නවතම පුවත්

කෝවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනේ පිට පිට දෙවැනි සතියටත් ශ්‍රී ලංකාව ලෝකයේම පළමුවැනි ස්ථානයට පත්ව තිබේ. එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව පසුගිය සතියේදී ද ලෝකයෙන්ම පළමු ස්ථානය ගෙන තිබිණි. මෙරට ජනගහනයෙන් සියයට එකොළහයි දශම හයක ප්‍රතිශතයකට පසුගිය සතියේදී පමණක් එන්නත දී ඇති බවට ගෝලීය කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක වාර්තා ඉදිරිපත් කරන අවර් වර්ල්ඩ් ඉන් ඩේටා වෙබ් අඩවියේ දත්ත විශ්ලේෂණ අංශයේ ප්‍රධානි එඩ්වඩ් මැතිව් ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් එහි සඳහන් කර තිබේ.

අවර් වර්ල්ඩ් ඉන් ඩේටා වෙබ් අඩවියේ වාර්තාවට අනුව නවසීලන්තය හා කියුබාව පිළිවෙළින් දෙවැනි සහ තුන්වැනි ස්ථානයේ පසුවන අතර, ඉක්වදෝරය සහ පැනමා රාජ්‍ය සිව් වැනි සහ පස් වැනි ස්ථානවල පසු වේ.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 1,416,691ක්, දෙවැනි මාත්‍රාව 888,441ක්, සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 10,384,291ක්ද දෙවැනි මාත්‍රාව 8,115,632ක්ද, ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව 159,088ක්ද දෙවැනි මාත්‍රාව 43,450ක්ද, ෆයිසර් එන්නත් පළමු මාත්‍රාව 395,945ක්ද දෙවැනි මාත්‍රාව 236,556ක්ද මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 772,741ක්ද දෙවැනි මාත්‍රාව 710,410ක්ද ඊයේ (9) අලුයම 6.00 වන විට දී ඇත.

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට කෝටිය ඉක්මවා ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. 

 
ඒ අනුව පුද්ගලයින් 10,211,537 දෙනෙකුට කොවිඩ්-19 මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
 
මේ අතර කෝවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනේ පිට පිට දෙවැනි සතියටත් ශ්‍රී ලංකාව ලෝකයේම පළමුවැනි ස්ථානයට පත්ව තිබේ. එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව පසුගිය සතියේදී ද ලෝකයෙන්ම පළමු ස්ථානය ගෙන තිබිණි. මෙරට ජනගහනයෙන් සියයට එකොළහයි දශම හයක ප්‍රතිශතයකට පසුගිය සතියේදී පමණක් එන්නත දී ඇති බවට ගෝලීය කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක වාර්තා ඉදිරිපත් කරන අවර් වර්ල්ඩ් ඉන් ඩේටා වෙබ් අඩවියේ දත්ත විශ්ලේෂණ අංශයේ ප්‍රධානි එඩ්වඩ් මැතිව් ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් එහි සඳහන් කර තිබේ.

තිරසර කෘෂිකර්මාන්තයක් සදහා වන අමාත්‍යාංශයීය කාර්ය සාධක බලකාය සදහා සාමාජිකයින් පත් කිරිම  ඊයේ (9) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු විය. 

 
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් 2021.07.26 වන දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව මෙම පත් කීරිම් සිදු කරන ලද්දේ ද කෘෂිකර්ම අමාත්‍යවරයා විසිනි.
 
සබරගමුව විශ්ව විද්‍යලයේ මහචාර්ය පී.අයි.යාපා මහතා ⁣මෙම බලකායේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. සාමාජිකයින් 14 දෙනෙකුගෙන් යුත් මෙම කාර්ය සාධන බලකායේ සෙසු සාමාජිකයින් වන්නේ මහාචාර්ය උදිත කේ. ජයසිංහ (ලේකම් - කෘෂිකර්ම අමාත්‍යාංශය), මහාචාර්ය මාලක රන්තිලක (පේරාදෙණිය විශ්ව විද්‍යලය), මහාචාර්ය කේ.එස්.හේමචන්ද්‍ර (පේරාදෙණිය විශ්ව විද්‍යලය), මහාචාර්ය චන්ද්‍රිකා නානායක්කාර (කොළඹ විශ්ව විද්‍යලය), මහාචාර්ය ගාමිණි ⁣සේනානායක (සභාපති - ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව), මහාචාර්ය සනත් අමරතුංග (පේරාදෙණිය විශ්ව විද්‍යලය), මහාචාර්ය සංජීවනී ගිනිගද්දර (රජරට විශ්ව විද්‍යලය), ආචාර්ය යසන්තා මාපටුන (ව්‍යාපෘති අධ්‍යක්ෂ - කුඩා පරිමාණ කෘෂි සහභාගිත්ව වැඩ සටහන), අචාර්ය හේමන්ත විජේගුණවර්ධන (විශ්‍රාමික අතිරේක ලේකම් - කෘෂිකර්ම අමාත්‍යාංශය), සෑම් සමරසිංහ (ව්‍යවසායක - පි.ඒ.එස්.මාකටින් පුද්ගලික සමාගම), කේ.ඒ අනිල් (ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය), අරුණකාන්ත බණ්ඩාර (ව්‍යවසායක - හෙල්දිස්ලා පුද්ගලික සමාගම), සචිත්‍ර යාපා ව්‍යවසහයක (නිල්මිණි එස්ටේටි පුද්ගලික සමාගම) යන මහත්ම මහත්මීන්ය. මෙම සියලු දෙනා ගේ පත්වීම් ලිපි ප්‍රදානය කීරිම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතින් ඊයේ (9) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු විය.
 
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ද සහභාගි වී සිටියහ.
 
මෙම කාර්ය සාධක බලකායේ පළමු රැස්වීම ද ඊයේ (9) අමාත්‍යවරු දෙපල ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

රට තුල මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 280 ක් හා කුඩා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 25 න් දහසක් මේ වනවිට ක්‍රියාත්මක බව ඇමති නාමල් රාජපක්ෂ මහතා කියයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉදිරිපත් කළ සංවර්ධන වැඩපිළිවෙල යටතේ එම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි.එම සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීමට ඇමති නාමල් රාජපක්ෂ මහතා තීරණය කර ඇති අතර එම වැඩපිළිවෙල යාපනය දිස්ත්‍රික්කයෙන් ඊයේ ආරම්භ විය.දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් එහිදී ඇමතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.සංවර්ධන ව්‍යාපෘතිවල ඇති අඩුපාඩු හඳුනාගෙන ඒවා කඩිනමින් නිම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ඇමතිවරයා එහිදී පැවසීය.ජනතාවගේ සංවර්ධන අපේක්ෂා යථාර්තයක් බවට පත් කිරීම රජයේ ඒකායන අරමුණයි.

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගෙන් සමාව ඉල්ලා තිබේ.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මලවිගේ මහත්මිය විසින් සිදුකරන ලද දේශනයක් විකෘති කර පළ කිරීම සම්බන්ධයෙන් ඇයට සිදුවු සිත් වේදනාව තමන් අවබෝධ කරගත් බවයි.

එනිසා සියලු ජනමාධ්‍ය මිත්‍රයන් වෙනුවෙන් තමන් පුද්ගලිකව ඇය අමතා සමාව ඉල්ලූ බවද ඔහු කියා සිටී.

අමාත්‍යවරයා තැබූ සටහන

'මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, රට වසංගත තත්වයෙන් ගිලන් වී, ඔත්පල වී සිටින මොහොතක, සිය සහෝදර පූරවැසියන් එයින් මූදවාගැනීම සඳහා ඇයගේ දැනූම, හඬ, පෞරුෂය කැපකරන සමාජ නායිකාවක්. ඉහත අන්දෝලනයට පාදක වූ, ගේට්වේ ජාත්‍යන්තර පාසල සංවිධානය කල වෙබ් සම්මන්ත්‍රනයේදී ඇය විසින් කරන ලද මූළු කතාවම මා විසින් පෞද්ගලිකව ශ්‍රවණය කලා. එම නිසාම ඇය විසින් කල ප්‍රකාශයක් විකෘති කර පළ කිරීමෙන් ඇයට සිදූවූ හානිය මෙන්ම සිත්වේදනාව ද මා හොඳින් අවබෝධ කරගත්තා. එය අවබෝධ කර ගැනීමට අප සියළු දෙනාම සංවේදී විය යූතුයි.


එම නිසා මා සියළුම මාධ්‍ය මිත්‍රයන් වෙනූවෙන් ඇයට ඊයේ දිනයේ පූද්ගලිකව ආමන්ත්‍රණය කර ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසට ඇයගෙන් සමාව ඉල්ලූවා. එම නිසා මේ අත්වැරුද්ද වගකීම් සහගත ජනමාධ්‍ය කලාවක් වෙනූවෙන් හොඳ ආරම්භයක් ලෙසට පරිවර්තනය කරගන්නා ලෙස මා මගේ සියළුම සහෝදර වෘත්තීය සගයන්ගෙන් හෘදයාංගමව ඉල්ලා සිටිනවා.' 

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් මුහුණදී සිටින දුෂ්කරතා සැලකිල්ලට ගෙන මින් පෙර ලබාදී තිබූ ණය සහනය දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට සලකා බලන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ විශේෂිත බැංකු වෙත දැනුම්දී තිබේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය ඉහළ යාම හේතුවෙන් බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් මුහුණ දී තිබෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්,එම බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් සඳහා මින් පෙර (එනම්, 2021.08.31 දින දක්වා) ලබා දී තිබූ ණය සහන 2021.12.31 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට සලකා බලන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (බලපත්‍රලාභී බැංකු) වෙත දැනුම් දෙන ලදී. එසේම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිශ්චිතව දක්වන ලද සමස්ත ප්‍රතිලාභයන්ට වඩා නොඅඩු වන සේ, බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන්ට ඔවුන් ඉල්ලා සිටින අතිරේක සහනයන් ලබා දීමට සලකා බලන මෙන් බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා සිටී.

කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් හට 2022 ජනවාරි මස සිට සිය ණය ගෙවීම් ක්‍රමානුකූලව සිදුකරගෙන යෑම සඳහා අවශ්‍ය කටයුතු සකස්කර ගැනීමට මෙම නව ණය සහන කාලය උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම, පවත්නා තත්ත්වය යටතේ තම සාමාන්‍ය ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා දිගින් දිගටම එල්ල වන බාධා හමුවේ අත්‍යාවශ්‍ය මෙහෙයුම් වියදම් දරමින් සිය තැන්පතුකරුවන්ගේ පොලී මුදල් හා තැන්පතු මුදල් නිසි කලට වේලාවට ගෙවීමේ වගකීම බලපත්‍රලාභී බැංකු විසින් නොපිරිහෙලා ඉටුකරන බව අවධාරණය කළ යුතු වේ. මෙම කරුණු සැලකිල්ලට ගනිමින්, ණය සහන ලබා ගැනීමට සුදුසුකම් සපුරා ඇති නමුත්, ණය ආපසු ගෙවීමට හැකියාව පවතින ණය ගනුදෙනුකරුවන්ට තම පහසුකම් කල් දැමීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීමක් ඉල්ලා සිටීම වෙනුවට ණය ආපසු ගෙවීමට කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටී. තවද, බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන්ගේ ආපසු ගෙවීමේ ධාරිතාව ගැන සැලකිලිමත් වෙමින් ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලට අනිසි පීඩනයක් ඇති නොවන ආකාරය‌ට එම ණය පහසුකම් ආපසුගෙවීම සදහා නව සැලසුම් සැකසීමට බලපත්‍රලාභී බැංකු හා සාධාරණ එකඟතාවයකට පැමිණෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

ණය සහන සම්බන්ධයෙන් බලපත්‍රලාභී බැංකු වෙත 2021.09.01 දින නිකුත් කරන ලද 2021 අංක 08 දරන චක්‍රලේඛය ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ (www.cbsl.gov.lk) දක්වා ඇති අතර, සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන් හට වැඩිදුර තොරතුරු අදාළ බලපත්‍රලාභී බැංකුව/බැංකු හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක 1935 හෝ දුරකථන අංක 0112 477966 හෝ 0112 477129 ඔස්සේ සම්බන්ධ වීමෙන් ලබා ගත හැකිය.

කොරෝනා රෝගයට ගොදුරු වී සිටින ජනතාවට අවශ්‍ය දේශිය ඖෂධ ලබාදිම සහ එම රෝගයෙන් බේරීමට අවශ්‍ය ඖෂධ ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය තීන්දු තිරණ ගැනිම සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය විසින් එම පළාතේ විශේෂ ආයුර්වේද කාර්යය සාධන බලකායක් ස්ථාපිත කර තිබේ.
 
එමගින් කොරෝනා රෝගය වැළදුණු රෝගින්ට අවශ්‍ය ප්‍රතිකාර ඉතා ඉක්මනින් ලබාදිමේ වැඩපිළිවෙක් ක්‍රියාත්මක කර තිබේ. ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර  යන දිස්ත්‍රික්ක තුනම නියෝජනය වන පරිදි මේ සදහා සමාජිකයන් පත් කිරීමටද ආණ්ඩුකාරවරිය කටයුතු කළාය.
 
මෙම කාර්යය සාධන බලකාය මගින් සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා රෝගය පාලනය කිරීම සදහා දේශිය ඖෂධ සහ හෙළවෙදකම ප්‍රවර්ධනය කිරීම ද සිදු කිරීම විශේෂත්වයකි.එම කාර්යය සාධක බලකායේ සාමාජිකයන් මෙසේය.
 
1. පුජ්‍ය බෙන්ගමුවේ නාලක හිමි - වනවාසල පන්සල, කැලණිය
2. තුසිත පි වනිගසිංහ මහතා, ප්‍රධාන ලේකම්, නැගෙනහිර පළාත
3. ඒ.එව්.එම් අන්සාර් මහතා , ලේකම්,සෞඛ්‍ය අමාත්‍යාංශය, නැගෙනහිර පළාත
4. වෛද්‍ය ශ්‍රිදර් මහත්මිය, පළාත් කොමසාරිස්, ආයුර්වේද දෙපාර්තමේන්තුව,නැගෙනහිර පළාත
5. වෛද්‍ය  ශ්‍යාමලා වර්ණකුලේන්ද්‍රන් මහතා , අධ්‍යක්ෂ, කෝනේෂපුරි ආයුර්වේද රෝහල, ත්‍රිකුණාමලය
6. වෛද්‍ය මතිවම් නිරන්ජන් මහතා ,වෛද්‍ය අධිකාර් , ආයුර්වේද රෝහල ත්‍රිකුණාමලය
7. වෛද්‍ය ජේ. පාස්කරන් මහතා , වෛද්‍ය අධිකාරි, සිද්ධා ආයුර්වේද රෝහල, මඩකලපුව
8. වෛද්‍ය එම් අලියාර් නෆිල් මහතා , වෛද්‍ය ආයුර්වේද රෝහල, නින්දවුර්
9. ඩි.එස.එල් දිසානායක මහතා , ග්‍රාමීය ආයුර්වේද රෝහල, වැරැන්නකැටගොඩ
10. ජේ.එල්.එන්.ඩි කුමාරිහාමි මහත්මිය, ආයුර්වේද ඖෂධාගාරය,පදියතලාව
11. වෛද්‍ය  එම්. වර්මේන්ද්‍රන් මහතා
12. වෛද්‍ය  ඩි.එම්.ඒ. ප්‍රියන්ත වන්නිආරච්චි මහතා
13. ආයුර්වේද වෛද්‍ය ඩබ්.එම්.එස් සරත් කොට්ටයාවත්ත මහතා
14. සුලෙයිමාන් ලෙබ්බේ මොහොමඩ් මහතා, ශ්‍රි ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය
15. වෛද්‍ය  එස්. ශ්‍රි චන්ද්‍රරාජා මහතා
16.වෛද්‍ය ඩබ්.එම්.නිලංග සුදර්ශනමහතා ,දිස්ත්‍රික්ආයුර්වේද රෝහල, දෙහිඅත්තකණ්ඩිය
17. චින්තක විජේවර්ධන මහතා ආණ්ඩුකාරතුමියගේ සම්බන්ධිකරණ ලේකම්
 

කොවිඩ් ප්‍රතිශක්තීකරණ තුන්වැනි එන්නතක් සදහා යොමු නොව ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ධනවත් රටවලින් ඉල්ලීමක් කර සිටියි.

ලබන වසර වනවිට ගෝලීය වශයෙන් කොරෝනා වසංගතය අවදානම අඩු කර ගත හැකි බව එම සංවිධානය පවසයි.

මේවන විට රටවල් රැසක් කොවිඩ් ප්‍රතිශක්තිකරණ තුන්වැනි මාත්‍රාවක් ලබා දීමට පියවර ගෙන තිබේ. එන්නත් හිඟව පවතින මේ මොහොතේ ලොව ධනවත් රටවල් රැසක් තුන්වැනි මාත්‍රාවක් සදහා යොමු වීමෙන් දිළිදු රටවල ජනතාව අසීරුතාවට පත්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

වෛරසය ගෝලීය වශයෙන් තුරන් කිරීමට නම් සියලු දෙනාගේ සහය ලැබිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ආදනම් ගේබ්‍රියේසස් පවසයි.

ගැබිණි මව්වරුන් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත්කරණයට ලක්වීම අත්‍යවශ්‍ය බව කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ කාන්තා සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා අවධාරණය කරයි.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසන්නේ ගර්භණී භාවයට පත් වන කාන්තාවන් කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂාවිම සම්බන්ධයෙන් නිරතුරු අවධානය යොමු කළ යුතු බවයි. එම මව්වරුන් නිවසේ සිටියද සෙසු සාමාජිකයන් ආශ්‍රයේදී සැලකිලිමත් විය යුතුය. අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් බැහැර නොයන්නැයි ඇය සියලු ගර්භණී කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කරයි. යම් ආකාරයක කොරෝනා ආසාදිත ලක්ෂණයක් ඇති වුවහොත් වහාම වෛද්‍යවරයෙකු හමුවිය යුතුය. පසුගිය වසරේ සිට මේ දක්වා ගර්භණී කාන්තාවන් 5500 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඉන් මියගොස් ඇත්තේ ඉතා සුඵ පිරිසකි.

ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් මාතෘ භූමිය රනින් සැරසූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් කොඩිතුවක්කු අද (08) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

පැරාලිම්පික් තරගබිමේ නව වාර්තා තබමින් ඔබ ලැබූ ජයග්‍රහණයන් ශ්‍රී ලංකා අභිමානය ජාත්‍යන්තරය තුළ ගෞරවාදරයට ලක් කිරීමක් බව අග්‍රාමාත්‍යතුමා මෙම සුහඳ හමුවේ දී ක්‍රීඩකයන්ට සුබ පැතුම් එක් කරමින් ප්‍රකාශ කළේය. 

ඉතිහාසය අලුතින් ලියා තැබූ මෙම ජයග්‍රහණයට මග පෙන්වූ පුහුණුකරුවන් නිලධාරින් ඇතුළු සියලු දෙනාට සිය ප්‍රණාමය පුද කරන බව සඳහන් කළ අග්‍රාමාත්‍යතුමා, ක්‍රීඩා ජයග්‍රහණ හිමිකර දෙමින් රටට අභිමානයක් එක් කිරීමට කැපවන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් සඳහා අවශ්‍ය පහසුකම් අඛණ්ඩව සැපයීමට රජය පියවර ගන්නා බව අවධාරණය කළේය.

ජපානයේ ටෝකියෝ හී පැවති 2020 පැරාලිම්පික් තරගාවලියේ දී F46 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.79ක දුරක් හෙල්ලය විසිකරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් විය.  එම තරගාවලියේම F64 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 65.61 වාර්තාකරමින් සමිත දුලාන් කොඩිතුවක්කු ලෝකඩ පදක්කම දිනා දුන්නේය.  

ජයග්‍රහණ ලබා ගැනීම උදෙසා ක්‍රීඩා අමාත්‍යතුමා ඇතුළු රජය ලබා දෙන සහයෝගයට සිය ප්‍රණාමය පුදකරන බව මෙහි දී පැරාලිම්පික් පදක්කම් දිනූ දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් ක්‍රීඩකයෝ අග්‍රාමාත්‍යතුමාට පැවසූහ.  තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙරට ක්‍රීඩාව සැළැස්මකට අනුව දියුණු කිරීමට පියවර ගැනීම ජයග්‍රහණ පිළිබඳ අනාගත බලාපොරොත්තු තැබීමේ හැකියාව උදාකරන බව ද අග්‍රාමාත්‍යතුමා මෙහි දී විශ්වාසය පළ කළේය.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ලුතිනන් කර්නල් දීපාල් හේරත්, ලේකම් බන්දුල බණ්ඩාර, හෙල්ල විසිකිරීමේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

වයස අවුරුදු 30ට වැඩි මෙරට ජනගහනයෙන් සියයට සියයක් ආවරණය වන පරිදි කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රාව ද, සියයට 80ක් ආවරණය වන ලෙස දෙවැනි මාත්‍රාව ද මේ වන විට අවසන් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ඊයේ (7) පැවසීය.

මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 60ක් ආවරණය වන ලෙස පළමු එන්නත් මාත්‍රාව ද, සියයට 40ක් ආවරණය වන ලෙස දෙවැනි මාත්‍රාව ද දී අවසන් බවත් කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ඉතා සාර්ථකව රට පුරා ක්‍රියාත්මක වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට පෙළඹෙන ජනතාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද, එන්නත් දෙකම ගත් පුද්ගලයන් වූවද කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීමට කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම කළ යුතු යැයි ද ඒ මහතා කීවේය. කොවිඩ් මර්දන පළමු මාත්‍රාව ගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 12,823,147ක් වන අතර දෙවැනි මාත්‍රාව ගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 9,414,851ක් දක්වා පෙරේදා (6) වන විට ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

වයස අවුරුදු 60ට වැඩි මෙරට ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 70කට අධික සංඛ්‍යාවකට කොවිඩ් මර්දන එන්නත මේ වන විට දී අවසන් බව ස්වදේශ කටයුතු අමාත්‍යාාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා ඊයේ (7) ප්‍රකාශ කළේය. 60වැඩි ජනගහනයෙන් ලක්ෂ එකහමාරක පමණ පිරිසක් තවමත් එන්නත්කරණයට ලක්ව නැතැයිද හෙතෙම කීවේය. පොළොන්නරුව සියයට 88ක් ද, කුරුණෑගල සියයට 80 ක් ද, අම්පාර සියයට 75ක් ද, පුත්තලම සියයට 88ක් ද, මාතලේ සියයට 85ක් ද, කොළඹ සියයට 80ක් ද ලෙස දිස්ත්‍රික් මට්ටමින් වයස අවුරුදු 60ට වැඩි ජනගහනය මේ වන විට එන්නත්කරණයට ලක් කර ඇතැයි ද ඒ මහතා කීවේය. එන්නත්කරණ මධ්‍යස්ථානයන්ට පැමිණීමට නොහැකි නොයෙක් ආබාධවලින් පෙළෙන වැඩිහිටි පුද්ගලයන්ගේ තොරුතුරු ග්‍රාමසේවා වසම් මට්ටමින් ගෙන අදාළ ස්ථානයන්ට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ගොස් එන්නත්කරණය සිදු කරන්නේ යැයි ද හෙතෙම පැවසීය. වැඩිහිටි නිවාස 349ක වෙසෙන පුද්ගලයන් 8806කින් 8000කට පමණ මේ වන විට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදී පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කේ.ජී. ලැනරෝල් මහතා පැවසුවේය.

ඉදිරි සතියක පමණ කාලයක් තුළදී සමස්ත රට පුරා වෙසෙන සියලු වැඩිහිටියන්ට කොවිඩ් මර්දන එක් එන්නතක් හෝ දී අවසන් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම වේ. කොවිඩ් මර්දන එන්නත් වන ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික්, ෆයිසර්, මොඩර්නා, සයිනොෆාම් සමස්තයක් ලෙස මාත්‍රා මිලියන 20.46ක් මෙරටට ගෙනැවිත් තිබෙන අතර රුපියල් බිලියන 35ක මුදලක් වැය කරමින් එන්නත් මිලදී ගැනීමට රජය පියවර ගෙන තිබේ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter