නවතම පුවත්

 ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව සහ මා අතර සුහද හමුවක් ඊයේ (14) බොලොඤ්ඤා නුවර දී පැවැත්විණි.
 
ඉතාලියේ විවිධ නගර නියෝජනය කරමින් පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිස මෙලෙස මා නවාතැන් ගෙන සිටින බොලොඤ්ඤා හෝටලයේ දී සුහඳ කතාබහකට එක් වූහ.
 
කොවිඩ්-19 වසංගතය තත්ත්වය හමුවේ වුව ද ඉතාලියේ සංචාරය කරමින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසකට මෙවැනි හමුවක් ලබා දීම ගැන එම නියෝජිත පිරිස මා වෙත සිය ස්තුතිය පළ කළහ.
 
මා ජනාධිපතිවරයා වශයෙන් සිටි කාලයේ ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ද්වි-පාර්ශවීය මිතුදම් හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකික ජනතාවට ලැබෙන පහසුකම් පිළිබඳව ද පැමිණ සිටි පිරිස සිහිපත් කළහ.
 
මිලාන් නගරයට ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීමට එවකට ජනාධිපතිවරයා ලෙස මා ගත් දූරදර්ශී ක්‍රියාපිළිවෙත හේතුවෙන් ගැටලු නිරාකරණය කර ගැනීමේ දී ශ්‍රී ලාංකිකයන් රැසකගේ කාලය සහ මුදල් ඉතිරි වන බව මෙහි දී සඳහන් විය.
 
අනාගතයේ යම් දවසක නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට වසර විස්සක සේවා කාලයකින් පසුව එරටින් ලබා දෙන විශ්‍රාම වැටුප මව්බිමට පැමිණි පසුව ද ලබා ගැනීමේ හැකියාව උදාකර දෙන්නැයි පැමිණ සිටි පිරිස මගෙන් ඉල්ලා සිටියහ. අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඉතාලි රජය සමඟ සාකච්ඡා කරන ලෙස විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට ඒ මොහොතේදීම උපදෙස් දුන්නෙමි.
 
G20 අන්තර් ආගමික සමුළුවට (G20 Interfaith Forum) එකතු වීමෙන් පසු ඉදිරි දින කිහිපයේ දී රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටිමි.
මෙම හමුවට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, ඉතාලියේ වැඩ බලන ශ්‍රී ලංකා තානාපති සිසිර සෙනවිරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කීරීමට තීරණය කර ඇත

 
මේ අනුව ඊයේ (13) රාත්‍රී එම විදුලි ආලෝකකරණ පද්ධතිය අත්හදා බැලීමේ කටයුතු සිදු කරන ලදී.
 
විශය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන ප්‍රධාන සාධකයක් වන නිසාත් කැළණි ගගේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරිම සදහා විදුලි ආලෝකකරණය ඉවහල් වන බව අමාත්‍යවරයාගේ අදහස විය. 
 

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පහලොස්වන(15)සංවත්සර සැමරුම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී ඊයේ (13)පෙරවරුවේ පැවැත්විණ.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ස්ථාපනය කර වසර පහළොවක් පිරීම නිමිත්තෙන් ඊයේ(13)එම දෙපාර්තමේන්තුව දිනය සමරමින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී එම දෙපාර්තමේන්තුවේ ධජවලට ආශිර්වාද කරමින් ආගමිකවතාවත් සිදු කෙ‍රිණ .

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එන්.ආර් ලමාහේවාගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ධජයන්ට ආශිර්වාද ගැන්වීම සිදුකෙරිණි.

අනතුරුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ආශිර්වාද පතා මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පිරිත් සජ්ජායනාවක් ද පැවැත්විණි .

මෙම ආගමිකවතාවත් ලංකාරාමාධිපති හා උතුරු මධ්‍යම දිසාවේ අධිකරණ සංඝනායක රළපනාවේ ධම්මජෝති , ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති හා උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධාන මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් සිදු කළහ.

'ග්‍රාම ආරක්ෂක සේවය ' 2006 වර්ෂයේ දී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත විශේෂ ගැසට් පත්‍රයක් මගින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවක් ලෙස එවකට ස්ථාපනය කොට තිබේ .

ඒ අනුව ඊයේ දිනයට යෙදුන දෙපාර්තමේන්තුවේ පහළොස්වැනි වසර සැමරීම සඳහා විශේෂ ආගමික වැඩසටහන් සංවිධානය කර ඇති අතර අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවැති ආශිර්වාදමය ආගමික වැඩසටහන එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් කිහිප දෙනෙකුගෙන් සමන්විතව සෞඛ්‍යය නිරෝධායන නීති අනුගමනය කරමින් පැවැත්විණි .

රටක් වශයෙන් කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ජනගහණයෙන් 50%කට ලබාදීම ජයග්‍රහණයක් බවද, මෙම ජයග්‍රහණයේ අපි සැවොම වීරයන් බවද, මේ නිසා අද ඓතිහාසික දවසක් වනු ඇති බවද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ජනගහණයෙන් 50%කට අධික සංඛ්‍යාවක් දෙවනි මාත්‍රාව එන්නත්කරණය කළ රාජ්‍යයක් ලෙස ලෝක සිතියමෙහි රාජ්‍යයන් ඉතාම අතලොස්ස අතරට එක්වීමට අප රටට හැකිවීම භාග්‍යයක් බවද, මෙම රාජ්‍ය පද්ධතිය තුළ කුඩා දූපත්රාජ්‍ය හැරුණු කොට ඉහලින් සිටිනුයේ කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය, ජපානය, මැලේසියාව වැනි රටවල් බවත් මින් බහුතරය ජී7 (G7) කලාපයට අයත් රටවල් වන අතර එයින් රටවල් 4ක්ම එන්නත් නිපදවන රටවල් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

මෙම ජයග්‍රහණයේ දී සියල්ලෝම වීරයන් සහ කොටස්කරුවන් වන බවද, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අප්‍රමාණ කැපකිරීම් කළ පිරිස, ආරක්ෂක අංශ වල නිලධාරීන්, රාජ්‍ය නායකයන් මෙන්ම රැකියාවට නොගොස් නිවෙස් වල සිටි පුද්ගලයන් පවා මෙම ජයග්‍රහණයේ වීරයන් සහ කොටස්කරුවන් වන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා; මෙම එකමුතුකම තුළින්ම ඉදිරි සති කිහිපය සැවොම ගතකළහොත් ප්‍රශ්න මැනවින් කළමනාකරණය කරගත හැකි බව පැවසීය.

අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ  (12) ඉතාලියේ බොලොඤ්ඤා නුවර ආරම්භ වූ G20 අන්තර් ආගමික සමුළුවේ ආරම්භක දින පළමු සැසි වාරය අමතමින් පෙන්වා දුන්නේ 
ආර්ථික, දේශපාලන හා සමාජීය අරමුණු සාක්‍ෂාත් කර ගැනීමේ දී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මත බවයි. 

G20 රාජ්‍ය නායක සමුළුව ලබන ඔක්තෝබර් මස 30-31 දෙදින ඉතාලියේ රෝම අගනුවර දී පැවැත්වීමට නියමිත අතර ඊට සමඟාමීව G20 අන්තර් ආගමික සමුළුව (G20 Interfaith Forum) පැවැත්වෙයි. ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් මම G20 අන්තර් ආගමික සමුළුව ඇමැතුවේය. 
එහි දී එතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.
"සංස්කෘතීන් අතර සාමය, ආගම් අතර අවබෝධය" යන තේමාවෙන් ඓතිහාසික බොලොඤ්ඤා නගරයේ පැවැත්වෙන ඉතා කාලෝචිත G20 අන්තර් ආගමික සමුළුව ඇමතීමට ලැබීම සතුටකි.
මෙම සමුළුවට සහභාගී වන ලෙස ආරාධනා කිරීම පිළිබඳව ඉතාලි සංවිධායක කමිටුවේ සභාපති මහාචාර්ය ඇල්බටෝ මෙලොනි ඇතුළු සංවිධායක කමිටුවට මම ස්තූතිවන්ත වෙමි. විශේෂයෙන් මගේ රට වන ශ්‍රී ලංකාවටත් දකුණු ආසියාවේ භූගෝලීය කලාපයටත් මෙම සංසදයේ තේමාව අදාළ වීම නිසා මෙම අවස්ථාව වඩාත් අගය කරමි.
අපේ කලාපයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ජනවාර්ගික, ආගමික හා සංස්කෘතික විවිධත්වයයි. අපේ රටවල විවිධ ආගම් අදහන සහ විවිධ සංස්කෘතීන්ගෙන් පෝෂණය වූ විවිධ ජනවාර්ගික පසුබිම් සහිත ජනතාව ජීවත්වෙති. මෙම වෙනස්කම් සමග නැගී සිටිමින්, විවිධ ජනකොටස් එක්සේසත් කරමින්, පරිණත ජාතිකත්වයක් පිළිබඳ හැඟීමක් ගොඩනැගීමේ අභියෝගයට අපි ප්‍රතිචාර දක්වා ඇත්තෙමු.
ආර්ථික, දේශපාලන හා සමාජීය අරමුණු සාක්‍ෂාත් කර ගැනීමේ දී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මතය. අන්තවාදී මතවාද සහ ඒ හා බැඳුණු ප්‍රචණ්ඩත්වය අපේ යුගයේ ඇති බරපතලම අභියෝගයයි. හරියට ම මීට විසි වසරකට පෙර සිදුවූ 9/11 ත්‍රස්ත ප්‍රහාරයේ ඛේදජනක සිදුවීම අප මෙහි දී සිහිපත් කළ යුතුය. ඊට ගොදුරු වූ පවුල් වෙනුවෙන් සමස්ත මානව වර්ගයා ලෙස අප ඔවුන් සමඟ ශෝකය බෙදාගත යුතුය.
වැරදිකරුවන් හා ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණු කුමක් වුවත් මෙම සිදුවීම සියලු ම ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිවීමේ අවශ්‍යතාව සිහිගන්වයි. කලාව සහ බුද්ධිමය ක්‍රියාකාරකම්වලට සෑම අතින්ම කීර්තියක් දිනාගනිමින් ලෝක මට්ටමේ සංස්කෘතික නායකත්වයක් දරන ඓතිහාසික බොලොඤ්ඤා නගරය මෙවැනි සුවිශේෂී තේමාවක් යටතේ සමුළුවක් පැවැත්වීමට කදිමට ගැලපෙයි.
සිත් ඇඳගන්නා සුළු මෙම නගරය ඉතාලි පුනරුදය සහ ශිෂ්ටාචාරයේ වර්ධනය විදහාපානවා මෙන්ම ලොව දියුණුවට බලපෑ එකල ඉතාලි ස්වාමිවරුන්ගේ විශිෂ්ට දක්ෂතාවන් සහ නිර්මාණාත්මකභාවය ද පිළිඹිබු කරයි.
අපේ කාලයේ සංස්කෘතීන් තුළ සාමය හා සමගිය උදෙසා වැදගත් කාර්යභාරයක් ඉටුකරන අංශ කෙරෙහි ඔබ දැඩි අවධානයක් යොමු කර ඇති බව ඉතා පැහැදිලි ලෙස සකස් කළ මෙහි සම්මන්ත්‍රණ ලේඛනවලින් මා නිරීක්ෂණය කළා.
අධ්‍යාපනය මෙම ක්ෂේත්‍රයන්ගෙන් වැදගත්ම ක්ෂේත්‍රය ලෙස හඳුනා ගැනීමට මා කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ. තරුණ මනස සිත් ඇදගන්නා සුළු වන අතර නිවැරදි ආකල්ප හා සාරධර්ම වර්ධනය කර ගැනීමට වැඩි ම අවස්ථාවක් ඇත්තේ ළමා වියේදී ය. පැහැදිලිව ම, විවිධ ආගම්වල හරය තුළ විවිධ වෙනස්කම් ඇතත්, සෑම ආගමකටම පොදු වූ විශ්වාසයන් හා එම විශ්වාසයන්හි හරයක් ද ඇත.
ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සහ අධ්‍යාපනඥයන්ගේ යුතුකම විය යුත්තේ අපේ පාසල් හා විශ්වවිද්‍යාල විෂය මාලාව සහ ඉගැන්වීමේ ක්‍රමවේදයන් තුළින් වෙනස්කම් ඉස්මතු කරන කරුණුවලට වඩා එකඟතාව තිබෙන සෑම ආගමකටම පොදු කරුණු පිළිබඳ අවධාරණය කිරීමයි.
අපේ අධ්‍යාපන ආයතනවල තරුණයින්ට පවුරුවලට වඩා පාලම් තැනීමට සහ ජීවිතය පුරා පවතින මිත්‍රත්වයන් ඇති කර ගැනීමට සුවිශේෂී අවස්ථාවක් තිබේ. ශ්‍රී ලංකා රජය දැන් ප්‍රමුඛතාව දෙමින් සිටින්නේ අධ්‍යාපනයේ අන්තර්ගතය නවීන අවශ්‍යතාවන්ට අනුකූලව ප්‍රතිසංස්කරණය කිරීමට සහ අපගේ තරුණයින් තෘප්තිමත් ජීවනෝපාය මාර්ගයක් සඳහා සන්නද්ධ කිරීමටයි.
මේ මොහොතේ ලෝකය අත්විඳින බරපතල සෞඛ්‍ය අර්බුදය, අප සියලු දෙනා එක්සත් කිරීමට උපකාරී වී ඇත.
කොවිඩ් 19 අර්බුදය විවිධ ආගම්, ජාතීන් සහ ශිෂ්ටාචාර අතර වෙනස්කම් නොපෙන්වන අතර සමස්ත මානව වර්ගයාට මාරාන්තික පහරක් එල්ල කරයි. වසංගතයෙන් බේරී නැවත අපේ ජීවිතය ආරම්භ කිරීමට නම් ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කළ යුතුය.
නූතන වෛද්‍ය විද්‍යාව මඟින් ලබා ගත හැකි එන්නත් සහ අනෙකුත් ආරක්‍ෂාව ලොව පුරා තිබිය යුතු අතර ජාත්‍යන්තර සංවිධාන සහ ශක්තිමත් ආර්ථිකයක් පවතින රටවලින් ආධාර ලබා ගැනීමට ධනවත් නොවන රටවල් සඳහා විශේෂ විධිවිධාන යෙදිය යුතුය. මෙය යම් පිරිසක් පමණක් නොව සියලු දෙනා ම ජයගත යුතු සටනකි.
වෛරසය හේතුවෙන් රටවල් සිය දේශසීමා තාවකාලිකව වසා දැමීම සුදුසු වුවත්, හුදෙකලා වීම ඊට පිළිතුර නොවේ. අප ජීවත් වන ලෝකයේ එක් යථාර්ථයක් නම් රටවල්වල මායිම් හරහා භාණ්ඩ, සේවා සහ මිනිසුන්ගේ නිදහස් සංචලනයයි. යහපත් ජීවිතයක් සෙවීම වෙනුවෙන් සිදුවන සංක්‍රමණයට අද පවතින වාතාවරණය අභියෝගයක් වන නමුත් සාධාරණ පදනමක් මත රැකියා ලබා ගැනීමේ අවස්ථා නිදහස්ව තිබිය යුතුයි.
මෙය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ ගරුත්වය කෙරෙහි විශේෂ වැදගත්කමක් ඇති ක්ෂේත්‍රයකි. සමාජයක සදාචාරාත්මක ගුණය තක්සේරු කළ යුත්තේ එහි වඩාත් අවදානමට ලක්විය හැකි සාමාජිකයින් කෙරෙහි දක්වන කරුණාව සහ දයානුකම්පාවෙන් බව ගෞතම බුදුරජාණන් වහන්සේ සිය අවසාන දේශනාව වන මහා පරිනිබ්බාන සූත්‍රයේ දී දේශනා කළහ.
නිවසේ දී, රැකියා කරන ස්ථානවල සහ සමාජය තුළ සූරාකෑමට සහ විවිධාකාර වෙනස්කම්වලට එරෙහිව කාන්තාවන්ගේ හා ළමයින්ගේ ආරක්‍ෂාව කෙරෙහි අපේ රජය දැඩි අවධානයකින් පසුවේ. විවාහය, භාරකාරත්වය සහ උරුමය සම්බන්ධ යල්පැනගිය නීති දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් යාවත්කාලීන කරමින් පවතී. අපේ ආකල්පය මිනිස් ජාවාරම මුළුමනින් ම බැහැර කිරීමයි.
දේශගුණික විපර්යාස සහ අනෙකුත් පාරිසරික ගැටලු අපගේ මනසෙහි ඉදිරියෙන්ම ඇත. මානව සංවර්ධනය සඳහා සමබර ප්‍රවිෂ්ටයක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව උපරිම උත්සාහයක් දරයි. වේගයෙන් වර්ධනය වන ජනගහනයට සහය දැක්වීම සඳහා ආර්ථික ගැටලු පිළිබඳ ප්‍රගතිය අවශ්‍ය වුවද පවතින පරිසරය තුළ මෙය කළ නොහැක.
අපේ රටට බුදු දහමේ වටිනා දායාදය රැගෙන පැමිණි ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ, දේවානම්පියතිස්ස රජු අමතා "රජතුමනි, ඔබ අපේ භූමියේ කඳුකරය, වනාන්තර, ගංගා සහ ඇළ දොළ, සතුන් හා වෘක්ෂලතාවල පරම හිමිකරු නොව තාවකාලික භාරකරු පමණයි. මෙම වත්කම් ඔබේ මුතුන් මිත්තන්ගෙන් ඔබට උරුම වූ පරිද්දෙන් අනාගත පරපුරට පැවරීමට ඔබ බැඳී සිටිනවා" යැයි පවසා තිබේ. අපේ සංස්කෘතිය හා බැඳී පවතින මෙම වදන් පරිසරය කෙරෙහි අපගේ අඛණ්ඩ ප්‍රතිපත්තිය මනාව අර්ථ දක්වයි.
සංහිඳියාව අපේ කාලයේ තීරණාත්මක අවශ්‍යතාවකි. ගැටුම් සහ උත්සන්න වන කලබලකාරී ස්වභාවයන් අප වටා බොහෝ ලෙස දක්නට ලැබේ. සාමය සහ ස්ථාවරත්වය ඇති වන්නේ අප සමඟ දැඩි ලෙස එකඟ නොවන අය ඇතුළුව අපේ රටවල ජීවත් වන සියලු දෙනා සමඟ පවත්නා යහපත් සබඳතාවලිනි.
මෙතැනදීත්, අපේ ආගම අපට උගන්වන්නේ වෛරය ජයගන්නේ වෛරයෙන් නොව ආදරය තුළින් පමණක් බවයි. අතීතයෙන් හිමි වූ දුක්ගැනවිලි මත වාසය කරනවාට වඩා, අප වර්තමානය කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර, අපේ මතයට වඩා වෙනස් දෘෂ්ටිකෝණයන් සමඟ එකඟතාවක අවශ්‍යතාව, සහෝදරත්වයේ සහ අවබෝධාත්මක සම්බන්ධතා ගොඩනගා ගතහොත් අප සැවොම බලා සිටින ආශ්වාදජනක නව මායිම වෙත ළඟා විය හැකියි.
යුරෝපයේ පැරණිතම ඉගෙනුම් මධ්‍යස්ථානය වන බොලොඤ්ඤාහි පැවැත්වෙන මෙම ප්‍රබෝධමත් සමුළුව ඊට වටිනා දායකත්වයක් සපයයි. අවුරුදු හතක් පුරා අඛණ්ඩව පැවැත්වෙන G20 අන්තර් ආගමික සමුළුව, අන්තර් සංස්කෘතික සංවාදය සඳහා ද දුර්ලභ අවස්ථාවකි.
මෙම වටිනා සමුළුව ආරම්භක සැසිය ඇමතීමට ආරාධනා කරමින් ඔබ මා වෙත දැක්වූ ගෞරවය කෘතඥපූර්වකව සිහිපත් කරමි. මහාචාර්ය මෙලොනි සහ ඔහුගේ සංවිධායක මඩුල්ලට හදවතින් ම ස්තූතිවන්ත වන අතර ඔබ කරන මේ වටිනා සාකච්ඡාව සාර්ථක වේවා! යැයි සුබ ප්‍රාර්ථනා කරමි.

ශ්‍රී ලංකාවේ සමස්ත ගංගා පද්ධතියම සංරක්ෂණය සඳහා පරිසර අමාත්‍යාංශය විසින්ක්‍රියාත්මක කරන සුරකිමු ගංගා  ව්‍යාපෘතිය යටතේ ව්‍යාපෘති රැසකට මුල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරේ.   
 
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සුරකිමු ගංගා වැඩ සටහන සඳහා ඉල්ලුම් කරන ලද මුල්‍ය ප්‍රතිපාදන අනුව මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 200ක මුදලක් 2021 වසර සඳහා හිමිවිණී.මේ වන විට හඳුනා ගත්  ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කර ඇත.
 
මෙම මුදල් වැයකරමින්  අප රටේ ගංගා පද්ධතියට ඇතුළත් වන ගංගා 103ම සංරක්ෂණයට පියවර ගැනෙන අතර ඒ   ගංගා සංරක්ෂණය සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලින්  මේ වනවිට ව්‍යාපෘති  ඉදිරිපත් ව තිබේ. 
මේ අනුව සුරකිමු ගංගා වැඩ සටහන යටතේ ක්‍රියාත්මක කිරීමට හඳුනා ගන්නා ලද ව්‍යාපෘති සඳහා පළාත් කිහිපයකට වහාම මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලෙස පරිසර ඇමැතිවරයා  අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.
 
මේ වනවිට අපේ රටේ වැඩිම පිරිසක් පාරිභෝජනය සඳහා ජලය ලබා ගන්නා ගංගාව මෙන්ම අප රටේ තිබෙන මෙන්ම දූෂිතම ගංගාව වශයෙන් සැලකෙන කැළණි ගඟ සංරක්ෂණය සඳහා වැඩිම මුදලක් වෙන් කිරීමට පියවර ගෙන ඇත.ඒ අනුව  කොළඹ හා සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාපෘති දෙකක්  සඳහා මෙයින් වැඩිම මුදල වෙන් කිරීමට පියවර ගෙන තිබේ. ඒ යටතේ  කොළඹ ප්‍රාදේශීය  ලේකම් බල ප්‍ර දේශය සඳහා රුපියල්විසිහය ලක්ෂ දහ අටදහසක මුදලක්ද, සීතාවක ප්‍රාදේශීය  ලේකම් බල  ප්‍රදේශය සඳහා රුපියල් අනුහය ලක්ෂ හැත්තෑ එක්දහසක මුදලක්ද  කැලණි ගඟ සංරක්ෂණය සඳහා වෙන් කිරීමට  පියවර ගෙන තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ සඳහා ව්‍යාපෘති ඉදිරිපත් වීමට නියමිත ව ඇතැයි පරිසර අමාතයංශය කියයි.
 
ඒ අනුව මැණික් ගඟ ආශ්‍රිතව ව්‍යාපෘති කිහිපයක් සඳහා මොනරාගලට රුපියල් ලක්ෂ 128ක්, හා කතරගමට ලක්ෂ 40ක්ද, දකුණු පළාතේ ගංගා කිහිපයක ව්‍යාපෘති සඳහා රුපියල් 85,972,298ක මුදලක් ද, මධ්‍යම පළාතේ ගංගා කිහිපයක ව්‍යාපෘති  සඳහා රුපියල් 35,007,033ක් ද, වයඹ පළාතේ ගංගා කිහිපයක් සඳහා රුපියල් 54,40,854ක මුදලක් ද වෙන් කර ඇත. 
 
එමෙන්ම බස්නාහිර පළාතේ ගම්පහ පහුරු ඔය ආශ්‍රිත ව්‍යාපෘතියකට රුපියල් ලක්ෂ 11ක්, හා සබරගමුව පළාතේ රත්නපුර වළවේ ගඟ ආශ්‍රිත ව්‍යාපෘතියක් සඳහා රුපියල් ලක්ෂ 39ක් ද වෙන් කර ඇත. මේ හැර පළාත් 09යම ආවරණය වන පරිදි ඉදිරිපත් කිරීමට නියමිත ව්‍යාපෘති සඳහා දැනට මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබේ. එම පළාත්වලින් ඉදිරිපත් වන ව්‍යාපෘති අනුව අදාල මුල්‍ය ප්‍රතිපාදන එම ව්‍යාපෘති සඳහා වෙන් කිරීමට නියමිතය. 

ඓතිහාසික අනුරාධපුර පුදබිමේ ඉදිවෙමින් පවතින සඳහිරු සෑ පුදබිමේ අලංකරණය කිරිම සදහා  සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් නිශ්පාදනය කළ පළමු කාබනික පොහොර තොගය අද (13) සදහිරු සෑය වෙත ප්‍රධානය කළේය.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත කාබනික පොහොර භාවිත කිරිමේ වැඩසටහන යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ද කාබනික පොහොර නිශ්පාදනය කිරිමට පියවර ගෙන ඇත.
 
ඒ අනුව  අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිවිල් ආරක්ෂක බලකා නිළධාරින් විසින් නිශ්පාදිත පළමු කාබනික පොහොර තොගය මෙලෙස ප්‍රධානය කළේය.
 
මේ අනු‍ව කාබනික පොහොර කිලෝ තුන්දහසක(3000) පමණ ප්‍රමාණයක් ලබා දිම සිදු විය.
 
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එන්.ආර් ලමාහේවාගේ මහතා ප්‍රධාන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරින් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙය සිදුකෙරිණි.

වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයන් සහ සහල් හිඟය පිළිබඳ පැතිරෙන දුර්මත පිළිබඳ 2021-09-11 වන දින ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා කළ දැනුම්වත් කිරීමේ නිවේදනයයි.

ආයුබෝවන්!

රටේ පවතින වර්තමාන තත්ත්වය හමුවේ, ජනාධිපතිතුමා විසින් ගත් තීරණය ප්‍රකාරව වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයන්, සහල් හිඟය පිළිබඳව පැතිරෙන දුර්මත දුරුකරමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේත්, ආණ්ඩුවෙත් අදහස පිළිබඳව රට දැනුම්වත් කිරීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා.

හාල්, පිටි, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය බලතල ප්‍රකාරව “මහජන ආරක්ෂණ පනත” යටතේ හදිසි නීති රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය පසුගිය අගෝස්තු 30 නිකුත් කළ බව ඔබ දන්නවා. ජනතාවාදී ආණ්ඩුවක වගකීම දරමින් ජනාධිපතිවරයා විසින් පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමේ මූලික පරමාර්ථය ඇතුවයි මෙම තීරණයට එළැඹියේ. ජන ජීවිතය යථාවත් කිරීමට අවශ්‍ය වී, සහල් සහ සීනි ඇතුළු පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීම, ඒ පිළිබඳව සම්බන්ධීකරණය සේම පුළුල් අධීක්ෂණය වෙනුවෙන් ඊට සමගාමීව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරුණා.

ජනාධිපතිවරයා විසින් හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම පිළිබඳව ඉදිරිපත්  කළ යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළා. එහිදී එය වැඩි ඡන්ද 81කින් මහජන නියෝජිතයන් අතින් සම්මත වූ බවත් රටටම දකින්න ලැබුණා. පවතින කොවිඩ් වතාවරණය පාලනය කිරීම වෙනුවෙන් රජය දැඩි අභියෝගයක් භාරගෙන සිටිනවා. ඒ වෙනුවෙන් රුපියල් බිලියන 500කට වැඩි වැය බරක් අද වන විටත් දරා තිබෙනවා.

මේ සියල්ලෙන් පෙන්නුම් කෙරෙන්නේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල නොවන ආකාරයට පවතින තත්ත්වයට මුහුණ දෙමින් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ජනතාව වෙනුවෙන් කැප වී සිටින බවයි. ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණවලදී කිසිඳු පාර්ශ්වයක් අගතියට පත් කරමින් කටයුතු කරන්න ජනාධිපතිතුමා කිසි විටෙකත් සූදානම් නැහැ.

සහල් පිළිබඳ ගැටලුව සියලු පාර්ශ්ව සමග සම්මුතියකට එළැඹ, විසඳීමටයි රජය මුල සිටම කටයුතු කළේ. ගොවියා, ව්‍යාපාරිකයා වගේම පාරිභෝගිකයාත් ආරක්ෂා කෙරෙන සාධාරණ ක්‍රමවේදයක් රජය

නමුත් එම සහතික කළ වී මිලට සාපේක්ෂව නොගැළපෙන  පරිදි නාඩු සහල් කිලෝව රුපියල් 125ක්, සම්බා සහල් කිලෝව රුපියල් 150ක්, කීරි සම්බා සහල් කිලෝව රුපියල් 225ක් දක්වා වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගිය අතර එමගින් පාරිභෝගිකයන් දැඩි අසරණභාවයට පත් වුණා.

පීඩාවට පත් ජනතාවට උපරිම සාධාරණයක් ඉටු කිරීම උදෙසා “මහජන ආරක්ෂණ පනත” යටතේ පූර්ණ බලතල සහිතව පත් කෙරුණු අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා  ක්‍රියාත්මක වුණේ ඉන් අනතුරුවයි.  ඒ අනුව, සම්බා සහල් කිලෝවක උපරිම මිල ලෙස රුපියල් 103ක්, නාඩු කිලෝවක් සඳහා රුපියල් 98ක්, කීරි සම්බා කිලෝවක් රුපියල් 125ක්, කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 95ක් වශයෙන් එම පාලන මිල ගණන් ගැසට් කරනු ලැබුවා.

ඉන් අනතුරුව රට මේ අවස්ථාවේ මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිගත් ව්‍යාපාරික ප්‍රජාව, රජය අපහසුතාවයට පත් කරන්නේ නැති බවටත් එකඟව කටයුතු කරන බවටත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කළ බව ඔබට මතක ඇති. නමුත් අවාසනාවකට රජය සමග වූ එකඟතා ඔවුන් වෙතින් පැහැර හැරුණා. ඒ අතරම පසුගිය දින කිහිපය වන විට මහාපරිමාණ වී මෝල් හිමියන් විසින්  ඔවුන්ගේ දෛනික සහල්  නිෂ්පාදන සහ  බෙදාහැරීම් 50% කට වැඩි ප්‍රතිශතයකින්  පහත හෙලනු ලැබුවා.

කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් පීඩාවට පත් පාරිභෝගිකයාට මෙම තත්ත්වය දැරිය නොහැකි තරමේ අසාධාරණයක් බව සියලු දෙනා පිළිගන්නා කාරණයක්. අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා කළ වැටලීම්වලින් 2021 සැප්තැම්බර් 08 දින පමණක් ප්‍රධාන වී මෝල් හිමියන් සතු සහල් ගබඩාවලින් රජයේ පාලන මිලට සහල් කිලෝ ග්‍රෑම් 807,375ක් ලබාගෙන  සතොසට භාරදී තිබෙනවා.

මහා පරිමාණ වී මෝල් හිමියන් එකතුව සහල් මාෆියාවක් ඇතිකරන බවට චෝදනා කළ පිරිස්, වර්තමානයේ ඔවුන් රැකීමට ඉදිරිපත් වීම තුළින්ම, මේ සියලු ක්‍රියා පසුපස ඇති දේශපාලනය ඔබට පහසුවෙන් වටහා ගත හැකිවනු ඇති.

කෙසේ නමුත් සුරක්ෂිත රටක් වෙනුවෙන් ජනතාව විසින් ලබාදුන් ජනවරම සහ විශ්වාසය තහවුරු කරමින් ජනතා සුභසිද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව තීන්දු තීරණ ගනිමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්, සෞභාග්‍යමත් රටක් ගොඩනගන බව ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි.

 
 

සැප්තැම්බර් 21 වනදා, නිව්යෝර්ක්හී දී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක් වෙයි.

ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන සහ දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගීවන පළමු අවස්ථාව මෙය වේ. සිය සංචාරය අතරතුරදී ජනාධිපතිතුමා ආර්ථික, අධ්‍යාපන, කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් කිහිප දෙනකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.

විදේශ අමාත්‍ය මහාචර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ජනාධිපතිතුමා සමග සංචාරයට එක් වෙති.

තම පෞද්ගලික ප්‍රතිපත්තිය සහ ර‍‍ටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සංචාරය සිදු කිරීමට ජනාධිපතිතුමා තීරණය කර ඇත.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට මෑත ඉතිහාසයේ මෙරටින් සහභාගීවන අඩුම දූත පිරිස මෙය වන අතර, අයෝමා රාජපක්ෂ මහත්මිය සිය පෞද්ගලික වියදමින් සංචාරයට එක් වෙයි.

වයස අවුරුදු 12 -18ත් අතර දරුවන්ට එන්නත්කරණය කඩිනමින් ආරම්භ කිරීමට අවධානය යොමු කරන බව ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

දරුවන් සඳහා එන්නත් දීම ආරම්භ කිරීමත් සමඟ 7 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා දරුවන්ට එන්නත්කරණය කළ හැකි බවත් දරුවන් ලක්ෂ 20කට පමණ ඒ යටතේ එන්නත දීමට හැකි වනු ඇති බවත් ඇමැතිවරයා පැවසීය. කොවිඩ් ව්‍යසනය හේතුවෙන් වසර එක හමාරක පමණ කාලයක් ‍විටින් විට පාසල් වසා දැමීමට සිදුව තිබෙන බැවින් හැකි ඉක්මනින් පාසල් ආරම්භ කිරීමට දරුවන් සඳහා වන එන්නත්කරණය ආරම්භ කළ යුතු බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය. සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිට අද (9) එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අන්තර්ජාතික සංවිධාන කිහිපයක් දරුවන්ගේ එන්නත්කරණය පිළිබඳ මේ වන විට නිර්ණායක කිහිපයක් පෙන්වා දී ඇති බවත් ඇමැතිවරයා පැවසීය. මේ වන විට ගුරුවරුන් ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්ඩල පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බැවින් පාසල් ළමයින්ගේ එන්නත්කරණය අවසන් කිරීමත් සමඟ පාසල් යළි විවෘත කිරීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කෙරේ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter