නවතම පුවත්

ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියට සහභාගී වී පදක්කම් දිනූ ක්‍රීඩකයන් දෙදෙනාට සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශ පරිදි මූල්‍ය ත්‍යාග පිරිනැමීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙවර පැරාලිම්පික් තරගාවලියේ දී එෆ් 46 කාණ්ඩයෙන් හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් සමඟ රන් පදක්කම හිමි කරගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ එෆ් 64 කාණ්ඩයෙන් හෙල්ල විසිකිරීමේ ඉසව්වට තරග කර ලෝකඩ පදක්කමක් දිනූ සමිත දුලාන් කොඩිතුවක්කු යන මහත්වරුන්ට හා ඔවුන්ගේ පුහුණුකරුවන් දෙදෙනාට මෙම මූල්‍ය ත්‍යාග පිරිනැමීමට කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (7) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. මවුබිමට සුවිශේෂ ජයග්‍රහණ හිමිකර දී ඇති ඔවුන් වෙත පිළිගත් අන්තර්ජාතික ක්‍රීඩා තරග ජයග්‍රහණ වෙනුවෙන් වූ මූල්‍ය ත්‍යාග පිරිනැමීම සඳහා අවශ්‍ය නිර්ණායක හා හිමි විය යුතු ත්‍යාග මුදල් ජාතික ක්‍රීඩා සභාව නිර්දේශ කර ඇති අතර එම නිර්දේශ අනුව ඒවා දීම සඳහා තරුණ හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ඇමැති මණ්ඩල අනුමැතිය හිමි වූ බව පතිරණ මහතා කියා සිටියේය.

සීඝ්‍රයෙන් පැතිරයන ඩෙල්ටා වෛරස් නව ප්‍රභේදයේ රැල්ලත් සමග කෝවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට අත්‍යවශ්‍ය වන්නා වූ රුපියල් මිලියන 40ක් වටිනා වෛද්‍ය උපකරණ ‌තොගයක් කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය විසින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත ලබාදීම අද (07) දින සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.

ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක් හෙවත් රුපියල් මිලියන 40ක් වටිනා මෙම ජීවිතාරක්ෂක වෛද්‍ය උපකරණ තොගයට වටිනා ICU ඇදන් (Bed Electrical) 05ක්, ICU වෙන්ටිලේටර්ස් 10ක්, HDU ඇදන් (Five Function) 10ක්, මල්ටි පැරා මොනිටර්ස් 10ක්, සිරින්ජ පම්ප් 20ක්, ඉන්ෆියුෂන් පම්ප් 10ක්, ඔක්සිජන් කන්සන්ට්‍රේටර්ස් 20ක්, ඔක්සිමීටර්ස් 50ක්, පල්ස් ඔක්සිමීටර්ස් 100ක් ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් මෙසේ පරිත්‍යාග කරනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කර සිටියේ අද දවසේ කෝවිඩ් පාලනය සදහා රෝහල් පද්ධතිය විශාල වශයෙන් අරගල කරන අවස්ථාවක මෙවැනි උපකරණ ලැබීම ඉතාමත් කාලෝචිත ක්‍රියාවක් බවත් මේ උපකරණ හරහා රෝහල් පද්ධතියට ජීවිත බේරාගැනීම සදහා විශාල පිටිවහලක් වන බව තමන් විශ්වාස කරන බවයි. එබැවින් මෙවැනි අත්‍යවශ්‍ය මොහොතක කළ මෙම පරිත්‍යාගය පිළිබදව රජය වෙනුවෙනුත් සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙනුත් තමන් කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය වෙත ස්තූතිය පලකරන බව අමාත්‍යවරිය සදහන් කළාය.

කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය වෙනුවෙන් අදහස් දැක්වූ එහි විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටෝප් කෞකවුඩ් මහතා සදහන් කර සිටියේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සහයෝගය දැක්වීමට අවස්ථාවක් ලැබීම පිළිබදව තමන් අතිශයින් සතුටට සහ ආඩම්බරයට පත්වන බවයි. එමෙන්ම ගරු අමාත්‍යතුමිය හමුවීමට අවස්ථාවක් ලැබීම පිළිබදවද සිය සතුට පලකරන බව මෙහිදී එතුමා විසින් සදහන් කරන ලදි.

කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය මිචෙලින් සමූහයට අයත්වන ආයතනයක් වන අතර ශ්‍රී ලංකාවේ අංක එකේ අපනයනකරු ලෙසින් ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලබා ඇත. එමෙන්ම 2018 වසරේ කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය ජනාධිපති හරිත සම්මාන පහක් හිමිකර ගැනීමටද සමත්ව ඇත.

මෙම පරිත්‍යාගය සිදුකිරීම සදහා කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටෝප් කෞකවුඩ් මහතා සමගින් එහි විකුණුම් පිළිබද විධායක අධ්‍යක්ෂ හේමන්ත පියනන්දන මහතා සහ එහි සෞඛ්‍ය හා ආරක්ෂණ අධ්‍යක්ෂ හේමන්ත දොඩංගොඩ මහතා එක්විය.

කොවිඩ් රෝගීන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් ඇමරිකානු තානාපති කාර්යාලය හරහා ඇමරිකානු රජය සහ එම ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස අද (07) සවස සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කෙරිණි.

වෛද්‍ය සැපයීම් අංශයේදී අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එම උපකරණ තොගය ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් භාර දෙනු ලැබීය. එම උපකරණ අතරට හදිසි ප්‍රතිකාර ඇඳන්,Portable oxygen concentrators, Heat Moisture Exchanger , ශල්‍ය මුව ආවරණ හා KN95 මුව ආවරණ තොගයක් සහ අත් වැසුම් ආදිය අයත් වේ. අදාළ උපකරණ තොගය දිවයින පුරා රෝහල් කරා බෙදා හැරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මේ අතර ලංකා රසකැවිලි හිමියන්ගේ සංගමයේ සාමාජික ආයතන කිහිපයක් එක්ව කොවිඩ් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලබන දරුවන්ට බෙදාදීම සඳහා විවිධ බිස්කට් වර්ග ඇතුළු රසකැවිලි තොගයක්ද අද (07) සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දෙනු ලැබීය. මෙම රසකැවිලි දිවයිනේ ප්‍රධාන ළමා රෝහල් හා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ප්‍රතිකාර ගන්නා ළමුන්ට බෙදා හැරීමට නියමිතය.

තවද Lanka Global Lifestyle සමාගම මගින් වටිනා ඔක්සි මීටර් තොගයක්ද අද දින සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දෙනු ලැබීය. මෙම ඔක්සි මීටර් තොගය කොවිඩ් රෝගී ගෘහස්ථ ප්‍රතිකාර වැඩපිළිවෙල සඳහා යොදා ගැනීමට නියමිතය.

මෙරට කොවිඩ් ව්‍යසනය ආරම්භයේ සිට මේ දක්වා සෞඛ්‍ය සේවාව සඳහා දෙස් විදෙස් පරිත්‍යාගයන් විශාල ප්‍රමාණයක් ලැබුණු බවත් මේ සියලු පරිත්‍යාග මෙරට කොවිඩ් රෝගය පාලනය වෙනුවෙන් මුළුමනින්ම යෙදවීමට ක්‍රියා කෙ‌රෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. මෙම අවස්ථාවන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුද සහභාගී වූහ.

ගුරු-විදුහල්පතිවරුන්ට දීමට යෝජනා වූ රුපියල් 5,000ක අන්තර් දීමනාව මෙම මස සිට වැටුපට එක් කරන බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (7) පැවසීය.

මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියැවීම සඳහා පක්ෂව ඡන්ද 134 ක් ද විරුද්ධව ඡන්ද 44ක් ද වශයෙන් හිමිවිය. ඒ අනුව පනත් කෙටුම්පත දෙවන වර කියැවිම වැඩි ඡන්ද 90 කින් සම්මත විය.

ඉන් පසුව මුදල් පනත් කෙටුම්පත පිළිබඳ තෙවැනිවර කියැවීම සංශෝධන සහිතව සම්මතවූ අතර තෙවනවර කියැවිම සඳහා ඡන්ද විමසීමක් ‍ නොපැවැත්විණි.

මුදල් පනත් කෙටුම්පත සඳහා විරුද්ධ බැවින් ඒ සඳහා බෙදීමක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක , පාර්ලි‍මේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටියේය. ඒ අනුව පනත් කෙටුම්පත දෙවනවර කියැවීම සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පියවර ගත්තේය.

මේ අතර ඊයේ (07) විවාදයට ගැනුණු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. එමෙන්ම විවාදයට ගත් අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මත වීමක් ද නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් හා ආනයන හා අපනයන (පාලන)පනත යටතේ රෙගුලාසි කීපයක් ද පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලක්වාසී සහ ලෝ වාසී ජනතාවට සෙත් පතමින් වසංගතයෙන් මිදීමට ආශිර්වාද ලබාගැනීම උදෙසා රටපුරා සිත් සුවපත් කරන පිරිත් සජ්ජායන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පිරිවෙන් අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමිපාණන් වහන්සේ පැවසූහ.

සැප්තැම්බර් මස 09 වනදා ලංකාවේ පළාත් 09 මුල් කරගනිමින් දිස්ත්‍රික්ක 25 ම ආවරණය කරන සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනා 135ක් පමණ පවත්වන බවද, අනෙකුත් පිරිවෙන් ස්ථාන
650ක සහ බෞද්ධ ශීලමාතා අධ්‍යාපන ආයතන 10ක පමණ මහපිරිත් දේශනාව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයිද උන්වහන්සේ පැවසූහ.

මෙවැනි වැඩසටහනක් පැවැත්වීමේ ප්‍රධානම අරමුණ වන්නේ අද මුළු ලෝකයම වෙලාගත් කොරෝනා වසංගත තත්ත්වය හේතු කොටගෙන මියගිය සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීම සහ
විවිධ පීඩාවන්ට පත්ව සිටින කෝටි සංඛ්‍යාත ජනතාව උදෙසා ආශිර්වාදය පළ කිරීම බව ද කීහ.

අප රටෙහි ස්වාමීන් වහන්සේලා මෙම උවදුර හේතුවෙන් අපවත් වුනු බව සිහිපත් කළ උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළේ කොරෝනා වසංගතය නිසා මෙරට මරණ 10,000 ඉක්මවමින් සහ
ලෝකයේ මරණ ලක්ෂ 50 ඉක්මවා ඇත. සමස්ත රටත් ජන ජීවිතයත් කරදරයකින් තොරව පවත්වාගෙන යා හැකි වන්නේ මෙම වසංගතයෙන් මිදුණු දාට යැයිද, මේ සම්බන්ධයෙන් පිරිත්
දේශනාවේ ශක්තිය, බලය සම්‍යක් දුෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා උදෙසා ඔවුන්ගේ රැකවරණය ලබාගැනීම වෙනුවෙන් විශ්වයට පිරිත් දේශනා කර එම ශක්තිය මුසු කරමින් සිත් සුවපත්
කිරීමට අපේක්ෂිත බවද උන්වහන්සේ පැවසූහ.

සොලොස්මස්ඨාන ඇතුළු ඓතිහාසික ස්ථාන මෙන්ම පිරිවෙන් ආයතන වලද මෙම වැඩසටහන මේ මස 09 වනදා රාත්‍රියෙහි අරඹා රාත්‍රී 09.09ට දේවතාරාධනාව සිදුකර පරිත්‍රාන ධර්ම දේශනාව
අරඹමින් පසුදා පහන් වන තුරු මෙම කාර්යය සිදුකිරීමට අපේක්ෂිත බවද, පසුදා (10) උතුරු ප්‍රදේශයේ නාග විහාරයෙන්, කතරගම කිරි වෙහෙරෙන්, අම්පාර දීඝවාපී විහාරයෙන් සහ කැළණිය
රජමහා විහාරයෙන් යන ආගමික ස්ථාන 04න් ලංකාවේ සිවුකොන නියෝජනය කරමින් පිරිත් පැන් කල 04ක් ජයසිරිමහා බෝධීන් වහන්සේට පූජා කිරීමට සූදානමින් සිටින බවද සෝමානන්ද
හිමිපාණන්වහන්සේ කියා සිටියහ.

ලෝක පොල් දිනයට සමඟාමීව මුල්දින කවරයක් සහ විශේෂ සමරු මුද්දර 10ක් නිකුත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (02) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

1969 වසරේ ආරම්භ කරන ලද ආසියා පැසිපික් පොල් ප්‍රජාව මඟින් 1998 වසරේ පවත්වන ලද 25 වන රැස්වීමේ දී ප්‍රථම වතාවට සැප්තැම්බර් මස 2 වන දින ලෝක පොල් දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

පොල් බෝගය සඳහා පර්යේෂණයන් වෙනුවෙන් 1929 දී ආරම්භ කරන ලද ලොව පිහිටි එකම ආයතනය ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයයි.


මෙවර ලෝක පොල් දිනයට සමඟාමීව ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය මඟින් යෝජිත වැඩසටහන් රැසක් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ.
ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය තැපැල් දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙලෙස විශේෂ සමරු මුද්දර 10 ක් එකවර නිකුත් කර ඇත්තේ ලංකා ඉතිහාසයේ පළමු වතාවටය. පොල් ආශ්‍රිත විවිධ නිෂ්පාදන 10ක් නිරූපනය කරමින් මෙම සමරු මුද්දර නිකුත් කර තිබේ.


වැඩබලන නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) තුසිත හුලංගමුව මහතා මුල්දින කවරය සහ සමරු මුද්දර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්නුවේය.


මෙම අවස්ථාවට වැවිලි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ, වැවිලි රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තිස්ස හේවාවිතාන, අතිරේක ලේකම් ඩී. එස්. විජේසේකර, පොල් පර්යේෂණ ආයතනයේ තාක්ෂණ හුවමාරු නිලධාරී හේමමාලා ෆොන්සේකා, වැඩබලන නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) තුසිත හුලංගමුව, මුද්දර කාර්යංශයේ අධ්‍යක්ෂ ශාන්ත කුමාර මීගම මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

කොවිඩ් ආසාදිතයකුගේ සිරුරේ පවතින ඔක්සිජන් ප්‍රමාණය මැනීම සඳහා වන ඔක්සිමීටරයක උපරිම සිල්ලර මිල රුපියල් 3000ක් බවට නියමකරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම පෙරේදා (04) සිදුකෙරිණ.

2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ 142 වැනි වගන්තිය යටතේ ඔක්සිමීටර් සඳහා රුපියල් 3000 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ.

සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඔක්සිමීටර්වලට පැවැති ඉල්ලුමත් සමඟ පසුගිය දිනයන්හි වෙළඳපොළේ එහි මිල රුපියල් 5000 සීමාව ඉක්මවා තිබිණි

ප්‍රවීන ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතාගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ශෝකය පළ කර තිබේ.

ජනාධිපතිවරයා තැබූ සටහන,

කණ්ඩායම් සංගීතයේ නව පෙරළියක් ඇති කරමින්, අදටත් එක සේ ජනප්‍රිය ගීත රැසක් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතාගේ අභාවය පිළිබඳව මාගේ සාතිශය සංවේගය ප්‍රකාශ කර සිටිමි.

අගමැතිවරයා තැබූ සටහන් පහතින්,

ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතාගේ අභාවය පිළිබඳ අසා මම මහත් කනගාටුවට පත්වුණෙමි. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයෙහි ප්‍රබල භූමිකාවක් නිරූපනය කළ හෙතෙම, තමන් විශ්වාස කරන අදහස් උදහස් වෙනුවෙන් පෙනී සිටීමට ද කිසි විටක පසුබට වූයේ නැත.

මෙරට ප්‍රාසාංගික වේදිකාවට සුනිල් පෙරේරා නොමැති අඩුව තදින්ම දැනෙනු ඇති අතර සිය සංගීත නිර්මාණ ඔස්සේ හැමදාමත් ඔහු අප අතර ජීවමාන වනු ඇත. ඒ මහතාගේ අභාවය නිසා ශෝකයට පත් පවුලේ සැමටත් රසික ජනතාවටත් මගේ සංවේගය ප්‍රකාශ කරමි. සුනිල් පෙරේරා කලාකරුවා පැතූ ආත්ම විමුක්තිය හිමි වේවා!

බස්නාහිර පළාත් ( කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල) වයස 20 වැඩි ජනතාවට සයිනොෆාම් Sinopharm එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කරගැනීම, මාර්ගගත හා කෙටි පණිවුඩ SMSමගින් සිදුකල හැකිබව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

බස්නාහිර පළාත් 20-30 අතර ජනතාව මෙම එන්නටත ලබාගැනීමට සුදුසුකම් ලබන අතර ගම්පහ සහ කළුතර දිස්තික්වල 20+ සියලුදෙනාම එසදහා සුදුසුකම් ලබයි.
එන්නත් ලබාදීම මේවනවිට ආරම්භකරතිබේ.

සුදුසුකම්ලත් පුරවැසියන්ට https://vaccine.covid19.gov.lk වේබ් අඩවිය හෝ SMS මගින් ලියාපදිංචි වියහැකියි ය.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය , (ICTA), කොවිඩ් - 19
පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන (NOCPCO), බස්නාහිර පළාත්සෞඛ්‍ය අමාත්‍යාංශය, විදුලිසන්දේශ නියාමන කොමිෂන් සභාව (TRC) සහ ජංගම දුරකථන සේවාවන් සමග එක්ව මෙය ක්‍රියාවට නගයි.

කෙටි පණිවුඩ මගින් ලියාපදිංචි වීම සඳහා, පහත දැක්වෙන විධානයන් ටයිප්කර 1906 වෙත යොමුකළ යුතුවේ .

පියවර 1: සක්‍රීය එන්නත් ලබා දෙන දිස්ත්‍රික් කේත ලැයිස්තුවක් ලබා ගැනීම සඳහා districts ලෙස සටහන් කර යවන්න

පියවර 2: ඔබට ලැබෙන දිස්ත්‍රික් කේත අතරින් ඔබගේ දිස්ත්‍රික් කේතය තෝරා ටයිප් කර නැවත 1906 ට යැවීමෙන් ප්‍රදේශ MOH කේත ලැයිස්තුව ලැබෙනු ඇති. උදා :කොළඹ ( COL )

පියවර 3: එහි ඔබට අදාළ ප්‍රදේශ කේතය තෝරාගෙන (උදා: COL2) පහත සදහන් ආකාරයට ටයිප්කර යැවීමෙන් ලියාපදිංචි එන්නත් ලබාගතහැකි මධ්‍යස්ථාන කේතයන් ලබාගත හැකියි.

පියවර 4: ඔබේ පළමු එන්නත සඳහා ලියාපදිංචි වීමට ඔබ ලබාගෙන ඇති කේතයන් ඇසුරින් පහත ආකෘතිය සම්පුර්ණකර කෙටි පණිවිඩයක් යවන්න.

<NIC><SPACE><VACCINATION CENTER CODE>

<ජාතික හැදුනුම් පත් අංකය><හිස්තැනක්><එන්ත්නත්කරණ මධ්‍යස්ථානය>

සාර්ථකව ලියාපදිංචි වූ පසු, ඔවුන්ට ලියා පදිංචි අංකයක් (කේතයක්) ලැබෙනු ඇත. නියමිත වේලාවට අදාළ එන්නත් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ එම අංකය යොමු කිරීමෙන් පහසුවෙන් එන්නත ලබාගත හැකිය .

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සලසා ඇති ණය සහන එළැඹෙන දෙසැම්බර් මස 31 දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු සහ බලපත්‍රලාභි විශේෂිත බැංකු ‌වෙත නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

කොවිඩ් වසංගත තත්ත්වයේ නව ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බොහෝ පාර්ශ්වයන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් පසු මේ දීර්ඝ කිරීම කළ බව එම බැංකුව සඳහන් කරයි.

මේ අතර වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා බලපත්‍රලාභි බැංකු විසින් ඔවුන්ගේ ඉල්ලීම පරිදි දෙන ණය සහන මේ නවතම චක්‍රලේඛය යටතේ දෙන ප්‍රතිලාභවලට වඩා අඩු නොවන පරිදි අතිරේක සහන සැලසිය හැකි බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter