නවතම පුවත්

සූර්ය බලශක්ති, පිරිපහදු සහ වරාය නගර ක්ෂේත්‍රවල නව අයෝජන සඳහා කුවේට් ආයෝජකයින්ට ජනපතිගෙන් ඇරයුම් …. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් – හමාඩ් අල් – සබා (Sheikh Sabah Al – Hamad Al- Sabah මැතිතුමා අතර හමුවක් 19 දින පෙරවරුවේ නිව්යෝර්ක් මෑන්හැට්න්හි දී සිදු කෙරිණ. දෙරට අතර පනස් වසරක සමීප සහ මිත්‍රශීලි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ නායක දෙපළ එම සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව සඳහන් කළේය. ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් කුවේට් රාජ්‍යයේ සේවය කරන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා පුහුණු ශ්‍රමිකයින් සඳහා තවදුරටත් අවස්ථාවන් විවෘත කර දෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබීය. කොවිඩ් වසංගතය පාලනය සහ රට තුළ සිදු කෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව පෙන්වා දුන් ජනාධිපතිතුමා වසංගතය පහව ගොස් ලෝකය විවෘත වීමත් සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ හැකියාව පෙන්වා දුන්නේය. වරාය නගරය, සූර්ය හා සුළං බලශක්ති සහ පිරිපහදු ක්ෂේත්‍රයන් තුළ කුවේට් රාජ්‍යයට ඇති ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපතිතුමා කුවේට් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළේය. ආහාර සුරක්ෂිතතාව, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳව ද රාජ්‍ය නායකයන් අතර කථා බහට ලක් විය. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවට වැදගත් කාර්යභාරයක් පැවරී ඇති අතර, පවතින වාතාවරණය යටතේ විශිෂ්ට සේවයක් කළ හැකි බව විදේශ ඇමති පීරිස් පවසයි

ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවට (CICA) ඉතා වැදගත් කාර්යභාරයක් පැවරී ඇති අතර වර්තමාන තත්ත්වය යටතේ එහි සියලුම සාමාජිකයින්ට සහ නිරීක්‍ෂකයින්ට විශිෂ්ට සේවයක් සැපයිය හැකි බව CICA හි විධායක අධ්‍යක්ෂ කයිරාත් සරීබේ මහතා නිව්යෝර්ක් හිදී අමාත්‍යවරයා හමුවීමට ගිය අවස්ථාවේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සඳහන් කළේය.

CICA ආයතනයේ සාමාජිකයින් මුහුණ දෙන ප්‍රධාන අභියෝග කෙරෙහි අවධානය යොමු කරමින් එහි පොදු අරමුණු අනුව එහි වැඩකටයුතු මෙහෙය විය යුතු බව අමාත්‍ය පීරිස් මැතිතුමා අවධාරණය කළේය. ශ්‍රී ලංකා රජය සංවිධානයට සහයෝගය දැක්වීම සඳහා කැපවී සිටින අතර, ලෝකයට ප්‍රයෝජනවත් අවබෝධයක් ලබා දීමට CICA ට හැකි වනු ඇතැයි විශ්වාස කරයි. සාමාජික රටවල් 27 ම සතුව ශක්තිමත් ආයතන පවතින බවත්, ලෝකය කොවිඩ්-19 වසංගතයෙන් මිදීමට උත්සාහ දරන විට අත්දැකීම් සහ ප්‍රවීණතාවය හුවමාරු කර ගැනීම වාසියක් වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

යටිතල පහසුකම්, අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, පාරිසරික ගැටලු, ග්‍රාමීය දරිද්‍රතාවය අවම කිරීම, අගය එකතු කළ අපනයන සහ පුනර්ජනනීය බලශක්ති යන ක්ෂේත්‍රවල සහයෝගීතාව CICA ආයතනයට දැඩි ලෙස හඹා යා හැකි අංශ බව විදේශ අමාත්‍යවරයා පැවසීය. පාරිසරික අතින් ගත් කල, පරිසරයට හානි පමුණුවමින් සිදු කෙරෙන ආර්ථික සංවර්ධනය තිරසාර නොවන බව ඔහු පිළිගත් අතර, රසායනික පදනම් කරගත් පොහොරවලින් කාබනික පොහොර වෙත මාරුවෙමින් හරිත ආර්ථිකයක් ප්‍රවර්‍ධනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් පියවර විස්තර කළේය. දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නැංවීම රටවල් සඳහා වැදගත් වන නමුත්, එය සාධාරණ ලෙස බෙදා හැරීම සහ එහි ප්‍රතිලාභ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රජාවන් ඇතුළු සියලු ප්‍රජාවන් වෙත ගලා යන බවට සහතික වන අයුරින් සිදු කළ යුතු බව අමාත්‍ය පීරිස් මැතිතුමා අවධාරණය කළේය.

විධායක අධ්‍යක්ෂ සරිබේ මහතා CICA හි ක්‍රියාකාරකම් පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කළ අතර, කීර්තිමත් පුද්ගලයින්ගේ කවුන්සිලයක් පිහිටුවීම සඳහා එහි සැලසුම් සහ 2021 ඔක්තෝබර් මාසයේ දී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා සූදානම් කෙරෙන කටයුතු පිළිබඳව විස්තර කළේය. සාමාජික රටවල් අතර විශ්වාසය තහවුරු කිරීම සඳහා CICA ආයතනය සිය උපරිමයෙන් කටයුතු කරන බව ඔහු සඳහන් කළේය. කලාපයේ සංවර්‍ධනය හා ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සඳහා වැඩිමනත් සංවාදයකට සහ සහයෝගීතාවයකට මෙය මඟ පාදනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය. CICA විසින් සංවිධානය කරනු ලබන උසස් නිලධාරීන්ගේ රැස්වීම්, අන්තර් ක්‍රියාකාරී සැසි සහ අනෙකුත් ක්‍රියාකාරකම්වල දී විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රයේ විශේෂඥතාව ලබා දීමේ දී ශ්‍රී ලංකාව ඉටු කළ ප්‍රමුඛ කාර්යභාරය ඔහු ඇගයීය.

ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සම්මන්ත්‍රණය (CICA) 1992 දී පිහිටුවන ලද අතර, එය ආසියාවේ සාමය, ආරක්‍ෂාව සහ ස්ථාවරභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගිතාව ඉහළ නැංවීම සඳහා වූ බහු-ජාතික සංසදයකි. එය සාමාජික රටවල් 27 කින්, නිරීක්ෂක ජනපද 9 කින් සහ නිරීක්ෂක සංවිධාන 5 කින් සමන්විත වේ. ශ්‍රී ලංකාව CICA හි නිරීක්ෂක තත්ත්වය 2012 දී සහ එහි පූර්ණ සාමාජිකත්වය 2018 දී ලබා ගත්තාය.

විිදේශ අමාත්‍යාංශය
කොළඹ
2021 සැප්තැම්බර් 21 වැනි දින

 දෙමළ ඩයස්පෝරාවට සාකච්ඡාවලට ඇරියුම් කරනවා 

- මා බලයට පැමිණි පසු ත්‍රස්ත සැකකරුවන් නිදහස් කළා  
- නැවත වරක් බෙදුම්වාදයක් ඇති නොවන බව සහතිකයි 
- ජනතාවට දුන් පොරොන්දු එලෙසම ඉටු කරනවා 
- කොවිඩ් වසංගතයට මුහුණ දීමට එක්සත් ජාතීන්ගේ සහාය අනර්ඝයි

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර යන්ත්‍රණයක් ඔස්සේ විසඳාගත යුතු බවත්, ඒ සඳහා ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡාවලට ඇරියුම් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියේ ගුටරේස් හමු වූ අවස්ථාවේදී පෙරේදා (19) පැවසීය.

එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසි වාරයට සහභාගී වීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරට ගොස් සිටින ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ දී ගුටරෙස් මහතා පෙරේදා (19) හමු විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබීම සතුටට කරුණක් බව එහිදී පැවසූ ජනාධිපතිවරයා, ලෝකය මුහුණ දී සිටින ඉතා අසීරු කාල පරිච්ඡේදයක එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහෙයවීම පිළිබඳ සහ දෙවැනි වරටත් මහලේකම් ධූරයට පත්වීම පිළිබඳ සිය සුභාශීංසන ඔහු වෙත පිරිනැමීය.

ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටි බොහෝ තරුණයන් තමා බලයට පැමිණි පසු නිදහස් කළ බව පැවසූ ජනාධිපතිවරයා, නිදහස් කළ නොහැකි සෙසු පිරිස සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කරන බවත් දිගුකලක් අත්අඩංගුවේ පසුවන ද්‍රවිඩ තරුණයන් පිළිබඳ නීති කෘත්‍ය අවසන් වූ පසු දීර්ඝ කාලයක් ඔවුන් අත්අඩංගුවේ සිටීම පිළිබඳ සැලකිල්ලට ගෙන එම පිරිසට ජනාධිපති සමාව දීමට තමා නොපැකිළෙන බවත් මහලේකම්වරයා සමඟ පැවසීය.

නැවත වරක් බෙදුම්වාදයක් ශ්‍රී ලංකාවේ ඇති නොවන බවට තමාට සහතික විය හැකි වුවත්, ආගමික අන්තවාදය පිළිබඳ රජයක් ලෙස ශ්‍රී ලංකාව සේම සෙසු රාජ්‍යයන්ද සුපරීක්ෂාකාරී විය යුතු බවත් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සහ ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක්වූ ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතයට සාර්ථකව මුහුණදීමට දෙන සහාය ඇගැයීමට ලක් කළේය.

 

මේ වන විට සමස්ත ජනගහණයෙන් අඩකට වැඩි පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබේ. නොවැම්බර් මස අවසන්වීමට පෙර වයස අවුරුදු 15ට වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට භාජනය කිරීමට සියලු කටයුතු සැලසුම් කර ඇති බවද සංඛ්‍යාලේඛන සහිතව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

2019 වසරේ දී ජනාධිපති ධූරයට පත්වූ තමන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කිරීමට කොවිඩ් වසංගතය විශාල බාධාවක් විය. එම තත්ත්වය හමුවේ වුවද වසර 30කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ඇති වූ අතුරු ප්‍රතිඵල විසඳා ගැනීමට ගත් පියවර ජනාධිපතිවරයා සවිස්තරාත්මකව පැහැදිලි කළේය.

වින්දිතයන්ට වන්දි ගෙවීම, ඉඩම් නැවත පවරාදීම හා 2009 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ උතුරු නැඟෙනහිර පළාතේ කළ විශාල සංවර්ධනය හා උතුරු පළාත් සභාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජිතයන් තෝරා ගැනීමට අවස්ථාව හිමිකරදීම පිළිබඳ ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළේය.

අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ රජය විසින් ගතයුතු පියවරයන් හැකි ඉක්මනින් ගන්නා බව හා මරණ සහතික නිකුත් කිරීම වැනි කටයුතු කඩිනම් කරන බව ජනාධිපතිවරයා මහලේකම්වරයා සමඟ පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව ස්ථාපනය කිරීම තම අරමුණ බවත්, ඒ අනුව උද්ඝෝෂණ ආදියට පෙරදී කළ මෙන් බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර එල්ල කිරීම වැනි දේ තම රජය යටතේ සිදු නොවන බවත්, උද්ඝෝෂකයන් සඳහාම තම කාර්යාලය අසළ වෙනම ස්ථානයක් වෙන් කර දුන් බවත් ජනාධිපතිවරයා පැවසීය. රටේ දියුණුව හා සංහිඳියාව ඇති කිරීමට සිවිල් සංවිධාන සමඟ එක්ව කටයුතු කරන ආකාරය ද රාජපක්ෂ මහතා විසින් පැහැදිලි කරනු ලැබීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සැමවිටම ඉතා සමීපව කටයුතු කිරීමට සූදානම් බව ද කීවේය.

කුඩා ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක් කොවිඩ් වසංගතය හමුවේ මුහුණ දෙන අභියෝග පිළිබඳ රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළේය. කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සහ ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක්වූ ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතයට සාර්ථකව මුහුණදීමට දෙන සහාය ඇගැයීමට ලක් කළේය.

ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව  එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පවසයි.
 
ඊයේ (19) පස්වරුවේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ජනාධිපතිතුමා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අතර පැවති විශේෂ හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.
 
එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට පැමිණි ජනාධිපතිතුමා උණුසුම් අයුරින් පිළිගත් ගුටරේස් මහතා, 1978 වසරේදී අන්තර් පාර්ලිමේන්තු සංගමය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි තමන් මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල කළ සංචාරයන් හා ශ්‍රී ලංකාව පිළිබඳව සුන්දර මතකය අවධි කළේය.
 
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැඩ කිරීම හා 2006 වසරේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවූ අවස්ථාව පිළිබඳවත් ගුටරේස් මහතා විසින් මෙහිදී සිහිපත් කරනු ලැබිණ. වසර 30කට ආසන්න කාලයක් පැවති ගැටුම්කාරී බව නිසා ඉතා සංකීර්ණ තත්ත්වයකට වැටීමට සිදුවුවත් ඉන්දියන් සාගර කලාපයේ විශාල සමාජ හා ආර්ථික කර්තව්‍යයක් ඉටුකරන ශ්‍රී ලංකාව තුළින් ඉදිරියටත් එය අපේක්ෂා කරන බව මහලේකම්වරයා සඳහන් කරනු ලැබිණ.
 
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබීම සතුටට කරුණක් බව පැවසූ ජනාධිපතිතුමා, ලෝකය මුහුණ දී සිටින ඉතා අසීරු කාල පරිච්ඡේදයක එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහෙයවීම පිළිබඳව සහ දෙවන වරටත් මහලේකම් ධූරයට පත්වීම පිළිබඳව සිය සුභාශීංසන ඔහු වෙත පිරිනැමීය.
 
කුඩා ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක් කොවිඩ් වසංගතය හමුවේ මුහුණ දෙන අභියෝග පිළිබඳව රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළේය. කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සහ ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක්වූ ජනාධිපතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතයට සාර්ථකව මුහුණදීමට දෙන සහාය ඇගැයීමට ලක් කළේය.
 
මේ වන විට සමස්ත ජනගහණයෙන් අඩකට වැඩි පිරිස පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා නොවැම්බර් මස අවසන්වීමට පෙර වයස අවුරුදු 15ට වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට භාජනය කිරිමට සියලු කටයුතු සැලසුම් කර ඇතැයි සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නේය.
 
එන්නත්කරණයේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය මෙහිදී මහලේකම්වරයාගේ ප්‍රශංසාවට ලක් විය.
 
2019 වසරේ දී ජනාධිපති ධූරයට පත්වූ තමන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කිරීමට කොවිඩ් වසංගතය විශාල බාධාවක් වූ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. එම තත්ත්වය හමුවේ වුවද වසර 30කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ඇති වූ අතුරු ප්‍රතිඵල විසඳා ගැනීමට ගත් පියවර ජනාධිපතිතුමා සවිස්තරාත්මකව පැහැදිළි කළේය.
 
වින්දිතයින්ට වන්දි ගෙවීම, ඉඩම් නැවත පවරාදීම හා 2009 වසරේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ උතුරු නැගෙනහිර පළාතේ කළ විශාල සංවර්ධනය හා උතුරු පළාත් සභාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජිතයන් තෝරා ගැනීමට අවස්ථාව හිමිකරදීම පිළිබඳව ජනාධිපතිතුමා කරුණු පැහැදිළි කළේය.
 
අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව රජය විසින් ගතයුතු පියවරයන් හැකි ඉක්මණින් ගන්නා බව හා මරණ සහතික නිකුත් කිරීම වැනි කටයුතු කඩිනම් කරන බව ජනාධිපතිතුමා මහලේකම්වරයා සමග පැවසීය.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා දී විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.

 
සභාපතිවරයා මෙම තොරතුරු සඳහන් කළේ විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත ඊයේ (17) ප්‍රකාශයක් කරමිනි.
 
සෞඛ්‍ය අංශ හා ඒකාබද්ධව මේ සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය. සෑම විශ්වවිද්‍යාලයකම අධ්‍යයන හා අනධ්‍යයන අංශයන්හි වයස අවුරුදු 30 ට වැඩි කාර්ය මණ්ඩල සඳහා එන්නත් දෙකම දී අවසන්ය. සියලුම විශ්වවිද්‍යාලයන්හි වයස අවුරුදු 30 ට අඩු අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල හා ශිෂ්‍යයින් එන්නත්කරණය සඳහා ඒ ඒ දිස්ත්‍රික්කවල ආසන්නතම සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන සමග සම්බන්ධීකරණයෙන් කඩිනම් පියවරගන්නා මෙන් සියලු විශ්වවිද්‍යාල වෙත දැනුම් දී ඇති බව මහාචාර්යවරයා කීය.
 
එමෙන්ම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්ය මණ්ඩලයේ වයස අවුරුදු 30 ට වැඩි හා අඩු දෙපිරිසටම එන්නත් දෙකම දී අවසන් කර තිබේ. ඉදිරි වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයින් බඳවා ගැනීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී. මේ සඳහා කාර්ය මණ්ඩලය සේවයට කැඳවීම අත්‍යවශ්‍ය බැවින් විශේෂ අවසරයක් මත මෙසේ කඩිනමින් එන්නත්කරණය සිදු කළ බව මහාචාර්යවරයා සඳහන් කළේය.
 
විශ්වවිද්‍යාලවල වයස අවුරුදු 30 ට අඩු කාර්ය මණ්ඩල සහ ශිෂ්‍යයින් සඳහා ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩපිළිවෙලේ ප්‍රගතිය සම්බන්ධ සුපරීක්ෂණ ක්‍රමවේදයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සෘජු අධීක්ෂණයෙන් ක්‍රියාත්මක කරයි. මහාචාර්යවරයා ප්‍රකාශ කළේ, එම ප්‍රගතියද සැලකිල්ලට ගෙන, සෞඛ්‍ය අංශ, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් හා සෙසු අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල විවෘත කිරීමට අපේක්ෂිත බවයි. විශ්වවිද්‍යාල දැනට වසා තිබුණද අදාළ සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යයන් කිසිදු බාධාවකින් තොරව නව සන්නිවේදන තාක්ෂණික ක්‍රම ඔස්සේ ක්‍රියාත්මක වන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිව්යෝර්ක් නුවරට ළඟා වෙයි.
 
එරට වේලාවෙන් 18 වනදා ප.ව. 2.30 ට නිව්යෝර්ක්හි ජෝන් එෆ් කෙනඩි අන්තර්ජාතික ගුවන් තොටුපොළට ළඟා වූ ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා විසින් පිළිගනු ලැබිණි.
 
 “කොවිඩ් 19 - වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්න තේමා කරගනිමින් 21 වන අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇරඹේ. මහා මණ්ඩල සැසිවාරයේ විදේශ අමාත්‍ය මට්ටමේ සමුළුව හෙට පෙරවරුවේ ආරම්භ වන අතර, සමුළුවට සහභාගී වීම සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයෝ මේ වන විටත් නිව්යෝර්ක් නුවරට පැමිණ සිටිති.
 
රාජ්‍ය නායක සමුළුවේ දෙවන දින පෙරවරුවේ ජනාධිපතිතුමා සිය දේශනය සිදු කරන අතර, 23 වන දින පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වෙනිදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී සිය අදහස් දැක්වීමට අපේක්ෂා කරයි. සැසිවාරය අතරතුර ජනාධිපතිතුමා රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.
 
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ජනාධිපතිතුමා සමග සංචාරයට එක්ව සිටිති.

ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට කිසිදු අපහසුතාවකින් තොරව ස්වකීය සුවිශේෂී අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තමන් අතර මෙන්ම බාහිර සමාජය සමඟ සම්බන්ධීකරණය පිණිස කේන්ද්‍රස්ථානයක් ස්ථාපන කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මෙම කේන්ද්‍රස්ථානය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මධ්‍ය සංවර්ධන මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ බිමි මහළේ ස්ථාපනය කෙරේ. විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තන්ගේ අවශ්‍යතාවන්ට අනුරූපවන පරිදි කේන්ද්‍රස්ථානය සකස් විය යුතු ආකාරය පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහස්පෙරුම මහතා පසුගියදා (17)  විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ නියෝජිත කණ්ඩායමක් සමඟ අදහස් හුවමාරුවක නිරත විය.
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සභාපති රසාංජලී පතිරගේ මහත්මිය ඇතුළු ශ්‍රව්‍ය, දෘශ්‍ය හා වෙනත්  විශේෂ අවශ්‍යතා සහිත කිහිපදෙනෙක් ඊට සහභාගී වූහ. සහිත පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් ඔවුන් වෙතින්ම හඳුනාගනු ලැබූ අතර ඔවුන්ට භාවිත කිරීමට හැකි පරිදි සියල්ල සංවිධානය කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

 විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා පිවිසුම් මාර්ග සකස් කිරීම, සනීපාරක්ෂක පහසුකම් සැලසීම, දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් පිවිසීමේ මංතීරු ඉදිකිරීම, වාහන නතර කිරීමේ පහසුකම් ආදිය කෙරෙහි අවධානය යොමු කෙරිණි.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ යහපත පිණිස සැලසුම් කළ මේ සත්කාර්යයෙහි පෙරමුණ ගැනීම පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යවරයාට කෘතඥතාව පළ කළ විශේෂ අවශ්‍යතා සහිත ඒකාබද්ධ පෙරමුණේ සාමාජිකයෝ ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත ජනතාව උදෙසා සෑම රාජ්‍ය ආයතනයකම මෙබදු පහසුකම් සලසන ලෙස ඉල්ලීමක් කළහ.

වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව කොවිඩ් 19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි
 
අවුරුදු 12ට වැඩි ආබාධ සහිත දරුවන් සඳහා ද ෆයිසර් එන්නත්කරණය සිදුකිරීමට ද  තීරණය වී ඇත.

ගෝලීය කොවිඩ් ව්‍යසනය මැද මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා පද්ධතිය වඩාත් ශක්තිමත් කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි
මෙමගින් ප්‍රාථමික,ද්විතීයික හා තෘතීයික රෝගී සත්කාර සේවා සැපයීම තවදුරටත් වඩා ශක්තිමත් කෙරෙන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.
මෙවර ජාත්‍යන්තර රෝගී සුරක්ෂිතතා දිනය වෙනුවෙන් අද (17) පැවති ජාතික උත්සවයේදී අමාත්‍යවරයා මේ බව කීය. මෙම සැමරුම් උත්සවය කාසල් වීදියේ කාන්තා රෝහල් පරිශ්‍රයේ පිහිටි සෞඛ්‍ය ආරක්ෂණ, ගුණාත්මක හා සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලයේදී පැවැත්විණි. ඒ සඳහා අමාත්‍යවරයා සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමින් මේ බව කීය.
මෙවර ජාත්‍යන්තර රෝගී සුරක්ෂිතතා දින තේමාව වනුයේ මාතෘ ආරක්ෂාව සහ අලුත උපන් බිලිඳුන් රැක බලා ගැනීමයි. මෙයට සමගාමීව ඖෂධ භාවිතයේදී සිදු වන වැරදි රෝගී සුරක්ෂිතතාවයට ප්‍රමුඛ ගැටලුවක් බව හඳුනාගනිමින් ඒ සඳහා වන පිළියම් ලෙසින් ක්‍රියාකාරී සැලැස්මක් ඇතුළත් අත් පොතක් මෙහිදී එළි දක්වනු ලැබීය. තවද මෙයට සමගාමීව පැවති සෞඛ්‍ය කාර්ය මණ්ඩල දිරිගැන්වීමේ තරඟාවලියේ සහතික පත් ප්‍රදානයද අද සිදු විය.
වර්තමානයේ මෙරට රෝහල් පද්ධතිය තුළ රෝගීන්ගේ ආරක්ෂාව හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමට විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ අනුව සියලු රෝහල් වල ගර්භණී හා ප්‍රසව ඒකක වලට අදාළ වන පූර්ව ප්‍රසව වාට්ටු සහ සායන, සූතිකාගාර හා පසු ප්‍රසව වාට්ටු වල තත්ත්වයන් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී කීය. රට තුළ ගෝලීය වසංගතයක් පවතින මොහොතක මාතෘ හා නව ජන්ම මරණ අනුපාතය අඩු වීම තුළින් මේ බව පැහැදිලි වන්නේ යැයිද අමාත්‍යවරයා කීය.
එමෙන්ම සෞඛ්‍ය පද්ධතිය සඳහා මානව සම්පත්, යටිතල පහසුකම් හා නවීන තාක්ෂණික උපකරණ සැපයීම වැඩිදියුණු කිරීම මේ සඳහා ප්‍රබලව බලපානු ලැබ ඇති බවද ඒ මහතා මෙහිදී කීය. විශේෂයෙන් රජය මෙම සම්පත් සම්පාදනය තුළින් මාතෘ හා නව ජන්ම සත්කාර සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ක්‍රියා කරන බවද හෙතෙම කීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා , මෙරට රජය මුළුමනින්ම රෝගීන් සඳහා ඉහළ අවධානයකින් ඉහළ සේවාවක් සැපයීමට කැප වී සිටිනවා. එම සේවාවන් සැපයීමේදී සීමා සහිත සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ මූල්‍ය අර්බුද වලට විසඳුම් සෙවීමට රජය කැප වී සිටිනවා. සෞඛ්‍ය සේවාවේ සෑම ආයතනයක් හරහාම එම සේවාව ගුණාත්මකව හා ආරක්ෂිතව ලබා දීම තහවුරු කිරීම උදෙසා පිහිටුවා ඇති මාර්ගෝපදේශ තුළින් අත් කර ගෙන ඇති ප්‍රතිඵලයන් අප අත් දැක ඇත්තෙමු. රටෙහි රෝහල් පද්ධතියේ සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීම නිසා ආසාදිත අනුපාතය හා මාතෘ මරණ අනුපාතය අඩු වී තිබීම තුළින් එය මනාව පැහැදිලි වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ආරක්ෂණ,ගුණාත්මක හා සුරක්ෂිතතා අංශය, ජාතික සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය සඳහා වූ වැඩසටහන් වල කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. එමගින් මූලික රෝහල් හා ප්‍රාදේශීය රෝහල් පද්ධති දක්වා එම වැඩසටහන් ගලා යාමක් හා ඒවා තක්සේරු කිරීමක් සිදු වේ. ‍
මෙම ජාතික වැඩසටහන සෞඛ්‍ය ආරක්ෂණ,ගුණාත්මක හා සුරක්ෂිතතා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේවානි රණවීර මහත්මියගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබුණි. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය අලාකා සිං,සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග සහ වෛද්‍ය සුනිල් ද අල්විස් යන මහත්ම මහත්මීන් සහභාගි විය.

වසංගතය නිමා වී වසන්තය එනවා සත්තයි

වසංගතය නිමා වී වසන්තය එනවා සත්තයි

Posted by Ministry of Mass Media on Friday, 17 September 2021

ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය එක්ව කෝවිඩ් 19 වසංගත රෝග ව්‍යාප්තිය වැළැක්වීමේ කාර්යය සඳහා තවදුරටත් රටේ සියලු ජනතාව දැනුවත් කිරීම හා දායක කර ගැනීමේ අරමුණින් 'වසංගතය නිමාවී වසන්තය එනවා සත්තයි' නමින් ඒකාබද්ධ සජීවී විද්‍යුත් විකාශයක් 2021.09.19 (ඉරිදා) පෙ.ව.10 - 11.00 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම අවස්ථාව සඳහා විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා, මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සහ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා සහභාගිවීමට නියමිතය.

විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර එම ප්‍රතිඵල අනුව පැය කිහිපයන් තුළ ඔවුන්ව කඩිනමින් නිවෙස් කරා යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (16 ) පැවති සාකච්ඡාවකදී තීරණය විය.

 
ඒ අනුව දැනට කටුනායක ගුවන්තොටුපළෙහි ස්ථාපිත කර ඇති රසායනාගාරය තුළදී එම පී.සී.ආර්. පරීක්ෂණ කඩිනමින් සිදු කර හෝටල් නිරෝධායනයකින් තොරව ඔවුන්ව නිවෙස් කරා යැවීමට මෙමගින් අපේක්ෂා කෙරේ.
 
සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විය. සංචාරක හා ගුවන්සේවා  අමාත්‍ය ප්‍රසන්න රණතුංග , ගුවන් තොටුපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විය.
 
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරක කර්මාන්තය නගා සිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව පැවැත්විණි.
 
ඉදිරි සති දෙක තුළදී අදාළ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර ඒ අනුව ගුවන්තොටුපළ පරිශ්‍රයේ සථාපිත කර ඇති රසායනාගාරයේ පහසුකම් ඉහළ නැංවීමටද පියවර ගැනේ.
 
එන්නත් දෙකම ලබා ගෙන ඇත්නම්, පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල වලින්ද ආසාදිතයෙකු නොවන්නේනම් ඔවුනට කඩිනමින් නිවෙස් කරා යාමට හැකි වන අතර මෙමගින් අනවශ්‍ය ලෙස කාලය හා මුදල් වැය වීමක් සිදු නොවේ.
 
මේ අතර පැය තුනක පමණ කාලයක් තුළ එවැනි පරීක්ෂණ වාර්තා ලබාදිය හැකි බවත්, ඒ අනුව එම කාලය තුළ පුද්ගලයින් 600 ක් පමණ පරීක්ෂණයනට ලක් කළ හැකි බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේය.
 
රටේ පවතින සෞඛ්‍ය තත්ත්වයන් විශ්ලේෂණය කරමින් සංචාරක ව්‍යාපාරය ඇතුළු රටට අත්‍යවශ්‍ය ක්ෂේත්‍රයන් සඳහා යම් යම් ලිහිල් වීම් සිදුවිය යුතු බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. ලෝක ප්‍රවණතාවය මෙන්ම මෙරට ප්‍රමුඛ ආදායම් මාර්ගයක් වන සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ හා නීති රීති වලට අනුගත වෙමින් ක්‍රියාත්මක කළ හැකි උපරිම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී කීය. රටේ ආසාදිතයින් සංඛ්‍යාව,මරණ සංඛ්‍යාව,ඔක්සිජන් භාවිතය යන කරුණු වලට සාපේක්ෂව යම් යම් ලිහිල් කිරීම් සිදු කිරීමට මෙමගින් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.
 
ජනතාවට අපහසුකම් අවම වන පරිදි එහෙත් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි අයුරින්ම ක්‍රියාත්මක වන ලෙසින් කොවිඩ්ඩ් පාලනය සිදු කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී වැඩිදුරටත් කීය.
 
එහිදී අදහස් දැක්වූ සංචාරක හා ගුවන්සේවා  අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා මෙසේ කීය. කොවිඩ් පාලනය කරමින් ලොව බොහෝ රටවල් මේ වන විට සංචාරක ක්ෂේත්‍රය ගොඩනැංවීමට තරඟකාරීව මුහුණ දී සිටිනවා. එම තරඟකාරීත්වයට එක් වීමට නම් රටක් ලෙස සංචාරක ක්ෂෙත්‍රයට අවශ්‍ය තවත් පහසුකම් එක් කළ යුතුය. මාලදිවයින , තුර්කිය වැනි රටවල් මේ වන විටත් සංචාරක ආකර්ෂණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කර ඇති අතර , අප එම ක්‍රමවේද හඳුනාගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සංචාරක ව්‍යාපාරය ගොඩ නැංවීම සඳහා කටයුතු කළ යුතුය.
 
සංචාරක කර්මාන්තයට අදාළව දැනට ත්‍රියාත්මක කරන බොහෝ සෞඛ්‍ය මාර්ගෝපදේශ එන්නත්කරණ වැඩපිළිවෙල මෙරටට හඳුන්වා දීමට පෙර ක්‍රියාත්මක කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ බව මෙහිදී පෙන්වා දුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඒ අනුව එම මාර්ගෝපදේශ පිළිබඳව යළි සලකා බලන්නැයි ඉල්ලා සිටියේය.
 
ගුවන්තොටුපළෙහි මේ වන විට පවතින ගැටලු හඳුනාගනිමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට තීරණය කළ බවත් රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා මෙහිදී කීය.
 
ගුවන්තොටුපළ පරිශ්‍රයේ සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ ඇතුළු කටයුතු සඳහා උපරිම පහසුකම් සැලසීමට පියවර ගන්නා බවත් විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට කිසිදු අවහිරතාවයකින් , අපහසුතාවයකින් තොරව නිවෙස් කරා යාමට අවශ්‍ය වැඩපිළිවෙල එමගින් උපරිමයෙන් ක්‍රියාත්මක කරන බව  අමාත්‍යවරයා කීය.
 
මේ අතර සංචාරක , ගුවන් සේවා ඇතුළු ක්ෂේත්‍රයන්හි ඇතිවන ගැටලු පිළිබඳව හා ඇතිවන තත්ත්වයනට සාපේක්ෂව සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳව සෞඛ්‍ය අංශ හා එක්ව සති දෙකකට වරක් සාකච්ඡා කිරීමට මෙහිදී තීරණය විය.
 
මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල්  වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර) වෛද්‍ය සුදත් ධර්මරත්න , සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන ‍සෞඛ්‍ය සේවා) වෛද්‍ය එස්.එම්.ආර්නල්ඩ්  යන මහක්වරුන් සහභාගි විය. 

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter