නවතම පුවත්

වසර 2050 වන විට ශ්‍රී ලංකාව කාබන්වලින් නිදහස් රටක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා රජය සැලසුම් සහගතව කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදයට එක් වෙමින් 24 දා ප්‍රකාශ කළේය.

තිරසර බලශක්ති සංවර්ධනයට අඛණ්ඩව කැප වී සිටින ශ්‍රී ලංකාව වසර 2030 වන විට රටේ බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ අරමුණෙන් කටයුතු කරන බවත්

රාජපක්ෂ මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයට සමගාමීව ඉකුත් දා (24) නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදය ආරම්භ කෙරුණු අතර “සෑම කෙනකුටම දැරිය හැකි, විශ්වාසදායක සහ තිරසර බලශක්තීන් ලබා ගැනීමට ඇති හැකියාව සහතික කිරීම”යන්න තේමා කරගනිමින් මෙම සංවාදය පැවැත්විණි.

පෘථිවියේ සෞඛ්‍ය සහතික කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ තිරසර බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය බවත් රාජපක්ෂ මහතා කීවේය.

මානව අවශ්‍යතා සපුරාලන අතරම පෘථිවියේ සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා ගෝලීය ප්‍රජාවගේ ඉහළම ප්‍රමුඛතාවක් හිමිවිය යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

 

මිනිසා විසින් ඇති කරන පරිසර විනාශය නිසා සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියට ඇති වන තර්ජන තවදුරටත් නොසලකා හැරිය නොහැකි බව රාජපක්ෂ මහතා කියා සිටියේය.

ඉදිරි දශක කිහිපය තුළදී මෙම තර්ජනය අවම කර ගැනීමට නම් ගෝලීය වශයෙන් පිරිසිදු බලශක්තිය වෙත යොමුවීම අත්‍යාවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා වඩාත් තිරසර බලශක්ති උත්පාදනයට හා පරිහරණයට ප්‍රවේශවීමට උත්සාහ දරමින් සිටින දියුණු වෙමින් පවතින ජාතීන්ට සහායවන ලෙස ද හැකියාව ඇති සියලු රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය.

නව ගල් අඟුරු බලාගාර ඉදි නොකිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම, දේශගුණික විපර්යාසයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය සඳහා දක්වන දායකත්වය පිළිබිඹු කරන්නක් බව පැවසූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව, නව ගල් අඟුරු බලයක් නොමැති බලශක්ති සම්මුතියේ සම - නායකයකු වීම ගැන ද සතුට පළ කළේය.

රටපුරා කුඩා ප්‍රමාණයේ සූර්ය බලශක්ති ව්‍යාපෘති 7,000ක ආයෝජනය කිරීමට එක්වන ලෙස ශ්‍රී ලංකාව ව්‍යවසායකයන්, කුඩා ව්‍යාපාර සහ ප්‍රජා සංවිධාන දිරිමත් කරමින් සිටින අතර රටේ විශාලතම සුළං විදුලි බලාගාරය ද මෑතකදී විවෘත කළ බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඉදිරි දශක කිහිපය තුළදී පුනර්ජනනීය බලශක්තීන්, විශේෂයෙන් සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධ සඳහා වන මහා පරිමාණ ආයෝජන තවදුරටත් ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය.

ජනපති එක්සත් ජාතීන්ට කියයි

ඇමෙරිකාවේ වොෂින්ටන් සහ නිව්යෝර්ක් නගර ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට විසි වසරක් පිරීම නිමිත්තෙන් ඇමෙරිකාවේ මෑන්හැටන්හි අනුස්මරණ ස්මාරකය අභියස සංවිධාන කර තිබූ විශේෂ සැමරුමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගියදා සහභාගී විය.

2001 වසරේ සැප්තැම්බර් 11 වන දින නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානය සහ වොෂින්ටන්හි පිහිටි එක්සත් ජනපද හමුදා මූලස්ථානය වූ පෙන්ටගනය ඉලක්ක කර ගනිමින් මෙම ත්‍රස්ත ප්‍රහාර එල්ල විය.

එක්සත් ජාතීන්ගේ 76වන මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී කාර්යාලය සහ සැප්තැම්බර් 11 අනුස්මරණ කෞතුකාගාරය එක්ව සැමරුම් වැඩසටහන සංවිධාන කර තිබිණි.

ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන්ට ගෞරවය පුද කිරීමේ මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටින සෙසු රාජ්‍ය නායකයෝ සහ රාජ්‍ය නියෝජිතයින්ද එක්ව සිටියහ.

එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදය අමතමින් ජනපති කියයි.

පෘථිවියේ සෞඛ්‍යය සහතික කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ තිරසර බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමීව ඊයේ (24) නිව්යෝර්ක් නුවරදී  එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදය ආරම්භ  කෙරුණු අතර “සෑම කෙනෙකුටම දැරිය හැකි, විශ්වාසදායක සහ තිරසර බලශක්තීන් ලබා ගැනීමට ඇති හැකියාව සහතික කිරීම” එහි තේමාව විය.

මානව අවශ්‍යතා සපුරාලන අතරම පෘථිවියේ සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා  ගෝලීය ප්‍රජාවගේ ඉහළම ප්‍රමුඛතාවක් හිමිවිය යුතු බව සංවාදය ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.

මිනිසා විසින් ඇති කරන පරිසර විනාශය නිසා සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියට ඇති වන තර්ජන තවදුරටත් නොසලකා හැරිය නොහැකිය. ඉදිරි දශක කිහිපය තුළදී මෙම තර්ජනය අවම කර ගැනීමට නම් ගෝලීය වශයෙන් පිරිසිදු බලශක්තිය වෙත යොමුවීම අත්‍යාවශ්‍ය බව පැවසූ ජනාධිපතිතුමා වඩාත් තිරසර බලශක්ති උත්පාදනයට හා පරිහරණයට ප්‍රවේශවීමට උත්සාහ දරමින් සිටින දියුණු වෙමින් පවතින ජාතීන්ට සහයවන ලෙස ද  හැකියාව ඇති සියලු රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය.

තිරසර බලශක්ති සංවර්ධනයට ශ්‍රී ලංකාව අඛණ්ඩවම කැපවී සිටී. වසර 2030 වන විට රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම අරමුණ බවත්, පොසිල ඉන්ධනවලින් ක්‍රමානුකූලව ඉවත් වී, කාබනීහරණය ප්‍රවර්ධනය කිරීම සහ වසර 2050 වන විට ශ්‍රී ලංකාව කාබන්වලින් නිදහස් රටක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා රජය සැලසුම් සහගතව කටයුතු කරන බවත් ජනාධිපතිතුමා පැවසීය.

නව ගල් අඟුරු බලාගාර ඉදි නොකිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම, දේශගුණික විපර්යාසයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය සඳහා ලබාදෙන දායකත්වය පිළිබිඹු කරන්නක් බව පැවසූ ජනාධිපතිතුමා      ශ්‍රී ලංකාව, නව ගල් අඟුරු බලයක් නොමැති බලශක්ති සම්මුතියේ සම – නායකයෙකු වීම ගැන ද සතුට පළ කළේය.

රටපුරා කුඩා ප්‍රමාණයේ සූර්ය බලශක්ති ව්‍යාපෘති 7,000ක ආයෝජනය කිරීමට එක්වන ලෙස ශ්‍රී ලංකාව ව්‍යවසායකයින්, කුඩා ව්‍යාපාර සහ ප්‍රජා සංවිධාන දිරිමත් කරමින් සිටින අතර රටේ විශාලතම සුළං විදුලි බලාගාරය ද මෑතකදී විවෘත කළ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ඉදිරි දශක කිහිපය තුළදී පුනර්ජනනීය බලශක්තීන්, විශේෂයෙන් සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධ සදහා වන මහා පරිමාණ ආයෝජන තවදුරටත් ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

 
 

වරාය තුළ සිර වී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආනයන අපනයන පාලක ජනරාල්වරියට සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය. අගමැතිවරයා එම නියෝගය කළේ ඊයේ පැවති ජීවන වියදම් පිළිබඳ ඇමැති මණ්ඩල අනුකාරක සභා රැස්වීමේදීය.

රටේ මහජනතාවගේ ජීවන වියදම් පිළිබඳ අවධානය යොමු කරමින් අරලියගහ මන්දිරයේ සිට ‘සූම්‘ තාක්ෂණය ඔස්සේ ඊයේ (24) රැස් වූ ඇමැති මණ්ඩල අනුකාරක සභා රැස්වීම පැවැත්විණි.

එසේ නිදහස් වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස සහ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් හරහා ජනතාවට බෙදාහැරීමට කටයුතු කරන්නැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා, වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට දැනුම් දුන්නේය.

සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව වෙළෙඳපොළට නිකුත් කිරීමේ වගකීම වෙළෙඳ අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම නිලධාරීන් විසින් දැරිය යුතු බවටද මෙහිදී අවධාරණය කෙරිණි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා ඉල්ලා අස්වෙමින් කළ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් කර ඇති පැමිණිල්ල කඩිනමින් විභාග කරන්නැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

 

ඒ අනුව අදාළ පරීක්ෂණය කඩිනම් කරන්නැයි අගමැතිවරයා ඒ මොහොතේදීම පොලිස්පතිවරයාට දුරකතනය ඔස්සේ දැනුම් දුන්නේය.

දේශීය බඩ ඉරිඟු ඵලදාව ලැබෙන තුරු දැනට පවතින ක්‍රමවේදයට විදේශීය වෙළෙඳපොළෙන් තවදුරටත් බඩ ඉරිඟු ඇතුළු සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය ගැනීමට රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත් මහතා කළ ඉල්ලීමටද මෙහිදී අනුමැතිය හිමි විය.

මේ හමුවට ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, ඩග්ලස් දේවානන්දා, ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, රාජ්‍ය ඇමැතිවරුන් වන ලසන්ත අලගියවන්න, ජානක වක්කුඹුර, ඩී. බී. හේරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල, වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන, අගමැති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල, රේගු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, ආහාර කොමසාරිස් ජනරාල් ජේ. ක්‍රිෂ්ණ මූර්ති, ලංකා සතොස සභාපති මේජර් ජෙනරාල් ආනන්ද පීරිස් මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, දෙපාර්තමේන්තු සහ සමාගම් ප්‍රධානීන් හා අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයෝ කිහිප දෙනෙක් එක්ව සිටියහ.

ශ්‍රවණය අහිමි පුද්ගලයන් සහ සංඥා භාෂා භාවිතා කරන්නන්ගේ භාෂාමය අනන්‍යතාව ලෝක මට්ටමෙන් පිළිගැනීමට ලක් කළ අන්තර්ජාතික සංඥා භාෂා දිනය නිමිත්තෙන් සුබ පැතුම් නිකුත් කරනුයේ ඉතාමත් සතුටිනි. මිනිසාගේ සියලු කාර්යයන් ඉටුකර ගැනීමට ශ්‍රවණය සහ භාෂා අවබෝධය අවශ්‍ය වේ. එහෙත් අප සමාජයේ සිටින උපතින්ම ශබ්ද නෑසෙන ශ්‍රවණ ආබාධිත සියලු දෙනාට අනෙකුත් ජනතාව මෙන්ම ලෝකය ග්‍රහණය කර ගැනීමට අප ඉඩ සලසා දිය යුතුය. අදාළ අවශ්‍යතාව වෙනුවෙන් බිහිවුණු සංඥා භාෂාව මේ වනවිට ස්වභාවික සංඥා භාෂාව දක්වා දියුණු මට්ටමට පැමිණ තිබේ. මෙරට සියලුම ජනවර්ග වෙනුවෙන් නිර්මාණය වූ “ශ්‍රී ලංකා සංඥා භාෂාව” ද කාලානුරූපී වෙනස්කම් සහිතව සංවර්ධනය වෙමින් පොදුවේ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සෙත සළසමින් ඇති බව මාගේ විශ්වාසයයි. ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට වෙනසකින් තොරව සාමාන්‍ය සමාජය හා එක්ව කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය රජයක් ලෙස නිරන්තරයෙන් ලබා දෙන බව අද වැනි සුවිශේෂී දිනක සිහිපත් කරමි. සංඥා භාෂාවේ දියුණුව වෙනුවෙන් අදාළ ආයතනවල පහසුකම් වැඩිදියුණු කිරීමට රජය උපදෙස් ලබා දී ඇති අතර හැකි සෑම විටම අනෙකුත් භාෂාවන්ට මෙන් සංඥා භාෂාවට ද ප්‍රමුඛත්වය දෙමින් අපගේම සහෝදර ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නැයි වගකිවයුතු සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි. ශ්‍රී ලංකාව ඇතුළු ලොවපුරා ජීවත් වන මිලියන 70 කට අධික ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට හඬක් වන සංඥා භාෂාව දිනෙන් දින දියුණු වී සමාජයේ සම තැන්හිලා කටයුතු කිරීමට ඔබ සැමට අවස්ථාව උදාවේවා! යැයි ප්‍රාර්ථනා කරමි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථිකයේ පසුබෑමක් සිදු වූවද, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අගෝස්තු මාසයේ ඩොලර් මිලියන 1,000 ඉක්මවූ අපනයන ආදායමක් ඉපයීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

රේගු සංඛ්‍යා ලේඛනවලට අනුව, 2020 අගෝස්තු මාසයේ දී වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 947.2 ක වටිනාකමට සාපේක්ෂව වෙළෙඳ භාණ්ඩ අපනය‍නයේ ඉපැයීම් මේ වසරේ අගෝස්තු මාසයේ දී සියයට 14.4ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් කෝටි 21,671 (අමෙරිකානු ඩොලර් මිලියන 1,083.56) ක් දක්වා වර්ධනය වී තිබෙන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කරයි. මීට පෙර මේ වසරේ මාර්තු, ජුනි සහ ජූලි මාසවල ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 1,000ක අපනයන සීමාව පසුකර තිබෙන අතර මේ ආර්ථික පදනම ස්ථාපිතව ඇත්තේ රට තුළ සහ ගෝලීයව කොවිඩ් 19 හේතුවෙන් පවතින සීමා කිරීම් තුළ වීම විශේෂත්වයක් බවද එම මණ්ඩලය පෙන්වාදෙයි. 2020 අගෝස්තු මාසයට සාපේක්ෂව 2021 අගෝස්තු මාසයේ දී යුරෝපා කලාපයට යැවූ අපනයන සමස්ත අපනයනයෙන් සියයට 22.97ක් වශයෙන්ද, මැදපෙරදිග රටවල් සඳහා සියයට 4.8ක ප්‍රමාණයක් ද, අප්‍රිකානු කලාපයට සියයට 2.7ක්ද වශයෙන් සමස්ත අපනයන බෙදා දැක්විය හැක. එසේම අමෙරිකා එක්සත් ජනපදයට සියයට 25.3, එක්සත් ජනපදයට සියයට 7.3 ක්ද වශයෙන් අපනයන සිදුකර තිබේ. වැඩිම අපනයන ආදායම ඇඟලුම් අංශයෙන් ලැබී ඇති අතර, එය ඩොලර් මිලියන 491.5ක් වේ. එසේම තේ අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 116.78ක ආදායමක් උපයාගෙන තිබෙන අතර, රබර් ආශ්‍රීත නිෂ්පාදන අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 92.34ක්ද ලැබී තිබේ. එසේ ම අපනයන ආදායම සඳහා ඉහළ දායකත්වයක් දුන් අංශ අතර අමෙරිකානු ඩොලර් මිලියන 73.95ක් සටහන් කරමින් පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයද වන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කියයි.

ජගත් සංඥා භාෂා දිනයට අදට (23) යෙදී ඇත. “මානව හිමිකම් සඳහා සංඥා භාෂාව භාවිත කරමු“ තේමාව යටතේ මෙවර සංඥා භාෂා දිනය සැමරේ.

මෙවර සංඥා භාෂා දිනයට සමගාමීව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ මැදිහත් වීම මත 'ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ මාධ්‍ය සේවා කේන්ද්‍රයක්' පිහිටුවීම පියවර ගැනේ. මෙය ලක්ෂ 4කට ආසන්න මෙරට වෙසෙන ශ්‍රවණ ආබාධිතයන්ගේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කර සංවේදී සමාජයක් නිර්මාණය කිරීමට රජය ගත් සුවිශේෂ පියවරක් බව ආබාධ සහිත පුද්ගල සංවිධාන එ්කාබද්ධ පෙරමුණ සඳහන් කරයි.

එම සංගමයේ සභාපතිනි රසාංජලි පතිරගේ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනුයේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියේ 33 වැනි වගන්තිය යථාර්තයක් බවට පත් කිරීමේ පියවරක් ලෙස ⁣ස්ථාපිත කළ මෙම මාධ්‍ය කේන්ද්‍රයෙන් බිහිරි ප්‍රජාව ඇතුළු සියලුම ආබාධ සහිත ප්‍රජාවගේ සන්නිවේදන හා තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කෙරෙන බවයි. මෙම කේන්ද්‍රයෙන් සියලුම සන්නිවේදන අපහසුතා පවතින තැනැත්තන්ගේ අයිතිවාසිකම් පදනම් කරගනිමින් ඔවුන්ගේ අභිමානය සුරක්ෂිත කිරීමටත්, නිශේධනාත්මක සමාජ ආකල්ප ඉවත් කරමින් සියල්ලන්ගෙන්ම සමන්විත සදාචාරාත්මක මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට රජය පියවර ගැනීම අභිමානයට කරුණක් බව ආබාධ සහිත පුද්ගල සංවිධාන එ්කාබද්ධ පෙරමුණ නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

  • කොවිඩ් වසංගතය කළමනාකරණයට ශ්‍රී ලංකාව ගෙන ඇති සාධනීය පියවර
    ජනපති ලෝක නායකයින් හමුවේ පැහැදිළි කරයි …
  • කොවිඩ් වසංගත තත්ත්වයෙන් උගත් පාඩම් හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකාව කලාපීය දැනුම් කේන්ද්‍රයක් බවට පත්කිරීමට අපේක්ෂා කරනවා …
  • සංවර්ධනය වෙමින් පවතින රටවලට පවතින ආර්ථික අවිනිශ්චිතතාවයෙන් මිදීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි …
  • ආර්ථිකය නැවත පණ ගැන්වීමේ හා ජාතික සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නවා ….
  • ජනවාර්ගික, ආගම් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා සමෘද්ධිමත් ස්ථාවර හා සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම සිය රජයේ ප්‍රමුඛ අරමුණක් …
  • ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයක් නැවත කිසි දිනක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවටසහතික වනවා ….
  • ගෝලීය ත්‍රස්තවාදය ජය ගැනීමට බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ ජාත්‍යන්තර සහයෝගීතාවය අවශ්‍යයි …
  • තිරසරභාවය යනු ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන අංගයක් …
  • කාබන්හරණයට සහාය වීමේ හදිසි අවශ්‍යතාවය ශ්‍රී ලංකාව අවබෝධ කරගෙන සිටී..
  • බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම පිළිබඳ මනා දර්ශනයක් ශ්‍රි ලංකාව සතුයි …
  • ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීමට එක්සත් ජාතීන් සහ ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් වන්න …

සියලුම ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසීම එක්සත් ජාතීන්ගේ කාර්යභාරයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

ඔවුන්ගේ යාන්ත්‍රණයන්  සහ උරුමයන් කෙරෙහි නිසි ගෞරවයෙන් සැලකිය යුතු බව ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 9.30 ට පමණ ජනාධිපතිතුමා සමුළුව ඇමතීය. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (21) ප.ව 6.30ට නිව්යෝර්ක් හි, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නායක සමුළුව ආරම්භ කෙරුණු අතර “කොවිඩ් 19 – වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්න මෙවර එහි තේමාව විය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ සම්පූර්ණ කථාව

සභාපතිතුමනි, මහලේකම්තුමනි,
රාජ්‍ය නායකවරුනි, ගෞරවනීය නියෝජිතයිනි,
නෝනාවරුනි, මහත්වරුනි,

ආයුබෝවන්

අද පැවැත්වෙන මෙම උත්කෘෂ්ට රැස්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබීම මට ගෞරවයකි.

76 වන මහා මණ්ඩල සැසිවාරයේ සභාපතිවරයා ලෙස තේරී පත්වූ අතිගරු අබ්දුල්ලා ෂහීඩ් (Abdulla Shahid) මැතිතුමන්ට මම පළමුවෙන් සුභපතමි.

සභාපතිතුමනි, ඔබ ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙකි. ඉදිරි වසරේ දී ඔබ සමග සමීපව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.

මීට පෙර පැවති මහා සභා සැසිවාරයේ දී අතිගරු Volkan Bozkir (වොල්කන් බොස්කීර්) මැතිතුමන් දරන ලද භාරකාරත්වය අගය කිරීමට සහ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මැතිතුමන් මෙම දුෂ්කර අවස්ථාවේදී ලබාදෙන නායකත්වය අගය කොට සැලකීම සඳහා මෙය අවස්ථාවක් කර ගනිමි.

සභාපතිතුමනි, කොවිඩ් – 19 වසංගතය මනුෂ්‍ය වර්ගයාට විනාශකාරී බලපෑමක් ඇතිකර තිබේ. වසංගත තත්ත්වය හමුවේ තම සමීපතමයන් අහිමි වූ සියලු දෙනා වෙත මාගේ සාතිශය සංවේගය පිරිනමමි.

ලොව පුරා සිටින ඉදිරි පෙළ සෞඛ්‍ය හා අත්‍යාවශ්‍ය සේවකයින්ගේ කැපවීම ගැන මම ස්තූති කරන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අර්බුදයට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳ ප්‍රශංසා කරමි.

කොවිඩ් – 19 වසංගත තත්ත්වයෙන් උගත් පාඩම් හුවමාරු කර ගැනීමට සහ වඩා ප්‍රශස්ත ලෙස නැවත රටවල් යථා තත්ත්වයට ගොඩනැගීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකාව, ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව, කලාපීය දැනුම් කේන්ද්‍රයක් ගොඩනැගීමට අපේක්ෂා කරයි.

වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා එන්නත් සහ ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දීමේදී විද්‍යාත්මක පර්යේෂකයින් හා වෛද්‍ය ප්‍රජාවන් විසින් සිදුකරන ලද වේගවත් නිර්මාණාත්මක කාර්යභාරය මම ඉතා ඉහළින් අගය කරමි.

ඒ අතරම, භයානක නව වෛරස් ප්‍රභේද පැතිරවීම වැළැක්වීම සඳහා එන්නත් නිෂ්පාදනය, බෙදාහැරීම, ලබාදීම සහ පිළිගැනීම සම්බන්ධයෙන් වන අභියෝග වහාම ජයගත යුතු බව හඳුනා ගත යුතුව ඇත.

සෑම තැනකම සෑම කෙනෙකුටම එන්නත ලබාදී ඇති බවට සහතික වීම වසංගතයෙන් මිදීමේ හොඳම ක්‍රමවේදයයි.

තවමත් සංවර්ධනය වෙමින් පවතින ජාතියක් වුවද, ශ්‍රී ලංකාව සිය එන්නත් කිරීමේ වැඩසටහන තුළ ඉතා සාර්ථක වී ඇත. වයස අවුරුදු 30ට වැඩි සියලුම පුද්ගලයින් සියලු දෙනාටම පාහේ මේ වන විටත් පූර්ණ වශයෙන් එන්නත් ලබාදීමට අපි කටයුතු කර ඇත්තෙමු.  ඔක්තෝම්බර් මස අවසානය වන විට වයස අවුරුදු 20ට වැඩි සෑම දෙනාටම පූර්ණ වශයෙන් එන්නත ලබාදෙනු ඇත.  නුදුරු අනාගතයේදීම අපි අවුරුදු 15ට වැඩි දරුවන්ට එන්නත් ලබාදීම ආරම්භ කරන්නෙමු.

එන්නත්කරණ ක්‍රියාවලියේ වේගවත්භාවයට පාදක වූයේ සෞඛ්‍ය සේවකයින්, හමුදාව සහ පොලිස් නිලධාරීන්, රජයේ සේවකයින් සහ තෝරා පත් වූ ජනතා නියෝජිතයින් අතර වූ සම්බන්ධීකරණයයි.

වසංගත තත්ත්වය කළමනාකරණය සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික පරිත්‍යාගශීලීන් විසින් සපයන ලද මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර වලින් ද ශ්‍රී ලංකාව විශාල ප්‍රතිලාභයක් ලැබීය. මෙම ජාතීන්ට සහ ආයතනවලට ඔවුන්ගේ ත්‍යාගශීලීභාවය පිළීබඳ මම ස්තූතිවන්ත වෙමි. මෙම පවතින අර්බුදකාරී කාලය තුළ ගෝලීය වශයෙන් දක්නට ලැබෙන ඉමහත් සහයෝගීතාවය බෙහෙවින් දිරිගන්වන සුළුයි. කෙසේ වෙතත්, කළ යුතු තවත් බොහෝ දේ ඇත.

සභාපතිතුමනි, වසංගතයේ ආර්ථික බලපෑම විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි ලෙස බලපා ඇත. මෙය 2030 තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම අවධානමකට ලක්කර ඇත.

සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට මෙම අවිනිශ්චිත තත්ත්වයෙන් මිදීමට සහාය වීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණය තුළින් සංවර්ධන මූල්‍යකරණය සහ ණය සහන ඇතුළු තවත් බොහෝ ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි.

වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව ද දැඩි අසීරුතාවයකට පත්ව ඇත. ඛේදජනක ජීවිත හානි වලට අමතරව අපේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. අගුලු දැමීම් සහ සාමාන්‍ය සංචරණ සීමා පැනවීම්, ජාත්‍යන්තර සංචාරකයින් පැමිණීම පහළ වැටීම සහ මන්දගාමී ගෝලීය වර්ධනය අප ආර්ථිකයේ සෑම අංශයකටම බලපා ඇත.

ශ්‍රී ලංකාවේ ඉහළම විදේශ විනිමය උපයන මාර්ගයක් වන හා ජනගහණයෙන් 14%කට ආසන්න ප්‍රමාණයක් යැපෙන සංචාරක ක්ෂේත්‍රය දැඩි ලෙස කඩා වැටී ඇත. මෙම කර්මාන්තය සහ අනෙක් බොහෝ අංශවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා, පොලී සහන සහ වෙනත් මූල්‍ය ආධාර ලබාදීම වැනි රජයේ ආධාර ක්‍රම මගින් සහන ලබාදුනි. දෛනික වැටුප් ලබන්නන් සහ අඩු ආදායම්ලාභී කණ්ඩායම් සඳහා මුදල් ප්‍රදානයන් සහ වියළි සලාක ලබාදීම, අගුලු දැමීම කරන කාලසීමාවේදී ක්‍රියාත්මක කරලීම තුළින් රාජ්‍ය වියදම් සැලකිය යුතු ලෙස වැඩිවිය.

වසංගතයේ ක්ෂණික බලපෑම්වලට අමතරව මෙම වසංගතයේ ආර්ථික ප්‍රතිවිපාකයන් අපගේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා තිබූ මූල්‍ය අවකාශය සීමා කර ඇත.

සභාපතිතුමනි, වසංගතයේ ප්‍රතිවිපාකයන් මනුෂ්‍යත්වයට බෙහෙවින් විනාශකාරී වූ අතර, ඉදිරි දශක කිහිපය තුළ දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ඊටත් වඩා විශාල අභියෝගයන්ට ලෝකයට මුහුණ දීමට සිදුවේ.

දේශගුණික විපර්යාසයන් පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ මෑතකාලීන වාර්තාවේ අවධාරණය කර ඇති පරිදි පෘථිවියේ සෞඛ්‍යයට මානව ක්‍රියාකාරකම්වල පෙර නොවූ විරූ බලපෑම් දැඩි කනස්සල්ලට කරුණකි. දේශගුණික විපර්යාසයන්ගෙන් හා ජෛව විවිධත්වය නැතිවීමෙන් සිදුවන බරපතළ තර්ජනයන්ට පිළියම් යෙදීම සඳහා තීරණාත්මක හා ක්ෂණික බහුපාර්ශ්වික ක්‍රියාමාර්ග අවශ්‍ය වේ.

දේශගුණික විපර්යාසයන්ට ගොදුරු විය හැකි රටක් වශයෙන් ශ්‍රී ලංකාව මෙහි අනතුරුදායක බව මනාව වටහාගෙන ඇත. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් මත ශ්‍රී ලංකාවේ දාර්ශනික උරුමයන් මුල් බැස ඇති අතර පාරිසරික අගය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩල නීල ප්‍රඥප්තියේ පතාක යෝධයෙකු වන අතර මෙරට කඩොලාන ප්‍රතිසංස්කරණය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ මෙම සන්දර්භය තුළය. වසර 2030 වන විට නයිට්‍රජන් අපද්‍රව්‍ය ප්‍රමාණය අඩකින් අඩු කිරීමට බලාපොරොත්තු වන, ‘තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රඥාප්තිය’ සම්මත කර ගැනීමෙන් පරිසර දූෂණය අවම කිරීමේ ගෝලීය ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාව ද දායක වී තිබේ.

අප්‍රේල් මාසයේදී පැවති පූර්ව-සමුළුවට මාර්ගගත ක්‍රමයට (virtually) සහභාගී වීම තුළින්, මෙම මස අගදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආහාර සමුළුව ගෝලීය වශයෙන් සෞඛ්‍යය සම්පන්න, තිරසර හා සාධාරණතාත්මකතාවයකින් යුතු ආහාර පද්ධති ප්‍රවර්ධනය සඳහා ක්‍රියාකාරී ප්‍රතිඵල ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරමි. එවැනි ප්‍රතිඵල මානව සෞඛ්‍යයට මෙන්ම අපගේ පෘථිවියේ සෞඛ්‍යයට ද ඉතා වැදගත් වනු ඇත.

තිරසරභාවය යනු ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන අංගයකි. පාංශු සාරවත් බව, ජෛව විවිධත්වය, ජල මාර්ග සහ සෞඛ්‍ය කෙරෙහි එහි පවතින හානිකර බලපෑම හේතුවෙන් මගේ රජය විසින් මේ වසර මුලදී රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල් නාශක භාවිතය තහනම් කළේය

කාබනික පොහොර නිෂ්පාදනය හා යොදා ගැනීම මෙන්ම කාබනික කෘෂිකර්මාන්තය සඳහා කරන ආයෝඡන දිරි ගැන්වමින් පවතී. ශ්‍රී ලංකාවේ වඩාත් තිරසර කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට ගත් උත්සාහය වෙනුවෙන් ගෝලීය ආයතන සහ රාජ්‍යයන් බොහෝමයකගෙන් ලැබුණු දිරිගැන්වීම මම අගය කරමි.

අපේ පරිසරය සුරැකීම අපේ ප්‍රධාන ජාතික ප්‍රමුඛතාවයකි. ඉදිරි දශක කිහිපය තුළ දී වනාන්තර ආවරණය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම අපගේ අරමුණයි. රට පුරා පිහිටි ගංගා 100 කට අධික ප්‍රමාණයක් පිරිසිදු කර ප්‍රකෘතිමත් කිරීමට සහ ගංගා හා සමුද්‍ර දූෂණයට එරෙහිව සටන් කිරීමට ද අපි කටයුතු කරමින් සිටිමු. පාරිසරික සංරක්‍ෂණයට සහාය දීමක් වශයෙන් තනි භාවිතය සඳහා වූ ප්ලාස්ටික් ද අපි තහනම් කර ඇත්තෙමු.

පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම සහ කාබන්හරණයට සහාය වීමේ හදිසි අවශ්‍යතාවය ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත. අපගේ බලශක්ති ප්‍රතිපත්තිය මඟින් වසර 2030 වනවිට අපගේ ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් දක්වා සූර්‍යබල, සුළං සහ ජල විදුලිය වැනි පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබාදෙන දායකත්වය ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ.

සභාපතිතුමනි, සිය ආර්ථිකය නැවත පණ ගැන්වීමේ හා ජාතික සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගනී. ආයෝඡන ආකර්ෂණය කර ගැනීමට සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීමට, අප රටේ භූ උපායමාර්ගික පිහිටීම සහ අපගේ සවිමත් ආයතන, ශක්තිමත් සමාජ යටිතල පහසුකම් සහ පුහුණු ශ්‍රම බලකාය උපරිම ප්‍රයෝජනයට ගැනීමට අපි අදහස් කරන්නෙමු.

මේ සඳහා පහසුකම් සැලසීමට මෙන්ම අපගේ සියලුම ජනතාව සමෘද්ධිමත් කිරීම සඳහා නීතී, නියාමන, පරිපාලන හා අධ්‍යාපන යන ක්ෂේත්‍රයන් හි පුළුල් වූ ප්‍රතිසංස්කරණ ඇතිකිරීම කෙරෙහි මගේ රජය අවධානය යොමු කර ඇත.

නිදහස ලැබීමට පෙර සිටම ශ්‍රී ලංකාව සර්ව ජන ඡන්ද බලය භුක්ති විඳ ඇත. ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අපේ ජීවන රටාවේ ඉතා වැදගත් අංගයකි. වසර 2019 දී මාව තෝරා පත්කරගැනීම සහ 2020 දී පැවති පාර්ලිමේන්තු මැතිවරණය තුළින් පිළිබිඹු වුයේ සමෘද්ධිමත් සහ ස්ථාවර රටක් ගොඩනැගීම සඳහා සහ ජාතික ආරක්‍ෂාව සහ ස්වෛරීභාවය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයින් විසින් මාගේ රජයට ලබාදුන් ප්‍රබල ජනවරමයි.

වසර 2019 දී සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයේදී, අන්තවාදී ආගමික ත්‍රස්තවාදීන් විසින් සිදු කරන ලද විනාශය ශ්‍රී ලංකාව අත්වින්දේය. එයට පෙර, වසර 2009 වන තෙක් ශ්‍රී ලංකාව වසර 30 ක බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධයකින් පීඩා වින්දේය. ත්‍රස්තවාදය යනු ගෝලීය අභියෝගයක් වන අතර එය ජය ගැනීමට නම්, විශේෂයෙන්ම බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගිතාව අවශ්‍ය වේ.

පසුගිය අඩ සියවසේදී ප්‍රචණ්ඩත්වය විසින් ශ්‍රී ලංකාවේ දහස් ගණනකගේ ජීවිත සහ දශක ගණනාවක සමෘද්ධිය අහිමිකර ඇත. මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට සහතික වීම සඳහා මගේ රජය කැපවී සිටී. එම නිසා, ඒ පිටුපස ඇති මූලික ගැටලු විසඳීමට අපි කටයුතු කරමින් සිටින්නෙමු.

කල් පවත්නා සාමය සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආයතන තුළින් වැඩි වගවීමක්, ප්‍රතිස්ථාපන යුක්තියක් සහ අර්ථවත් සංහිඳියාවක් ඇති කිරීම අත්‍යාවශ්‍ය වේ. ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵල සඳහා සාධාරණත්වයෙන් යුතු සහභාගීත්වය සහතික කිරීම ද එසේම විය යුතුය.

ජනවාර්ගික, ආගම් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා සමෘද්ධිමත්, ස්ථාවර හා සුරක්‍ෂිත අනාගතයක් ගොඩනැගීම මාගේ රජයේ දැඩි අරමුණයි.

මෙම ක්‍රියාවලිය සඳහා සියලුම දේශීය පාර්ශවකරුවන් සමඟ සම්බන්ධ වීමට සහ අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහ එක්සත් ජාතීන්ගේ සහයෝගය ලබා ගැනීමට අප සූදානම්.

කෙසේ වෙතත්, ස්ථිරසාර ප්‍රතිඵල ලබා ගත හැක්කේ ජනතාවගේ අභිලාෂයන් පිළිබිඹු කරන දේශීය ආයතන තුළින් පමණක් බව ඉතිහාසය පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව, අධිකරණය සහ එහි ඇති ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතන වලට තම කාර්යයන් හා වගකීම් ඉටු කිරීම සඳහා සීමා රහිත අවකාශයක් තිබිය යුතුය.

ගරු සභාපතිතුමනි, ගරු නියෝජිතවරුනි,අද අපගේ මහා සමුළු විවාදයේ  තේමාවට අනුකූලව අප බලාපොරොත්තුසහගත බව තුළින් සැබැවින්ම ඔරොත්තු දීමේ ශක්තිය ගොඩනඟා ගැනීමට නම්, අප සැම දෙනාම පොදු යහපත සඳහා කටයුතු කළ යුතුයි.

සියළුම ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස සැලකීමෙන් සහ ඔවුන්ගේ යාන්ත්‍රණයන් හා උරුමයන් කෙරෙහි නිසි ගෞරවයෙන් සැලකීමෙන් මේ සඳහා පහසුකම් සැලසීම එක්සත් ජාතීන්ගේ කාර්යභාරයයි.

ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම දිරිමත් කරන ලෙස මම එක්සත් ජාතීන්ගෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමි.

සියලු මනුෂ්‍ය වර්ගයාට යහපත් හා තිරසර අනාගතයක් ඇති කිරීම සඳහා සැබෑ සහයෝගීතාවයෙන්, ත්‍යාගගශීලීව හොඳ හිත පෙරදැරිව සහ අන්‍යෝන්‍ය ගෞරවයෙන් එකට වැඩ කරන ලෙස මෙම උත්තරීතර සභාවේ සාමාජික රටවලින් මම ඉල්ලා සිටිමි.

ඔබට ස්තුතියි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ලැට්වියා ජනරජයේ ජනාධිපති එගිල්ස් ලෙව්ට්ස් (Egils Levits) මහත්වරුන් අතර හමුවක් පෙරේදා (21) පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අතරතුර මේ හමුව සිදූ වුණු අතර දෙරට අතර විසිපස් වසරක තානාපති සබඳතා තවදුරටත් ඉදිරියට ගෙනයාමට ශක්තිමත් පියවර ගත යුතු බව රාජ්‍ය නායක දෙපළගේම අදහස වූහ. කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකයට හා සමාජයට එල්ල වී ඇති බලපෑම කෙරෙහි මෙහිදී රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වූ අතර වසංගතය පහව යාමත් සමඟ දෙරටේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ. අධ්‍යාපනය, ඩිජිටල් තාක්ෂණය යන ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම කෙරෙහි ද නායකයන්ගේ අවධානය යොමු විය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සංයුතිය වෙනස් විය යුතු බව හා ආසියාව, දකුණු අප්‍රිකාව, මැද පෙරදිග සහ දකුණු අමෙරිකානු කලාපවලට වැඩි නියෝජනයක් දීමේ අවශ්‍යතාව ද මෙහිදී දෙරටේ නායකයන්ගේ අවධානයට යොමු විය. විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශ ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහත්වරු මේ සාකච්ඡාවට එක් වූහ.

දරදඬු නීති පනවා සමාජ මාධ්‍ය පාලනය කිරීමට නොහැකි බවත්, රජයක් ලෙස තමන් කිසි ලෙසකින් වත් සමාජ මාධ්‍ය පාලනය කිරීමට කටයුතු නොකරන බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද ( සැප්තැම්බර් 22 දා) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සමාජ මාධ්‍ය පාලනය කිරීමට නීති ගෙනඒමට රජය කටයුතු කරන්නේද යන්න මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍යවරයා “රජයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත් සම කැබිනට් ප්‍රකාශකවරයකු ලෙසත් සමාජ මාධ්‍ය නීති යොදා පාලනය කරන්නේ නැති බවට මා ඉතා වගකීමෙන් කියනවා. එහෙත් ඔබේ පැත්තෙන් යම් ආචාරශීලී ප්‍රතිපත්තීන් සඳහා කර්තෘවරුන්ගේ සංසදය, රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශකයන්ගේ සංසදය වැනි ආයතන හා රජය අතර යම් එකඟතාවයකට එන්න කියලා මා ඉතා කාරුණිකව ඉල්ල සිටිනවා.

කිසියම් පුවතක් වැරදි ආකාරයට ප්‍රචාරය වූවිට ඒ සම්බන්ධ සිත් රිදෙන පාර්ශවයන් විශාල පාර්ශවයන් ප්‍රමාණයක් තිබෙනවා. ඒ අය ගැන සිතා යම් පාලනයකට එන්න කියලා මා ඉල්ලා සිටිනවා.” යනුවෙන් පැවසීය.

නීති රීතිවලින් ජනමාධ්‍ය පාලනය කිරීමට නොහැකි බවත්, මාධ්‍ය වල පලවන වැරදි පුවත් මගින් සිදුවන අකටයුතුකම් නැවැත්විය හැක්කේ සුහද සාකච්ඡාවකින් පමණක් බවත්, පුවත් පලකිරීමේදී යම් යම් ආචාර ධර්ම තමන් විසින් ම පනවා ගතයුතු බවත්, ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

දිවංගත සංගීතවේදී පණ්ඩිත් අමරදේව ශූරීන් යනු ජාතික වස්තුවක් බවත්, නිමකිරීමට නොහැකි වූ අමරදේව අසපුව කඩිනමින් ඉදිකිරීමට කටයුතු යොදන බවත් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අද ( සැප්තැම්බර් 22 දා) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී දිවංගත සංගීතවේදී පණ්ඩිත් අමරදේව ශූරීන්ගේ නමින් ඉදිකර නිමකිරීමට යෝජිත අමරදේව අසපුව ඉදිවීම අඩාල වීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම ව්‍යාපෘතිය ආරම්භ වී ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රධානත්වයෙන් බවත්, මෙම ව්‍යාපෘතිය අඩාල වීම සම්බන්ධයෙන් තමන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් විමසූ බවත්, මෙම ඉදිකිරීම සංස්කෘතික දෙපාර්තමේන්තුවට ගෙන ඇති නමුත් මෙය සිය වගකීමක් ලෙස සළකා කඩිනමින් අවසන් කිරීමේ වගකීම ඉටු කරන බවත්, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

 
ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ජේ.ජී.ආර් කරුණාරත්න මහතා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත්කර ඇත
 
මෙම පත්වීම සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම තනතුරට පත්කර ඇති බව සඳහන් වේ.
 
ජේ.ජී.ආර් කරුණාරත්න මහතා ඔස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ වාණිජපති උපාධිය ලබාගෙන ඇති ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිය පළමු උපාධිය ලබාගෙන තිබේ.
 
එමෙන්ම එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිවරුන්ගේ සංගමයේ ආදී විද්‍යාර්ථියකු වන ඒ මහතා ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී  ආයතනයේ සහකාර සාමාජිකයෙකු ද වේ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter