නවතම පුවත්

මහ බැංකුව සය මාසික ආර්ථික ප්‍රතිපත්තිය එළිදක්වයි

  • ව්‍යාපාරිකයන්ට ණය සහන දෙන්න කෝටි 1,500ක්
  • දේ්පත් කර ගැනීම මාස 6කට තහනම්
  • පීඩාවට පත් වූ ණය හිමියන්ටත් සහන

අත්‍යවශ්‍ය නොවන හා හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීමේදී බැංකුවලින් ණයවර ලිපි නිකුත් කරන්නේ නම් එහි මුළු වටිනාකමට සමාන විදේශ මුදල් ප්‍රමාණය බැංකුවේ තැන්පත් කළ යුතු බවට පනවා තිබූ නීතිය ඊයේ (01) සිට අහෝසි කෙරිණි.

රථවාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් පනවා ඇති බාධා ඉවත් කිරීම සමාලෝචනය කරන බවත් ඉදිරි මාස හයේ ආර්ථික පෙර දැක්ම ඉදිරිපත් කරමින් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.

මේ ක්‍රියාමාර්ගය ඇතුළු කෙටිකාලීන කාල පරිච්ඡේදයක් තුළ ශ්‍රී ලංකා ආර්ථිකය නවෝදයක් කරා ගෙන යන විසඳුම් සහ සහන යෝජනා 20ක් අධිපතිවරයා ඉදිරිපත් කළේය.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බිඳ වැටුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසායකයන් මුහුණ දෙන බැංකු ණය සහ පොලී පිළිබඳ ගැටලුවට සහනයක් දීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් කෝටි 1500ක මුදලක් වෙන් කරන බව ද අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

මේසා විශාල මුදල එම පිරිසට සහයක් ලැබෙන අයුරින් කෙසේ යොදා ගත යුතු දැයි යන කරුණු පැහැදිලි කළ අදාළ බැංකු වෙත ඉදිරි සති 2, 3 ඇතුළත උපදෙස් දක්වා යවන බවද අධිපතිවරයා කීය.

කොවිඩ් නිසා බිඳ වැටී ඇති ව්‍යාපාර හා කර්මාන්ත හිමිකරුවන් නියමිත පරිදි ණය වාරික හා පොලී ගෙවීම් සිදු කොට නැති නම් බැංකු විසින් ඒ අයගේ දේපොළ පවරා ගැනීමේ නීති ක්‍රියාත්මක කිරීම මාස හයකට අත්හිටුවනු ලැබේ.

 

රථ වාහන රැගෙන යෑමේ කටයුතු ඉදිරි මාස හයක කාලය තුළ නොකරන ලෙසද බැංකු හා මූල්‍ය ආයතනවලට දැනුම් දෙන බවද කබ්රාල් මහතා පැවසීය.

බිදවැටී ඇති මූල්‍ය ආයතන 6ක් නැවත පුනර්ජීවනය කර පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව පැහැදිලි කළ අධිපතිවරයා ඒ සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බවද කීය. විදේශ විනිමය ගනුදෙනු කරන පෞද්ගලික මූල්‍ය ආයතන 27ක දැනට අහෝසි කර ඇති බලපත්‍ර ඉවත් කර නැවත ඒවාට මූල්‍ය ගනුදෙනු කිරීමට අවස්ථාව සලසා දෙනු ඇත.

මෙරට ආර්ථිකය මුහුණ දෙන විදේශ විනිමය හිඟය ඇතුළු ආර්ථික අභියෝග රාශියක් එකින් එක ගෙන හැර දැක් වූ අධිපතිවරයා ඒ සියල්ල ජය ගැනීමට රජයත්, මහ බැංකුවත්, සමස්ත රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාත් තම තමන්ගේ කාර්යභාරය මනාව හඳුනා ගෙන අවංකව, විනයගරුකව ක්‍රියා කරන්නේ නම් හැකි වන බව අවධාරණය කළේය.

පිටරටවලින් මෙරටට රැගෙන එනු ලබන විදේශ විනිමය හැකි තරම් බැංකු ක්‍රමය මඟින්ම කරන්නැයිද ඒ සඳහා ඇති අනේවාසික විදේශ විනිමය ගිණුම් (RFC) සම්බන්ධයෙන් කිසිදු සංශෝධනයක් ඉදිරියේදී නොකරන බවට අධිපතිවරයා සහතිකයක් දුන්නේය. ඇතැම් දෙනා මේ ගිණුම් සම්බන්ධයෙන් හෝ එහි වෙනස්කම් කරාවි යැයි හෝ සිතා අවිශ්වාසයක් ඇති කර ගත යුතු නැතැයිද අධිපතිවරයා කීය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ කෙටි කාලීන නවෝදයක් ඇති කිරීමට මහ බැංකුව ගන්නා විසඳුම් 20ක් මෙහිදී ඉදිරිපත් කළ අධිපතිවරයා, මේවා සියල්ල එකින් එක ජය ගන්නා පරිදි ඉලක්කම් හා ඉලක්ක සහිතව එළි දැක්වීම විශේෂත්වයකි.

මේ අවස්ථාවට මුදල් මණ්ඩලයේ සාමාජිකයන්, නියෝජ්‍ය අධිපතිවරුන්, සහකාර අධිපතිවරුන්, මහ බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය හා රජයේ හා පෞද්ගලික අංශයේ ප්‍රධාන පෙළේ නියෝජිතයෝ සහභාගි වී සිටියහ.

නිදහස් කර ගත නොහැකිව වරායේ සිරවී තිබූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් කන්ටේනර් 500ත් 600ත් අතර ප්‍රමාණයක් මේ දක්වා නිදහස් කර ගැනීමට හැකි වූ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරන්නන්ගේ වෙළෙඳ සංගමයේ ලේකම් ජී. නාදන් මහතා ඊයේ (30)  ප්‍රකාශ කෙළේය.

මහ බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 50ක මුදල රාජ්‍ය අංශ බැංකු දෙක හරහා තම සංගමයේ සාමාජිකයන්ගේ ඉල්ලීම් මත ඒ ඒ බැංකුවලට ලැබී ඇති බවත් ඒ නිසා මෙලෙස කන්ටේනර් නිදහස් කර ගත් බවත් නාදන් මහතා කීය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසිදු හිඟයකින් හා ප්‍රමාදයකින් තොරව බෙදා හැරීමට ඒ අනුව ඉඩ ලැබෙන බවද ලේකම්වරයා සඳහන් කෙළේය.

 

කොළඹ හතරවැනි හරස් වීදිය පාදක කොට ගනිමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වන තම සංගමයේ වෙළෙඳුන්ගෙන් රට පුරා භාණ්ඩ බෙදා හැරීමට පිට පළාත්වල වෙළෙඳුන් ක්‍රියා කරන බවද නාදන් මහතා විස්තර කෙළේය. අද (1) සිට නැවත වතාවක් රට විවෘත කරන නිසා වෙළෙඳාම් කටයුතු ක්‍රමිකව වර්ධනය වනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කෙළේය.

කෙසේ නමුත් කොවිඩ් පාලන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුගතව සිය වෙළෙඳාම් කරන්නැයි සංගමයේ සාමාජිකයන්ට දැනුම් දී ඇතැයිද ලේකම්වරයා පැවසීය.

අන්තර්ජාතික ගුවන් සබඳතා තවදුරටත් ව්‍යාප්ත කරමින් ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමට ගුවන් සමාගම් 7ක් කැමැත්ත පළ කර තිබේ.

මේ වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාව හා ඍජු ගුවන් සේවා ඇරඹීමට එම ගුවන් සමාගම් 7 සූදානමින් සිටින බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

මේ අතුරින් ගුවන් සමාගම් 5ක් දැනටමත් කටුනායක ගුවන් තොටුපොළට සිය මෙහෙයුම් කිරීමට එකඟත්වය පළ කර තිබෙන අතර, රුසියාවේ AEROFOLT ගුවන් සමාගම නොවැම්බර් 4 දා සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

රුසියානු ගුවන් සමාගමක් වන AZUR AIR ගුවන් සමාගම සිය කාලසටහන්ගත ගුවන් ගමන් ලබන 11 දා සිට කිරීමට නියමිත බවද සංචාරක අමාත්‍යාංශය පවසයි.

 

ඔවුන්ගේ විශේෂ ගුවන් යානා ලබන 30 දා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර, ඉතාලි NEOS ගුවන් සමාගමත්, ප්‍රංශයේ AIRFRANCE ගුවන් සමාගමත් නොවැම්බර් 1 දා සිට කටුනායක ගුවන් තොටුපොළට නව ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. බංගලාදේශ US BANGLA AIRLINES සමාගම ද නොවැම්බර් 1 දා සිට කටුනායක ගුවන් තොටුපොළට ගුවන් ගමන් ආරම්භ කිරීම සදහා සූදානමින් සිටී.

ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ ඊශ්‍රායලයේ ARKIA ගුවන් සමාගමත්, ස්විස්ටර්ලන්තයේ SWISSAIR ගුවන් සමාගමත් ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීම කෙරෙහි කැමැත්තෙන් පසුවන බවයි. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබනු ඇතැයි ඇමැතිවරයා පෙන්වා දෙයි. මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළට ගුවන් සමාගම් 16ක් ගුවන් මගී මෙහෙයුම් කරයි.

කටුනායක ගුවන් තොටුපොළට භාණ්ඩ මෙහෙයුම් කරන ගුවන් සමාගම් ගණන 8කි. ගුවන් සමාගම් 4ක් කටුනායක ගුවන් තොටුපොළට මගීන් රැගත් විශේෂ ගුවන් ගමන් කරයි.

ළමා අයිතීන් සුරැකීම සඳහා ප්‍රමුඛතාව දීම සියලුම මානව වර්ගයාගේ අතිමහත් යුතුකමකි. වැඩිහිටියන්ට එම යුතුකම මතක්කර දෙමින් සැමරෙන “ලෝක ළමා දින” සැමරුම වෙනුවෙන් සුබ පැතුම් එක්කරනුයේ ඉමහත් සතුටිනි.
ලොව ලස්සන වන්නේ දූ දරුවන්ගෙනි. එමෙන්ම රටක මෙන්ම ලෝකයේ අනාගතය රැඳී ඇත්තේ ළමා පරපුර මතය. ඔවුන්ගේ ලෝකය වැඩිහිටියන්ගේ ලෝකයට වඩා අතිශය සුන්දරය. ඒ මිහිර ඔවුන්ට බාධාවකින් තොරව හිමිකර දීම වැඩිහිටියන් සතු වගකීමකි.
මේ බව තේරුම් ගනිමින් රජයක් ලෙස අපි හැම විටම ළමා අයිතිවාසිකම් තහවුරු කිරීමට කැපවී සිටිමු. ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක් අනාගතයේ අඳුරු දුරලනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඔස්සේ ද අපි ඊට ප්‍රතිඥා දී ඇත්තෙමු.
ඒ අනුව පසුගිය කාලය තුළ පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ හා ළමා මෙහෙකාර සේවය සමාජයෙන් ඈත් කිරීම සඳහා වූ අණ පනත් කිහිපයක් සංශෝධනය කිරීමට ලැබීම අප ලැබු ජයග්‍රහණයකි.
කොවිඩ් වසංගතය හේතුවෙන් ලොව අන් රටවල මෙන්ම අපේ රටේ දරුවන්ගේ ළමා කාලය අතිශය සංකීර්ණ වී තිබේ. නිදහසේ දුව පැන යෑමේ නිදහස අහිමිව නිවෙස්වලට කොටුවීම දරුවන්ට පීඩාවක් ගෙන දෙන බව නොරහසකි.
ඒ නිසා ගෝලීය වසංගතයක් පවතින මෙවන් කාලයක දරුවන්ව නිවසේ දී මානසික පීඩාවන්ට ලක්නොවන අයුරින් රැකබලා ගැනීමට උනන්දු වන්නැයි දෙමාපිය වැඩිහිටියන්ගෙන් මා ඉල්ලා සිටිමි.
දරුවන් සඳහා අවශ්‍ය කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත්කරණය දැනටමත් රජය විසින් ආරම්භ කර ඇති අතර විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ප්‍රමුඛත්වය දෙමින් එය කඩිනමින් අවසන් කිරීම රජයේ අපේක්ෂාවයි.
කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ලෝක ළමා දිනය නිමිත්තෙන් ළමා නිර්මාණ එළිදැක්වීමට අවස්ථාව සළසා තිබීම ප්‍රශංසනීය වේ.
“සියල්ලට පෙර දරුවන්” තේමාවෙන් ශ්‍රී ලංකාව මෙවර අර්ථවත්ව සමරන ලෝක ළමා දින අභිමතාර්ථ සාර්ථක කර ගැනීම උදෙසා කැපවන්නැයි ඉල්ලා සිටිමි.
අපි දරුවන්ගේ ලෝකය ලස්සන කරමු.

කල් ඉකුත්වීමට නියමිත රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව දිර්ඝ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි
 
මේ අනුව 2021 වසරේ අප්‍රේල් මස 1 වනදායින් ආරම්භ වී සැප්තැම්බර් 30 වනදා කල් ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාල සීමාව කල් ඉකුත්වීමේ දිනයේ සිට වසරකින් දීර්ඝ කළ බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.
 
 මේ වසරේ ඔක්තෝබර් 01 වනදායින් ආරම්භ වී 2022 මාර්තු 31 වනදායින් කල් ඉකුත්වීමට නියමිතව තිබූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය කල් ඉකුත්වීමේ දින සිට මාස 6කින් දීර්ඝ කිරීමට ද තීරණය කළ බව වාර්තා වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෘත්තීමය භාවයට කැළලක් ඇති වන අන්දමින් වගකීම් විරහිතව නොසැළකිලිමත්ව කටයුතු කරමින් පුවත් කතුවරු සහ මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමට පියවර ගත් නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙසින් විමර්ශනයක් ආරම්භකර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

මාධ්‍යවේදීන්ද ඇතුළුව මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ශ්‍රී ලංකා පොලීසිය සැම විටම ගරු කරන බවද පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කළ එම ක්‍රියාවෙන් අපහසුතාවට පත්වූ පුවත් කතුවරු ඇතුළු මාධ්‍යවේදීන්ට පොලිස් මූලස්ථානය කණගාටුවද පළකරයි.

 

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන G.S.P ප්ලස් සහනය ඉදිරියටත් ලබාදීම සම්බන්ධයෙන් මෙරට පවත්නා ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වන සාකච්ඡාවක් යුරෝපා සංගම් නියෝජිතයින් සහ ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් 28 දින අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙහිදී යුරොපා සංගමය නියෝජනය කරමින් පැමිණ සිටි නියෝජිතයින් විසින් ඔවුන් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන ආකල්ප ගැන සඳහන් කල අතර අධිකරණ ක්ෂේත්‍රයේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසා සිටන ලදී.

මෙහිදී අමාත්‍යවරයා විසින් වර්තමානයේ අධිකරණ ක්ෂේත්‍රයේ සිදු කෙරෙන නීති ප්‍රතිසම්පාදනය, අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම නඩු කටයුතු කඩිනමින් විසඳීම සඳහා අවශ්‍යයටිතල පහසුකම් දියුණූකිරීම මෙන්ම අධිකරණ ශාලා වැඩිකිරීමත් ඊට සමගාමීව විනිසුරුවන් වැඩිකිරීම, ව්‍යවස්ථා සංශෝධනය ආදී කරුණු සම්බන්ධයෙන් එහි සාධනීය තත්වය පිළිබඳව යුරෝපා සංගමයේ නිලධාරීන් හට පුලුල්ව දැනුවත් කරන ලදී.

ඉන් අනතුරුව යුරොපා සංගමයේ නිලධාරීන් මෙරට තුළ පවතින වත්මන් තත්වය හා රජය විසින් ගෙනයන වැඩපිළිවෙලෙහි ප්‍රගතියපිළිබඳ යහපත් ප්‍රතිචාරයක් දැක්වූ අතර, ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය කෙරෙහි සෑහීමකට පත්වන බවත් ඉදිරියට ලබාදිය හැකි සියලු සහන සම්බන්ධයෙන් ධනාත්මකව සලකා බලා කටයුතු කරනබවත් සඳහන් කරන ලදී.

මෙම අවස්ථාවට යුරෝපා සංගමය වෙනුවෙන් නිලධාරීන් කිහිප දෙනෙකු, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්නෙ, ගරු අධිකරණ අමාත්‍යතුාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග මහතා සහ අධිකරණ අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් කිහිප දෙනෙකුද එක් විය.

දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (01) දිනයේ ඉවත් කළ ද පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි
 
මේ අනුව බස්රථ හෝ දුම්රිය පළාත් අතර සංචරණයක් සිදුනොවන නොවෙයි
 
තවද දුම්රිය සේවා සති දෙකක කාලයක් ක්‍රියාත්මක නොකරන ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලබාදී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය

ගරු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා කතෘ සංසදය සමග සාකච්ඡාවක්  අද  දින (30)  අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා කතෘ සංසදය සමඟ සුහද හා ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වාගෙනයාමට, ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන විවිධ ව්‍යාපෘති සඳහා සහයෝගය උපදෙස් හා මඟ පෙන්වීම ලබා ගැනීමේ අරමුණින් මෙම රැස්වීම පැවැත්වුණි.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයයේ ලේකම් ජගත්  පී. විජේවීර මහතා  ශ්‍රී ලංකා කතෘ සංසදයේ සභාපති සිරි රණසිංහ මහතා ඇතුළු කතෘවරුන් රැසක් සහභාගි විය.

සෞඛ්‍ය අමාත්‍යාංශය දී ඇති නිර්දේශය පරිදි නුදුරේදීම පාසල් ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සූදානම් කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

කෙසේ වෙතත් පාසල් ආරම්භ කිරීමේ දින වකවානු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නැති බවද ඒ මහතා කීය.

පාසල් ආරම්භ කළ වහාම දරුවන්ට අධ්‍යාපනය ලබා දීම ආරම්භ කළ නොහැකි බව කී ලේකම්වරයා, දීර්ඝ කාලයක් නිවෙස්වලට වී මාර්ගගත ක්‍රමය යටතේ පමණක් අධ්‍යාපනය ලැබූ සිසු දරු දැරියන්ගේ සුවිශේෂ ගැටලු හඳුනාගැනීම හා ඔවුන්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීම පළමු කාර්යය වියයුතු බවද පෙන්වා දුන්නේ ය.

එසේම, පළමුව ආරම්භ කිරීම සුදුසු බවට සෞඛ්‍ය අංශවල නිර්දේශය ලැබී තිබෙන පාසල් සතියකට පමණ පෙර සිට ඒ සඳහා සූදානම් කිරීම කළ යුතු බවද කීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශ අනුව, අදියර 3ක් යටතේ පාසල් නැවත ආරම්භ කිරීමට නියමිත අතර, පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල්වල 1 සිට 5 දක්වා ශ්‍රේණි පළමුව ආරම්භ කිරීමට නියමිත ය. දෙවැනි අදියර යටතේ සිසුන් 200ට වැඩි පාසල්වල 1 සිට 5 දක්වා ශ්‍රේණි ආරම්භ කිරීමටත්, සිසුන් 100ට අඩු පාසල්වල සියලු ශ්‍රේණි ආරම්භ කිරීමටත් නියමිත ය. එසේම, තුන්වෙනි අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල්වල 10,11,12 ශ්‍රේණි ආරම්භ කිරීමට හා රෝග ව්‍යාප්තිය සලකා බලා සියලුම ශ්‍රේණි ආරම්භ කිරීමටත් නියමිත ය.

මේ අතර පාසල් නැවත ආරම්භ කිරීම හා පළාත් පාසල්හි පරිපාලන ගැටලු සම්බන්ධයෙන් මෙන්ම, පාසල් නැවත ආරම්භ කිරීම හා ගුරු තුලනය සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත් දා සාකච්ඡාවක ද නිරත විය. සෞඛ්‍ය අමාත්‍යාංශය එවා ඇති පාසල් නැවත ආරම්භ කිරීමේ මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම හා පළාත්, කලාප හා කොට්ඨාස පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු කැඳවා පාසල් පෙර සූදානම් කටයුතු පිළිබඳ ද එහිදී සාකච්ඡා විය.

සිතාරා සේනානි

වාහන ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය ආනයනය සඳහා පනවා ඇති තහනම ක්‍රමක් ක්‍රමයෙන් ලිහිලි කිරීමට බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මේ පිළිබඳ තීරණය දෙසැම්බර් මාසයේදී ගන්නා බවය.

ඉන්ටර්නෙට් ඔස්සේ ඊයේ (සැප්. 26) පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

"වාහන පිළිබඳව අපි තීරණයක් ගන්නවා දෙසැම්බර් මාසයේ. දැනට මේ තත්ත්වයේ ම සිදු වී ගෙන යයි දෙසැම්බර් මාසය වෙනකම්. ඊට පස්සේ අනෙකුත් සාධක දිහා බලලා අපිට දෙසැම්බර් මාසය වෙනකොට ආනයනය පිළිබඳව විශේෂයෙන් ම වාහන ආනයනය, අනෙක් ආනයනය ගැන දාලා තිබෙන සීමාවන් අපි දිගින් දිගට ම පවත්වා ගෙන යන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. 

එදා ආනයනකරුවන් හම්බවෙච්ච වෙලාව මම කිව්වා වැඩි තොග ගහගන්න යන්න එපැයි කියලා. මොක ද අවශ්‍ය වන සීමාවලට ආනයනය කර ගන්න කියලා. නැත්තම් සමහරක් අය ආනයනය කරලා ඒ බඩු, භාණ්ඩ මෙහෙ තියාගෙන ඉන්නේ ඩොලර් තොග ගහගන්නවා වගේ. මොක ද ඒගොල්ලෝ හිතන්නේ තවදුරටත් රුපියල අවප්‍රමාණය වෙයි. මේක 250ට යයි කියලා. එහෙම හිතාගෙන වැඩිපුර අරන් එනවා. එහෙම නොකර අවශ්‍ය ප්‍රමාණයට අරගෙන කටයුතු කරන්න. එතකොට මේ සමනය අපට ගේන්නට පුළුවන් පහසුවෙන්. 

ඒ නිසා එතෙන්ටත් අපි ඒ උපදෙස ලබා දීලා තියෙනවා. ඒ උපදෙස ටිකක් හොඳින් ම ලබා දීලා තියෙන්නේ. ඒක කෙරුවහ ම අස්ථාවරභාවය තමයි සිදු වෙන්නේ. අර මම කිව්වේ බෝට්ටුවේ යනකොට එක්කෙනෙක් දෙන්නෙක් වැඩිය උඩපනින්න නරකයි කියලා. ඒ අය ‍හොඳින් ගියොතින් බෝට්ටුව බොහො ම සන්සුන්ව ගෙනියන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ අපි කටයුතු කරන්නට අවශ්‍යයි. අපි ඒකට උපදෙස් ලබා දෙනවා. ඒ පිළිබඳව අපේ සැලැස්මෙත් අපි යම් උපදෙස් ලබා දෙනවා ඒ සියලු ම පාර්ශවකරුවන්ට, අපනයනකරුවන්ට, ආනයනකරුවන්ට.

වාහන පිළිබඳව එකපාරට ම  ඕපන් කෙරුවොතින් නැවත වරක් සෑහෙන ලොකු පීඩනයක් එන්න පුළුවන්. ඉතින් ඒ පීඩනය මේ වෙලාවේ දරගන්නට බැරි වෙනවා. එය දරාගැනීම සඳහා යම්කිසි කාලසීමාවක් අවශ්‍යයි. ඊට පස්සේ අපිට ක්‍රමක් ක්‍රමයෙන් ලිහිල් කරන්න පුළුවන් වේවි. ඒකත් අපි කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒක නිසි වෙලාවට."

කොරෝනා වසංගතයෙන් නැවතී ඇති ගමේ සංවර්ධන කටයුතු ලබන වසරේ සිට නැවත ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළේය. 
 
මෙවර අය වැයෙන් පලාත් පාලන ආයතන නියෝජනය කරන මහජන නියෝජිතයින්ට රුපියල් ලක්ෂ 30 බැගින් ලබා දීමටත් එක් එක් ග්‍රාම නිළධාරි වසම් සදහා රුපියල් ලක්ෂ 40 ක් බැගින් ලබා දීමටත් තීරණය කර අති බවද අමාත්‍යවරයා සදහන් කෙළේය.
 
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 100 ක් බැගින් සංවර්ධනය සදහා මෙවර අය වැයෙන් මුදල් ලබා දීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තිරණය කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
 
මාවනැල්ල මැතිවරණ කොට්ඨාසයේ පලාත් පාලන ආයතනවල නියෝජිතයින් සමඟ පැවැති සාකචිඡාවකදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කෙළේය. මාවනැල්ල මැතිවරණ කොට්ඨාසයට පමණක් ලබන වසරේ දී සංවර්ධන කටයුතු සදහා රුපියල් ලක්ෂ 1000 ක් ලැබෙන බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙම සාකචිඡාවට මාවනැල්ල මැතිවරණ කොට්ඨාසයේ පලාත් පාලන ආයතනවල සභාපතිවරු හා නියෝජිතයින් සියලු දෙනාම සහභාගි වී සිටියහ.
 
මෙහිදී අදහස් දැක් වු පලාත් පාලන ආයතනවල නියෝජිතයින් මේවන විට තමන් මුහුණ දී සිටින ගැටලු ද ඉදිරිපත් කළේය.
 
මෙහිදී අදහස් දැක්වු අලුත්ගමගේ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වත්මන් රජය බලයට ගෙන ඒමට කැප වී ක්‍රියා කළ පලාත් පාලන ආයතනවල නියෝජිතයින් මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් රජයට අවබෝධයක් ඇති බවත් ගත වු වසර එකහමාරක කාලය තුල කොරෝනා වසංගතය නිසා එයින් ජනතාව මුදවා ගැනීමට රජය ප්‍රමුඛත්වය ලබා දුන්නත් ලබන වසරේ ජනවාරි මාසයේ සිට ගමට වැඩ කරන්න පලාත් පාලන ආයතනවල නියෝජිතයින්ට ශක්තිය ලබා දීමට රජය තීරණය කර ඇති බවය.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමාගේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් කරන්නට කැප වී කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී පලාත් පාලන නියෝජිතයින් ගෙන් ඉල්ලා සිටියේය. මෙම සාකචිඡාවට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න සමඟ කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්මන්ත්‍රීවරුන්  කීප දෙනෙකුද සහභාගි වී සිටියහ.
 

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter