නවතම පුවත්

ජනපති

වර්තමාන ලෝකයේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇති එකඟතාවන්ට අනුව කටයුතු කරන බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට කඩිනමින් පියවර ගන්නා බවත් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

යුරෝපා සංගම් GSP+ ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව මේ වන විටත් එකඟ වී ඇති කරුණු සම්බන්ධයෙන් දක්වන අනුකූලතාව, ශ්‍රී ලංකාව සමඟ එක්ව වැඩ කිරීම සහ යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන මතය පිළිබඳ කරුණු අධ්‍යනය කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සමඟ ඊයේ (04) මිරිහානේ පිහිටි සිය පුද්ගලික නිවසේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

ඉතිහාසයේ කිසිදු කාලපරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බවත් එම නිසා රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීමට සහ රට ඉදිරියට ගෙන යාමට දෙමළ දේශපාලන පක්ෂ, දෙමළ ඩයස් පෝරාවේ සිටින පිරිස සහ විදෙස්ගත සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ඉතා වැදගත් බවත් ජනාධිපතිතුමා එම නියොජිතයන්ට සඳහන් කළේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකයට සිදු වූ බලපෑම සහ එමගින් රජය අපේක්ෂිත සම්පූර්ණ සැලසුම් ඉටු කර ගැනීමට එල්ල වූ බාධාවන් තිබිය දීත් දීර්ඝ කාලීන යුද්ධය නිසා ඇති වූ ගැටලු රැසකට විසඳුම් ලබාදීමටත් උතුරු - නැඟෙනහිර පළාත් සංවර්ධනයට සේම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග පිළිබඳත් විශේෂයෙන් අතුරුදන් වූවන්ගේ පවුල්වලට සහන සැලසීමට සහ අතුරුදන් වූවන්ට වන්දි ගෙවීමට පියවර ගත් ආකාරයත් එහිදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ පෙන්වා දෙනු ලැබීය.

සිවිල් සංවිධාන සමඟ එකිනෙකා අවබෝධයෙන් ක්‍රියාකරන අතර ඒවායේ සහාය රටේ සංහිඳියාවට සහ දියුණුවට ලබාගන්නා බවත් සඳහන් කළ ජනාධිපතිවරයා පසුගිය දෙවසර තුළ පැවැති උද්ඝෝෂණවලට කිසිඳු අවස්ථාවක බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර හෝ කඳුළු ගෑස් එල්ල නොකිරීමට උපදෙස් ලබාදුන් බවත් උද්ඝෝෂණ සඳහා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට වෙනම ස්ථානයක් වෙන්කළ බවත් එම නියොජිතයන්ට සඳහන් කළේය.

 

රජය ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ ද ඒවාට අවධානය යොමු නොවන අතර කුඩා සිදුවීමක් පාදක කරගනිමින් විවිධ පාර්ශ්ව සාවද්‍ය මතවාද ඇති කිරීම කනගාටුදායක බවත් සඳහන් කළ ජනාධිපතිවරයා රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කටයුතු කිරීමටත් පෞද්ගලික අංශය වැඩිදියුණු කර රටේ සංවර්ධනයට දායක කරගැනීමටත් ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා දියුණු රටවල තාක්ෂණ ක්‍රමෝපායන් අනුගත කිරීමටත් පියවර ගනිමින් සිටින බවත් පෙන්වා දුන්නේය.

මෙරට ප්‍රධානතම ජීවනෝපාය වන කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් තාක්ෂණ සහ පුහුණු සහාය ලබාගැනීමෙන් රටේ ආර්ථික දියුණුව ළඟා කරගැනීමට ඇති හැකියාව සහ රට ඉදිරියට ගෙන යන රජයේ සැලැස්ම පිළිබඳ කළ දීර්ඝ පැහැදිලි කිරීම පිළිබඳ දූත පිරිස ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදය සහ ස්තූතිය පළ කරමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුරෝපා සංගම් නියෝජිතයන් කාලය මූලික කරගත් විසඳුමක අවශ්‍යතාව පෙන්වා දුන් අතර සංචාරයේ දී අධ්‍යනය කළ කරුණු පදනම් කරගනිමින් යුරෝපා කොමිසමට සහ යුරෝපා පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බව දූත පිරිස සඳහන් කළහ.

මොනිකා බයිලේයිට් (Monika Bylaite), විදේශ ලේකම්, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු ප්‍රධාන වශයෙන් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර යුරෝපා කොමිසමේ ජ්‍යෙෂ්ඨ උපදේශක, වෙළෙඳ හා තිරසර සංවර්ධන, GSP සහ (Environment Action Programme) හි වෙළඳ කටයුතු සඳහා වූ අධ්‍යක්ෂ ජනරාල් නිකොලොස්සයිමිස් (NikolaosZaimis), යුරෝපා කොමිසමේ බාහිර ක්‍රියාකාරි සේවයේ දකුණු ආසියාවේ අංශ ප්‍රධානින් රැසක් මෙම හමුවට සහභාගි වී සිටියහ.

නිදහසින් පසුව ගෙවී ගිය හැත්තෑ පස් වසරක ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝග හා ව්‍යසන කිහිපයකි. තිස් අවුරුදු යුද්ධය, දකුණේ තරුණ නැඟිටීම් දෙකක්, සුනාමි ඛේදවාචකය, පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය මෙන්ම වර්තමාන කොවිඩ්-19 වසංගතය වශයෙනි. මේ අතරින්, රටේ ඒකීයභාවයට බරපතළ තර්ජනයක් එල්ල කළ මෙන්ම විශාල ජීවිත හා දේපළ විනාශයක්ද කළ එල්ටීටීඊ, ත්‍රස්තවාදී අභියෝගය සාර්ථකව ජය ගැනීමට රටට හැකි විය. විනාශකාරී යුද්ධය හේතුවෙන් දශක ගණනාවකින් ආපස්සට ගිය රට යළි පෙරට තැබිණි. 71 හා 87-89 තරුණ නැඟිටීම්වලදී ද විශාල ජීවිත හා දේපළ විනාශයක් සිදු විය. අහිමි වූ ජීවිත හැර විනාශයෙන් පසුබෑමට ලක්වූ රට යළි ගොඩනැඟීමට හැකි විය. සුනාමි ඛේදවාචකය නිසාද විශාල දේපළ විනාශයක් සිදු විය. එවර ද අහිමි වූ ජීවිත හැර විනාශය මතින් යළි නැඟී සිටීමට රටට හැකි විය. එකී ආපදා මෙන්ම ගැටුම්කාරී තත්ත්ව ප්‍රශස්ත මට්ටමින්ම නොවිය හැකි වුව ද සමස්තයක් ලෙස හා ඒ ඒ ආපදාවන්ගේ විනාශයට සාපේක්ෂව බලන කල සතුටුදායක මට්ටමින් කළමනාකරණය කර ගැනීමට පුළුවන් වී තිබේ.

සුභවාදී අපේක්ෂා

එවැනි සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම, විනාශය මතින් යළි නැඟී සිටීමේදී ජාතික එකමුතුව වැදගත් සාධකයක් විය. මේ කිසිදු අවස්ථාවක අපේක්ෂා කළ තරමට හෝ රට ඉල්ලා සිටි තරමට එය ගොඩනඟා ගැනීමට ජාතියක් ලෙස අපට හැකි නොවූ බව පිළිගැනීමට සිදු වේ. ඒ පටු දේශපාලන මතිමතාන්තර හා න්‍යාය පත්‍ර රටේ ඉදිරි ගමනට බොහෝ වර අකුල් හෙළූ බැවිනි. එබඳු බාධක මධ්‍යයේ වුව ද යම් මට්ටමක හෝ සාමූහික තත්ත්වයකින් යුතුව ඉදිරිය දකින්නට අප වෑයම් කර තිබේ. එකී ප්‍රයත්නයේ සාධනීය ප්‍රතිඵල යම් යම් මට්ටම්වලින් අත්කර ගැනීමට ද හැකි වී ඇත. මේ අභියෝගයන්ට රටක් ලෙස අප මුහුණ දුන්නේ දීර්ඝ කාල පරතරයක් සහිතව නොවේ. උතුර සහ නැඟෙනහිර බෙදුම්වාදයට එරෙහිව සටන් කරන අතරම, දකුණේ භීෂණ යුගය අත්විඳීමට අපට සිදු විය. සුනාමි ව්‍යසනය කඩා වැදුණේ ද ත්‍රස්තවාදයේ අභියෝගයට රට මුහුණ දී සිටියදීමය. තිස් අවුරුදු යුද්ධයේ නිමාවත් සමඟ සාමකාමීව ගෙවී ගියේ දශකයකි. උදෑසන සිට රෑ වන තුරු ඇසුණු පුහු සංහිඳියා ඝෝෂාවල් නිහඬ කරමින් අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදු විය. තුන්සියයකට වැඩි ජීවිත විනාශයට අමතරව ආර්ථික වශයෙන් රට පසුබෑමට ලක් විණි. සංචාරක ව්‍යාපාරයට ඇති වූයේ දැඩි බලපෑමකි. ජන ජීවිත අවිනිශ්චිතතාව සහ අනාරක්ෂිත බව විසින් වෙළා ගැනිණි.

රටේ අනාගතය පිළිබඳ යළි සුබවාදී අපේක්ෂා දැල්වුණේ 2019 වසර අග වන විට සිදුවූ දේශපාලන වෙනසත් සමඟය.

දැක්මක් සහිත ගමනකට පියවර තැබූව ද 2020 වසර ආරම්භයත් සමඟ බියකරු වසංගතයක් පිළිබඳ චීනයෙන් වාර්තා විය. ඉතා ඉක්මනින්, එය ලොවම වෙළා ගනිමින් තිබියදී කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරිණි. එක් අතකින් එම ගෝලීය ස්වරූපය ඔස්සේ ද එමෙන්ම ජාතික ව්‍යසනයක් ලෙසද එය රටවලට බලපෑවේය. මාර්තු මාසය වන විට ශ්‍රී ලංකාව ද එම බලපෑමට ලක් විය. මනා සූදානම, මෙහෙයවීම, කැපවීම, එක්ව මුහුණ දීම වැනි සාධක සමඟ පළමු වටය අප සාර්ථකව ජය ගත්තේ සෙසු ලෝකයේ ද අවධානයට ලක් වෙමිනි. දෙවැනි වටය ඊට වඩා සංකීර්ණ විය. වඩාත් බරපතළ වූයේ 2021 අප්‍රේල් මාසයෙන් පසු ව්‍යාප්ත වූ දැනටත් බලපවත්නා තෙවැනි වටයයි. කොවිඩ්-19 නව ප්‍රභේදවල දරුණු බව හමුවේ රටක් වශයෙන් අප ද පීඩාවට පත් වුව ද ඇද නොවැටෙමින් එන්නත්කරණ වැඩපිළිවෙළ ඉතා සාර්ථක ලෙස පෙරට ගෙන යෑමට සමත් වීමේ ප්‍රතිඵල මේ වන විට දක්නට තිබේ. ගත වූ කාලය තුළ රට වරින්වර අගුළු දැමීමට සිදු විය. ඉකුත් වසරේ මාස නවයක් පමණ මෙරටට එක් සංචාරකයකු හෝ නොපැමිණියේ ඒ ලෙස රට වසා දැමීමට හෝ සංචරණ සීමා පැනවීමට සිදු වීම හේතුවෙනි.

සෞඛ්‍ය අභියෝග

කොවිඩ්-19 යනු සෞඛ්‍ය අභියෝගයක් වුව ද එහි බලපෑම් රටේ ආර්ථිකය, අධ්‍යාපනය ඇතුළු සෑම ක්ෂේත්‍රයකටම බරපතළ ලෙස දැනිණි. එය මෙරටට පමණක් නොව ලෝකයටම පොදු තත්ත්වයක් විය. රටවල් අගුළු දැමීමත් සමඟ මුහුණ දීමට සිදුවූ ආර්ථික බලපෑම් කෙළවර රැකියා අහිමි වූවන් පිළිබඳ අමෙරිකාවෙන් පවා වාර්තා වූයේ මිලියන ගණනිනි. පෞද්ගලික අංශයේ තත්ත්වය වඩාත් අයහපත් විය. සේවකයන්ට අඩ වැටුප් ගෙවමින් ආයතන කඩා නොවැටී පවත්වා ගැනීමේ වෑයම දැරිණි. සංවර්ධනය වෙමින් පවත්නා රටවලට මෙම බලපෑම් අතිශයින්ම සංකීර්ණ ලෙස දැනෙන්නට විය.

එක් අතකින් ජීවිත ආරක්ෂා කර ගනිමින් මෙම සෞඛ්‍ය අභියෝගයට මුහුණ දීමට ගත හැකි ක්‍රියාමාර්ග රට තුළ දියත් විය. රට අගුළු දැමුව ද සෞඛ්‍ය මාර්ගෝපදේශ හඳුන්වා දෙමින් රටේ ආර්ථිකය පවත්වා ගැනීමට ගත් පියවර අගය කළ යුතු වන්නේ කෘෂිකර්මාන්තය, අපනයන ක්ෂේත්‍ර ආදිය එලෙස පවත්වා ගැනීමේ ප්‍රතිඵල සමඟය. අපනයන ක්ෂේත්‍රයට වසංගත තත්ත්වය කොපමණ අභියෝගයක් එල්ල කළ ද, තේ, ඇඟළුම්, කුළුබඩු ආදී අපනයන එම ක්ෂේත්‍රවල නියැළි අයගේ දායකත්වය හා කැපවීම ද සමඟ වාර්තාගත මට්ටමකින් පවත්වා ගැනීමට හැකි වී තිබේ.

 

මේ වර්ෂයේ මාර්තු මාසයෙන් පසුව යළිත් වරක් ජූලි මාසයේ දී මෙරට අපනයන ඇ. ඩො. බිලියනය ඉක්මවීය. (ශ්‍රී ලංකා රේගුව) එය මසක් තුළ වාර්තා වූ වැඩිම අපනයන ආදායම ලෙස සටහන් වේ. 2020 වසරේ ජූලි මාසයේ එම ආදායමට වඩා එය 1.33%ක වර්ධනයක් වන අතර, 2019 ජූලි ආදායමට වඩා 12.39%ක වර්ධනයකි. රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන ආදායමේ වර්ධනය 13.6%කි. කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන වර්ධනය 11.47%කි. 2020 ජූලි මාසයට සාපේක්ෂව 2021 ජූලි මාසයේ ඇගලුම් අපනයන ආදායමේ අඩුවීමක් පෙන්නුම් කළ ද මේ වර්ෂයේ ජූනි මාසයට වඩා ජූලි මාසයේ එම අපනයන ආදායම 9.27%කින් වර්ධනය වී තිබේ. කුළුබඩු අපනයනයේදී කුරුඳු අපනයනයෙන්ද වාර්තාගත ආදායමක් ඉපැයීමට රටට හැකි විය. මේ වර්ෂයේ ජනවාරි-ජූලි කාල සීමාව තුළ අපනයනය 22.17%කින් වර්ධනය වී තිබේ. දීර්ඝ වශයෙන් සංඛ්‍යා හා දත්ත උපුටා නොදැක්වුව ද ඉහත දත්තවලින් වුව පැහැදිලි චිත්‍රයක් ඇඳෙනු ඇත. වසංගතය මඟින් ආර්ථිකය මත ඇති කර තිබෙන දැඩි පීඩනය හමුවේ එම අභියෝගයට ද මුහුණ දෙමින් සහ පවතින තත්ත්ව කළමනාකරණය කර ගනිමින් මෙවැනි වර්ධනයක් පෙන්වීමට හැකි වීම විශේෂ තත්ත්වයකි.

ශ්‍රම බළකාය

එහිදී, රට අගුළු දැමූ වකවානුවල පවා මෙවැනි ක්ෂේත්‍රවල නිෂ්පාදන සඳහා සිය ශ්‍රමය යෙදවූ විශාල පිරිසක් සිටිති. එම ශ්‍රම බලකායට එන්නත් ලබා දෙමින් ආරක්ෂිතව සිය වෘත්තියේ නියැළීමට අවශ්‍ය සහාය ලබා දී තිබේ. රාජ්‍ය අංශයේද විශාල පිරිසක් අධ්‍යාපන හා අනෙකුත් අවශ්‍ය සේවා සපයමින් කැපකිරීම් සහගත මෙහෙවරක නිරත වෙමින් සිටින බව අමතක නොකළ යුතුය. රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා කප්පාදුවකින් තොරව වැටුප් දෙමින් රජය එම දායකත්වය ඇගයීමට ලක් කර ඇත. නිවසේ සිට රාජකාරි ඉටු කිරීමට ද අවස්ථාව සලසා තිබේ.

ඉකුත් පළමු වැනිදා සිට රට යළිත් යම් යම් සීමාවන්ට යටත්ව විවෘත විය. ඒ සමඟ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින්ම දෙවසරකට ආසන්න කාලයක් තිස්සේ මන්දගාමී වූ කාර්යයන් යළි සක්‍රීය කිරීම වෙනුවෙන් රාජ්‍ය අංශයට ද, පෞද්ගලික අංශයට ද විශාල වගකීමක් පැවරේ. වසංගත සමයේදී රටේ ජන ජීවිත රැක ගැනීම වෙනුවෙන් රජය අගය කළ යුතු කාර්යභාරයක් ඉටු කළ බව අගතිගාමී නොවන ඕනෑම අයකු පිළිගන්නවා ඇත. මේ වන විට එන්නත් මාත්‍රා දෙකම ලබා ගනිමින් එන්නත්කරණය සම්පූර්ණ කළ ප්‍රතිශතය රටේ ජනගහනයෙන් 55%ට ආසන්නය. ඉදිරි මසක් හෝ දෙකක් වැනි කාල සීමාව තුළ එය 60% ඉක්මවනු ඇත. මේ වසර අවසන් වීමට පෙර මෙරට එන්නත්කරණ ඉලක්ක සපුරා ගැනීමට හැකි බව පැහැදිලිය. නියමිත කාලයට එම ඉලක්ක ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද ප්‍රශංසාවට ලක්ව ඇත. අප එවැනි තැනක සිටින්නේ අප්‍රිකානු කලාපය වැනි රටවල් තවමත් එන්නත්කරණය 2%ක් වැනි මට්ටමක සිටියදීය. එන්නත්කරණය සම්පූර්ණ කිරීමේදී ජනගහනයෙන් 50% ඉක්මවූ රටවල් ඇත්තේ සීමිත ප්‍රමාණයකි. මෙරට ළමා පරපුර එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙළ ද දැන් ඇරැඹී ඇත. අධ්‍යාපන ක්‍රියාවලිය යළි දියත් කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතී.

පශ්චාත් වසංගත සමය

තවමත් අපට පශ්චාත් වසංගත සමයක් පිළිබඳ කතා කළ නොහැකිය. අපට පමණක් නොව ලෝකයටම ඒ තත්ත්වය පොදුය. එසේ නම් අපට ඉදිරියට යෑමට සිදුව ඇත්තේ වසංගතයත් සමඟමය. එය පාලනය කර ගනිමින්ය. එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරට පිළිපැදීමට අපට හැකි නම්, අපට කල් නොයා වසන්තය දකින්නට පුළුවන් වනු ඇත. වසංගත ව්‍යාපෘතිය පාලනය කිරීමේදී වැඩිම වගකීම ඇත්තේ ජනතාව අතය. ඔවුන් සිය සමාජ වගකීම ඉටු කරන ප්‍රමාණයේ තරමට අපට නිදහසේ හුස්ම ගන්නට හැකියාවක් ලැබෙනු ඇත. මෙහිදී රට වෙනුවෙන් පැහැර නොහැරිය හැකි වගකීමක් බවත් අප ඉදිරිපිට තිබේ. ඒ මාස ගණනාවක් තිස්සේ ලැබූ සැහැල්ලුව ශක්තියක් කරගනිමන් නව ජවයකින් යුතුව රට ගොඩනැඟීම සඳහා අපේ කොටස ඉටු කිරීමය. වසංගතයට මුහුණ දුන් පරම්පරාව ලෙස අප එම බලපෑම්වලින් රට නිදහස් කර ගැනීමේ වගකීම හා බර අනාගත පරපුරට ඉතිරි කිරීම නොකළ යුතුව තිබේ. පටු අදහස් මතිමතාත්තර පක්ෂ දේශපාලන සටන් පාඨ-න්‍යාය පත්‍ර ටික කලෙකට හෝ පසෙකින් තබා, වසංගතය හමුවේ අප රැකගත් රට වෙනුවෙන් අපට ඉටු කළ හැකි මෙහෙවර ඉටු කිරීමට ද අප වෙනුවෙන් කැප වූ අය වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට ද මේ හොඳම කාලයයි.

යාපනය ශික්ෂණ රෝහල් ලේ බැංකුවේ ගබඩා කර ඇති රුධිරය ප්‍රමාණය ඉතා වේගයෙන් අඩු වීම හේතුවෙන් 55වන පාබල සේනාංකයේ හා 552 පාබල බලසේනාවේ නිලධාරීන් හා සෙසුනිලයක් 150කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් එම රෝහලේ වෛද්‍යවරුන් හා රෝහග් කාර්ය මණ්ඩලය සමඟ එක්ව රුදිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඊයේ(04) සිදු කෙරුණි. 
 
අයියච්චි ප්‍රදේශයේ පිහිටි 552වන පාබල බලසේනා මූලස්ථානයේ දී එය පවත්වන ලදි.
 
72වන යුද හමුදා දිනයට සමාගාමීව යාපනය ආඥාපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු මහතාගේ සහ 55වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්. කේ. ජයවර්ධන මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය සංවිධාන කර තිබුණි.

1985 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම (UN-Habitat) වෙත ඉදිරිපත් කරන ලද අදහසක් මත පදනම්ව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වර්ෂයකම ඔක්තෝබර් මස පළමු සඳු දිනය ලෝක ජනාවාස දිනය (World Habitat Day)ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. 1986 වසරේදී 'Shelter is My Right'(නිවෙස මගේ අයිතියකි) තේමාව යටතේ සමරන ලද ලෝක ජනාවාස දිනයෙහි 35 වැනි සමරුව 2021 ඔක්තෝබර් මස 04වැනි (අද) දිනට යෙදී ඇති අතර, මෙවර එහි තේමාව වනුයේ 'Accelerating global action for a Carbon-free World'(කාබන් වායු රහිත ලෝකයක් සඳහා නාගරික ක්‍රියාකාරකම් වේගවත් කිරීම) යන්නයි. ආරම්භයේ දී ලෝක ජනාවාස දිනයේ තේමාව ග්‍රාමීය නිවාස සංවර්ධනය කේන්ද්‍ර කර ගනිමින් සකස් වුව ද මෑත කාලීනව නගර, නාගරික ජනාවාස හා සම්බන්ධ ගැටලු කෙරෙහි එමඟින් වැඩි අවධානයක් යොමු කර ඇත.

ලෝක ජනාවාස දිනය ලොව පුරා ක්‍රියාවට නංවන එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ (UN-Havitat)ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය වන නිවාස විෂය භාර අමාත්‍යාංශය විසිනි. ඊට අනුබද්ධිත ආයතන හා නිවාස හා ජනාවාස සංවර්ධනයෙහි නියුතු සෙසු අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන හා වෙනත් සංවිධාන සහාය කර ගනිමින් සෑම වර්ෂයකදීම සංවර්ධන වැඩසටහන්, ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන්, ළමා වැඩසටහන්, තිරසර ජනාවාස සංවර්ධනය ප්‍රචලිත කිරීම, ජනාවාස දින තේමාවට අදාළ දේශන, ප්‍රදර්ශන හා වැඩමුළු සහ වෘත්තීය පුහුණු හා ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහන් ආදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

ලෝක ජනාවාස දිනය සැමරීමේ අරමුණු

ලෝක ජනාවාස දිනයක් ප්‍රකාශයට පත් කර ලොව පුරා සැමරීමේ ප්‍රධාන අරමුණු ලෙස, නිවාස හා ජනාවාසකරණය හා සම්බන්ධ ගැටලු පිළිබඳ ප්‍රජාව, නිලධාරීන්, විද්වතුන්, දේශපාලන අධිකාරිය, පාසල් ළමුන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ගේ අවධානය යොමු කිරීම හඳුන්වා දිය හැකිය.

එමෙන්ම සමාජයේ සෑම කණ්ඩායමකටම හා සෑම පුද්ගලයකුටම මේ සඳහා තිබෙන වගකීම පිළිබඳ සිහිපත් කිරීම හා ලබා දිය හැකි දායකත්වය පිළිබඳව නැවත සිතීමට සැලැස්වීම දැක්විය හැකිය.

ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස සංවර්ධන වැඩසටහන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ 'රට හදන සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි සඳහන් පරිදි නිවාස ඌනතාවය ඇති සියලු දෙනාටම තම අවශ්‍යතාවයට ගැලපෙන හා ආදායමට සරිලන නිවසක් සියලු යටිතල පහසුකම් සහිතව ඉදිකර දීම මෙහි අරමුණයි. ඒ සඳහා රාජ්‍ය අංශය විසින් ලබා දිය යුතු දායකත්වය හඳුනා ගනිමින් ගරු අග්‍රාමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ හා ගරු ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මැතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ මේ කටයුතු සිදු වේ. ඒ අනුව ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මේ වන විට දිවයිනම ආවරණය වන පරිදි නිවාස සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.

නිවාස ආධාර වැඩසටහන

මෙම වැඩසටහන යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමකම තාවකාලික නිවසක පදිංචි අඩු ආදායම්ලාභී පවුලක් බැගින් ප්‍රමුඛතාවය අනුව තෝරාගෙන, සෑම ප්‍රතිලාභී පවුලක් සඳහාම රු.600,000ක උපරිමයකට යටත්ව ආධාර මුදලක් ඉදිකිරීම් ප්‍රගතිය මත පදනම්ව අදියර පහකින් ලබා දීම සිදු කෙරේ.

මේ යටතේ 2020 වර්ෂයේදී ප්‍රතිලාභීන් 9972 දෙනකු සඳහා නිවාස ආධාර ලබා දී ඇත. ඒ අතරින් නිවාස 9920ක ඉදිකිරීම් මේ වන විට අවසන් කර ඇත. 2021 වර්ෂය සඳහා මේ වන විට ලබා දී ඇති නිවාස ආධාර සංඛ්‍යාව 5070කි. ඉදිකර අවසන් කරන ලද නිවාස ගණන 418කි.

මේ වන විට ග්‍රාම නිලධාරී වසමකට එක නිවසක් තෝරා ගැනීමෙන් බැහැරව අපේක්ෂිත වාර්ෂික ඉලක්කය නොඉක්මවන පරිදි නිවාස අවශ්‍යතාවය පවතින ග්‍රාම නිලධාරී වසම් හා තාවකාලික නිවාස වැඩි වශයෙන් පවතින දිස්ත්‍රික්ක සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් ප්‍රතිලාභීන් තෝරා ගැනීම සිදු කෙරේ.

නිවාස ණය වැඩසටහන

නව නිවසක් ඉදිකර ගැනීමට හෝ පවතින නිවසක් වැඩි දියුණු අවශ්‍යතා ඉටුකර ගැනීමට අවශ්‍යතාවක් ඇති, ණය මුදලක් ලබා ගෙන ආපසු ගෙවීමට හැකියාවක් ඇති, ඉඩමක් හිමි අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ක්‍රියාවට නංවන මෙම වැඩසටහන සඳහා භාණ්ඩාගාර අරමුදල් මෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අභ්‍යන්තර උත්පාදන අරමුදල් ද ආයෝජනය කෙරේ. මෙහි දී නව නිවසක් සඳහා රුපියල් 600,000ක් දක්වා ණය මුදලක් ලබා දෙන අතර, වැඩි දියුණු කළ නිවසක් සඳහා දෙන උපරිම ණය මුදල රු. 300,000කි.

2020 වර්ෂයේදී ප්‍රතිලාභීන් 2398 දෙනකු සඳහා නිවාස ණය ලබා දී ඇත. ඒ අතරින් නිවාස 2215ක ඉදිකිරීම් මේ වන විට අවසන් කර ඇත. 2021 වර්ෂය සඳහා මේ වන විට ලබා දී ඇති නිවාස ණය සංඛ්‍යාව 4524කි. ඉදිකර අවසන් කරන ලද නිවාස ගණන 1603කි. මේ සඳහා වැය කරන ලද මුදල රු.මි.1673.334කි.

මිහිඳු නිවහන

බුද්ධ ශාසනය සඳහා දරුවන් පිදූ, ආර්ථික වශයෙන් දුෂ්කර මට්ටමක සිටින නිවසක් අහිමි හෝ අර්ධ වශයෙන් ඉදිකරන ලද නමුත් ආර්ථික අපහසුතා හේතුවෙන්ම ඉදිකිරීම් සම්පූර්ණ කරගත නොහැකි නිවෙස් හිමි මවුපියන්ගේ නිවාස අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා මිහිඳු නිවහන නිවාස ආධාර වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මේ යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම එක් වසරකට එක් නිවසක් බැගින් ඉදිකිරීමට අපේක්ෂිත වුව ද සිය දරුවන් බුදු සසුනෙහි පැවිදි කරවන ලද මවුපියන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා මෙහි දී ප්‍රමුඛතාවය ලබා දීමට අපේක්ෂිතය. මෙම වැඩසටහන යටතේ හඳුනාගත් ප්‍රතිලාභීන්ට නව නිවසක් ඉදිකිරීම සඳහා රු. 600,000ක ආධාර මුදලක් ද අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවසක් සම්පූර්ණ කිරීම සඳහා රු. 600,000ක උපරිමයක් දක්වා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරීන් විසින් නිර්දේශ කරනු ලබන ආධාර මුදලක් ද ලබා දීමට යෝජිතය. 2021 මාර්තු සිට ආරම්භ කරන ලද මෙම වැඩසටහන යටතේ මේ වන විට නිවාස 254ක ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර, වැඩ නිමකර ප්‍රතිලාභීන් පදිංචි කර ඇති නිවාස ඒකක ගණන 41කි. මේ සඳහා රු. මිලි. 63.500ක මුදලක් වැය කර ඇත.

සපිරි මහල් නිවාස ව්‍යාපෘති

 

රැකියාවල හා ව්‍යාපාරික කටයුතුවල නියුතු පුද්ගලයන්ගේ නිවාස අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ජීවත් වීමට සුදුසු පරිසරයක සියලු පහසුකම් සහිත නිවසක් සහන මිලට ලබා දීම අරමුණු කරගෙන පෙර විකුණුම් ක්‍රමවේදය හා රාජ්‍ය /පෞද්ගලික දායකත්ව ක්‍රමවේදය යටතේ දීප ව්‍යාප්තව සපිරි මහල් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

මේ යටතේ දැනට නිවාස ඒකක 30කින් යුතු තංගල්ල, නිවාස ඒකක 30කින් යුතු මොරටුව සොයිසාපුර හා නිවාස ඒකක 154කින් යුතු යක්කල-වැරැල්ලවත්ත ව්‍යාපෘතිවල ඉදිකිරීම් ආරම්භ කර ඇත.

සියපත නිවාස වැඩසටහන

නිවාස නොමැති හා දීර්ඝ කාලීනව නාගරික ප්‍රදේශ ආශ්‍රිතව වාසය කිරීමේ අවශ්‍යතාවය ඇති මැදි ආදායම්ලාභී පවුල් සඳහා නිවාස සැපයීමේ අරමුණ පෙරදැරිව සෑම මැතිවරණ කොට්ඨාසයකම මැදි ආදායම්ලාභීන් ඉලක්ක කරගත් නිවාස 100ක මහල් නිවාස ඒකකයක් බැගින් දිවයින පුරා මැතිවරණ කොට්ඨාස 160හි නිවාස 16,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙයට සමගාමීව ප්‍රතිලාභීන් සඳහා දීර්ඝ කාලීනව ගෙවිය හැකි වන සේ රාජ්‍ය බැංකු මැදිහත් කරගනිමින් ණය වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

මෙම වැඩසටහනෙහි නියමු ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කයේ මරඳගහමුල ප්‍රදේශයේ ඉදිකෙරෙන අතර දෙවන හා තෙවන ව්‍යාපෘති අනුරාධපුර දහයියාගම හා ඇඹිලිපිටිය යෝධගම ප්‍රදේශයේ ඉදිකිරීමට කටයුතු කෙරෙමින් පවතියි.

මෙම අමාත්‍යාංශය විසින් නිවසක් හෝ නිවසක් ඉදිකිරීම සඳහා ඉඩමක් නොමැති වීම හේතුවෙන් කුලී පදනම මත ජීවත් වන අඩු මධ්‍යම ආදායම්ලාභී ජනතාවගේ නිවාස අවශ්‍යතාවය සපුරාලීම සඳහා දැරිය හැකි මිලකට නිවාස ලබා දීමට වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

එහි නියමු ව්‍යාපෘතිය ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ රණ්පොකුණගම පිහිටි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩමෙහි පෙර විකුණුම් පදනම මත නිවාස 72කින් යුතු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජිතය. යෝජිත නිවසක වර්ගඵලය වර්ග අඩි 546කි.

පරිසර හිතකාමී ව්‍යාපෘති

විසි වැනි සියවසේ මැද භාගයේ සිට නාගරික ප්‍රදේශයන්ගේ ජන ගණත්වය ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතී. ඒ හේතුවෙන්ම වර්තමානය වන විට හරිතාගාර වායු විමෝචනයෙන් වැඩි ප්‍රමාණයක් සඳහා මෙන්ම ගෝලීය කාබන් ඩයොක්සයිඩ් විමෝචනයෙන් සියයට 70කට පමණ නාගරික ප්‍රදේශ දායක වන බව පෙන්වා දී ඇත. එබැවින් ජනාවාස සංවර්ධනය හා ඉහළ යන නාගරීකරණයත් සමඟ පරිසරයේ සමතුලිතතාවය රැක ගනිමින් පරිසර හිතකාමී ජනාවාස හා නගර ගොඩනැඟීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම (UN-Habitat) විසින් මෙවර ලෝක ජනාවාස දිනයේදී සිය අවධානය යොමු කර ඇත.

ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින්, මේ වන විට, සියලු නිවාස සංවර්ධන වැඩසටහන්, ව්‍යාපෘති පරිසර හිතකාමී අයුරින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි සිය විශේෂ අවධානය යොමුකර ඇත. ඒ අනුව, ප්‍රජාව නාගරික ප්‍රදේශවල කේන්ද්‍රගත වීම අවම කරමින් පහසුවෙන් සිය රැකියා ස්ථාන, පාසල් ඇතුළු අනෙකුත් අවශ්‍යතා කරා ළඟා විය හැකි වටපිටාවක් තැනීමට අදහස් කරයි. ඒ වෙනුවෙන් අර්ධ නාගරික පරිසරයන්හි මහල් නිවාස ව්‍යාපෘති ඉදිකර භූමිය තිරසාර ලෙස පරිභෝජනය කරමින් ඒ අවට ස්වභාවික පරිසරය සංරක්ෂණය කිරීමට මෙන්ම නව ශාක රෝපණය තුළින් පරිසරය සංවර්ධනය කිරීමට ද සැලසුම් කෙරෙමින් පවතියි. මෙවර ලෝක ජනාවාස දින තේමාව හා අනුගත වන පරිදි එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම විසින් ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ්‍ය සමඟ 'NLOB ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර ලෝක ජනාවාස දින සැමරුම් උත්සවයක් පැවැත්වීමට කටයුතු නොකෙරේ. එසේ වුවත්, ඉන්දියානු ආධාර යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද වව්නියා දිස්ත්‍රිකක්යේ 'මැණික් ෆාම්' නිවාස ව්‍යාපෘතිය ලෝක ජනාවාස දිනය යෙදෙන ඔක්තෝබර් මස 04 වැනි දින ගරු අග්‍රාමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ ජනතා අයිතියට පත් කෙරේ. ගරු විදේශ කටයුතු අමාත්‍යතුමන්, ගරු අධ්‍යාපන අමාත්‍යතුමන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස්, ඉන්දීය විදේශ කටයුතු ලේකම් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එම අවස්ථාව සඳහා සහභාගී වීමට නියමිතය.

“කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමත් සමඟ ආර්ථික කටයුතු ක්‍රමයෙන් සාමාන්‍යකරණය වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස මූර්ත දළ දේශීය නිෂ්පාදනයෙහි වර්ධනය සියයට හයක පමණ මට්ටමක පවත්වා ගැනීමට අපේක්ෂිතය. උද්ධමනය සියයට හතරයි දසම හයක් අතර අපේක්ෂිත ඉලක්කගත පරාසය තුළ ස්ථාවරව පවත්වා ගැනීම, පොලී අනුපාතික තව දුරටත් ස්ථාවරව පවත්වා ගැනීම, ව්‍යාපාර සඳහා වඩාත් හිතකර පරිසරයක් ඇති කිරීම සඳහා සංචාරක කර්මාන්තය නැවත නඟාසිටුවීම, ඉහළ ආයෝජන ප්‍රවාහ, වැඩි දියුණු වූ සාර්ව ආර්ථික මූලිකාංග සමඟ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ යෑම, ශක්තිමත් සහ විනයකින් යුක්ත ආර්ථික තත්ත්වයක් ගොඩනැඟීම එම අපේක්ෂාය. මෙය ගතික සැලැස්මකි. ඉදිරියේදී මේ සැලැස්ම වැඩි දියුණු කිරීම, එයට යම් හැඩ ගැසීම් සිදු කිරීම හෝ එහි සමහර අංශ වෙනස් කිරීමට පවා කිසිදු ආකාරකින් පසුබට නොවීමට තරම් වග බලා ගන්නා බවට නම්‍යශීලීව සහ නිහතමානීව මහ බැංකුව අධිපතිවරයා

සඳහන් කර තිබේ. එය අගය කළ යුතු වූවකි.”

‘ආසියාවේ ආශ්චර්යය’ ලෙස වරෙක අභිමානයෙන් හැඳින්වූ ශ්‍රී ලංකාව, පසු ගිය වසර කිහිපය තුළ දැඩි අභියෝගවලට ලක් විය. එම අභියෝග හමුවේ ලක්වැසි සැම දෙනාගේ සිත් තැති ගැන්වීමකට පාත්‍ර වූ බව රහසක් නොවේ. එනමුත්, එලෙස තැති නොගෙන, ඇතිවී තිබෙන අසීරු අර්බුද සමනය කර ගනිමින්, ඉදිරි මාස හය; ඉදිරි වසර (2022) සහ ඉන් ඔබ්බට මැදි කාලීනව ශ්‍රී ලංකාවට, ආර්ථිකයට, ජනතාවට නව පණක් එක් කරන ‘ප්‍රතිපත්ති පෙර දැක්ම’, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කෙළේය. මේ, ඒ පිළිබඳ කරන විමසා බැලීමකි.

වර්තමානයේ අප මුහුණ දෙන අභියෝග ගණන දහසක් ලෙස අධිපතිවරයා සිය සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථාපිතව සහතික කිරීම සඳහා වන සය මාසික පෙරදැක්මේ දක්වා තිබේ. මන්දගාමී ආර්ථික වර්ධනය සහ පීඩාවට පත්ව ඇති ව්‍යාපාර, කොවිඩ් ආශ්‍රිත සමාජ හා ආර්ථික කටයුතු සීමා කර ගැනීම හේතුවෙන් ඇති වූ දැඩි බලපෑම, විදේශ විනිමය හිඟය සහ ශ්‍රී ලංකා රුපියල තියුණු ලෙස අව ප්‍රමාණය වීම පිළිබඳ පවතින බිය, ආශ්‍රිත ණය ඉහළ යෑමට ඇති හැකියාව, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් තොගය ඉහළ යෑම ඒ අතර ප්‍රධාන වේ. නොපියවා ඇති විශාල අන්තර්ජාතික ස්වෛරීත්ව බැඳුම්කර වගකීම හේතු වෙන් රාජ්‍ය ණය තිරසර භාවය පිළිබඳ පවතින අවදානම්, පහළ මට්ටමේ පවතින නිල විදේශ විනිමය සංචිත, දුර්වල ආදායම, නිල නොවන ප්‍රේෂණ ප්‍රවාහ ඉහළ යෑම, අහිතකර ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම, ගැටලුකාරී තත්ත්වවලට මුහුණ දී ඇති පාරිභෝගිකයන්, ආනයනකරුවන් විසින් ආනයනික භාණ්ඩ තොග රැස් කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දැඩි අභියෝගවලට ලක් වෙමින් පැවතීම,

එදිරිවාදී දේශීය හා විදේශීය මාධ්‍ය වාර්තා, අපනයනකරුවන් විසින් විදේශ විනිමය රැස් කිරීම සහ විශ්වසනීයත්වය පිරිහීම, අප සමාජයේ තැති ගැන්මක් ඇති කිරිමට හේතු වී තිබේ. එහෙත්, අතීතයේ පවා දැඩි අභියෝගවලට මුහුණ දුන් අපේ රට, විවිධාකාරයෙන් පැමිණි එම අභියෝග ජය ගත් බව, මහබැංකු අධිපතිවරයා නැවත සිහිපත් කළේය.

ආර්ථික හා මිල ස්ථායීතාව

ආර්ථිකය ජය ගැනීමට අප යන මේ ගමනේදී, මූල්‍ය පද්ධති ස්ථායීතාව ඇති කළ යුතුය. එම කාර්යභාරය පැවරී ඇත්තේ, ප්‍රධාන වශයෙන් රජයට සහ මහ බැංකුවටය. ඊට අමතරව බැංකු අංශය, බැංකු නොවන අංශය, අපනයනකරුවන්, ආනයනකරුවන්, විදේශ විනිමය ණය දෙන්නන් හෝ ණයගැතියන්‍, සංවර්ධන කොටස්කරුවන්, ආයෝජකයන්, සේවා අපනයනකරුවන්, කර්මාන්තකරුවන්, විදේශ විනිමය හුවමාරු ආයතන, සිල්ලර වෙළෙඳුන් සහ තොග වෙළෙඳුන්, ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය, අනේවාසික ශ්‍රී ලාංකිකයන්, ප්‍රාග්ධන හා ණය වෙළෙඳපොළ, මහ බැංකුව, ශ්‍රී ලාංකික ජනතාව, මේ සඳහා දායකත්වය ලබාදිය යුතු කොටස්කරුවෝ වෙති. ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සහ සාර්ව ආර්ථික ස්ථායීතාව ලබා ගැනීම සඳහා කාල රාමු ත්‍රිත්වයකින් යුතු සැලැස්මක් යෝජනා කරයි. ඒ අනුව, 2021 ඔක්තෝබර් 01 සිට 2022 මාර්තු 31 දක්වා මාස හයක කාල සීමාව සඳහා ඉදිරි දැක්මක් ඉදිරිපත් කර ඇත. එසේම, 2022 ජනවාරි 01 සිට 2022 දෙසැම්බර් 31 දක්වා වසරක කාල සීමාව සඳහා වන ඉදිරි දැක්ම 2022 ජනවාරි 04 වැනි දින ඉදිරිපත් කෙරේ. එය, ණය නොවන මුදල් ප්‍රවාහ කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දෙමින් විදේශීය ණය ව්‍යුහය වැඩි දියුණු කිරීම, රාජ්‍ය මූල්‍ය සහ විදේශ අංශයේ ඉලක්ක ළඟා කර ගැනීම, මැදි කාලයේ සිට දිගු කාලය දක්වා ඕනෑම කම්පනයකට ඔරොත්තු දීම සඳහා සියලුම සාර්ව මූලිකාංගවලට අදාළ ස්ථාවර තත්ත්වයක් ගොඩනැඟීම, දේශීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම, අඩු උද්ධමන පරිසරයක් තුළ වඩා ඉහළ වර්ධනයක් ලබා ගැනීම, විදේශ විනිමය අභියෝගය සහ ණය සේවා අවශ්‍යතා සැලකිල්ලට ගෙන මේ කාලපරිච්ඡේදය නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් ආර්ථිකය නැවත නඟා සිටු වීමට හැකි වන පරිදි පැහැදිලි බව සහ නිශ්චිතභාවය ඇති කිරීම, මේ කෙරෙහි කෙටි කාලීන වශයෙන් අවධානය යොමු කිරීම සඳහා මූලික හේතුව වේ.

එම මාස හයක කාල සීමාව අවසන් වන විට, වෙළෙඳ භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම සඳහා දැනට ගෙන ඇති ප්‍රයත්න සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කරනු ඇත. සංචාරක අංශයෙන් ලැබෙන මුදල් ප්‍රවාහ යථා තත්ත්වයට පත් වීමට ද ඉඩ ඇත. වරාය නගරය සහ කාර්මික කලාප ආරම්භ වීමත් සමඟ ඍජු විදේශ ආයෝජන ගලා ඒම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ මඟින්, ඉලක්කගත මාස හයක කාලය අවසාන වන විට විදේශීය අංශය සඳහා වඩාත් යහපත් පදනමක් සැපයේ.

තීරණාත්මක ගැටලු

කළ යුතු කාර්ය ලැයිස්තුව මඟින්, ආර්ථික හා මිල ස්ථායීතාව සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව කෙරෙහි තර්ජනයක් ඇති කෙරෙන තීරණාත්මක ගැටලු කෙරෙහි අවධානය යොමු කෙරේ. එහිදී මතු වන තීරණාත්මක ගැටලු තුනකි. එනම්, ණය සහ විදේශ විනිමය සම්බන්ධ ගැටලු, මූල්‍ය අංශයේ ගැටලු සහ සාර්ව ආර්ථික ස්ථායීතාවට අදාළ ගැටලු යනු ඒවාය. මූල්‍ය ප්‍රවාහ වඩාත් සමීපව නිරීක්ෂණය තහවුරු කිරීමට නිසි ක්‍රමවේද සකස් කෙරෙමින් පවතී. මැදි කාලීනව අන්තර්ජාතික ස්වෛරීත්ව බැඳුම්කර ණය තොගය ක්‍රමයෙන් අඩු කරයි. එය දළ දේශීය නිෂ්පාදිතය සමඟ සම්බන්ධ කෙරේ. මූර්ත සඵල විනිමය අනුපාතය සැලකීමේදී ඉදිරි මාස තුන තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, රුපියල්199 සිට රුපියල් 203 දක්වා මට්ටමේ තරගකාරීව පවත්වා ගෙන යෑම සහ ඉන් අනතුරුව එය සමාලෝචනය කිරීම අපේක්ෂිතය. එසේම, පුද්ගලික විදේශ මුදල් ගිණුම් (PFCA), (අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (NRFC) නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (RFC) ලෙස පෙර හැඳින්වූ) සඳහා කිසිදු ආකාරයක වෙනසක් සිදු නොකෙරේ. ඔවුන්ට, වර්තමානයේ භුක්ති විඳින පහසුකම් සහ වරප්‍රසාද කිසිදු වෙනසකින් තොරව හිමිවේ.

රජය කළ යුතු කාර්ය ලැයිස්තුව

*බැංකු නොවන අංශය ඒකාබද්ධ කිරීමට පහසුකම් සැපයීම සඳහා සුදුසු බදු ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම තුළින් මූල්‍ය අංශය ශක්තිමත් කිරීමේ උත්සාහයන්ට සහාය වීම.

*මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා රාජ්‍ය බැංකු මත යැපීම අඩු කිරීම.

*ණය ලබා ගන්නා මූලාශ්‍රය විවිධාංගීකරණය කිරීමට රජය සතු වාණිජ ව්‍යවසාය දිරිමත් කිරීම.

*රජය සතු වාණිජ ව්‍යවසායවල ඇතැම් අලාභ රාජ්‍ය බැංකු මඟින් මූල්‍යනය කිරීම නැවැත්වීම.

*ඛනිජ තෙල් වියදම් දැරීම සඳහා රාජ්‍ය බැංකු විසින් ලබා දෙන ණය ප්‍රමාණය අඩු කිරීම.

*පුළුල් සැලැස්මක් සහිතව අසාර්ථක භාවයට පත් වූ මුදල් සමාගම් හය සමඟ කටයුතු කිරීම.

මූල්‍ය ව්‍යාපාර පවත්වා ගෙන යෑමේ බලපත්‍රය අත්හිටුවා හෝ අවලංගු කර ඇති හෝ සියලුම බැංකු නොවන මූල්‍ය ආයතනවල ඉදිරි දැක්ම තක්සේරු කිරීම සඳහා සමාලෝචනයකට භාජනය වෙමින් පවතී. එවැනි බැංකු නොවන මූල්‍ය ආයතන නැවත යථා තත්ත්වයට පත් කිරීමට හැකි වන්නේ යැයි සැලකෙන්නේ නම්, නිසි ව්‍යාපාර සැලසුමකට යටත්ව ඒවා යළි නඟා සිටුවීම සඳහා ප්‍රාග්ධන ආයෝජන යෙදවීමට සැලසුම් සකස් කිරීමට නියමිතය.

 

*අදාළ ක්‍රියාකාරී සැලැස්ම පදනම් කර ගෙන අධිකරණ ක්‍රියාවලිවලදී අවශ්‍ය මැදිහත් වීම් සිදු කිරීමට නියමිතය.

*බලපත්‍ර අත්හිටුවා ඇති බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම්වල ආයොජනය කළ හැකි ආයෝජකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. කෙසේ වුව ‘නව සාමාන්‍යකරණය’ තුළ බැංකු අධීක්ෂණය කිරීම නව අභියෝගයක් වනු ඇත.

සාර්ව ආර්ථික ස්ථායීතාවට අදාළ ගැටලු

මූල්‍ය පද්ධතියේ සමස්ත ස්ථායීතාව සහතික කිරීමට සහ මුදල් ප්‍රතිපත්තියට සහාය වීමට අවශ්‍ය වන පරිදි සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති මෙවලම් භාවිත කිරීමට නියමිතය. තිරසාර සංවර්ධනය පිළිබඳ දිගු කාලීන දැක්මකින් යුතුව, දේශීය සහ විදේශීය සම්පත් ලබා ගැනීම සඳහා හරිත මූල්‍යන විකල්ප ගවේෂණය කරනු ඇත. සැමට ප්‍රතිලාභ ලැබෙන පරිදි ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් ද අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ. මංගත ක්‍රමවේද හරහා ක්‍රියාත්මක වන යෝජනා ක්‍රම ද ඇතුළුව, තහනම්/පිරමීඩ යෝජනා ක්‍රම මැඬ පැවැත්වීමට අවශ්‍ය පියවර ගනු ලැබේ. තහනම් යෝජනා ක්‍රමවල ආයෝජනය කිරීමෙන්, සාමාන්‍ය ජනතාව වැළැක්වීම සඳහා 1988 අංක 30 දරණ බැංකු පනත යටතේ පැවරී ඇති බලතල යටතේ මහ බැංකුව විසින් තව දුරටත් ගන්නා පියවර යටතට, තහනම් යැයි සැක කෙරෙන තහනම් යෝජනා ක්‍රම හා වෙනත් මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු හා පැමිණිලි පිළිබඳ කරුණු සෙවීමේ පරීක්ෂණ පැවැත්වීම, වැරැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා පරීක්ෂණ පවත්වා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට වාර්තා කිරීම, තහනම් /පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳ සාමාන්‍ය ජනතාව දැනුම්වත් කිරීම අයත්ය.

රටෙහි බොර තෙල් බිල්පත් ගෙවීමට අවශ්‍ය මුදල් සපයමින් විදේශ විනිමය වෙළඳපොළ වෙත ද්‍රවශීලතාව සැපයීම, විනිමය අනුපාතිකය පිළිබඳ සහ හිඟයක් ලබා දී රුපියල් වටිනාකම මඟින් නාමනය කරන ලද රජයේ සුරැකුම්පත්වල ආයෝජන ප්‍රවර්ධනය කිරීම, අපනයන ඉපැයීම් ලැබීම් අනිවාර්යයෙන් රුපියල්වලට පරිවර්තනය කිරීම ශක්තිමත් කිරීම, විදේශ විනිමය ආපසු ගෙන්වූයේ නැති වුව හොත් සහ පරිවර්තනය නොකළ හොත් අපනයනකරුවන්ගේ ලාභ සඳහා 14%ක බද්දක් නොව, 28%ක බද්දක් අය කරන ලෙස රජයෙන් ඉල්ලීම, බලපෑමට ලක් වූ මුදල් සමාගම් සඳහා ද්‍රවශීලතා ආධාර සපයන අතරම ණය සහන කාලය දීර්ඝ කිරීම සඳහා කටයුතු කිරීම, වසංගතයෙන් බලපෑමට ලක් වූ ණය ගැනුම්කරුවන් සඳහා රටේ නීතිය ක්‍රියාත්මක කිරීම සහ වාහන නැවත පවරා ගැනීම, ඉදිරි මාස හයක කාලයකට අත්හිටුවීම, ඉදිරි මාස හයේදී ගැනීමට නියමිත ක්‍රියාමාර්ග වේ.

හානි අවම කිරීම

වසංගතය හේතුවෙන් දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට සිදු වූ හානිය අවම කිරීම සඳහා සැලැසුම් කළ යාන්ත්‍රණයක් හරහා, හිඟ පොලිය පියවීමට රුපියල් මිලියන 15000ක් වෙන් කිරීම, වසංගත කාලය තුළ අවශ්‍ය මුදල් සැපයීමට ගත් ක්‍රියාමාර්ග නැවත හැරවීම සඳහා මුදල් ප්‍රතිපත්ති උපකරණ භාවිත කිරීම, මූල්‍ය අංශය තිරසාර ස්ථාවරත්වයක් කරා මෙහෙය වීම සඳහා සාර්ව විචක්ෂණ මෙවලම් මෙන්ම, සුක්ෂ්ම විචක්ෂණ නියාමනය සහ අධීක්ෂණ භාවිත කිරීම, අධ්‍යාපනය හා සෞඛ්‍ය අවශ්‍යතා සඳහා විදේශ විනිමය කඩිනමින් ලබා ගැනීමට පහසුකම් සැපයීම, සංක්‍රමණික දීමනාව සහ ආයෝජන පිටතට ගලා යෑම් මත පනවා ඇති උපරිම සීමා 2022 ජනවාරි මාසයේ සිට බල පැවැත්වෙන පරිදි ඉවත් කිරීම, අත්‍යවශ්‍ය නොවන / හදිසි නොවන ආනයන සඳහා පනවා තිබූ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කෙරේ.

එසේම, 2022 ජනවාරි 01 දින සිට ආරම්භ වන පරිදි විදේශ විනිමය ගනුදෙනු අධීක්ෂණය කිරීම සඳහා අන්තර්ජාතික ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය (ITRS) ස්ථාපිත කිරීම, සේවා සම්බන්ධ විදේශ විනිමය ගලා ඒම අධීක්ෂණය කිරීම සහ එම මුදල් ආපසු රට තුළට ගෙන්වා ගැනීම හා පරිවර්තනය කිරීම සහතික කිරීම, කල් පිරෙන ණය බැඳීම් හැකි සෑම අවස්ථාවකදීම ණය නොවන මූලාශ්‍රය හරහා ලැබෙන නව ලැබීම් මඟින් පියවීම, වෙළඳපොළ තුළ ඉහළ මට්ටම් පවතී නම් 2022 වසරේ ජනවාරි මාසයේදී සහ හෝ 2022 ජුලි මාසයේදී කල් පිරෙන අන්තර්ජාතික ස්වෛරිත්ව බැඳුම්කරවල සමස්ත නිකුතුවම ආපසු මිලදී ගැනීම පිළිබඳ සලකා බැලීම, අන්තර්ජාතික ස්වෛරීත්ව බැඳුම්කර දල දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස සියයට දහයක් හෝ ඊට අඩු වන තුරු, කල් පිරෙන අන්තර්ජාතික ස්වෛරීත්ව බැඳුම්කර රජය විසින් අනෙකුත් රාජ්‍ය මඟින් ලබා ගන්නා ණය හරහා පියවීමට කටයුතු කෙරේ. ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට පියවර ගැනීම, නිල මාර්ග ඔස්සේ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලබා ගැනීම සඳහා දිරිමත් කිරීම, මුදල් හුවමාරු කරන්නන්ගේ බලපතු නැවත ලබා දීමෙන් ඔවුන් විධිමත් අංශයට යොමු කිරීම වැනි ක්‍රියාවට නංවන ලද ක්‍රියාමාර්ග මඟින්, මහජනතාව වර්තමානයේ මුහුණ දෙන දුෂ්කරතා ලිහිල් වනු ඇත.

ඍජු ප්‍රතිලාභ

පහත දැක්වෙන ක්‍රියාමාර්ග හරහා ඍජු ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට හිමිවේ. ඒ අනුව, ණයපත් මඟින් සිදු කරන ගෙවීම් ඇතුළත්ව, අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට අදාළ විදේශ විනිමය ගෙවීම් සඳහා පහසුකම් සැලසීම, 2022 වසරේ ජනවාරි මාසයේදී සංක්‍රමණ දීමනා මත පැනවූ සීමා ඉවත් කිරීම, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආනයන සඳහා පහසුකම් සැලසීම මඟින් බාධාවකින් තොරව සැලසුම් ලබා දීම සහතික කෙරේ. මේ ප්‍රතිඵල, කොවිඩ් - 19 වසංගතයේ බලපෑම්වලින් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන්ට යථා තත්ත්වයට පත් වීම සඳහා සහාය වීමට මහ බැංකුව සහ රජය විසින් දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා අනුපූරක වනු ඇත. මැදි කාලයේ සිට දිගු කාලීනව ආර්ථිකයේ ගමන් මඟ අපේක්ෂිත මාවත ඔස්සේ ගෙන යෑමට මේ ඉලක්ක සපුරාලන උපාය මාර්ග උපයෝගී වනු ඇත.

ඒ අනුව, එන්නත් කිරීමේ ක්‍රියාවලිය සාර්ථක වීමත් සමඟම සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරමින් රට ක්‍රමයෙන් විවෘත කිරීම මඟින්, සෑම අංශයක්ම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එසේම, ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත් කිරීම පුළුල් වනු ඇත. මේ කාල පරිච්ඡේදයේදී ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඵලදායී ලෙස ආර්ථික ක්‍රියාකාරකම්වල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අවිධිමත් ව්‍යාපාර සහ දෛනික වැටුප් ලබන්නන් වැනි අවදානමට ලක් විය හැකි කණ්ඩායමක් ඇතුළත් වේ. එසේම, ප්‍රාග්ධන වෙළෙඳාමට අදාළව නීති හඳුන්වා දීමත් සමඟ ආයෝජන වාතාවරණය ක්‍රමයෙන් වැඩි දියුණු වනු ඇත. වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත ක්‍රියාත්මක කිරීම සහ ප්‍රයෝජනයට නොගත් වත්කම් මුදල් බවට පත් කිරීමත් සමඟ තවත් ඍජු ආයෝජන ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නව ක්‍රියාමාර්ග

සංචාරක කර්මාන්තය වර්ධනය වීමත් සමඟ විදේශීය අංශයේ පීඩනය ක්‍රමයෙන් කළමනාකරණය වන අතර, විනිමය අනුපාතයේ වැඩි ස්ථාවරයක් සහ ජංගම ගිණුම් ශේෂය හිතකර ලෙස වර්ධනය වීම සහ විදේශ විනිමය සංචිත වර්ධනය වීම අපේක්ෂා කෙරේ.

ස්ථාවර මිල ගණන් සහ ශක්තිමත් සාර්ව ආර්ථික මූලිකාංග සමඟ මේ නව ක්‍රියාමාර්ග, ආර්ථිකයට වැඩි ස්ථාවරත්වයක් ලබා දෙයි. එමඟින් ශක්තිමත් හා විනයකින් යුතු ආර්ථික තත්ත්වයක් කරා ළඟා වීමට හැකිවනු ඇත. කෙටි කාලීන බාධක ජය ගැනීමෙන් පසුව, 2022 වසර සහ ඉන් ඉදිරියට වැඩි විශ්වාසයක් සහිතව ඉදිරියට යෑම ඉලක්කය වී ඇති බව, මහ බැංකු අධිපතිවරයා පවසයි.

2022 වසර අවසානය වන විට තවත් ධනාත්මක ප්‍රතිඵලයක් අපේක්ෂා කරමින් සිටී. ඒ අනුව, කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමත් සමඟ ආර්ථික කටයුතු ක්‍රමයෙන් සාමාන්‍යකරණය වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස මූර්ත දල දේශීය නිෂ්පාදනයෙහි වර්ධනය සියයට හයක පමණ මට්ටමක පවත්වා ගැනීමට අපේක්ෂිතය. උද්ධමනය සියයට හතරයි දසම හයක් අතර අපේක්ෂිත ඉලක්ක ගත පරාසය තුළ ස්ථාවරව පවත්වා ගැනීම, පොලී අනුපාතික තව දුරටත් ස්ථාවරව පවත්වා ගැනීම, ව්‍යාපාර සඳහා වඩාත් හිතකර පරිසරයක් ඇති කිරීම සඳහා සංචාරක කර්මාන්තය නැවත නඟා සිටුවීම,

ඉහළ ආයෝජන ප්‍රවාහ, වැඩි දියුණු වූ සාර්ව ආර්ථික මූලිකාංග සමඟ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ යෑම, ශක්තිමත් සහ විනයකින් යුක්ත ආර්ථික තත්ත්වයක් ගොඩනැඟීම එම අපේක්ෂාය. මෙය ගතික සැලැස්මකි. ඉදිරියේදී මේ සැලැස්ම වැඩි දියුණු කිරීම, එයට යම් හැඩ ගැසීම් සිදු කිරීම හෝ එහි සමහර අංශ වෙනස් කිරීමට පවා කිසිදු ආකාරකින් පසුබට නොවීමට තරම් වග බලා ගන්නා බවට නම්‍යශීලීව සහ නිහතමානීව මහ බැංකුව අධිපතිවරයා සඳහන් කර තිබේ. එය අගය කළයුතු වූවකි. මේ ඉදිරිපත් කිරීම, ජයග්‍රහණයක නොව, විජයග්‍රහණයක සලකුණු තැබීමක් බව අපගේ අදහසය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වුණු 2019 වසරට සාපේක්ෂව 2022 වසරේ ජනාධිපති වැය ශීර්ෂය රුපියල් කෝටි 1,077කින් පහත හෙළා තිබේ. රාජපක්ෂ මහතා බලයට පත් වන්නට පෙර 2019 වසරේදී ජනාධිපති වැය ශීර්ෂය රුපියල් කෝටි 1,355ක් වූ අතර 2022 වර්ෂය සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව ජනාධිපති වැය ශීර්ෂය රුපියල් කෝටි 278කි.

2019 වර්ෂයේදී රුපියල් කෝටි 1,355ක් වූ ජනාධිපති වැය ශීර්ෂය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කළ පළමු අයවැයේදී එනම් 2021 වසරේදී රුපියල් කෝටි 934 දක්වා රුපියල් කෝටි 421කින් පහත දැමුවේය.

2021 වසරේදි රුපියල් කෝටි 934ක් වු ජනාධිපති වැය ශීර්ෂය 2022 වසරේදී රුපියල් කෝටි 278 දක්වා පහත දැමීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත. ඒ අනුව 2022 වසරේදී ජනාධිපති වැය ශීර්ෂය රුපියල් කෝටි 656කින් පහත දමා ඇත.

 

අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම රුපියල් කෝටි 3,000කින් පහත දමා තිබේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් මෙම වැඩපිළිවල පසුගියදා (30 ) ආරම්භ කෙරිණ. 
රජයේ කාර්යක්ෂම සේවක බලකායක් වර්ධනය කිරීම සහ රජයේ ආයතන ඩිජිටල්කරණයෙන් උසස්මට්ටමට  පත්කිරීම මෙහි අරමුණයි. ඒ සදහා ප්‍රධාන ඩිජිටල් තොරතුරු නිලධාරින් බලගැන්වීම සිදුකෙරෙනු ඇත. 
 
පිරිවැය අඩු කිරීම, වේගවත් සේවා සැපයීමක් සහතික කිරීම සහ රාජ්‍ය ආයතන තුල  ඇති සියලුම ගණුදෙනු හා අන්තර් ක්‍රියාකාරිත්වයන් තුළ විනිවිදභාවය පවත්වා ගැනීම සඳහා  වඩාත්  කාලෝචිත, පලදායි ප්‍රයත්නයක් ලෙස මෙය හදුනාගෙන ඇත. වසර 2024 වනවිට රාජ්‍ය අංශයේ ආයතනවලට අනුබද්ධ  ප්‍රධාන තාක්ෂණ තොරතුරු නිලධාරි 500 ක් බිහිකිරම මෙයට සැලසුම්කර ඇත. රජයේ ප්‍රධාන උපාය මාර්ගයක් ලෙස හදුනාගෙන ඇති  තාක්ෂණ  පාදක ආර්ථිකයක් ගොඩනැගීම සදහා ගෙනයන  වැඩපිළිවලට සමගාමිව මෙය ක්‍රියාත්මක කරයි. තාක්ෂන අමාත්‍යංශ ලේකම් ජයන්ත ද සිල්වා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති  ඕෂද සේනානායක ප්‍රධාන විධායක නිලධාරි ඉංජිනේරු මහින්ද බි හේරත් ඇතුළු විද්වත් පිරිසකගේ සහභාගීත්වයෙන් මාර්ග ගත ක්‍රමයට මෙම සමුළුව පැවැත්විණි.   
 
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය  දියත් කෙරෙන මෙම වැඩපිළිවල   මඟින් ප්‍රධාන ඩිජිටල් තොරතුරු නිලධාරින්ගේ වගකීම් හා  ගත යුතු මාර්ග නිශ්චිතව හදුනාගනු ලැබිණ.  ඕනෑම රජයේ සේවකයෙකුට එම  තනතුරට සලකා බැලීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සහ අවම සුදුසුකම් රාමුවක් ද හදුනාගැනින.
 
මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් තාක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේ, “ICTA ආයතනය ආරම්භ කළ මෙම වැඩපිළිවෙළට සහයෝගය දැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය පූර්ණ වශයෙන් කැප වී සිටින බවයි. ඉදිරි වසර තුන තුළ පුරවැසියන් කේන්ද්‍ර කරගත් රජයක් සඳහා රාජ්‍ය  අංශය තුළ සැලකිය යුතු වෙනසක් අපේක්ෂා කෙරේ. එම නිසා, රාජ්‍ය  සේවකයින්ගෙන් අපි ඉල්ලා සිටින්නේ, හැකියාවන්  ඇති රජයේ ශ්‍රම බලකායක් ලෙස වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි. එම හැකියාවන් වර්ධනය කර ගැනීම සදහා තොරතුරු හාසන්නිවෙදන  තාක්ෂණ නියෝජිතායතනය  ICTA පහසුකම් සලසන හෙයින්, එහි ප්‍රයෝජන ගන්නා  ලෙස ලේකම්වරයා ඉල්ලාසිටින ලදී .
 
තොරතුරු හාසන්නිවෙදන  තාක්ෂණ නියෝජිතායතනහි ( ICTA  )සභාපති ඕෂධ සේනානායක මහතා සඳහන් කළේ, “රාජ්‍ය අංශය හරහා ඩිජිටල් පරිවර්‍තනයක ගමනක් කෙරෙහි අපි අවධානය යොමු කොට තිබේ . එය  දිගු කාලීනවරාජ්‍යා අංශයේ  තිරසාරභාවය සඳහාත්  ධාරිතාවය ඉහළ නැංවීම සහ නිපුණතාවය ඉහළ නැංවීමත් අරමුණුකර ඇත. මෙහිදී  මහජනයාට ප්‍රශස්ත සේවාවක් ලබාදීම සදහා සැකසුනු , ආයතනික ක්‍රියාවලියක්  හා ප්‍රතිපත්ති සමඟ ඩිජිටල් යෙදවූම  එක්කිරීම වැදගත්වේ. ඒ සදහා  රාජ්ය අංශය තුළ උත්ප්රේරකයක් ලෙස තාක්ෂණය හඳුන්වා දීම සහතික කිරීම සඳහා රජයේ ප්‍රධාන තාක්ෂණ තොරතුරු නිලධාරි වැඩසටහන ඉතා වැදගත් වනු ඇත.අද දියත් කරන ලද මෙම වැඩපිළිවල  ඔවුන්ගේ කාර්යභාරය මෙන්ම ඕනෑම රජයේ සේවකයෙකුට එම  තනතුර සලකා බැලීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සහ අවම සුදුසුකම් රාමුවක් ද  සපයනු ඇත.
 
රමේෂ් ෂන්මුගනාදන් මහතා, විධායක උප සභාපති/සමුහ  (John Keels Holdings PLC..) සහ Lion Brewery (Ceylon) PLC  හි  තොරතුරු තාක්‍ෂණ අංශයේ ප්‍රධානී අමා ඒකනායක මහත්මිය ,තොරතුරු හාසන්නිවෙදන  තාක්ෂණ නියෝජිතායතනහි  ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි අනුර ද අල්විස් මහතා මෙහිද දහස් දක්වන ලදී .
 
මෙම ක්‍රියාවලියට සහාය වීම සඳහා කැප වූ උපදේශක සංචිතයට   රමේෂ් ෂන්මුගනාදන් මහතා, (උප සභාපති/සමුහ  John Keels Holdings PLC.) අනෝජා බස්නායක මහත්මිය, අධ්‍යක්ෂ තොරතුරු තාක්ෂන් (Baur and Co. Pvt.Ltd), , තොරතුරු හාසන්නිවෙදන  තාක්ෂණ නියෝජිතායතනහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සහ  විධායක උප සභාපති/ (Virtusa )  මධු රත්නායක මහතා,   . කේ.වී කුගනාදන් මහතා , සමූහ ප්‍රධාන තොරතුරු නිලධාරි ( ජනශක්ති සමූහය, )Lion Brewery (Ceylon) PLC හි තොරතුරු තාක්‍ෂණ අංශයේ ප්‍රධානී අමා ඒකනායක මහත්මිය. සහ ජෙහාන් මුතාලිෆ් මහතා, ප්‍රධාන ඩිජිටල් නිලධාරි( MAS Holdings ) මෙම අවස්ථාවට සහභාගීවූහ. 
 
මාර්ගත ක්‍රමයට පවතී මෙම සමුළුවට තොරතුරු හා සන්නිවේදන  තාක්ෂණ නියෝජිතායතනයෙහි අධ්‍යක්‍ෂක ධාරිතා සන්වර්ධන සමීර ජයවර්ධන ඇතුළු නිලධාරි රැසක් සහභාගීවූහ. 

රට පුරා සියලු පුරවැසියන් හට අධිවේගී අන්තර්ජාල සේවා ආවරණය සැලසීම සඳහා ‘ගමට සන්නිවේදනය’ ජාතික ව්‍යාපෘතිය දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවීමට රජය සැරසෙයි.

 අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවේ හිමිකම සෑම පුරවැසියකුටම ලබාදීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පවත්වන ලද සමීක්ෂණයක දත්ත උපයෝගී කරගනිමින් රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගනිමින් එහි නියමු ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවන ලදී.

එම ව්‍යාපෘතිය යටතේ මේ මාසය අවසන් වන විට රත්නපුර දිස්ත්‍රික්කය අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයෙන් ආවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ සඳහා වැයවෙතැයි අපේක්ෂා කරන මුදල රුපියල් බිලියන 30ක් වන අතර මෙය ජාතික ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට රුපියල් බිලියන 15ක මුදලක් පසුගිය අයවැයෙන් වෙන් කොට තිබේ.

 

ව්‍යාපෘතිය 2022 වසර අවසන් වන විට අවසන් කිරීමට නියමිත අතර දිවයිනේ සියලුම පාසල්වලට සියයට සියයක්ම ෆයිබර් අධිවේගී අන්තර්ජාල සබඳතාව සැපයීමද මෙහි එක් ඉලක්කයකි.

2021 වසරේදී දිස්ත්‍රික්ක දහයකත් 2022 වසරේදී ඉතිරි දිස්ත්‍රික්කවලත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ.

කොවැක්ස් පහසුකම හරහා ඇමරිකානු රජයේ පරිත්‍යාගයක් ලෙස ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් ඊයේ (01) පස්වරුවේ මෙරටට ලැබිණි.
 
සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් මෙම පරිත්‍යාගය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අද (01) භාර ගනු ලැබීය.
 
කොවැක්ස් පහසුකම යටතේ මේ වනවිට මෙරටට ඇමරිකන් රජය මගින් ෆයිසර් එන්නත් ලක්ෂ නවයක පමණ ප්‍රමාණයක් ලබා දී ඇත.
 
මේ වන විට එම පහසුකම් යටතේ ෆයිසර්, මොඩාර්නා හා ඇස්ට්‍රාසෙනිකා යන එන්නත් ලක්ෂ 42 ක ප්‍රමාණයක් මෙරටට ලැබී ඇත.
 

 ඔක්තෝම්බර් 1 වනදාට යෙදුනු ලෝක ළමා දිනය සැමරීමත්, පවතින කොරෝනා වෛරසය ආසාධිතව ප්‍රතිකාර ලබන ළමුන් සදහා වෛද්‍ය පහසුකම් ඉහළ නැංවීමේ  අරමුණත් පෙරදැරිකොටගෙන ජාතික යොවුන් සේනාංකයේ සභාපති කර්නල් දර්ශන රත්නායක මහතා විසින් රු. මිලියනයකට අධික මුදලක් ළමා රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනයේ කෝවිඩ් අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කිරීම ඊයේ (01) සිදුවිය.
 
ජාතික යොවුන් සේනාංකයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ දෛනික වැටුපක් මේ සදහා දායක කර ගෙන ඇත.
 
"පරිත්‍යාග කරන ලද මුදලින් IDH රෝහලේ ළමා රෝග විශේෂඥ වාට්ටුවේ අධිසත්කාර ඒකකය ගොඩනැගීම හා එහි පහසුකම් වැඩි කරමින් ළමුන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කරන බව" මෙම පරිත්‍යාග මුදල භාර ගනිමින් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති සහ කොවිඩ් 19 ආසාධිත දරුවන් සම්බන්ධ ජාතික වැඩසටහනේ පුරෝගාමී විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශ්‍යාමන් රජින්ද්‍රන් මහතා පැවසීය.

පොල් නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසරෙහි මෙරටට ලැබුණු ආදායම රුපියල් කෝටි 12,200ක් බව වැවිලි අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) සුරේකා අත්තනායක මහත්මිය ‘දිනමිණ‘ කළ විමසීමකදී ඊයේ (1) පැවසුවාය.

පොල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදනවලින් රුපියල් කෝටි 3300ක ආදායමක් හා පොල් කටු ආශ්‍රිතව රුපියල් කෝටි 2000ක ආදායමක් ලැබෙන බවත් පොල් කෙදි නිෂ්පාදනවලින් ලැබෙන සමස්ත ආදායමෙන් රුපියල් කෝටි 2500ක්ම ලැබෙන්නේ කොහුවලින් සකස් කරන ලද මල් පෝච්චිවලින් බවත් කීවාය.  

පොල් නිෂ්පාදන බහුතරයක් අපනයනය අරමුණු කර ගෙන කරන බව පැවසූ අත්තනායක මහත්මිය දේශීය වෙළෙඳපොළට පොල් කිරි නිෂ්පාදනය කරන බවත් පොල් කිරි භාවිතයට ලාංකේය සමාජය පුහුණු කිරීම මඟින් පොල් අපතේ යෑම වළක්වාගත හැකි බවත් පැවසුවාය. එයට හේතුව ලෙස ඇය පැවසුවේ පොල් ගෙඩියක් බිඳීමෙන් නිවෙසක පරිභෝජනයට ගනු ලබන ප්‍රමාණයට වඩා අපතේ යන ප්‍රමාණය වැඩි බවයි.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter