නවතම පුවත්

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඉතිහාසයේ ප්‍රථම වරට ගෝලීය සංස්කෘතික බාලදක්ෂ ජම්බෝරිය වර්චුවල් තාක්ෂණය ඔස්සේ දින තුනක් පුරා (16,17 සහ 18) ලෝකයේ රටවල් සියයක බාලදක්ෂයින් විසි දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
“සංස්කෘතිකමය වශයෙන් එක ම බාලදක්ෂ ලෝකයක්” (Culturally One Scout World) යන තේමාව යටතේ පවත්වන ගෝලීය සංස්කෘතික බාලදක්ෂ ජම්බෝරිය තුළින් කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ නිවෙස්වලට වී සිටින බාලදක්ෂ සාමාජිකයන්ට සංස්කෘතිමය වශයෙන් නව්‍යකරණය වූ වැඩසටහන් රැසක් ඉදිරිපත් කිරීමට කටයුතු සලස්වා ඇත.
අනාගතයේ සිදු විය හැකි දේශගුණික විපර්යාස, ගැටුම්, වසංගත, ජෛව විවිධත්වය අහිමි වීම්, පාරිසරික හායනය, ආහාර සුරක්ෂිතතාව සහ පිරිසිදු ජලය ලබාගැනීමට ඇති හැකියාව වැනි අභියෝග ජයගැනීමට ඊට උචිත කුසලතාවලින් තරුණ පරපුර සන්නද්ධ කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
කොවිඩ් - 19 වසංගත තත්ත්වය අපගේ ජීවන රටාව වෙනස් කිරීමට බලකර ඇති පසුබිමක එය අභියෝගයක් සේ නො සලකා පවතින තාක්ෂණය භාවිතා කර බාලදක්ෂ ව්‍යාපාරය ලබාගත් ප්‍රවේශය සරල නමුත් ගැඹුරු ආදර්ශයක් ලබා දී තිබෙන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. විවිධ රටවල්වලට අනන්‍ය සංස්කෘතිකමය අගනාකම් ඇතුළත් “ගෝලීය සංස්කෘතික බාලදක්ෂ ජම්බෝරිය,
ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (16) පස්වරුවේ ආරම්භ කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
ලෝකයේ විවිධ රටවල පවතින අනන්‍ය සංස්කෘතික වෙනස්කම් සහ හැඩගැසීම් සම්ප්‍රදයෙන් එකිනෙකාගෙන් ඉගෙන ගැනීමෙන් අනාගත ගෝලීය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අඩිතාලමක් බව ද ජනාධිපතිවරයා පැවසීය. වර්තමාන තරුණ ඔබ එකිනෙකා අතර ගොඩනඟා ගන්නා සම්බන්ධතා අනාගතයේ අවබෝධයෙන් යුතු ගෝලීය ස්ථාවරත්වයකට හේතුවන බව ද ජනාධිපතිවරයා විසින් පෙන්වා දුන්නේය.
බාලදක්ෂ ඉතිහාසයේ ප්‍රථම වතාවට මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරිය සඳහා බාලදක්ෂයින් සහ බාලදක්ෂ නායකයින් විසිදහසක් ඉක්මවා ලියාපදිංචි වී ඇති බව ජම්බෝරි අනුශාසක ලෝක බාලදක්ෂ කමිටු සාමාජික නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.
මෙම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස ලෝක බාලදක්ෂ කමිටුවේ සභාපති කේග් ටර්පි (Craig Turpie) මහතා සහභාගී වූ අතර, ලෝක බාලදක්ෂ සංගමයේ ප්‍රධානීන්, සෙසු රටවල බාලදක්ෂ කොමසාරිස්වරුන් ඇතුළු ගෝලීය නායකයෝ ඊට එක් ව සිටියහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ආරම්භ කර ඇති සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩපිළිවෙල මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වේ. සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්‍ෂුද්‍ර මුල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ ඇති සෞභාග්‍යා සංවර්ධන කාර්යාංශය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. මේ වසරේ ආරම්භ කෙරුණු එම කාර්යාංශයේ කාර්යභාරය වන්නේ දිවයිනපුරා නිෂ්පාදන ගම්මාන ආරම්භ කිරීමයි.

එක් ගම්මානයකින් ගෘහ ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන නිෂ්පාදකයන් 20 දෙනෙකු බිහිකිරීම ඉලක්කයයි. ඒ අනුව ගෘහ ආශ්‍රිත නිෂ්පාදකයන් පනස් දහසක් බිහිකිරීමට සැලසුම් කර ඇති අතර එමගින් පවුලකට රුපියල් තිස් දහස ඉක්මවන මාසික ආදායමක් උපයා ගැනීමට මඟ හෙළිකර ගැනීමට අරමුණ කර ඇති බව සෞභාග්‍යා සංවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරල් වසන්ත ගුණරත්න මහතා පවසයි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අඩපණව තිබූ රංග කලා කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ දිරිගැන්වීම වෙනුවෙන්, ටවර් හෝල් රඟහල පදනමට අයත් රංගශාලා ඉතා සහනදායි මුදලකට වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය සඳහා ලබා දෙන ලෙස එම පදනමේ සභාපතිවරයා වන අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා එහි භාරකාර මණ්ඩල රැස්වීමේදී ඊයේ (15) උපදෙස් ලබාදුන්නේය. ඒ, ටවර් හෝල් රඟහල පදනමේ 297 වැනි භාරකාර මණ්ඩල රැස්වීම අරලියගහ මන්දිරයේ දී පැවැති අවස්ථාවේ දී ය.

ඒ අනුව ලබන අගෝස්තු මස 31 වැනි දා සිට සහනදායී මුදලකට ටවර් රඟහල, එල්ෆින්ස්ටන් රඟහල සහ රුක්මණීදේවි රඟහල නාට්‍යකරුවන්ට පිරිනැමෙනු ඇත.
මරදාන එල්ෆින්ස්ටන් රඟහලට යාබද සරසවිපාය ගොඩනැගිල්ල සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය සඳහා ප්‍රමුඛත්වය ලැබෙන පරිදි මහල් අටකින් යුතු බහුකාර්ය ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස ද මෙහි දී අගමැතිවරයා දැනුම් දුන්නේය. දැනට ටවර් හෝල් රඟහල පදනම විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රේක්‍ෂා රක්ෂණාවරණය 2022 වසරේ සිට නාට්‍ය ක්ෂේත්‍රයේ නියැලි නාට්‍යකරුවන් වැඩි පිරිසක් ආවරණය වන පරිදි සකස් කරන ලෙස ද අගමැතිවරයා උපදෙස් දුන්නේය.
2016 වසරේ රුපියල් මිලියන 150ක් වැය කොට ඉදිකර, 2019 පෙබරවාරි 25 වැනි දා විවෘත කළ, බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඈගල්ඔය පිහිටි බහුකාර්ය ගොඩනැගිල්ල මේ වන විට කිසිඳු ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා ඇති බව මෙම හමුවේ දී හෙළිවිය. ඒ අනුව අදාළ ගොඩනැගිල්ල ටවර් හෝල් රඟහල පදනම පනත යටතේ ඇති අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් පවරා ගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු සම්පාදනය කරන ලෙස ද නියෝග කළේය.
සමස්ත ලංකා පාසල් නාට්‍ය තරඟ සිංහල හා දෙමළ මාධ්‍යයෙන් අඛණ්ඩව පවත්වා ගෙන යාමට භාරකාර මණ්ඩලය මෙහි දී තීරණය කළේ ය.
මෙම අවස්ථාවට ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමිය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කේ.ඒ.ඩී.ආර්. නිශාන්ති ජයසිංහ, ටවර් හෝල් පදනමේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් කේ.ඒ.එච්.එච්. කිරිඇල්ල, පාලන හා සංවර්ධන අධ්‍යක්ෂ නිපුන දිසානායක, නාට්‍ය ප්‍රවර්ධන, අධ්‍යාපන හා වැඩසටහන් අධ්‍යක්ෂ සම්පත් පෙරේරා, ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, හෂීම් ඕමාර්, පී.ආර්. පෙරේරා (කලාකරු නියෝජනය), කුලෝජා පීරිස් (මහා භාණ්ඩාගාර නියෝජනය) නාගරික ලේකම් රෝෂිණී දිසානායක යන මහත්ම මහත්මීහු ඇතුළු ටවර් හෝල් පදනමේ නිලධාරී පිරිසක් එක්ව සිටියහ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් පොරොන්දුවක් ඉටුකරමින් පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන ඇරඹේ. එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිරි සති කිහිපය තුළදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන සංකල්පයක් ලෙස හඳුන්වා දෙමින් නිල වෙබ් අඩවිය (www.cu.ac.lk) විවෘත කිරීම “ලෝක තරුණ නිපුණතා දින සැමරුම - 2021” ට සමගාමීව ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.
නව තාක්ෂණය සමග, රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින්, කුසලතා පූර්ණ උපාධිධාරීන් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පුරවර විශ්වවිද්‍යාල, දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය කෙරෙන පරිදි ස්ථාපිත කෙරේ.
උසස් පෙළ විභාගයෙන් අනතුරුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන පිරිසෙන් 80%කට විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වේ. ඒ අතරින් ආර්ථික හැකියාව සතු සිසුහු පෞද්ගලික හෝ විදෙස් විශ්වවිද්‍යාල සඳහා යොමු වෙති. උසස් පෙළ සමත් එහෙත් ආර්ථික ශක්තියක් නැති, කුසලතා පූර්ණ දරුවන්ට රැකියා වෙළෙඳපොළට සරිලන උපාධියක් පිරිනැමීම පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනෙන් ජනාධිපතිතුමා අපේක්ෂා කරයි.
ඒ ඒ දිස්ත්‍රික්කයන්ට ආවේණික මෙන් ම දේශීය සහ ගෝලීය රැකියා වෙළෙඳපොළට සරිලන විෂය නිර්දේශයක් මත උපාධි පාඨමාලා සැකසීම මෙහි විශේෂත්වයයි. උපාධි පාඨමාලාව අවසානයේ දැනුමෙන් හා වෘත්තීය කුසලතාවයෙන් පිරි අනාගත පුරවැසියෙකු නිර්මාණය කෙරෙන බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සඳහන් කළාය.
තරුණ විරැකියාව, 2014 වසරේ දී 4%ක් දක්වා පහතට පැමිණිය ද 2019 වන විට එය 16% ක් දක්වා ඉහළ ගොස් ඇතැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණය හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
පවතින ගෝලීය තත්ත්වය මත තරුණ විරැකියාව 30% ක් දක්වා ඉහළ යා හැකි බව පෙන්වා දුන් නාමල් රාජපක්ෂ මහතා උපාධිය තුළින් නිපුණතා පිරි තරුණයෙකු බිහි විය යුතු බව සඳහන් කළේය. තරුණ පරපුර නව තාක්ෂණය සමඟ මුසු ව නූතනත්වය කරා ගමන් කරමින් සිටියි. මෙහිදී ලෝකය හා එක් ව හැඩගැසීම වැදගත් බවත්, අවසානයේ දී ජයගත යුත්තේ ජීවිතය මිස අඛණ්ඩව රැගෙන ආ පුරුදු නො වන බව අමාත්‍යවරයා විසින් සඳහන් කරනු ලැබිණ.

උපාධි ලාභියෙකුගේ අපේක්ෂාව හොඳ රැකියාවක් වුව ද, කිසිදු රැකියාවකට ඇතැම් උපාධි පාඨමාලා නොගැළපීම නිවැරදි කිරීම වර්තමානය සතු වගකීමක් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පෙන්වා දුන්නේය.
උපාධියක් ලබාගන්නා බහුතරයක් රජයේ රැකියාවක් අපේක්ෂා කරති. එහෙත් රජයක වගකීම විය යුත්තේ රැකියා සැපයීම නොව රැකියා නිර්මාණය කරන පුළුල් ආර්ථික පසුබිමක් සැකසීම බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනෙන් තමා අපේක්ෂා කරනුයේ, ආර්ථිකයට සෘජුව සම්බන්ධ විය හැකි හෝ ස්වයං රැකියාවක නිරත විය හැකි දැනුමක් සහිත පුද්ගලයෙකු උපාධිය අවසානයේ නිර්මාණය කිරීම බව ජනාධිපතිතුමා පැවසීය.
සියයට සියයක් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට හැකියාවක් නොමැත. එහෙත් ව්‍යාපාරික අරමුණින් පමණක් පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට තමා ද විරුද්ධ බව ජනාධිපතිතුමා විසින් සඳහන් කරනු ලැබිණ. පෞද්ගලික විශ්වවිද්‍යාල උපයන ආදායම අධ්‍යාපන කටයුතුවල ප්‍රවර්ධනය සඳහා ම වෙන් කළ යුතු ය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව උද්ඝෝෂණවල නිරතවන්නන් සිදු කළ යුත්තේ වර්තමානයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම මිස දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් පෙනී සිටීම නො වන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
කෑගල්ලෙන් ඇරඹෙන පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන කඩිනමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අමාත්‍යාංශ ලේකම්වරු, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ඇතුළු නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

අද (15)ට යෙදී තිබෙන ලෝක තරුණ නිපුණතා වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිකුත් කළ පණිවිඩය. 

''රටක ජවය වන්නේ ද ජීවය වන්නේ ද තාරුණ්‍යයයි. නව නිපුණතාවලින් හා කුසලතාවලින් හෙබි තරුණ පරම්පරාවක් බිහි කිරීම තුළින් අලුත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කළ හැකි බව මාගේ විශ්වාසයයි.

ශ්‍රී ලංකාව යනු අභිමානවත් දේශයක් බව මා ඔබට අමුතුවෙන් කිව යුතු නැත. එකී අභිමානය ඔප්නැංවීමට කටයුතු කළ හැකි ප්‍රබලතම පිරිස වන්නේ තරුණ ප්‍රජාවයි. ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතික හා තාක්ෂණික ආදී විවිධ ක්ෂේත්‍රවල සිටින තරුණ ඔබ සැම අපගේ මාතෘ භූමිය සෞභාග්‍යය කරා රැගෙන යන ක්‍රියාවලියේ කොටස්කරුවන් ය.

වෙනදාටත් වඩා කෘෂිකර්මාන්තය කෙරෙහි හා නව නිපැයුම් කෙරෙහි තරුණ ප්‍රජාවේ නැඹුරුවක් දක්නට ලැබීම සතුටට කරුණකි. අතීත ශ්‍රී ලංකාවේ ප්‍රෞඪත්වය කෙරෙහි ආඩම්බර වනවා සේම අප රටේ අනාගතය සුරක්ෂිත කිරීම පිළිබඳව සිතිය යුතුය. ඒ සඳහා නිපුණතාපූර්ණ තරුණ ඔබට යුතුකමක් හා වගකීමක් තිබේ.

පෞද්ගලික අරමුණු පසෙකලා දේශීයත්වය සපිරි ස්වයංපෝෂිත ආර්ථිකයක් වෙනුවෙන් ඔබගේ කුසලතා, සංකල්ප හා ආකල්ප වර්ධනය කරගෙන සෞභාග්‍යමත් දේශයක් බිහි කිරීමට තරුණ ඔබට හැකි වේවා යි මම ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.'' 

 
වන අලි - මිනිස් ගැටුම් පාලනය කිරීම සඳහා ගරු ජනාධිපතිතුමා පත්කළ විශේෂ කමිටු නිර්දේශවලට අනුව යමින් අලිවැට නඩත්තු කිරීම, ප්රජා දායකත්වය සහ ප්රාදේශීය පාර්ශ්වකරුවන්ගේ දායකත්වය සහිත ස්වේච්ඡා බලකායකට පැවරීමේ නියමු ව්යාපෘතිය කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්රික්කයෙන් ආරම්භ කරන ලෙස මම උපදෙස් දුන්නෙමි.
ඒ, ඊයේ (13) දින පස්වරුවේ, වන අලි- මිනිස් ගැටුම් පාලනය කිරීම සඳහා දීප ව්යාප්ත අලිවැට ඉදි කිරීම පිළිබඳ සාකච්ඡාවට එක්වෙමින් අරලියගහ මන්දිරයේ දී ය.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පමණක් මෙහි සමස්ත වගකීම නොපැවරෙන පරිදි අදාළ ප්රාදේශීය ලේකම් කාර්යාල, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ ග්රාම නිලධාරින් ඇතුළු රාජ්ය ආයතන, නිලධාරීන් සහ ග්රාමීය ප්රජා සංවිධාන ඇතුළත් ස්වේච්ඡා බලකායක් මගින් මෙම වන අලි - මිනිස් ගැටුම් පාලනයට කළ හැකි බව මෙහි දී මම පෙන්වා දුන්නෙමි.
2021 වර්ෂයේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාතික වැඩසටහනක් ලෙස විදුලි වැට කිලෝමීටර 1500ක ප්රමාණයක් දීප ව්යාප්ත ලෙස ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මේ වන විට ඊට අදාළ අමුද්රව්ය සඳහා ප්රසම්පාදන කටයුතු අවසන්ව ඇති අතර දිස්ත්රික්ක 19ක් ආවරණය කරමින් ත්රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ප්රාදේශීය වනජීවි කාර්යාල හා ප්රාදේශිය ලේකම් කාර්යාල අලි වැට ඉදිකිරීම සඳහා දායකත්වය සපයයි.
දැනට ඉදිකර තිබෙන කිලෝමීටර 4500ක් පමණ වන අලිවැට නඩත්තු කටයුතු සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයන් 3900ක් යොදා ඇති අතර ඊට බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ 1500ක පිරිසක් අනුයුක්ත කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙහි දී හෙළි කළේය.
මෙම අවස්ථාවට වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්ය අමාත්ය විමලවීර දිසානායක, අග්රාමාත්ය ලේකම් ගාමිණි සෙනරත්, අග්රාමාත්ය කාර්ය මණ්ඩල ප්රධානී යෝෂිත රාජපක්ෂ, අග්රාමාත්ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, රාජ්ය අමාත්යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්රාමික) ඩබ්ලිව්.පී.පී. ප්රනාන්දු, අතිරේක ලේකම් (සංවර්ධන) දීපාල් සිරිබද්ධන, මහවැලි කලාප ආශ්රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් රාජ්ය අමාත්යංශ ලේකම් ආර්.එම්.සී.එම්. හේරත්, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කේ.ඩී. නිහාල් සිරිවර්ධන, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රංජන් ලමාහේවගේ යන මහත්ම මහත්මීහු සහ ත්රිවිධ හමුදා ජ්යේෂ්ඨ නිලධාරිහු ඇතුළු රාජ්ය නිලධාරී පිරිසක් සහභාගි වූහ.

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ සුහුරු (smart) ගුවන් තොටුපළක් ලෙස ඩිජිටල්කරණය කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පත්කෙරේ.

සංචාරක අමාත්‍යංශය, ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය, ගුවන්තොටුපළ සංවර්ධන සහ අපනයන කලාප රාජ්‍ය අමාත්‍යාංශයත් ඊට අදාල අනෙකුත් ආයතන වල සාමාජිකයින් ද නියෝජනය වන පරිදි මෙම ඒකාබද්ධ කමිටුවක් පත් කෙරෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

ඒ අනුව ලබන ජනවාරි මාසය වන විට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ සුහුරු( smart ) ගුවන්තොටුපළක් බවට පත් කිරීමේ නියාමන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත අතර ක්‍රියාකාරී සැලැස්මක් මත එම කටයුතු ක්‍රියාත්මක කෙරෙන බව ඊයෙ ගුවන්තොටුපොළ පරිශ්‍රයේ මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක දී අමාත්‍ය ප්‍රසන්න රණතංග මහතා අවධාරණය කළේය.

මහා බ්‍රිතාන්‍ය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, සිංගප්පූරුව සහ බාලි දිවයින්වල දැනටමත් සුහුරු ගුවන්තොටුපල ක්‍රියාත්මක වන අතර ඒ තුළින් ඇතිවන කාර්‍යක්ෂම තාවය වැඩි සංචාරක ආකර්ෂණයක් දිනාගැනීමට සමත් වී තිබේ.

නව ඩිජිටල් කරණ කටයුතු ආරම්භ කිරීමත් සමග කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ ගුවන් මෙහෙයුම් කටයුතු, මගී මෙහෙයුම් කටයුතු සහ භාණ්ඩ මෙහෙයුම් කටයුතු පවතින තත්ත්වයට වඩා තවත් ක්‍රියාකාරී ආකාරයට පවත්වාගෙන යාමට මගින් අපේක්ෂා කෙරෙයි. මීට අමතරව මේ තුළින් ආරම්භ කෙරෙන විශේෂිත වැඩපිළිවෙළක් ලෙස සංචාරකයින් ලංකාවට රැගෙන එන බඩු භාණ්ඩ ලබාගැනීමට ගුවන්තොටුපළේදී වැඩිකාලයක් ගතකිරීම වෙනුවට ඔවුන්ගේ සංචාරක ගමනාන්තයන්හීදී එම භාණ්ඩ නිදහස් කරගත හැකිවන පරිදි නවීන ව්‍යාපෘතියක් හඳුන්වා දීම කෙරෙහිද මෙම සාකඡ්චාවේදී අවධානය යොමු කෙරිණි.

සුහුරු ගුවන්තොටුපළ වැඩසටහන යටතේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති අතර සෞඛ්‍ය දත්ත හඳුනා ගැනීමේ නවීන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම තුළින් ලෝක වසංගත රෝග සහ අනෙකුත් අවධානම් ලෙඩ රෝග බණ්ඩාරනායක ගුවන් තොටුපළ හරහා රට තුළට ඇතුළු වීම වැලැක්වීමට අපේක්ෂිතය. දැනටමත් මේ සඳහා විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන අතර ගුවන්තොටුපළ හරහා ශ්‍රී ලංකාවට ඇතුළු වන සංචාරකයින්ගේ දත්ත, සෞඛ්‍ය තත්වය, උෂ්ණත්වය පවා වාර්තා වන ආකාරයට එය ක්‍රියාත්මක වන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සඳහන් කළේය..

සුහුරු ගුවන්තොටුපල සංකල්පය කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ ක්‍රියාත්මක කර සාර්ථක කර ගැනීමෙන් අනතුරුව රට පුරා ගුවන්තොටුපළ ඒකාබද්ධ වන ආකාරයට ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරයි.

මීට අමතරව ශ්‍රී ලංකාවේ සංචාරක ගමනාන්ත සම්බන්ධයෙන් වෙබ් අඩවිවල පල කෙරෙන දැන්වීම් සහ තොරතුරු ඇතුළත් පිටු වල ගුවන් ගමන් වාර පිළිබඳ තොරතුරු ඇතුලත් කිරීම තුළින් තම සංචාරය සඳහා වෙන් කරගතයුතු ගුවන් වාරය කුමක්දැයි සංචාරකයින්ට සෘජුව දැනගත හැකිවන පරිදි නව ක්‍රමවේදයක් ද එක් කිරීමට මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

ඒ අනුව ලෝකය පුරා විහිදී සිටින ශ්‍රී ලංකාවට පැමිණීමට කැමති සංචාරකයින්ට තම ගමනාන්තයත් සමගම තමන්ට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි ගුවන් යානය කුමක්දැයි ක්ෂණිකව හඳුනාගැනීමට අවස්ථාව සැලසේ.

මෙම සාකඡ්චාව ඩිජිටල් තාක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඒ සඳහා ගුවන් සේවා හා අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක, සංචාරක අමාත්‍යංශ ලේකම්
එස්,හෙට්ටිආරච්චි, ගුවන් සේවා හා අපනයන කළාප සංවර්ධන අමාත්‍යංශ ලේකම් මාධව දේව සුරේන්ද්‍ර, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී. ඒ චන්ද්‍රසිරි,උප සභාපති රජීව් සූරියආරච්චි යන මහත්වරුන් සහභාගී වූහ.

ව්‍යාප්ත මට්ටමින් ආරම්භ කරන්නට යෙදුණු පාසල් ගුරුවරුන් එන්නත්කරණ වැඩසටහන දින 10ක් තුළ අවසන් කිරීමට නියමිත බවත් ඊයේ දහවල් 12 වනවිට බස්නාහිර පළාතේ ගුරුවරුන් 86%කට (කොළඹ දිස්ත්‍රික්කය 97%ක්, ගම්පහ 81%ක් සහ කලුතර 82%) ඌව පලාත 60%ක් (බදුල්ල 90%ක්) උතුරු පළාත 47%ක් (මුලතිවු 67%ක්, යාපනය 64%ක්, ‍කිලිනොච්චි 64%ක්) ද වශයෙන් එන්නත්කරණය සම්පූර්ණ කර ඇත.

එන්නත්කරණ කටයුතු ආරම්භ කෙරුණු පළාත් වන මධ්‍යම, නැගෙනහිර, දකුණ, වයඹ, සහ උතුරුමැද පිළිවෙළින් 18%ක්, 17%ක්, 15%ක්, 15%ක් හා 9%ක් සම්පූර්ණ කර තිබෙන බවත් දින 10ක් ඇතුළත සමස්ත දිවයිනේ ම පාසල් ගුරුවරුන් සඳහා එන්නත්කරණය අවසන් කිරීමට හැකිවනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ (13) දින කොළඹ නෙළුම් මාවතේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම පිළිබඳ විවිධ ඉල්ලීම් මේ වනවිට ලැබෙමින් පවතින අතර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සමඟ අද පවත්වන සාකච්ඡාවකින් අනතුරුව දෙමාපියන්ට, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ගුරුවරුන්ට සහ සෑම පාර්ශ්වකරුවකුට ම සාධාරණයක් වන පරිදි තීන්දුවක් ලබන සතියේ අඟහරුවාදා තමන් විසින් ප්‍රකාශයට පත් කෙරෙන බව ද අමාත්‍යවරයා පැවසී ය.

එමෙන් ම ජාතික අධ්‍යාපන ආයතනය මඟින් මෙරට සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වන අධ්‍යාපනික රූපවාහිනී නාලිකා 16ක් ආරම්භ කිරීම ද නියමිත ය. එම නාලිකා සඳහා දිවයිනේ ජනප්‍රියත ම සහ දක්ෂත ම ගුරුවරුන් සම්බන්ධ කරගැනීමට ‍අපේක්ෂිත ය. එම ගුරුවරුන්ගේ සේවය එක පාසලකට සීමා නොකර සමස්ත දිවයිනේ ම දූ දරුවන් වෙත ලබාදීමට වැඩසටහන් සකස් කෙරෙමින් පවතින බවත් මේ වනවිට ඒවායෙහි අන්තර්ගතය සැකසීමේ ක්‍රියාදාමය සිදුවෙමින් පවතින අතර ගුරුගෙදර වැඩසටහන සාර්ථක ව ක්‍රියාත්මක වේ.

රට තුළ වසංගත තත්ත්වයක් පවතිද්දී සහ කැබිනට් පත්‍රිකාවක් සැකසීමට අදාළ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීමට නියමිත ව තිබිය දී පවා දීර්ඝ කාලයක් තිස්සේ පැවති ගුරු වැටුප් විෂමතා සම්බන්ධ ව වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීම කිසිසේත් ම යෝග්‍ය තීරණයක් ලෙස සැලකිය නොහැකි ය. මේ තුළින් අසරණ භාවයට පත්වන්නේ මේ රටේ අහිංසක දරු පරපුර බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

ජනමාධ්‍යවේදින් විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත කරන ලද ඉල්ලීම් සලකා බලා ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් නොමිලේ ක්‍රියාත්මක කරනු ලබන ‘‘ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය” සඳහා නිදහස් මාධ්‍යවේදීන්ට ද අයදුම් කිරීමේ අවස්ථාව ලබාදීමට ජනමාධ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. ඒ අනුව, අයදුම්පත් භාරගැනීමේ දිනය 2021 ජූලි මස 31 වන දින දක්වා දීර්ඝ කර තිබේ.

මෙම “ඇසිදිසි” හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ ක්‍රමය සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වලංගු හැඳුනුම්පතක් හිමි වයස අවුරුදු 19- 65 අතර මාධ්‍ය ආයතනයකින් රක්ෂණාවරණයක් නොලබන සක්‍රීයව මාධ්‍ය ක්ෂේත්‍රයේ නියුතු ජනමාධ්‍යවේදීන්ට සහ ඉහත වයස් කාණ්ඩයේ නිදහස් මාධ්‍යවේදින්ට ද තම සේවා සපයන මාධ්‍ය ආයතනයේ ලිඛිත සහතිකයක් සහිතව මෙම රක්ෂණ ව්‍යාපෘතිය සඳහා අයදුම් කළ හැකිය.

මෙම රක්ෂණය ප්‍රතිලාභ රැසකින් සමන්විතය. මෙහිදී නේවාසික ප්‍රතිකාර ආවරණය, බාහිර ප්‍රතිකාර ආවරණය, අසාධ්‍ය රෝග ආවරණය, ශ්‍රවණාධාර හා ඇස්කණ්ණාඩි ආවරණය, පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණය සහ කොවිඩ් 19 ආවරණය වැනි සුවිශේෂී ප්‍රතිලාභ ද හිමිවනු ඇත.
නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය 2021 ජූලි මස 31 දිනට පෙර අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්), අංක 163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු අතර, ලියුම් කවරයේ වම් පස ඉහළ කෙළවරේ ‘‘ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණය’’ යනුවෙන් සඳහන් කළ යුතුය. සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රයෙහි ඡායා පිටපතක් (Scanned Copy) . යන විද්‍යුත් ලිපිනයට ද යොමු කළ හැකිය.

බස්නාහිර පළාත් පදිංචිකරුවන් සඳහා COVID19 එන්නත් ලබාගැනීමට මාර්ගගත හා කෙටි පණිවුඩ මගින් දිනයක් වෙලාවක් හා එන්නත් ලබාගැනීමේ මධ්‍යස්ථානයක් වෙන්කර ගැනීමට දැන් අවස්ථාව උදාවී වී ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

ස්පුට්නික් සහ සීනෝෆාර්ම් එන්නතෙහි පළමු හා දෙවන මාත්‍රාව විධිමත් ලෙස ලබා දීම සහතික කිරීම සඳහා මෙම එන්නත් ලබාදීමේ වැඩපිළිවල ආරම්භ කරන ලද අතර කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල වෙසෙන අවුරුදු 30 ට වැඩි අය සදහා මෙමගින් පහසුකම් සැලසේ .

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA), කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන (NOCPCO), විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව (TRC) සහ ජංගම දුරකථන සේවාවන් සමඟ එක්ව මෙම වැඩපිළිවල ක්‍රියාත්මක කෙරේ .

ඩයලොග් ඇක්සියාටා (Dialog Axiata PLC), මොබිටෙල් ලංකා (පුද්) සමාගම, (Mobitel Lanka (Pvt Ltd0, හචිසන් (Hutchison Telecommunications Lanka) සහ එයාර්ටෙල් (d Airtel Lanka (Pvt) Ltd) යන ජංගම දුරකථන ආයතන මෙම වැඩසටහනට සහාය ලබා දෙයි

සුදුසුකම් ලත් පුරවැසියන්ට https://vaccine.covid19.gov.lk වේබ් අඩවිය හෝ SMS මගින් ලියාපදිංචි වියහැකියි ය.

කෙටි පණිවුඩ මගින් ලියාපදිංචි වීම සඳහා, පහත දැක්වෙන විධානයන් ටයිප්කර 1906 වෙත යොමුකළ යුතුවේ .

පියවර 1: සක්‍රීය එන්නත් ලබා දෙන දිස්ත්‍රික් කේත ලැයිස්තුවක් ලබා ගැනීම සඳහා “දිස්ත්‍රික්කdistricts” ලෙස සටහන් කර යවන්න

පියවර 2: ඔබට ලැබෙන දිස්ත්‍රික් ඛෙත අතරින් ඔබගේ දිස්ත්‍රික් ඛේත්ය තෝරා ටයිප් කර නැවත 1906 ට යැවීමෙන් ප්‍රදේශ MOH ඛෙත ලැයිස්තුව ලැබෙනු ඇති. උද ( COL )

පියවර 3: එහි ඔබට අදාළ ප්‍රදේශ කේතය තෝරාගෙන (උදා : COL 2) පහත සදහන් ආකාරයට ටයිපකර යැවීමෙන් ලියාපදිංචි එන්නත් ලබාගතහැකි මධ්‍යස්ථාන ඛේතයන් ලබාගත හැකියි .

පියවර 4: ඔබේ පළමු එන්නත සඳහා ලියාපදිංචි වීම සඳහා ඔබ ලබාගැන ඇති කේතයන් ඇසුරින් පහත ආකෘතිය සම්පුර්ණකර කෙටි පණිවිඩයක් යවන්න.

 

සාර්ථකව ලියාපදිංචි වූ පසු, ඔවුන්ට ලියා පදිංචි අංකයක් (කේතයක්) ලැබෙනු ඇත. යමෙකුට නියමිත වේලාවට අදාළ එන්නත් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ එම අංකය යොමු කිරීමෙන් පහසුවෙන් එන්නත ලබාගත හැකිය .
මීට අමතරව, කොවිඩ් -19 එන්නත මාත්‍රාවන් දෙකම ලබාගත් අය සඳහා ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් ලබා ගැනීමට මෙම පද්ධතිය පහසුකම් සපයන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන තාක්ෂණ නිලධාරි හිරණ්‍ය සමරසේකර මහතා පවසයි.. “කෝවිඩ් -19 එන්නත මධ්‍යස්ථානවලින් මහජනතාවගෙන් ලබාගත් තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන තොරතුරු පද්ධතියකට යොමු කරනු ලැබේ. ඊට පසු, එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අයට මෙම ක්‍රමය හරහා සහතිකයක් බාගත කළ හැකිය.
“එමගින් පුද්ගලයාගේ නම, වයස, ජාතික හැඳුනුම්පත (ජාතික හැඳුනුම්පත) අංකය, එන්නත ලබා දුන් දිනය, එන්නත් වර්ගය සහ කාණ්ඩායම් අංකය සොයා ගැනීම පහසු කරයි. මෙහි ඇති සුවිශේෂත්වය නම් QR කේතය හරහා ලෝකයේ ඕනෑම තැනක සිට නිරවද්‍යතාව තහවුරු කර ගත හැකි වීමයි. ”. වැඩි විස්තර සදහා දුරකථන අංක 1096 ඇමතිය හැකයි.

 

 

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සේවකයන් විසින් රාජකාරි ඉටු කිරීමේ දී සද්භාවයෙන් යුතුව ගන්නා ලද ක්‍රියාමාර්ගවලට අදාළව එම සේවකයන් සඳහා සුදුසු ආරක්ෂාවක් ලබාදීම පිණිස නීති කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකයින්ට අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා උපදෙස් දුන්නේය. 
ඒ, දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ට සහන සලසාලීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී අද (13) පෙරවරුවේ පැවැති සාකච්ඡාවක දී ය.
එම නීති කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියට සහය දීම පිණිස නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ඇතුළු කමිටුවක් පත්කරමින් එම නිර්දේශ මසක් ඇතුළත ලබා දෙන ලෙස ද මෙහි දී දැනුම් දුන්නේය.
දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ට සහන සලසාලීමට අදාළ අරමුණ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා විසින් මෙහි දී පැහැදිලි කරන ලදි.
2019 නොවැම්බර් 27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂි සමරවීර මහත්මිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය මෙහි දී කරුණු පැහැදිලි කළහ.
නිලධාරීන්ට තිබෙන නෛතික රාමුව ඉක්මවා සද්භාවයෙන් යුතුව රාජකාරි ඉටු කිරීමට ඉඩදිය හැකි සීමාවන් හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැකසීමට ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීමට අදාළව සකස් කළ කෙටුම්පතක් ද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා මෙහි දී කියා සිටියේ ය.
යහපාලන ආණ්ඩුව නෛතික නොවන ක්‍රියාවලියක් ඔස්සේ ගන්නා ලද ක්‍රියාමාර්ග හේතුවෙන් රජයේ සේවයකයන්ට මුහුණ පෑමට සිදු වූ ගැටලු අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා පැහැදිලි කළේ ය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (නීති) ගනේශ් ධර්මවර්ධන, අතිරේක ලේකම් (නීති) චන්ද්‍රා ජ‍යතිලක, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විවේකා සිරිවර්ධන, ජනාධිපති අධ්‍යක්‍ෂ ජනරාල් (නීති) හරිගුප්ත රෝහණධීර, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂි සමරවීර යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් 07 දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කර  තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඉ) ජේදය ප්‍රකාරව නීතිඥ වෘත්තියේ විශිෂ්ටත්වයට පත්ව ඇති හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙන් හා උත්කෘෂ්ට පැවැත්මෙන් යුතු නීතිඥවරුන්, ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට බලතල පැවරී ඇත.

ඒ අනුව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් වන මිලින්ද ගුණතිලක, හරිප්‍රියා ජයසුන්දර, විකුම් ආබෲ, ශානක විජේසිංහ, රවින්ද්‍ර පතිරණගේ, නෙරීන් පුල්ලේ සහ චේතිය ගුණසේකර යන මහත්ම මහත්මීහු ජනාධිපති නීතිඥවරු ලෙස පත්කර සිටිති.

අභිනව ජනාධිපති නීතිඥවරු ඉදිරි කාලයේ දී සිය ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇති අතර අදාළ පත්කිරීම් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්, නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර්වරයා වෙත අද (14) භාර දී තිබේ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter