නවතම පුවත්

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (22) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

නවසීලන්ත මහ කොමසාරිස්වරයා ලෙස මයිකල් එඩ්වඩ් ඇපල්ටන් (Michael Edward Appleton) සහ කියුබානු ජනරජයේ තානාපතිවරයා ලෙස අන්ද්‍රෙස් මාර්සෙලෝ ගරීඩෝ (Andres Marcelo Garrido) මහත්වරු පත්ව සිටිති.

ඉන්දියාවේ පිහිටි නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය මගින් ශ්‍රී ලංකාවට අදාළ කටයුතු මෙතෙක් සම්බන්ධීකරණය කෙරිණ. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පුළුල් කෙරෙමින් අභිනවයෙන් මෙරට ස්ථාපිත කෙරෙන නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ, පළමු මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක් බව මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ දී කියුබාව මෙරටට ලබාදෙන සහාය ජනාධිපතිතුමාගේ ප්‍රශංසාවට ලක්විය. ශ්‍රී ලංකාව සහ සිය රටවල් අතර දිගුකාලීන සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ වර්ධනය කරගැනීමට කැපවන බව ඔවුහු ජනාධිපතිතුමා සමග පැවසූහ.

කොවිඩ් පැතිර යාම ආරම්භයේ සිටම රජයක් ලෙස ගත් ක්‍රියාමාර්ග, එන්නත්කරණය සම්බන්ධයෙන් ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳ ජනාධිපතිතුමා නව තානාපතිවරුන් දැනුවත් කළේය. දේශගුණික විපර්යාසයන්ට සියලු රටවල් එක්ව මුහුණ දීමේ අවශ්‍යතාවත්, කාර්ය සාධක බලකායක් පිහිටුවමින් විධිමත් සැලැස්මක් යටතේ රටක් ලෙස ඒ වෙනුවෙන් ගෙන ඇති සැලසුම් ජනාධිපතිතුමා පැහැදිලි කරනු ලැබීය. කාබනික පොහොර භාවිතයට යොමු වීම, 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් ඉහළ ප්‍රතිශතයක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට ගෙන ඇති පියවර, ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.

මානුෂීය මෙහෙයුමෙන් පසු උතුරු – නැගෙනහිර ප්‍රදේශවල සිදුකර ඇති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ එම ප්‍රදේශවල සංචාරය කිරීමෙන් අවබෝධ කරගත හැකි බව ජනාධිපතිතුමා තානාපතිවරුන්ට පෙන්වා දෙනු ලැබීය.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, ප්‍රධාන සංධාන නිලධාරී තුෂාර රොද්‍රිගෝ, ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (මාධ්‍ය) සුදේව හෙට්ටිආරච්චි යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක් හවුස්) කතරගම නිවාඩු නිකේතනය නවීන පහසුකම්වලින් සමන්විතව නවීකරණය කර ඒ සඳහා නව වෙබ් අඩවියක් ඊයේ (21) දින එළිදක්වනු ලැබීය. ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් මෙම එළිදැක්වීම සිදුවූ අතර එය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
කාමර 30 කින් සමන්විත මෙම නිවාඩු නිකේතනයෙහි අති සුඛෝපභෝගී කාමර 12 ක්ද ඇතුළත්ය.


http://www.lakehouserest.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම නිවාඩු නිකේතනය පිළිබඳ තොරතුරු ලබාගත හැක.


සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමණකාර අධ්‍යක්ෂ ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න, නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ රඛිත අබේගුණවර්ධන, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම්, මුල්‍ය අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග, මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ කණිෂ්ක විතාරණ යන මහත්වරුන් ඇතුළු එහි ඉහළ කළමනාකාරීත්වයේ පිරිසක් මේ සදහා එක්ව සිටියහ.

පළාත් මට්ටමින් ළමා මහේස්ත්‍රාත් අධිකරණ සහ ළමා මහාධිකරණ පිහිටුවේ. දැනට රට තුළ ක්‍රියාත්මක වන්නේ එවැනි අධිකරණ දෙකක් පමණි. ළමා නඩු විසඳීමේදී එය ප්‍රමාණවත් නොවේ. එමෙන්ම, නඩු අවස්ථාවලදී දරුවන්ට වැඩිහිටියන් සමග ගැටීමට ද සිදුවේ. ළමා නඩු කල්යාමේ ප්‍රවණතාවක් ද පවතී. එම තත්ත්වය සලකා සියලු පළාත් ආවරණය වන පරිදි එවැනි අධිකරණ 18 ක් පිහිටුවීමට යෝජනා කළ බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපති සුජාතා අලහපෙරුම මහත්මිය පැවසුවාය. මෙරට යල්පැන ගිය ළමුන් සම්බන්ධ නීති සංශෝධනයට ද ක්‍රියාකර තිබේ. ඒ සඳහා කමිටු 5 ක් ද පත්කර ඇත,

 

මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිසම් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම සිය අතුරු වාර්තාව පසුගියදා (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දුන්නේය.
මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත්කළ කොමිසන් සභා හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිතුමා විසින් 2021 ජනවාරි මස 21 සහ පෙබරවාරි මස 12 වන දිනයන්හි අතිවිශේෂ ගැසට් නිවේදන මඟින් කොමිසමට සාමාජිකයන් පත්කරනු ලැබිණ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ.එච්.එම්.ඩී. නවාස් මහතාගේ සභාපතීත්වයෙන් යුත් කොමිසමේ සෙසු සාමාජිකයෝ ලෙස විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි සහ යාපනය හිටපු නගරාධිපති යෝගේෂ්වරී පත්කුණරාජා යන මහත්ම මහත්මීහු පත්කර සිටිති.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යන මතවාදයට එකඟ නො වන කොමිසම් සභාව, මහා බ්‍රිතාන්‍ය ඇතුළු සෙසු රටවල ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති නීති අධ්‍යයනය කර පනත සංශෝධනය කළ යුතු බව අතුරු වාර්තාව මඟින් පෙන්වා දෙයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9,11 සහ 13 වගන්ති කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති කොමිසම, වඩා ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනා තුනක් අතුරු වාර්තාව මඟින් ඉදිරිපත් කර තිබේ.
9 වන වගන්තිය මඟින් රැඳවුම් නියෝග ක්‍රියාත්මක කිරීමේදී අවම මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් රඳවා තබාගන්නා පුද්ගලයන්ට අධි චෝදනා ගොනුකර නඩු අසා නිම කිරීමත්, 11 වන වගන්තිය යටතේ වූ රැඳවුම්කරුවන් බන්ධනාගාරය තුළ රඳවා තබා ගැනීම වෙනුවට විශේෂ ආරක්ෂාවක් යටතේ සිය නිවසේ හෝ ගම් ප්‍රදේශය තුළ රඳවා තබා ගැනීමට ඇති හැකියාව පෙන්වා දී තිබේ.
13 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට උපදෙස් දීමට අවම වශයෙන් තිදෙනෙකුගෙන් සමන්විත, සියලු ජාතීන් නියෝජනය කෙරෙන උපදේශන සභාවක් පත් කිරීමේ වැදගත්කම කොමිසම අතුරු වාර්තාව මඟින් යෝජනා කරයි.
තිරසර සාමය සහ සංහිඳියාව දිනාගනු වස් වගවීම සහ මානව සම්පත් සංවර්ධනය සපුරා ගැනීම සඳහා එක්සත් ජාතීන් සහ එහි නියෝජිත ආයතන සමඟ සහයෝගයෙන් වැඩ කිරීම රජයේ ප්‍රතිපත්තිය වන්නේ ය. විසඳීමට ඇති ගැටලු සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නීති රාමුව තුළ විසඳුම් දීමටත්, අවශ්‍ය පරිදි ආයතනික සංශෝධන කරමින් යුක්තිය හා සංහිඳියාව තහවුරු කිරීමටත් රජය කැපවී සිටී.
කොමිසමේ අවසන් වාර්තාව ඉදිරි මාස 6 තුළ ලබාදීමට පූර්ව කොමිසම් සභාවන්හි සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමට අවකාශය සැලසේ.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති අතිරේක ලේකම් ටී.ටී. උපුල්මලී, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ සහ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හරිගුප්ත රෝහණධීර යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක් ව සිටියහ.

ලෝකයේ නව ප්‍රවණතාවන්ට මුහුණ දෙමින්  රාජ්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා  රාජ්‍ය  හා පෞද්ගලික හවුල් ව්‍යාපාර  සඳහා යාම වඩාත් වැදගත් බව ජනමාධ්‍ය  අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල   මහතා පවසයි.

වත්මන් රජය කිසිසේත්  රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය නොකරන බවද  එහෙත් රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර සඳහා  සෞභාග්‍යයේ දැක්ම තුළ ඉඩක්  පවතින බව ඒ මහතා කීය.

 

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ  කතරගම නිවාඩු නිකේතනය නවීන පහසුකම්වලින් සමන්විතව නවීකරණය කර ඒ සඳහා නව වෙබ් අඩවියක් හඳුන්වා දීමේ අවස්ථාවේදී  අමාත්‍යවරයා මේ බව පැවසීය. ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී  මෙය පැවැත්විණි.

 

කාමර 30 කින් සමන්විත  මෙම  නිවාඩු නිකේතනයෙහි අති සුඛෝපභෝගී  කාමර 12 ක්ද  ඇතුළත්ය. අමාත්‍යවරයා අතින් නව වෙබ් අඩවිය  එළිදැක්විණිWWW.Lake house Rest.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන්   මෙම නිවාඩු නිකේතනය පිළිබඳ තොරතුරු ලබාගත හැක.

 

ලොව නව ප්‍රවණතාව  රාජ්‍ය හෝ පෞද්ගලික අංශයන්  තනිව නැගී නොසිට  එක් එක් ක්ෂේත්‍ර  ජාලයක්  ලෙසින් නැගී සිටීම බවත් ඒ තුළ බොහෝ  රටවල්  වඩාත් ශක්තිමත්ව නැගී සිටින බවත්  අමාත්‍යවරයා මෙහිදී කීය.

 

මෙරට රාජ්‍ය මාධ්‍ය ආයතන සතුව ඉතා වටිනා සම්පත් ප්‍රමාණයක් පවතින බවත් ඉලක්කගත මූලික වැඩපිළිවෙළ  ඒ ඔස්සේ සාර්ථක කර ගන්නා අතරම  බාහිර අනෙකුත් ක්ෂේත්‍රද ජය ගත හැකි බවත්  හෙතෙම පෙන්වා දුන්නේය. පවතින ව්‍යසනය හමුවේ පසුගියදා  සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ  මිලියන 400 ක් වන එක් දිනක් තුළ ලැබූ වැඩිම ආදායම තැපැල් දෙපාර්තමේන්තුව ලැබූ බවත් ඒ මහතා කීය. 







පවතින තත්වය හේතුවෙන්  රෝගීන්ට සායන කරා යාමට නොහැකි  බැවින්  කුරිය සේවාව හරහා  නිවසටම  ඖෂධ පැකට්   ලබාදීමට මේ වෙනවිට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයිද  ආරම්භයේදී නොමිලේ සැපයූ එම සේවාව  මේ වෙනවිට  ඉතා සාධාරණ අයකිරීමක් යටතේ සිදුවන බවද  අමාත්‍යවරයා කීය.

 

ලේක්හවුස් ආයතනය  මෙරට කීර්තිමත් ආයතනයක් බවද  පවතින ගෝලීය පීඩනය හමුවේ  ක්ෂේත්‍ර රාමුවෙන් පිටට ගොස් ආයතනය ගොඩනැන්වීම සඳහා සභාපතිතුමා අධ්‍යක්ෂ මණ්ඩලය  ප්‍රමුඛ  සෑම දෙනා  සිදුකරන කැප කිරීම අගය කරන බවද  රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් කීය.

 

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමණකාර අධ්‍යක්ෂ  ජනාධිපති නීතිඥ  ඩබ්ලිව්. දයාරත්න, නීති හා පරිපාලන අධ්‍යක්ෂ  නීතිඥ රඛිත අබේගුණවර්ධන , කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම්, මුල්‍ය අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග, මෙහෙයුම් අධ්‍යක්ෂ  නීතිඥ කණිෂ්ක විතාරණ  යන මහත්වරුන්  ඇතුළු එහි ඉහළ  කළමනාකාරීත්වයේ පිරිසක් මේ සදහා එක්ව සිටියහ.

පරිත්‍යාගය හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් අද දින ඊද් උල් අල්හා හෙවත් හජ් උත්සවය සමරන ලොව පුරා ඉස්ලාම් බැතිමතුන්ට මාගේ සුබ පැතුම් එක් කරමි.

 
ඉස්ලාම් ආගමේ පදනම වැටී ඇති පංචස්ථම්භවලින් එකක් වන්නේ හජ් වන්දනාවයි. කායික හා ආර්ථික හැකියාව තිබෙන සෑම ඉස්ලාම් බැතිමතෙක් ම සිය ජීවිත කාලය තුළ එක්වරක් හෝ හජ් වන්දනාවේ නිරත විය යුතු බව විශ්වාසයයි.
 
ලොව පුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත ඉස්ලාම් බැතිමතුන් එක ම අරමුණක බැඳී එක ම පූජා භූමියකට රැස් ව මනුෂ්‍යත්වයේ අපේක්ෂාව වන සාමූහිකත්වයේ අගය ප්‍රාර්ථනා කරනුයේ හජ් වන්දනාව තුළිනි. ඒ අනුව ගත් කළ සමාජීය සහජීවනයේ මහිමය ලෝක ප්‍රජාවට සන්නිවේදනය කරන ප්‍රමුඛ ආගමික උත්සවයක් ලෙස හජ් උත්සවය හැඳින්විය හැකිය.
 
කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් පසුගිය වර්ෂයේ මෙන් ම මෙවරත් ඉස්ලාම් බැතිමතුන්ට මක්කම ගොස් හජ් වන්දනාවේ යෙදීමට ඇති ඉඩකඩ ඇහිරී තිබේ. සාමය, සහෝදරත්වය සමානාත්මතාව අගය කරන හජ් දින සුභ ප්‍රාර්ථනාවන්ට එමගින් බාධාවක් නොවන බව මාගේ විශ්වාසයයි.
 
දේවස්ථානවල සාමූහිකව රැස්වී සිදුකරන සම්ප්‍රදායික ආගමික කටයුතු මෙවර සිදු නොකරන ලෙසට සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස්වලට අනුගත වෙමින් කොවිඩ්-19 වසංගතය ලොවින් තුරන් කරන්නට අප සැම එක්ව තිර අධිෂ්ඨානයෙන් කටයුතු කළ යුතුය.
 
ඉස්ලාමීය මඟපෙන්වීම් ද නිසි අයුරින් අනුගමනය කරමින් ලෝකවාසී ජනතාව ම කෙටි කලක් ඇතුළත කොවිඩ් වසංගතයෙන් මුදා දෙන්නැයි අද වැනි උතුම් දිනෙක අල්ලාහ් දෙවියන්ගෙන් අයැද සිටිනු ඇතැයි විශ්වාස කරමි. 
ඔබගේ සියලු යහක්‍රියා අල්ලාහ් දෙවියන් විසින් පිළිගනිත්වා යන්න අපගේ ද ප්‍රාර්ථනයයි.
 
විවිධ ජාතීන් අතර සුහදත්වය සහ සංහිඳියාව සිහිපත්කරන හජ් උත්සවයේ පරමාර්ථ යථාර්ථයක් බවට පත්වන, ප්‍රීතිමත් ඊද් උල් අල්හා උත්සවයක් වේවා! යැයි සහෝදර ඉස්ලාම් බැතිමතුන් සියලු දෙනාට ම මම සුභ ප්‍රාර්ථනා කරමි.
 
 

හජ් සමය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, සෙනෙහස සහ සමාචාර වතාවත් ඉහළින් පිළිබිඹු කෙරෙන ආධ්‍යාත්මික උළෙලකි. එය ඉස්ලාම් සමාජය අනාගත පරපුරට සංස්කෘතිය පවරා දෙන සුවිශේෂි කාලපරිච්ජේදයක් ලෙස ද මම දකිමි.

සියලු ආගම්වලට අයත් ශාස්තෘවරුන් මානව යහපැවත්මට අවශ්‍ය ලෝකාර්ථ ධර්ම පෙන්වා දී තිබේ. එමඟින් සමාජ සාරාර්ථ ශක්තිමත් කර අන්‍යෝන්‍ය සබඳතා ගොඩනැගීමට ලබා දෙන දායකත්වය අගනේ ය. එය ලෝක යහපැවැත්මට සහ අඛණ්ඩතාවට අත්‍යවශ්‍ය සාධකයකි.

ඉස්ලාමීය දහමේ අවසාන ශාස්තෘවරයා ලෙස සැලකෙන මුහම්මද් නබිතුමන්ගේ ජීවිතාදර්ශය අදටත් අනුගමනය කරන ඉස්ලාමීය අනුගාමික සියලු දෙනා අපේක්ෂා කරන දෙලොව ජයග්‍රහණය සහ දිව්‍යමය සමීපතාව උදා කර ගැනීමට මෙම කාලය උපකාරී වනු ඇත.

කොවිඩ් වසංගතය හේතුවෙන් සම්ප්‍රදායික ඇදහිලි සහ විශ්වාසයන්ට පෙර පරිදි කටයුතු කිරීමට යම් සීමාවන් පනවා තිබේ. ඒ සියලු දෙනාගේ ආරක්ෂාව සහ සමාජ සුභසිද්ධිය පිණිස ය. ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර මේ ඉස්ලාම් සමය වතාවත්වල නිරතවෙමින් කටයුතු කරන ලෙස සිහිපත් කරමි.

ශුද්ධ කුරානය සහ මුහම්මද් නබිතුමාගේ ජීවන දර්ශනය අනුව යන ඉස්ලාමීය බැතිමත් ඔබට දිව්‍යමය සමීපතාව සහිත අධ්‍යාත්මික විමුක්තිය හජ් යාඥාවෙන් සාක්ෂාත් වන මංගල්‍යයක් වේවා යි ප්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්ෂ

 
ඩරාස් ශ්රී ලංකා ආයතනය ඉටුකම කොවිඩ් සමාජ ආරක්ෂණ අරමුදල සඳහා රුපියල් මිලියන 02ක මුදලක් පරිත්යග කළේ ය. ඒ, අද (19) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ය.
එසේ ම කොවිඩ් රෝගීන්ට ප්රතිකාර කිරීමට සෞඛ්ය කාර්ය මණ්ඩල සඳහා අවශ්ය පී.පී.ඊ (PPE) කට්ටල තොගයක් ද ඩරාස් ශ්රී ලංකා ආයතනය පරිත්යාගය කළේ ය.
කොවිඩ්-19 හමුවේ රටේ සෞඛ්ය හා සමාජ ආරක්ෂණ කටයුතු සඳහා ඉදිරියටත් රජයට අවශ්ය සහය ලබා දීමට සූදානම් බව ඩරාස් ශ්රී ලංකා ආයතනය අවධාරණය කරයි.
මෙම අවස්ථාවට තරුණ හා ක්රීඩා අමාත්ය, ඩිජිටල් තාක්ෂණ හා ව්යවසාය සංවර්ධන රාජ්ය අමාත්ය නාමල් රාජපක්ෂ, පළාත් සභා හා පළාත් පාලන රාජ්ය අමාත්ය රොෂාන් රණසිංහ, ඩරාස් ශ්රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ රකිල් ප්රනාන්දු, ප්රධාන මෙහෙයුම් කළමනාකරු දර්ශික අත්තනායක, ප්රධාන පරිපාලන නිලධාරී මලිත් රණදේව යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

2022 වසර සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ අයදුම්පත් භාරගන්නා කාලය අගෝස්තු මස 7 වැනිදා තෙක් දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (19) පැවසීය.

අයදුම්පත් භාරගැනීම දිනය අවස්ථා දෙකකදී දීර්ඝ කළ අතර එම දිනය එළඹෙන ජූලි 31 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබුණත් රට තුළ පවතින තත්ත්වය අනුව එය තවත් සතියකින් කල්දැමීමට තීරණය කළ බව ඇමතිවරයා සඳහන් කළේය.

ඇමති ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ, බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි

.

අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් බවට පත් කිරීම උදෙසා තරුණ ප්‍රජාව ව්‍යාපාර කරා යොමු කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට තරුණ ව්‍යවසායකයින් 50,000 ක් බිහිකිරීමේ “Hope 4 Sri Lanka” නවතම වැඩසටහන පසුගියදා මහරගම ජාතික තරුණ සේවා සභාවේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කළ “Hope 4 Sri Lanka” වැඩසටහන අමාත්‍යතුමාගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ ජාතික තරුණ සේවා සභාව මගින් ක්‍රියාත්මක කරණු ලබයි.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බිහිකිරීම හරහා දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ව්‍යවසායක නවකයින් දිස්ත්‍රික් මට්ටමින් තෝරාගැනීම සිදුකෙරේ.
ඒ අනුව, මේ සදහා තරුණ තරුණියන් දිස්ත්‍රික් මට්ටමින් පවත්වන සම්මුඛ පරීක්ෂණ හරහා තෝරාගනු ලබන අතර, තෝරාගත් කණ්ඩායම් සදහා දින 05 ක ව්‍යවසායකත්ව පුහුණුවක් ලබා දීම සිදු කරයි.
වයස අවුරුදු 18 ත් 45 ත් අතර පිළිගත් උසස් අධ්‍යාපන මට්ටමක් හෝ වෘත්තීය නිපුණතා සහතිකයක් හිමි, තමාගේම ව්‍යාපාරයක් පිළිබඳව පැහැදිලි ඉලක්කයක් සහිත තරුණ තරුණියන්ට මේ සදහා ඉදිරිපත් විය හැක. විවිධ ක්ෂේත්‍ර හරහා තරුණ ව්‍යවසායකයින් නිර්මාණය කිරීමේදී ඔවුන්ට අවශ්‍ය මූලික දැනුමේ සිට ව්‍යාපාරයක්ආරම්භ කිරීම, වෙළඳපොළ සොයාගැනීම හා විවිධ අවපාතයන්හි දී නොවැටි ව්‍යාපාරය පවත්වාගැනීම දක්වා තරුණ

තරුණියන් දැනුමින් ශක්තිමත් කරමින් නිරන්තර නිරීක්ෂණවලට ලක්කිරීම මෙහිදී සිදුවේ. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දැනුම ලබාදීම හා මූල්‍ය අවශ්‍යතාවය ඉටුකරදීම සඳහා රාජ්‍ය බැංකු සම්බන්ධ කරදීම මෙහිදී සිදුවේ. මෙම ක්‍රියාවලියේ දී ව්‍යාපෘතියට සම්බන්ධ වන අනෙකුත් අතරමැදි පාර්ශ්වය ලෙස USAID ආයතනයට අනුබද්ධ YouLead ආයතනය ක්‍රියා කරනු ලබයි.
YouLead හි ශ්‍රී ලංකා ශාඛාව මගින් Hope 4 Sri Lanka ව්‍යාපෘතිය හා සම්බන්ධ වන ව්‍යාවසායකයින් සඳහා අවශ්‍ය පුහුණුව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙයි.
නව ව්‍යාවසායකයින් ලබාගන්නා ණය මුදල් වෙනුවෙන් 60%ක ඇපකරයක් ද YouLead ආයතනය මගින් ලබාදීමට මෙහිදී එකගතාවය පලකර ඇත.
ලාංකීය නිර්මාණශීලී තරුණ්‍යයට ව්‍යවසායකයින් ලෙස නැඟීසිටීමට මඟපෙන්වීම තුලින් ඔවුන් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම සහ දළ ජාතික නිෂ්පාදනයට තරුණ්‍යයේ දායකත්වය මේ හරහා ලබා ගැනීමද මෙමගින් අපේක්ෂා කරයි.
මෙහිදි සුලු පරිමාණ ව්‍යවසායකයින් සදහා බැංකු ණය ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි හා Startup Sri Lanka වැඩසටහනේ ජයග්‍රහකයින් හට චෙක්පත් සහ සහතිකපත් පිරිනැමීම ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

කොවිඩ් මර්දනයට එන්නත්කරණය ඇතුළුව රජය ගෙනයන වැඩපිළිවෙළ සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහා සංඝරත්නය දැනුවත් කරයි.
ජනවාරි මස 28 වන දින ඇස්ට්‍රාසෙනිකා පළමු එන්නත් තොගය ලැබීමේ සිට මේ දක්වා ලද සියලු ම එන්නත් ලැබීම් සහ දිස්ත්‍රික්ක මට්ටමින් දිවයින පුරා ක්‍රියාත්මක කළ එන්නත්කරණ වැඩපිළිවෙළින් අගෝස්තු මාසය අවසන් වීමට පෙර වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් මාත්‍රා දෙක ම ලබාදී අවසන් කළ හැකි බවට ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.
එමෙන් ම දළදා පෙරහර මංගල්‍යයට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය ඇගයීමට ලක් කර ඇති අතර එන්නත්කරණයෙන් දකුණු ආසියාවේ ඉදිරියෙන් ම සිටින රට බවට ශ්‍රී ලංකාව පත් ව ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
බෞද්ධ උපදේශක සභාව පසුගියදා (16) පස්වරුවේ 11 වෙනි වතාවට ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
රටේ අනාගතය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට ඇතැම් පිරිස් විචාරයකින් තොරව එරෙහි වීම අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයක් බව රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වසර 40ක කාලයක් පුරා මෙරටට අවශ්‍ය විද්වතුන් විශාල සංඛ්‍යාවක් දායාද කර ඇති බවත් උසස් පෙළ ඉහළින් ම සමත් වන දරුවන් පවා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සිය උසස් අධ්‍යාපනය සඳහා තෝරාගැනීමට දැඩි උනන්දුවකින් පෙළඹී සිටින බවත් ජනාධිපතිතුමා පැවසීය.
උසස් අධ්‍යාපනය සඳහා තම දරුවන් විදේශ රටවලට යැවීමෙන් රටට සහ දෙමව්පියන්ට අහිමි වන විශාල මුදලක් ඉතිරි කරගැනීමට නම් ඉහළ ප්‍රමිතියෙන් යුත් මෙවැනි විශ්වවිද්‍යාල රට තුළ බිහිවීමේ අවශ්‍යතාවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
කොවිඩ් මර්දනය සඳහා ආරම්භයේ සිට ම ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගෙනගිය වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ මහා සංඝරත්නය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් වූ අරමුණු පිළිබඳව ජනතාව දැනුවත් කර සමාජය තුළ පැතිර යන වැරදි මතවාද වැළැක්වීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්හ.
බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම්වරු හා රාජ්‍ය නිලධාරීහු බෞද්ධ උපදේශක සභා රැස්වීමට සහභාගී වූහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter