නවතම පුවත්

ලොව පුරා හින්දු ආගමිකයින් විසින් පවත්වනු ලබන නවරාත්‍රී පූජාව ඊයේ (12) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. ඉන්දියානු රාජ සභා සාමාජික ආචාර්ය සුබ්‍රමනියම් සාමි මහතා ද මෙම නවරාත්‍රී පූජෝත්සවය සඳහා එක්ව සිටීම විශේෂත්වයකි.
සියලුම හින්දු භක්තිකයන් මවක ලෙස ගරු කරන ‘ශක්ති දෙවියන්’ නමස්කාර කිරීම චාරිත්‍රානුකූලව දින නවයක් පුරා මෙම ආගමික වතාවත්වලට සමඟාමීව සිදුවෙයි.
කොවිඩි වසංගතය හේතුවෙන් ඉතා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති නව රාත්‍රී පූජෝත්සවය අග්‍රාමාත්‍ය හින්දු ආගමික කටයුතු සම්බන්ධීකාරක රාමචන්ද්‍ර කුරුකල් බාබු ෂර්මා, මයුරපති ශ්‍රී බද්‍රකාලි අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක තුරෛසාමි උදයරාගව කුරුකල් සහ පුජක අරුණ ප්‍රශාන්තන් ෂර්මා යන පුජකතුමන්ලා මෙහෙය වූහ.
දරුවන්ගේ කතා සහ නර්ථන අංගවලින් අරලියගහ මන්දිරයේ පැවති නව රාත්‍රී පූජෝත්සවය වර්ණවත් විය.
මෙම අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ආචාර්ය සුරේන් රාඝවන්, මයුරපන්දි රාමේෂ්වරන්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, විනිසුරු කේ. ශ්‍රීපවන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් සෙන්දිල් තොණ්ඩමන්, මා බිරිඳ ශිරන්ති රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පත්‍රකලාවේදීන් සඳහා හඳුන්වාදුන් ආචාරධර්ම පද්ධතියට 2021 ඔක්තෝබර් 14 දින වසර 40ක් සපිරෙයි.

1981 ඔක්තෝබර් මස 14 දින ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් මෙම ආචාරධර්ම පද්ධතිය හඳුන්වා දෙනු ලැබීය.

එය සමරනු පිණිස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මන්ත්‍රණයක් සංවිධාන කර ඇත. සම්මන්ත්‍රණය 2021 ඔක්තෝබර් 14 දින ප.ව. 4.00 ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. මීට සමගාමීව පුවත්පත් මණ්ඩල නිල වෙබ් අඩවිය වන www.slpc.lk නව මුහුණුවරකින් එළිදැක්වීම සහ සමරු මුද්දරය හා මුල් දින කවරය නිකුත් කිරීම එදින සිදු කෙරේ.

“යහපත් සමාජයක් ගොඩනැගීමෙහිලා ජනමාධ්‍ය ආචාරධර්ම ආරක්ෂා කිරීමේ වැදගත්කම” හා “ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය හා එහි ආචාරධර්ම” යන මැයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන වික්ටර් අයිවන් සහ ආරියනන්ද දොඹගහවත්ත යන මහත්වරු සම්මන්ත්‍රණයේ දේශන පවත්වති.

සන්නිවේදන අධ්‍යනයේ නිරත සිසු දරුවන්, සන්නිවේදන ගුරුවරුන්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සහ ජනමාධ්‍යවේදීන් මාර්ගගත ක්‍රමයට Zoom තාක්ෂණය ඔස්සේ ඊට සහභාගීවීමට නියමිතය.

 

ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා (General Manoj Mukund Naravane) අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.
 
කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් අසල්වාසි රටවල ස්ථාවරභාවය තම රට ඉහළින් අපේක්ෂා කරන බව ජෙනරාල්වරයා සාකච්ඡාව අරඹමින් සඳහන් කළේය.
 
යුද හමුදා සේවා කාලය තුළ තමා ඉන්දියාවේ දී ලද හමුදා පුහුණුවීම් සහ අත්දැකීම් පිළිබඳ ආවර්ජනය කළ ජනාධිපතිතුමා, ඉන්දීය හමුදා පුහුණුවීම් මගින් මෙරට හමුදා නිලධාරීන්ට ලැබෙන නායකත්ව හැකියාව පිළිබඳ සිය ප්‍රසාදය පළ කරනු ලැබීය. 
 
දේශ සීමා ගණනාවකින් වටව ඇති ඉන්දීය රජයේ ආරක්ෂාව තහවුරු කරගැනීම,කඳු ආශ්‍රිත දුෂ්කර ප්‍රදේශවල දී හමුදා සුබසාධන කටයුතු සහ ඉන්දීය හමුදා නිලධාරීන් නායකත්ව පුහුණුවීම් සඳහා යොමු කෙරෙන නිලයන්  පිළිබඳ ජනාධිපතිතුමා ජෙනරාල් මනෝජ් මුකුන්ද් මහතාගෙන් තොරතුරු විමසීය.
බලසේනාධිපතිවරයෙකු ලෙස පත්වීමෙන් පසු ඉන්දීය යුද හමුදා නිලධාරීන් නායකත්ව පුහුණුවීම් සඳහා යොමු කෙරෙන අතර ඒ ඒ නිලයන් විශ්‍රාම ගැන්වෙන වයස් සීමාවන් පිළිබඳ ජෙනරාල්වරයා කරුණු පැහැදිලි කරනු ලැබීය. 
 
ශ්‍රී ලංකා හමුදා නිලධාරීහු දහසකට ආසන්න පිරිසක් වාර්ෂිකව ඉන්දියාවේ දී යුද පුහුණුව ලබති. එම පිරිසට අමතරව ඉදිරි කාලය තුළදී හමුදා නිලධාරීන් 50 දෙනෙකුට විශේෂයෙන් සකස් කළ පුහුණු පාඨමාලාවක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ඉල්ලීම මත ලබාදීමට පියවර ගන්නා බව ඉන්දීය හමුදා ප්‍රධානියා පැවසීය.
 
ඉන්දීය සාම සාධක හමුදාව නියෝජනය කරමින් ත්‍රිකුණාමලය 4 කණුව ප්‍රදේශයේ සේවය කළ කාලසීමාවේදී ලද අත්දැකීම්පිළිබඳ මතකය මෙම සංචාරය තුළින් නැවතත් අලුත් කෙරුණු බව  ජෙනරාල් මනෝජ් නාරාවන මහතා සඳහන් කළේය.
 
තමාටද හිටපු හමුදා නිලධාරියෙකු ලෙස මෙවැනි අවස්ථාවක මතකයන් සිහිකරමින් කතාබහ කිරීමට ලැබීම ගැන සතුටු වන බව ජනාධිපතිතුමා පැවසීය.
 
ඉන්දීය යුද හමුදා මූලස්ථානයේ පුහුණු අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් රජීව් තාපර් (Rajeev Thapar),
යුද උපදේශක මේජර් ජෙනරාල් වික්‍රාන්ත් විලාස් නයික් (Vikrant Vilas Naik), විදේශ කටයුතු අංශයේ නියෝජිත කර්නල් මන්දීප් සිංග් දිල්ලන් (Mandeep Singh Dhillon), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්කළ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ ග්‍රාම සේවා වසම් 14,022 හි විශේෂ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද රුපියල් මිලියන දෙකේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියෙහි ප්‍රගතිය සොයා බැලීම පිළිබඳ සාකච්ජාවක් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් අද(12) දින පැවැත්විණි.
 
අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මෙම සාකච්ජාවට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පිරිසක් ද එක් වූහ.
 
එම ව්‍යාපෘතිය සඳහා මහ නගර සභා,  නගර සභා හා ප්‍රාදේශීය සභා තුළින් මාර්ග සංවර්ධන ව්‍යාපෘති යෝජනා 30,941 ක් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී තිබේ.
 
සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකින්ම ප්‍රමුඛතාවය මත කිලෝ මීටරයකට අඩු මාර්ග නම්කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අදාළ යෝජනා අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන්නැයි අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබිණි. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම කඩිනම් කරන්නැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.
 
අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පවතින ගැටලු හඳුනා ගැනීම හා එම ගැටලු නිරාකරණය කර ගනිමින් ග්‍රාමීය ජනතාව විසින් ඉල්ලීම් කර ඇති මෙම ග්‍රාමීය මාර්ග යෝජනා කඩිනම් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි.
 
ප්‍රධාන මාර්ගයකට ප්‍රවේශ වන, ආර්ථිකමය වශයෙන් ඉහළ වටිනාකමක් ඇති, ග්‍රාමීය ජනතාව වැඩි වශයෙන් භාවිතා කරන කිලෝ මීටර් එකකට අඩු ග්‍රාමීය මාර්ගයක් ප්‍රමුඛතාවය මත කොන්ක්‍රීට් හෝ කොන්ක්‍රීට් කුට්ටි ගල් ඇතිරීම සඳහා රුපියල් මිලියන දෙකක මුදලක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයකට ලබාදෙනු ඇත. 
 
මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන්, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති ඩී.පී.එම්.චන්දන, ව්‍යාපෘති අධ්‍යක්ෂිකා මංගලා ගුණරත්න ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

- පළමු අදියර 2022 ජනවාරි
- දෙවැනි අදියර 2023 ජනවාරි

ගුරු - විදුහල්පති වැටුප් විසමතාවට අදියර දෙකක් යටතේ විසඳුම් දීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම වෘත්තීය සංගම් නියෝජිතයන් හමුවේ ඊයේ (12) පස්වරුවේ එකඟතාව පළ කළේය.

ගුරු - විදුහල්පති වැටුප් විසමතා ඉවත් කිරීම සඳහා පත් කළ අමාත්‍ය අනු කමිටුවේ යෝජනාව පරිදි කොටස් තුනකින් වැඩි කිරීමට යෝජිත වැටුප පළමු අදියරයට 2022 වර්ෂයේ අය - වැය මඟින්ද ඉතිරි කොටස් දෙක 2023 වර්ෂයේ අය වැය මඟින් එම වසරේදීද ලබා දීමට මෙහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කළේය.

වැටුප් විසමතා ඉවත් කරන්නැයි ඉල්ලා දින 93ක් පුරා අරගලයක නිරතව සිටින ගුරු - විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතවරු අරලියගහ මන්දිරයට ඊයේ (12) කැඳවා අගමැතිවරයා මේ විසඳුම් යෝජනා ඉදිරිපත් කළේය.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ ගැටලුව පිළිබඳ ආණ්ඩුව සංවේදි වන බවත් වැටුප් විසමතා ඉවත් කළ යුතු බව තමන් පිළිගන්නා බවත් අගමැතිවරයා එම නියෝජිතවරුන් හමුවේ පැවසීය.

කොවිඩ් -19 වසංගතය හමුවේ මහා භාණ්ඩාගාරයට මුදල් ලැබීම් සීමා වීම නිසා එකවර මේ ඉල්ලීම් දීමට නොහැකියි. දරුවන්ගේ අධ්‍යාපනය තවදුරටත් බාධාවකින් තොරව කර ගෙන යෑමේ අවශ්‍යතාව මත අණ්ඩුව මේ විසඳුම් යෝජනාව හෝ ඉදිරිපත් කරන බව අගමැතිවරයා මෙහිදී පැවසීය.

 

2021. 08. 09 දිනැති ඇමැති මණ්ඩල තීරණය මඟින් ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ ඇමැති මණ්ඩල අනුකමිටුව විසින් ඉදිරිපත් කළ තීරණද ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.

ඒ අනුව ගුරු, ගුරු උපදේශක, විදුහල්පති සේවාවන් සංවෘත සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ විධිවිධාන නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීම ඇතුළු අනෙකුත් නිර්දේශ මාස 6ක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝද මේ හමුවට වැඩම කළහ.

ගුරු - විදුහල්පති සංගම් නියෝජනය කරමින් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ යලේවෙල පඤ්ඤාසේකර හිමි, ලංකා පිරිවෙන් ගුරු සංගමයේ මීගහජඳුරේ සීලානන්ද හිමි, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ උලපනේ සුමංගල හිමි, පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ වසන්තා හඳපාන්ගොඩ, ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ, සමස්ත ලංකා ගුරු උපදේශක සංගමයේ පී. එම්. සමරකෝන්, සමස්ත ලංකා රජයේ ක්‍රියාකාරි විදුහල්පති සංගමයේ සිසිර කුමාර රත්නායක, විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමයේ ඩබ්ලිව් ඒ වීරකොඩි, රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ශෙහාන් දිසානායක, රජයේ ගුරුවරුන්ගේ සංගමයේ දිවානි හෙට්ටිගේ, ජාතික ප්‍රජාතන්ත්‍රවාදි ගුරු සංගමයේ එස්. බාලසේගරම් මහත්ම මහත්මීන් ඇතුළු නියෝජිත පිරිසක් මේ හමුවට එක් වූහ.

ඇමැතිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, උදය ගම්මන්පිල, රාජ්‍ය ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, පියල් නිශාන්තද සිල්වා, අගමැති ලේකම් ගාමිණී සෙනරත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අගමැති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්. පී. එම්. රත්නායක සහ ජාතික අය වැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන් මහත්වරුන් ඇතුළු රජයේ නියෝජිත පිරිසක්ද ඊට එක්ව සිටියහ.

ස්වයං විවේචනය පිළිබඳ සංකල්පය අපට මුලින් ම හමුවන්නේ බෞද්ධ හා කතෝලික ඉතිහාසයෙනි. බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ඉක්ම ගිය තැන සප්තපර්ණී ගල් ගුහා පරිශ්‍රයේ මහරහතන්වහන්සේ පන්සියයක් බුදුන් වදාළ ධර්මය යළි සංගායනා කළේ නිර්මල බුද්ධ දේශනය පිරිපහදු කර ගැනීම වෙනුවෙනි. මෙලෙස තවත් අවස්ථා දෙකක දී සංගායනා පිළිබඳ තොරතුරු බෞද්ධ ශාසනික ඉතිහාසයේ සඳහන් වෙයි. මේ සියල්ලේ අරමුණ වූයේ, නිර්මල බුදු දහම සුරක්ෂිත කර ගැනීමය. එවැනි සංගායනා නොවන්නට බුදු සසුන බොහෝ කලකට පෙර වැනසී යෑමට පවා තිබුණි. එහෙත් සංගායනාව නම් වූ ස්වයං විවේචනයෙන් බුදු සසුනට එකතු වී තිබූ අකැප දෑ බැහැර කොට නිවැරැදි දේ තහවුරු කිරීම හේතුවෙන් සම්බුද්ධ ශාසනය සුරක්ෂිත වී තිබේ. ඒ අනුව ස්වයං විවේචනය යනු, බෞද්ධ ශාසන වංශයට අලුත් යමක් නොවන බව පැහැදිලි ය. එලෙසම කිතුනු ශාසනික ඉතිහාසයේ ඇති ‘පව් සමා කිරීම’ නම් සම්ප්‍රදාය ද ස්වයං විවේචනයක් ලෙස හැඳින්විය හැකිය. පුද්ගලයකු තමන් අතින් සිදු වූ වරද පිළිබඳ ව මනස්තාප වෙමින් යළි එවන් වැරැදි සිදු නොකිරීමට දෙවියන් වහන්සේගේ නාමයෙන් පොරොන්දු වීම හා ඒ පොරොන්දුව දිවි හිමියෙන් රැකීමට පොරොන්දු වීම යනු ස්වයං විවේචනයකි.

වැරැදි, අඩුපාඩු, දුර්වලතා මඟහැර ගැනීමට, නිවැරැදි කර ගැනීමට ස්වයං විවේචනය තරම් වටිනා අවස්ථාවක් තවත් නැති තරම්‍ ය. ශාසනික ඉතිහාසය හා සමකාලීන සංඝ සමාජය විමර්ශනය කිරීමේ දී අපට තවත් වැදගත් ස්වයං විවේචනාත්මක ක්‍රියාවක් නිරීක්ෂණය වේ. උපසපන් භික්ෂූන් වහන්සේ යම් නිශ්චිත කාලයක දී ‘පෝය කර්ම’ ක්‍රියාවක නිරත වේ. පෝය කර්මයේ අදහස ද ස්වයං විවේචනය හා සමාන ය. භික්ෂූන් වහන්සේ තමන් වහන්සේ අතින් සිදු වූ වැරැදි අඩුපාඩු පිළිබඳ ව ධර්මධර, විනයධර, ශීලධර ජේෂ්ඨ භික්ෂූන් වහන්සේ ඉදිරිපිට නිවැරැදි කර ගැනීම පිළිබඳ වූ ශික්ෂාව සමාදන් වීම පෝය කර්මය නමින් හැඳින්වේ. ඒ අනුව පෙර අපරදිග ආගමික හා දාර්ශනික ඉගැන්වීම්වල ස්වයං විවේචනය සඳහා වැඩි වටිනාකමක් දී තිබෙන බව නිරීක්ෂණය වේ. ආගමික ඉගැන්වීම පිළිබඳ ව පොදුජන විශ්වාස තහවුරු වීමට ඒ තුළ වූ ස්වයං විවේචනශීලී ගුණය මහෝපකාරී වී තිබෙන බව මේ අනුව තහවුරු වේ.

මූලික මාක්ස්වාදය

පෙර අපර දෙදිග ආගමික හා ඒ හා සැබැඳි දාර්ශනික ඉගැන්වීම්වල ස්වයං විවේචනය වැඩි වටිනාකමක් දිනා ගෙන තිබිය දී, වඩාත් විද්‍යාත්මක දේශපාලන දර්ශනයක් වන මාක්ස්වාදය තුළ ද අභ්‍යන්තර ස්වයං විවේචනය සඳහා ඒ හා සමාන ව්ටිනාක්මක් දී තිබේ. මූලික මාක්ස්වාදය ගුරු කොට ගත් දේශපාලන පක්ෂ, දේශපාලන ව්‍යාපාර තම මතවාදී චින්තාවන් වඩාත් ප්‍රශස්ත තලයට ඔසවා තබා ඇත්තේ එම ව්‍යාපාර නිවැරැදි ස්වයං විවේචනයක නිරත වීම හේතුවෙනි. එහෙත් සමකාලීන ගෝලීය හා ජාතික රාජ්‍ය දේශපාලන සන්ධර්භයක ස්වයං විවේචනය යනු නොවැදගත් සංකල්පීය අවකාශකි. වර්තමාන දේශපාලන ක්‍රියාකාරකම්වල දී අපට වෘත්තීය දේශපාලන නායකයන් දක්නට නොමැත. අපට නිරීක්ෂණය වන්නේ වෘත්තීයකරණය වූ දේශපාලන රංචු හා කණ්ඩායම් ය. එහෙත් අන්තර්ජාතික කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ වෘත්තීය දේශපාලන ක්‍රියාකාරකම් හා දේශපාලන මැදිහත්වීම් දක්නට ලැබුණි. එම දේශපාලන ව්‍යාපාරවල වූ වෘත්තීමය ස්වභාවය නිසාම ඒ තුළ ස්වයං විවේචනයට වැඩි වටිනාකමක් ලැබුණි.

දේශපාලනයේ දී, ස්වයං විවේචනය වඩාත් සාකච්ජාවට බඳුන් වන්නේ සහ සංවාදයට ලක්වන්නේ මූලික මාක්ස්වාදය ගුරු කොටගත් දේශපාලන පක්ෂ වෙතිනි. සෝවියට් සමාජවාදී සමුහාණ්ඩුව පැවති සමයේ සෝවියට් කොමියුනිස්ට් පක්ෂය තුළ අභ්‍යන්තර ස්වයං විවේචනය දක්නට ලැබුණි. පක්ෂයේ උත්තරීතර ආයතනය වූ දේශපාලන මණ්ඩලයේ දී පක්ෂයේ අතීත හා වර්තමාන භාවිතයන් පිළිබඳ ව දේශපාලන මණ්ඩල සභිකයන් ස්වයං විවේචනයට ලක් කෙරේ. එම ස්වයං විවේචනය අනාගත දේශපාලන ගමන්මඟ වඩාත් නිවැරැදි දිශානතියකට යොමු කරවීමට මහෝපකාරී විය.

පෙරස්ත්‍රෝයිකා හෙවත් ප්‍රතිසංස්කරණ

වී. අයි. ලෙනින්, ජෝෂප් ස්ටාලින්, නිතිකා කෘෂේව් වැනි කොමියුනිස්ට් නායකයන් විවිධ අවස්ථාවල දී සෝවියට් දේශයේ ගමන්මඟ පිළිබඳ ව ස්වයං විවේචනවල නිරත වූහ. 1989 කුප්‍රකට "පෙරස්ත්‍රෝයිකා හෙවත් ප්‍රතිසංස්කරණ" වැඩපිළිවෙළ ද එක්තරා ආකාරයක කල් ඉකුත් වූ ස්වයං විවේචනයක ප්‍රතිඵලයකි. 1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයෙන් වසර 72 ක් ගිය තැන නිසි අවස්ථාවේ දී නිසි ස්වයං විවේචනයන් කොමිනියුට්ස් නායකයන් විසින් සිදු නොකිරීමේ අවසන් ප්‍රතිඵලය සටහන් කළේ ලෝකයේ විශිෂ්ටතම සමාජවාදී සමුහාණ්ඩුව 1989 දී බිඳ වැටීම සනිටුහන් කරමිනි. මිකායිල් ගොබර්චෝව්ගේ නායකත්වයෙන් යුතු සමාජවාදී සෝවියට් සමාජවාදී සමුහාණ්ඩුව බිඳ වැටෙන්නේ නිසි අවස්ථාවේ සිදු විය යුතු ප්‍රතිසංස්කරණ සිදු නොවීමෙනි. විය යුතු ස්වයං විවේචනය සිදු නොවීම ප්‍රතාපවත් සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව බිඳ දැමීම දක්වා ගමන් කළේය. විවේචනය හා ප්‍රතිසංස්කරණය විය යුතු අවස්ථාවේ සිදු නොවීමේ ප්‍රතිඵල සටහන් කළේ ලෝකයේ පළමු සුපිරි රාජ්‍ය ලෝකයට අහිමි කිරීමය.1989 දී ලෝකයේ තනි බලවතා ලෙස අමෙරිකා එක්සත් ජනපදය අභිෂේක ලබන්නේ සෝවියට් කොමියුනිස්ට් සමූහාණ්ඩුව අවැසි මොහොතේ සිදු නොකළ ස්වයං විවේචනය හේතුවෙනි.

ඒ අර්ථයෙන් ගත් කල්හි වසර 22 ක යුද හමුදා සේවයෙන් ලද විශිෂ්ට විනයත්, ශික්ෂණයත් පරිපාලකයකු ලෙස ලද අත්දැකීමෙනුත් පොහොසත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉකුත් කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙන්ම, පසුගිය ඉරිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මුලස්ථානයේ පැවැති උත්සවයේ දී වසර 2 ක සිය ආණ්ඩුවේ ගමන්මඟ පිළිබඳ ව කරන ලද ස්වයං විවේචනය අතිශය වැදගත් ය. සිය කථාවේ දී ජනාධිපතිවරයා සිදු වු අඩුපාඩු නිවැරැදි කර ගනිමින් “එක නීතියත් එක රටක් ” යටතේ දුෂණයෙන් තොරව තමාත් තම රජයත්, නිවැරැදිව ඉදිරියට යෑමට සූදානම් බවට කළ අධිෂ්ඨානශීලී ප්‍රකාශය ජනතාවට අලුත් ජවයක් දී තිබේ.

ඓතිහාසික කියැවීම

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බලයේ සිටි රාජ්‍ය නායකයකු රාජ්‍ය බලය හොබවමින් සිටිය දී සිය අඩුපාඩු නිවැරැදි කර ගන්නා බවට කියන ලද ප්‍රථම අවස්ථාව මෙය වේ. ජනාධිපතිවරයාගේ මෙම ඓතිහාසික කියැවීම

අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල නායකයන්ට අඩුපාඩු සකස් කර ගැනීමට සහ එම අඩුපාඩු පිළිබඳව ස්වයං විවේචනයක් ඇති කර ගැනීමට යථාබුද්ධිය පහළ කර ගැනීමට මනා පෙළැඹවීමකි. බොහෝ නායකයන්ට ස්වයං විවේචනය මතක් වන්නේ ස්වකීය බලය අහිමි වන මොහොතේ දී හෝ බලය අහිමි වීමෙන් අනතුරුව ය. මේ සම්බන්ධයෙන් ඇති ජනප්‍රිය කියමන වන්නේ "බලය ඇති විට මොළය නැතිකම සහ මොළය ඇති විට බලය නැත යනුවෙනි". අපගේ බොහෝ නායක කාරකාදීන්ට බලය ඇති විට බලය පරිශීලනය කිරීම පිළිබඳ ව නිසි අවබෝධයක් නොමැතිකම විද්‍යාමන කෙරේ. එහෙත් ඔවුන් බොහොමයකට බලය අහිමි වූ විට බලය ජනතාවාදීව පරිශීලනය කිරීම පිළිබඳ ව බුද්ධිය පහළ වීම සාමාන්‍ය සුලබ සිද්ධියකි.

 

එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තාර්කික නායකයකු ලෙස සිය රාජ්‍ය බලයෙන් වසර 2 ක් ගිය තැන ප්‍රසිද්ධියේ ම ස්වයං විවේචනයක යෙදීමට තරම් අනතිමානී වී තිබේ. ඒ වූ කලී සාමාන්‍යයෙන් නායකයකු තුළ දක්නට නොලැබෙන දුර්ලභ ගුණාංගයකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට රාජ්‍ය පාලනය සඳහා තවත් වසර 3 ක කාලයක් ඉතිරි ව තිබේ. සිය පළමු ජනවරමෙන් වසර 2 ක කාලයක් ඔහුට වැය වී ඇත්තේ ලොවම වෙලා ගත් කොවිඩ් 19 අර්බුදය කළමනාකරණය කිරීම සඳහා ය. නිහඩවම සහ හුදෙකලාවම ජනාධිපතිවරයා කොවිඩ් උවදුර පිටුදැකීමට ඇති සාර්ථකම සහ විද්‍යාත්මකම ක්‍රමවේදය වන එන්නත්කරණ වැඩපිළිවෙළ ශක්තිමත් කළේය. කොවිඩ් උවදුරට එරෙහි අති සාර්ථක එන්නත්කරණය කාර්යක්ෂම ව සිදු කළ ලොව පළමු රටවල් 10 අතරට ශ්‍රී ලංකාව පත් වන්නේ ජනාධිපතිවරයාගේ නිරවුල් දැක්ම සහ නිවැරැදි නායකත්වය හේතුවෙනි.

කොවිඩ් කළමනාකරණය

කොවිඩ් අර්බුදය කළමනාකරණය කිරීමේ දී සමාජ, ආර්ථික, සංරචක තුළනාත්මකව කළමනාකරණය නොවු බව සැබෑ ය. එහෙත් එම තත්ත්වය ගෝලීය කොවිඩ් 19 අර්බුදය මත පටවා වගකීමෙන් නිදහස් වීමට ජනාධිපතිවරයා සූදානම් නැති බව තහවුරු වන්නේ ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් කරන ලද කතාව නිවැරැදිව විශ්ලේෂණය කරන විටදී ය.

2019 ජනාධිපතිවරණයේ දී 69 ලක්ෂයක ජනතාව ජනාධිපතිවරයාට ජනවරමක් දෙන්නේ එක නීතියක් එක රටක් යටතේ දුෂණයෙන් තොර නිවැරැදි රාජ්‍ය පාලනයක් උදෙසාය. එම කටයුත්තේ වැදගත් ම ප්‍රතිසංස්කරණය නම් පවතින ව්‍යවස්ථාව පරිච්චින්න කොට නව දේශජ ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමය. ඉදිරි වසරේ දී එම කටයුත්ත සිදු කරන බවට ජනාධිපතිවරයා දැන් ප්‍රතිඥා දී තිබේ. එලෙසම සිදු වූ වැරැදි අඩුපාඩු සකසා ගනිමින් හැටනව ලක්ෂයක බලාපොරොත්තු හා අපේක්ෂා පමණක් නොවන දෙකෝටියක් පුරවැසියන්ගේ ජීවන අපේක්ෂාවන් තහවුරු කරන බවට ද ජනාධිපතිවරයා සහතික වී තිබේ.

බලය අහිමි වීමෙන් අනතුරුව සිත් වේදනාවෙන් කරන පාපෝච්චාරණයකට වඩා බලය සුරක්ෂිත ව ඇති මොහොතක සිය ගමන් මඟ නිවැරැදි කර ගැනීමට අධිෂ්ඨාන කර ගැනීම අතිශය දුර්ලභ නායකත්ව ගුණාංගයකි.

මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායකගේ සිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දක්වා ශ්‍රී ලංකා ඉතිහාසයේ බලයේ සිටි කිසිදු නායකයකු බලයෙන් ආඪ්‍යව සිටි කිසි අවස්ථාවක තම දේශපාලන ගමන් මඟ දෙස ආපසු හැරී බැලුවේ නැත. තමා ඉතා නිවැරැදි මාවතක ගමන් කරන බව ඒ නායකයෝ සිතා සි‍ටියහ. ජනමතය උරගා බලන මැතිවරණයක දී ජනතාව ඒ නායකයන්ටත්, ඔවුන්ගේ දේශපාලන පක්ෂවලටත් නිසි පාඩම් ඉගැන්වූ විට තමන් අතින් වරදක් වූ බව ඒ නායකයෝ පිළිගත්හ. එහෙත් ඵලක් නැත, ඔවුන් වරද පිළිගන්නා විට ජනතාව ඔවුන් සිහසුන්වලින් පලවා හැර අවසන් ය.

දෙවසරක අඩුපාඩු

ඩඩ්ලි සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, ආර් ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන ආදි වශයෙන් වූ මේ නායකයන් බොහොමයකට බලය හිමි මොහොතේ වැරැදි අඩුපාඩු පිළිබඳ ව සිතා බලන්නට සිතුණු බවක් හෝ ඔවුන්ට ඒ සඳහා වේලාවක් හෝ නොතිබුණු බව නම් පැහැදිලි ය. බලය අහිමි ව විපක්ෂයට ගිය කල්හි මේ බොහොමයක් නායකයෝ බලය තිබෙන අවස්ථාවේ තමන් අතින් සහ තම ආණ්ඩු වෙතින් ජනතාවට අඩුපාඩු වූ බවට පාපොච්චාරණය කළහ. එහෙත් ඉන් ඇති පලක් නොමැත. ඒ ප්‍රකාශ කරන විට සියල්ල සිදු වී හමාරය. එවිට මෙවැනි ස්වයං විවේචනවලින් ද පලක් නොමැත. මන්ද, ඔවුන්ට එවිට බලය අහිමි වී ගොස් ඇති බැවිනි. එමනිසා යම් නායකයකු හෝ ආණ්ඩුවක් තම නායකත්වය හෝ තම ආණ්ඩුව පිළිබඳ ව ස්වයං විවේචනයක නිරත විය යුත්තේ රාජ්‍ය බලයත් සමඟය.

ඒ අර්ථයෙන් ගත් කල්හි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විශිෂ්ටය. ඔහු ස්වයං විවේචනය කරන්නේ රාජ්‍ය බලය හා ශක්තිමත් ආණ්ඩු බලයක් සහිතව ය. ගෙවී ගිය දෙවසර අඩුපාඩු සහිත ය. කොවිඩ් උවදුර රටට පමණක් නොව සමස්ත ලෝකයට ම ව්‍යසනයකි. එහෙත් සියල්ල කොවිඩ් ගිණුමට බැර කොට අත සෝදා ගැනීමට ද නොහැකිය. ගෙවී ගිය දෙවසර තුළ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරු කටයුතු කළ ආකාරය සතුටු විය හැකි ද? අමාත්‍යංශය ලේකම්වරු, ආයතන ප්‍රධානීන් මේ සියල්ලටම තම වගකීම්වලින් අත්මිදීමට නොහැකිය. ආණ්ඩුව යනු ජනාධිපතිවරයාගේ සිට මේ සැමගේ සාමූහික එකතුවකි. ජනාධිපතිවරයා හා ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය දුන් හැටනව ලක්ෂයේ පමණක් නොව සමස්. ශ්‍රි ලාංකේය ජනතාවගේ ම වගකීම මේ සියලු දෙනා වෙතම පැවරී තිබේ.

අඩුපාඩු, දුර්වලතා ඇති වීම හෝ සිදු වීම ස්වභාවිකය. වඩා වැදගත් වන්නේ ඒ වැරැදි අඩුපාඩු නිවැරැදිව අවබෝධ කර ගනිමින් හා ඒවා නිවැරැදි කර ගනිමින් ගමන යෑමය. කුණු වූ මජර දේශපාලන සංස්කෘතියෙන් බැහැර ව වෘත්තීයවේදියකු ලෙස දේශපාලන ගමනක් ඇරැඹි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ස්වකීය දෙවසරක පාලනය පිළිබඳ ව ස්වයං විවේචනයක යෙදීම ආණ්ඩුවේ මැති ඇමැතීන්ගේ ඇස් ඇරවීමකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දේශපාලනයට ආධුනික බව සැබෑ ය. ශ්‍රී ලංකාවේ කුණු වී දුගඳ හමන දේශපාලන සංස්කෘතියට වෘත්තීයභාවය භෞතිස්ම කළේ ඔහු ය. නිදහසින් පසු දේශපාලකයකු නොවන වෘත්තීයවේදියකු ලෙස රාජ්‍ය නායකත්වයට පත් එකම පුද්ගලයා ද ගෝඨාභය රාජපක්ෂ මහතා ය. එය ශ්‍රී ලාංකීය දේශපාලනයේ නැවුම් හැරවුම් ලක්ෂයකි. දේශපාලන මජර වළේ නළියන තවත් දේශපාලන සත්ත්වයන්ට එහි බඩ පිනුම් ගැසීමේ අවස්ථාව අවසන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ය. ශ්‍රී ලාංකීය දේශපාලන සංස්කෘතිය දියුණු වෘත්තීය දේශපාලන සංස්කෘතියකට ඔසවා තැබු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය රාජ්‍ය පාලනයෙන් දෙවසරක කාලයේ දී සිදුකළා වූ ස්වයං විවේචනය මේ රට තවත් වැදගත් සංධිස්ථානයකට ප්‍රවිශ්ට කළ බව පැහැදිලි ය. ඉදිරි තෙවසරක කාලය ජනතාවාදී ගමන් මඟකට රට ප්‍රවේශ කරලීම උදෙසා ජනාධිපතිවරයාට සහය දීම සියලු මැති ඇමැති කාරකාදීන්ගේ වගකීමකි.

මෙරට සහන සත්කාරක සේවා අවශ්‍ය රෝගීන් සඳහා එම සේවා විධිමත් අයුරින් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා සහන සත්කාරක විද්‍යායතනය පසුගියදා පිහිටවනු ලැබිණි. ලෝක සහන සත්කාරක දිනට සමගාමීව එය මෙරට ස්ථාපිත කරනු ලැබීය.
 
කොළඹ හිල්ටන් හෝටලයේදී මෙහි සමාරම්භක අවස්ථාව පැවැත්විණි. නව විද්‍යායතනය ආරම්භ කිරීම තුළින් වෛද්‍ය විශේෂඥයින්ට ඒකරාශී වීම හා ඒ ඒ  විශේෂඥ දැනුම ඔස්සේ සහන සත්කාරක සේවා වඩා ක්‍රමවත්ව හා විධිමත් ලෙස පවත්වාගෙනයාමට හැකිවේ.
 
ඉන්දියාව ,බ්‍රසීලය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය,බංගලාදේශය ඇතුළු රටවල සහන සත්කාරය පිළිබඳ විශේෂඥයින් මෙම අවස්ථාවට සුබ පැතුම් එක් කර තිබීම විශේෂත්වයකි .ඒ සඳහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වෙමින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙනු ලැබුවේ මෙරට සහන සත්කාරක සේවා ශක්තිමත් කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයමය දියුණුව හා විශේෂඥතාව වැඩිදියුණු කිරීමට ගනු ලැබූ වැදගත් අංගයක් ලෙසිනි.
 
රටෙහි නොමිලේ ලබා දෙන සෞඛ්‍ය සේවාවන් ඉතා ඉහළ මට්ටමට ගෙන එමින් වේදනාවෙන් පෙළෙන රෝගීහු සඳහා සේවය කරමින් සෞඛ්‍ය සේවාවේ සැවොම ඉටු කරනු ලබන්නේ කරුණාවන්ත හා දයානුකම්පිත කුසල කර්මයක් බවද අමාත්‍යවරයා මෙහිදී කීය.
 
ලොව නිදහස් සෞඛ්‍ය සේවාව පවතින රටවල් කිහිපය අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින රටක් යැයිද එය තවදුරටත් වර්ධනය කිරීම අපේක්ෂාව යැයිද හෙතෙම කීය.
 
මෙම විද්‍යායතනයේ නව සභාපති ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය තේරී පත් වුණු අතර එහි එළඹෙන වසරේ සභාපති ලෙස ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා තේරී පත්විණී.
 
විද්‍යායතනය පිහිටුවීමේ නිල අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් තරීක් අරිෆුල් ඉස්ලාම්, ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරමින් වෛද්‍ය ඔලීවියා නිවේරස්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

පුරවරුණ  පුවත්පත කුලියාපිටිය නගර සභාවේ නිල පුවත්පත හා අන්තර්ජාල  E- පුවත්පත  එළිදැක්වීමේ උත්සවය අද (11 )කුලියාපිටිය නගර සභා ශ්‍රවණාගාරය දී පැවැත්විණි.
 
ලේක්හවුස්  සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ ජනාධිපති නීතිඥ ඩබ්. දයාරත්න , කුලියාපිටිය නගර සභාවේ නගරාධිපති ඒ. එම්. ලක්ෂ්මන් අධිකාරි , ලේක්හවුස් ආයතනය කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී   ධර්ම ශ්‍රී කාරියවසම්,ලේක්හවුස් ආයතනයේ නීති හා පරිපාලන අධ්‍යක්ෂ  නීතිඥ රඛිත අබේගුණවර්ධන , වයඹ පළාත් පාලන කොමසාරිස්  අයි. එම්. අයි. ඉලංගකෝන් සහ කුලියාපිටිය නගර සභාවේ කාර්ය මණ්ඩල නිලධාරීන්  මහත්ම මහත්මින් මෙම අවස්ථාවට සහභාගිවීය

එක නීතියක් - එක රටක් යටතේ දූෂණයෙන් තොරව නිවැරැදිව ඉදිරියට යෑමට සහාය දෙන්න

යුද හමුදා 72 වැනි සංවත්සරයේදී ජනපති කියයි

ලෝක ඉතිහාසයේ කිසිදු නායකයකු මුහුණනොදුන් තත්ත්වයකට බලයට පත් වූ දා සිට මුහුණ දීමට සිදු වුව ද ජනතාව හමුවේ නිදහසට කරුණු කියන්න සූදානම් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වැනි සංවත්සර උලෙළට එක් වෙමින් ඊයේ (10) ප්‍රකාශ කළේය. විශාල බලාපොරොත්තු ඇතිව ජනාධිපති ධුරයට පත් කර ගත් නමුත් ඒ ආකාරයටම වැඩ නොකිරීම ගැන ජනතාවගේ සිතේ ඇති අප්‍රසාදය තමා මෙන්ම සියලු මැති ඇමැතිවරුන්ද පිළිගත යුතු බවත් රාජපක්ෂ මහතා පැවසීය.

කෙසේ නමුත් කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කොට නව සාමාන්‍ය තත්ත්වයක් යටතේ රට විවෘත කර නව ජවයකින් රට ඉදිරියට ගෙනයෑමට කටයුතු කරන බවටත් ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේය.

එදා ජනතාවට පොරොන්දු වූ ආකාරයටම නව ව්‍යවස්ථාවක් ඊළඟ වසර ඇතුළත හඳුන්වා දෙන බවත් ජනතාවගේ තවත් බලාපොරොත්තුවක් වූ නව ඡන්ද ක්‍රමයත් ඉතා ඉක්මනින් රට හමුවට ඉදිරිපත් කරන බවත් ජනාධිපති රාජපක්ෂ මහතා කියා සිටියේය.

පසුගිය ජනාධිපතිවරණයේදී තමන් රට හමුවේ පැවසූ ආකාරයටම එක රටක්- එක නීතියක් යන පොරොන්දුවත් වසරක් ඇතුළත නිසැකවම ඉටු කරන බවටත් ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේය.

දූෂණය නැති කිරීම විශාල අභියෝගයක් වන නමුත් කිසිදු ආකාරයකින් දූෂණයට යොමු නොවූ තමා ඒ සම්බන්ධයෙන් ආදර්ශයක් දී ඇති බවත් ඒ ආදර්ශයම දෙන්නැයි සිය ඇමැති මණ්ඩලයෙන්ද ඉල්ලීමක් කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

 

ඉදිරි වසර කිහිපය තුළ මේ රට සෞභාග්‍ය කරා රැගෙන යාමට සියලුදෙනාගේම සහයෝගය ලබාදෙන ලෙසත් ජනාධිපති රාජපක්ෂ මහතා සංවත්සර උලෙළ අමතමින් වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 සංවත්සර උලෙළ අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී ඊයේ (10) පැවැත්විණි. 1949 අංක 17 දරණ යුද්ධ හමුදා පනතට අනුව ස්ථාපිත කෙරුණු ශ්‍රී ලංකා යුද හමුදාව පාබළ, ආධාරක සහ සේවා රෙජිමේන්තු 25කින් සමන්විත වේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සංවිධාන කෙරුණු යුද හමුදා සැමරුම් උලෙළට පැමිණි ජනාධිපතිවරයා සාලියපුර ගජබා රෙජිමේන්තු කඳවුරේ අභිනවයෙන් ඉදිකෙරුණු සරඹ භූමිය විවෘත කර රණවිරු අයිතියට පත් කිරීමෙන් අනතුරුව උත්තමාචාර පෙළපාලිය නිරීක්ෂණය කළේය.

සැමරුම් උළෙල ඇමතීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ ඇති මේජර් ජෙනරාල් විජය විමලරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වූ ජනාධිපතිවරයා රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරත විය.

ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නව පරිපාලන ගොඩනැඟිල්ල හා ක්‍රීඩාංගණය විවෘත කිරීම, ක්‍රීඩාගාරය සඳහා මුල්ගල තැබීම ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි. කනිෂ්ඨ හා බලලත් නිලධාරීන්ගේ නිවස්නයන් සහ ගජබා රෙජිමේන්තුවේ ඉංජිනේරු බළකාය විසින් අලුත්වැඩියා කර, ධාවනයට එක්කළ හමුදා රථ ජනාධිපතිවරයා නිරීක්ෂණය කළේය.

ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද හමුදා ප්‍රධානීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

සමකාලීන සමාජ සන්දර්භයේ ජීවත් වන පුද්ගල ජීවිතවලට අත්‍යවශ්‍ය උපාංගයක් වී ඇත්තේ ජනමාධ්‍යයි. ශ්‍රව්‍ය, ද්‍රෘශ්‍ය හා මුද්‍රිත මාධ්‍ය මීට කලකට පෙර පුද්ගල ජන ජීවිතයේ සමාජ අවශ්‍යතාවන් පිළිබඳ ව තොරතුරු සපයනු ලැබීය. මේ වන විට ශ්‍රව්‍ය, ද්‍රෘශ්‍ය හා මුද්‍රිත මාධ්‍යයන්හි වටිනාකම් යටපත් කරමින් සමාජ මාධ්‍ය (Social Media) පුද්ගල ජීවිත ඇතුළටම කිඳා බැස තිබේ. අද වන විට පුද්ගල ජීවිතවල චර්යාත්මක වෙනස්කම් හැඳින්වීම, හැඩගැස්වීම, සිදු කරනු ලබන්නේ මාධ්‍ය විසින් මුදා හරිනු ලබන තොරතුරු වලිනි.

පුද්ගල කේන්ද්‍රීය ජනමාධ්‍ය

ආයතනගත ජනමාධ්‍ය ක්‍රියාවලිය මේ වන විට පුද්ගල කේන්ද්‍රීය ජනමාධ්‍ය භාවිතයත් දක්වා සංකේන්ද්‍රණය වී තිබේ. සෑම පුරවැසියකුම ජනමාධ්‍යකරුවකු බවට පරිවර්තනය වී ඇත. ඒ අනුව අප අත්දකිමින් සිටින්නේ "පුරවැසි ජනමාධ්‍යකරණයයි". පුරවැසි ජනමාධ්‍යකරණය යනු සමාජයේ ජීවත්වන පුද්ගලයන් තොරතුරු මාධ්‍ය ක්‍රියාවලියේ සන්නිවේදකයකු ලෙස ක්‍රියාකිරීමයි. අන්තර්ජාලය, ෆේස් බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටග්රෑම්, සූම් වැනි අන්තර්ජාල යෙදවුම් මඟින් පුද්ගලයන් තොරතුරු මාධ්‍ය ක්‍රියාවලිය හා බැඳී සිටී. තමන් දරන මතයක් ප්‍රකාශ කිරීම, යම් මතයකට ප්‍රතිවිරුද්ධ මතයක් ඉදිරිපත් කිරීම ආදී වශයෙන් තොරතුරු ක්‍රියාවලිය තුළ පුරවැසියන් සක්‍රිය වීම සමාජ මාධ්‍ය ක්‍රියාවලියේ සුවිශේෂි ගුණාංගයකි. එම සුවිශේෂි බව පුරවැසි මාධ්‍යකරණය ශක්තිමත් කරන ප්‍රබල ආධාරකයක් බවට පත්ව තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදයේදී තොරතුරු දැන ගැනීම හා ප්‍රකාශ කිරීම ජනමාධ්‍යයෙහි කාර්යභාරයට වඩාත් වැදගත් වී ඇත. සමකාලීන ගෝලීය සන්දර්භය පුරා අධිවර්ධිත ක්ෂේත්‍රයක් ලෙස සන්නිවේදන විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ ජනමාධ්‍යයි. අන්තර්ජාතිකව මෙන්ම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වාණිජකරණයට හා වෘත්තීයකරණයකට ලක්ව තිබේ. ජනමාධ්‍යයේ පැවැත්ම තීරණය කරන සාධක ලෙස වාණිජකරණ හා වෘත්තීයකරණය හැඳින්විය හැකිය. වෘත්තීයකරණය යනු වෘත්තීයභාවය ඇති වීම නොවන බව තේරුම් ගැනීම වැදගත්ය.

රැකියාවක් බවට පත් වීම

මේ වනාහි ජනමාධ්‍යවේදය රැකියාවක් බවට පත් වීමය. වාත්තීයභාවය යනුවෙන් හැඳින්වෙන්නේ ජනමාධ්‍යකරුවා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තම කාර්යය නිවැරදිව වටහා ගෙන සිවිල් සමාජයේ කොටස්කරුවකු ලෙස වෘත්තීය ආචාර්ය ධර්මයන්ගෙන්, මෙහෙයවීම හා ක්‍රියාකිරීමයි.

සමකාලීන සමාජ සංදර්භයේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයකරණය හෙවත් වෘත්තීයභාවයක් ඇති නොවීම සුලබ ගති ලක්ෂණයක් වී තබේ. රූපවාහිනී හෝ ගුවන් විදුලි මාධ්‍ය ක්ෂේත්‍රයේ ග්‍රාහක ප්‍රේක්ෂාව වැඩිකරනසුළු ජනප්‍රිය මාධ්‍ය මෙහෙයුම් සුලබ ලක්ෂණයක් වී තිබේ. ග්‍රාහක ප්‍රජාව ආකර්ෂණය කරනු ලබන වැඩසටහන් ආකෘති හෙවත් ශානර මේවායේ පොදු ගති ලක්ෂණයකි. සමකාලීන සමාජ සන්දර්භය විමර්ශනය කරන විට පැහැදිලිව පෙනෙන ලක්ෂණයක් වී ඇත්තේ ජනමාධ්‍යවේදය වෘත්තීයභාවය මත පදනම්ව ක්‍රියාත්මක නොවන බවය. ගුවන් විදුලි , රූපවාහිනී නාලිකාවල සේවයේ නිරත ව සිටින ජනමාධ්‍යවේදීන් නාලිකාවෙන් නාලිකාවට, වැඩි පඩියෙන් තවත් වැඩි පඩියකට යන්නේ වෘත්තීයභාවය උදෙසා නොව වෘත්තීයකරණය නිසාය. එබැවින් ගුණාත්මක ජනමාධ්‍යවේදයක් සඳහා වෘත්තීයකරණය ඉක්මවා ගිය වාත්තීයභාවයක් ජනමාධ්‍යයයට ඇති කිරීම අත්‍යවශ්‍ය අංගයක් වී තිබේ.

විෂයක් ලෙස ප්‍රථම වරට ඉගැන්වීම

70 දශකය මුල් භාගයේ මෙරට වෘත්තීය ජනමාධ්‍යවේදයක් අපේක්ෂාවෙන් ජනසන්නිවේදනය විෂයක් ලෙස උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අධ්‍යයන කටයුතු ආරම්භ වී තිබේ. 1973 දී කැලණිය විශ්වවිද්‍යාලයේ දී ජනසන්නිවේදනය විෂයක් ලෙස ප්‍රථම වරට ඉගැන්වීම ආරම්භ විය. ශ්‍රී ලංකාවේ ජනසන්නිවේදන අධ්‍යපන පාඨමාලා බිහි වන්නේ එවකට පැවති විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පොදු අර්බුදයක ප්‍රතිඵල ලෙසය. 1971 තරුණ නැඟී සිටීම, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණවලට අවශ්‍ය පසුබිම සකස් කළේය. රැකියාභිමුඛ උසස් අධ්‍යාපන පාඨමාලා බිහි වීම ආරම්භ වන්නේ 1971 තරුණ නැඟීසිටීමට හේතු සොයා බලන කොමිෂන් සභාවල නිරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල වශයෙනි. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා පාදක කර ගනිමින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපන පාඨමාලාවලට ජනසන්නිවේදන අධ්‍යයනය ආරම්භ වී තිබේ.

1973 දී ආරම්භ වු ශ්‍රී ලංකාවේ ජනසන්නිවේදන අධ්‍යයන ඉතිහාසයට 2021 වසර වන විට අවුරුදු 48 ක් ගත වී තිබේ. ගෙවී ගිය වසර 48 ක කාලය තුළ කැලණිය විශ්වවිද්‍යාලයට අමතරව ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාතික විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල ජනමාධ්‍යවේදය පිළිබඳ ව ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි හා පශ්චාත් උපාධි වශයෙන් පාඨමාලා ගණනාවක් පවත්වාගෙන යනු ලැබේ. ජනමාධ්‍යය පිළිබඳ ශාස්ත්‍රාලීය උගතුන් බිහි කිරීම මෙම අධ්‍යාපන පාඨමාලාවන්හි දැකිය හැකි සුලබ ගති ලක්ෂණයකි. එහෙත් ශ්‍රී ලංකාවේ මේ දක්වා ජනමාධ්‍යවේදය පිළිබඳ වෘත්තීයභාවය ඇති කරන කිසිදු ආයතනයක් ව්‍යවස්ථාපිත නිතියෙන් ස්ථාපිත වී නොමැත.

අධ්‍යාපන අවකාශයන් පුළුල් වීම

 

අපගේ නිරීක්ෂණය වන්නේ ජනමාධ්‍යයේ වෘත්තීයභාවය පිළිබඳ ගැටලුවක් පවතින බවය. සමකාලීන සමාජ සන්දර්භයෙහි අධ්‍යාපන අවකාශයන් පුළුල් වීම සුලබ ගති ලක්ෂණයකි. වාර්ෂිකව විශ්වවිද්‍යාල සඳහා 25,000 ක පමණ පිරිසක් ඇතුළත් කර ගන්නා අතර, ඉන් මානව ශාස්ත්‍ර පීඨවලට ඇතුළත් වන විද්‍යාර්ථයන් බොහොමයක් අධ්‍යයන විෂයක් ලෙස ජනමාධ්‍යය තෝරා ගනු ලබති. ඔවුන් තෙවසරක සාමාන්‍ය උපාධි කාලය අවසානයේ හෝ සිව් වසරක විශේෂවේදී උපාධි අධ්‍යයන කාලයයෙන් අනතුරුව රැකියා වෙළෙඳපොළට ප්‍රවේශ වන්නේ ජනමාධ්‍යය පිළිබඳ ශාස්ත්‍රීය උගතුන් වශයෙන් විනා ජනමාධ්‍ය භාවිතය පිළිබඳ ප්‍රායෝගිත අත්දැකීම් ලද වෘත්තීයවේදීන් වශයෙන් නොවේ. එබැවින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය තුළ දැකිය හැකි සුලබ ගති ලක්ෂණය වන්නේ වෘත්තීයභාවය නොමැති වෘත්තීයකරණය වූ ජනමාධ්‍ය කර්මාන්තයකි.

අතීතයේ සහ වර්ථමානයේ ද මාධ්‍ය සහ පාලක පන්තිය අතර නිතර ගැටුම්කරණ ලක්ෂණ දක්නට ලැබේ. මෙවැනි ගැටුම්කරණයන් සඳහා වෘත්තීභාවය රහිත වෘත්තීයකරණ වූ ජනමාධ්‍ය කර්මාන්තය මූලික හේතුවක් ව ඇත. මාධ්‍ය ආයතන සඳහා බලපත්‍ර දීමේ සිට මාධ්‍ය ආයතන සඳහා මාධ්‍යවේදීන් බඳවා ගැනීම දක්වා වූ ක්‍රියාවලියම නිසි ප්‍රමිතීන්ට හා උසස් ගුණාංගයන්ගෙන් යුක්ත නොවීම අපේ රටේ අවර ගණයේ මාධ්‍ය සම්ප්‍රදායක් බිහි වීමට බලපා තිබෙන හේතු සාධකයක් ලෙස පෙන්වා දීමට පුළුවන.

ලෝකයේ සංවර්ධිත රටවල මාධ්‍ය හිමිකාරීත්වය සඳහා සලකා බලන උසස් ප්‍රමිතීන් අපේ රටේ මාධ්‍ය හිමිකාරීත්වයට අදාළ වී නොමැත. මූල්‍ය ප්‍රාග්ධනය හා දේශපාලන බල සබඳතා ශ්‍රී ලංකාවේ මාධ්‍ය හිමිකාරිත්වයට තිබිය යුතු හෝ පැවතිය යුතු මූලික ලක්ෂණයක් වී තිබේ. එවැනි සංදර්භයක දී ප්‍රමිතිගත වෘත්තීයභාවයකින් යුතු මාධ්‍ය ආයතනයකින් ඉටු විය යුතු කාර්ය හෝ ගුණාංග ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන වෙතින් බලාපොරොත්තු වීම යථාර්ථවාදී නොවේ. එලෙසම වෘත්තීයභාවය නොමැති මාධ්‍යවේදීන් වෙතින් යහපත් මාධ්‍ය භාවිතයක් අපේක්ෂා කිරීම ද යථාර්ථවාදී නොවේ. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදය යනු වෘත්තීයකරණය සපුරාලීමක් පමණි. වෘත්තීයකරණය සපුරාලීම වාත්තීයභාවය නොවන බව ද පැහැදිලිව තේරුම් ගත යුතුය.

වරලත් මාධ්‍යවේදී ආයතනයක් පිහිටුවීම

එබැවින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය අධ්‍යාපන ඉතිහාසයට වසර 48 ක් ගෙවී ගිය තැන මාධ්‍යයේ වෘත්තීයභාවය උදෙසා ශ්‍රී ලංකාවේ වරලත් මාධ්‍යවේදී ආයතනයක් පිහිටුවීමට වර්තමාන ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වීම වැදගත් ය.. පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කැබිනට් සන්දේශයක් ඉදිරිපත් කරමින් ශ්‍රි ලංකාවේ වරලත් මාධ්‍යවේදී ආයතනයක් පිහිටු වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබේ. ශ්‍රී ලංකාවේ පළමු වරට අන්තර්ජාතික මට්ටමේ වරලත් මාධ්‍යවේදී ආයතනයක් පිහිටු වීමට යෝජනා කිරීම අගය කළ යුතුය. ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය හා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදය ප්‍රමිතිගත මට්ටමට ගෙන ඒමට මෙවැනි කාලීන යෝජනා වැදගත් යේ. ශ්‍රී ලංකාවේ කුණු වූ සහ මජර සමාජ දේශපාලන සංස්කෘතිය තුළ ජරාජීර්ණ නොවූ උසස් ජනමාධ්‍යවේදයක් ඇති කිරිමට සමස්ත මාධ්‍ය සංස්කෘතිය සහ මාධ්‍ය භාවිතය පුළුල් ප්‍රතිසංස්කරණයකට භාජනය කළ යුතුය. ඒ සඳහා අන්තර්ජාතික මට්ටමින් වරලත් ජනමාධ්‍ය ආයතනයකට සුවිශේෂී කාර්ය භාරයක් පැවරේ. ඒ සඳහා පළමු කොටම ජනමාධ්‍යවේදියාට වෘත්තීයභාවයක් හිමි කර දීම අත්‍යවශ්‍ය වන්නේය. එය හුදු සහතික පත්‍රයකට, උපාධි සහතිකයකට වඩා ඔබ්බට ගිය වෘත්තියකරණය පිළිබඳ ප්‍රවීණත්වයක් හා පරිචයක් සහිත ක්‍රියාවලියක් වීම අත්‍යවශ්‍යය.

උපායමාර්ගික උපස්ථම්භය

“කිසියම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පවතින නීරෝගි ලක්ෂණයක් නම් අන්තර්ජාතික සම්මුතීන් විසින් පිළිගන්නා භාෂණයේ හා ප්‍රකාශනයේ ඇති නිදහසයි. ජනතාවට නිවරැදි දේශපාලන, ආර්ථික සහ සමාජීය තීරණ ගැනීමට හැකි වන්නේ ඔවුන් නිවැරැදි තොරතුරුවලින් හා දැනුමින් සන්නද්ධ වූ විට ය. ඒ සඳහා බාධා විරහිතව තොරතුරු, දැනුම හා මතවාද සන්නිවේදනයට අවකාශ තිබිය යුතු බව අපි පිළිගන්නෙමු.” යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දැක්වේ. මෙම සංකල්පය යථාර්ථයක් කරන උපායමාර්ගික උපස්ථම්භය ලෙස ජනමාධ්‍ය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදීන්ගේ ආයතනය හඳුන්වාදීමට පුළුවන.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 වන පිටුවේ “පැහැදිලි ජනමාධ්‍ය ප්‍රතිපත්තිය“ පරිච්ජේදයේ, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා එකොළොස් වැදෑරුම් යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත. එහි සිව්වන යෝජනාව මෙසේ වන්නේය. “ඉහළ වෘත්තීය නිපුණතා සහිත මාධ්‍ය වෘත්තිකයන් බිහි කිරීම සඳහා අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල රාජ්‍ය අනුග්‍රහය සහිත ජනමාධ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් පිහිටුවනු ලැබේ. “ යනුවෙන් සඳහන් වේ. ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා යෝජනා කරන ශ්‍රී ලංකාවේ වරලත් මාධ්‍යවේදී ආයතනය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පැහැදිලි ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් යන ශීර්ෂය යථාර්ථයක් කරන යෝජනාවක් ලෙස ඒ අනුව හැඳින්විය හැකිය.

ජනමාධ්‍යය, රටක පාලනයේ හතරවන ස්ථරය ලෙස කලකට පෙර හඳුන්වනු ලැබීය. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන උපස්ථම්භක 3 මඟින් රටක පාලන ව්‍යුහය බලාත්මක කර ඇත. එම උපස්ථම්භක තුන හැරුණු විට බලවත්ම උපස්ථම්භකය ලෙස සමාජ හා දේශපාලන විචාරකයන් හදුන්වන්නේ ජනමාධ්‍යයයි. ජනමාධ්‍යයෙහි මෙහෙයුම්කරුවා ජනමාධ්‍යවේදියාය. රටක පාලනයෙහි ප්‍රබල උපස්ථම්භකයක, මෙහෙයුම්කරුවකු වන ජනමාධ්‍යවේදීයා වෘත්තීයභාවයෙන් බලාත්මක කිරිම නිවැරැදි ආණ්ඩුකරණයකට මහෝපකාරී වන්නේය. එබැවින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යකරණය නව දිශානතියකට යොමු කරන තීරණාත්මක සංදිස්ථානයක් ලෙස වරලත් ජනමාධ්‍යවේදී ආයතනයක් පිහිටුවීම සඳහා කටයුතු කිරිම පෙන්වා දීමට පුළුවන.

තැපැල් කාර්යාල නොමැතිවීමෙන් උතුරේ ජනතාව මුහුණ දෙන අසීරුතාවයන්ට විසදුම් ලබා දෙන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පසුගියදා (සැප්තැම්බර් 21) පාර්ලිමේන්තුවේදී සදහන් කළේ කිලිනොච්චි දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාතේ ප්‍රමුඛ ගැටළුවක් බවට පත්ව ඇති තැපැල් සහ උප තැපැල්කාර්යාල නොමැතිවීම නිසා ජනතාව පත්ව ඇති අසීරුතාවයන්ට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා උතුරු පළාත් දේශපාලන නියෝජිතයන් සමග සාකච්ඡා කර අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි.

ඒ කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන් යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

දිවයින පුරා නව තැපැල් සහ උපතැපැල් කාර්යාල පිහිටුවීම තාවකාලික අත්හිටුවා ඇති අතර 2020, 2021 සහ ඉදිරි වර්ෂයේද භෞතික ඉදි කිරීම් කිසිවක් සිදු කළ නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා එහිදි අවධාරණය කර ඇත්තේ, ඉදිරියේදී සංවර්ධන කටයුතු ආරම්භ කළ විගස එම දිස්ත්‍රික්ක සඳහා ප්‍රමුඛතාවය දීමට කටයුතු කරන බවයි.

භූ ගෝලීය විශාලත්වය සහ ජන ගණත්වය අනුව බලන කළ කිලිනොච්චිය ඇතුළු උතුරු පළාත තුළ පිහිටවිය යුතුව ඇති තැපැල් සහ උපතැපැල් කාර්යාල පිහිටුවා නොමැති බව පිලිගත් අමාත්‍යවරයා එහිදි තව දුරටත් සදහන් කර ඇත්තේ, යුද්ධයෙන් පසු වැඩ අවසන් කිරීමට නොහැකි වු තැපැල් කාර්යාල පවා තිබෙන බවයි.

ඒ අනුව අසමතුළිතතා බොහොමයක් ඇති උතුරු පළාතේ, පාර්ලිමේන්තු නියෝජිතයන් සමග එළඹෙන උපදේශක කාරක සභා දිනයේදී සාකච්ඡා කරන බවත් තැපැල්පතිවරයා, අමාත්‍යංශ ලේකම් ඇතුළු සියළු දෙනා එක්ව කඩිනම් විසඳුම් ලබා දෙන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

ලෝක තැපැල් දිනය නිමිත්තෙන් කාණ්ඩ තුනක් යටතේ මුද්දර නිකුත් කිරීම පසුගියදා (09) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
ලෝක තැපැල් දින සමරු මුද්දරය, නිත්‍ය කාණ්ඩයේ රුපියල් 1000ක මුද්දරය සහ ශ්‍රී ලංකාවේ අවේනික පක්ෂීන් විශේෂ ඇතුළත් තේමාත්මක මුද්දර කට්ටලයක් මෙලෙස නිකුත් කෙරිණි.
ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊට අදාළ මුල් දින කවර සහ මුද්දර අගමැතිවරයා වෙත පිළිගැන්වූයේය.
අදට යෙදෙන ලෝක තැපැල් දිනය වෙනුවෙන් නිකුත් කළ ලෝක තැපැල් දින සමරු මුද්දරය -2021, කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ වුව ද මෙරට තැපැල් සේවාව ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මකව පවතින බව පිළිබිඹු කරමින් පුලස්ති එදිරිවීර මහතා විසින් නිර්මාණය කර තිබේ.
රුපියල් 1000ක නිත්‍ය කාණ්ඩයේ මුද්දරය යාපහුව සිංහයා පිළිබිඹු කරමින් අතින් අඳින ලද රේඛා සහිත ග්‍රැෆික් චිත්‍රයකි. ඉසුරු චතුරංග මහතා මෙම මුද්දරය නිර්මාණය කර ඇත.
ශ්‍රී ලංකාවේ මෙතෙක් මුද්දරවලින් පිළිබිඹු නොවූ මෙරටට ආවේනික පක්ෂීන් නිරූපනය වන මුද්දර 6ක් සහ මුල් දින කවර හයක් ද මෙලෙස අද දිනයේ නිකුත් කළ මුද්දර අතර වේ.
අළු කෑදැත්තා, හීන් කොට්ටෝරුවා, වන කොවුලැස්පටියා, පුල්ලි වල් අවිච්චියා, මහ රතු කෑරලා සහ බඩ රතු වැහිලිහිණියා යන පක්ෂීන් එම මුද්දරවලින් නිරූපණය වේ. පුලස්ති
එදිරිවීර මහතා මෙම මුද්දර කට්ටලය නිර්මාණය කර ඇත.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර, තැපැල්පති රංජිත් ආරියරත්න, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රංජිත්කේ. රණසිංහ, නියෝජ්‍ය තැපැල්පති බස්නාහිර පළාත-දකුණ ඩබ්ලිව්. කේ. ඒ. සිසිර කුමාර, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ ශාන්ත කුමාර මීගම, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් එච්.එම්.ඩබ්ලිව්.
බණ්ඩාර මහත්වරු ඇතුළු මුද්දර කාර්යාංශයේ නිලධාරි පිරිසක් එක්ව සිටියහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter