිරීම ( Re- Use) හා ප්‍රතිචක්‍රියකරණය ( Recycling) යන ක්‍රියා පිළිවෙත තුළින් පරිසරයට එක් කෙරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම මෙහි අරමුණ වේ.

අපේ රටට වාර්ෂිකව ආනයනය කරනු ලබන ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 03කි. එමෙන්ම අපේ රටේ නාගරික ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය දිනකට මෙට්‍රික් ටොන් 10,768කි. එමෙන්ම පළාත්පාලන ආයතනවලින් දිනකට එකතු කරනු ලබන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය දිනකට මෙ. ටො. 3458කි. ඒ අනුව දිනපතා අප රටේ බැහැර කරන ඝන අපද්‍රව්‍යවලින් සියයට 50ක් එකතු නොකර පරිසරයට බැහැර කරනු ලබන බව පෙනී යයි.

මෙම බරපතල පාරිසරික ගැටළුව විසඳීම සඳහා දැනටමත් පියවර රැසක් ගෙන ඇතැයි මෙම ක්‍රියාකාරි සැළැස්ම අමාත්‍යවරයාට බාර දෙමින් පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

විදෙස් ගත වීමට අපේක්‍ෂා කරණ සාමාන්‍ය ජනතාව සඳහා කොවිඩ් -19 එන්නත් ලබාගත්බවට සහතිකයක් මාර්ගගතව online ලබාගැනීමට අගෝස්තු 25 දින සිට පහසුකම් සැලසෙනබව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය ප්‍රකාශකරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සහයෝගයෙන් මෙය ක්‍රියාත්මක කෙරේ.

මෙමඑන්නත් සහතිකයේ විද්‍යුත් පිටපතක් ලබා ගැනීම සඳහා https://covid-19.health.gov.lk/certificate/ අන්තර්ජාල ද්වාරය වෙත පිවිසිය යුතුවේ. මාර්‍ගගත ද්වාරය වෙත ප්‍රවේශ වීමෙන් පසු ජාතික හැඳුනුම්පත් අංකය හෝ , විදේශ ගමන් බලපත්‍ර අංකය, එන්නත් කාඩ්පත් විස්තර,විදේශගමන් විස්තර සාක්ෂි සහ අදාළ පුද්ගලික දත්ත විස්තර ඇතුළත් කළ යුතුය. අදාළ විස්තර සාර්ථකව ඇතුළත් කිරීමෙන් පසු, එන්නත් සහතිකයේ මෘදු පිටපතක් (පීඩීඑෆ් පිටපතක් ) ලබාගැනීමට ඉල්ලුම්කරුට හැකිවේ.

එය අවශ්‍ය වූ විට සහතිකයේ මුද්‍රණ පිටපතක් ලෙසද අදාළ අංශවෙත ඉදිරිපත් කළ හැකිය. මෙම මාර්ගගත ක්‍රමය මඟින් එන්නත් සහතිකයේ මුද්‍රණ පිටපත් එකතු කිරීම සඳහා ඇති සෞඛ්‍ය කාර්යාල වෙත ශාරීරිකව යෑමෙන් ඇති වන අපහසුතා මඟහරවා ගැනීමට හැකිවේ. දැන් ඔබට ඔබේම නිවසේ සිට පහසුවෙන්ම එන්නත් සහතිකය ලබා ගත හැකිය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, සෞඛ්‍ය අමාත්යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව හදුන්වා දුන් මෙම කොව්ඩ් 19 එන්නත් සහතිකය කාලෝචිත පියවරක් බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා සඳහන් කරයි.මෙවැනි වටිනා එන්නත් සහතිකයක් මහජනතාවට කරදරයකින් තොරව ලබාදීම සදහා තිරය පිටුපසසිට සක්‍රීය ලෙස දායකවූ සියල්ලනට ලේකම් වරයා සිය ස්තුතිය පළකරනබවද සදහන් කළේය.

මෙම හදුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA ) සභාපති ඕෂද සේනානායක මහතා සඳහන් කළේ, පුරවැසියන් මුලිකකරගත් සේවාවන් සැපයීම සඳහා තාක්‍ෂණය උපරිම ලෙස භාවිතා කිරීමට තම ආයතනය කැපවී සිටින බවයි. කොවිඩ් - 19 වසංගත තත්වයන්ට මුහුණදීම සදහා තාක්‍ෂණ භාවිතය කෙතරම් වැදගත් ද යන්න මෙම හදුන්වාදීම තුලින්ද හෙළිවේ. ජාතිය ඩිජිටල් පරිවර්‍තනයකට ගෙන යන ගමනේදී තාක්‍ෂණය පදනම් කරගත් විසඳුම් සක්‍රීය කිරීම සහ තාක්‍ෂණයෙන් පුරවැසි සේවාවන් සවිබල ගැන්වීම අඛණ්ඩව සිදු කරන බව ඔහු වැඩිදුරටත් සදහන්කරන ලදී .

වයස අවුරුදු 30 ට වැඩි සෑම පුද්ගලයෙකුම  කඩිනමින් කොරෝනා මර්දන එන්නත් ලබාගැනීමට ඉදිරිපත් විය යුතු බව කෝවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි

 
යුද හමුදාවේ ජංගම එන්නත්කරණ වැඩපිලිවෙල ද අඛණ්ඩවම ක්‍රියාත්මක බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් දැනුම් දෙයි

 
මෙරට දේශපාලන කරළියේ සැබෑ පෙරළිකාරයකු මෙන්ම දක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයකු වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ගෝලීය වසංගතයේ ගොදුරක් බවට පත් වූයේ මීට සති කිහිපයකට පෙරය. පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටි ඔහු කොවිඩ් මාරයා හා සටන් වැද පරාජය වී අවසන් ගමන් ගොස් ඇත.
 
1983 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර ප්‍රධාන සංවිධායක ලෙස සිය ක්‍රියාකාරී දේශපාලන ගමන අරඹන විට මංගල සමරවීර, 27 හැවිරිදි තරුණයෙකි. කලක් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයත් ඉන් අනතුරුව මහජන එක්සත් පෙරමුණත් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි මහානාම සමරවීර මහතා මංගල සමරවීර මහතාගේ පියාය. මානව හිතවාදී දේශපාලනඥයකු වූ පියාගේ සහ මාතර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක වූ (ඛේමා සමරවීර) මවගේ අභාසය ලබමින් දේශපාලනය තුළ මානව හිමිකම් ක්‍රියාධරයකුගේ භූමිකාවට අවංකව කැප වී සිටි මංගල, රණසිංහ ප්‍රේමදාස යුගයේ පෙරළිකාර විපක්ෂ දේශපාලනඥයකු ලෙසින් වඩාත් කැපී පෙනුණු චරිතයකි. 
 
1989 වර්ෂයේදී පළමු වරට පාර්ලිමේන්තු වරම් ලැබූ මංගල සමරවීර, 1994 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලදි. අනතුරුව කැබිනට්ටුව වෙනස් කිරීමේදී නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ මහජන උපයෝගිතා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය. 2001 වසරේ මැතිවරණ පරාජයෙන් අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ධුරය දැරූ ඔහු 2004 වසරේ දී නැවතත් වරාය, ගුවන ගමන් සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් විය. 
 
2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතියේ කළමනාකරු ලෙස කටයුතු කරමින් ජයග්‍රහණය කරා තම කණ්ඩායම මෙහෙය වූයේ ද මංගල සමරවීරය. 2005 වසරේදී මහින්ද රාජපක්ෂ කැබිනෙට්ටුවේ විදෙස් කටයුතු අමාත්‍යවරයා ලෙස පත් වූ මංගල සමරවීර, අනුර බණ්ඩාරනායක සහ ශ්‍රීපති සූරියඅාරච්චි යන තිදෙනා 2007 පෙබරවාරි 9 වැනි දින කැබිනෙට්ටුවෙන් ඉවත් කෙරිණි. ඉන් අනතුරුව ශ්‍රීලනිප - මහජන පිළ නිර්මාණය කළේ ද මේ තිදෙනාගේ මූලිකත්වයෙනි. ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව දේශාපාලනයේ නිරත වූ මංගල මහතා 2015 වසරේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ සටනේ දී විපක්ෂ සංධානයේ සම ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කළේය.
 
ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව නව රජයේ විදෙස් කටයුතු සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු කැබිනෙට්ටුව නියෝජනය කළේය. 2019 ජනාධිපතිවරණයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය හැර යමින් සමඟි ජන බලවේගය නිර්මාණය කිරීමට දායක වූ මංගල සමරවීර, 2020 මහ මැතිවරණයේදී සමඟි ජන බලවේගයෙන් මාතර දිස්ත්‍රික්කයට තරග කිරීමට නාම යෝජන ලැබුවද පසුව තමන් තරග නොකරන බවට ප්‍රකාශ කළේය. එමෙන්ම තමන් පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගන්නා බව ප්‍රකාශ කළ මංගල 2021 ජුලි මාසයේදී 'සැබෑ දේශප්‍රේමියෝ' නම් සංවිධානය ආරම්භ කිරීමට මූලිකත්වය ගත්තේය.
 
වසර 31කට අධික දේශපාලන ගමන පුරා පෙරළිකාරයකු වූ මංගල සිය හෘද සාක්ෂියට එකඟව තමන් නියෝජනය කරන මතවාදය වෙනුවෙන් නොබියව පෙනී සිටි නායකයකු ලෙස ප්‍රකටය. මානව නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සැම විටම පෙනී සිටි චරිතයක් ලෙසත් මංගල සමරවීරව හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. කිසිදු විටෙක ජාතිවාදී හෝ ආගම්වාදී ස්ථාවරයන්ට වචනයකින්වත් සහායක් නොදැක්වූ මංගල මිය යන තෙක්ම තරුණ හදවතක් ඇත්තකු ලෙස නව තරුණ චින්තනය සහ තාක්ෂණ භාවිතාවන් නිවැරදිව ග්‍රහණය කරගත් අයකු බවත් පැහැදිලිය.
 
දේශපාලන මතිමතාන්තරවලින් ඔහුට ප්‍රතිපක්ෂ වූ බොහෝ දෙනා පවා ඔහුගේ මරණය මෙරට දේශපාලනයේ යුගයක අවසානයක් ලෙස අර්ථ දක්වන්නේ, මෙරට දේශපාලනය තුළ ඔහු සිදු කළ පෙරළිවල බලපෑම් ගැන හොඳින් දන්නා නිසා විය යුතුය. මීට සතියකට ඉහතදී ඔහු ජීවිතයෙන් සමුගත් බවට සමාජ ජාලවල පළ වූ පුවත් ව්‍යාජයක් බවත් ඔහු සුවය ලබමින් සිටින බවත් හෙළිව තිබියදී ඔහු එම පුවත් සියල්ල නැවතත් කනපිට පෙරළා අවසන් ගමන් ගොස් අවසන්ය. ඔහුට අපගේ ආචාරය!
 
(මේ ඡායාරූපයේ දැක්වෙන පසුබිම් චිත්‍රය සුජිත් රත්නායක විසින් 'චාකෝල්' භාවිතයෙන් නිර්මාණය කරන ලද්දකි. එහි නිරූපණය වන්නේ කෝවිඩ්වලට එරෙහි ද්වන්ධ සටනකි. දෛවෝපගත ලෙස මංගල මහතා එම සටනින් පරාජය වී තිබිණි. මේ ඡායාරූපය උපුටා ගත්තේ මංගල සමරවීර මහතාගේ නිල ෆේස්බුක් පිටුවෙනි.)

ලාංකීය දේශපාලන ගමන්මඟෙහි විශාල පරිවර්තනයන් මෙන් ම ‍අරගලයන් දියත් කරමින් ලාංකීය ජනතාවට අමිල මෙහෙවරක් ඉටුකිරීමට සක්‍රීයව දායක වූ කෘතහස්ත දේශපාලනඥයකු වන එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මැතිතුමාගේ හදිසි වියෝව සැල වීමෙන් මම ඉතා සංවේගයට පත් වීමි.

 
එතුමාගේ අභාවය පිළිබඳව මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමි.
 

රාජ්‍ය හෝ පෞද්ගලික සේවකයන්ගේ වැටුප් කප්පාදුවක් සිදු කිරීමට රජය කිසිඳු තීරණයක් ගෙන නැති බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

 
අද(24) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ පිළිබඳ පැහැදිලි කළේය.
 
කෙසේ වෙතත් කොවිඩ් අරමුදල ශක්තිමත් කරන්න කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter