නවතම පුවත්

 
විශාල ජල යෝජනා ක්රමවලින් ආවරණය කිරීමට නොහැකි ග්රාමීය ප්රදේශවල ජනතාවට ප්රජා ජල යෝජනා ක්රම මගින් පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව මම පැවසුවෙමි.
ඒ, ඊයේ (28) 'විසල් මාතලේ ජල සම්පාදන ව්යාපෘතිය' අරලියගහ මන්දිරයේ සිට අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ජනතා අයිතියට පත්කරමිනි.
විසල් මාතලේ ජල සම්පාදන ව්යාපෘතිය මගින් මාතලේ නගරය හා අවට ප්රදේශ සඳහා පැය 24 පුරා පානීය ජලය සැපයීමට බලාපොරොත්තුවන අතර එමගින් සෘජුව පවුල් 90, 000කට අයත් 354, 000ක පිරිසක් සඳහා සෙත සැලසෙයි. ශ්රී ලංකා රජයේ සහ ප්රංශ මූල්යාධාර යටතේ රුපියල් මිලියන 31, 000ක් මෙම ව්යාපෘතියට වැයකර තිබේ.
එම ජල සම්පාදන ව්යාපෘතිය ජනතා අයිතියට පත්කරමින් මා කළ සම්පූර්ණ කතාව මෙසේ ය.
මිත්රවරුනි,
අපි දන්නවා ජලය කියන්නේ අපට නැතිව බැරි දෙයක්. ජලය තිබුණත් පිරිසිදු පානීය ජලය ලබා ගැනීමයි අද දුෂ්කර කාර්යයක් වී තියෙන්නේ. රටේ විවිධ පළාත්වල විශාල පිරිසක් ආරක්ෂිත පානීය ජලය නොමැතිකමින් කාලයක් තිස්සේ පීඩා විඳිනවා. මේ තත්ත්වය මගහරවන්න රජයක් විධියට “සැමට ජලය” කියන සාමුහික සැලැස්ම ඉදිරිපත් කරන්න අපට පුළුවන්වුණා.
මට මතකයි, පසුගිය මැතිවරණ වෙලාවේ ඇතැම් ප්රදේශවල ජනතාව අපි වටකර ගෙන පානීය ජල අවශ්යතාව ගැන අපට කිව්වා. ඔවුන් එදා ඉල්ලුවෙ අපට වෙන මොකුත් එපා, බොන්න පිරිසිදු වතුර ටිකක් දෙන්න කියලා. මට මතක විධියට මාතලේ ප්රදේශ කිහිපයක ජනතාවත් ඒ අතර සිටියා.
අපි බලයට ඇවිත් මේ ගැන හොයලා බැලුවා. විශේෂයෙන් ග්රාමීය ජනතාව තමයි, මේ ගැටලුවෙන් වැඩිහරියක්ම පීඩා විඳින්නේ. බොන්න පිරිසිදු වතුර ටිකක් ගේන්න කිලෝ මීටර් ගාණක් දුර යනවා. ඒ ගිහිල්ලත් ඒ අයට ලැබෙන්නේ පිරිසිදු වතුරම ද කියල ගැටලුවක් තිබුණා.
ජනතාවට වග වෙන රජයක වගකීම තමයි, පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දීම. අපේ රටේ තාමත් හරි අඩකටවත් නළ මගින් පිරිසිදු පානීය ජලය ලැබෙන්නේ නැහැයි කියලා, ජල සම්පාදන මණ්ඩලයේ වාර්තාවල සඳහන් වෙනවා. සමහර ව්යාපෘති අපි බලයෙ සිටි කාලයේ ආරම්භ කළත් ඒවා පහුගිය ආණ්ඩු හිතාමතාම නතර කළ බව ඔබට මම අමුතුවෙන් කියන්න ඕන නැහැ.
ඒ නිසාම තමයි, සෞභාග්යයේ දැක්ම ප්රතිපත්ති ප්රකාශයේ අපි ඒ වෙනුවෙන් වැඩි ඉඩක් වෙන්කරලා තියෙන්නේ. එහෙම කරලා අපි ඒ දේවල් කොළ කෑල්ලකට සීමා කළේ නැහැ. අපි බලයට ආව ගමන් රටේ සමස්ත ජනතාවට ම පැය 24 පුරා නළ මගින් පිරිසිදු පානීය ජලය ලබාදීමට අවශ්ය ව්යාපෘති රැසක් රට පුරා ආරම්භ කළා. අද අපි මේ ජනතා අයිතියට පත්කරන විසල් මාතලේ ජල සම්පාදන ව්යාපෘතියත් ඒවායින් එකක්.
ජලසම්පාදන මණ්ඩලයේ නිලධාරීන් කිව්ව හැටියට අපේ රජය බලයට පත්වන විට මුළු රටේ ම නළ ජල ආවරණය තිබුණෙ ජනගහනයෙන් සියයට 39 හෝ 40 කට විතරයි. ඒ නිසා ක්රමවත් සැලැස්මකට අනුව හැමෝටම ආරක්ෂිත පානීය ජලය ලබාදෙන සැලැස්මක් ඇමතිතුමා අපිට ඉදිරිපත් කළා.
විදේශ තානාපතිවරුන් මහ කොමසාරිස්වරුන් අපි හමුවෙන්න ආවම හැමදාමත් වගේ මම මේ ගැන මතක් කළා. මුළු රටට ම ආරක්ෂිත පානීය ජලය දෙන වැඩපිළිවෙළට හැකි අයුරින් උදව් කරන්නැයි ඉල්ලුවා. ඔවුන්ගෙන් ඊට හොඳ ප්රතිචාරයක් ලැබුණා. අදටත් ලැබෙනවා.
මිත්රවරුනි,
ඔබට මතක ඇති අපි ළඟදි කුරුණෑගල දැදුරුඔය ජල සම්පාදන යෝජනා ක්රමය ජනතා අයිතියට පැවරුවා. එමගින් විශාල පිරිසකට නළ මගින් පිරිසිදු පානීය ජලය දෙන්න අපට හැකි වුණා. ඒ වගේමයි, කෑගල්ලේ ගලිගමුවේ, ගාල්ල හපුගල ජල සම්පාදන යෝජනා ක්රමත් අපි ජනතා අයිතියට පත්කළා. එම ජල යෝජනා ක්රම කිහිපයෙන් විතරක් ලක්ෂ සංඛ්යාත ජනතාවක් අද පිරිසිදු පානීය ජලය ලබනවා.
මිත්රවරුනි,
අද ජනතා අයිතියට පත්කරන විසල් මාතලේ ජල ව්යාපෘතියත් අපේ කාලයේ ආරම්භ කළ වැඩක්. මේ ව්යාපෘතියෙනුත් පවුල් අනූ දාහක, ලක්ෂ තුනකට අධික පිරිසකට පිරිසිදු පානීය ජලය ලැබෙනවා. එහෙම බැලුවම ඉතා කෙටි කාලයක් තුල වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය දෙන්න හැකි වෙලා තියෙනවා අපට.
අපේ රජයේ ඉලක්කය ඉදිරි සිව් වසර තුළ පවුල් ලක්ෂ 47 කට පිරිසිදු පානීය ජලය ලබා දීමයි. ඒ සඳහා දේශීය වශයෙන් වගේ ම විදේශීය අරමුදල් යොදවා ජල ව්යාපෘති රැසක්ම මේ මොහොතේත් රටපුරා ක්රියාත්මක වෙනවා. මේ අවුරුද්දේ විතරක් නිවාස දෙලක්ෂ හතලිස් පන්දහස් පන්සීයකට අලුතින් ජල සැපයුම ලබාදෙන්න, ව්යාපෘති 33ක් ජනතා අයිතියට පත්කරන්න අපේ වාසුදේව ඇමතිතුමා ප්රමුඛ ජල සම්පාදන අමාත්යංශය සූදානමින් සිටින බව අපිට මතක් කළා.
සනත් නිශාන්ත රාජ්ය ඇමැතිතුමා, අමාත්යංශ ලේකම්තුමා, රාජ්ය අමාත්යංශයේ ලේකම්තුමා, ජල සම්පාදන සභාපතිතුමා ඇතුළු සියලු දෙනා එකතු වෙලා මේ ව්යාපෘති කඩිනම් කරන්න විශාල කාර්යය භාරයක් ඉටු කරන බව මම හොඳින්ම දන්නවා.
මෙතුමන්ලා කියපු විධියට මේ ව්යාපෘතිවලින් බොහොමයක වැඩ දැන් අවසන් අදියරේ තියෙන්නේ. ඒ නිසා ඉතා නුදුරේ දීම තවත් ව්යාපෘති රැසක් ජනතා අයිතියට පත් කරන්න අපට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.
මිත්රවරුනි,
එදා යහපාලන ආණ්ඩුව අපෙන් බලය ගන්න කොට අපි ජල යෝජනා ක්රම රැසක්ම ආරම්භ කරලයි තිබුණේ. නිසි කලට ඒ ව්යාපෘති අවසන් කළා නම් අද මේ වෙන කොට මුළු රටේ ම ජනතාවට පිරිසිදු පානීය ජලය ලබන්න වාසනාව ලැබෙනවා. අපි පටන් ගත්ත නිසා කියලා සමහරු මේවා ප්රමාද කළා. නැතිනම් මේ ව්යාපෘති ජනතා අයිතියට පත්වෙන්නෙ මීට හුඟාක් කලින්.
මාතලේ, රත්තොට, යටවත්ත, උකුවෙල, පල්ලේපොළ, අඹන්ගඟකෝරලේ සහ නාවුල ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත්වන ජනතාවට අද පටන් කිසිදු දුෂ්කරතාවකින් තොරව පිරිසිදු පානීය ජලය ලබාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඒ අවට තවත් ප්රදේශ ගණනාවකට අද පටන් මෙමගින් සෙත සැලසෙන බව ජල සම්පාදන නිලධාරින් අපිට සඳහන් කළා.
මිත්රවරුනි,
මාතලේ විතරක් නෙමෙයි, යුද්ධයකුත් තියාගෙන අපි ඒ කාලේ දඹුල්ලටත් රුපියල් බිලියන 10ක විසල් ජල යෝජනා ක්රමයක් ලබාදුන්නා. දඹුල්ල සහ ගලේවෙල, ජීවත්වන ජනතාවට විතරක් නෙමෙයි, පොළොන්නරුව, අනුරාධපුර යන දිස්ත්රික්කවල පිහිටා තියෙන හබරණ, කැකිරාව, පලාගල සහ පලුගස්වැව වැනි පිරිසිදු පානීය ජලය නොමැතිව පීඩා විඳින ගම්මානවල ජනතාවටත් එමගින් සෙත සැලසුවා.
ඒ විතරකුත් නෙමෙයි විල්ගමුවේත්, ලග්ගලත් තවත් ජල සම්පාදන යෝජනා ක්රම දෙකක ඉදිකිරීම් දැනටත් නිම වෙමින් පවතින බව වාසුදේව නානායක්කාර මැතිතුමා අපට කිව්වා. මේ සියලු ජල සම්පාදන ව්යාපෘති ඉදිකර අවසන් වෙනකොට මාතලේ දිස්ත්රික්කයේ ජනතාවගෙන් සියයට 90 කට විතර නළ මගින් පිරිසිදු පානීය ජල අවශ්යතාව සැපිරෙනවා.
මතක තියා ගන්න ජලය කියන්නේ සීමිත සම්පතක්. ඒ සම්පතත් දැන් දූෂණය වෙමිනුයි තිබෙන්නේ. ඒ නිසයි අපිට සිදුවෙලා තියෙනවා පිරිසිදු පානීය ජලය ජනතාවට ලබාදෙන්න. ජලය පිරිසිදු කරල, නළ මගින් ලබාදෙන්න රජය විශාල පිරිවැයක් දරනවා. ඒ නිසා ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කරන්නත් ජනතාව වගබලා ගන්න ඔින කියන එකත් මේ අවස්ථාවේදි අපි මතක් කරනවා.
ඒ වගේම තමයි අපේ රටේ ගංඟා ටිකත් දූෂණය වෙමිනුයි තිබෙන්නේ. සුරකිමු ගංඟා වැඩ සටහනෙන් එම ගංගාවලින් 17 ක් සංරක්ෂණය කරල, පිරිසිදු පානීය ජලය ජනතාවට ලබාදෙන ව්යාපෘති ක්රියාත්මක කරන්නත් අපි පහුගිය කාලයේ මුලපිරුවා.
මිත්රවරුනි,
අපි විශාල ජල යෝජනා ක්රම ගැන කතා කලත්, මේ විශාල ජල යෝජනා ක්රමවලින් ආවරණය කරන්න බැරි ග්රාමීය ප්රදේශවල ජනතාවටත් ප්රජා ජල යෝජනා ක්රම මගින් පිරිසිදු පානීය ජල පහසුකම් දෙන්න වැඩපිළිවෙළක් අපි සකස් කරලා තියෙනවා. ඒ නිසා ඔබේ ගම්මානයට ආරක්ෂිත පානීය ජලය ලැබෙන සැලැස්ම අපි දැනටමත් සකස් කරලා අවසන් බව අපි සතුටින් දන්වන්න කැමතියි.
ඒ විතරක් නෙමෙයි, සියයට 40කට ආසන්න වෙලා තිබුණු මුළු රටේ ම නළ ජල ආවරණය 2025 වසර වන විට සියයට 80ක් දක්වා ගෙන යෑම අපේ ඉලක්කයයි.
ඔබ දකින්න ඇති ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් තමන්ගේ නිවාඩු දිනයක් වූ පසුගිය ජුලි 03 වෙනි සෙනසුරාදා වැටුප් හෝ දීමනා කිසිවක් නොලබා ස්වෙච්ඡාවෙන් ප්රජාවත් සමඟ එකතුවෙලා ජල නළ එළලා රටට රුපියල් කෝටි 20ක් ඉතිරියක් කරල තිබුණා. එදා ඔවුන්ගෙ අරමුණ වෙලා තිබුණෙ දිගු කාලයක් පිරිසිදු පානීය ජලය නොමැතිව පීඩාවිඳින ජනතාව වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් සේවය ලබා දීම. එය උතුම් කටයුත්තක් ලෙසයි අප සලකන්නෙ.
ඒ නිසා ඔබ ලබා දෙන ශක්තියත් අරගෙන අපේක්ෂිත ඉලක්කයටත් පෙර මුළු රටේ ම ජනතාවට නළ මගින් පිරිසිදු පානීය ජලය ලබාදීමට හැකිවනු ඇතැයි අපට විශ්වාසයි.
ඔබ සැමට සුබ අනාගතයක් වේවා!
මෙම අවස්ථාවට අමාත්යවරු වන වාසුදේව නානායක්කාර, ජනක බණ්ඩාර තෙන්නකෝන්, මධ්යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, රාජ්ය අමාත්ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්රීවරු වන රෝහන දිසානායක, ප්රමිත බණ්ඩාර තෙන්නකෝන්, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ගයාෂාන් නවනන්ද, ප්රංශ තානාපති එරික් ලෙවෙන්තු, අග්රාමාත්ය ලේකම් ගාමිණී සෙනරත්, අග්රාමාත්ය කාර්ය මණ්ඩල ප්රධානී යෝෂිත රාජපක්ෂ, ජල සම්පාදන අමාත්යංශයේ ලේකම් ආචාර්ය ප්රියත් බන්දු වික්රම, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, මාතලේ නගරාධිපති සන්දමන් ප්රකාශ් යන මහත්වරු සහ මාතලේ ඇතුළු ඒ අවට ප්රාදේශීය සභාවල සභාපතිවරු ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

 
දැයේ දරුවන්ගේ අධ්යාපනික අවශ්යතාව මේ මොහොතේ ප්රමුඛ අරමුණ කරගනිමින් මෙරට සියළු විද්යුත් හා මුද්රිත මාධ්යන් මගින් ඒ සඳහා වැඩි ඉඩක් ලබා දෙන ලෙස මෙරට සියලු මාධ්ය ආයතනවලින් විෂය භාර අමාත්යවරයා ලෙස අද (28) මා ඉල්ලීමක් කළේය.
මේ සඳහා දීර්ඝකාලීන ක්රමවත් වැඩපිළිවෙළක් සැකසෙන තෙක් එය ජාතික අවශ්යතාවයක ලෙස සළකා කටයුතු කරන ලෙසද එහිදී ඉල්ලා සිටියේය.
එම දීර්ඝ කාලීන වැඩපිළිවෙල මාස 2-3 ඇතුළත සකස් කර අවසන් කළ යුතුව ඇත.
අධ්යාපන අමාත්ය මහාචාර්ය ජී. එල්. පීරිස් ,රාජ්ය අමාත්ය සුසිල් ප්රේමජයන්ත යන මහත්වරුන්ගේද සහභාගිත්වයෙන් ජනමාධ්ය හා අධ්යාපන අමාත්යාංශ නිලධාරින් සමඟ අද (28) එම අමාත්යංශයේ පැවති සාකච්ඡාවකදී මේ බව පෙන්වා දුන්නේය.
ඒ අනුව අධ්යාපනය වෙනුවෙන් වෙනම නාලිකා කිහිපයක් ආරම්භ කරන තෙක් මෙම වැඩපිළිවෙල සතියක් ඇතුළත ආරම්භ කරන ලෙස රාජ්ය මාධ්ය ඇතුළු සියලු මධ්ය ආයතන වලින් ඉල්ලා සිටියේය.
වාණිජ අරමුණු පසෙකලා ජාතික වගකීමක් ලෙසින් දැයේ දරුවන්ගේ අධ්යාපනික අවශ්යතා උදෙසා මේ මොහොතේ මාධ්ය ආයතන ක්රියා කිරීම වැදගත් වේ.ඒ සඳහා මේ වන විට රාජ්ය හා පෞද්ගලික මාධ්ය ආයතන කිහිපයක්ම සාධනීය දායකත්වයක් ලබාදී ඇත.
මේ අතර අධ්යාපනය සදහා වෙන්වූ ගුවන් විදුලි නාලිකාවක් කඩිනමින් ආරම්භ කිරීමට මෙහිදී මෙහිදී මා ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට උපදෙස් ලබා දුන්නේය. එහිදී ඒ වෙනුවෙන් එකගතාවය පලවිණි.
ශ්රී ලංකා රූපවාහිනි සංස්ථාව පසුගිය වසරක පමණ කාලය තුළ දරුවන්ගේ අධ්යාපන ක්රියාවලිය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දේ.
අධ්යාපන අමාත්ය මහාචාර්ය ජී. එල්.පීරිස් මහතා කියා සිටියේ-
කොවිඩ් ව්යසනය මධ්යයේ පාසල් දරුවන්ගේ අධ්යාපනය නගා සිටුවීම සඳහා රූපවාහිනි ඇතුළු මාධ්ය යොදා ගනිමින් රජය මේ වන විට විශාල වැඩ කොටසක් කර ඇති බවය.
රාජ්ය අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා අදහස් දක්වමින් -
ඔන්ලයින් අධ්යාපනයට වඩා රූපවාහිනී මාධ්ය යොදා ගනිමින් කෙරෙන ඉගැන්වීම් ක්රමවේදය ඉතා සාර්ථකයි.මේ සඳහා සියලු මාධ්ය සාධනීය දායකත්වයක් ලබාදීම අතිශය වැදගත් වේ.දුෂ්කර පාසල් සඳහා රූපවාහිනී යන්ත්ර පන්දහසක් ලබාදීමට මේ වන විට වැඩපිළිවෙළක් සකස් කර තිබේ.
ජනමාධ්ය යොදා ගනිමින් ක්රියාත්මක කෙරන ඉගෙනුම් ක්රියාවලිය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා ජනමාධ්ය අමාත්යාංශය හා අධ්යාපන අමාත්යංශ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක්ද මෙහිදී පත් කෙරිණි.
ජනමාධ්ය අමාත්යංශයේ ලේකම් ජගත්.පී.විජේවීර
මහතා ඇතුළු ජනමාධ්ය හා අධ්යාපන අමාත්යංශයන්හි නිලධාරින්, රාජ්ය මාධ්ය ආයතන කිහිපය ප්රධානීන් ඇතුළු පිරිසක්ද මේ සඳහා එක්ව සිටියහ.

එන්නත්කරණයත් සමග රට සාමාන්‍යකරණයට එළැඹෙත්ම අපනයන සහ සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් ප්‍රවර්ධනයට සූදානම් බව ලංකා වාණිජ මණ්ඩලය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පවසයි.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජනතාව ඉදිරියේ තැබූ වැඩපිළිවෙළ, කොවිඩ් වසංගතය බාධාවක් කර නොගෙන ජනාධිපතිතුමා රට තුළ ක්‍රියාත්මක කර තිබේ. එය ඉවහල් කරගනිමින් ආර්ථිකය නඟාසිටුවීමේ වේගවත් වැඩපිළිවෙළකට තමන්ට දායක විය හැකි බව ලංකා වාණිජ මණ්ඩලය පෙන්වා දෙයි.

ලංකා වාණිජ මණ්ඩලයට අලුතින් තේරී පත් වූ නිලධාරී මණ්ඩලය ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා සමග පැවති හමුවේ දී මේ බව සඳහන් කළහ.

1839 වසරේ දී ආරම්භ කර ඇති ලංකා වාණිජ මණ්ඩලයේ වර්තමාන සාමාජික සමාගම් සංඛ්‍යාව 560කි. දිවයිනේ සියලු පළාත් ආවරණය කෙරෙන පරිදි කලාපීය වාණිජ මණ්ඩල සමූහය ව්‍යාප්ත ව ඇත.

ලොව සෙසු රටවලට සාපේක්ෂව එන්නත්කරණය මගින් රට වේගයෙන් යථා තත්ත්වයට රැගෙන ඒමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළි‍වෙළ නව නිලධාරී මණ්ඩලය පැසසුමට ලක් කළහ. මාර්ග පද්ධතිය ප්‍රමුඛව යටිතලපහසුකම් වේගවත්ව සංවර්ධනයට ලක් කර තිබේ. එහි ප්‍රතිලාභ ඉදිරි කෙටි කාලය තුළ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට බෙහෙවින් ඉවහල් වනු ඇතැයි ඔවුහු පෙන්වා දුන්හ.

බ්‍රිතාන්‍ය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹ, අපනයන අවස්ථා පුළුල් කිරීමට ඇති හැකියාව ලංකා වාණිජ මණ්ඩලයේ නිලධාරීහු පෙන්වා දුන්හ.

පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට රජය ගෙනයන වැඩපිළිවෙළ, වාණිජ මණ්ඩලයේ ජාතික ප්‍රතිපත්ති කමිටුවල විශේෂ සැලකිල්ලට ගෙන ඇති බව ද නිලධාරීන් විසින් සඳහන් කරනු ලැබිණ.

ක්‍රියාත්මක ඇතැම් නීති - රීති හේතුවෙන් ආයෝජකයෝ අධෛර්යමත්ව සිටිති. එවැනි බාධක ඉවත් කිරීමටත් ඩිජිටල්කරණය මගින් අක්‍රමිකතා සහ දූෂණ වළක්වාලමින් අපනයනය දිරිගැන්වීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත් ජනාධිපතිතුමා පැවසීය. රජයේ වගකීම වන්නේ රැකියා අවස්ථා නිර්මාණය කිරීම බවත්, තරුණ පරපුර නව ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන් ලෙස ඉදිරියට ඒමට අවස්ථාව උදාකිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා ඇතුළු නිලධාරීහු, ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති හාන්ස් විජේසූරිය, නව සභාපති වී. ගොවින්දසාමි යන මහත්වරු සහ ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරී මණ්ඩලය මේ අවස්ථාවට එක්ව සිටියහ.

සියලු දෙනාට තිරසර නගරයක පහසුකම් අත්විඳිය හැකි අයුරින් විධිමත් නගර සියයක් රටේ ජනතාව වෙනුවෙන් උරුම කර දෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (27) පෙරවරුවේ සඳහන් කළේය. ඒ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන රට පුරා සෑම දිස්ත්‍රික්කයක් ම නියෝජනය වන පරිදි නගර 100ක් එකවර සංවර්ධනය කිරීමේ “සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය” කුරුණෑගල හිරිපිටිය නගරයෙන් ආරම්භ කිරීමේ ජාතික උත්සවය සඳහා අන්තර්ජාලය ඔස්සේ අරලියගහ මන්දිරයේ සිට එක්වෙමිනි.
සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එක් නගරයක් සංවර්ධනය කොට අලංකාර කිරීම සඳහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 20කි. ඒ අනුව නගර සියය සංවර්ධනය සඳහා රජය රුපියල් මිලියන 2000ක් වෙන් කර තිබේ.
සියක් නගර‍‍ සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරමින් අන්තර්ජාලය ඔස්සේ අගමැතිවරයා සිදුකළ සම්පූර්ණ කතාව මෙසේ ය.

‘‘මිත්‍රවරුනි,
අපේ රටේ ජනතාව කැමති තමන්ට ළඟ ම නගරය දියුණු වෙනවා දකින්න. හැම දේට ම කොළඹ යන්නෙ නැතිව ළඟ ම නගරයෙන් ඒ අවශ්‍යතා ඉටු කරගන්න තිබුණ නම් කියලා ජනතාවට හිතෙන එකේ කිසි වරදක් නැහැ.
හැබැයි කාලයක් තිස්සෙ කිසි ම සැලැස්මක් නැතිව සංවර්ධනය වුණු නගරවලින් ජනතාව අපේක්ෂා කළ ඒ බලාපොරොත්තු ඉටු වුණේ නැහැ. අපේ රටේ බොහොමයක් නගර අදටත් තියෙන්නේ අපිළිවෙළකට බව රහසක් නෙමෙයි.
මේ නගර පිළිවෙළක් කරලා පහසුකම් වැඩි දියුණු කරලා. ඇහැට ප්‍රිය නගරයක් කරන්න කොතරම් උත්සාහ කළත් ඒවා ඇතැම් විට ගඟට කපපු ඉනි වගේ කිසි වැඩක් නොවී අවසන් වුණා.
සමහර වෙලාවට නගරයක වැඩක් පටන් ගත්ත ම මැතිවරණයක් ඇවිත් බලයෙ සිටි අය පැරදුණා ම ඒ වැඩේ එතන ම නවතිනවා. තවත් සමහර ව්‍යාපෘති හැමදාම එකම නගරයකට සීමා වුණා. ඒ නිසා තමන්ගේ නගරය දියුණුවෙයි කියලා සිතිවිල්ලක්වත් ජනතාවට නැතිව ගියා. අද මේ ව්‍යාපෘති ආරම්භ කරන නගර ගත්තත් එහෙමයි. කවදාවත් මේ නගරවලට දියුණුවක් ඇති වෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ.
මේ නිසා අනවසර ඉදිකිරීම් මුල් බැසගත්තා විතරක් නෙමෙයි, හරියට කාණු පද්ධතියක්වත් නැති අපිළිවෙළ නගර බවට ඒවා පත්වුණා. සමහර තැන්වල කාණු උතුරනවා බලන්න කවුරුත් නෑ. එහෙම නැත්තම් මගියට ගමන් කරන්න තියෙන පදික වේදිකාවේත් ඉදිකිරීම් කරනවා. දැන්වීම් හැම තැන ම අලවලා. එක එක තැන්වල පුවරු සවි කරලා. වාහනයක් නවත්වන්න බෑ. අර කතාවට කියන්නෙ හරියට කපුටු කූඩු වගෙයි.
මිත්‍රවරුනි,
ඔබ දැක්කා අපි බලයට ආවම තරුණ තරුණියො ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වෙලා තාප්පවල චිත්‍ර ඇන්දා. මේ තරුණ පරපුරට අවශ්‍ය වුණේ ගමෙන් පටන්ගෙන මුළු රටට ම ඒ සඳහා ආදර්ශයක් දෙන්න. අපි ඒක එදා අගය කළා වගේම අදත් අගය කරනවා. කොවිඩ් ඇවිත් ඒ හැමදේම සීමා වෙනකොට සමහරු අර තරුණ තරුණියන්ටත් හිනා වුණා. කෝ දැන් පාට කරන්නෙ නැද්ද? කියලා ඇහුවා. සමහරු හිතුවා අපිට ඔවුන්ව අමතක වුණා කියලා.
අපි ඔවුන්ගෙ අවශ්‍යතාව දැක්කා. අපේ රට කියලා අභිමානයෙන් කියන පරපුරක බලාපොරොත්තු ඉටු කරන එක අපේත් වගකීමක්. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවෙන් අපි ඒ බව තහවුරු කළා. අද මුලපුරන මේ සියක් නගර සංවර්ධන වැඩසටහනින් අපි ඒ විශ්වාසය ඔබ වෙනුවෙන් තහවුරු කරන බව සිහිපත් කරන්න උවමනායි. මේක ආරම්භයක් විතරයි. ඔබේ නගරයට එනකම්ම අපි මේ වැඩපිළිවෙළ අද දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනවා.
මේ කටයුත්ත සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය, නාගරික සංවර්ධන අධිකාරිය පමණක් නෙමෙයි, ඔබේ නගර සභාව, ප්‍රාදේශිය සභාව, විදුලිබල මණ්ඩලය, ජල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රජයේ සියලු ම ආයතනවල සහය ලැබෙනවා. ඒ සඳහා ඔබෙත් සහය ලැබුණොත් එය තවත් ශක්තියක්.
මේ ව්‍යාපෘතිය මේ වසර අවසන් වෙනකොට නිම කරන්නයි අපි සැලසුම් කරලා තියෙන්නෙ. මේ කටයුත්තට නගර නිර්මාණ ශිල්පීන්, භූ දර්ශන විද්‍යාන්ඥයින්, වාස්තු විද්‍යාන්ඥයින්, ඉංජි‍නේරුවරුන් හා අනෙකුත් වෘත්තීකයන්ගේත් සහය ලබා ගන්නවා. ඒ නිසා අපි හිතන විධිමත් නගර සැලැස්මකට මෙම නගර 100ම ගොඩ නගන්න අපිට හැකිවෙන බව විශ්වාසයි.
නගර සංවර්ධනය කරලා ආයේ පසු විපරම් කිරීමත් කරන්න කියලා මම නිලධාරීන්ට උපදෙස් දුන්නා. නගර ජනතා අයිතියට පත්කළාම ඒවා අලංකාරවත් ලෙස තබා ගැනීම ඔබ සැමගේත් අපේත් වගකීමක්. ඒ සඳහා රාජ්‍ය අංශයෙන් වගේ ම පුද්ගලික අංශයේ සහයත් අපට ලැබෙන්න ඕනි.
මිත්‍රවරුනි,
මේ නගර 100 සංවර්ධනය වෙනකොට ඒ ආශ්‍රිත ග්‍රාමීය ජනතාවට තවත් පියවරක් ඉදිරියට යන්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි අනෙකුත් නගර අතර පවතින සංවර්ධන විෂමතාවත් මෙමගින් මග හැරෙනවා. තිරසර නගරයක ජීවත්වීම ඔබට හැම අතින්ම පහසුවක්.
අපි ඉතිහාසය අරන් බැලුවමත් ක්‍රමානුකූල නගර නිර්මාණය අපට ආගන්තුක දෙයක් නෙමෙයි. පුරාවිද්‍යාත්මක ‍හෙළිදරව්වලට අනුව මෙරට බිහිවූ සැළසුම් සහගත ප්‍රථම ජනාවාසය පිළිබඳව තම්මැන්නා ගම සහ අනුරාධපුර ග්‍රාමයෙන් අපට උදාහරණ තිබෙනවා.
නගර බිහිවන්නේ ජනතාව තුළින්. එදා අතීතයේ අපිටම උරුම වෙච්ච නගර නිර්මාණ සැලසුම් තිබුණා. අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය ආදී අතීත රාජධානි සමඟ බැදුණු නගර නිර්මාණ අදටත් මුළු ලෝකයේ ම කතාකරනවා. ඒ විතරක් නෙමෙයි ඒ සැලසුම් අධ්‍යනය කරන්න අපේ රටට අදටත් විදේශිකයින් එනවා.
නූතන නගර නිර්මාණ සැලසුම්වල ඉතිහාසය මෙරට යටත් විජිත සමය හා බැඳුණු එකක්. 16 වැනි සියවසේ දී පෘතුගීසී ආගමනයත් සමඟයි කොළඹ කේන්ද්‍රකරගත් නගර සංවර්ධන වැඩ පිළිවෙළක් ආරම්භ වෙලා තියෙන්නේ. 17 වෙනි සියවසේ ලන්දේසි ආක්‍රමණයත් සමඟ කොළඹට සීමා වෙලා තිබුණු නගර සැළසුම් ත්‍රිකුණාමලය, යාපනය, මීගමුව, ගාල්ල වැනි නගර දක්වා විහිදිලා තිබෙනවා.
ඔලිවර් වීරසිංහ මැතිතුමා තමයි ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද ප්‍රථම නගර හා ග්‍රාම සැලසුම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා. අනුරාධපුර නව නගරය සැලසුමත් එතුමගේ වැඩක්. 1940 වර්ෂයේ එතුමා ආරම්භ කළ ඒ සුවිශේෂ ව්‍යාපෘතිය අතීත ලාංකීය උරුමයන් සංරක්‌ෂණය කිරීමට අත්‍යවශ්‍ය ක්‍රියාවලියක්‌ ලෙසයි අදටත් සැලකෙන්නේ.
මිත්‍රවරුනි,
ඒ වගේ ම තමයි තිස් වසරක් පැවැති යුද්ධය නිසා රටේ සංවර්ධනයත් ආපස්සට ගිය බව ඔබ තමුන්නාන්සෙලා දන්නවා. අපි නම් යුද්ධයක් තිබියදිත් සංවර්ධනය අමතක කළේ නැහැ. නමුත් ඊට පෙර නගර සැලසුම් සහ සංවර්ධනයට කිසිවෙකුත් අත තිබ්බෙ නැහැ.
ඒ නිසා මහා පාරේ කැලි කසළ කඳු පිරිලා තිබුණේ. බලන්න අප්‍රසන්නයි. පදික වේදිකාවේ පදිකයෙකුට යන්න බැහැ. ඒවා උඩ කඩ ගහලා. වාහන නවත්තලා. පොඩි වැස්සටත් යටවෙනවා. කුණු කාණු උතුරනවා. වෙනත් නගර නෙමෙයි කොළඹත් එහෙමයි තිබුණෙ.
ඒ තත්ත්වයෙන් නගර ගොඩ ගන්න එදා මම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමාට, නාගරික සංවර්ධනයත් භාරදුන්නා. එතුමා ඒ වැඩේ හරියටම කළා. ඒ නිසා ගෝඨාභය ජනාධිපතිතුමාට මේ රටේ නගර සංවර්ධනය කඩිනම් කරන්න අදටත් විශාල අවශ්‍යතාවක් තිබෙන බව ඔබ හොඳින්ම දන්නවා.
මිත්‍රවරුනි,
මට මතකයි එදා එතුමා මුලින්ම කොළඹ මහා පාරවල් අයිනේ තියෙන කසළ කඳු ඉවත්කළා. ඒක එකපාර කරන්න පුළුවන් ලෙහෙසි පහසු වැඩක් වුණේ නැහැ. එදා කොළඹ මහා නගර සභාව තිබ්බේ අපේ යටතේ නෙමෙයි. ඒත් ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරල කොළඹ නගර සභාවත් ඒ වැඩේ‍ට සම්බන්ධකර ගත්තා. කොළඹ තැන තැන එදා තිබ්බ කසළ බහාලන ස්ථාන ඉවත් කරලා නගර සභාව යොදවල විධිමත් ආකාරයට කසල එකතු කරන්නත් ගත්තා.
ඔය අතරේ පාරවල්වලට කුණු බෑග් විසි කරන අය අල්ලන්නත් පරිසර පොලීසිය කියල එකකතුත් හැදුවා. මහා පාරේ කුණු දාන අයට දඩ ගහන්නත් අපිට එදා සිද්ධ වුණා. හැබැයි මාස කිහිපයකින් ඒවායේ ප්‍රතිඵල අපිට ලැබුණා. ටොෆි කොළයක්වත් බිම දාන්නේ නැති බුලත් විටක් හපල මහා පාරේ කෙළ ගහන්නේ නැති තැනකට අපි මේ රට ගෙන ආවා. මග දෙපස ගස් සිටුවලා නගර අලංකරණය විධිමත් කළා.
පදික වේදිකාව තියෙන්නේ පදිකයන්ට. ඒ නිසා පදික වේදිකාවේ සිටි වෙළඳුන්ට විධිමත් ලෙස වෙළදාම් කරන්න ස්ථාන සකස්කරලා, පදිකයන්ට පදික වේදිකාව නිදහස් කරල දුන්නා ඔබතමුන්නාන්සේලා දන්නවා. නගරයේ වාහන තදබදයට පිළියම් සොයලා තනි දිසාවට වාහන ධාවනයට මාර්ග වෙන් කළා. මේ විධියට ගෝඨාභය ජනාධිපතිවරයා එදා නාගරික සංවර්ධනයේ ලේකම් ලෙස මේවා කළේ ටිකක් තදින්. ඒ නිසා තමයි කොළඹ නගරය විධිමත් තත්ත්වයකට ගේන්න අපිට පුළුවන් වුණේ.
අපි එතැනින් නතර වුණේ නැහැ. ලෝකයේ ආකර්ශනීය මෙන්ම සුන්දර ම නගරයක් ලෙස කොළඹ නගරය සංවර්ධනය කරන්න පටන් ගත්තා. කුඩා බිම් කඩක වැස්සට තෙමෙමින් අව්වට පිච්චෙමින් ජීවත්වූ පැල්පත්වාසීන්ට තට්ටු නිවාස ලබාදෙමින් නගරයේ ම කොටසක් වෙච්ච ඒ ජනතාව දිහාත් බැලුවා.
ඔබ දන්නවා කොටුවෙ පාවෙන වෙළඳ සංකීර්ණය අද කොළඹ නගරයේ ආකර්ශනීය ස්ථානයක්. එදා එතැන කුණු ගඳ ගස්සවන අපරාධකරුවන්ගේ රජ දහනක් විදිහටයි තිබුණේ. එවන් තැනක් තමයි අපි කොළඹට එළිය දෙන තැනක් කළේ.
මිත්‍රවරුනි,
ඒත් යහපාලන ආණ්ඩුව එහි වටිනාකම තේරුම් ගන්නේ නැතිව ඒ තැන් විනාශ වෙන්න ඉඩ හැරියා. ඒ විතරක් නෙමෙයි, මහා පාරේ ලස්සනට තියල තිබ්බ මල් පෝච්චි ටිකට වතුර ටිකක් දැම්මේ නැහැ. ඒවා වතුර නැතිව අව්වට පිච්චිලා මැරෙන්න ඉඩ හැරියා. අපි බලයට ඇවිත් මේවා නිවැරදි කරන්න තවත් කාලයක් ගන්න සිද්ධවුණා.
මිත්‍රවරුනි,
බත්තරමුල්ලේ දියත උයන, ඒ වගේම ගිය සතියේ අපි විවෘත කරපු සඳුන් අරණ වගේ පරිසර හිතකාමී අලුත් ව්‍යාපෘති අනෙකුත් නගරවලටත් හඳුන්වා දෙන්න කියලා අපි දැනටමත් නිලධාරින්ව දැනුම්වත් කරලා තියෙන්නෙ. අපට අවශ්‍ය ඔබ සැම වෙනුවෙන් සුවපහසු නාගරික යාන්ත්‍රණයක් ඇති කිරීම. ඒ සඳහා ඔබේ නගරය දියුණු අලංකාර නගරයක් බවට පත්වීම ඔබ අද මුහුණ දෙන බොහෝ ගැටලුවලට විසඳුම වනු ඇතැයි අපි විශ්වාස කරනවා. නගර සීයයේ ජාතික උත්සවය කුරුණෑගල දිස්ත්‍රික්කය මුල් කරගෙන ආරම්භ කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා.
මේ කටයුත්ත සඳහා දායක වන නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු සියලු දෙනාට ම මාගේ ප්‍රණාමය නැවත වතාවක් පුදකරනවා. ඒ වගේම ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා ඇතුළු මන්ත්‍රීවරු සියලුදෙනාට මාගේ ගෞරවය හා ස්තූතිය මේ අවස්ථාවේ පුද කරනවා.
ඔබ සැමට සුබ අනාගතයක් වේවා!‘‘ 
තිහව ගස්සන්දළුපොත පුරාණ විහාරය, පොල්පිතිගම ඓතිහාසික නාගොල්ල රජමහා විහාරය යන උභය විහාරාධිපති, හිරියාල හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, පූජ්‍ය ගනේගොඩ රතනජෝති නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය හිරිපිටිය නගරයේ පැවැති උත්සව අවස්ථාවට වැඩම කළහ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහත්වරු මෙම ජාතික උත්සවයට අරලියගහ මන්දිරයේ සිට සම්බන්ධ වූහ.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන යූ.කේ. සුමිත් උඩුකුඹුර, චරිත හේරත්, අසංක නවරත්න, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමලත් මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහත්වරු ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අනාගත පරපුරේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම උදෙසා කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රවේශයට, තවත් රටවල් පෙළඹෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

සැප්තැම්බර් මස පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට වේදිකාවක් සකසමින් ඊයේ (26) ඉතාලියේ රෝම නගරයේ දී ඇරඹුණු “එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුවේ” රාජ්‍ය නායක පූර්ව සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මහා ලේකම්, ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාගේ මූලිකත්වයෙන් තෙදිනක් පුරා පැවැත්වෙන සමුළුවට රටවල් රැසක නායකයෝ සහභාගී වෙති.

2030 වන විට අපේක්ෂිත තිරසර සංවර්ධන ඉලක්ක වෙත පිවිසීමේ දී ආහාර පද්ධතිවල ඇති බලපෑම සමුළුව මගින් සාකච්ඡාවට ලක් කෙරේ. තරුණ පිරිස්, ගොවීහු, ආදි වාසීහු, සිවිල් සමාජ ක්‍රියාකාරිකයෝ, පර්යේෂකයෝ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයෝ නව ප්‍රවේශයක් සහිතව සමුළුවට එක්ව සිටිති.

ආහාර සඳහා ඇති අයිතිය, මූලික මිනිස් අයිතියකි. තම ජනතාව සඳහා මෙම අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජයන් තනිව ක්‍රියා කළ ද ගෝලීය ආහාර පද්ධතියේ පවතින සංකීර්ණතා පිළිබඳව පුළුල්ව අවබෝධ කරගත යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

වසර දහස් ගණනක් පුරා දිවෙන, පුරාණ දියුණු වාරි ශිෂ්ටාචාරයක් සමග ගැඹුරින් බැඳුණු කෘෂිකාර්මික උරුමයක් ශ්‍රී ලංකාව සතුය. එබැවින් තිරසර කාබනික කෘෂිකර්මාන්තය මෙරටට අලුත් දෙයක් නො වේ. නව විද්‍යාත්මක දියුණුව හා කළමනාකරණ ක්‍රමවේදයන් සමග මෙරටට හිමි ඓතිහාසික භාවිතයන් පුනර්ජීවනයට උත්සාහ ගන්නා බව ජනාධිපතිතුමා කියා සිටී.

ආහාර පද්ධතිය පරිවර්තනය කිරීම, මානව වර්ගයාගේ සහ පෘථිවියේ පැවැත්ම සඳහා රජයන් කළ යුතු අනුවර්තනවල අත්‍යාවශ්‍ය අංගයකි. ගැඹුරින් අන්තර් සම්බන්ධිත වූ එක් ලෝකයක් අප සැවෝම බෙදා හදා ගනිමින් පවතින බව කොවිඩි - 19 වසංගතය මගින් අවබෝධ කර දී තිබේ.

මානව වර්ගයා සාමාජයීය, දේශපාලනික හා ආර්ථික වශයෙන් විවිධ වුවත් මුහුණ දෙන අභියෝග සියල්ලම විශ්වීයය. මෙම අභියෝගයන්ට තනිව මුහුණ දිය නොහැකි බවත්, ඒවා ජය ගැනීමට නම් සාමූහිකව ක්‍රියා කළ යුතු බවත් ජනාධිපතිතුමා සමුළුව අමතමින් පෙන්වා දුන්නේය.

ආහාර සුරක්ෂිතතාව, දේශගුණික විපර්යාස අවම කිරීම, පාරිසරික සංරක්ෂණය ශක්තිමත් කිරීම සහ ජෛව විවිධත්වය ක්ෂය වීම වැළැක්වීම කෙරෙහි සමුළුව ඇමතූ රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමු කර තිබිණ.

චීන රජය තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.6ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි. එම එන්නත් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL – 869 සහ UL – 865 ගුවන් යානා අද (27) උදෑසන 5.30ට කොළඹ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට ළඟා විය.
චීන තානාපති, චී චෙන්ග් හොන්ග් (Qi Zhen Hong) මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත එන්නත් නිල වශයෙන් භාරදීම අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ. මෙම එන්නත්වලට අමතරව සිරින්ජර තොගයක් ද පරිත්‍යාග කර තිබේ.
මෙම එන්නත් උතුරු - නැගෙනහිර පළාත්වල වයස අවුරුදු 30ට වැඩි ජනතාවට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදෙනු ලැබිණ. මෙරට එන්නත්කරණ ක්‍රියාවලියේ දී භාවිත එන්නත්වලින් 72%ක් සයිනොෆාම් එන්නත් ය.
පසුගිය මාර්තු 31 වන දින සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක්, මැයි 26 වන දින ලක්ෂ 5ක් සහ අද දින ලද මාත්‍රා ලක්ෂ 16ත් සමග සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 27ක් පරිත්‍යාග කරමින් කොවිඩ් මර්දනයට චීන රජය ලබාදුන් සහාය බෙහෙවින් අගය කරන බව ජනාධිපතිතුමා පැවසීය.
අගෝස්තු මස අවසන් වන විට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත ලබාදී අවසන් කිරීමට හැකි වෙතැයි පෙන්වා දුන් ජනාධිපතිතුමා සංචාරක කටයුතු, සැප්තැම්බර් මස සිට ආරම්භ කිරීමට හැකි වෙතැයි සඳහන් කළේය. එම නිසා චීන ජනතාවට නැවතත් මෙරට සංචාරයට ඇරයුම් කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්ද, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, චීන තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී ලූ චොන්ග් (Luo Chong) යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

විශ්ව විද්‍යාල සදහා අයදුම් කිරිමේ අවස්ථාව අද සිට යලිත් සිසුන්ට ලැබෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. සංචරණ සීමා හේතුවෙන් ඇතැම් සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අයදුම් කිරිමට නොහැකි විය. එබැවින් අද සිට ලබන 30 වැනිදා තෙක් මාර්ගගත ක්‍රමයට අයදුම්පත් එවිය හැක.

 එහි පිටපතක් . විද්‍යුත් ලිපිනයට එවිය යුතුය.

දිවයින පුරා සියලුම රෝහල් හා සෞඛ්‍ය ආයතනවල දැනට අබලන්ව පවතින , මහජනතාවට සෞඛ්‍ය සේවා සැපයීමට යොදාගත හැකි සියලු වාහන අලුත්වැඩියා කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියෙන් වහාම ප්‍රතිපාදන වෙන්කෙරේ.

ඒ අනුව මේ වසර අවසන් වන විට සෞඛ්‍ය සේවා සපයන ආයතන වල ප්‍රවාහන ගැටළු විසඳීමට හැකියාව ලැබෙනු ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා පැවති ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ යෝජනාව සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු විධායක කමිටුවට ඉදිරිපත් කළ බවත් ඊට පූර්ණ අනුමැතිය ලැබුණු බවත් ඒ මහතා පවසයි.

 

රථවාහන ලියාපදිංචි කිරීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන අංක තහඩු තැපැල් මගින් නිවසටම ලබාදීමේ නව වැඩපිලිවෙලක් ආරම්භ කරන බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය කොට ලාභ ඉපයිමේ වැඩපිළිවෙල යටතේ මෙම නව වැඩසටහන සැලසුම් කර ඇත.

ඉදිරියේදී තැපැල් දෙපාර්තමේන්තුව සතු ඉඩකඩම් මගින් දෙපාර්තමේන්තුවට ආදායම් ලබාගත හැකි වැඩසටහන් සකස් කෙරේ. පෞද්ගලික අංශයේ විශ්වාසනීය, කාර්යක්ෂම, සීඝ්‍ර කුරියර් සේවයක් ක්‍රියාත්මකයි. තැපැල් දෙපාර්තමේන්තුවේද එවැනි වැඩපිළිවෙලක් කඩිනමින් ස්ථාපිත කරන බව එතුමා හාරිස්පත්තුවේ වැරැල්ලගම පැවති උත්සවයකදී පැවසීය. එමගින් විශාල ලාභයක් දෙපාර්තමේන්තුවට අත්කරගත හැකිය. මෙරට 342 ක් වන ප්‍රාදේශිය සභා තුළ නව තැපැල් කාර්යාල ආරම්භ කිරීමේ වැඩපිළිවෙලක් ද හදුන්වාදෙනු ලැබේ.

සිරස, ශක්ති මාධ්‍ය ජාලය හිමි කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතා කොළඹ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (25) අළුයම අභාවප්‍රාප්ත වී තිබේ

අභාවප්‍රාප්ත වනවිට රාජමහේන්ද්‍රන් මහතා 79 වැනි වියේ පසුවිය. කොවිඩ් නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදුකෙරුණි. ආර්. රාජමහේන්ද්‍රන් මහතා මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර රැසක හිමිකරුවෙකි. ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රමුඛ මෙහෙවරක් ආර්.රාජමහේන්ද්‍රන් මහතා විසින් ඉටුකොට තිබේ.

ළමා අපචාර, ළමා හිංසනය, ළමා මෙහෙකාර සේවය මේ කුමන නමකින් ඉදිරිපත් වුවද ඒ සියල්ලම දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මුදාහැරීමක් වන බැවින් එයට කොන්දේසි විරහිතව එරෙහිවීම වගකිව යුතු සමාජයක වගකීම වන බවත් ළමයින්ට එරෙහි එවැනි සිදුවීම් සම්බන්ධයෙන් හුදු විරෝධය පෑමකට එහාගිය නීතිය දැඩිව ක්‍රියාත්මක කරවීමට බලකෙරෙන සංවිධානාත්මක වැඩපිළිවෙලක් අවශ්‍ය බව පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශීනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරයි.

අපරාධකරුවා, චූදිතයා කුමන තරාතිරමක අයෙකු වුවත් වින්දිතයා වන්නේ දරුවන් බැවින් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී වගකීමෙන් නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම අවශ්‍යයෙන්ම කළ යුතු බව ඇමතිවරිය වැඩිදුරටත් සදහන් කරයි. අමාත්‍යවරිය මේ බව සදහන් කලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නිවසේ වයස අවුරුදු 16ක දැරියක් මෙහෙකාර සේවයේ යොදවමින්, අපයෝජනයකට ලක්කර පිළිස්සී මියයාම සම්බන්ධයෙන් සිය සංවේගය සහ කණස්සල්ල පළකරමිනි.

පසුගිය කාලය පුරාම දරුවන් සම්බන්ධයෙන් මෙවැනි ප්‍රවෘත්ති අසන්නට දකින්නට ලැබීම සුලබව සිදුවූ බවත් එවැනි අවස්ථාවල එක් එක් සිද්ධිය මුල් කරගෙන ඊට අදාල විරෝධය පෑමකට
යොමුවූවා විනා නැවත වතාවක් දරුවන් එවැනි ඉරණමකට ගොදුරුවීම වළකාලීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීමට ක්‍රමවත් සංවාදයක් සාකච්ඡාවක් ඇති නොවීම පිළිබදව අමාත්‍යවරිය මෙහිදී සිහිපත් කළාය.

ළමා අපචාර, ළමා හිංසනය, ළමා මෙහෙකාර සේවය හරහා දරුවන් තුළ දැඩි මානසික ව්‍යාධියකට මෙන්ම දිගුකාළීන ශාරීරික ආබාධවලට ලක්විය හැකි වටපිටාවක් නිරන්තරයෙන් නිර්මාණය වන අතර එය නැවත වතාවක් සමාජයටම පාරාවළල්ලක් වන තත්වයක් නිර්මාණය වීම නොවැළැක්විය හැකි බව සිහිපත් කළ අමාත්‍යවරිය ඇතැමුන් සිතන ආකාරයට ගැහැණු දරුවන් අපයෝජනයට ලක්කිරීම, කාන්තාවන්ට හිරිහැර කිරීම ආදිය පිළිබදව මුලින්ම විරුද්ධත්වය පළකල යුත්තේ කාන්තාවන් බවට සමාජ මතයක් ගොඩනැගෙමින් පවතින බවත් එය ඛේදනීය තත්වයක් බැවින් සමස්ථ සමාජයම එවැනි කාරණා වලදී ඉදිරියට පැමිණිය යුතු බව අමාත්‍යවරියගේ අදහසයි.

ළමා අපචාර, ළමා හිංසනය, කාන්තා හිංසනය සමාජයක පිරිහීම පෙන්නුම් කෙරෙන තත්වයන් බැවින් එවැනි තත්වයන් මගහරවා ගැනීමට කාන්තාවන් පමණක් නොව සැවොම එක්ව කටයුතු කිරීම වැදගත් බව සිහිපත් කළ අමාත්‍යවරිය සදහන් කලේ මියගිය ඉෂාලිනී ජූඩ් කුමාර් දියණියට යුක්තිය කඩිනමින් ඉටුවීම තවත් එවැනි දියණිවරුන් ආරක්ෂා වීමට හේතුවක් විය හැකි බව තමන් විශ්වාස කරන බවයි.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් නිකුත් කළ ඇසළ පෝය දින පණිවිඩය. 

‘‘අද උතුම් ඇසළ පොහොය දිනයයි. තුන්ලෝකාග්‍ර වූ අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ චරිතයෙහි එන වැදගත් සිදුවීම් රාශියක් සිදු ව ඇති ඇසළ පොහොය දිනය ලොව පුරා වෙසෙන සුවහසක් බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් පොහොය දිනයකි.
සිදුහත් බෝසතාණන් වහන්සේ පස් මහ බැලුම් බැලීමෙන් අනතුරුව, මිනිස් ලොව උපදිනු පිණිස මහමායා දේවියගේ කුස තුළ පිළිසිඳගන්නේ අද වන් දිනක ය. එමෙන් ම වසර විසි නවයක් පුරා වින්දා වූ සියලු සැප සම්පත් අත් හළ සිදුහත් කුමරා ගිහි ජීවිතය පිළිබඳව කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේ ද රාහුල කුමරුන්ගේ උපත සිදුවන්නේ ද අද වන් දිනක ය.
එයින් සය වසරකට පසුව ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් වන බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන ' ධම්මචක්ක පවත්තන සූත්‍රය' ඉසිපතනයේ මිගදායේදී පස්වග මහණුන් අරභයා දේශනා කරන්නේ ද තීර්ථක මානය බිඳහෙළනු වස් සැවැත් නුවර ගන්ධබ්බ අඹ රුක මුල යමා මහ පෙළහර පා වදාළේ ද, තමන් වහන්සේගේ උපතින් සත් වන දවස කලුරිය කර මාතෘ දිව්‍ය රාජයා ලෙසින් තව්තිසා දෙව් ලොව උපන් එ කල තම මෑණියන් වහන්සේ ප්‍රමුඛ දිව්‍ය සමූහයාට අභිධර්මය දේශනා කරන ලද්දේ ද ඇසළ පොහොය දිනයක වීම විශේෂත්වයකි.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව පළමු ධර්ම සංගායනාව පැවැත්වෙන්නේ ද, අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑය සඳහා මුල්ගල පිහිටුවන්නේ ද, ක්‍රමයෙන් පරිහානියට පත්වෙමින් තිබූ ලක්දිව සම්බුද්ධ ශාසනය පාරිශුද්ධ භාවයට පත් කරමින් සියම් දේශයේ උපාලි තෙරුන් වහන්සේ යටතේ නැවත උපසම්පදාව සහිත ථේරවාදී බුදුදහම ස්ථාපිත වන්නේ ද, කඨින මහා පූජෝත්සවය ආරම්භ වනු පිණිස භික්ෂූන් වහන්සේ පෙර වස් සමාදම් වන්නේ ද, පෙරහර සමය ආරම්භ වන්නේ ද අද වන් පොහොය දිනක ය.
මේ සා විශාල වැදගත්කමක් ඇති උතුම් ඇසළ පොහොය දිනයේදී සෞඛ්‍ය මඟපෙන්වීම්වලට අනුගත වෙමින් පමණක් ආමිස පූජා හා ප්‍රතිපත්ති පූජා සිදු කරමින් සැදැහැ සිතින් කටයුතු කළ යුතු ය. මේ පෙරහර සමයේ ද ආරම්භයයි. එහෙත් අප සැම මුහුණ දෙමින් සිටින කොවිඩ් වසංගතය හේතුවෙන් චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍රවලට පමණක් මුල් තැන දීම කරනු විනා එවන් උත්සව, සැණකෙළි කෙරෙහි අවධානය ලබා දීමට කටයුතු නො කිරීම ද ඔබ සැමගේ ම වගකීමකි.
ඔබ සැමට පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!‘‘ 

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter